Skip to content

පටුනට යන්න

අනිත් අය ගැන සැලකිලිමත් වන දෙවිව ආදර්ශයට ගන්න

අනිත් අය ගැන සැලකිලිමත් වන දෙවිව ආදර්ශයට ගන්න

“අසරණයා ගැන සැලකිලිමත් වන තැනැත්තා සන්තෝෂවත්ය.”—ගීතා. 41:1.

ගීතිකා: 130, 107

1. එකිනෙකාට තියෙන ආදරේ දෙවිගේ සෙනඟ පෙන්නන්නේ කොහොමද?

ලෝකේ පුරාම ඉන්න දෙවිගේ සෙනඟ එක පවුලක සාමාජිකයන් වගේ එකිනෙකාට ආදරෙන් සලකනවා. (1 යොහ. 4:16, 21) ඒ අය සහෝදර සහෝදරියන් වෙනුවෙන් ලොකු කැප කිරීම් කරනවා. ඒත් එයාලා අතරේ තියෙන ආදරේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ එයාලා කරන පුංචි පුංචි දේවලින්. උදාහරණෙකට එයාලා කියන දිරිගන්වන වචනයකින්, කාරුණික ක්‍රියාවකින් ඒ ආදරේ පේනවා. අනිත් අය ගැන හිතලා දේවල් කරද්දී අපි ආදර්ශයට ගන්නේ අපේ දෙවි යෙහෝවාව.—එෆී. 5:1.

2. දෙවි පෙන්නපු ආදරේ යේසුස් ආදර්ශයට ගත්තේ කොහොමද?

2 යෙහෝවා දෙවිව ආදර්ශයට ගත්ත යේසුස් හැම වෙලේම අනිත් අයට ආදරෙන් සැලකුවා. ඔහු මෙහෙම කිව්වා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි.” (මතෙ. 11:28, 29) අපිත් යේසුස් වගේ “අසරණයන් ගැන සැලකිලිමත් වෙනවා” නම් දෙවි අපි ගැන සතුටු වෙනවා. ඒක අපිටත් ලොකු සතුටක්. (ගීතා. 41:1) පවුලේ අයට, සභාවේ අයට, සේවයේදී හම්බ වෙන අයට අපේ සැලකිල්ල පෙන්නන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

පවුලේ අයට සැලකිල්ල පෙන්නන්න

3. බිරිඳට සැලකිල්ල පෙන්නන්න ස්වාමිපුරුෂයෙක්ට පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 ස්වාමිපුරුෂයෙනි, පවුලේ අයට සැලකිල්ල පෙන්නලා ආදර්ශයක් වෙන්න. (එෆී. 5:25; 6:4) බයිබලේ කියන්නේ සැමියෙක් බිරිඳව හොඳින් තේරුම්ගන්න ඕනෙ කියලයි. (1 පේතෘ. 3:7) බිරිඳව තේරුම්ගත්ත සැමියෙක් දන්නවා හුඟක් පැතිවලින් බිරිඳ තමන්ට වඩා වෙනස් වුණත් එයා තමන්ට වඩා පහත් නැහැ කියලා. (උත්. 2:18) එහෙම සැමියෙක් බිරිඳගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙනවා. එයාට ගෞරවයෙන් සලකනවා. කැනඩාවේ ඉන්න බිරිඳක් මෙහෙම කියනවා. “මගේ මහත්තයා කවදාවත් මට හැඟෙන විදිහ එයාට වැඩක් නෑ කියන හැඟීම මට දීලා නෑ. එයා මට ඇහුම්කන් දෙනවා. මං හිතන විදිහ වැරදි නම් එයා මාව හරිගස්සන්නේ ආදරෙන්.”

4. බිරිඳගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙනවා කියලා ස්වාමිපුරුෂයෙකුට පෙන්නන්න පුළුවන් තවත් විදිහක් මොකක්ද?

4 බිරිඳගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන සැමියෙක් කවදාවත් වෙන කාන්තාවන්ගේ හිත් ඇදගන්න විදිහට හැසිරෙන්නේවත් එයාලට අනවශ්‍ය අවධානයක් දෙන්නේවත් නැහැ. එයා ඒ කාරණා සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරද්දී වගේම ඉන්ටර්නෙට් එක පාවිච්චි කරද්දීත් මතක තියාගන්නවා. (යෝබ් 31:1) එයා නිතරම උත්සාහ කරන්නේ බිරිඳට විශ්වාසවන්තව ඉන්න. සැමියෙක් එහෙම කරන්නේ බිරිඳට තියෙන ආදරේ නිසා වගේම යෙහෝවා දෙවිට එයා ආදරේ කරන නිසයි. එයාට ඕනෙ දෙවි පිළිකුල් කරන දේවල් පිළිකුල් කරන්නයි.—ගීතාවලිය 19:14; 97:10 කියවන්න.

5. ස්වාමිපුරුෂයාට සැලකිල්ල පෙන්නන්න බිරිඳකට පුළුවන් කොහොමද?

5 සැමියෙක් යේසුස්ව ආදර්ශයට අරන් ආදරෙන් දේවල් කරද්දී එයාට “ගැඹුරු ගෞරවයක්” දක්වන්න බිරිඳට ලේසියි. (එෆී. 5:22-25, 33) සමහරවිට සැමියාට සභාව වෙනුවෙන් වැඩිපුර කාලයක් දෙන්න වෙයි. නැත්නම් එදිනෙදා ප්‍රශ්න එක්ක එයා පොරබදිනවා ඇති. බිරිඳගේ හිතේ සැමියා ගැන ගෞරවයක් තියෙනවා නම් ඒ වගේ වෙලාවලදී එයා සැමියාගේ හැඟීම් තේරුම් අරන් එයාට කාරුණිකව සලකනවා. සැමියෙක් මෙහෙම කියනවා. “මගේ හැසිරීමේ වෙනසක් දැක්කාම මගේ බිරිඳ තේරුම්ගන්නවා මං ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙක කියලා. එහෙම වෙලාවලදී එයා හිතෝපදේශ 20:5 කියන දේ අදාළ කරගන්නවා. මගේ හිතේ තියෙන ප්‍රශ්නේ එයාත් එක්ක කතා කරන්න පුළුවන් එකක් නම් සුදුසු වෙලාවක් බලලා එයා මාත් එක්ක ඒ ගැන කතා කරනවා.”

6. අනිත් අය ගැන හිතලා වැඩ කරන්න දරුවන්ව දිරිගන්වන්න අපි හැමෝටම පුළුවන් කොහොමද? එහෙම කරන එකෙන් දරුවන් ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

6 සැමියා සහ බිරිඳ එකිනෙකාට ආදරෙන්, ගෞරවයෙන් සලකද්දී ඒක එයාලගේ දරුවන්ටත් හොඳ ආදර්ශයක්. ආදර්ශය වගේම අනිත් අය ගැන හිතලා දේවල් කරන්න දෙමාපියන් දරුවන්ට උගන්වන්න ඕනේ. උදාහරණෙකට නමස්කාර මධ්‍යස්ථානයේ දුවන්න එපා කියලා දරුවන්ට කියලා දෙන්න. සුහද ඇසුරකදී වයසක අයට මුලින් කෑම බෙදාගන්න අවස්ථාව දෙන්න කියලා දරුවන්ට කියලා දෙන්න. දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට උදව් කරන්න සභාවේ හැමෝටම පුළුවන්. හිතන්න, දරුවෙක් අනිත් අය ගැන හිතලා දෙයක් කළා කියලා. උදාහරණෙකට එයා තව කෙනෙක් වෙනුවෙන් දොර ඇරලා දුන්නොත් එයාව අගය කරන්න. එහෙම අගය කරද්දී ‘මං කළේ හොඳ දෙයක්’ කියන හැඟීම දරුවාට ඇති වෙනවා. ඒ වගේම “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියන දේත් එයා තේරුම්ගනියි.—ක්‍රියා 20:35.

සභාවේ අය ගැන සැලකිල්ලක් පෙන්නන්න

7. බිහිරි කෙනෙක්ට යේසුස් සැලකිල්ල පෙන්නුවේ කොහොමද? යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 දවසක් යේසුස් දෙකපොලිසය කියන ප්‍රදේශයේ ඉද්දී පිරිසක් “බිහිරි මෙන්ම කතා කිරීමේ ආබාධයක් ඇති මිනිසෙකුව ඔහු වෙතට ගෙනාවා.” (මාක් 7:31-35) ඒ කෙනා බිහිරි නිසා විශාල සෙනඟක් අතරේ ඉද්දී එයාට අපහසුතාවක් දැනෙන්න ඇති. එයාගේ හැඟීම් තේරුම්ගත්ත යේසුස්, එයාව සුව කළේ සෙනඟගෙන් ටිකක් ඈතට අරන් ගිහිනුයි. යේසුස් අපිට හොඳ ආදර්ශයක්. ඇත්ත, අද අපිට ආශ්චර්යයන් කරන්න බැහැ. ඒත් අපිට පුළුවන් අපේ සහෝදර සහෝදරියන්ගේ අවශ්‍යතාවන්, එයාලගේ හැඟීම් තේරුම් අරන් එයාලට ආදරෙන් සලකන්න. පාවුල් මෙහෙම කිව්වා. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු.”—හෙබ්‍රෙ. 10:24.

8, 9. මහලු, ආබාධිත අයට අපේ සැලකිල්ල පෙන්නන්න පුළුවන් කොහොමද? (අද්දැකීම් කියන්න.)

8 මහලු, ආබාධිත අය ගැන සැලකිල්ල පෙන්නන්න. සභාවේ හැම දෙයක්ම තිතටම කළාට සභාවේ අය අතරේ ආදරයක් නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. මොකද ක්‍රිස්තියානි සභාවේ කැපීපේන ලක්ෂණය ආදරෙයි. (යොහ. 13:34, 35) ඒ ආදරේ අපිව පොලඹවනවා අපේ පහසුව ගැන හිතන්නේ නැතුව මහලු, ආබාධිත සහෝදර සහෝදරියන්ට උදව් කරන්න. උදාහරණෙකට එයාලට රැස්වීම්වලට එන්න, සේවයේ යන්න උදව් ඕනෙ ඇති. සමහරවිට අපි උදව් කරන කෙනාට දෙවි වෙනුවෙන් ලොකු සේවයක් කරන්න බැරුව ඇති. ඒත් අපි එයාට උදව් කරන්න ඕනේ. (මතෙ. 13:23) මයිකල් රෝද පුටුවකට සීමා වුණ කෙනෙක්. පවුලේ අය, සභාවේ අය එයා වෙනුවෙන් කරන දේවල් එයා හුඟක් අගය කරනවා. එයා මෙහෙම කියනවා. “හැමෝම උදව් කරන නිසා හැම රැස්වීමකටම වගේ යන්න, නිතිපතා සේවේ යන්න මට පුළුවන් වෙලා තියෙනවා. මං වැඩියෙන්ම ආස පොදු සේවේ හවුල් වෙන්න.”

9 හුඟක් බෙතෙල්වල කාලයක් සේවය කරපු මහලු, ආබාධිත සහෝදර සහෝදරියෝ ඉන්නවා. මූලිකත්වය අරන් වැඩ කරන සහෝදරයන් එයාලගේ තත්වය තේරුම් අරන් ලිපි මාර්ගයෙන්, දුරකථනය මාර්ගයෙන් සාක්ෂි දරන්න පහසුකම් සපයලා තියෙනවා. බිල්ට දැන් වයස 86ක්. එයා ඈත ඉන්න අයට ලිපි මාර්ගයෙන් සාක්ෂි දරනවා. එයා මෙහෙම කියනවා. “ලිපි මාර්ගයෙන් සාක්ෂි දරන්න ලැබිලා තියෙන අවස්ථාව අපි හුඟක් අගය කරනවා.” වයස 90කට කිට්ටු නැන්සි මෙහෙම කියනවා. “ලියුම් ලියනවා කියන්නේ නිකම්ම ලියුම් කවරයකට මොකක් හරි ලියලා දාන එක නෙමෙයි. මේකත් දේශනා කරන විදිහක්.” 1921 ඉපදුණ එතෙල් කියන්නේ මෙහෙමයි. “වේදනාව මගේ ජීවිතේම කොටසක් වෙලා. සමහර දවස්වලට ඇඳුම් මාරු කරගන්නත් මට අමාරුයි.” ඒත් දුරකථනයෙන් සාක්ෂි දරන්න එයාට පුළුවන්. එයාට නැවත බැලීම් කීපයකුත් තියෙනවා. වයස 85ක් වන බාබ්රා මෙහෙම කියනවා. “අසනීප තත්වය නිසා නිතිපතා සේවේ යන්න මට අමාරුයි. ඒත් මං දුරකථනයෙන් සාක්ෂි දරනවා.” මහලු වයසේ ඉන්න කණ්ඩායමක් අවුරුද්දකටත් අඩු කාලෙකදී පැය 1,228ක් සේවයේ කරලා තියෙනවා. ලිපි 6,265ක් ලියලා තියෙනවා. 2,000කට වැඩි දුරකථන ඇමතුම් ප්‍රමාණයකින් සාක්ෂි දරලා තියෙනවා. ප්‍රකාශන 6,315ක් දීලා තියෙනවා. එයාලගේ ඒ වෑයම දැකලා යෙහෝවා දෙවි සතුටු වෙනවා කියලා නම් නිසැකයි.—හිතෝ. 27:11.

10. රැස්වීම්වලින් හොඳින් ප්‍රයෝජන ගන්න සහෝදරයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

10 රැස්වීම්වලදී සැලකිල්ල පෙන්නන්න. සභාවේ අය ගැන හිතලා දේවල් කරද්දී රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන්. ඒ කොහොමද? එක විදිහක් තමයි රැස්වීම්වලට වෙලාවට එන එක. අපි පරක්කු වෙලා එද්දී ඒක අනිත් අයට බාධාවක් වෙන්න පුළුවන්. හදිසි දෙයක් නිසා කලාතුරකින් අපි පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඒත් අපි පුරුද්දක් විදිහට පරක්කු වෙනවා නම් අපි අපේ සහෝදරයන්ට සැලකිල්ල පෙන්නනවා කියන්න බැහැ. සභාවේ අය ගැන මීට වඩා සැලකිල්ල පෙන්නන්න අපි මොන වගේ වෙනස්කම් කරගන්න ඕනෙද කියලා හිතන්න. අපිට රැස්වීම්වලට එන්න කියලා ආරාධනා කරන්නේ යෙහෝවා දෙවි සහ යේසුස්. (මතෙ. 18:20) ඒ නිසා වෙලාවට ඇවිත් ඒ දෙන්නාට අපේ ගෞරවය පෙන්නන්නයි අපිට ඕනේ.

11. 1 කොරින්ති 14:40 තියෙන මඟ පෙන්වීම රැස්වීමේ කොටස් කරන සහෝදරයන් අදාළ කරගන්න ඕනෙ ඇයි?

11 අපි සභාවේ අය ගැන හිතනවා නම් “සෑම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත් සිදු විය යුතුයි” කියන මඟ පෙන්වීමට කීකරු වෙනවා. (1 කොරි. 14:40) රැස්වීම්වල කොටස් නියමිත වෙලාවට අවසන් කරලා ඒ මඟ පෙන්වීමට කීකරු වෙන්න කොටස් ඉදිරිපත් කරන සහෝදරයන්ට පුළුවන්. එහෙම කරද්දී ඊළඟ කොටස කරන කෙනා ගැන විතරක් නෙමෙයි එයා මුළු සභාව ගැනම හිතනවා කියලා පැහැදිලියි. ටිකක් හිතන්න, රැස්වීම් පරක්කු වෙලා ඉවර වුණොත් ඒක සභාවේ අයට කොහොම බලපායිද කියලා. සමහරුන්ට රැස්වීම් ඉවර වෙලා සෑහෙන දුර යන්න තියෙනවා. තවත් අයට බස් එක නැත්නම් කෝච්චිය වෙලාවට අල්ලගන්න තියෙනවා. සමහර සහෝදර සහෝදරියන්ගේ බිරිඳ, සැමියා සත්‍යයේ නැහැ. රැස්වීම් ඉවර වෙලා ගෙදර යන්න පරක්කු වුණොත් ඒක එයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

12. වැඩිමහල්ලන් අපේ ආදරේ, ගෞරවය ලබන්න වටින්නේ ඇයි? (“ පෙරමුණ ගන්න සහෝදරයන්ට ආදරේ පෙන්නන්න” කියන කොටුව බලන්න.)

12 වැඩිමහල්ලන් සභාවේ වැඩවලට මහන්සි වෙනවා. සේවයේ පෙරමුණ ගන්නවා. ඒ නිසා අපේ ආදරේ, ගෞරවය ලබන්න එයාලා වටිනවා. (1 තෙසලෝනික 5:12, 13 කියවන්න.) එයාලා කරන හැම දේම ඔයාත් අගය කරනවා ඇති. කැමැත්තෙන්ම එයාලට කීකරු වෙලා, සහයෝගය දීලා ඒ අගය පෙන්නන්න. මොකද ‘ඔයා ගැන ගණන් දිය යුතු අය ලෙස එයාලා ඔයා ගැන සෝදිසියෙන් ඉන්නවා.’—හෙබ්‍රෙ. 13:7, 17.

සේවයේදී සැලකිල්ල පෙන්නන්න

13. යේසුස් අනිත් අයට සලකපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 යේසුස් ගැන යෙසායා මේ අනාවැකිය කිව්වා. “ඔහු තැළුණු බට ගසක් පොඩි කරන්නේවත් නිවී යන පහන් තිරයක් නිවා දමන්නේවත් නැත.” (යෙසා. 42:3) මිනිසුන් ගැන යේසුස්ට තිබුණ ආදරේ නිසා ඔහු එයාලගේ තත්වයට බැස්සා. “තැළුණු බට ගසක්” වගේ නැත්නම් “නිවී යන පහන් තිරයක්” වගේ අධෛර්යය වෙලා, දුර්වල වෙලා හිටපු අයගේ හැඟීම් ඔහු තේරුම්ගත්තා. එයාලට ආදරෙන්, ඉවසීමෙන් සැලකුවා. දරුවන් වුණත් යේසුස් ළඟට වෙලා ඉන්න කැමති වුණේ ඒ නිසයි. (මාක් 10:14) ඇත්ත, යේසුස් මිනිසුන්ව තේරුම්ගත්ත විදිහ, උගන්වපු විදිහ 100%ක්ම ආදර්ශයට ගන්න අපිට බැහැ. ඒත් අපි සේවය කරන ප්‍රදේශයේ අයට කතා කරන විදිහෙන්, එයාලට පහසු වෙලාවකදී එයාලව හම්බ වෙන්න යන එකෙන්, එයාලත් එක්ක කොයි තරම් වෙලාවක් කතා කරනවාද කියන එකෙන් අපේ සැලකිල්ල පෙන්නන්න පුළුවන්.

14. මිනිසුන්ට කතා කරන විදිහ ගැන අපි හිතන්න ඕනෙ ඇයි?

14 කතා කරන්න ඕනෙ කොහොමද? හිත්පිත් නැති ව්‍යාපාරිකයන්ගේ, දේශපාලනඥයන්ගේ, ආගමික නායකයන්ගේ වැඩ නිසා මිලියන ගාණක් දරුණු ලෙස හිරිහැර විඳිනවා. (මතෙ. 9:36) ඒ නිසා එයාලා කිසි කෙනෙකුව විශ්වාස කරන්නේ නැහැ. එයාලට බලාපොරොත්තුවක් නැහැ. ඒත් අපි පාවිච්චි කරන වචනවලින්, කතා කරන විදිහෙන් එයාලට දැනෙන්න ඕනෙ අපි එයාලා ගැන හිතනවා කියලා. හුඟක් අය අපේ පණිවිඩය අහන්න කැමති අපි හොඳින් බයිබලය යොදාගෙන දේවල් පැහැදිලි කරලා දෙන නිසා විතරක් නෙමෙයි. අපි එයාලා ගැන අවංකවම සැලකිලිමත් වෙන නිසාත් එයාලට ගෞරවයෙන් සලකන නිසාත් එයාලා අපිට ඇහුම්කන් දෙන්න කැමතියි.

15. සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය ගැන අපේ සැලකිල්ල පෙන්නන්න පුළුවන් මොන විදිවලින්ද?

15 සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය ගැන අපි සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන් හුඟක් විදි තියෙනවා. එක විදිහක් තමයි අපි එයාලගෙන් ප්‍රශ්න අහද්දී එයාලව අපහසුතාවට පත් කරන්නේ නැතුව ඉන්න එක. එක පුරෝගාමියෙක් සේවය කරපු ප්‍රදේශයේ හිටියේ ටිකක් ලැජ්ජාශීලී අය. අහන ප්‍රශ්නෙට එයාලා උත්තරේ දන්නේ නැත්නම් එයාලට ලැජ්ජාවක් දැනෙන්න පුළුවන් නිසා එයා ප්‍රශ්න අහන විදිහ වෙනස් කළා. “ඔයා දන්නවාද දෙවිගේ නම මොකක්ද කියලා” නැත්නම් “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද” වගේ ප්‍රශ්න අහන්නේ නැතුව එයා මෙහෙම අහනවා. “දෙවිට නමක් තියෙනවා කියලා බයිබලෙන් මං ඉගෙනගත්තා. ඒක මං ඔයාට බයිබලෙන් පෙන්නන්නද?” සමහරවිට ඒ ක්‍රමය හැම තැනටම ගැළපෙන එකක් නැති වෙයි. ඒත් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනෙ අපිට හම්බ වෙන අයට කාරුණිකව, ගෞරවයෙන් සලකන්න. ඒක කරන්න නම් ප්‍රදේශයේ ඉන්න අය ගැන අපි හොඳින් දැනගන්න ඕනේ.

16, 17. (අ) මිනිසුන්ව හම්බ වෙන්න යන්න ඕනෙ වෙලාව තීරණය කරද්දී, (ආ) මිනිසුන් එක්ක කොච්චර වෙලාවක් කතා කරනවාද කියලා තීරණය කරද්දී එයාලා ගැන අපි හිතනවා කියලා පෙන්නන්නේ කොහොමද?

16 මිනිසුන්ව හම්බ වෙන්න යන්න ඕනෙ කොයි වෙලාවෙද? ගෙයින් ගෙට සේවයේ යද්දී අපි මතක තියාගන්න ඕනෙ අපි යන ගෙවල්වල ඉන්න අය අපි එනවා කියලා දන්නේ නැහැ කියලා. ඒ නිසා එයාලා කාර්යබහුල නැති වෙලාවක අපි යනවා නම් ඒක වඩාත් හොඳයි. (මතෙ. 7:12) සමහරවිට ඔයා සේවයේ යන ප්‍රදේශයේ අය සති අන්තවල ටිකක් දවල් වෙන කල් නිදාගන්න කැමති ඇති. එහෙමනම් උදෙන්ම ගෙයින් ගෙට සේවයේ යනවා වෙනුවට වීදි සේවයේ හරි පොදු සේවයේ හරි හවුල් වෙන්න. එහෙම නැත්නම් ඒ වෙද්දී අවදි වෙලා ඇති කියලා ඔයා දන්න නැවත බැලීම්වලට යන්න.

17 ගෙදරක කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද? මිනිසුන් කාර්යබහුල නිසා අපි ගෙදරකට යන මුල් වතාවේම හුඟක් වෙලා කතා කරකර ඉන්නවා වෙනුවට අපේ පණිවිඩය කෙටියෙන් කියන එක තමයි හොඳ. (1 කොරි. 9:20-23) අපි එයාලගේ කාලය ගැන සැලකිලිමත් වෙනවා කියලා මිනිසුන්ට තේරෙද්දී ඊළඟ වතාවේ අපිත් එක්ක ටිකක් කතා කරන්න එයාලා කැමති වෙයි. දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග අපි තුළ තියෙනවා කියලා මිනිසුන්ට අපි සලකන විදිහෙන් දකින්න තියෙන්න ඕනේ. එතකොට අපි “දෙවිගේ හවුල් වැඩකරුවන්” වෙනවා වගේම තව කෙනෙක්ට සත්‍යය කියලා දෙන්න අපිව යොදාගන්නත් දෙවිට පුළුවන් වෙනවා.—1 කොරි. 3:6, 7, 9.

18. අනිත් අය ගැන හිතලා දේවල් කරද්දී අපිට ලැබෙන ආශීර්වාද මොනවාද?

18 පවුලේ අයට, සභාවේ අයට සහ සේවයේදී හම්බ වෙන අයට අපේ සැලකිල්ල පෙන්නන එක කොච්චර වැදගත්ද! එහෙම කරනවා නම් දැනුත් අනාගතයේදීත් අපිට හුඟක් ආශීර්වාද ලැබෙයි. ඒ ගැන ගීතාවලිය 41:1, 2 මෙහෙම කියනවා. “අසරණයා ගැන සැලකිලිමත් වන තැනැත්තා සන්තෝෂවත්ය. මන්ද ඔහු දුක් කරදරවලට මුහුණ දෙන විටදී යෙහෝවා දෙවි ඔහුට ගැලවීමට මාර්ගයක් සලසා දෙන්නේය. යෙහෝවා දෙවි ඔහුව ආරක්ෂා කර ඔහුගේ ජීවිතය රැක දෙන්නේය. ඔහු සන්තෝෂවත් තැනැත්තෙකුයයි ප්‍රකාශ කරනු ලබන්නේය.”