Skip to content

පටුනට යන්න

යම් සේවාවක් ලබාගද්දී ක්‍රිස්තියානියෙක් තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව වැඩ කරන්න ඕනේ

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

රජයේ සේවකයෙකුට තෑග්ගක් හෝ සන්තෝසමක් දෙන එක සුදුසුද කියලා තීරණය කරන්න ක්‍රිස්තියානියෙක්ට උදව් වෙන්නේ මොනවද?

ඒ කාරණයේදී අපි මතක තියාගන්න ඕනෙ පැති කීපයක්ම තියෙනවා. මුලින්ම ක්‍රිස්තියානීන් විදිහට අපි අවංක වෙන්න ඕනේ. දෙවිගේ නීතියට විරුද්ධ දෙයක් කරන්න කියන්නේ නැති හැම අවස්ථාවකදීම අපි රටේ නීතියට කීකරු වෙන්න ඕනේ. (මතෙ. 22:21; රෝම 13:1, 2; හෙබ්‍රෙ. 13:18) ‘තමන්ට මෙන් තමන්ගේ අසල්වැසියාට ප්‍රේම කරන’ අය විදිහට අපි ජීවත් වෙන රටේ ඉන්න අයගේ සංස්කෘතියට, හැඟීම්වලට අපි ගරු කරන්න ඕනේ. (මතෙ. 22:39; රෝම 12:17, 18; 1 තෙස. 4:11, 12) ඒ ප්‍රතිපත්ති අදාළ කරගෙන තෑග්ගක් නැත්නම් සන්තෝසමක් දෙන එක ගැන, විවිධ රටවල ඉන්න ක්‍රිස්තියානීන්ට හැඟෙන විදිහ ඒ අය ඉන්න රට අනුව වෙනස් වෙන්න පුළුවන්.

හුඟක් රටවල රජයේ සේවකයන්ගෙන් ලබාගන්න සේවයන් වෙනුවෙන් පුරවැසියන් ඒ අයට අමතර දෙයක් දෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ අයට රජයෙන් වැටුපක් ගෙවනවා. ඒ වැටුපට අමතරව යමක් ඉල්ලන්නවත් බලාපොරොත්තු වෙන්නවත් ඒ අයට බැහැ. නීති විරෝධී නැති, තමන්ගේ සේවයට අදාළ දෙයක් කරලා දෙද්දී රජයේ සේවකයෙක් තෑග්ගක්, සන්තෝසමක් බලාපොරොත්තු වෙන එක, ලබාගන්න එක හුඟක් රටවල නීතියෙන් තහනම්. ඒ තෑග්ග නැත්නම් සන්තෝසම නිසා එයා ලබා දෙන සේවයේ වෙනසක් වුණේ නැතත් ඒක සලකන්නේ අල්ලසක් විදිහටයි. ඒ වගේ නීතියක් තියෙන රටක ජීවත් වෙන ක්‍රිස්තියානියෙක්ට රජයේ සේවකයන්ට යම් තෑග්ගක්, සන්තෝසමක් දෙන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නයවත් මතු වෙන්න විදිහක් නැහැ. මොකද එහෙම කරන එක කොහෙත්ම සුදුසු දෙයක් නෙමෙයි.

ඒ වුණත් ඒ වගේ නීති නැති, නීති තිබුණත් ඒවා අකුරටම ක්‍රියාත්මක වෙන්නේ නැති රටවල ඉන්න රජයේ සේවකයන් යම් තෑග්ගක්, සන්තෝසමක් ගන්න එක වැරදි දෙයක් විදිහට දකින්නේ නැහැ. තවත් රටවල රජයේ නිලධාරීන් එයාලගේ තනතුර භාවිත කරලා තමන්ගේ සේවය ලබන අයගෙන් මුදල් නැත්නම් වෙන ලාභ ප්‍රයෝජන ලබාගන්නවා. තෑග්ගක් ලැබුණේ නැත්නම් එයාලා ඒ සේවය ලබා දෙන්නේ නැහැ. උදාහරණෙකට විවාහ ලියාපදිංචි කරන අය, ආදයම් බදු නිලධාරීන්, ගොඩනැඟිලි ඉදි කිරීම් සඳහා අනුමැතිය ලබා දෙන අය සන්තෝසමක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. දුන්නේ නැත්නම් ඒ සේවය ඕනෑකමින්ම ප්‍රමාද කරනවා. නැත්නම් ඒ සේවය නොදීම ඉන්නවා. එක රටකින් ලැබුණ වාර්තාවකට අනුව ඒ රටේ ගිනි නිවන හමුදාවේ අය ගින්නක් නිවන්න පටන්ගන්නේ ඒ අයට සන්තෝසමක් දුන්නොත් විතරයි.

තමන්ට ලැබුණ හොඳ සේවයක් අගය කිරීමක් හැටියට තෑග්ගක් දෙන එක සමහර අවස්ථාවලදී වරදක් නැහැ

ඒ වගේ තත්වයක් තියෙන රටක ජීවත් වෙන කෙනෙක්ට සන්තෝසමක් නොදී කාර්යයක් කරගන්න බැරිම වෙන්න පුළුවන්. තත්වය ඒක නම් සන්තෝසමක් දෙන එක තමන්ට නීත්‍යනුකූලව ලැබෙන සේවය වෙනුවෙන් ගෙවන්න වෙන අමතර මුදලක් හැටියට ක්‍රිස්තියානියෙක් සලකන්න ඉඩ තියෙනවා. ඒත් අල්ලස් දූෂණය බහුලව තියෙන රටක ඉන්න ක්‍රිස්තියානියෙක් ඒ විදිහට හිතන එක ගැන පරෙස්සම් වෙන්න ඕනේ. මොකද සේවයක් වෙනුවෙන් දෙන අමතර මුදල සහ අල්ලසක් අතර තියෙන වෙනස එයාට පැහැදිලිව තේරුම්ගන්න බැරි වෙන්න පුළුවන්. ලබන්න අයිතියක් තියෙන සේවයක් සඳහා යම් සන්තෝසමක් දෙන එකයි නීති විරෝධී දෙයක් කරගන්න ඒ වගේ දෙයක් දෙන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. දූෂණය බහුලව සිද්ධ වෙන තැනක ඉන්න නිලධාරීන්ට මිනිසුන් යම් මුදලක් දෙන්නේ නීති විරෝධී දෙයක් කරගන්නයි. එහෙම නැත්නම් පොලිස් නිලධාරීන් වගේ අයට සන්තෝසමක් දෙන්නේ දඬුවමකින් බේරෙන්නයි. එහෙම කරලා තව කෙනෙක්ව වරදට පොලඹවන එකත් ඒ වගේ සන්තෝසමක්, තෑග්ගක් පිළිගන්න එකත් වරදක්. ඒක යුක්තිය කණපිට පෙරළීමක්.—නික්. 23:8; ද්වි. 16:19; හිතෝ. 17:23.

සන්තෝසමක් ඉල්ලන නිලධාරීන්ට ඒ වගේ දෙයක් දෙන්න අවබෝධයෙන් වැඩ කරන හුඟක් ක්‍රිස්තියානීන්ගේ හෘදය සාක්ෂිය ඉඩ දෙන්නේ නැහැ. එයාලට හැඟෙන්නේ ඒක දූෂණයට උල්පන්දම් දීමක් හැටියටයි. ඒ නිසා කිසිම විදිහේ සන්තෝසමක් නොදී ඉන්න එයාලා තීරණය කරලා තියෙනවා.

නීති විරෝධී දෙයක් කරගන්න යම් තෑග්ගක් දෙන එක අල්ලසකට සමානයි කියලා අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන් දන්නවා. ඒත් රටේ තත්වය, මිනිසුන්ගේ හැඟීම් තේරුම් අරගෙන රජයේ නිලධාරීන් ඉටු කරන නීත්‍යනුකූල සේවය අගය කිරීමක් හැටියට නැත්නම් අනවශ්‍ය ප්‍රමාද වීම් වළක්වාගන්න යමක් දෙන්න ඒ අය තීරණය කරන්න පුළුවන්. තවත් අය රජයේ රෝහලකින් ප්‍රතිකාර ගත්තම තමන්ට ලැබුණ සේවය අගය කරලා වෛද්‍යවරුන්ට, හෙදියන්ට තෑගි දෙනවා. ඒක කරන්නේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගත්තට පස්සේ නිසා ඒක අල්ලසක්, වැඩි සැලකිලි ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් දුන්න යමක් කියන හැඟීම එයාලට ඇති වෙන්නේ නැහැ.

හැම රටකම තියෙන තත්වයන් හැම එකක්ම විස්තර ඇතුව කතා කරන්න බැහැ. ඒත් අපි ජීවත් වෙන රටේ තත්වය මොකක් වුණත් සන්තෝසමක් දෙනවද නැද්ද කියලා තීරණය කරද්දී ක්‍රිස්තියානියෙක් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න පුළුවන් විදිහේ තීරණයක් ගන්න ඕනේ. (රෝම 14:1-6) නීති විරෝධී කිසිම දෙයක් කරන්න හොඳ නැහැ. (රෝම 13:1-7) දෙවිගේ නමට අගෞරවයක් වෙන, අනිත් අයව අපහසුතාවට පත් වෙන හැම දෙයකින්ම වළකින්න ඕනේ. (මතෙ. 6:9; 1 කොරි. 10:32) ඒ වගේම අපි ගන්න තීරණවලින් අපි අසල්වැසියන්ට ආදරේ කරන අය කියලත් පේන්න ඕනේ.—මාක් 12:31.

කෙනෙක්ව සභා සාමාජිකයෙකු ලෙස නැවත පිළිගන්නවා කියලා නිවේදනය කළාම සභාවේ අයට සතුට ප්‍රකාශ කරන්න පුළුවන් කොහොමද?

බැටළුවන් සියදෙනෙක් හිටපු එඬේරෙක් ගැන යේසුස් කියපු උපමාවක් ලූක් 15වෙනි පරිච්ඡේදයේ තියෙනවා. රැළේ එක බැටළුවෙකුව නැති වුණාම එඬේරා අනිත් 99දෙනාවම දාලා ඒ බැටළුවාව හොයාගෙන යනවා. ඌව හම්බ වෙන කල්ම එයා උත්සාහය අත්හරින්නේ නැහැ. ඊළඟට යේසුස් මෙහෙම කියනවා. “එම මිනිසා ඌව සොයාගත් විට ඔහු තුළ කොතරම් ප්‍රීතියක් ඇති වෙයිද! ඌව කරේ තබාගෙන, ගෙදර ගොස් ඔහුගේ මිතුරන් සහ අසල්වැසියන් කැඳවා, ‘මගේ නැති වූ බැටළුවා සොයාගන්න මට පුළුවන් වුණා. ඒ නිසා ඇවිත් මා සමඟ ප්‍රීති වන්න’ කියා ඔවුන්ට කියයි.” යේසුස් කතාව ඉවර කරන්නේ මෙහෙමයි. “පසුතැවිලි වීමේ අවශ්‍යතාවක් නැති ධර්මිෂ්ඨ අනූනවදෙනෙකු ගැන ප්‍රීති වෙනවාට වඩා පසුතැවිලි වන එක පව්කාරයෙක් ගැන ස්වර්ගයේ සිටින දේවදූතයන් කොතරම් ප්‍රීති වෙනවාද!”—ලූක් 15:4-7.

පව්කාරයන්ව ආශ්‍රය කරනවා කියලා යේසුස්ව විවේචනය කරපු අයව නිවැරදි කරන්නයි යේසුස් ඒ උපමාව කිව්වේ. (ලූක් 15:1-3) පව්කාරයෙකු පසුතැවිලි වුණාම ස්වර්ගයේ ඉන්න අය ඒ ගැන හුඟක් සතුටු වෙනවා කියලා යේසුස් කිව්වා. ‘පව්කාරයෙක් පසුතැවිලි වෙලා, වැරදි අත්හැරලා, හරි මාර්ගයේ ගමන් කරද්දී ස්වර්ගයේ ඉන්න අය සතුටු වෙනවා නම් පොළොවේ ඉන්න අය ඒ ගැන සතුටු වෙන්න ඕනෙ නැද්ද’ කියලා අපිට හිතෙන්න පුළුවන්.—හෙබ්‍රෙ. 12:13.

කෙනෙක්ව සභා සාමාජිකයෙකු ලෙස නැවත පිළිගත්තම සතුටු වෙන්න අපිටත් හේතු තියෙනවා. සභාවට ආපහු පිළිගත්තට පස්සෙත් දෙවිට විශ්වාසවන්තව ඉන්න එයා දිගටම උත්සාහයක් ගන්න ඕනේ. ඒත් එයාව සභා සාමාජිකයෙකු ලෙස නැවත පිළිගන්නේ එයා පසුතැවිලි වුණ නිසයි. ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිමහල්ලන් ඒ නිවේදනය කළාම කැමති අයට අත්පුඩි ගහලා එයාලගේ සතුට පෙන්නන්න පුළුවන්.

යෙරුසලමේ තිබුණ බෙත්සාතා පොකුණේ “වතුර කැලඹුණේ” කොහොමද?

බෙත්සාතා පොකුණේ වතුර කැලඹෙද්දී ඒකට සුව කිරීමේ හැකියාව තිබුණා කියලා යේසුස්ගේ කාලේ යෙරුසලමේ හිටිය සමහරු විශ්වාස කළා. (යොහ. 5:​1-7) ඒ නිසා සුව වීමේ අරමුණින් හුඟක් අය පොකුණ වටා රැස් වුණා.

යුදෙව්වන් චාරිත්‍රානුකූලව ස්නානය කරපු තැනක් විදිහට ඒ පොකුණ ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඒකේ වතුර ප්‍රමාණය අඩු වෙද්දී අවශ්‍ය වතුර ප්‍රමාණය නැවත පිරුණේ ඒ අසලම තිබුණ තවත් විශාල පොකුණකින්. ඒ දෙක වෙන් කරන්න වේල්ලක් බැඳලා තිබුණා. ඒ වේල්ලේ සොරොව්වක් තිබුණා. බෙත්සාතා පොකුණේ වතුර අඩු වෙද්දී සොරොව්ව ඇරියම පොකුණේ යටට වෙන්න තිබුණ ජල මාර්ගයක් ඔස්සේ අනිත් පොකුණෙන් අවශ්‍ය වතුර ප්‍රමාණය ලැබෙනවා. ඒ වගේ වෙලාවලදී බෙත්සාතා පොකුණේ වතුර කැලඹෙන එක පුදුමයක් නෙමෙයි.

සමහර බයිබල් පරිවර්තනවල යොහන් 5:4 සඳහන් වෙන්නේ දේවදූතයෙක් වතුර කැලඹුවා කියලයි. ඒත් කෝඩෙක්ස් සයිනයිටිකස් වගේ පිළිගත් පැරණි ග්‍රීක අත්පිටපත්වල ඒ කොටස නැහැ. අවුරුදු 38ක් පුරා අසනීප වෙලා හිටිය කෙනෙක්ව බෙත්සාතා පොකුණ අසලදී යේසුස් සුව කළා. සුවය ලබන්න ඔහුට බෙත්සාතා පොකුණට බහින්න වුණේ නැහැ. ඔහු ඒ වෙලාවේ සුව වුණේ දෙවිගේ බලයෙන්.