Skip to content

පටුනට යන්න

“වැඩි වැඩියෙන්” එකිනෙකාව දිරිගන්වමු

“වැඩි වැඩියෙන්” එකිනෙකාව දිරිගන්වමු

‘අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.’—හෙබ්‍රෙ. 10:24, 25.

ගීතිකා: 90, 87

1. “වැඩි වැඩියෙන්” එකිනෙකාව දිරිගන්වන්න කියලා පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට කිව්වේ ඇයි?

මුල් සියවසේ හිටපු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පාවුල් මෙහෙම කිව්වා. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙ. 10:24, 25) පාවුල් එහෙම කියන්න එක හේතුවක් අවුරුදු 5ක් යන්නත් කලින් යෙරුසලමේ හිටපු ක්‍රිස්තියානීන්ට පැහැදිලි වුණා. එයාලා දැක්කා යෙරුසලමේ විනාශය ගැන යෙහෝවා දෙවි කියපු අනාවැකි ඉටු වෙන දවස අත ළඟටම ඇවිත් කියලා. ඒ නිසා යේසුස් කියපු විදිහටම නගරය අත්හැරලා යන්න ඕනෙ කියලා එයාලා තේරුම්ගත්තා. (ක්‍රියා 2:19, 20; ලූක් 21:20-22) දෙවිගේ මහත් දවස යෙරුසලමේ වැසියන් අද්දැක්කේ ක්‍රි.ව. 70දී රෝමවරුන් යෙරුසලම විනාශ කරද්දියි.

2. එකිනෙකාව දිරිගන්වන එක ගැන අපි තව වැඩියෙන් උනන්දු වෙන්න ඕනෙ ඇයි?

2 අපි ඉන්නෙත් එදා හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් හිටියා වගේම කාලෙක. ‘යෙහෝවා දෙවිගේ භයානක, බිය උපදවන දවස’ අත ළඟටම ඇවිත්. (යෝවෙ. 2:11) ‘ඒ මහත් දවස ළං වී තිබේ. ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.’ (ශෙප. 1:14) “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවන්න” ලොකු වෑයමක් ගන්න ඕනෙ ඒ නිසයි. (හෙබ්‍රෙ. 10:24) කලින්ටත් වඩා අපේ සහෝදර සහෝදරියන් ගැන දැන් අපි හොයලා බලන්න ඕනේ. එහෙම කරනවා නම් එයාලට දිරිගැන්වීම් ඕනෙම කරන වෙලාවලදී එයාලට ශක්තියක් වෙන්න අපිට පුළුවන්.

දිරිගැන්වීම් ඕනෙ කරන්නේ කාටද?

3. දිරිගන්වන එක ගැන පාවුල් කිව්වේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.” (හිතෝ. 12:25) අපි හැමෝටම දිරිගැන්වීම් ඕනේ. අනිත් අයව දිරිගන්වන වගකීම තියෙන අයටත් දිරිගැන්වීම් ඕනේ. රෝමයේ හිටපු සහෝදරයන්ට පාවුල් මෙහෙම කිව්වා. “ඔබව දැකගැනීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි. මාගේ එකම ආශාව නම් දෙවි සමඟ ඇති ඔබේ බැඳීම තවත් ශක්තිමත් කිරීමට ඔබට යම් දිරිගැන්වීමක් ලබා දීමය. අපට එකිනෙකාව දිරිගැන්වීමටත් එමගින් හැකියාව ලැබේ. එවිට ඔබ මාගේ විශ්වාසයෙනුත් මා ඔබේ විශ්වාසයෙනුත් දිරිගැන්වීමක් ලබනු ඇත.” (රෝම 1:11, 12) ඒකෙන් තේරෙන්නේ පාවුල්ටත් දිරිගැන්වීම් ඕනෙ වුණා කියලයි.—රෝම 15:30-32 කියවන්න.

4, 5. අපිට දිරිගන්වන්න පුළුවන් කාවද? ඒ ඇයි?

4 අපිටත් පුළුවන් පූර්ණකාලීනව සේවය කරන පුරෝගාමීන්ව දිරිගන්වන්න. එයාලගෙන් හුඟදෙනෙක් ඒ සේවය කරන්නේ එයාලා ආස කරන දේවල් කැප කරලයි. මිෂනාරිවරුන්, බෙතෙල් සේවකයන්, චාරිකා සේවකයන් සහ එයාලගේ භාර්යාවන්, ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලවල සේවය කරන අය ඒ සේවය කරන්න හුඟක් කැප කිරීම් කරනවා. ඒ නිසා අපි එයාලවත් දිරිගන්වන්න ඕනේ. කාලයක් පූර්ණකාලීන සේවය කරපු, ඒ දේ කරන්න තාමත් ආස වුණත් දැන් ඒ සේවය කරන්න බැරි හුඟදෙනෙකුත් ඉන්නවා. අපේ දිරිගැන්වීම් එයාලටත් ඕනේ.

5 දිරිගැන්වීම් ඕනෙ කරන්නේ තව මොන වගේ අයටද? “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” එක්ක විතරක් විවාහ වෙන්න කියලා දෙවි දුන්න ආඥාවට කීකරු වෙන්න තියෙන වුවමනාව නිසා සමහරු විවාහ නොවී ඉන්නවා. ඒ වගේ සහෝදර සහෝදරියන්ට අපේ දිරිගැන්වීම් ඕනේ. (1 කොරි. 7:39) භාර්යාවන්ටත් දිරිගැන්වීම් ඕනේ. ස්වාමිපුරුෂයා භාර්යාවට ආදරෙයි කියලත් එයා කරන දේවල් අගය කරනවා කියලත් කියද්දී භාර්යාවට ඒක ලොකු දිරිගැන්වීමක්. (හිතෝ. 31:28, 31) විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන අයටත් අසනීපවලින් දුක් විඳින අයටත් දිරිගැන්වීම් ඕනේ. (2 තෙස. 1:3-5) ඒ හැම විශ්වාසවන්තව සේවකයෙක්ටම අවශ්‍ය කරන සැනසිල්ල යෙහෝවා දෙවිත් යේසුත් ලබා දෙනවා කියලා පොරොන්දු වෙනවා.—2 තෙසලෝනික 2:16, 17 කියවන්න.

වැඩිමහල්ලන් අපිව දිරිගන්වනවා

6. යෙසායා 32:1, 2 කියන විදිහට වැඩිමහල්ලන්ගේ වගකීම මොකක්ද?

6 යෙසායා 32:1, 2 කියවන්න. අපි ජීවත් වෙන්නේ අසීරු කාලෙක. ඒ නිසා ලේසියෙන්ම අපි අධෛර්යය වෙන්න පුළුවන්. ඒත් යේසුස් ඔහුගේ අභිෂේක ලත් සහෝදරයන් සහ වෙනත් බැටළුවන් අතරින් පත් කරලා ඉන්න “පාලකයන්” මාර්ගයෙන් අපිට දිරිගැන්වීම් දෙනවා. සභාව බලාගන්න ඉන්න වැඩිමහල්ලන්ව “පාලකයන්” විදිහට හඳුන්වලා තියෙන එකෙන් අදහස් කරන්නේ නැහැ එයාලා ලෝකේ ඉන්න පාලකයන් වගේ තමන් යටතේ ඉන්න අයට දැඩි නීති දාලා, එයාලට බලපෑම් කරනවා කියලා. ඒ වෙනුවට පාවුල් කිව්වේ වැඩිමහල්ලන් ‘අපේ ප්‍රීතියට දායක වන අපි එක්ක හවුලේ සේවය කරන අය’ කියලයි. එයාලට ඕනෙ විශ්වාසවන්තව ඉන්න අපිට උදව් කරන්න.—2 කොරි. 1:24.

7, 8. කියන කරන දේවලින් අනිත් අයව දිරිගන්වන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

7 වැඩිමහල්ලන්ට පුළුවන් පාවුල්ව ආදර්ශයට ගන්න. පාවුල් හැම වෙලේම උත්සාහ කළේ සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න. විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්න තෙසලෝනික සභාවේ අයට පාවුල් මෙහෙම කිව්වා. “ඔබ අපට ඉතා හිතවත් වූ නිසා ගැඹුරු සෙනෙහසක් ඇතුව ඔබට දෙවිගේ ශුභාරංචිය ලබා දීමට පමණක් නොව ඔබ වෙනුවෙන් අපගේ ජීවිත පවා දීමට අපි සතුටු වූයෙමු.”—1 තෙස. 2:8.

8 වැඩිමහල්ලන් දිරිගන්වන විදිහට කතා කරලා විතරක් මදි. පාවුල් එෆීසයේ හිටපු වැඩිමහල්ලන්ට කිව්වේ මෙහෙමයි. ‘යම් උපකාර අවශ්‍ය අයට වෙහෙස මහන්සිය නොබලා උපකාර කරන්න. ස්වාමීන් වන යේසුස් පැවසූ දේ නිතරම මතක තබාගන්න. ඔහු පැවසුවේ, “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියායි.’ (ක්‍රියා 20:35) පාවුල් ‘සහෝදරයන් වෙනුවෙන් එයාට තිබුණ හැම දෙයක්ම, එයාගේ ජීවිතය පවා දෙන්න සතුටු වුණා.’ (2 කොරි. 12:15) එයා දේවල් කරපු විදිහෙන් ඒක පැහැදිලිව දකින්න තිබුණා. වැඩිමහල්ලොත් එයාලා කියන දේවලින් විතරක් නෙමෙයි එයාලා කරන දේවලිනුත් සහෝදරයන්ව දිරිගන්වන්න, එයාලට සැනසීමක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම කරනවා නම් එයාලා සහෝදරයන් ගැන සැලකිලිමත් කියලා සහෝදරයන්ට දැනෙයි.—1 කොරි. 14:3.

9. උපදෙස් දෙද්දී දිරිගන්වන විදිහට ඒක කරන්න පුළුවන් කොහොමද?

9 සහෝදරයන්ගේ විශ්වාසය ශක්තිමත් කරන්න සමහර වෙලාවට එයාලට උපදෙස් දෙන්නත් වැඩිමහල්ලන්ට සිද්ධ වෙනවා. ඒක දිරිගන්වන විදිහට කරන්න පුළුවන් කොහොමද කියලා බයිබලෙන් ඉගෙනගන්න පුළුවන්. කුඩා ආසියාවේ තිබුණ සමහර සභාවලට දැඩි උපදෙස් අවශ්‍ය වෙලා තිබුණා. යේසුස් ඒ උපදෙස් දුන්න විදිහ බලන්න. එෆීසය, පර්ගමම්, තියතීරා කියන සභාවලට උපදෙස් දෙන්න කලින් යේසුස් එයාලා කරපු හැම හොඳ දෙයක්ම අගය කළා. (එළි. 2:1-5, 12, 13, 18, 19) ලවෝදිසියේ සභාවේ අයට ඔහු කිව්වේ මෙහෙමයි. “මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන සියලුදෙනාටය. එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.” (එළි. 3:19) වැඩිමහල්ලෙනි, උපදෙස් දෙද්දී යේසුස්ව ආදර්ශයට ගන්න.

වැඩිමහල්ලන්ට විතරක් තියෙන වගකීමක් නෙමෙයි

දෙමාපියෙනි, අනිත් අයව දිරිගන්වන්න ඔයාගේ දරුවාව ඔයා පුහුණු කරනවාද? (10 ඡේදය බලන්න)

10. එකිනෙකාව ශක්තිමත් කරන්න අපි හැමෝටම පුළුවන් කොහොමද?

10 අනිත් අයව දිරිගන්වන වගකීම තියෙන්නේ වැඩිමහල්ලන්ට විතරක් නෙමෙයි. “සුදුසු අවස්ථාවලදී සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න” කියලා පාවුල් කිව්වේ අපි හැමෝටම. (එෆී. 4:29) අනිත් අයට උදව් කරන්න පුළුවන් පැති ගැන අපි හැමෝම හිතන්න ඕනේ. පාවුල් මෙහෙම කිව්වා. ‘පහතට වැටී ඇති අත්ද දුබල වී ඇති දණහිස්ද ශක්තිමත් කරන්න. එලෙසම කොර වී ඇති පාදයක සන්ධිය පනින්න ඉඩ දෙනවා වෙනුවට එය සුව වීම සඳහා ඔබේ පාදවලට ඍජු මාවත් සාදාගන්න.’ (හෙබ්‍රෙ. 12:12, 13) පුංචි දරුවන් ඇතුළුව අපි හැමෝටම පුළුවන් අපි කියන දේවලින් එකිනෙකාව දිරිගන්වන්න.

11. මානසිකව වැටිලා ඉද්දී මාර්තේට උදව් වුණේ මොකක්ද?

11 මාර්තේ * කියන සහෝදරිය කාලයක් මානසිකව වැටිලා හිටියා. එයා මෙහෙම කියනවා. “දවසක් මං මාව දිරිගන්වන්න කියලා දෙවිට යාච්ඤා කරකර ඉද්දී වැඩිහිටි සහෝදරියක්ව හම්බ වුණා. එයා මට ලොකු ආදරයක්, දයාවක් පෙන්නුවා. ඒ වෙලාවේ මට ඕනෙම කරලා තිබුණේ ඒකයි. මං මුහුණ දෙමින් හිටියා වගේම දේකට එයාත් මුහුණ දීලා තිබුණා. ඒ ගැන එයා කියද්දී මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මං විතරක් නෙමෙයි කියලා මට තේරුණා.”

12, 13. ෆිලිප්පි 2:1-4 සඳහන් උපදෙස අදාළ කරගන්න අපිට පුළුවන් කොහොමද?

12 පාවුල් ෆිලිප්පියේ හිටපු ක්‍රිස්තියානීන්ට මෙහෙම ලිව්වා. “ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වීම ඔබට දිරිගැන්වීමක් වී ඇත්නම් ප්‍රේමය නිසා ඔබට යම් සැනසීමක් ලැබී ඇත්නම් එලෙසම ඔබ එකිනෙකා අතර ගැඹුරු සැලකිල්ල, සෙනෙහස සහ දයානුකම්පාව ඇත්නම්, මම සතුටු වන්නෙමි. නමුත් එකඟතාවකින් සිටීමටත් එකිනෙකාට එක හා සමාන ප්‍රේමයක් පෙන්වීමටත් එක ශරීරයක් සේ සමඟියෙන් සිටීමටත් එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමටත් ඔබ වගබලා ගන්නවා නම් එයින් මගේ ප්‍රීතිය තවත් වැඩි වෙයි. කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න. ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලි. 2:1-4.

13 අනිත් අයට ‘සැනසීමක්’ දැනෙන විදිහට කතා කරන්න, එයාලා ගැන ලොකු ‘සැලකිල්ලක් දක්වන්න, එයාලට සෙනෙහසක්, දයානුකම්පාවක්’ පෙන්නන්න අපි පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ.

දිරිගන්වන්න පුළුවන් විදි

14. අනිත් අයව දිරිගන්වන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

14 කලින් අපේ දිරිගැන්වීම්, උදව් ලැබුණ අය දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා කියලා දැනගද්දී ඒක අපිට ලොකු සතුටක්. “මාගේ දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වන බව අසන්න ලැබීම තරම් සතුටක් තවත් මට නැත” කියලා යොහන් කිව්වේ ඒ නිසයි. (3 යොහ. 4) සත්‍යයට එන්න තමන් උදව් කරපු අය දෙවිට විශ්වාසවන්තව ඉන්නවා කියලත් එයාලගෙන් සමහරු පුරෝගාමි සේවය කරනවා කියලත් දැනගන්න ලැබෙද්දී පුරෝගාමීන්ට ඒක ලොකු දිරිගැන්වීමක්. පුරෝගාමි සේවය කරන කෙනෙක් මොනවා හරි හේතුවක් නිසා අධෛර්යය වෙලා ඉද්දී අපිට පුළුවන් එයා අනිත් අයට උදව් කරපු විදි එයාට මතක් කරන්න.

15. දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද?

15 හුඟක් චාරිකා සේවකයන් කියනවා එයාලා සභාවකට ගිහින් ආවාම ඒ සභාවේ අය එයාලට ස්තුති කරලා එවන පොඩි කාඩ් එකකින් එයාලට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා කියලා. වැඩිමහල්ලන්, මිෂනාරි සේවකයන්, පුරෝගාමීන්, බෙතෙල් සේවකයන් වගේ අයවත් අපිට ඒ විදිහට දිරිගන්වන්න පුළුවන්. අපි කරන ඒ වගේ පුංචි දේකින් සමහරවිට අපි හිතනවාටත් වඩා එයාලා දිරිගැන්වෙයි.

දිරිගන්වන්න අපි හැමෝටම පුළුවන්

16. කෙනෙක්ව දිරිගන්වන්න පුළුවන් මොන වගේ පුංචි දේවල් කරලාද?

16 කෙනෙක්ව දිරිගන්වන්න ඔයාට අමාරුයි කියලා හිතෙනවාද? ඇත්තටම, අනිත් අයව දිරිගන්වන එක අපි හිතන තරම් අමාරු නැහැ. හිනාවකින් වුණත් ඒක කරන්න පුළුවන්. අපි හිනා වුණත් අනිත් කෙනා අපි එක්ක හිනා වුණේ නැත්නම් අධෛර්යය වෙන්න එපා. සමහරවිට එයා ඉන්නේ ප්‍රශ්නෙක වෙන්න ඇති. ඒ ගැන කාට හරි කියන්න වෙන්න ඇති එයාට ඕනේ. එයා කියන දේ අහගෙන ඉන්න එකම එයාට ලොකු සැනසීමක්.—යාකො. 1:19.

17. යෞවන සහෝදරයෙක්ට ලැබුණේ මොන වගේ දිරිගැන්වීමක්ද?

17 කලින් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරපු තාත්තාත්, පවුලේ තව කීපදෙනෙකුත් දෙවිට සේවය කරන එක නැවැත්තුව නිසා ඔන්රි කියන යෞවනයා හිටියේ ලොකු දුකකින්. ඒක දැක්ක එක චාරිකා සේවකයෙක් ඔන්රිට කිව්වා “කෝපි එකක් බොන්න කොහෙට හරි යමු” කියලා. ඒ වෙලාවේ ඔන්රි එයාට හැඟෙන විදිහ ගැන කියද්දී චාරිකා සේවක හොඳින් අහගෙන හිටියා. පවුලේ අයට උදව් කරන්න නම් එයා දෙවිට විශ්වාසවන්තව ඉන්න ඕනෙ කියලා ඔන්රි තේරුම්ගත්තා. ගීතාවලිය 46; ශෙපනියා 3:17; මාක් 10:29, 30 වගේ බයිබල් පද කියවලත් එයා ලොකු සහනයක් ලැබුවා.

එකිනෙකාව දිරිගන්වන්න, ශක්තිමත් කරන්න අපි හැමෝටම පුළුවන් (18 ඡේදය බලන්න)

18. (අ) දිරිගන්වන එක ගැන සලමොන් කිව්වේ මොකක්ද? (ආ) පාවුල් අපිට උනන්දු කරන්නේ මොනවා කරන්න කියලාද?

18 මාර්තේගේ සහ ඔන්රිගේ අද්දැකීම්වලින් අපි ඉගෙනගන්නේ මොකක්ද? ඒ තමයි කෙනෙක්ව දිරිගන්වන්න, සනසවන්න අපි ඕනෙම කෙනෙක්ට පුළුවන් කියන දේ. සලමොන් රජු මෙහෙම කිව්වා. “සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද! යහපත් පුවතක් ශරීරයට සුවයක් ගෙන දෙයි.” (හිතෝ. 15:23, 30) දුකෙන් ඉන්න, දිරිගැන්වීම් ඕනෙ කරන කෙනෙක්ට ඇහෙන්න ‘මුරටැඹ’ ලිපියක් හරි අපේ වෙබ් අඩවියේ තියෙන ලිපියක් හරි කියවන එකෙනුත් එයා දිරිගැන්වෙයි. එකට එකතු වෙලා ගීතිකා ගයනා කරන එකෙනුත් අපිට ලොකු දිරිගැන්වීමක් ලබන්න පුළුවන්. ඒ නිසයි පාවුල් මෙහෙම කිව්වේ. “ගීතිකාවලින්ද දෙවිට ස්තුති ප්‍රශංසා ඔප්පු කිරීමෙන්ද ඔහුට මියුරු ගීත ගයමින්ද එකිනෙකාට උගන්වා මඟ පෙන්වීම් ලබා දෙන්න. එසේ ඔබේ මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ගී ගයන්න.”—කොලො. 3:16; ක්‍රියා 16:25.

19. එකිනෙකාව දිරිගන්වන එක ඉස්සරහට අත්‍යවශ්‍යම දෙයක් වෙන්නේ ඇයි? අපි කරන්න ඕනෙ මොකක්ද?

19 යෙහෝවා දෙවිගේ මහත් දවසට අපි එන්න එන්නම කිට්ටු වෙනවා. ඒ නිසා මේ කාලේදීත් ඉදිරියේදීත් එකිනෙකාව දිරිගන්වන එක අපි කරන්න ඕනෙම දෙයක්. (හෙබ්‍රෙ. 10:25) “ඔබ දැනටමත් කරමින් සිටින ආකාරයට දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න” කියලා පාවුල් දුන්න උපදෙස අපි අදාළ කරගන්නවා නම් අපි හැමෝටම ලොකු සතුටක් ලැබෙයි.—1 තෙස. 5:11.

^ 11 ඡේ. නම් වෙනස් කර ඇත.