Skip to content

පටුනට යන්න

ආදරෙන් අනිත් අයව ගොඩනංවන්න

ආදරෙන් අනිත් අයව ගොඩනංවන්න

‘අන් අයව ගොඩනංවන්නේ කෙනෙකු තුළ තිබෙන ප්‍රේමයයි.’—1 කොරි. 8:1.

ගීතිකා: 109, 121

1. යේසුස් ගෝලයන් එක්ක ගත කරපු අන්තිම රාත්‍රියේ කතා කරපු වැදගත් විෂය මොකක්ද?

යේසුස් ගෝලයන් එක්ක ගත කරපු අන්තිම රාත්‍රියේදී ආදරේ කියන වචනය 30 වතාවක් විතර සඳහන් කළා. ඔහුගේ අනුගාමිකයන් “එකිනෙකාට ප්‍රේම කරන්න” ඕනෙ කියලා ඔහු කිව්වා. (යොහ. 15:12, 17) එයාලා අතරේ තියෙන ආදරේ කොයි තරම් කැපීපේනවාද කියනවා නම් එයාලා සැබෑ ක්‍රිස්තියානීන් කියලා අනිත් අය හඳුනගන්නේ ඒ ආදරේ නිසයි. (යොහ. 13:34, 35) යේසුස් කතා කරපු ඒ ආදරේ හැඟීම්වලට සීමා වුණ දෙයක් නෙමෙයි. ඒ ආදරේ නිසා තමන්ව දෙවෙනි තැනට දාලා අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න කෙනෙක් පෙලඹෙනවා. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ. මා ඔබට අණ කරන දේ ඔබ කරනවා නම් මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් ලෙසයි.”—යොහ. 15:13, 14.

2. (අ) දෙවිගේ සෙනඟ අතරේ දකින්න තියෙන්නේ මොකක්ද? (ආ) අපි මේ ලිපියේ බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ තියෙන අවංක ආදරේ නිසාත් එක්සත්කම නිසාත් එයාලා දෙවිගේ සෙනඟ කියලා පැහැදිලියි. (1 යොහ. 3:10, 11) එයාලා මොන රටකට, ජාතියකට, ගෝත්‍රයකට, පසුබිමකට අයිති වුණත් මොන භාෂාව කතා කළත් එයාලා අතරේ තියෙන ආදරේ වෙනසක් නැහැ. ලෝකේ පුරාම ඉන්න දෙවිගේ සෙනඟ එකිනෙකාට දක්වන්නේ සැබෑ ආදරයක්. ඒ වගේ ආදරයක් මේ කාලේ අපි අතරේ තියෙන්න ඕනෙමයි කියන්නේ ඇයි? යෙහෝවා දෙවි සහ යේසුස් අපිව ආදරෙන් ගොඩනංවන්නේ කොහොමද? ඒ ආදරේ පෙන්නලා අනිත් අයව ගොඩනංවන්න අපිට පුළුවන් කොහොමද?—1 කොරි. 8:1.

ආදරේ පෙන්නන එක මේ තරම්ම වැදගත් ඇයි?

3. අසීරු කාලෙක ජීවත් වෙන නිසා මිනිසුන් අද්දකින්නේ මොන වගේ දේවල්ද?

3 අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු” කාලෙක නිසා අපේ ජීවිත “කරදර සහ දුක් ගැහැටවලින් පිරිලා.” (2 තිමෝ. 3:1-5; ගීතා. 90:10) සමහරුන්ට දැනෙන පීඩනය කොයි තරම්ද කියනවා නම් එයාලට හිතෙනවා තවත් නම් දරාගන්න බැහැ කියලා. හැම අවුරුද්දකම ලක්ෂ 8කට වැඩිදෙනෙක් සිය දිවි නසාගන්නේ ඒ නිසයි. ඒ කියන්නේ හැම තත්පර 40කට වතාවක් කෙනෙක් ජීවිතේ නැති කරගන්නවා. අපේ සහෝදර සහෝදරියන් සමහරදෙනෙකුත් තමන්ගේ ජීවිතේ නැති කරගෙන තියෙනවා.

4. ‘මැරුණා නම් හොඳයි’ කියලා හිතුණ අතීතයේ හිටපු සමහර දෙවිගේ සේවකයන් කවුද?

4 අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් කීපදෙනෙකුටත් ‘මැරුණා නම් මීට වඩා හොඳයි’ කියලා හිතුණා. යෝබ් ඒ වගේ කෙනෙක්. එයාට විඳින්න වුණ දුක දරාගන්න බැරුව එයා මෙහෙම කිව්වා. “මට ජීවිතය තිත්ත වී ඇත. සැමදා ජීවත් වෙන්න මා තුළ කිසි ආශාවක් නැත.” (යෝබ් 7:16; 14:13) බලාපොරොත්තු වුණ විදිහට දේවල් වුණේ නැති වුණාම යෝනාත් මෙහෙම කිව්වා. “ඉතින් මම තවත් ජීවත් වෙලා වැඩක් තියෙනවාද? යෙහෝවා දෙවියනි, ඔබ මාව මරලා දැම්මා නම් මීට වඩා හොඳයි.” (යෝනා 4:3) තමන්ට කරකියාගන්න දෙයක් නැහැ කියලා හිතුණ එලියා “අනේ යෙහෝවා දෙවියනි, මාව මරා දමන්න. මා ජීවත් වුණා දැන් හොඳටම ඇති” කියලා කිව්වා . (1 රාජා. 19:4) ඒත් යෙහෝවා දෙවි එයාලට ආදරේ කළා. එයාලා ජීවත් වෙනවා දකින්නයි දෙවිට ඕනෙ වුණේ. එයාලගෙන් වැඩක් නැහැ කියලා හිතලා එයාලව අයින් කරනවා වෙනුවට ඒ හැඟීම්වලින් ගොඩ ඇවිත් දිගටම දෙවිට සේවය කරන්න දෙවි එයාලට උදව් කළා.

5. සහෝදර සහෝදරියන්ට අපේ ආදරේ දැනෙන්න සලස්වන එක මේ කාලේ හුඟක් වැදගත් ඇයි?

5 අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් අද ඉන්නේ ලොකු පීඩනයකින්. ඒ අයට අපේ ආදරේ ඕනේ. සමහරු අපහාසවලට, විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා. තවත් අය හැමදාම රැකියාව කරන්නේ අනිත් අයව පාගලා ඉහළට යන්න හදන, අනිත් අයව විවේචනය කරන අය එක්ක. සාමාන්‍ය පැය ගාණට වඩා වැඩි පැය ගාණක් වැඩ කරන්න වෙන නිසාත් ඉවරයක් වෙන්නේ නැති වැඩ කන්දරාව නිසාත් සමහරු ඉන්නේ හෙම්බත් වෙලා. සමහරුන්ගේ පවුල් ජීවිත ප්‍රශ්නවලින් පිරිලා. තවත් අයගේ සැමියා, බිරිඳ දෙවිට සේවය කරන්නේ නැති නිසා විරුද්ධවාදිකම්වලට එයාලා මුහුණ දෙනවා. ඒ වගේ හේතු නිසා සමහරු හිතනවා තවත් නම් දරාගන්න තරම් ශක්තියක් තමන්ට නැහැ කියලා. තමන්ගේ කිසිම වටිනාකමක් නැහැ කියලත් එයාලට හිතෙනවා. අධෛර්යය වෙලා ඉන්න ඒ වගේ අයව ගොඩනංවන්න පුළුවන් කාටද?

යෙහෝවා දෙවිගේ ආදරේ අපිව ගොඩනංවනවා

6. යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ව ආදරෙන් ගොඩනංවන්නේ කොහොමද?

6 අදට විතරක් නෙමෙයි සදහටම දෙවි තමන්ගේ සේවකයන්ට ආදරේ කරනවා කියලා දෙවිම පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුව දෙවිගේ සෙනඟට ලොකු ශක්තියක්. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මේ වචන කියද්දී එයාලට කොහොම හැඟෙන්න ඇද්ද! ‘ඔබ මට ඉතා අගනා වස්තුවකි. මම ඔබට බොහෝ සෙයින් ප්‍රේම කර ඉතා ගෞරවයෙන් සලකමි. භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.’ (යෙසා. 43:4, 5) අපි එක් එක් කෙනාව දෙවිට හුඟක් වටිනවා කියලා අපි දන්නවා. * බයිබලේ අපිට මෙහෙම පොරොන්දු වෙනවා. “බලවන්තයෙකු මෙන් දෙවි ඔබව බේරාගන්නේය. ඔහු ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වනු ඇත.”—ශෙප. 3:16, 17.

7. යෙහෝවා දෙවිගේ ආදරේ කිරි දෙන මවක් දරුවාට පෙන්නන ආදරේ වගේ කියන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

7 තමන්ගේ සෙනඟ මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් එයාලව සනසවලා, ශක්තිමත් කරනවා කියලා දෙවි පොරොන්දු වෙනවා. දෙවි මෙහෙම කියනවා. ‘කිරි බොන දරුවෙකු මෙන් ඔබව උකුළේ තබාගන්නවා. ඔබව ඔඩොක්කුවේ තබාගෙන නළවනවා. මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මමද ඔබව සනසන්නෙමි.’ (යෙසා. 66:12, 13) අම්මා කෙනෙක් තමන්ගේ දරුවාව ආදරෙන් වඩාගෙන යද්දී, එයාව ඔඩොක්කුවේ තියාගෙන සෙල්ලම් කරද්දී දරුවාට මොන තරම් ආදරයක්, ආරක්ෂාවක් දැනෙනවාද! යෙහෝවා දෙවිට ඔයා ගැන දැනෙන්නෙත් ඒ අම්මාට තමන්ගේ දරුවා ගැන දැනෙනවා වගේ ආදරයක්. දෙවිට ඔයාව හුඟක් වටිනවා කියන දේ කවදාවත් අමතක කරන්න එපා.—යෙරෙ. 31:3.

8, 9. යේසුස්ගේ ආදරේ අපිව ගොඩනංවන්නේ කොහොමද?

යෙහෝවා දෙවි අපිට ආදරෙයි කියලා ඔප්පු වෙන තවත් හේතුවක් තියෙනවා. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහ. 3:16) තමන්ගේ ජීවිතේ අපි වෙනුවෙන් දීලා යේසුත් පෙන්නුවා ඔහු අපිට ආදරෙයි කියලා. ඒ ආදරේ අපිට ශක්තියක්. බයිබලේ කියන්නේ “ක්‍රිස්තුස් පෙන්වන ප්‍රේමයෙන් අපව වෙන් කරන්න” කිසිම පීඩාවකටවත් දුක් වේදනාවකටවත් බැහැ කියලා.—රෝම 8:35, 38, 39.

9 අපිට මුහුණ දෙන්න වෙන සමහර ප්‍රශ්න නිසා අපි ශාරීරිකව, මානසිකව හෙම්බත් වෙන වෙලාවල් තියෙනවා. සමහරවිට දෙවිට සේවය කළත් අපිට කිසි සතුටක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් යේසුස් අපිට කොච්චර ආදරෙයිද කියලා මතක් කරගන්න එක ඒ අමාරු තත්වයන් දරාගන්න අපිට ශක්තියක්. (2 කොරින්ති 5:14, 15 කියවන්න.) ආපදා, විරුද්ධවාදිකම්, අධෛර්යය වීම්, කනස්සල්ල වගේ දරුණු දේවලට මුහුණ දෙන්න වුණත් ජීවිතේ එපා වෙන තරමට අධෛර්යය නොවී දිගටම දෙවිට සේවය කරන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්න යේසුස් පෙන්නපු ආදරේට පුළුවන්.

අපේ ආදරේ එයාලට ඕනේ

යේසුස්ගේ ආදර්ශය අධ්‍යයනය කරද්දී ඔහු වගේ වෙන්න ඔයාත් පෙලඹෙයි (10 සහ 11 ඡේද බලන්න)

10, 11. අධෛර්යය වෙලා ඉන්න අයව දිරිගන්වන වගකීම තියෙන්නේ කාටද? පැහැදිලි කරන්න.

10 යෙහෝවා දෙවි සභාව මාර්ගයෙනුත් අපිට ඔහුගේ ආදරේ පෙන්නලා අපිව ගොඩනංවනවා. අපි එක් එක් කෙනාට වගකීමක් තියෙනවා දෙවි අපිට පෙන්නන විදිහේ ආදරයක් සභාවේ අනිත් අයටත් පෙන්නන්න. එතකොට එයාලට දැනෙයි දෙවි එයාලට හුඟක් ආදරෙයි කියලා. දෙවිට එයාලව හුඟක් වටිනවා කියලා. (1 යොහ. 4:19-21) බයිබලේ මෙහෙම කියනවා. “ඔබ දැනටමත් කරමින් සිටින ආකාරයට දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න.” (1 තෙස. 5:11) වැඩිමහල්ලන්ට විතරක් නෙමෙයි අපි හැමෝටම පුළුවන් යෙහෝවා දෙවිවත් යේසුස්වත් ආදර්ශයට අරන් අපේ සහෝදර සහෝදරියන්ව සනසන්න.—රෝම 15:1, 2 කියවන්න.

11 සභාවේ ඉන්න සමහරු මානසික අවපීඩනය නිසා දරුණු විදිහට පීඩා විඳිනවා ඇති. එහෙම අයට වෛද්‍යවරයෙක්ගේ උපකාර ඕනෙ වෙයි. (ලූක් 5:31) එයාලට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර දෙන්න තමන්ට බැහැ කියලා වැඩිමහල්ලන් සහ සභාවේ අනිත් අය දන්නවා. හැබැයි ඒ වගේ අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා. ‘කලකිරී සිටින අයව සනසවන්නත් දුර්වල වී සිටින අයට උපකාර කරන්නත් සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්නත්’ සභාවේ හැමෝටම පුළුවන්. (1 තෙස. 5:14) අපි උත්සාහ කරන්න ඕනෙ අපේ සහෝදරයන්ට හැඟෙන විදිහ තේරුම්ගන්න. එයාලා එක්ක ඉවසීමෙන් වැඩ කරලා එයාලා අධෛර්යය වෙලා ඉද්දී එයාලට සැනසීමක් ලැබෙන විදිහට කතා කරන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. ඔයා අනිත් අයට ශක්තියක් වෙන්න උත්සාහ කරනවාද? තව වැඩියෙන් අනිත් අයව සනසන්න, දිරිගන්වන්න ඔයාට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

12. සභාවේ අයගේ ආදරේ නිසා දිරිගැන්වුණ කෙනෙක්ගේ අද්දැකීමක් කියන්න.

12 යුරෝපයේ ඉන්න සහෝදරියක් මෙහෙම කියනවා. “සමහර වෙලාවලදී මට මගේ ජීවිතේ නැති කරගන්න හිතෙනවා. එහෙම වෙලාවලදී වැටෙන්න නොදී මාව අල්ලගන්න කීපදෙනෙක්ම ඉන්නවා. සභාවේ අය හැම වෙලාවෙම මාව දිරිගන්වනවා. මට ආදරෙන් සලකනවා. මං මානසික අවපීඩනයෙන් පෙළෙනවා කියලා සභාවේ වැඩිදෙනෙක් දන්නේ නෑ. ඒත් සභාවේ හැමෝම නිතරම මගේ උදව්වට ඉන්නවා. එක යුවළක් මගේම අම්මායි, තාත්තායි වගේ මාව බලාගන්නවා. දවසේ ඕනෙම වෙලාවක එයාලා මාත් එක්ක ඉන්න ලෑස්තියි.” ඇත්ත, හැමෝටම ඒ විදිහට උදව් කරන්න බැරි වෙයි. ඒත් මානසිකව වැටිලා ඉන්න අයට උදව් කරන්න අපි එක් එක් කෙනාට හුඟක් දේවල් කරන්න පුළුවන්. *

ආදරෙන් අනිත් අයව ගොඩනංවන්නේ කොහොමද?

13. අනිත් අයව ගොඩනංවන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද?

13 හොඳින් සවන් දෙන්න. (යාකො. 1:19) අධෛර්යය වෙලා ඉන්න කෙනෙක්ට සවන් දීලා එයාගේ තත්වය තේරුම්ගන්න උත්සාහ කරන එක ආදරේ පෙන්නන්න පුළුවන් විදිහක්. ඔයා එයාගේ තත්වයේ හිටියා නම් ඔයාට කොහොම හැඟෙයිද කියලා හිතන්න. හිත රිදෙන්නේ නැති විදිහේ ප්‍රශ්න අහලා එයාව තව හොඳින් තේරුම්ගන්න. ඔයා ඇත්තටම එයා ගැන සැලකිලිමත්ද කියලා ඔයාගේ මුහුණේ ඉරියව්වලින් වුණත් තේරුම්ගන්න එයාට පුළුවන්. එයාට හැඟෙන විදිහ ගැන එයා කියද්දී බාධා කරන්නේ නැතුව ඇහුම්කන් දෙන්න. එතකොට ඔයාට පුළුවන් එයාගේ හැඟීම් තේරුම්ගන්න. ඒ වගේම එයාට ඔයා ගැන විශ්වාසයකුත් ඇති වෙයි. ඔයා කියන දේවලට සවන් දෙන්නත් එයා පෙලඹෙයි. ඔයාගේ ආදරේ එයාට ලොකු සහනයක් වෙයි.

14. මානසිකව වැටිලා ඉන්න කෙනෙක් ගැන අපි අඩුවෙන් හිතන්න හොඳ නැත්තේ ඇයි?

14 එයාලා ගැන අඩුවෙන් හිතන්න එපා. මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට ඔයා කියන දේවල් නිසා එයාට දැනුණොත් ඔයා එයා ගැන අඩුවෙන් හිතනවා කියලා ඒකෙන් වෙන්නේ එයාගේ වේදනාව තවත් වැඩි වෙන එකයි. එතකොට එයාට උදව් කරන්න ඔයාට තව අමාරු වෙනවා. බයිබලේ මෙහෙම කියනවා. “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි. නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.” (හිතෝ. 12:18) ඇත්ත, මානසික පීඩනයෙන් ඉන්න කෙනෙක්ව රිද්දන්න හිතාගෙන අපි දේවල් කියන්නේ නැහැ. ඒත් අපි හිතන්නේ බලන්නේ නැතුව කතා කළොත් ඒක එයාට වේදනාවක් වෙයි. එයාව ගොඩනංවන්න නම් එයාට දැනෙන්න ඕනෙ ඔයා එයාගේ තත්වය තේරුම්ගන්න ලොකු උත්සාහයක් දරනවා කියලා.—මතෙ. 7:12.

15. අපිට අනිත් අයව සනසන්න යොදාගන්න පුළුවන් වටිනාම දේ මොකක්ද?

15 දේවවචනය යොදාගෙන එයාලට සහනයක් වෙන්න. (රෝම 15:4, 5 කියවන්න.) ‘විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත් ලබා දෙන දෙවි’ තමයි අපිට බයිබලේ දීලා තියෙන්නේ. ඒකේ තියෙන වචනවලින් අපිට සහනයක් ලැබෙන එක පුදුමයක්ද! ඒ විතරක් නෙමෙයි ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන ප්‍රකාශනයත් අපිට තියෙනවා. අපේ සහෝදර සහෝදරියන්ව සනසන්න, දිරිගන්වන්න යොදාගන්න පුළුවන් බයිබල් පද සහ ප්‍රකාශන හොයාගන්න ඒක අපිට උදව් වෙනවා.

16. මානසික අවපීඩනයෙන් ඉන්න කෙනෙක්ව දිරිගන්වන්න නම් අපිට තියෙන්න ඕනෙ මොන ගුණාංගද?

16 දයානුකම්පාව පෙන්නන්න. මෘදුකමින් කටයුතු කරන්න. බයිබලේ යෙහෝවා දෙවිව හඳුන්වන්නේ ‘මහත් දයාවක් පෙන්වන පියාණන් වගේම සියලු සැනසිල්ලේ දෙවි’ හැටියට. දෙවි ඔහුගේ සේවකයන්ට සලකන්නේ “අතිමහත් දයානුකම්පාවකින්.” (2 කොරින්ති 1:3-6 කියවන්න; ලූක් 1:78; රෝම 15:13) පාවුල් යෙහෝවා දෙවිව ආදර්ශයට ගත්තා. ඒ නිසයි එයාට මෙහෙම කියන්න පුළුවන් වුණේ. “කිරි දෙන මවක් ඇගේම දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්නා සේ අපි ඔබ අතරේ සිටියදී ඔබව ඉමහත් සෙනෙහසකින් රැකබලා ගත්තෙමු. එසේ ඔබ අපට ඉතා හිතවත් වූ නිසා ගැඹුරු සෙනෙහසක් ඇතුව ඔබට දෙවිගේ ශුභාරංචිය ලබා දීමට පමණක් නොව ඔබ වෙනුවෙන් අපගේ ජීවිත පවා දීමට අපි සතුටු වූයෙමු.” (1 තෙස. 2:7, 8) යෙහෝවා දෙවි වගේ අපිත් අනිත් අයට දයානුකම්පාවෙන්, මෘදුකමින් සලකනවා නම් පීඩනයෙන් ඉන්න සහෝදර සහෝදරියන්ට සහනයක් වෙන්න අපිට පුළුවන් වෙයි. එතකොට එයාලට දැනෙයි එයාලගේ යාච්ඤාවලට පිළිතුරක් ලැබුණා කියලා.

17. සහෝදරයන්ට දිරිගැන්වීමක් වෙන්න නම් අපි නොකරන්න ඕනෙ මොකක්ද?

17 සහෝදරයන් හැම දෙයක්ම හරියටම කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. සහෝදරයන් අතින් කිසිම වරදක් වෙන්නේ නැහැ කියලා හිතන්න බැහැ. මොකද අපි හැමෝම අතින් අඩුපාඩුකම් වෙනවා. (දේශ. 7:21, 22) ඒ නිසා අපි යෙහෝවා දෙවිව ආදර්ශයට ගමු. ඔහු කවදාවත් ඔහුගේ සේවකයන්ට කරන්න බැරි දේවල් එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිත් දෙවි වගේ අනිත් අයගේ දුර්වලකම් දරාගමු. (එෆී. 4:2, 32) එයාලා කරන ප්‍රමාණය මදියි කියලා අඟවනවා වෙනුවට එයාලා දැනටමත් කරන දේවල් අගය කරන්න. එහෙම අගය කරද්දී අනිත් අය එක්ක සසඳන්නේ නැතුව තමන් දෙවි වෙනුවෙන් කරන දේ ගැන සතුටු වෙන්න එයාලා පෙලඹෙයි.—ගලා. 6:4.

18. අපි අනිත් අයව ආදරෙන් ගොඩනංවන්න ඕනෙ ඇයි?

18 දෙවිගේ හැම සේවකයෙක්වම යෙහෝවා දෙවිටත් යේසුස්ටත් හුඟක් වටිනවා. (ගලා. 2:20) අපිත් අපේ සහෝදර සහෝදරියන්ට හුඟක් ආදරෙයි. එයාලට දයානුකම්පාවෙන් සලකන්නයි අපිට ඕනේ. ඒ නිසා “සමාදානයට දායක වන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.” (රෝම 14:19) පාරාදීසයේදී කිසි කෙනෙක් අධෛර්යය වෙන්නේ නැහැ. අසනීප, යුද්ධ එදාට නැහැ. උරුම වෙලා තියෙන පාපය නිසා කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ. කාගෙන්වත් විරුද්ධවාදිකම් එන්නෙත් නැහැ. පවුල් ජීවිතේ ප්‍රශ්න තියෙන්නේවත් බලාපොරොත්තු කඩ වෙන්නේවත් නැහැ. යේසුස්ගේ දහස් අවුරුදු පාලනය අවසන් වෙද්දී හැම කෙනෙක්ම පරිපූර්ණ අය වෙනවා. අවසන් පරීක්ෂණයේදී දෙවිට ළැදිව ඉන්න අයව දෙවි තමන්ගේ පුත්‍රයන් විදිහට පිළිගන්නවා. එදාට අපිට “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වෙයි.” (රෝම 8:21) ඒ නිසා අපි හැමෝම එකිනෙකාව ආදරෙන් ගොඩනංවමු. ඒ ලස්සන පාරාදීසයට ඇතුල් වෙන්න හැමෝටම උදව් කරමු.

^ 6 ඡේ. ‘යෙහෝවාට ළං වන්න’ පොතේ 24වෙනි පරිච්ඡේදය බලන්න.

^ 12 ඡේ. සිය දිවි නසාගන්න හිතෙන අයට ඒ හැඟීම්වලින් ගොඩ එන්න උදව් කරන්න ‘පිබිදෙව්!’ කලාපයේ පළ වුණ මේ ලිපි ඔයාට උදව් වෙයි. “ජීවිතය නැති කරගැනීමද විසඳුම?” (2014 අප්‍රියෙල්); “ජීවිතය නැති කරගත්තා නම් හොඳයි කියා ඔබට හැඟී තිබෙනවාද?” (2012 ජනවාරි); “ඔබේ ජීවිතය රැකගත යුතු සම්පතකි” (2001 නොවැම්බර් 8).