Skip to content

පටුනට යන්න

දෙවිට සේවය කරන්න තියෙන ඉලක්කය බොඳ කරගන්න එපා!

දෙවිට සේවය කරන්න තියෙන ඉලක්කය බොඳ කරගන්න එපා!

“ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.”—හිතෝ. 16:3.

ගීතිකා: 135, 144

1-3. (අ) හැම යෞවනයෙක්ම මුහුණ දෙන අභියෝගය මොකක්ද? උදාහරණෙකින් පැහැදිලි කරන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) ඒ අභියෝගයට හොඳින් මුහුණ දෙන්න යෞවනයන්ට පුළුවන් කොහොමද?

හිතන්න, විශේෂ අවස්ථාවකට සහභාගි වෙන්න ඔයාට වෙන නගරෙකට යන්න වෙනවා කියලා. එහෙට යන්න නම් බස් එකේ ගොඩක් දුර යන්න ඕනේ. බස් නැවතුම්පොළට ගියාම ඔයා දකිනවා බස් ගොඩක් නවත්තලා තියෙනවා. සෙනඟත් පිරිලා. ඒත් යන්න ඕනෙ කොහෙටද කියලා ඔයා හොඳින්ම දන්න නිසා හරි බස් එකට නඟින්න ඔයාට පුළුවන්. වැරදි බස් එකකට නැග්ගොත් ඔයාට යන්න ඕනෙ තැනට යන්න බැරි වෙනවා.

2 අද ඉන්න යෞවනයනුත් හරියට බස් නැවතුම්පොළේ ඉන්න මඟීන් වගේ. එයාලටත් ජීවිතේ දුර ගමනක් යන්න තියෙනවා. ඒ ගමනේදී එයාලට තෝරගන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් තීරණ ගන්න තියෙනවා. ඒ නිසා තෝරගන්නේ මොකක්ද ගන්නේ මොන තීරණයද කියලා හිතද්දී එයාලට දැනෙන්නේ හරියට එයාලව කරකවලා අතහැරලා වගේ. ඒත් ජීවිත ගමන ඔයාට යන්න ඕනෙ කොහෙටද කියලා ඔයාට පැහැදිලියි නම් තේරීම් කරන එක අමාරු වෙන්නේ නැහැ. ඇත්තටම ජීවිත ගමන ඔයා යන්න ඕනෙ කොහෙටද?

3 ජීවිත ගමන දෙවි සතුටු වෙන මාර්ගයේ යන්න මේ ලිපියෙන් යෞවනයන්ව දිරිගන්වනවා. එහෙම යන කෙනෙක් අධ්‍යාපනය, රැකියාව, විවාහය වගේ ජීවිතේ හැම කාරණයකදීම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්නවා. දෙවිට තව ළං වෙන්න උදව් වෙන ඉලක්ක තියලා ඒවා ජය ගන්නත් වෑයම් කරනවා. දෙවි සතුටු වෙන මාර්ගයේ යන්න උත්සාහ කරන යෞවනයෙක්ට ජීවිතේ සාර්ථක කරගන්න යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—හිතෝපදේශ 16:3 කියවන්න.

ඔයාට ඉලක්ක තියෙන්න ඕනෙ ඇයි?

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 තව වැඩියෙන් දෙවිව සතුටට පත් කරන්න අපි ඉලක්ක තියාගන්න එක හොඳ දෙයක්. ඒ ඇයි? ඒකට හේතු තුනක් බලමු. මුල් හේතු දෙකෙන් ඔයාට පැහැදිලි වෙයි ඒ වගේ ඉලක්ක තියලා ඒවා ජය ගන්න උත්සාහ කරද්දී දෙවිත් එක්ක ඔයාට තියෙන බැඳීම තව ශක්තිමත් වෙන්නේ කොහොමද කියලා. තුන්වෙනි හේතුවෙන් ඔයා දකියි යෞවන කාලේදීම ඒ වගේ ඉලක්ක තියන එක කොච්චර වටිනවාද කියලා.

5. අපි දෙවි සතුටු වෙන ඉලක්ක තියාගන්න ඕනෙ ප්‍රධානම හේතුව මොකක්ද?

5 ඔයා ඉලක්ක තියාගන්න ඕනෙ ප්‍රධානම හේතුව තමයි දෙවි ඔයාට පෙන්නලා තියෙන ආදරේට, ඔහු ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල්වලට ඔහුට ස්තුති කරන්න ඒකෙන් ඔයාට පුළුවන් වෙන එක. ගීතිකාකරු මෙහෙම කිව්වා. ‘ස්තුති ප්‍රශංසා ලැබීමට යෙහෝවා දෙවි වටින්නේය. දෙවියනි, ඔබේ ක්‍රියා දැක මම සතුටට පත් වුණෙමි. ඔබේ මහත් බලයෙන් ඔබ කළ ක්‍රියා නිසා මම ප්‍රීති ඝෝෂා නඟමි.’ (ගීතා. 92:1, 4) දෙවි ඔයාට කොයි තරම් දේවල් දීලා තියෙනවාද! ඔයාට ජීවිතය දුන්නා. දෙවි ගැන දැනගන්න අවස්ථාව දුන්නා. බයිබලය, සභාව, සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව දුන්නා. දෙවි සතුටු වෙන ඉලක්ක ඔයා තියාගද්දී දෙවි දීපු හැම දේම ඔයා අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන්. දෙවිට තවත් ළං වෙන්න ඒ අගය ඔයාව පොලඹවයි.

6. (අ) දෙවි සතුටු වෙන ඉලක්ක තියාගද්දී දෙවි එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් වෙන්නේ කොහොමද? (ආ) පොඩි වයසේදීම තියන්න පුළුවන් ඉලක්ක මොනවාද?

6 ඔයා ඉලක්ක තියාගන්න ඕනෙ දෙවෙනි හේතුව තමයි ඒවාට ළං වෙන්න ඔයා පියවර ගද්දී දෙවි සතුටු වෙන දේවල් හුඟක් කරන්න ඔයාට පුළුවන් වෙන එක. එතකොට ඔයා දෙවිට තවත් ළං වෙනවා. පාවුල් මෙහෙම කිව්වා. “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.” (හෙබ්‍රෙ. 6:10) ඉලක්ක තියාගන්න ඔයා තාම පොඩි වැඩියි කියලා හිතන්න එපා. මේ අද්දැකීම් බලන්න. විශ්වාසවන්ත අයගේ ජීවිත කතා කියවන්න ඉලක්කයක් තියාගද්දී ක්‍රිස්ටීන්ට වයස 10යි. වයස 12දී ටෝබි ඉලක්කයක් තියාගත්තා බව්තීස්ම වෙන්න කලින් මුළු බයිබලේම කියවන්න. බව්තීස්ම වෙද්දී මැක්සිම්ට වයස 11යි. එයාගේ නංගි නෙයෝමිට වයස 10යි. ඒ දෙන්නාම ඉලක්කයක් තියාගත්තා බෙතෙල් සේවය කරන්න. ඒ ඉලක්කය මතකයේ තියාගන්න ඕනෙ නිසා බෙතෙල් අයදුම්පතක් ගෙදර බිත්තියක ගැහුවා. ඔයාට තියාගන්න පුළුවන් මොන වගේ ඉලක්කද?—ෆිලිප්පි 1:10, 11 කියවන්න.

7, 8. (අ) ඉලක්කයක් තියෙද්දී තීරණ ගන්න පහසුයි කියන්නේ ඇයි? (ආ) එක යෞවනියක් විශ්වවිද්‍යාලයට නොයා ඉන්න තීරණය කළේ ඇයි?

7 යෞවන කාලේදීම ඉලක්ක තියාගන්න ඕනෙ තුන්වෙනි හේතුව තමයි හරි තීරණ ගන්න ඒක උදව් වෙන එක. ලබන අධ්‍යාපනය, ඉදිරියේදී කරන රස්සාව වගේ හුඟක් තීරණ යෞවනයෙක්ට ගන්න වෙනවා. ඒ තීරණ හරියට දුර ගමනක් යද්දී හම්බ වෙන මංසන්ධි වගේ. යන්න ඕනෙ කොහෙටද කියලා හරියටම දන්නවා නම් තෝරගන්න ඕනෙ මොන පාරද කියලා තීරණය කරන්න ලේසියි. ජීවිත ගමනේදී තීරණ ගන්න වෙද්දීත් ඔයාට නිශ්චිත ඉලක්කයන් තියෙනවා නම් හරි තීරණ ගන්න ලේසියි. හිතෝපදේශ 21:5 මෙහෙම කියනවා. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.” පොඩි වයසේදීම ඉලක්ක තියලා දේවල් සැලසුම් කරගද්දී ඒ ඉලක්ක ඉක්මනින්ම ජය ගන්න පුළුවන්.

8 ඩැමරිස් පාසැල් ජීවිතේ අවසන් කළේ ඉහළින්ම පාස් වෙලා. ඒ නිසා නීතිය උගන්වන විශ්වවිද්‍යාලයකට යන්න එයාට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒත් පොඩි වයසේ ඉඳන්ම ඩැමරිස්ගේ ඉලක්කය වුණේ පුරෝගාමි සේවය කරන එක. ඒ නිසා සතියට දවස් කීපයක් වැඩ කරන්න පුළුවන් රස්සාවකට යන්න එයා තීරණය කළා. එයා මෙහෙම කියනවා. “පුරෝගාමි සේවේ කරන්න නම් මං තෝරගන්න ඕනෙ සතියට දවස් දෙක තුනක් කරන්න පුළුවන් රස්සාවක්. නීති උපාධියක් ගත්තොත් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් වුණත් සතියට දවස් දෙක තුනක් කරන්න පුළුවන් රස්සාවක් හොයාගන්න අමාරුයි.” මේ වෙද්දී ඩැමරිස් පුරෝගාමි සේවය පටන් අරන් අවුරුදු 20ක්ම ගිහින්. පොඩි කාලේදී ඉලක්ක තියලා ඒවාට ළං වෙන්න එයා ගත්ත තීරණ ඥානවන්තයි කියලා එයා හිතනවාද? ඔව්. “වැඩ කරන තැනදී මට නිතරම වගේ නීතිඥයන්ව හම්බ වෙනවා. ඒ හුඟක් අය එයාලගේ රස්සාව කරන්නේ සතුටින් නෙමෙයි. මං නීති උපාධියක් ගත්තා නම් අද මගේ තත්වෙත් ඒකමයි. ඒත් පුරෝගාමි සේවය කරන්න මං ගත්ත තීරණය නිසා අද මං අද්දකින්නේ ලොකු සතුටක්” කියලා ඩැමරිස් කියනවා.

9. අපේ යෞවනයන්ව අපි අගය කරන්න ඕනෙ ඇයි?

9 ලෝකේ පුරාම ඉන්න යෞවනයන් දහස් ගාණක් ජීවිතේ මුල් තැන යෙහෝවා දෙවිට දීලා තියෙනවා. ඒ නිසයි දෙවි සතුටු වෙන ඉලක්ක තියලා ඒවාට ළං වෙන්න එයාලා ලොකු වෑයමක් ගන්නේ. ඒ වගේ යෞවනයන්ව අපි අගය කරන්න ඕනේ. එයාලා ජීවිතේ සතුටින් ගත කරන අතරේ ජීවිතේ හැම කාරණයකදීම දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදින්නත් ඉගෙනගන්නවා. බයිබලේ මෙහෙම කියනවා. “මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” (හිතෝ. 3:5, 6) යෞවනයෙනි, යෙහෝවා දෙවි ඔයාලට හුඟක් ආදරෙයි. දෙවිට ඔයාලව වටිනවා. ඔහු ඔයාලව ආරක්ෂා කරලා ඔයාලට මඟ පෙන්නනවා. ආශීර්වාදත් කරනවා.

සාක්ෂි දරන්න හොඳින් සූදානම් වෙන්න

10. (අ) දේශනා සේවයට අපේ ජීවිතේ වැදගත් තැනක් දෙන්න ඕනෙ ඇයි? (ආ) ඔයාගේ විශ්වාසයන් තව හොඳින් අනිත් අයට පැහැදිලි කරන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?

10 දෙවිව වැඩියෙන් සතුටු කරන්න ඔයා ඉලක්ක තියද්දී දෙවි ගැන අනිත් අයට කියන්නත් ඔයා පෙලඹෙයි. ‘අවසානයට කලින් ශුභාරංචිය දේශනා කළ යුතුයි’ කියලා යේසුස් කිව්වා. (මාක් 13:10) දේශනා සේවය අපි මේ කාලේ කරන්න ඕනෙ වැදගත්ම වැඩක්. ඒක කල් දාන්න බැහැ. තව වැඩියෙන් දේශනා සේවයේ හවුල් වෙන්න හරි පුරෝගාමි සේවය කරන්න හරි ඉලක්කයක් තියාගන්න ඔයාට පුළුවන්ද? සමහරවිට සේවයේ යද්දී ඔයා සතුටක් ලබන්නේ නැතුව ඇති. එහෙමනම් ඔයාගේ විශ්වාසයන් තව හොඳින් පැහැදිලි කරන්න ඉගෙනගන්න පුළුවන්ද? ඒකට දේවල් 2ක් උදව් වෙනවා. (1) හොඳින් සූදානම් වෙන එක. (2) දෙවි ගැන අනිත් අයට කියන්න ඔයාට තියෙන අධිෂ්ඨානය අත්හරින්නේ නැතුව ඉන්න එක. එතකොට සේවයෙන් සතුටක් ලබන්න ඔයාට පුළුවන් වෙයි.

යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියන්න ඔයා සූදානම් වෙන්නේ කොහොමද? (11 සහ 12 ඡේද බලන්න)

11, 12. (අ) දෙවි ගැන අනිත් අයට කියන්න සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (ආ) එක යෞවනයෙක් සාක්ෂි දරන්න ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කොහොමද?

11 මුලින්ම ඔයාට පුළුවන් ඉස්කෝලේ ළමයි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න සූදානම් වෙන්න. උදාහරණෙකට ඔයාගේ යාළුවෙක් අහනවා “ඇයි ඔයා දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ” කියලා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න උදව් වෙන ලිපි jw.org වෙබ් අඩවියේ තියෙනවා. බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බැලුවොත් “දෙවියන්ව විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?” කියන වැඩ පිටුව ඔයා දකියි. ඒකේ තියෙන ප්‍රශ්නවලට උත්තර ලියද්දී ඔයාගේ යාළුවාට උත්තර දෙන්න ඕනෙ කොහොමද කියලා ඔයාට අදහසක් එයි. ඔයාට පාවිච්චි කරන්න පුළුවන් බයිබල් පද තුනක් ඒ වැඩ පිටුවේ තියෙනවා. ඒ හෙබ්‍රෙව් 3:4; රෝම 1:20 සහ ගීතාවලිය 139:14. ඒ වගේ තවත් ප්‍රශ්නවලට උත්තර දෙන්න උදව් වෙන වැඩ පිටු එතන තියෙනවා.—1 පේතෘස් 3:15 කියවන්න.

12 jw.org වෙබ් අඩවිය බලන්න කියලත් පන්තියේ යාළුවන්ට කියන්න. ලූකා එහෙම කළා. විවිධ ආගම් ගැන එයාලට පන්තියේ පාඩමක් තිබුණා. ඒත් අච්චු පොතේ සාක්ෂිකරුවන් ගැන තිබුණ සමහර තොරතුරු වැරදියි කියලා ලූකා දැක්කා. මුලින් පොඩි බයක් දැනුණත් එයා ගුරුතුමියගෙන් ඇහුවා ඒ තොරතුරු වැරදි ඇයි කියලා එයා පැහැදිලි කරන්නද කියලා. ගුරුතුමිය ඒකට ඉඩ දුන්නාම එයා එයාගේ විශ්වාසයන් ගැන පැහැදිලි කරලා අපේ වෙඩ් අඩවිය පන්තියේ හැමෝටම පෙන්නුවා. ඊටපස්සේ ගුරුතුමිය ගෙදර වැඩක් විදිහට අපේ වෙබ් අඩවියේ තියෙන “චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?” කියන කාටූන් එක බලන්න කියලා පන්තියේ ළමයින්ට කිව්වා. එදා ලූකාට කොයි තරම් සතුටක් දැනෙන්න ඇද්ද!

13. සාක්ෂි දරද්දී අභියෝග ආවත් අපි අත් නෑර ඒක කරන්න ඕනෙ ඇයි?

13 මොන අභියෝගය ආවත් ඔයාගේ ඉලක්කය අත්හරින්න එපා. (2 තිමෝ. 4:2) රැකියාව කරන තැන ඉන්න හැමෝටම සාක්ෂි දරනවා කියලා ඉලක්කයක් තියාගද්දී කැතරිනාට වයස 17යි. ඒත් සාක්ෂි දරද්දී එතන හිටපු එක් කෙනෙක් කීප වතාවක්ම එයාට අපහාස කළා. එහෙම වුණා කියලා කැතරිනා එයාගේ ඉලක්කය අත්හැරියේ නැහැ. එයාගේ හොඳ හැසිරීම එයාත් එක්ක වැඩ කරපු හාන්ස්ගේ අවධානයට ලක් වුණා. ඒ නිසා හාන්ස් අපේ ප්‍රකාශන කියවන්න පටන්ගත්තා. පස්සේ එයා බයිබල් පාඩමක් කරලා, බව්තීස්ම වුණා. කැතරිනා ඒ කිසිම දෙයක් ගැන දැනන් හිටියේ නැහැ. මොකද ඒ වෙද්දී එයා වෙන පළාතක පදිංචියට ගිහිල්ලයි තිබුණේ. අවුරුදු 13කට පස්සේ කැතරිනා හිටපු සභාවට දේශනයක් දෙන්න ආපු සහෝදරයා හාන්ස් කියලා දැක්කාම එයාට හිතාගන්නත් බැරුව ගියා. එයා එක්ක වැඩ කරන හැමෝටම අත් නෑර දේශනා කරන්න ඉලක්කයක් තියාගත්ත එක ගැන එයාට ලොකු සතුටක් දැනුණා.

ඉලක්කය බොඳ කරගන්න එපා

14, 15. (අ) යාළුවෝ කරන දේවල් කරන්න කියලා ඔයාට බල කරද්දී ඔයා මතක තියාගන්න ඕනෙ මොකක්ද? (ආ) ඒ පීඩනයට අහු නොවී ඉන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

14 ඉලක්ක තියලා ඒවා ජය ගන්න උත්සාහ කරන එක කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්න මේ වෙන කල් අපි බලපු තොරතුරු ඔයාට උදව් වෙන්න ඇති. ඒත් ඔයාගේ වයසේ ඉන්න හුඟක් යෞවනයන්ට ඕනෙ ජීවිතේ විනෝදයෙන්ම ගත කරන්න. එයාලත් එක්ක එකතු වෙන්න කියලා ඔයාටත් කතා කරයි. ඒ නිසා දෙවිව සතුටු කරන්න ඔයාට තියෙන ඉලක්කයන් වෙනස් කරන්න ඔයා ලෑස්ති නැහැ කියලා එයාලට පැහැදිලිව පෙන්නන්න. ඔයාට තියෙන ඉලක්කයන් බොඳ කරන්න අනිත් අයට ඉඩ දෙන්න එපා. ලිපියේ මුලින් කතා කරපු බස් නැවතුම්පොළේ ඔයා ඉද්දී ඔයා දකිනවා සමහර බස්වල ඉන්න අය හරිම විනෝදයෙන් ඉන්නවා. දැන් ඔයා ඔයාට යන්න ඕනෙ තැන අමතක කරලා ඒ බස් එකකට නඟිනවාද?

15 යාළුවෝ එයාලා කරන දේවල්ම කරන්න කියලා ඔයාට බල කරද්දී ඒකට අහු නොවී ඉන්න පුළුවන් කොහොමද? යාළුවන්ගෙන් පීඩනයක් එන්න පුළුවන් අවස්ථා හඳුනගෙන ඒවා මඟහරින්න. (හිතෝ. 22:3) වැරදි දේවල් කළාම ලැබෙන ප්‍රතිඵල ගැන හිතන්න. (ගලා. 6:7) අනිත් අයගේ උපදෙස් ඔයාට ඕනෙ කියලා පිළිගන්න. ඔයාගේ දෙමාපියන්, සභාවේ ඉන්න අවබෝධයෙන් වැඩ කරන අය කියන දේවලට ඇහුම්කන් දෙන්න.—1 පේතෘස් 5:5, 6 කියවන්න.

16. නිහතමානීව උපදෙස් පිළිගන්න එකේ තියෙන වැදගත්කම ක්‍රිස්ටොෆර්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

16 ක්‍රිස්ටොෆර් බව්තීස්ම වුණ අලුතම ජිම් එකකට යන්න පටන්ගත්තා. එතන හිටිය එයාගේ වයසේ අය එයාට කිව්වා එයාලගේ ක්‍රීඩා සමාජයට බැඳෙන්න කියලා. ක්‍රිස්ටොෆර් ඒ ගැන වැඩිමහල්ලෙක් එක්ක කතා කළාම තරඟකාරිත්වය වගේ අනතුරුදායක පැති ගැන හිතලා බලන්න කියලා වැඩිමහල්ලා එයාට කිව්වා. ඒත් ක්‍රිස්ටොෆර් ඒ ක්‍රීඩා සමාජයට බැඳුණා. ටික කාලයක් යද්දී එයාට තේරුණා ඒ ක්‍රීඩාව හරිම අනතුරුදායකයි කියලා. එයා ආයෙත් වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කළාම එයාලා බයිබලෙන් එයාට මඟ පෙන්වීම් දුන්නා. ක්‍රිස්ටොෆර් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි වැඩිමහල්ලන් මාර්ගයෙන් හොඳ මඟ පෙන්වීම් මට දුන්නා. මුලින් අදාළ කරගත්තේ නැතත් ඒවා හොඳ උපදෙස් කියලා පස්සේ මට තේරුණා.” ඔයාට ලැබෙන උපදෙස් පිළිගන්න තරම් ඔයා නිහතමානියිද?

17, 18. (අ) යෞවනයන් කොයි වගේ ජීවිතයක් ගත කරනවාටද දෙවි කැමති? (ආ) වැඩිහිටි වයසට ආවාම ඔයා ගත්ත තීරණ ගැන පසුතැවිලි නොවී ඉන්න නම් ඔයා දැන් කරන්න ඕනෙ මොනවාද?

17 බයිබලේ මෙහෙම කියනවා. “තරුණය, ඔබේ යෞවන කාලය සතුටින් ගත කරන්න. යොවුන් වියේදී ප්‍රීති වන්න.” (දේශ. 11:9) යෞවන වයසේදී ඔයා සතුටින් ඉන්නවා දකින්නයි යෙහෝවා දෙවි කැමති. ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් විදිහක් ගැන මේ ලිපියෙන් ඔයා දැනගත්තා. ඒ දෙවි සතුටු වෙන ඉලක්ක තියලා ඒවා ජය ගන්න වෑයම් කරන එක. දේවල් සැලසුම් කරද්දී, තීරණ ගද්දී දෙවි දෙන උපදෙස් අදාළ කරගන්න එකත් ඒකට ඇතුළත්. ඉලක්ක තියලා ඒවා ජය ගන්න ඔයා ඉක්මනින් පටන්ගන්න තරමට දෙවිගේ මඟ පෙන්වීම්, ආරක්ෂාව, ආශීර්වාද ඔයාට ඉක්මනින්ම අද්දකින්න පුළුවන් වෙයි. “යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න” කියන උපදෙස හිතට ගන්න. (දේශ. 12:1) දෙවි බයිබලේ මාර්ගයෙන් ඔයාට දීලා තියෙන මඟ පෙන්වීම් ගැන නිතරම හිතන්න.

18 යෞවනයන් හැමදාටම යොවුන් වියේ ඉන්නේ නැහැ. ඉක්මනින්ම වැඩිහිටියන් වෙනවා. යෞවන වයසේදී වැරදි දේවල් පස්සේ ගිය එක ගැන, කිසිම ඉලක්කයක් නැතුව ඔහේ ජීවිතේ ගත කරපු එක ගැන වැඩිහිටි වයසට ආවාම හුඟදෙනෙක් පසුතැවෙනවා. ඒත් ඔයා දෙවි සතුටු වෙන ඉලක්ක තියලා ඒවා ජය ගන්න උත්සාහ කරනවා නම් ඔයා ගත්ත තීරණ ගැන වැඩිහිටියෙක් වුණාමත් ඔයාට සතුටු වෙන්න පුළුවන්. මිර්යානාට හැඟෙන්නේ එහෙමයි. යෞවන කාලේදී එයා ක්‍රීඩාවට කොච්චර දක්ෂද කියනවා නම් ශීත ඔලිම්පික් තරඟාවලියට හවුල් වෙන්නත් එයාට අවස්ථාව ලැබුණා. ඒත් එයා තෝරගත්තේ පූර්ණකාලීන සේවය. අවුරුදු 30කට වැඩි කාලයක් පුරා එයා තාමත් පුරෝගාමි සේවය කරනවා. එයා මෙහෙම කියනවා. “ප්‍රසිද්ධිය, පිළිගැනීම, බලතල, සල්ලි වගේ තාවකාලික දේවල් පස්සේ දුවන එක කිසි තේරුමක් නැහැ. දෙවිට සේවය කරන්න, පුංචි විදිහකින් හරි අනිත් අයට දෙවිට ළං වෙන්න උදව් කරන්න අපිට ඉලක්කයක් තියෙනවා නම් ඒක කවදාවත් වැඩක් නැති ඉලක්කයක් වෙන්නේ නැහැ.”

19. යෞවන වයසේදීම දෙවිට සේවය කරන්න ඉලක්ක තියාගන්න එක හොඳ දෙයක් කියන්නේ ඇයි?

19 යෞවනයෙනි, අභියෝගවලට මුහුණ දුන්නත් ඔයාලා දිගටම දෙවිට කරන සේවයට අවධානය දෙන නිසා අපි ඔයාලව අගය කරනවා. දෙවිව වැඩියෙන් සතුටු කරන්න ඔයාලට ඉලක්කයන් තියෙනවා. දේශනා සේවය ඔයාලා සලකන්නේ වැදගත් දෙයක් විදිහට. ඔයාලගේ ඉලක්කවලින් මනස වෙනතකට යොමු කරන්න ඔයාලා කිසිම දේකට ඉඩ දෙන්නේ නැහැ. දෙවිව සතුටු කරන්න ඔයාලා ගන්න උත්සාහය කවදාවත් අපතේ යන්නේ නැහැ. ඔයාලට ආදරේ කරන, සහය වෙන සහෝදරයන්ගෙන් ඔයාලා වට වෙලා ඉන්නවා. ඒ නිසා බය නැතුව ඔයාලගේ අනාගතය යෙහෝවා දෙවිට භාර දෙන්න. එතකොට ඔයාලගේ සැලසුම් අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි.