Skip to content

පටුනට යන්න

සැබෑ නිදහස ලබාගන්නේ කොහොමද?

සැබෑ නිදහස ලබාගන්නේ කොහොමද?

“පුත්‍රයා ඔබව නිදහස් කළොත් ඔබට සැබෑ නිදහසක් ලැබෙයි.”—යොහ. 8:36.

ගීතිකා: 54, 36

1, 2. (අ) නිදහස ලබාගන්න මිනිසුන් කරන්නේ මොනවාද? (ආ) ප්‍රතිඵලය මොකක්ද?

අද ලෝකේ ඉන්න හුඟක් අය සම අයිතීන් ගැන, නිදහස ගැන කතා කරනවා. හුඟදෙනෙක්ට ඕනෙ අසාධාරණකම්වලින්, උස් පහත් භේදවලින්, දුප්පත්කමින් නිදහස් වෙන්න. තවත් අය කතා කිරීමේ නිදහස, කැමති දේ තෝරගැනීමේ නිදහස, කැමති විදිහට ජීවත් වීමේ නිදහස තමන්ට ඕනෙමයි කියලා කියනවා. එහෙම බලද්දී නිදහස කියන්නේ අද ඉන්න හැමෝම ලබාගන්න උත්සාහ කරන දෙයක්.

2 නිදහස ලබාගන්න මිනිසුන් උද්ඝෝෂණ කරනවා. පෙළපාළි යනවා. විප්ලව කරනවා. ඒත් එයාලා හොයන නිදහස ඒ දේවලින් එයාලට ලැබෙනවාද? නැහැ. ඒ වෙනුවට එයාලා අද්දකින ප්‍රශ්න තවත් වැඩි වෙනවා. සමහර වෙලාවට එයාලගේ ජීවිත පවා එයාලට අහිමි වෙනවා. දේශනාකාරයා 8:9 කියන මේ දේ කොච්චර ඇත්තද! “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”

3. සැබෑ සතුට, තෘප්තිය අද්දකින්න අපි කරන්න ඕනෙ මොනවාද?

3 සැබෑ සතුට, තෘප්තිය අද්දකින්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලා බයිබලේ තියෙනවා. යාකොබ් මෙහෙම කිව්වා. ‘කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලා දිගටම ඒ අනුව ජීවත් වන තැනැත්තා මහත් සන්තෝෂයක් අද්දකියි.’ (යාකො. 1:25) පරිපූර්ණ නීතිය ලබා දුන්න යෙහෝවා දෙවි තමයි හරියටම දන්නේ අපිට නියම සතුට සහ තෘප්තිය ලැබෙන්නේ මොන දේවලින්ද කියලා. දෙවි ආදම් සහ ඒවට සතුටින් ඉන්න ඕනෙ කරන හැම දේම දුන්නා. සැබෑ නිදහසත් එයාලට දුන්නා.

මිනිසුන් සැබෑ නිදහස අද්දැක්ක කාලයක්

4. ආදම් සහ ඒවට තිබුණේ මොන වගේ නිදහසක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 අපි උත්පත්ති 1වෙනි සහ 2වෙනි පරිච්ඡේද කියවද්දී දකිනවා ආදම්, ඒවට කොච්චර නිදහසක් තිබුණාද කියලා. ඒ වගේ නිදහසක් අද්දකින එක අද ඉන්න අයට නම් හීනයක් විතරයි. ඒ දෙන්නාට ඕන කරන හැම දේම තිබුණා. බයක් දැනෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. කවුරුත් එයාලට අසාධාරණ විදිහට සැලකුවෙත් නැහැ. කෑම, වැඩ, ලෙඩ දුක්, මරණය වගේ දේවල් ගැන එයාලා කරදර වුණෙත් නැහැ. (උත්. 1:27-29; 2:8, 9, 15) ඒ කියන්නේ එයාලට තිබුණේ කිසිම සීමාවක් නැති නිදහසක් කියන එකද?

5. හුඟක් අය හිතනවාට වඩා වෙනස්ව නිදහස අද්දකින්න නම් තියෙන්න ඕනෙ මොනවාද?

5 ලැබෙන ප්‍රතිඵල ගැන කරදර වෙන්නේ නැතුව තමන් කැමති ඕනෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි නියම නිදහස කියලා හුඟක් අය හිතනවා. එක විශ්වකෝෂයක නිදහස කියන වචනය විස්තර කරලා තියෙන්නේ “තමන් කැමති දේ තෝරගෙන ඒක කරන්න තියෙන හැකියාව” හැටියටයි. ඒත් එක්කම එතන මෙහෙමත් සඳහන් වෙනවා. “ආණ්ඩුවලින් අසාධාරණ, අනවශ්‍ය නීති හෝ තහංචි පනවන්නේ නැති තාක් කල් මිනිසුන්ට නිදහස අද්දකින්න පුළුවන්.” (The World Book Encyclopedia) ඒ කියන්නේ අසාධාරණ, අනවශ්‍ය නීති තමයි මිනිසුන්ගේ නිදහසට බාධාවක් වෙන්නේ. එහෙම නැතුව හැම නීතියක්ම නෙමෙයි. මොකද හැමෝටම එක වගේ නිදහස අද්දකින්න නම් සාධාරණ, අත්‍යවශ්‍ය නීති තියෙන්න ඕනේ. ඒත් ප්‍රශ්නේ යම් නීතියක් හරි සීමාවක් හරි සාධාරණද ඒක අත්‍යවශ්‍යද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ කාටද කියන එක.

6. (අ) කිසිම සීමාවක් නැතුව නිදහස අද්දකින්න පුළුවන් එකම කෙනා යෙහෝවා දෙවි කියන්නේ ඇයි? (ආ) මිනිසුන්ට අද්දකින්න පුළුවන් මොන වගේ නිදහසක්ද? ඒ ඇයි?

6 සීමා මායිම් නැති සම්පූර්ණ නිදහස අද්දකින එකම කෙනා යෙහෝවා දෙවි. මොකද හැම දේකම නිර්මාතෘ ඔහුයි. විශ්වය පාලනය කරන්න අයිතිය තියෙන එකම කෙනාත් ඔහුයි. (1 තිමෝ. 1:17; එළි. 4:11) යෙහෝවා දෙවිට තියෙන ඒ අධිකාරිය ගැන දාවිත් ලස්සනට විස්තර කරලා තියෙනවා. (1 ලේකම් 29:11, 12 කියවන්න.) ඊට වෙනස්ව ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න අනිත් හැමෝම අද්දකින නිදහසට යම් සීමා මායිම් තියෙනවා. මොන වගේ සීමාවන්ද සාධාරණ, අත්‍යවශ්‍ය කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ දෙවිට විතරයි. අපි ඒක තේරුම් අරන් වැඩ කරනවාටයි දෙවි කැමති. තමන්ට තියෙන ඒ අයිතිය පාවිච්චි කරලා දෙවි ආරම්භයේ ඉඳන්ම ඔහුගේ නිර්මාණවලට යම් සීමාවන් පැනෙව්වා.

7. අපි ස්වභාවයෙන්ම යටත් වෙන මොන දේවල් නිසාද සතුටක් අද්දකින්නේ?

7 ආදම් සහ ඒවට ගොඩක් පැතිවලින් නිදහස තිබුණාට එයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවලුත් තිබුණා. ඒ සමහර දේවල්වලට යටත් වෙන්න හිතහිත ඉන්න ඕන වුණේ නැහැ. එයාලා ඒවාට ස්වභාවයෙන්ම යටත් වුණා. උදාහරණෙකට දිගටම ජීවත් වෙන්න නම් හුස්ම ගන්න එක, කෑම ගන්න එක, නිදාගන්න එක එයාලා කරන්නම ඕනෙ වුණා. ඒවා කරන්න වුණ නිසා තමන්ට තිබුණ නිදහස නැති වුණා කියලා එයාලට හැඟුණාද? නැහැ. එයාලා ස්වභාවයෙන්ම යටත් වුණ ඒ නීතිවලින් සතුටක්, තෘප්තියක් අද්දකින්න පුළුවන් විදිහටයි දෙවි එයාලව නිර්මාණය කරලා තිබුණේ. (ගීතා. 104:14, 15; දේශ. 3:12, 13) පිරිසිදු වාතය ආශ්වාස කරලා, ආසම කෑමක් කාලා, සුවබර නින්දක් ලබලා සතුටක් ලබන්නේ නැත්තේ කවුද? ඒවා කරද්දී අපේ නිදහසට බාධා වෙනවා කියලා අපිට හැඟෙන්නේ නැහැ. ආදම්, ඒවටත් එහෙම හැඟුණේ නැහැ.

8. දෙවි ආදම් සහ ඒවට දුන්න ආඥාව මොකක්ද?

8 යෙහෝවා දෙවි ආදම් සහ ඒවට නිශ්චිත ආඥාවක් දුන්නා. ඒ තමයි දරුවන්ව බිහි කරලා එයාලගෙන් මුළු පොළොවම පුරවලා ඒක රැකබලා ගන්න කියන ආඥාව. (උත්. 1:28) ඒ ආඥාව නිසා එයාලගේ නිදහස අහිමි වුණාද? නැහැ. ඒ ආඥාව නිසා මුළු පොළොවම පාරාදීසයක් කරන්න, ඒ ලස්සන පොළොවේ එයාලගේ පරිපූර්ණ දරුවන් එක්ක සදහටම ජීවත් වෙන්න එයාලට අවස්ථාව තිබුණා. මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ වුණේ ඒකයි. (යෙසා. 45:18) ඒත් ඒ ආඥාව අද අපි පිළිපදින්න ඕනෙ කියලා දෙවි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් විවාහ නොවී ඉන්න, විවාහ වුණත් දරුවන් හදන්නේ නැතුව ඉන්න තීරණය කරද්දී ඒක දෙවිගේ ආඥාව කඩ කිරීමක් නෙමෙයි. ඒත් අභියෝග, දුෂ්කරතා තිබුණත් වැඩිදෙනෙක් විවාහ වෙන්න, දරුවෝ හදන්න තීරණය කරනවා. (1 කොරි. 7:36-38) මොකද සාමාන්‍යයෙන් ඒ දේවලින් මිනිසුන් සතුටක්, තෘප්තියක් ලබනවා. (ගීතා. 127:3) ආදම් සහ ඒව යෙහෝවා දෙවිට කීකරු වුණා නම් එයාලට අවස්ථාව තිබුණා සදහටම එයාලගේ පවුල් ජීවිතය සතුටින් ගත කරන්න.

සැබෑ නිදහස අහිමි වුණ හැටි

9. උත්පත්ති 2:17 සඳහන් වෙන දෙවිගේ ආඥාව අසාධාරණ, අනවශ්‍ය එකක් නෙමෙයි කියන්නේ ඇයි?

9 යෙහෝවා දෙවි ආදම් සහ ඒවට තව ආඥාවක් දීලා ඒකට අකීකරු වුණොත් වෙන දේත් පැහැදිලිව කිව්වා. දෙවි කිව්වා “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය” කියලා. (උත්. 2:17) ඒක අසාධාරණ, අනවශ්‍ය නීතියක්ද? ඒකෙන් එයාලට තිබුණ නිදහස අහිමි වුණාද? නැහැ. බයිබල් විශාරදයන් ඒ ගැන හිතන්නේ මොකක්ද? හුඟක් අය හිතන්නේ ඒක ඥානවන්ත, හොඳ හේතුවක් ඇතුව දුන්න ආඥාවක් කියලයි. එයාලගෙන් කෙනෙක් මෙහෙම කියනවා. “මිනිසුන්ට හොඳ මොනවාද හොඳ නැත්තේ මොනවාද කියලා හරියටම දන්නේ දෙවි. මිනිසුන් හොඳ දේවල් අද්දකින්න නම් දෙවිව විශ්වාස කරලා ඔහුට කීකරු වෙන්නම ඕනේ. එයාලා දෙවිට අකීකරු වෙනවා කියන්නේ හොඳ නරක මොකක්ද කියලා තීරණය කරන්න වෙන්නේ එයාලටම කියන එකයි.” ඒක මිනිසුන්ට කොහොමටවත් කරන්න බැරි දෙයක්.

ආදම් සහ ඒව ගත්ත තීරණය නිසා ලැබුණේ වේදනාකාරී, දරුණු ප්‍රතිඵල (9-12 ඡේද බලන්න)

10. හරි දේ වැරදි දේ මොකක්ද කියලා තීරණය කරන එක තීරණ ගැනීමේ නිදහසට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

10 සමහරු හිතනවා ආදම්ට ඕනෙ දේ කරන්න දෙවි නිදහස දුන්නේ නැහැ කියලා. ඒත් එයාලා තේරුම්ගන්නේ නැති දේ තමයි තීරණ ගැනීමේ නිදහසයි, හරි දේ වැරදි දේ මොකක්ද කියලා තීරණය කරන එකයි අතරේ වෙනසක් තියෙනවා කියන දේ. දෙවිට කීකරු වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න ආදම්, ඒවට නිදහස තිබුණා. ඒත් හරි දේ වැරදි දේ මොකක්ද කියලා තීරණය කරන්න එයාලට අයිතිය තිබුණේ නැහැ. ඒ අයිතිය තියෙන්නේ දෙවිට විතරයි. “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වූ වෘක්ෂයෙන්” නියෝජනය කළේ දෙවිට තිබුණ ඒ අයිතියයි. (උත්. 2:9) මිනිසුන් හැටියට අපි පිළිගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපිට කරන්න පුළුවන් දේවලට සීමාවක් තියෙනවා කියන එක. මේ ගැන හිතන්න. අපි ගන්න තීරණවලින් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලද කියලවත් හැම වෙලේම හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලවත් අපිට කියන්න පුළුවන්ද? බැහැ. ඒකයි සමහරු හොඳ චේතනාවෙන් ගන්න තීරණවලින් වුණත් වේදනාකාරී, දරුණු ප්‍රතිඵල ලැබෙන්නේ. (හිතෝ. 14:12) තමන්ට තිබුණ ඒ සීමාව තේරුම් අරන් දෙවිට කීකරු වුණොත් විතරයි ආදම් සහ ඒවට දිගටම සැබෑ නිදහස අද්දකින්න අවස්ථාව තිබුණේ. ‘හොඳ හා නරක හඳුනාගැනීමේ’ ගහෙන් කන්න එපා කියන ආඥාව දීලා දෙවි එයාලට උගන්වන්න හදපු පාඩම ඒකයි. ඒත් ආදම් සහ ඒව තීරණය කළේ මොකක් කරන්නද?

11, 12. ආදම් සහ ඒව ගත්ත තීරණය දරුණු ප්‍රතිඵලවලට මඟ පෑදුවේ ඇයි? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

11 ආදම් සහ ඒව තීරණය කළේ දෙවිට අකීකරු වෙන්න. ගහෙන් කෑවොත් ‘ඔබේ ඇස් ඇරෙනවා කියලත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වෙනවා කියලත්’ සාතන් කිව්වාම ඒව ඒක පිළිගත්තා. (උත්. 3:5) සාතන් කිව්ව දේ හරිද? ආදම් සහ ඒව ගත්ත තීරණය නිසා එයාලට තිබුණාට වඩා වැඩි නිදහසක් ලැබුණාද? කොහොමටවත් නැහැ. වුණේ ඒකේ අනිත් පැත්ත. දෙවිගේ මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කරපු නිසා එයාලා හරිම දරුණු ප්‍රතිඵල අද්දැක්කා. (උත්. 3:16-19) එහෙම වුණේ ඇයි? මොකද එයාලා කළේ එයාලට කරන්න අයිතියක් තිබුණේ නැති දෙයක්. හරි දේ වැරදි දේ මොකක්ද කියලා තීරණය කරන්න නිදහස දෙවි එයාලට දීලා තිබුණේ නැහැ.—හිතෝපදේශ 20:24; යෙරෙමියා 10:23 කියවන්න.

12 ගුවන් නියමුවෙක් ගැන හිතන්න. ගමනාන්තයට ආරක්ෂාකාරීව ගුවන් යානයක් පදවාගෙන යන්න නම් අනුමැතිය දීලා තියෙන මාර්ගයේ එයා යන්න ඕනේ. ඒකට එයා ගුවන් යානයේ විවිධ උපකරණ පාවිච්චි කරලා පාලක මැදිරියත් එක්ක නිතරම සම්බන්ධ වෙන්න ඕනේ. ඒත් එයා පාලක මැදිරියේ උපදෙස් පිළිගන්නේ නැතුව එයාට ඕනෙ දේ කළොත් වෙන්නේ ලොකු විනාශයක්. ඒ ගුවන් නියමුවා වගේ ආදම් සහ ඒවත් දෙවිගේ මඟ පෙන්වීම පිළිගන්නේ නැතුව එයාලට ඕනෙ දේ කළා. ප්‍රතිඵලය හරිම වේදනාකාරී, දරුණු එකක්. පාපය සහ මරණය එයාලා උරුම කරගත්තා. එයාලගෙන් පැවතෙන හැමෝටමත් ඒක උරුම වුණා. (රෝම 5:12) හරි දේ වැරදි දේ මොකක්ද කියලා තීරණය කරන්න හදපු එකෙන් එයාලා බලාපොරොත්තු වුණ නිදහස එයාලට ලැබුණේ නැහැ. ඒ වෙනුවට දෙවි එයාලට දීලා තිබුණ සැබෑ නිදහස එයාලා අහිමි කරගත්තා.

සැබෑ නිදහස ලබාගන්නේ කොහොමද?

13, 14. සැබෑ නිදහස අද්දකින්න පුළුවන් කොහොමද?

13 සීමා මායිම් නැතුව තමන් කැමති ඕනෙම දෙයක් කරන්න නිදහස ලැබෙනවා නම් කොයි තරම් හොඳයිද කියලා සමහරු හිතනවා. ඒක ඇත්තටම හොඳයිද? අපි කැමති විදිහට දේවල් කරන්න නිදහස තියෙද්දී ඒකෙන් ප්‍රයෝජන තියෙනවා තමයි. ඒත් කිසිම සීමාවක් නැතුව හැමෝම තමන්ට හිතෙන හිතෙන විදිහට දේවල් කරන්න ගියොත් මේ ලෝකේ කොයි තරම් අවුල් ජාලාවක් වෙයිද? විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “හොඳ පිළිවෙළක් දකින්න තියෙන ඕනෙම සමාජයක නීති තියෙනවා. ඒ නීති සංකීර්ණයි. මොකද ඒවාවලින් මිනිසුන්ගේ නිදහස රකින්න ඕනෙ වගේම ඒ නිදහසට සීමා දාන්නත් ඕනේ.” (The World Book Encyclopedia) ඒක සමබරව කරන එක හැම තිස්සෙම ලේසි නැහැ. ඒ නිසයි මිනිසුන් නීති දහස් ගාණක් පනවලා ඒවා පැහැදිලි කරලා දෙන්නත් ක්‍රියාවට නඟන්නත් නීතිඥවරු, විනිසුරුවරු දහස් ගාණක් පත් කරලා ඉන්නේ.

14 සැබෑ නිදහස අද්දකින්න අපිට පුළුවන් කොහොමද කියලා යේසුස් පෙන්නලා දුන්නා. ඔහු කිව්වේ මෙහෙමයි. “මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” (යොහ. 8:31, 32) යේසුස් කියපු විදිහට සැබෑ නිදහස ලබාගන්න නම් අපි දේවල් 2ක් කරන්න ඕනේ. මුලින්ම අපි යේසුස් උගන්වපු සත්‍ය ඉගැන්වීම් පිළිගන්න ඕනේ. ඊළඟට අපි ඔහුගේ අනුගාමිකයන් වෙන්න ඕනේ. ඒත් සැබෑ නිදහස කියන්නේ මොකක්ද? යේසුස් මෙහෙම කිව්වා. ‘පව් කරන සෑම කෙනෙක්ම පාපයට දාසයෙක් වෙනවා. පුත්‍රයා ඔබව නිදහස් කළොත් ඔබට සැබෑ නිදහසක් ලැබෙයි.’—යොහ. 8:34, 36.

15. යේසුස් පොරොන්දු වුණ නිදහස “සැබෑ නිදහස” කියලා කියන්නේ ඇයි?

15 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දෙන්න පොරොන්දු වුණ නිදහස අද ලෝකේ ඉන්න හුඟදෙනෙක් ලබන්න ආසාවෙන් ඉන්න නිදහසට වඩා දහස් ගුණයක් වටින නිදහසක්. මොකද “පුත්‍රයා ඔබව නිදහස් කළොත් ඔබට සැබෑ නිදහසක් ලැබෙයි” කියලා යේසුස් කියද්දී ඔහු අදහස් කළේ පාපයෙන් අපිට ලැබෙන නිදහස ගැනයි. මිනිසුන් හැමෝම පාපයේ වහලුන් වෙලයි ඉන්නේ. ඒක තමයි මිනිසුන් වහල්කම අද්දකින දරුණුම විදිහ. එහෙම කියන්නේ ඇයි? නරක දේවල් කරන්න අපි පෙලඹෙන්නේ පාපය නිසයි. ඒ විතරක් නෙමෙයි හරි දේ මොකක්ද කියලා දැනන් හිටියත් ඒක නොකර ඉන්නත් අපිට පුළුවන් උපරිමයෙන් දේවල් නොකර ඉන්නත් පාපය අපිව පොලඹවනවා. ප්‍රතිඵල? කලකිරීම, දුක් වේදනා සහ අන්තිමේදී මරණය. (රෝම 6:23) පාපයේ වහලෙක් වෙලා ඉන්න එක කොච්චර වේදනාකාරී දෙයක්ද කියලා පාවුල් විස්තර කළා. (රෝම 7:21-25 කියවන්න.) පව්කාර ස්වභාවය මිනිසුන්ගෙන් සම්පූර්ණයෙන්ම අයින් කරපු දවසට විතරයි කාලයක් ආදම් සහ ඒව අද්දැක්ක ඒ සැබෑ නිදහස අද්දකින්න අපිටත් පුළුවන් වෙන්නේ.

16. සැබෑ නිදහස ලැබෙන්නේ කොහොමද?

16 “මා උගන්වන දේවල් පිළිපදිනවා නම්” කියලා යේසුස් කියපු එකෙන් තේරෙන්නේ ඔහු අපිව නිදහස් කරන්න නම් අපි දිගටම අපේ පැත්තෙන් යම් දේවල් කරන්න ඕනෙ කියන එකයි. ඒ මොන දේවල්ද? දෙවිට කැප වුණ යේසුස්ගේ අනුගාමිකයන් විදිහට අපි තීරණය කළේ අපේ ආසාවන්ට ජීවිතේ මුල් තැන දෙනවා වෙනුවට යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟව අපේ ජීවිත ගත කරන්න. ඒ දේ අපි දිගටම කරන්න ඕනේ. (මතෙ. 16:24) අනාගතයේදී යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන අපි සීයට සීයක් අද්දකිද්දී ඔහු පොරොන්දු වුණ සැබෑ නිදහස අපිට ලැබෙයි.

17. (අ) අපිට සැබෑ සතුට, තෘප්තිය අද්දකින්න පුළුවන් කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

17 යේසුස් උගන්වපු දේවලට කීකරු වෙනවා නම් සැබෑ සතුට, තෘප්තිය අද්දකින්න අපිට පුළුවන්. පාපයේ සහ මරණයේ වහල්කමින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නත් අපිට අවස්ථාව ලැබෙයි. (රෝම 8:1, 2, 20, 21 කියවන්න.) අපිට තියෙන නිදහස දෙවිට ගෞරවයක් ගේන විදිහට ඥානවන්තව පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.