Skip to content

පටුනට යන්න

නිදහස ලබා දෙන දෙවිට සේවය කරන්න

නිදහස ලබා දෙන දෙවිට සේවය කරන්න

“යෙහෝවා දෙවිගේ බලය ඇති තැන නිදහස ඇත.”—2 කොරි. 3:17.

ගීතිකා: 49, 73

1, 2. (අ) පාවුල්ගේ කාලේ හිටපු අය වහල්භාවය, නිදහස වගේ දේවල් ගැන උනන්දු වුණේ ඇයි? (ආ) සැබෑ නිදහස ලැබෙන්නේ කාගෙන් කියලාද පාවුල් කිව්වේ?

රෝම අධිරාජ්‍යයේ ජීවත් වුණ මිනිසුන් තමන්ගේ අධිරාජ්‍යයේ තිබුණ නීති පද්ධතිය ගැන, එයාලා අද්දැක්ක නිදහස ගැන කතා කළේ හරි ආඩම්බරෙන්. ඒත් බර වැඩ කරගන්න ඒ අධිරාජ්‍යය යැපුණේ වහලුන් මත. එක කාලෙක එහේ ජනගහනයෙන් 30%ක්ම හිටියේ වහලුන්. ඒ නිසා රෝම අධිරාජ්‍යයේ ජීවත් වුණ ක්‍රිස්තියානීන් ඇතුළුව එහේ හිටපු හැමෝම වගේ වහල්භාවය, නිදහස කියන විෂයන් ගැන උනන්දු වුණා.

2 පාවුල් එයා ලියපු ලිපිවලත් නිදහස ගැන හුඟක් කතා කළා. හැබැයි එදා හිටපු වැඩිදෙනෙක් කරන්න හැදුවා වගේ සමාජයේ තිබුණ ප්‍රශ්න විසඳන්න පාවුල් හැදුවේ නැහැ. එයා දැනන් හිටියා මිනිස් පාලනයක් මාර්ගයෙන් සැබෑ නිදහස කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසයි එයා සෙසු ක්‍රිස්තියානීන් එක්ක එකතු වෙලා දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට කියලා දෙන්නත් යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම තේරුම්ගන්න එයාලට උදව් කරන්නත් වෙහෙස නොබලා සේවය කළේ. සැබෑ නිදහස ලබාගන්න පුළුවන් කාගෙන්ද කියලා තේරුම්ගන්න පාවුල් ක්‍රිස්තියානීන්ට උදව් කළා. ඔහු මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ බලය ඇති තැන නිදහස ඇත.”—2 කොරි. 3:17.

3, 4. (අ) 2 කොරින්ති 3:17 සඳහන් දේ කියන්න කලින් පාවුල් කතා කළේ මොනවා ගැනද? (ආ) යෙහෝවා දෙවිගෙන් ලැබෙන නිදහස අද්දකින්න අපි මොනවාද කරන්න ඕනේ?

3 පාවුල් කොරින්තිවරුන්ට ලියපු 2වෙනි ලිපියේදී සීනයි කන්දේ මෝසෙස් දෙවිගේ දූතයෙක් ඉදිරියේ පෙනී ඉඳලා ආපහු ආවම වෙච්ච දේ ගැන කතා කළා. ඒ වෙලාවේ මෝසෙස්ගේ මුහුණ දීප්තියෙන් බැබළුණා. ඒක දැක්කාම ඊශ්‍රායෙල්වරු බය වුණා. ඒ නිසා මෝසෙස් එයාගේ මුහුණ වැස්මකින් වහගත්තා. (නික්. 34:29, 30, 33; 2 කොරි. 3:7, 13) “නමුත් කෙනෙක් යෙහෝවා දෙවි වෙතට හැරෙන විට ඒ වැස්ම ඉවත් කරනු ලැබේ” කියලා පාවුල් කිව්වා. (2 කොරි. 3:16) එයා ඒකෙන් අදහස් කළේ මොකක්ද?

4 සීමා මායිම් නැති සම්පූර්ණ නිදහස අද්දකින එකම කෙනා හැම දේකම නිර්මාතෘ වන යෙහෝවා දෙවි කියලා කලින් ලිපියෙන් අපි දැනගත්තා. එහෙමනම් දෙවි ඉදිරියෙත් “දෙවිගේ බලය ඇති තැනත්” නිදහස තියෙනවා කියන දේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒත් ඒ නිදහස අද්දකින්න නම් අපි “දෙවි වෙතට හැරෙන්න” ඕනේ. ඒ කියන්නේ අපි දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඕනෙ කියන එකයි. එදා සීනයි කන්ද ළඟ හිටපු ඊශ්‍රායෙල්වරු දෙවි එයාලව ඊජිප්තුවෙන් නිදහස් කරලා දෙවිගේ සෙනඟ හැටියට තෝරගත්තේ ඇයි කියලා තේරුම්ගත්තේ නැහැ. හරියට එයාලගේ මනස, හදවත වැස්මකින් වහලා තිබුණා වගෙයි. එයාලට ඕනෙ වුණේ ලැබුණ නිදහස එයාලගේ ආශාවන් ඉටු කරගන්න පාවිච්චි කරන්නයි.—හෙබ්‍රෙ. 3:8-10.

5. (අ) දෙවිගේ බලය නිසා අපි නිදහස් වෙලා තියෙන්නේ මොන දේවලින්ද? (ආ) වහල්භාවයේ ඉන්න කෙනෙක්ට නැත්නම් සිරගතව ඉන්න කෙනෙක්ට වුණත් දෙවි ලබා දෙන නිදහස අද්දකින්න පුළුවන් කියලා අපි දන්නේ කොහොමද? (ඇ) අපි බලන ප්‍රශ්න දෙක මොනවාද?

5 යෙහෝවා දෙවිගේ බලය නිසා කෙනෙක් ලබන නිදහස වෙන කිසිම විදිහේ නිදහසක් එක්ක සසඳන්න බැහැ. ඒ නිදහස මිනිසුන්ගේ උත්සාහයෙන් කවදාවත් ලබාගන්න බැහැ. දෙවිගේ බලයට පුළුවන් පාපයේ සහ මරණයේ ග්‍රහණයෙන් අපිව නිදහස් කරන්න. (රෝම 6:23; 8:2) අසත්‍ය උගන්වන ආගම්වලින් අපිව නිදහස් කරන්නත් ඒකට පුළුවන්. ඒක මොන තරම් පුදුමාකාර නිදහසක්ද! වහලෙක් වෙලා ඉන්න නැත්නම් හිරගෙදරක කොටු වෙලා ඉන්න කෙනෙකුට වුණත් ඒ නිදහස අද්දකින්න පුළුවන්. (උත්. 39:20-23) සහෝදරි නැන්සි යුඑන් සහ සහෝදර හැරල්ඩ් කිං ඒ නිදහස අද්දැක්ක දෙන්නෙක්. දෙවිට ළැදිව හිටපු නිසා එයාලට අවුරුදු ගාණක් හිරේ ඉන්න වුණා. ඒත් දෙවිගේ බලයෙන් ලැබෙන නිදහස එයාලා අද්දැක්කා. JW බ්‍රෝඩ්කාස්ටිං එකෙන් අපිට එයාලගේ අද්දැකීම් ගැන දැනගන්න පුළුවන්. (අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා > පීඩා පරීක්ෂා දරාගැනීම යටතේ බලන්න.) දැන් අපි ප්‍රශ්න දෙකකට උත්තර බලමු. (1) දෙවිගේ බලය නිසා ලැබෙන නිදහස අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (2) අපිට තියෙන නිදහස ඥානවන්තව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

දෙවි ලබා දෙන නිදහස අගය කරන්න

6. ඊශ්‍රායෙල්වරු දෙවි ලබා දුන්න නිදහස අගය කළේ නැහැ කියලා පැහැදිලි වුණේ කොහොමද?

6 අපිට වටිනා තෑග්ගක් ලැබුණාම ඒක දුන්න කෙනාව අපි හුඟක් අගය කරනවා. ඒත් ඊශ්‍රායෙල්වරු දෙවි එයාලට දුන්න නිදහස අගය කළේ නැහැ. දෙවි එයාලව ඊජිප්තුවෙන් නිදහස් කරලා මාස කීපයක් යන්නත් කලින් ඊජිප්තුවේ තිබුණ කෑම ගැන හිතහිත එයාලා දුක් වුණා. යෙහෝවා දෙවි දුන්න මන්නා කන්න බැහැ කියලා මැසිවිලි නඟන්න පටන්ගත්තා. ආපහු ඊජිප්තුවට යන්නත් හැදුවා. දෙවිට නමස්කාර කරන්න ලැබුණ නිදහසට වඩා එයාලට වැදගත් වුණේ ඊජිප්තුවේ තිබුණ “මාළු, පිපිඤ්ඤා, කොමඩු, ලීක්ස්, ලූනු, සුදුලූනු” වගේ දේවල්. දෙවි එයාලා ගැන උදහස් වුණ එක පුදුමයක්ද! (ගණන්. 11:5, 6, 10; 14:3, 4) ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

7. 2 කොරින්ති 6:1 පාවුල් දුන්න උපදෙස එයාම අදාළ කරගත්තේ කොහොමද? ඒක අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

7 යෙහෝවා දෙවි ඔහුගේ පුතා මාර්ගයෙන් දුන්න නිදහස ගැන අපිට තියෙන අගය නැති කරගන්න එපා කියලා පාවුල් කිව්වා. (2 කොරින්ති 6:1 කියවන්න.) පාවුල්ට නිතරම දැනුණා හරි දේ කරන්න එයාට ලොකු සටනක් කරන්න වෙනවා කියලා. මොකද එයා පාපයට සහ මරණයට වහල් වෙලයි හිටියේ. ඒ ගැන එයාට දැනුණේ ලොකු වේදනාවක්. ඒත් එයා මෙහෙම කිව්වා. “මා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!” එහෙම කියන්න හේතුව එයා පැහැදිලි කළේ මෙහෙමයි. ‘අප අලුත් නීතියකට එනම්, දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයට යටත්ය. අප ඒ බලයේ ක්‍රියාකාරිත්වයට යටත් වන නිසා ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස අප ජීවමානය. ප්‍රතිඵලයක් ලෙස දැඩි නීතියක් සේ ක්‍රියා කරන පාපයේ හා මරණයේ ග්‍රහණයෙන් අප නිදහස් වී ඇත.’ (රෝම 7:24, 25; 8:2) යෙහෝවා දෙවි පාපයේ සහ මරණයේ වහල්කමින් අපිව නිදහස් කරන්න පියවර අරගෙනයි තියෙන්නේ කියන දේ පාවුල් වගේ අපිත් නිතරම මතක තියාගමු. යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව දුන්න නිසා නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව දෙවිට නමස්කාර කරන්න අපිට පුළුවන්. ඒක කොච්චර සතුටක්ද!—ගීතා. 40:8.

තේරීම් කරන්න තියෙන නිදහස ඔයා පාවිච්චි කරන්නේ දෙවිට සේවය කරන්නද නැත්නම් ඔයා කැමති දේ කරන්නද? (8-10 ඡේද බලන්න)

8, 9. (අ) අපිට තියෙන නිදහස අපි පාවිච්චි කරන්න ඕනෙ විදිහ ගැන පේතෘස් කිව්වේ මොකක්ද? (ආ) නිදහස වැරදි විදිහට පාවිච්චි කරන්න පෙලඹෙන්න පුළුවන් කොහොමද?

8 දෙවි කරපු දේ අපි අගය කරනවා කියලා කියන එක විතරක් මදි. අපිට තියෙන නිදහස අපි වැරදි විදිහට පාවිච්චි නොකර ඉන්නත් ඕනේ. පේතෘස් කිව්වා නපුරු ක්‍රියා වසං කරන්න අපිට තියෙන නිදහස හේතුවක් කරගන්න එපා කියලා. (1 පේතෘස් 2:16 කියවන්න.) ඒ දේ කියවද්දී පාළුකරයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට වුණ දේ මතක් වෙන්නේ නැද්ද? අපි ඉදිරියෙත් හුඟක් අනතුරු තියෙනවා. ඒ නිසා පේතෘස් කියපු දේ අපිටත් අදාළයි. සාතන් සහ ඔහුගේ දුෂ්ට සමාජය හිත ඇදිලා යන ඇඳුම් පැළඳුම්, කෑම බීම, විනෝද වෙන්න දේවල් අපි ඉස්සරහට ගේනවා. ලස්සන අයව යොදාගෙන දැන්වීම් නිර්මාණය කරලා තියෙන්නේ අපිට ඇත්තටම අවශ්‍ය නැති දේවල් වුණත් අත්‍යවශ්‍යයි කියන හැඟීම ඇති කරන විදිහට. ඒ වගේ දේවල් නිසා දෙවි දීලා තියෙන නිදහස වැරදි විදිහට පාවිච්චි කරන්න අපි ලේසියෙන්ම පෙලඹෙන්න පුළුවන්.

9 පේතෘස් දුන්න උපදෙස අධ්‍යාපනය, රැකියාව වගේ ජීවිතේ වැදගත් කාරණාවලටත් බලපානවා. උදාහරණෙකට හොඳ විශ්වවිද්‍යාලයකට යන්න නම් මහන්සි වෙලා ඉගෙනගන්න ඕනෙ කියලා අද සමාජය යෞවනයන්ට දෙන්නේ ලොකු පීඩනයක්. හොඳ රස්සාවක්, හොඳ තනතුරක් ලබාගෙන ගොඩක් සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ ඉහළටම ඉගෙනගත්තොත් විතරයි කියලා හුඟක් අය යෞවනයන්ට කියනවා. පාසැල් අධ්‍යාපයන විතරක් ලබලා රැකියාවක් කරන අයට වඩා උපාධියක් අරන් රැකියාවක් කරන අය හුඟක් සල්ලි හම්බ කරනවා කියලා ඔප්පු කරන්න එයාලා සාක්ෂි පෙන්නයි. තමන්ගේ අනාගතේට බලපාන තීරණ ගන්න වෙද්දී යෞවනයෙක් ඒ වගේ අදහස්වලට ලේසියෙන්ම අහු වෙලා උසස් අධ්‍යාපනය ලබන එක තමයි හොඳම දේ කියලා හිතන්න පුළුවන්. ඒත් එයාලත් එයාලගේ දෙමාපියොත් මතක තියාගන්න ඕනෙ මොකක්ද?

10. පෞද්ගලික කාරණා ගැන තීරණ ගන්න වෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

10 සමහරු හිතනවා ඒ දේවල් පෞද්ගලික කාරණා නිසා එයාලගේ හෘදය සාක්ෂිය වධ දෙන්නේ නැත්නම් එයාලා කැමති ඕනෙම දෙයක් කරන්න එයාලට නිදහස තියෙන්න ඕනෙ කියලා. එයාලට හැඟෙනවා ඇත්තෙත් ‘මට නිදහසක් තියෙන නිසා වෙන කෙනෙකුගේ හෘදය සාක්ෂියට අනුව මාව විනිශ්චය කරන්නේ මොකටද’ කියලයි. (1 කොරි. 10:29) ඇත්ත, අධ්‍යාපනය, රැකියාව වගේ කාරණා ගැන තේරීම් කරන්න අපිට නිදහස තියෙනවා. ඒත් අපි මතක තියාගන්න ඕනෙ අපිට තියෙන නිදහසට සීමාවන් තියෙනවා වගේම අපි ගන්න තීරණවල ප්‍රතිඵල අපිට අද්දකින්න වෙනවා කියලා. පාවුල් මෙහෙම කිව්වේ ඒ නිසයි. “ඕනෑම දෙයක් කිරීමට අවසර තිබුණත් ඒ සෑම දෙයකින්ම ප්‍රයෝජනයක් ලැබෙයි කියා කිව නොහැක. එලෙසම ඕනෑම දෙයක් කිරීමට අවසර තිබුණත් ඒ සෑම දෙයකින්ම අන් අය දිරිගැන්වීමක් ලබන බව කිව නොහැක.” (1 කොරි. 10:23) ඒකෙන් තේරෙනවා පෞද්ගලික දේවල් ගැන තේරීම් කරන්න අපිට තියෙන නිදහස පාවිච්චි කරද්දී අපි හිතන්න ඕනෙ අපි කැමති දේ ගැන විතරක් නෙමෙයි කියලා. මොකද ඊට වඩා වැදගත් පැති තියෙනවා අපිට හිතලා බලන්න.

නිදහස ඥානවන්තව පාවිච්චි කරන්න

11. යෙහෝවා දෙවි අපිව නිදහස් කළේ අපිට මොකක් කරන්න අවස්ථාව දෙන්නද?

11 අපිට තියෙන නිදහස වැරදි විදිහට පාවිච්චි කරන්න එපා කියලා පේතෘස් අනතුරු අඟවද්දී ඒක පාවිච්චි කරන්න ඕනෙ හරි විදිහ ගැනත් එයා කිව්වා. එයා කිව්වේ අපේ නිදහස “දෙවිගේ දාසයන් ලෙස ජීවත් වෙන්න” අපි යොදාගන්න ඕනෙ කියලයි. යෙහෝවා දෙවි ඔහුගේ පුතාව දීලා පාපයේ සහ මරණයේ වහල්කමින් අපිව බේරගත්තේ අපේ මුළු ජීවිතේම දෙවිගේ සේවය වෙනුවෙන් යොදවන්න අපිට අවස්ථාව දෙන්නයි.

12. නෝවායි, එයාගේ පවුලේ අයයි තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

12 අපිට තියෙන නිදහස පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිහ තමයි අපේ කාලය, ශක්තිය උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කරන්න යොදවන එක. එහෙම කරද්දී මේ සමාජය ඉදිරිපත් කරන ඉලක්ක, අපේ ආශාවන් ජීවිතේ වැදගත්ම දේවල් කරගන්න අපි පෙලඹෙන්නේ නැහැ. (ගලා. 5:16) නෝවා ගැනත් එයාගේ පවුලේ අය ගැනත් හිතන්න. එයාලට ජීවත් වෙන්න වුණේ සැහැසිකකම්, අනාචාරය පිරුණු සමාජයක. ඒත් එයාලා ඒ සමාජයේ මිනිසුන් කරපු දේවල් කරන්න ගියේ නැහැ. ඒ වෙනුවට එයාලා කාලය, ශක්තිය යෙදෙව්වේ දෙවි එයාලට දුන්න කාර්යය කරන්නයි. එයාලා නැව හැදුවා. සතුන්ටත් එයාලටත් ඕන කරන කෑම රැස් කළා. ජලගැල්ම ගැන අනිත් අයට දේශනා කළා. “දෙවි අණ කළ එක් දෙයක්වත් අත් නෑර, නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළා.” (උත්. 6:22) ඒ නිසා ඒ දුෂ්ට සමාජය අද්දැක්ක විනාශයෙන් බේරෙන්න නෝවාටත් එයාගේ පවුලේ අයටත් පුළුවන් වුණා.—හෙබ්‍රෙ. 11:7.

13. දෙවි අපිට අණ කරලා තියෙන්නේ මොකක් කරන්න කියලාද?

13 දෙවි අද අපිට අණ කරලා තියෙන්නේ මොකක් කරන්න කියලාද? යේසුස්ගේ අනුගාමිකයන් විදිහට අපි දන්නවා දේශනා කරන්න කියලා දෙවි අපිට ආඥාවක් දීලා තියෙනවා කියලා. (ලූක් 4:18, 19 කියවන්න.) අද ඉන්න වැඩිදෙනෙකුට තේරෙන්නේ නැහැ එයාලා අසත්‍ය උගන්වන ආගම්වලට, ධන සම්පත්වලට, එයාලා ජීවත් වෙන සමාජයට වහල් වෙලා ඉන්නවා කියලා. මොකද ඒක නොතේරෙන තරමට සාතන් එයාලගේ මනස් අන්ධ කරලයි තියෙන්නේ. (2 කොරි. 4:4) නිදහස ලබා දෙන දෙවිව හඳුනගෙන ඔහුට නමස්කාර කරන්න අනිත් අයට උදව් කරන්න යේසුස්ට වගේ අපිටත් අවස්ථාව ලැබිලා තියෙනවා. (මතෙ. 28:19, 20) දේශනා කරද්දී අභියෝගවලටත් මුහුණ දෙන්න වෙනවා. සමහරු දෙවි ගැන දැනගන්න කිසිම කැමැත්තක් නැහැ. තවත් අය කේන්ති අරන් අපිට බණිනවා. ඒත් දේශනා කරන්න කියලා අපිට අණ කරලා තියෙන්නේ යෙහෝවා දෙවි. ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහලා බලමු. ‘මට ලැබිලා තියෙන නිදහස දෙවිට තව වැඩියෙන් සේවය කරන්න යොදාගන්න මට බැරිද?’

14, 15. දෙවිගේ සේවකයන් හුඟදෙනෙක් තීරණය කරලා තියෙන්නේ මොකක් කරන්නද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

14 අද ඉන්න දෙවිගේ සෙනඟගෙන් වැඩිදෙනෙක් මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි කියලා තේරුම් අරන්, එයාලගේ ජීවිත සරල කරගෙන පුරෝගාමි සේවය පටන් අරන් තියෙනවා. (1 කොරි. 9:19, 23) සමහරු එයාලා ඉන්න ප්‍රදේශයේම, තවත් අය ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරනවා. පහුගිය අවුරුදු 5 ඇතුළත 2,50,000ට වැඩිදෙනෙක් පුරෝගාමීන් විදිහට සේවය කරන්න පටන් අරන් තියෙනවා. මේ වෙද්දී ලෝකේ පුරාම ස්ථාවර පුරෝගාමීන් 11,00,000ට වඩා ඉන්නවා. හුඟක් අය එයාලට තියෙන නිදහස ඒ විදිහට දෙවිට සේවය කරන්න යොදවන එක කොච්චර වටිනවාද!—ගීතා. 110:3.

15 එයාලගේ නිදහස ඥානවන්ත විදිහට පාවිච්චි කරන්න එයාලට උදව් වුණේ මොකක්ද? ජෝන් සහ ජූඩිත්ගේ අද්දැකීම බලන්න. එයාලා අවුරුදු 30ක් පුරා විවිධ රටවල පූර්ණකාලීනව සේවය කළා. 1977 පුරෝගාමි පාසැල පටන්ගත්ත කාලේ ශිෂ්‍යයන්ට උනන්දු කළේ ප්‍රචාරකයන් අඩු පළාත්වලට ගිහින් සේවය කරන්න කියලා. ඒ ඉලක්කයට ළං වෙන්න තිබුණ ආසාව නිසා ජෝන් එයාගේ රැකියාව කීප සැරයක්ම වෙනස් කරලා ජීවිතේ සරල කරගත්තා. අන්තිමේදී එයාලට පුළුවන් වුණා වෙන රටකට ගිහින් සේවය කරන්න. එහේදී ආපු අභියෝගවලට මුහුණ දෙන්න දෙවිට යාච්ඤා කරන එක, දෙවි මත රඳා ඉන්න එක එයාලට උදව් වුණා කියලා එයාලා කියනවා. එයාලා පහුගිය අවුරුදු ගාණ පුරාම කරපු සේවය එයාලට උදව් වුණේ කොහොමද? ජෝන් මෙහෙම කියනවා. “මං කරන්නේ ලෝකේ තියෙන හොඳම වැඩේ කියලයි මට දැනුණේ. යෙහෝවා දෙවි මට තව තවත් සැබෑ කෙනෙක් වුණා. ‘දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි’ කියලා යාකොබ් 4:8 තියෙන දේ කොච්චර ඇත්තක්ද කියලා දැන් මට තේරෙනවා. මට ඕනෙ වුණේ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න. දැන් මට ඒක ලැබිලා තියෙනවා.”

16. දහස් ගාණක් එයාලගේ නිදහස ඥානවන්තව පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද?

16 සමහර අයට ජෝන් සහ ජූඩිත් වගේ අවුරුදු ගාණක් පුරෝගාමි සේවය කරන්න පුළුවන්. තවත් අයට තමන් ඉන්න තත්වය නිසා පුරෝගාමි සේවය කරන්න පුළුවන් ටික කාලෙකට විතරයි. හුඟක් අය ලෝකේ පුරාම සිද්ධ වෙන ඉදි කිරීමේ වැඩවලටත් හවුල් වෙනවා. උදාහරණෙකට වෝර්වික්වල තියෙන අපේ ලෝක මූලස්ථානය ඉදි කිරීමේ වැඩවලට සහෝදර සහෝදරියන් 27,000ක් විතර හවුල් වුණා. සමහරු සති 2ක්, තව අය මාස කීපයක්, තවත් අය අවුරුද්දක් හරි ඊට වැඩියෙන් හරි ඉඳලා ඒ සේවයට හවුල් වුණා. වැඩිදෙනෙක් එහෙම ආවේ හුඟක් කැප කිරීම් කරලයි. යෙහෝවා දෙවිට ප්‍රශංසාවත් ගෞරවයත් ගේන්න තමන්ට තියෙන නිදහස පාවිච්චි කරපු ඒ සහෝදර සහෝදරියන් අපි හැමෝටම හොඳ ආදර්ශයක් නෙමෙයිද?

17. අපිට තියෙන නිදහස දැන් අපි ඥානවන්තව පාවිච්චි කළොත් අපිට බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන් මොනවා ගැනද?

17 යෙහෝවා දෙවිව දැන හඳුන ගන්න ලැබුණ එක ගැන, ඔහුට නමස්කාර කරද්දී ලැබෙන නිදහස ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු අගයක්. අපිට ලැබුණ ඒ නිදහස අපි හුඟක් අගය කරනවා කියලා අපි කරන තේරීම්වලින් පෙන්නමු. ඒ නිදහස වැරදි විදිහට පාවිච්චි කරනවා වෙනුවට යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්න ඒ නිදහස පාවිච්චි කරමු. එහෙම කරනවා නම් ‘පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වී, දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට උදා වෙන දවස’ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අපිටත් පුළුවන්.—රෝම 8:21.