Skip to content

පටුනට යන්න

වෙලාව කීයද?

වෙලාව කීයද?

වෙලාව කීයට විතර ඇද්ද කියලා ඔයාට දැනගන්න ඕනෙ වුණාම අතේ බැඳගෙන ඉන්න ඔරලෝසුවෙන් නැත්නම් ළඟ පාත තියෙන ඔරලෝසුවකින් ඔයා වෙලාව බලනවා ඇති. තව කෙනෙක් “වෙලාව කීයද” කියලා ඔයාගෙන් ඇහුවොත් විදි කීපයකින්ම ඒකට උත්තර දෙන්න පුළුවන්.

උදාහරණෙකට හිතන්න දවල් 12 පහු වෙලා පැයයි විනාඩි 45ක් ගත වෙලා කියලා. සමහරවිට ඔයා කියයි වෙලාව 1:45යි කියලා. පැය 24 ඔරලෝසුවක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා කියයි වෙලාව 13:45යි කියලා. නැත්නම් වෙලාව දෙකට කාලයි කියලා කියන්නත් පුළුවන්.

බයිබලේ කියවද්දී ඔයා කල්පනා කරලා තියෙනවාද ඒ කාලේ හිටපු අය වෙලාව කියන්න ඇත්තේ කොහොමද කියලා? ඒ කාලෙත් වෙලාව කියන්න විදි කීපයක්ම තිබුණා. හෙබ්‍රෙව් ලියවිලිවල “උදේ,” “දවල්,” “මහා දවාලේ,” “හවස” වගේ යෙදුම් පාවිච්චි කරලා තියෙනවා. (උත්. 8:11; 19:27; 43:16; ද්වි. 28:29; 1 රාජා. 18:26) නිශ්චිත වෙලාවන් සඳහන් කරපු අවස්ථාත් තියෙනවා.

ඊශ්‍රායෙල්වරුන් හිරු බැස යෑමේ සිට හිරු නැඟ ඒම දක්වා තිබුණ කාලය කොටස් 3කට බෙදලා තිබුණා. ඒ එක් එක් කොටස හැඳින්නුවේ රැකවල් යාම කියලයි. (ගීතා. 63:6, පාදසටහන) මොකද ඒ කාලේ විශේෂයෙන්ම රාත්‍රියේ මුරකරුවන් හිටියා. විනිශ්චයකරුවෝ 7:19 කතා කරලා තියෙනවා “මධ්‍යම රාත්‍රියට කලින් ඇරඹෙන වැඩමුරය සඳහා මුරකරුවන් මාරු වන වේලාවේ” වුණ දෙයක් ගැන. යේසුස්ගේ කාලේ වෙද්දී යුදෙව්වන් අනුගමනය කළේ ග්‍රීකවරු සහ රෝමවරු කාලය බෙදපු ක්‍රමයයි. ග්‍රීකවරු සහ රෝමවරු රාත්‍රි කාලය රැකවල් යාම 4කට බෙදලා තිබුණා.

ඒ රැකවල් යාම ගැන සුවිශේෂ පොත්වල සඳහන් වෙනවා. උදාහරණෙකට මතෙව් 14:25 කියන්නේ “රාත්‍රියේ හතරවෙනි යාමයේදී” යේසුස් වතුර මත ඇවිදගෙන ඔහුගේ ගෝලයන් හිටපු බෝට්ටුව ළඟට ආවා කියලා. උපමාවක යේසුස් කිව්වා “සොරා කොයි රැකවල් යාමයේ එනවාද කියා ගෙහිමියා දැන සිටියා නම් ඔහු අවදිව සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ දෙන්නේ නැහැ” කියලා.—මතෙ. 24:43.

සෝදිසියෙන් ඉන්න එකේ වැදගත්කම ගැන ගෝලයන්ට කියද්දී යේසුස් රැකවල් යාම 4 ගැනම සඳහන් කළා. ඔහු කිව්වේ “නිවස අයිති ස්වාමියා එන වේලාව කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. ඔහු එන්නේ සවස් යාමයේදීද මධ්‍යම රාත්‍රියේදීද කුකුළා හඬලන වේලාවේදීද නැත්නම් හිමිදිරි උදෑසනින්මද කියා ඔබ දන්නේ නැහැ” කියලයි. (මාක් 13:35) මුල්ම රැකවල් යාමය වුණ “සවස් යාමයෙන්” අදහස් කළේ හිරු බැස යෑමේ සිට ප.ව. 9 දක්වා කාලයයි. දෙවෙනි රැකවල් යාමය වුණේ ප.ව. 9 ඉඳලා මධ්‍යම රාත්‍රිය දක්වා කාලයයි. “කුකුළා හඬලන වේලාව” හැටියට හඳුන්වපු තුන්වෙනි රැකවල් යාමය රෑ 12 ඉඳලා පාන්දර 3 වෙන කල් දිව ගියා. යේසුස්ව අත්අඩංගුවට ගත්ත රාත්‍රියේ කුකුළා හඬලන්න ඇත්තේ මේ රැකවල් යාමේදී වෙන්න ඇති. (මාක් 14:72) හතරවෙනි රැකවල් යාමය වුණේ “හිමිදිරි උදෑසන.” ඒ කියන්නේ පාන්දර 3 ඉඳන් හිරු නැඟ එන වෙලාව දක්වා කාලයයි.

අද තියෙනවා වගේ ඔරලෝසු බයිබලේ ලියපු කාලේ තිබුණේ නැතත් දවසේ වෙලාව තීරණය කරන්න එයාලට ක්‍රමයක් තිබුණා කියලා අපි බලපු තොරතුරුවලින් තේරෙනවා.