Skip to content

පටුනට යන්න

‘දන්න දේ පිළිපදිනවා නම් ඔයාට සතුටු වෙන්න පුළුවන්’

‘දන්න දේ පිළිපදිනවා නම් ඔයාට සතුටු වෙන්න පුළුවන්’

“මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි.”—යොහ. 4:34.

ගීතිකා: 80, 35

1. මේ සමාජයේ තියෙන ආත්මාර්ථකාමී ගති අපිටත් බලපාන්න පුළුවන් කොහොමද?

බයිබලෙන් අපි ඉගෙනගන්න දේවල් අපේ ජීවිතේට අදාළ කරගන්න නම් අපි නිහතමානී වෙන්න ඕනේ. එත් මේ “අවසාන කාලයේ” නිහතමානී වෙන එක ලේසි නැහැ. මොකද අපි වට වෙලා ඉන්නේ ‘තමන් ගැනම හිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, තමන්වම පාලනය කරගත නොහැකි’ මිනිසුන්ගෙන්. (2 තිමෝ. 3:1-3) ඒ ගති වැරදියි කියලා අපි දන්නවා. ඒත් සමහර අවස්ථාවලදී ඒ වගේ ගති තියෙන අය සාර්ථකයි කියලත් එයාලා ජීවිතේ සතුටින් ගත කරනවා කියලත් පේන්න තියෙනවා. (ගීතා. 37:1; 73:3) ඒ නිසා අපිට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘ආත්මාර්ථකාමී නොවී අනිත් අය ගැන හිතලා වැඩ කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද? නිහතමානීව අනිත් අය ගැන හිතලා දේවල් කළොත් එයාලා මාව පහත් කරයිද?’ (ලූක් 9:48) සමාජයේ රැල්ලට අහු වෙලා අපිත් ආත්මාර්ථකාමී වුණොත් අපේ සහෝදර සහෝදරියන් එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන්. එතකොට අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා අනිත් අයට හඳුනගන්න බැරි වෙයි. ඒ නිසා නිහතමානීව දෙවිට සේවය කරපු අය ගැන අධ්‍යයනය කරලා එයාලා වගේ වැඩ කරන්න උත්සාහ කරමු. එතකොට අපිට ආශීර්වාද ලැබෙයි.

2. අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

2 අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව අපි ආදර්ශයට ගන්න නම් දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න එයාලට පුළුවන් වුණේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. එයාලා දෙවිගේ හිත සතුටු කළේ කොහොමද? හරි දේ කරන්න එයාලට ශක්තිය ලැබුණේ කොහෙන්ද? එයාලා ගැන බයිබලෙන් කියවද්දී ඒ විදිහේ තොරතුරු ගැන හොඳට හිතන එක ගොඩක් වැදගත්. මොකද දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඒ තොරතුරු උදව් වෙනවා.

මනස තොරතුරුවලින් නිකම්ම පුරවගන්න එපා

3, 4. (අ) යෙහෝවා දෙවි අපිට උගන්වන්නේ කොහොමද? (ආ) මනස තොරතුරුවලින් පුරවගන්න එක විතරක් මදි කියන්නේ ඇයි?

3 බයිබලය, අපේ ප්‍රකාශන, අපේ වෙබ් අඩවිය, JW බ්‍රෝඩ්කාස්ටිං, රැස්වීම්, සමුළු වගේ දේවලින් යෙහෝවා දෙවි අපිට ඕනෙ කරන උපදෙස්, මඟ පෙන්වීම්, පුහුණුව දෙනවා. ඒත් දෙවි ලබා දෙන ඒ දැනුමෙන් අපේ මනස නිකම්ම පුරවගන්න එක විතරක් මදි කියලා යේසුස් කිව්ව මේ දෙයින් පැහැදිලියි. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි.”—යොහ. 4:34.

4 දෙවිගේ කැමැත්ත කරන එක යේසුස් සැලකුවේ හරියට කෑම වගේ. හොඳ කෑම වේලක් ගත්තාම අපිට තෘප්තියක් දැනෙනවා විතරක් නෙමෙයි අපේ ශරීරයට අවශ්‍ය පෝෂණයත් ඒකෙන් ලැබෙනවා. ඒ වගේ තමයි දෙවි කැමති දේ අපි කරද්දී අපිට සතුටක් දැනෙනවා. දෙවි ගැන අපිට තියෙන විශ්වාසයත් ශක්තිමත් වෙනවා. උදාහරණෙකට හුඟක් මහන්සියෙන් හිටියත් ඔයා දේශනා සේවයේ ගිය අවස්ථාවක් මතක් කරගන්න. ආපහු එද්දී ඔයාට ලොකු සතුටක්, ප්‍රබෝධයක් දැනුණේ නැද්ද? ඒ දෙවි කැමති දේ ඔයා කළා කියලා ඔයා දන්න නිසයි.

5. ප්‍රඥාවන්තව වැඩ කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

5 දෙවි කියලා තියෙන විදිහට ජීවත් වෙන කෙනෙක් ප්‍රඥාවන්තයි. (ගීතා. 107:43) ප්‍රඥාවන්තව වැඩ කරන්න අපි ගන්න උත්සාහය කවදාවත් අපතේ යන්නේ නැහැ. මොකද බයිබලේ කියන්නේ ‘ප්‍රඥාවට සම කළ හැකි දෙයක් නොමැත. ප්‍රඥාව ජීවන වෘක්ෂයකි. එය අත් කරගෙන තදින් අල්ලාගෙන සිටියොත් එයින් ජීවනයද සන්තෝෂයද ලැබෙනු ඇත’ කියලයි. (හිතෝ. 3:13-18) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ ‘ඔබ දැන සිටින දේවල් ඔබ පිළිපැද්දොත් ඔබට සතුටු විය හැකියි’ කියලා. (යොහ. 13:17) ඒ කියන්නේ නිකම්ම දවසකට දෙකකට යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදින එක නෙමෙයි. හැම දවසකම එයාලා ජීවත් වෙන විදිහෙන් දකින්න ඕනේ එයාලා යේසුස්ව ආදර්ශයට ගන්නවා කියලා. එතකොට එයාලා අද්දකින සතුට හැමදාටම තියෙනවා.

6. අපි ඉගෙනගන්න දේවලට අනුව දිගටම ජීවත් වෙන්න ඕනෙ ඇයි?

6 අපිත් අපි ඉගෙනගන්න දේවල් හැම දවසකම අපේ ජීවිතේට අදාළ කරගන්න ඕනේ. මෙකැනික් කෙනෙක් ගැන හිතන්න. එයාට උපකරණ, දැනුම තිබුණා කියලා එයා හොඳ මෙකැනික් කෙනෙක් වෙන්නේ නැහැ. එයා ඒවා හොඳින් පාවිච්චි කරන්න ඕනේ. සමහරවිට එයා අවුරුදු ගාණක් මෙකැනික් වැඩ කරලා හුඟක් අද්දැකීම් ලබලා ඇති. ඒත් එයාගේ දැනුම ප්‍රයෝජනයට අරන් දිගටම මෙකැනික් වැඩ කළොත් විතරයි එයාට දක්ෂ විදිහට ඒ වෘත්තියේ දිගටම නියැලෙන්න පුළුවන් වෙන්නේ. අපිත් ඒ වගේ තමයි. සත්‍ය ඉගැන්වීම් දැනගන්න ලැබුණ මුල් කාලේ අපි ඒවා ජීවිතේට අදාළ කරගත්ත නිසා අපිට ලොකු සතුටක් දැනුණා. ඒත් ඒ සතුට දිගටම තියාගන්න අපිට පුළුවන් වෙන්නේ දෙවි අපිට උගන්වන දේවල්වලට අනුව අපි හැම දවසක්ම ගත කරනවා නම් විතරයි.

7. බයිබලේ සඳහන් ආදර්ශවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 ඒත් අපි තුළ තියෙන නිහතමානිකම අඩු වෙද්දී ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න අපිට අමාරු වෙනවා. නිහතමානීව වැඩ කරන එක අභියෝගයක් වෙන්න පුළුවන් අවස්ථා කීපයක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඒ අවස්ථාවලදී අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් නිහතමානීව වැඩ කළේ කොහොමද කියලත් බලමු. ඒ වාර්තා නිකම්ම කියවලා දැනුවත් වෙනවා වෙනුවට ඒවා ගැන හොඳට හිතලා ඒවා අපේ ජීවිතේට අදාළ කරගමු.

අනිත් අයත් අපි හා සමානයි කියන හැඟීමෙන් වැඩ කරන්න

8, 9. ක්‍රියා 14:8-15 සඳහන් සිද්ධියෙන් පාවුල්ගේ නිහතමානිකම ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

8 ‘සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවෙන එකත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගන්න එකත්’ දෙවිගේ කැමැත්තයි. (1 තිමෝ. 2:4) තවමත් සත්‍යය අහලා නැති අය ගැන ඔයාට කොහොමද හැඟෙන්නේ? පාවුල් දේශනා කරන්න ගියේ යුදෙව්වන් ළඟට විතරක් නෙමෙයි. එයා බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු අයටත් දේශනා කළා. එයාලට දේශනා කරද්දී එයා කොච්චර නිහතමානීද කියන දේ සෝදිසියට ලක් වුණ අවස්ථාවකට මුහුණ දුන්නා.

9 දේශනා කරන්න ගිය 1වෙනි සංචාරයේදී පාවුල් බානබස් එක්ක ලිකෝනියට ගියා. එහේ මිනිසුන් ඒ දෙන්නාව සුපිරි වීරයන් විදිහට සලකලා සියුස් සහ හර්මීස් කියන එයාලගේ දෙවිවරුගේ නම්වලින් එයාලට කතා කරන්න පටන්ගත්තා. ඒ වර්ණනාවලට එයාලා අහු වුණාද? කලින් නගර දෙකේ විරුද්ධවාදිකම් තිබුණ නිසා ‘මේක නම් නියම වෙනසක්’ කියලා එයාලට හිතුණාද? ඒ වගේ පිළිගැනීමක් ලැබෙද්දී තව වැඩිදෙනෙක්ට දේශනා කරන්න පුළුවන් වෙයි කියලා එයාලා හිතුවාද? නැහැ. ඒකට තදින්ම අකමැති වුණ ඒ දෙන්නා මෙහෙම කිව්වා. “ඔබ මේ දේවල් කරන්නේ ඇයි? අපත් ඔබ හා සමාන දුර්වලකම් ඇති මිනිස්සු.”—ක්‍රියා 14:8-15.

10. ලිකෝනියේ වැසියන්ට වඩා තමන් උසස් කියලා පාවුල් සහ බානබස් හිතුවේ නැත්තේ ඇයි?

10 ‘අපත් ඔබ හා සමාන මිනිස්සු’ කියලා කියද්දී පාවුල් අදහස් කළේ නැහැ එයාලත් ලිකෝනියේ මිනිස්සු වගේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරනවා කියලා. ඒ වෙනුවට එයා අදහස් කළේ ඒ අයට වඩා එයාලා උසස් නැහැ කියලයි. ඇත්ත, දේශනා කරන්න එයාලට පැවරුම දුන්නේ යෙහෝවා දෙවි. (ක්‍රියා 13:2) ඒ දෙන්නාව දෙවිගේ බලයෙන් අභිෂේක කරලත් තිබුණා. එයාලට ලස්සන බලාපොරොත්තුවකුත් තිබුණා. ඒත් ඒ දෙන්නා තේරුම්ගත්තා ලිකෝනියේ වැසියන්ට වඩා තමන් උසස් කියලා හිතන්න ඒවා හේතු නෙමෙයි කියලා. මොකද ශුභාරංචිය පිළිගත්තොත් එයාලට තිබුණ බලාපොරොත්තුවම ලිකෝනියේ වැසියන්ටත් ලැබෙනවා කියලා එයාලා දැනන් හිටියා.

11. සේවයේ යද්දී පාවුල් වගේ නිහතමානී වෙන්න අපිට පුළුවන් කොහොමද?

11 නිහතමානී වෙන්න පුළුවන් එක විදිහක් අපිට පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි අපි කවදාවත් හිතන්න හොඳ නැහැ දේශනා කරන්න අපිට ලැබිලා තියෙන පැවරුම නිසා නැත්නම් දෙවිගේ උදව්වෙන් අපිට කරන්න පුළුවන් වෙලා තියෙන දේවල් නිසා අපි විශේෂයි කියලා. අපි අපෙන්ම මෙහෙම අහලා බලමු. ‘මං සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය ගැන මට හැඟෙන්නේ කොහොමද? සමහර මිනිසුන්ව මං පහත් කරලා සලකනවාද?’ ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් උත්සාහ කරන්නේ ශුභාරංචිය පිළිගන්න කැමති අයව හොයන්නයි. පහත් කියලා සමාජයේ වැඩිදෙනෙක් සලකන සමහර ජන පිරිස් කතා කරන භාෂා ඉගෙනගන්න, එයාලගේ සිරිත් විරිත් ඉගෙනගන්න සමහර සාක්ෂිකරුවන් වෑයම් කරලා තියෙනවා. ඒත් එයාලා කවදාවත් හිතන්නේ නැහැ තමන් දේශනා කරන අයට වඩා තමන් උසස් කියලා. ඒ වෙනුවට එයාලා උත්සාහ කරන්නේ ඒ එක් එක් කෙනාව තේරුම් අරන් ශුභාරංචිය පිළිගන්න එයාලට උදව් කරන්න.

නම කියලාම යාච්ඤා කරන්න

12. අනිත් අය ගැන තමන් සැලකිලිමත් කියලා එපෆ්‍රස් පෙන්නුවේ කොහොමද?

12 නිහතමානී වෙන්න පුළුවන් තවත් විදිහක් තමයි ‘අප හා සමානව සත්‍ය ඉගැන්වීම් පිළිගෙන සිටින’ අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යාච්ඤා කරන එක. (2 පේතෘ. 1:1) එපෆ්‍රස් එහෙම කළා. රෝමයේ නිවාස අඩස්සියේ හිටපු පාවුල් කොලොස්සි සභාවේ අයට එපෆ්‍රස් ගැන මෙහෙම කිව්වා. “ඔහු නිතරම ඔබ වෙනුවෙන් මහත් උනන්දුවකින් යාච්ඤා කරයි.” (කොලො. 4:12) එපෆ්‍රස් සහෝදරයන්ව හොඳින් දැනන් හිටියා වගේම එයාලා ගැන ලොකු ආදරයක් එයාගේ හිතේ තිබුණා. පාවුල් එපෆ්‍රස් ගැන කියන්නේ ‘එයා මා සමඟ සිරභාරයේ සිටින’ කෙනෙක් කියලයි. ඒ කියන්නේ එපෆ්‍රස්ටත් ප්‍රශ්න තිබුණා. (ෆිලෙ. 23) ඒත් එයා එයාගෙම ප්‍රශ්න ගැන හිතහිත හිටියේ නැහැ. අනිත් අය වෙනුවෙන් එයාට කරන්න පුළුවන් දේ එයා කළා. ඒ මොකක්ද? එයා සහෝදර සහෝදරියන් වෙනුවෙන් දෙවිට යාච්ඤා කළා. සමහරවිට එයාලගේ නම කියලාම එයා එහෙම කරන්න ඇති. අපිත් එහෙම යාච්ඤා කරනවා නම් ඒක සහෝදරයන්ට ගොඩක් උදව් වෙයි.—2 කොරි. 1:11; යාකො. 5:16.

13. යාච්ඤා කරද්දී එපෆ්‍රස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

13 කවුරු ගැනද නම කියලා ඔයාට යාච්ඤා කරන්න පුළුවන් කියලා හිතන්න. සභාවේ අය ගැන, යම් අභියෝග එක්ක පොරබදින පවුලක් ගැන ඔයාට සඳහන් කරන්න පුළුවන්. සමහරවිට එයාලට බැරෑරුම් තීරණ ගන්න තියෙනවා ඇති. නැත්නම් වැරදි ආශාවන් එක්ක එයාලා සටන් කරනවා ඇති. jw.org වෙබ් අඩවියේ තියෙන “විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියන ලිපියේ සඳහන් වෙන අයගේ නම් කියලත් ඔයාට යාච්ඤා කරන්න පුළුවන්. (පුවත් > නීතික තොරතුරු යටතේ බලන්න.) වියෝදුකින් ඉන්න අය ගැනත් ආපදා, යුද්ධ, ආර්ථික ප්‍රශ්න නිසා දුෂ්කරතා අද්දකින අය ගැනත් යාච්ඤා කරන්න අමතක කරන්න එපා. ඇත්තටම අපේ යාච්ඤාවලදී සඳහන් කරන්න පුළුවන් හුඟදෙනෙක් ඉන්නවා. අපි එයාලා වෙනුවෙන් යාච්ඤා කරද්දී ඒකෙන් පේන්නේ අපි අපේ කාරණා ගැන විතරක් නෙමෙයි අනිත් අය ගැනත් හිතනවා කියලයි.—ෆිලි. 2:4.

‘ඇහුම්කන් දීමට ඉක්මන් වෙන්න’

14. යෙහෝවා දෙවි අනිත් අයට හොඳින්ම සවන් දෙනවා කියන්නේ ඇයි?

14 හොඳ සවන් දෙන්නෙක් වෙන එක අපිට නිහතමානී වෙන්න පුළුවන් තව විදිහක්. යාකොබ් 1:19 අපිට කියන්නේ “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි” කියලා. අනිත් අයට ඇහුම්කන් දීම ගැන හොඳම ආදර්ශය යෙහෝවා දෙවි. (උත්. 18:32; යොෂු. 10:14) උදාහරණෙකට නික්මයාම 32:11-14 (කියවන්න.) තියෙන සංවාදය බලන්න. මෝසෙස් කියපු දේවල් ගැන දෙවි නොදැන හිටියා නෙමෙයි. ඒත් දෙවි එයාට ඉඩ දුන්නා එයාට හැඟෙන විදිහ කියන්න. වැරදි යෝජනා දෙන කෙනෙක් සෑහෙන වෙලා කතා කරද්දී සාමාන්‍යයෙන් මිනිසුන් එයාට ඇහුම්කන් දීලා එයා දෙන යෝජනාවලට අනුව වැඩ කරන්නේ නැහැ. ඒත් යෙහෝවා දෙවි ඒ දේ කරනවා. විශ්වාසයෙන් ඔහුට යාච්ඤා කරන හැමෝටම දෙවි ඉවසීමෙන් සවන් දෙනවා.

15. අනිත් අයට ගෞරවයෙන් සලකලා යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

15 මෙහෙම හිතන්න. ‘යෙහෝවා දෙවි ආබ්‍රහම්ට, රාකෙල්ට, මෝසෙස්ට, යොෂුවාට, මානෝවාට, එලියාට, හෙසකියාට ඇහුම්කන් දෙන්න තරම් යටහත්පහත් වුණා නම් මමත් කරන්න ඕනෙ ඒ දේම නෙමෙයිද? සහෝදරයන් දෙන යෝජනාවලට ඇහුම්කන් දීලා හොඳ යෝජනා අදාළ කරගෙන තව වැඩියෙන් එයාලට ගෞරව කරන්න මට බැරිද? මගේ අවධානය තව වැඩියෙන් දෙන්න ඕනෙ කෙනෙක් සභාවේ හරි පවුලේ හරි ඉන්නවාද? ඒ වෙනුවෙන් මං කරන්න ඕනෙ මොකක්ද?’—උත්. 30:6; විනි. 13:9; 1 රාජා. 17:22; 2 ලේක. 30:20.

‘මට කළ අපහාසය යෙහෝවා දෙවි දකියි’

දාවිත් කිව්වේ “එයාට ඕනෙ දෙයක් කියන්න ඉඩ දෙන්න” කියලා. ඔයා එතන හිටියා නම් මොනවා කරයිද? (16 සහ 17 ඡේද බලන්න)

16. ෂිමෙයි දාවිත්ට නින්දා කරද්දී දාවිත් මොකද කළේ?

16 අපිට නිහතමානී වෙන්න පුළුවන් තවත් විදිහක් තමයි අනිත් අය අපිට නපුරු විදිහට සලකද්දී කේන්ති නොගෙන අපිවම පාලනය කරගන්න එක. (එෆී. 4:2) ඒකට හොඳ උදාහරණයක් 2 සාමුවෙල් 16:5-13 (කියවන්න.) සඳහන් වෙනවා. සාවුල් රජුගේ නෑදෑයෙක් වුණ ෂිමෙයි දාවිත්ටයි, එයාගේ සේවකයන්ටයි අපහාස කරලා එයාලට ගල්වලිනුයි, වැලිවලිනුයි ගැහුවා. ඕනෙ නම් ෂිමෙයිව නවත්තන්න දාවිත්ට තිබුණා. ඒත් එයා ඉවසීමෙන් ෂිමෙයි කරපු නින්දා දරාගෙන හිටියා. එහෙම කරන්න එයාට පුළුවන් වුණේ කොහොමද?

17. තමන්ව පාලනය කරගන්න දාවිත්ට උදව් වුණේ මොකක්ද? එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

17 3වෙනි ගීතිකාව දාවිත් රචනා කළේ එයාගේ පුතා අබ්සලොම් එයාට විරුද්ධව කැරලි ගහපු වෙලාවේ. ඒ අමාරු අවස්ථාවට මුහුණ දෙමින් ඉද්දී තමයි ෂිමෙයි දාවිත්ට නින්දා කළේ. ඒත් සන්සුන්ව ඉන්න දාවිත්ට පුළුවන් වුණා. ඒ කොහොමද? ගීතාවලිය 3:4 මෙහෙම කියනවා. “මම හඬ නඟා යෙහෝවා දෙවිට කතා කරන්නෙමි. ඔහු තම ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන්නේය.” අපිටත් කවුරු හරි නරක විදිහට සලකනවා නම් අපිත් දෙවිට යාච්ඤා කරන්න ඕනේ. එතකොට ඒක දරාගන්න දෙවි ඔහුගේ බලය දීලා අපිට උදව් කරනවා. කවුරු හරි නරක විදිහට ඔයාට සලකනවා නම් ඔයාට පුළුවන්ද තව හොඳින් ඔයාවම පාලනය කරගන්න? නැත්නම් තව වැඩියෙන් එයාට සමාව දෙන්න පුළුවන්ද? ඔයාගේ දුක දෙවිට තේරෙනවා කියලත් ඒක දරාගන්න දෙවි ඔයාට උදව් කරනවා කියලත් ඔයාට විශ්වාසද?

“වැදගත්ම දේ නම් ප්‍රඥාවය”

18. දෙවි අපිට උගන්වන දේවල්වලට අනුව අපි හැම දවසක්ම ගත කරනවා නම් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 හරියි කියලා අපි දන්න දේ කරනවා නම් ප්‍රඥාවන්තව වැඩ කරන්න අපිට පුළුවන්. හිතෝපදේශ 4:7 කියන්නේ “වැදගත්ම දේ නම් ප්‍රඥාවය” කියලා. ප්‍රඥාවන්තව වැඩ කරන්න අපිට දැනුම තියෙන්න ඕනේ. ඒත් දැනුම විතරක් තිබිලා මදි. ඒ දැනුම පාවිච්චි කරලා හරි තීරණ ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. සහජයෙන්ම ප්‍රඥාවන්තව වැඩ කරන කූඹින් ගැන හිතන්න. උන් සීත කාලයට ඕනෙ කරන කෑම කලින්ම රැස් කරගන්න එකෙන් ඒ ප්‍රඥාව පේනවා. (හිතෝ. 30:24, 25) ‘දෙවිට තියෙන ප්‍රඥාව හොඳින්ම පිළිබිඹු’ කරපු යේසුත් හැම වෙලේම දෙවි සතුටු වෙන දේ කළා. (1 කොරි. 1:24; යොහ. 8:29) අපිත් නිහතමානීව දෙවි කියලා තියෙන විදිහට වැඩ කරනවා නම් දෙවි අපිටත් ආශීර්වාද කරනවා. (මතෙව් 7:21-23 කියවන්න.) ඒ නිසා නිහතමානීව වැඩ කරන්න දිගටම උත්සාහ කරන්න. එතකොට සභාවේ අනිත් අයත් පෙලඹෙයි නිහතමානීව දෙවිට සේවය කරන්න. හරියි කියලා අපි දන්න දේ අදාළ කරගන්න කාලයක් යයි. ඉවසීමත් ඕනෙ වෙයි. ඒත් එහෙම කරන එකෙන් පේන්නේ අපි නිහතමානී අය කියලා. එහෙම අයට දැනුත් සදහටමත් සතුටින් ඉන්න පුළුවන්.