Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

“දේශනා සේවය පවරලා තියෙන්නේ කාටද?”

“දේශනා සේවය පවරලා තියෙන්නේ කාටද?”

දින ගණනක් පුරා ඇද හැළුණු මහ වැසි නිමා කරමින් 1919 සැප්තැම්බර් 1වෙනි සඳුදා ඇමරිකාවේ ඔහයෝවලට හිරු උදා වුණා. එදා දහවල් 1,000කට අඩු පිරිසක් සීඩා පොයින්ට්වල තිබුණ ශාලාවකට රැස් වුණේ සමුළුවේ මුල් සැසිවාරයට සවන් දෙන්නයි. සවස් වෙද්දී තව 2,000ක් විතර එතැනට ආවා. අඟහරුවාදා වෙද්දී පැමිණි පිරිස කොයි තරම්ද කියනවා නම් සමුළුවේ ඉතුරු දවස් පවත්වන්න සිදු වුණේ ශාලාවෙන් පිටත තිබූ විශාල ගස් යටයි.

තුරු වියන අතරින් පතිත වූ හිරු රැස් පිරිමින්ගේ කබා මත මැව්වේ අලංකාර රූ රටාවන්. අසල තිබූ විලෙන් හමා ආ මද නල නිසා කාන්තාවන් පැළඳ සිටි හිස් වැසුම්වල තිබූ පිහාටු තාලෙට රඟ දුන්නා. “කන්දොස් කිරියාවෙන් පිරුණු සමාජයෙන් වෙන් වෙලා නිස්කලංක වටපිටාවේ පහස විඳිමින් හිටපු අපිට දැනුණේ පාරාදීසයේ ඉන්නවා වගේ.” සහෝදරයෙක් ඒ අතීතය සිහි කළේ එහෙමයි.

ඒත් එතැන සිටි අයගේ මුහුණුවල දකින්න තිබූ සතුට එක්ක සසඳද්දී ඒ අලංකාර වටපිටාවේ සුන්දරත්වයක් නැති තරම්. ඒ ගැන පුවත්පතක මෙහෙම පළ වුණා. “හැමෝම වැඩසටහනට සවන් දුන්නේ හරිම උනන්දුවෙන්. ඒ අය අතරේ සතුට දෝරේ ගලා ගියා.” පීඩා මැද ගත වූ අවුරුදු කිහිපයට පසු සහෝදරයන් එක්ක ඉන්න ලැබුණ ඒ අවස්ථාව බයිබල් ශිෂ්‍යයන්ට හරිම මිහිරි අද්දැකීමක්. යුද්ධ, සභාව තුළම සිද්ධ වුණ කටුක දේවල්, බෘක්ලින් බෙතෙල් නිවස වසා දැමීම, සංවිධානයේ මූලිකත්වය ගත් සහෝදරයන් 8දෙනාව සිරගත කරන්න ලැබුණ තීන්දුව, තවත් බොහෝදෙනෙකුව සිරගත කිරීම වගේ හේතු නිසා ඔවුන් පහුගිය අවුරුදු කිහිපය තුළ දුක් ගැහැට වින්දා. *

ඒ අමාරු කාලයේදී සමහරු දේශනා සේවය අත්හැරියා. ඒත් වැඩිදෙනෙක් මොන බාධා ආවත් ඔවුන්ට භාර දුන් කාර්යය අත්හරින්න හිතුවෙවත් නැහැ. බලධාරියෙක් පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. “දේශනා සේවය නතර කරන්න කියලා බයිබල් ශිෂ්‍යයන්ට කොච්චර තර්ජනය කළත් එයාලා කිව්වේ අවසානය එන කල් ඒක අත්හරින්නේ නැහැ කියලයි.”

විශ්වාසය සෝදිසියට ලක් වූ ඒ කාලය පුරාම ඒ අය ස්වාමීන්ගෙන් මඟ පෙන්වීම් ලැබෙන කල් බලාගෙන හිටියා. නිතරම දෙවිගෙන් උදව් ඉල්ලුවා. දැන් ඒ හැම දුකක්ම අවසන්! සතුටින් එකට රැස් වෙන්න ආයෙත් අවස්ථාව ලැබිලා. ඒ අයගේ මනසේ තිබුණේ අඩපණ වෙලා තිබූ සේවය යළි පණගන්වන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි. “හැමෝටම ඕන වුණේ එකම දෙයයි. ඒ ආයෙත් දේශනා කරන්නයි” කියා සහෝදරියක් කිව්වා.

අලුත්ම තෑග්ගක්!

සමුළු වැඩසටහන් පත්‍රිකාවෙත්, ආරාධනා පත්‍රයෙත්, ශාලාව අවට තිබූ පුවරුවලත් “GA” කියන අකුරු දෙක දකින්න තිබුණා. සතිය පුරාම ඒ ගැන හැමෝම හිටියේ කුතුහලෙන්. සිත්වල තිබූ කුතුහලය නිමා කරමින් සහෝදර රදෆර්ඩ් සිකුරාදා දුන්න දේශනයකදී “GA” කියන්නේ මොකක්ද කියා හෙළි කළා. ඒකෙන් අදහස් කළේ සේවය සඳහා මුදාහරින “ද ගෝල්ඩන් ඒජ්” (‘රන්වන් යුගය’) කියන අලුත්ම සඟරාවයි.

එදා සහෝදර රදෆර්ඩ් අභිෂේක ලත් අය ගැන කිව්වේ මේ වගේ දෙයක්. “පීඩාකාරී කාලෙදී වුණත් එයාලගේ මනස යොමු වෙලා තිබුණේ යේසුස් පාලනය කරන රන්වන් යුගය වෙතටයි. ඒ ගැන අන් අයට කියන එක එයාලා සලකන්නේ වරප්‍රසාදයක්, දෙවිගෙන් ලැබුණු පැවරුමක් විදිහටයි.”

සත්‍ය කරුණු හෙළි කරන, බලාපොරොත්තුවක්, විශ්වාසයක් ඇති කරගන්න උදව් කරන ‘රන්වන් යුගය’ කියන සඟරාව මාර්ගයෙන් ශුභාරංචිය දසත පතුරුවන්න අලුත් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ ගෙයින් ගෙට සේවයේ ගිහින් මේ සඟරාව මාස්පතා ලබාගන්න කැමති අයට දායක ඉදිරිපත් කිරීමේ විශේෂ වැඩසටහනයි. ඒකට හවුල් වෙන්න කැමති කවුද කියා ඇහුවම එතැන හිටපු හැමෝම හිටගත්තා. ඉන්පසු “ඔබේ ආලෝකය ලබා දෙන්න. ඔබේ සත්‍ය මඟ පෙන්වන්න” යන ගීතිකාව ඔවුන් මුළු හදින්ම ගැයුවා. සහෝදර නොරිස් ඒ අවස්ථාව සිහි කළේ මෙහෙමයි. “එදා අපි කොච්චර උද්‍යෝගයෙන් ගීතිකාව කිව්වද කියනවා නම් මට දැනුණේ ගස් දෙදරනවා වගේ.”

ඒ සැසිවාරයෙන් පසු හැමෝම දායක ලබාගන්න පැය ගණනාවක් පෝළිමේ හිටියා. “කරන්න ආයෙත් වැඩ තියෙනවා කියලා දැනගත්තම අපේ සතුට ඉහවහා ගියා” කියා සහෝදරි ෆිල්බ්‍රික් කිව්වා.

“දේශනා සේවය පවරලා තියෙන්නේ කාටද?”

බයිබල් ශිෂ්‍යයන් 7,000ක් විතර දේශනා කරන්න ලෑස්ති පිට සිටියා. ඒ අයට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දුන්නේ ‘සංවිධානය වූ අයුරු’ කියන පත්‍රිකාවෙන් සහ ‘දේශනා සේවය පවරලා තියෙන්නේ කාටද?’ කියන පොත්පිංචය මාර්ගයෙනුයි. දේශනා සේවයේ වැඩකටයුතු බලාගන්න ලෝක මූලස්ථානයේ අලුතෙන් සේවා අංශයක් පිහිටුවා තිබෙනවා කියාත් හැම සභාවකම සේවා කමිටුවක් සහ සේවා අධ්‍යක්ෂකයෙක්ව පත් කරන්න කියාත් දැනුම් දුන්නා. නිවෙස් 150ත් 200ත් අතර ප්‍රමාණයක් ඇතුළත් ප්‍රදේශ සේවය සඳහා වෙන් කරන්න කියාත් කිව්වා. සෑම බ්‍රහස්පතින්දා සවසකම සේවා රැස්වීමක් පවත්වා සේවයේ ලැබූ අද්දැකීම් බෙදාගන්න කියාත් වාර්තා ඉදිරිපත් කරන්න කියාත් දිරිගැන්වූවා.

“සමුළුවෙන් පස්සේ අපි හැමෝම දායක ඉදිරිපත් කරන වැඩේ හරිම උනන්දුවෙන් පටන්ගත්තා” කියා සහෝදර ෆිල්බ්‍රික් කිව්වා. “මිනිසුන් හිටියේ යුද්දෙන් බැට කාලා නිසා රන්වන් යුගයක් ආරම්භ වෙනවා කියන සිතුවිල්ලම එයාලට ගෙනාවේ ලොකු සැනසීමක්.” එහෙම කිව්වේ සහෝදරි කෝවේ. “ලබා දුන්න දායක ප්‍රමාණය දැකලා සභාවේ අය පුදුම වුණා” කියා සහෝදර ක්ලවුස් කිව්වා. පළවෙනි කලාපය පළ වෙලා මාස 2ක් තුළ සඟරා ලක්ෂ 5ක් විතර බෙදා දෙන්නත් දායක 50,000ක් ලබා දෙන්නත් හැකි වුණා.

1920 ජූලි 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වූ “දේවරාජ්‍යය ගැන ශුභාරංචිය” කියන ලිපිය ගැන පසු කාලයකදී සහෝදර මැක්මිලන් මෙහෙම කිව්වා. “ලොව පුරා ඉන්න සහෝදර සහෝදරියන්ට දේවරාජ්‍යය ගැන දේශනා කරන්න සංවිධානය මුල් වතාවට උනන්දු කළේ ඒ ලිපියෙනුයි.” ඒ ලිපියෙන් අභිෂේක ලත් හැමෝටම උනන්දු කළේ “දේවරාජ්‍යයේ පාලනය අත ළඟයි කියලා මුළු ලෝකෙටම දැනුම් දෙන්න” කියායි. දේශනා සේවය පවරලා තියෙන ක්‍රිස්තුස්ගේ සහෝදරයන් එක්ක අද වෙද්දී තව මිලියන ගණනක් එකතු වෙලා උද්‍යෝගයෙන් දේශනා කරනවා. ඔවුන් හැමෝම ආශාවෙන් බලා ඉන්නේ ක්‍රිස්තුස්ගේ රන්වන් යුගය ඇරඹෙන තුරුයි.