Skip to content

පටුනට යන්න

දිරිගැන්වීම් ලබා දෙන යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න

දිරිගැන්වීම් ලබා දෙන යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න

‘දෙවිට ප්‍රශංසා වේවා! අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ * ඔහුය.’—2 කොරි. 1:3, 4.

ගීතිකා: 7, 3

1. ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණත් එයාලගෙන් පැවතෙන අයට දිරිගැන්වීමක් වුණේ දෙවි කිව්ව මොන දේද?

යෙහෝවා දෙවි දිරිගැන්වීම් දෙන දෙවි කෙනෙක්. ඒදන් උයනේ මිනිසුන්ගේ ආරම්භයේ ඉඳන්ම දෙවි මිනිසුන්ට දිරිගන්වීම් ලබා දෙනවා. ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගහපු වෙලාවේ ඔහු කියපු අනාවැකිය ඒ වගේ දිරිගැන්වීමක්. ඒ අනාවැකිය තේරුම්ගන්න අයට ලොකු ධෛර්යයක්, බලාපොරොත්තුවක් ලැබෙනවා. සාතන්වත් ඔහුගේ හැම නපුරු දෙයක්මත් නැති කරනවා කියලා දෙවි කිව්ව ඒ අනාවැකිය උත්පත්ති 3:15 සඳහන් වෙනවා.—1 යොහ. 3:8; එළි. 12:9.

යෙහෝවා දෙවි අතීතයේ හිටපු ඔහුගේ සේවකයන්ව දිරිගැන්නුවා

2. යෙහෝවා දෙවි නෝවාව දිරිගැන්නුවේ කොහොමද?

2 යෙහෝවා දෙවි නෝවාව දිරිගන්වපු විදිහ ගැන ටිකක් හිතන්න. ඒ කාලේ දෙවිට නමස්කාර කළේ නෝවායි, එයාගේ පවුලේ අයයි විතරයි. අනිත් හැමෝම වගේ සැහැසික, අනාචාර ජීවිත ගත කරපු අය. ඒ දේවල් නිසා නෝවා ලේසියෙන්ම අධෛර්යය වෙන්න තිබුණා. (උත්. 6:4, 5, 11; යූද් 6) ඒත් දිගටම දෙවිට නමස්කාර කරන්නත් හරි දේ කරන්නත් අවශ්‍ය ධෛර්යය, දිරිගැන්වීම් දෙවි එයාට දුන්නා. (උත්. 6:9) දෙවි නෝවාට කිව්වා ඒ දුෂ්ට සමාජය විනාශ කරනවා කියලා. නෝවාටත් එයාගේ පවුලේ අයටත් ඒ විනාශයෙන් බේරෙන්න කරන්න ඕනෙ මොනවාද කියලත් දෙවි කිව්වා. (උත්. 6:13-18) යෙහෝවා දෙවි කියපු ඒ දේවල් නෝවාට ලොකු දිරිගැන්වීමක් වුණා.

3. යෙහෝවා දෙවි යොෂුවාව දිරිගැන්නුවේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 පස්සේ කාලෙක දෙවි ඔහුගේ සේවකයෙක් වුණ යොෂුවාවත් දිරිගැන්නුවා. දෙවිගේ සෙනඟව පොරොන්දු දේශයට අරන් යන පැවරුම දෙවි භාර දුන්නේ යොෂුවාට. ඒක ලොකු පැවරුමක්. එහේ හිටපු බලවත් ජාතීන්ගේ හමුදාවන් පරාජය කරන එකත් ඒකට අයිති වුණා. ඒ පැවරුම හරියට කරන්න පුළුවන් වෙයිද කියලා යොෂුවාට බයක් දැනෙයි කියලා දෙවි දැනන් හිටියා. ඒ නිසා ඔහු මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔබෙන් පසුව නායකයා හැටියට යොෂුවාව පත් කරන්න. ඒ සඳහා ඔහුව ධෛර්යවත් කර ශක්තිමත් කරන්න. ගඟෙන් එගොඩ වී ඒ දේශයට සෙනඟව රැගෙන යන්නේ ඔහුයි. ඔබ දකින මේ දේශය ඊශ්‍රායෙල් සෙනඟ උරුම කරගන්නේ ඔහුගේ නායකත්වය යටතෙයි.” (ද්වි. 3:28) ඊටපස්සේ යෙහෝවා දෙවිම යොෂුවාට මෙහෙම කිව්වා. “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න. ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි. එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.” (යොෂු. 1:1, 9) ඒ වචන යොෂුවාට කොච්චර දිරිගැන්වීමක් වෙන්න ඇද්ද!

4, 5. (අ) දෙවි අතීතයේ හිටපු ඔහුගේ සෙනඟව දිරිගැන්නුවේ කොහොමද? (ආ) දෙවි ඔහුගේ පුතාව දිරිගැන්නුවේ කොහොමද?

4 යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව කණ්ඩායමක් විදිහටත් දිරිගැන්නුවා. උදාහරණෙකට වහලුන් විදිහට බැබිලෝනියට අරන් යන යුදෙව්වන්ට දිරිගැන්වීම් ඕනෙ කියලා දෙවි දැනන් හිටියා. ඒ නිසා මේ අනාවැකිය කියලා දෙවි එයාලව දිරිගැන්නුවා. “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.” (යෙසා. 41:10) මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ටත් දෙවි ඒ සහතිකයම දීලා එයාලව දිරිගැන්නුවා. අද අපිවත් ඒ විදිහටම දිරිගන්වනවා.—2 කොරින්ති 1:3, 4 කියවන්න.

5 දෙවි ඔහුගේ පුතාවත් දිරිගැන්නුවා. යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ ස්වර්ගයෙන් ආපු හඬක් මෙහෙම කියනවා ඔහුට ඇහුණා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙ. 3:17) පොළොවේ සේවය කරපු කාලේ පුරාම ඒ වචන යේසුස්ට කොයි තරම් දිරිගැන්වීමක් වෙන්න ඇද්ද!

යේසුස් අනිත් අයව දිරිගැන්නුවා

6. තලෙන්ත ගැන උපමාව අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

6 තමන්ගේ තාත්තාව ආදර්ශයට ගත්ත යේසුස්, දිගටම විශ්වාසවන්තව ඉන්න අනිත් අයව දිරිගැන්නුවා. තලෙන්ත ගැන ඔහු කිව්ව උපමාව ගැන ටිකක් හිතන්න. ඒකේ ඉන්න ස්වාමියා එයාගේ විශ්වාසවන්ත දාසයන් එක් එක් කෙනාට මෙහෙම කිව්වා. “ඔබ ඉතා යහපත්, විශ්වාසවන්ත දාසයෙක්! මට ඔබ ගැන ඉතාමත් සතුටුයි. ඔබ ස්වල්පයක් ගැන විශ්වාසවන්තව කටයුතු කළා. බොහෝ දේවල් භාරව සිටීමට මම දැන් ඔබව පත් කරනවා. ඇවිත් ඔබේ ස්වාමියා සමඟ ප්‍රීති වන්න.” (මතෙ. 25:21, 23) දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න ඒ වචන මොන තරම් දිරිගැන්වීමක්ද!

7. යේසුස් ඔහුගේ නියෝජිතයන්ව, විශේෂයෙන්ම පේතෘස්ව දිරිගැන්නුවේ කොහොමද?

7 තමන් අතරේ උතුම්ම කෙනා කවුද කියලා නියෝජිතයන් නිතරම වාද කළත් යේසුස් ඉවසීමෙන් එයාලා එක්ක වැඩ කළා. නිහතමානී වෙන්න කියලත් අනිත් අය තමන්ට සේවය කරන කල් බලාගෙන ඉන්නේ නැතුව අනිත් අය වෙනුවෙන් සේවය කරන්න කියලත් ඔහු එයාලව දිරිගැන්නුවා. (ලූක් 22:24-26) පේතෘස් යේසුස්ගේ හිතට දුකක් ගේන දේවල් කීප වතාවක්ම කළා. (මතෙ. 16:21-23; 26:31-35, 75) ඒත් එයාව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට යේසුස් එයාව දිරිගන්වලා අනිත් අයව දිරිගන්වන වගකීමත් එයාට දුන්නා.—යොහ. 21:16.

අතීතයේ හිටපු අය අනිත් අයව දිරිගැන්නුවා

8. හමුදාපතීන්ව සහ යූදා වැසියන්ව හෙසකියා රජ දිරිගැන්නුවේ කොහොමද?

8 අනිත් අයව දිරිගන්වන්නේ කොහොමද කියලා තේරුම්ගන්න යේසුස්ගේ ආදර්ශය හුඟක් අයට ප්‍රයෝජනවත්. හැබැයි යේසුස් පොළොවට එන්න කලින් ජීවත් වුණ දෙවිගේ සේවකයනුත් අනිත් අයව දිරිගන්වන එකේ වැදගත්කම ගැන දැනන් හිටියා. හෙසකියා ඒ වගේ කෙනෙක්. ඇසිරියානුවන් යෙරුසලමට පහර දෙන්න සූදානමින් ඉද්දී එයා හමුදාපතීන්වත් සෙනඟවත් රැස් කරලා එයාලව දිරිගැන්නුවා. එයා කියපු දේවල් අහලා ‘සියලුදෙනාම මහත් ධෛර්යයක් ලැබුවා.’—2 ලේකම් 32:6-8 කියවන්න.

9. දිරිගැන්වීම් ලබා දෙන එක ගැන යෝබ්ගේ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 යෝබ් හිටියේ හුඟක් දුකෙන්. එයාට සහනය, දිරිගැන්වීම් අවශ්‍ය වෙලයි තිබුණේ. එහෙම වෙලාවකදීත් කෙනෙක්ව දිරිගන්වන්නේ කොහොමද කියන දේ ගැන එයා අනිත් අයට කියලා දුන්නා. එයාව බොරුවට සනසවන්න ආපු අයට යෝබ් කිව්වේ ඒ අය එයා ඉන්න තත්වයේ හිටියා නම් එයාලව තවත් වේදනාවට පත් කරනවා වෙනුවට හිත සනසන, ශක්තිමත් කරන විදිහට එයා කතා කරනවා කියලයි. (යෝබ් 16:1-5) අන්තිමේදී යෝබ්ට අවශ්‍ය වෙලා තිබුණ දිරිගැන්වීම එලිහුගෙන් සහ යෙහෝවා දෙවිගෙන් එයාට ලැබුණා.—යෝබ් 33:24, 25; 36:1, 11; 42:7, 10.

10, 11. (අ) යෙප්තාගේ දුවට දිරිගැන්වීම් අවශ්‍ය වුණේ ඇයි? (ආ) අද අපිට දිරිගන්වන්න පුළුවන් කාවද?

10 දිරිගැන්වීම් අවශ්‍ය වුණ තවත් කෙනෙක් තමයි යෙප්තාගේ දුව. යෙප්තා අම්මොන්වරුන් එක්ක සටනට යන්න කලින් දෙවිට පොරොන්දුවක් වුණා. ඒ තමයි සටන ජය ගන්න දෙවි උදව් කළොත් එයා ආපහු එද්දී හම්බ වෙන මුල්ම කෙනාව යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමේ සේවය කරන්න භාර දෙනවා කියන පොරොන්දුව. ඊශ්‍රායෙල්වරු සටනින් ජය අරන් ආපහු එද්දී යෙප්තාගේ ඉස්සරහට ආවේ එයාගේ දුව. එයා තමයි යෙප්තාට හිටපු එකම දරුවා. යෙප්තාට ලොකු දුකක් දැනුණත් එයා පොරොන්දු වුණ විදිහටම කළා. එයා දුවව දුවගේ ජීවිත කාලේ පුරාම ශුද්ධ කූඩාරමේ සේවය කරන්න යැව්වා.—විනි. 11:30-35.

11 ඒ පොරොන්දුව ඉටු කරන එක යෙප්තාටත් වඩා අමාරු වෙන්න ඇත්තේ එයාගේ දුවට. ඒත් තාත්තා වුණ පොරොන්දුව ඉටු කරන්න එයා කැමති වුණා. (විනි. 11:36, 37) එයා දැනන් හිටියා ඒ පොරොන්දුව ඉටු කරද්දී එයාට කවදාවත් විවාහ වෙන්නවත් දරුවන් හදන්නවත් බැරි වෙනවා කියලා. ඒ කියන්නේ යෙප්තාගේ පෙළපත එතනින් නතර වෙනවා කියන එකයි. යෙප්තාගේ දුවව සනසන එක, දිරිගන්වන එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. බයිබලේ මෙහෙම කියනවා. “ඇය වෙනුවෙන් ඊශ්‍රායෙල් දේශයේ චාරිත්‍රයක් ආරම්භ කරන ලදි. එය නම් අවුරුද්දකට වතාවක් ඊශ්‍රායෙල් දේශයේ කාන්තාවන් ගිලියද් දේශයේ වැසියෙකු වූ යෙප්තාගේ දියණිය හමු වීමට පැමිණ දවස් හතරක් පුරා ඇයට ප්‍රශංසා කිරීමේ චාරිත්‍රයයි.” (විනි. 11:39, 40) විවාහ නොවී යෙහෝවා දෙවිට වැඩි සේවයක් කරන අය අද කාලෙත් ඉන්නවා. අපි එයාලව අගය කරලා දිරිගන්වනවාද?—1 කොරි. 7:32-35.

නියෝජිතයන් සෙසු සහෝදරයන්ව දිරිගැන්නුවා

12, 13. පේතෘස් සහෝදරයන්ව ශක්තිමත් කළේ කොහොමද?

12 යේසුස් මිය යන්න කලින් රාත්‍රියේ පේතෘස්ට මෙහෙම කිව්වා. ‘සීමොන්, මට සවන් දෙන්න! තිරිඟු පොළනවා වගේ සාතන් ඔබ සියලුදෙනාවත් පොළන්න ඉල්ලා තිබෙනවා. නමුත් ඔබේ විශ්වාසය දුර්වල නොවීමට මම ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කර තිබෙනවා. ඔබ නැවත ශක්තිමත් වූ පසු ඇවිත් ඔබේ සහෝදරයන් තුළ තිබෙන විශ්වාසය ශක්තිමත් කරන්න.’—ලූක් 22:31, 32.

නියෝජිතයන්ගේ ලිපිවලින් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් විතරක් නෙමෙයි අද අපිත් දිරිගැන්වීම් ලබනවා (12-17 ඡේද බලන්න)

13 යේසුස් කියපු විදිහටම සහෝදරයන්ව ශක්තිමත් කරන්න පේතෘස් පෙරමුණ ගත්තා. (ගලා. 2:9) පෙන්තකොස්ත දවසේදීත් ඊටපස්සෙත් එයා නිර්භීතව වැඩ කරපු විදිහ නිසා සහෝදරයන්ට ලැබුණේ ලොකු දිරිගැන්වීමක්. අවුරුදු ගාණක් සේවය කළාට පස්සේ පේතෘස් මෙහෙම ලියනවා. ‘වචන ස්වල්පයකින් ලියා එවන මේ ලිපිය මං ලියන්නේ ඔබව දිරිගැන්වීමටත් දෙවි ඔබට පෙන්වා ඇති මහත් කරුණාව සැබෑ බවට ප්‍රබල සාක්ෂියක් දීමටත්ය. එම මහත් කරුණාව ලබමින් ස්ථිරව සිටින්න.’ (1 පේතෘ. 5:12) පේතෘස් ලියපු ලිපි එදා හිටපු ක්‍රිස්තියානීන්ට විතරක් නෙමෙයි පාරාදීසය අද්දර ඉන්න අපිටත් මොන තරම් දිරිගැන්වීමක්ද!—2 පේතෘ. 3:13.

14, 15. යොහන් ලියපු පොත් අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

14 නියෝජිත යොහනුත් මුල් සියවසේදී ක්‍රිස්තියානීන් අතරේ පෙරමුණ අරන් වැඩ කරපු කෙනෙක්. යේසුස් පොළොවේදී කරපු සේවය ගැන විස්තර ඇතුළත් පොතක් ලියන්නත් එයාට අවස්ථාව ලැබුණා. සියවස් ගාණක් තිස්සේ ක්‍රිස්තියානීන් ඒ පොතෙන් දිරිගැන්වීම් ලැබුවා. අද ඉන්න අපිත් ඒ වාර්තාවලින් ලොකු දිරියක් ලබනවා. උදාහරණෙකට සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්න පුළුවන් ලකුණ ප්‍රේමයයි කියලා යේසුස් කියපු දේ වාර්තා වෙන්නේ යොහන්ගේ සුවිශේෂයේ විතරයි.—යොහන් 13:34, 35 කියවන්න.

15 යොහන් ලියපු අනිත් ලිපි තුනෙත් වටිනා බයිබල් සත්‍යයන් ඇතුළත් වෙනවා. අපි අතින් වෙන වැරදි, අඩුපාඩුකම් නිසා අපි අධෛර්යය වෙද්දී යේසුස්ගේ ජීවිත පූජාව “අපව සියලුම පාපවලින් පවිත්‍ර කරයි” කියලා යොහන් කියපු දේ අපිට දිරිගැන්වීමක් නෙමෙයිද? (1 යොහ. 1:7) අතීතයේ වෙච්ච දෙයක් ගැන අපේ හිත දිගින් දිගටම අපිට දොස් කියද්දී ‘අපිට වඩා හොඳින් දෙවි අපේ සිත් ගැන දන්නවා’ කියලා යොහන් කියපු දෙයින් අපිට සහනයක් ලැබෙන්නේ නැද්ද? (1 යොහ. 3:20) “දෙවි ප්‍රේමයයි” කියලා සඳහන් කරන එකම ලේඛකයාත් යොහන්. (1 යොහ. 4:8, 16) යොහන්ගේ දෙවෙනි සහ තුන්වෙනි ලිපිවල දිගටම “සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වන” අයව අගය කරලා එයාලව දිරිමත් කරලා තියෙනවා.—2 යොහ. 4; 3 යොහ. 3, 4.

16, 17. මුල් කාලේ හිටපු ක්‍රිස්තියානීන්ව පාවුල් දිරිගැන්නුවේ කොහොමද?

16 සහෝදරයන්ව දිරිගන්වපු තවත් කෙනෙක් තමයි පාවුල්. යේසුස් මිය ගිහින් ටික කාලයක් යන කල් නියෝජිතයන් වැඩිදෙනෙක් හිටියේ යෙරුසලමේ. පාලක මණ්ඩලය හිටියෙත් එහේ. (ක්‍රියා 8:14; 15:2) යුදයේ හිටපු ක්‍රිස්තියානීන් යේසුස් ගැන දේශනා කළේ ඒ වෙනකොටත් එකම සැබෑ දෙවිව විශ්වාස කරපු සෙනඟට. ඒත් දෙවි ඔහුගේ බලයෙන් පාවුල්ට මඟ පෙන්නුවේ ග්‍රීකවරු, රෝමවරු වගේ ගොඩක් දෙවිවරුන්ව විශ්වාස කරපු සෙනඟට දේශනා කරන්නයි.—ගලා. 2:7-9; 1 තිමෝ. 2:7.

17 පාවුල් ග්‍රීසියේ, ඉතාලියේ වගේම අද තුර්කිය විදිහට හඳුන්වන ප්‍රදේශයෙත් සංචාරය කළා. ඒ ප්‍රදේශවල හිටපු යුදෙව් නොවන අයට එයා දේශනා කරලා අලුත් සභාවනුත් පිහිටෙව්වා. අලුතෙන් ක්‍රිස්තියානීන් වුණ ඒ අයට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වුණා. එයාලගෙම රට වැසියන් එයාලට පීඩා කළා. ඒ නිසා එයාලට දිරිගැන්වීම් අත්‍යවශ්‍යම වෙලයි තිබුණේ. (1 තෙස. 2:14) ක්‍රි.ව. 50දී විතර පාවුල් අලුතෙන් පිහිටවපු තෙසලෝනික සභාවට ලිපියක් ලියලා මෙහෙම කිව්වා. ‘දෙවිට යාච්ඤා කරන විට අප ඔබ ගැන සඳහන් කරන සෑම අවස්ථාවකදීම අපි දෙවිට ස්තුති කරන්නෙමු. ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා ඔබ කරන ක්‍රියාවන්ද ඔබේ ප්‍රේමය නිසා ඔබ දරන වෙහෙසද ඔබේ විඳදරාගැනීමද අපි නිරතුරුවම මතක් කරන්නෙමු.’ (1 තෙස. 1:2, 3) එයා සහෝදරයන්ට උනන්දු කළේ “දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න” කියලයි.—1 තෙස. 5:11.

පාලක මණ්ඩලය සහෝදරයන්ව දිරිගන්වනවා

18. මුල් සියවසේ හිටපු පාලක මණ්ඩලය ෆිලිප්ව දිරිගැන්නුවේ කොහොමද?

18 මුල් සියවසේදී ක්‍රිස්තියානීන් අතරේ පෙරමුණ අරගෙන වැඩ කරපු සහෝදරයන් ඇතුළුව අනිත් හැමෝවම දිරිගන්වන්න යෙහෝවා දෙවි යොදාගත්තේ ඒ කාලේ හිටපු පාලක මණ්ඩලය. උදාහරණෙකට ෆිලිප් සමරිතානුවන්ට යේසුස් ගැන දේශනා කරද්දී පාලක මණ්ඩලය එයාට ඕන කරපු උදව් දුන්නා. එයාලා පාලක මණ්ඩලයේ සාමාජිකයන් වුණ පේතෘස්වයි, යොහන්වයි ෆිලිප් හිටපු තැනට යැව්ව නිසා ඒ දෙන්නාට පුළුවන් වුණා අලුතෙන් ක්‍රිස්තියානීන් වුණ අයට දෙවිගේ බලය දෙන්න කියලා යාච්ඤා කරන්න. (ක්‍රියා 8:5, 14-17) පාලක මණ්ඩලයෙන් ලැබුණ ඒ උදව් නිසා ෆිලිප්ටත් අලුතෙන් සභාවට එකතු වුණ ඒ හැමෝටමත් මොන තරම් දිරිගැන්වීමක් ලැබෙන්න ඇද්ද!

19. පාලක මණ්ඩලයෙන් ලැබුණ ලිපිය කියවද්දී එදා හිටපු ක්‍රිස්තියානීන්ට හැඟුණේ කොහොමද?

19 ඊට ටික කාලෙකට පස්සේ පාලක මණ්ඩලයට සිද්ධ වුණා වැදගත් තීරණයක් ගන්න. ඒ තමයි යුදෙව් නොවන ක්‍රිස්තියානීනුත් මෝසෙස්ගේ නීතියට අනුව චර්මච්ඡේදනය වෙන්න ඕනෙද නැද්ද කියන තීරණය. (ක්‍රියා 15:1, 2) පාලක මණ්ඩලය දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරලා ශුද්ධ ලියවිලි හොඳට අධ්‍යයනය කරලා තීරණය කළා චර්මච්ඡේදනය වෙන එක තවදුරටත් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි කියලා. ඊටපස්සේ එයාලා ඒ තීරණය ගැන විස්තර ඇතුළත් ලිපියක් සහෝදරයන් කීපදෙනෙක්ගේ අතේ සභාවලට යැව්වා. සභාවල අය ඒ ලිපිය කියවලා “එයින් දිරිගැන්වීම් ලබා ප්‍රීතිමත් වුණා.”—ක්‍රියා 15:27-32.

20. (අ) අද ඉන්න පාලක මණ්ඩලය අපි හැමෝවම දිරිගන්වන්නේ කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

20 අදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය බෙතෙල් පවුලේ සාමාජිකයන්ව, පූර්ණකාලීනව දේශනා සේවයේ හවුල් වෙන අයව වගේම අපි හැමෝවමත් දිරිගන්වනවා. මුල් සියවසේ සහෝදරයෝ වගේ අපිත් ඒ දිරිගැන්වීම්වලින් ලබන්නේ ලොකු සතුටක්. සත්‍ය නමස්කාරයෙන් ඈත් වුණ අයව දිරිගන්වන්න පාලක මණ්ඩලය එයාලා වෙනුවෙන්ම ‘ආයෙත් එන්න’ කියන සඟරාව 2015දී නිකුත් කළා. අනිත් අයව දිරිගන්වන වගකීම තියෙන්නේ පෙරමුණ ගන්න සහෝදරයන්ට විතරද? නැත්නම් අපි හැමෝම ඒක කරන්න ඕනෙද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 2 ඡේ. නැත්නම් “දිරිගන්වන්නේ.”