Skip to content

පටුනට යන්න

‘ප්‍රීතිමත් දෙවිට’ නමස්කාර කරන සෙනඟ සන්තෝෂවත්

‘ප්‍රීතිමත් දෙවිට’ නමස්කාර කරන සෙනඟ සන්තෝෂවත්

“සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.”—ගීතා. 144:15.

ගීතිකා: 44, 125

1. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සතුටින් ඉන්න සෙනඟක් කියන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සතුටින් ඉන්න සෙනඟක්. එයාලා එකට එකතු වෙන ඕනෙම අවස්ථාවකදී ඒ කියන්නේ රැස්වීම්වලදී, සමුළුවලදී, සුහද ඇසුරක් පවත්වන අවස්ථාවලදී එයාලා සතුටින් හිනා වෙලා කතාබහ කරනවා. සාක්ෂිකරුවන් සතුටින් ඉන්නේ එයාලා ‘ප්‍රීතිමත් දෙවි’ යෙහෝවාව හොඳින් දැන හඳුන ගෙන ඔහුට නමස්කාර කරන නිසයි. ඔහුව ආදර්ශයට ගන්න උත්සාහ කරන නිසයි. (1 තිමෝ. 1:11; ගීතා. 16:11) සැබෑ සතුට ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් නිසා අපි සතුටින් ඉන්නවා දකින්න ඔහු ආසයි කියලා අපිට නිසැකයි.—ද්වි. 12:7; දේශ. 3:12, 13.

2, 3. (අ) සතුටින් ඉන්න කෙනෙක් කොයි වගේද? (ආ) සතුටින් ඉන්න එක අමාරු ඇයි?

2 ඔයා ගැන මොනවාද කියන්න පුළුවන්? ඔයා ඉන්නේ සතුටින්ද? මුලින්ම බලන්න සතුටින් ඉන්න කෙනෙක් මොන වගේද කියලා. සතුටින් ඉන්න කෙනෙක්ට තමන් ගැන හොඳ හැඟීමක් තියෙනවා වගේම එයා එයාගේ ජීවිතේ ගැන තෘප්තිමත් වෙනවා. ඒ නිසා දිගටම ජීවත් වෙන්න එයා ආසයි. බයිබලේ කියන්නේ යෙහෝවා දෙවි එක්ක හොඳ බැඳීමක් තියෙන අයට විතරයි ඇත්තටම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒත් මේ සමාජයේ ජීවත් වෙද්දී සතුටින් ඉන්න ලේසි නැහැ. ඒ ඇයි?

3 මනසට පීඩනයක් දැනෙන දේවලට මුහුණ දෙද්දී අපේ සතුට ගිලිහී යන්න පුළුවන්. උදාහරණෙකට අපි ආදරේ කරන කෙනෙක් මැරුණාම, අපිට කිට්ටු කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාම, විවාහය දික්කසාදයෙන් කෙළවර වුණාම, රස්සාව නැති වුණාම සතුටින් ඉන්න ලේසි නැහැ. එහෙම නැත්නම් ගෙදර නිතරම අඬදබර වෙද්දී, රැකියා ස්ථානයේ අය හරි ඉස්කෝලේ ළමයි හරි සමච්චල් කරද්දී, විරුද්ධවාදිකම් එද්දී නැත්නම් අපිව සිරගත කරද්දී, ශරීර සෞඛ්‍යය දුර්වල වෙද්දී, දරුණු අසනීපයකින් පිඩා විඳිද්දී, මානසික අවපීඩනයෙන් පෙළෙද්දී සතුටින් ඉන්න අමාරුයි. ඒත් අමතක කරන්න එපා “ප්‍රීතියෙන් සිටින බලවත් වූ එකම පාලකයා” වන යේසුස්ට ඕනෙ මිනිසුන්ව සනසවලා එයාලගේ ජීවිතවලට සතුට එක් කරන්න කියලා. (1 තිමෝ. 6:15; මතෙ. 11:28-30) අපි ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නත් සතුටින් ඉන්න උදව් වෙන ගුණාංග කීපයක් ගැන යේසුස් කන්ද උඩ දේශනාවේදී සඳහන් කළා.

යෙහෝවා දෙවි එක්ක ශක්තිමත් බැඳීමක් තියෙන්නම ඕනේ

4, 5. සතුට අද්දකින්නත් ඒ සතුට දිගටම තියාගන්නත් පුළුවන් කොහොමද?

4 යේසුස් සඳහන් කරපු පළවෙනි දේ හරිම වැදගත්. ඔහු කිව්වේ “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ට” කියලා. (මතෙ. 5:3) දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ලොකු ආසාවකින් ඉන්න කෙනෙක් බයිබලේ අධ්‍යයනය කරලා දෙවිව හොඳින් දැන හඳුන ගන්නවා. එයා දෙවිගේ ආඥාවලට කීකරු වෙනවා වගේම එයාගේ ජීවිතේ මුල් තැන දෙන්නේ දෙවිට කරන නමස්කාරයට. ඒ දේවල් කරද්දී සතුට අද්දකින්න අපිට පුළුවන්. ඒ වගේම දෙවිගේ පොරොන්දු ඉක්මනින්ම ඉටු වෙනවා කියන අපේ විශ්වාසයත් තව ශක්තිමත් වෙනවා. බයිබලේ සඳහන් “ප්‍රීතිමත් බලාපොරොත්තුව” ප්‍රශ්න ගැටලු අද්දකිද්දී ඒවා දරාගන්නත් අපිට උදව්වක්.—තීත. 2:13.

5 මොන ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණත් දිගටම සතුටින් ඉන්න නම් දෙවි එක්ක අපිට තියෙන බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න ඕනේ. පාවුල් මෙහෙම කිව්වා. “ස්වාමීන් ගැන නිරතුරුවම ප්‍රීති වන්න. මා නැවතත් කියන්නේ ප්‍රීති වන්න කියාය.” (ෆිලි. 4:4) දෙවිගේ කිට්ටු යාළුවෙක් වෙලා ඉන්න නම් අපිට දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව ඕනෙමයි. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “ප්‍රඥාව සොයාගෙන වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න තැනැත්තා සන්තෝෂවත්ය. ප්‍රඥාව ජීවන වෘක්ෂයකි. එය අත් කරගෙන තදින් අල්ලාගෙන සිටියොත් එයින් ජීවනයද සන්තෝෂයද ලැබෙනු ඇත.”—හිතෝ. 3:13, 18.

6. සතුට අද්දකින්න අපි තව මොනවාද කරන්න ඕනේ?

6 අපේ සතුට දිගටම තියාගන්න නම් බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අපි අදාළ කරගන්න ඕනේ. ඒක කොච්චර වැදගත්ද කියලා යේසුස් කියපු මේ වචනවලින් පැහැදිලියි. “ඔබ මේ දේවල් දැන සිටින නිසා ඔබ ඒවා පිළිපැද්දොත් ඔබට සතුටු විය හැකියි.” (යොහ. 13:17; යාකොබ් 1:25 කියවන්න.) දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න අපිට තියෙන ආසාව තෘප්තිමත් කරගන්නත් දිගටම සතුටින් ඉන්නත් එහෙම කරන එක අත්‍යවශ්‍යයි. ඒත් ප්‍රශ්නවලින් මිරිකිලා ඉද්දී සතුටින් ඉන්න අපිට පුළුවන් කොහොමද? කන්ද උඩ දේශනාවේදී යේසුස් ඊළඟට කියපු දේ බලන්න.

සතුටින් ඉන්න උදව් වෙන ගුණාංග

7. වැලපෙමින් සිටින අය සන්තෝෂවත් කියන්නේ ඇයි?

7 “වැලපෙමින් සිටින අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ව සනසනු ලබයි.” (මතෙ. 5:4) ‘වැලපෙමින් ඉන්න කෙනෙක් කොහොමද සතුටින් ඉන්නේ’ කියලා අපිට හිතෙයි. එතන යේසුස් කතා කළේ වැලපෙමින් ඉන්න හැමෝම ගැන නෙමෙයි. මොකද දුෂ්ට මිනිස්සුත් මේ ‘අවසාන කාලයේ’ එයාලා මුහුණ දෙන විවිධ ප්‍රශ්න ගැටලු නිසා වැලපෙනවා. (2 තිමෝ. 3:1) ඒත් එයාලා වැලපෙන්නේ එයාලට සිද්ධ වෙන දේවල් ගැන හිතලයි. නැතුව දෙවිට සම්බන්ධ කාරණා ගැන හිතලා නෙමෙයි. ඒ නිසා දෙවිව හඳුනගන්න, දෙවිට ළං වෙන්න එයාලා පෙලඹෙන්නේ නැහැ. එතකොට සැබෑ සතුට අද්දකින්න එයාලට බැහැ. යේසුස් කතා කළේ දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ආසාවෙන් ඉන්න අය ගැන කියලා පැහැදිලියි. වැඩිදෙනෙක් දෙවිව ප්‍රතික්ෂේප කරන එක ගැන, දෙවි කියන විදිහට ජීවත් වෙන්නේ නැති එක ගැන එහෙම අය දුක් වෙනවා. ඒ වගේම එයාලට පාපය උරුම වෙලා තියෙනවා කියලා තේරුම්ගන්න නිසාත් ලෝකේ සිද්ධ වෙන දරුණු දේවල් නිසාත් එයාලා දුක් වෙනවා. අවංකව දුක් වෙන ඒ වගේ අයව දෙවි දකිනවා. දෙවි බයිබලය මාර්ගයෙන් එයාලව සනසනවා. එයාලට සතුටින් ඉන්න උදව් කරනවා.—එසකියෙල් 5:11; 9:4 කියවන්න.

8. සතුටින් ඉන්න මෘදුකම උදව් වෙන්නේ කොහොමද?

8 “මෘදු ගුණැති අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි.” (මතෙ. 5:5) කෙනෙක් මෘදු විදිහට වැඩ කරද්දී සතුටින් ඉන්න ඒක උදව් වෙන්නේ කොහොමද? අද ඉන්න හුඟදෙනෙක් හරිම දරුණුයි, දරදඬුයි. අනිත් අයට සලකන්නේ නපුරු විදිහට. ඒ වගේ ගතිලක්ෂණ නිසා හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. ඒත් කෙනෙක් බයිබලේ තියෙන සත්‍යයන් ඉගෙනගද්දී නරක ගති වෙනස් කරගෙන “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්නවා. ඊටපස්සේ එයා “ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න” ඉගෙනගන්නවා. (කොලො. 3:9-12) එතකොට එයාට ලොකු සමාදානයක් අද්දකින්න, අනිත් අය එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා එයා ඉන්නේ සතුටින්. ඒ වගේ අයට “පොළොව උරුම වෙනවා” කියලා දෙවි පොරොන්දු වෙනවා.—ගීතා. 37:8-10, 29.

9. (අ) මෘදු ගුණැති අයට “පොළොව උරුම වෙයි” කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද? (ආ) “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන අය” සතුට අද්දකින්නේ ඇයි?

9 මෘදු ගුණැති අයට “පොළොව උරුම වෙයි” කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද? අභිෂේක ලත් අය රජවරු සහ පූජකයන් විදිහට පොළොව පාලනය කරද්දී එයාලට පොළොව උරුම වෙනවා. (එළි. 20:6) ස්වර්ගයේ ජීවත් වෙන බලාපොරොත්තුව නැති මිලියන ගාණකට පොළොව උරුම කරගන්න ලැබෙන්නේ එයාලට පොළොවේ සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙද්දියි. ඒ කාලේදී එයාලා පාපයෙන් නිදහස් වෙලා පරිපූර්ණ ජීවිතයක් ගත කරනවා. හැමදාම සතුටින්, සාමයෙන් පොළොවේ ජීවත් වෙන්න එයාලට අවස්ථාව ලැබෙනවා. “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන අය සන්තෝෂවත්” කියලා කියද්දීත් යේසුස් කතා කළේ ඒ දෙගොල්ලන් ගැනයි. (මතෙ. 5:6) දෙවි හැම දුෂ්ට දෙයක්ම ඉවත් කරන දවසට ධර්මිෂ්ඨකම රජයනවා දකින්න එයාලට තියෙන ආශාව තෘප්තිමත් වෙනවා. (2 පේතෘ. 3:13) එතකොට ධර්මිෂ්ඨ අයට සතුටින් ඉන්න ලැබෙනවා විතරක් නෙමෙයි නරක මිනිසුන් කරන දේවල් නිසා ආයේ කවදාවත් වැලපෙන්න එයාලට සිද්ධ වෙන්නේ නැහැ.—ගීතා. 37:17.

10. දයාවන්ත කෙනෙක් මොන වගේද?

10 “දයාවන්ත අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබයි.” (මතෙ. 5:7) තව කෙනෙක් වේදනාවෙන් ඉද්දී දයාවන්ත කෙනෙක්ට දැනෙන්නේ ලොකු අනුකම්පාවක්. අනිත් කෙනාගේ දුක එයාටත් දැනෙනවා. ඒත් ඒක නිකම්ම හැඟීමකට සීමා වුණ දෙයක් නෙමෙයි. දුකෙන්, වේදනාවෙන් ඉන්න කෙනා වෙනුවෙන් දෙයක් කරන්න දයාවන්ත කෙනෙක් පෙලඹෙනවා.

11. යහපත් සමරිතානුවරයාගේ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

11 ලූක් 10:30-37 කියවන්න. දයාවන්ත කෙනෙක් මොන වගේද කියලා අපේ හිතේ චිත්‍රයක් මවාගන්න යහපත් සමරිතානුවරයා ගැන යේසුස් කියපු උපමාව අපිට උදව් වෙනවා. පහර කෑමට ලක් වුණ කෙනා ගැන ඒ සමරිතානුවරයාට අනුකම්පාවක් දැනුණා. ඒ මිනිසාට උදව් කරන්න එයා පෙලඹුණේ ඒ නිසයි. උපමාව කියලා ඉවර වෙලා යේසුස් මෙහෙම කිව්වා. “ඔබත් ගොස් ඒ දේම කරන්න.” අපිත් අපෙන් මෙහෙම අහලා බලමු. ‘මං වැඩ කරන්නෙත් යහපත් සමරිතානුවරයා වගේද? අනිත් අය දුකෙන් ඉද්දී මං එයාලට දයානුකම්පාවෙන් සලකනවාද? ඒ අයට උදව් කරන්න දැනට කරනවාට වඩා දෙයක් කරන්න මට බැරිද? උදාහරණෙකට සභාවේ ඉන්න වයසක අයට, වැන්දඹුවන්ට, දෙමාපියන් සත්‍යයේ නැති දරුවන්ට උදව් කරන්න මට පුළුවන්ද? “කලකිරී සිටින අයව සනසවන” විදිහට කතා කරන්න මට පුළුවන්ද?’—1 තෙස. 5:14; යාකො. 1:27.

අනිත් අයට දයාවන්තව සලකද්දී කොයි තරම් සතුටක් අද්දකින්න පුළුවන්ද! (12 ඡේදය බලන්න)

12. අනිත් අයට දයාවන්තව සලකද්දී අපි සතුට අද්දකින්නේ කොහොමද?

12 දයාව පෙන්නද්දී අපි සතුට අද්දකින්නේ කොහොමද? අනිත් අයට දයාව පෙන්නද්දී අපි කරන්නේ ඒ අය වෙනුවෙන් යමක් දෙන එකයි. යේසුස් කිව්වේ දීමෙන් සතුටක් ලැබෙනවා කියලයි. අපි කරන දේ නිසා දෙවිව සතුටු කරන්න අපිට පුළුවන් වෙන එක ගැනත් අපිට දැනෙන්නේ සතුටක්. (ක්‍රියා 20:35; හෙබ්‍රෙව් 13:16 කියවන්න.) දයාවන්ත කෙනෙක් ගැන දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි ඔහුව ආරක්ෂා කර ඔහුගේ ජීවිතය රැක දෙන්නේය. ඔහු සන්තෝෂවත් තැනැත්තෙකුයයි ප්‍රකාශ කරනු ලබන්නේය.” (ගීතා. 41:1, 2) අපි අනිත් අයට දයාවන්තව සලකද්දී අපිට දෙවිගේ දයාව ලබන්න පුළුවන් වෙනවා වගේම හැමදාටම සතුටින් ඉන්න පුළුවන් වෙනවා.—යාකො. 2:13.

“නිර්මල සිත් ඇති අය සන්තෝෂවත්”

13, 14. “නිර්මල සිත් ඇති අය සන්තෝෂවත්” කියන්නේ ඇයි?

13 “නිර්මල සිත් ඇති අය සන්තෝෂවත්. මන්ද දෙවිව දකින්න ඔවුන්ට හැකි වෙයි.” (මතෙ. 5:8) අපේ සිත් නිර්මලව තියාගන්න නම් අපි අපේ සිතුවිලි, ආශාවන් පවිත්‍ර කරගන්න ඕනේ. අපේ නමස්කාරය දෙවි පිළිගන්නේ අපි එහෙම කළොත් විතරයි.—2 කොරින්ති 4:2 කියවන්න; 1 තිමෝ. 1:5.

14 නිර්මල සිත් ඇති අයට යෙහෝවා දෙවි එක්ක හොඳ බැඳීමක් තියාගන්න පුළුවන්. දෙවි ඒ අය ගැන කියන්නේ “තම වස්ත්‍ර සෝදා පවිත්‍ර කරගන්නා අය සන්තෝෂවත්” කියලා. (එළි. 22:14) ‘වස්ත්‍ර සෝදා පවිත්‍ර කරගන්නවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අභිෂේක ලත් අයට ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි එයාලව පවිත්‍ර අය විදිහට සලකනවා කියලයි. ස්වර්ගයේ අමරණීය ජීවිතයක් එයාලට ලැබෙනවා. ඒ නිසා සදහටම සතුටින් ඉන්න එයාලට පුළුවන් වෙනවා. පොළොවේ ජීවත් වෙන බලාපොරොත්තුව තියෙන මහත් සමූහයට ඒකෙන් අදහස් කරන්නේ දෙවි එයාලව ධර්මිෂ්ඨ අය විදිහට ගණන් ගන්න නිසා දෙවිගේ මිත්‍රයන් වෙන්න එයාලට අවස්ථාව ලැබෙනවා කියන එකයි. බයිබලේ කියනවා එයාලා “තම වස්ත්‍ර සෝදා සුදු කරගෙන තිබෙන්නේ බැටළු පැටවාගේ රුධිරයෙනි” කියලා.—එළි. 7:9, 13, 14.

15, 16. නිර්මල සිත් ඇති අය ‘දෙවිව දකින්නේ’ කොහොමද?

15 “මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැක” කියලා දෙවිම කිව්වා. (නික්. 33:20) එහෙමනම් නිර්මල සිත් ඇති අයට “දෙවිව දකින්න” පුළුවන් කොහොමද? “දකින්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට යමක් හිතින් මවාගන්න එක, තේරුම්ගන්න එක, දැනගන්න එක වගේ අදහසුත් ඇතුළත් වෙනවා. එහෙමනම් කෙනෙක්ට දෙවිව දකින්න ලැබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ දෙවි මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරන් ඔහුගේ ගතිලක්ෂණ අගය කරන්න එයාට පුළුවන් වෙනවා කියන එකයි. (එෆී. 1:18) දෙවිගේ ගතිලක්ෂණ හොඳින්ම විදහා පෙන්නුවේ යේසුස්. ඒ නිසයි ඔහුට මෙහෙම කියන්න පුළුවන් වුණේ. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.”—යොහ. 14:7-9.

16 හැම දවසක් ගාණේ දෙවි අපිට උදව් කරන විදිහ තේරුම්ගන්න එකත් දෙවිව දකින්න පුළුවන් තව විදිහක්. (යෝබ් 42:5) දිගටම නිර්මල ජීවිත ගත කරන, දෙවිට ළැදි අය වෙනුවෙන් දෙවි පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන හොඳට හිතද්දීත් දෙවිව දකින්න අපිට පුළුවන්. ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටින අභිෂේක ලත් අයට ඇත්තටම දෙවිව දකින්න පුළුවන් වෙනවා.—1 යොහ. 3:2.

ප්‍රශ්න තිබුණත් අපිට සතුටින් ඉන්න පුළුවන්

17. “සාමය ඇති කිරීමට වෙහෙසෙන අය සන්තෝෂවත්” කියන්නේ ඇයි?

17 “සාමය ඇති කිරීමට වෙහෙසෙන අය සන්තෝෂවත්.” (මතෙ. 5:9) අනිත් අය එක්ක සාමය ඇති කරගන්න අපි මුල් වෙලා වැඩ කරද්දී අපිට සතුටු වෙන්න පුළුවන්. යාකොබ් මෙහෙම කිව්වා. “සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය එම සාමකාමී වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම නමැති පල නෙළාගනු ඇත.” (යාකො. 3:18) සභාවේ කෙනෙක් එක්ක නැත්නම් පවුලේ කෙනෙක් එක්ක ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාත් එක්ක සමාදාන වෙන්න උදව් කරන්න කියලා යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්න. දෙවි ඔහුගේ බලය ඔයාට දෙයි දෙවි කැමති ගුණාංග ඔයාගේ ජීවිතෙන් පෙන්නන්න. එතකොට සතුට අද්දකින්න ඔයාට පුළුවන්. අනිත් අයත් එක්ක සාමය ඇති කරගන්න මුල් වෙලා වැඩ කරන එක කොච්චර වැදගත්ද කියලා යේසුස් කියපු මේ දෙයින් පැහැදිලියි. “ඔබ යමක් පරිත්‍යාග කිරීමට පූජාසනය ළඟට යන විට ඔබේ සහෝදරයාට ඔබ සමඟ යම් ගැටලුවක් තිබෙන බව එහිදී ඔබට මතක් වෙයි නම්, පරිත්‍යාග කිරීමට රැගෙන ආ දේ පූජාසනය ඉදිරිපිට තබන්න. මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න. ඉන්පසුව ඇවිත් ඒ දේ පරිත්‍යාග කරන්න.”—මතෙ. 5:23, 24.

18, 19. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණත් අපිට සතුටින් ඉන්න පුළුවන් ඇයි?

18 “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න” කියලා යේසුස් කිව්වා. ඔහු ඒකෙන් අදහස් කළේ මොකක්ද? බලන්න ඔහු ඊළඟට කියන දේ. “ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න. ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව මතක තබාගන්න.” (මතෙ. 5:11, 12) යේසුස්ගේ නියෝජිතයන්ට පහර දීලා ආයෙත් දේශනා කරන්න එපා කියලා එයාලට අණ කළාට පස්සේ එයාලා ‘යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටත්ව ගියේ ප්‍රීතියෙන්.’ සමහරු තමන්ගේ ශරීරයට වේදනාවක් ඇති කරගෙන සතුටක් ලබනවා. ඒත් නියෝජිතයන් සතුටු වුණේ එහෙම දෙයක් නිසා නෙමෙයි. එයාලා සතුටු වුණේ යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබුණ එක ගැනයි.—ක්‍රියා 5:41.

19 දෙවිට සේවය කරන නිසා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙද්දී අද ඉන්න දෙවිගේ සෙනඟත් ඒවා සතුටින් දරාගන්නවා. (යාකොබ් 1:2-4 කියවන්න.) ඒ වේදනාවක් විඳලා අපි සතුටක් ලබන නිසා නෙමෙයි. අපි සතුටින් ඉන්නේ දිගටම දෙවිට විශ්වාසවන්තව ඉද්දී පීඩාව දරාගන්න අවශ්‍ය ධෛර්යය දෙවි අපිට දෙන නිසයි. සහෝදර හෙන්රික් ඩෝර්නික් සහ එයාගේ සහෝදරයාගේ අද්දැකීම බලන්න. 1944 අගෝස්තු මාසේදී ඒ දෙන්නාව ගාල් කඳවුරකට යැව්වා. එහේදී එයාලට පීඩා කරපු කෙනෙක් මෙහෙම කිව්වා. “මේ අය කොහොමටවත් අපි කියන දේ කරන්නේ නෑ. මරනවා කිව්වත් එයාලා ඒක භාරගන්නේ සතුටින්.” ඒ ඇයි කියලා සහෝදර හෙන්රික් පැහැදිලි කළේ මෙහෙමයි. “මම මැරෙන්න කැමති නෑ. ඒත් යෙහෝවා දෙවිට තියෙන මගේ විශ්වාසවන්තකම පාවා දෙන්නේ නැතුව නිර්භීතව පීඩාවලට මුහුණ දෙද්දී මට සතුටක් දැනෙනවා. දෙවිට වැඩියෙන් යාච්ඤා කරද්දී මං දෙවිට ගොඩක් ළං වුණා. දෙවි මාව අත්හරින්නේ නැතුව මාත් එක්කම හිටියා.”

20. “ප්‍රීතිමත් දෙවිට” සේවය කරන එක අපිට සතුටක් කියන්නේ ඇයි?

20 “ප්‍රීතිමත් දෙවි” වන යෙහෝවා අපි ගැන සතුටු වෙනවා කියලා අපි දන්න නිසා අපිට මොන පීඩාවකට මුහුණ දෙන්න වුණත් අපේ පවුලේ අයගෙන් මොන විරුද්ධවාදිකම් ආවත් අසනීප නිසා දුක් විඳින්න වුණත් දවසින් දවස මහලු වයසට ගියත් සතුටින් ඉන්න අපිට පුළුවන්. (1 තිමෝ. 1:11) “කිසි බොරුවක් නොපවසන” දෙවි තමන් පොරොන්දු වෙලා තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා අපි දන්න නිසාත් අපිට සතුටු වෙන්න පුළුවන්. (තීත. 1:2) දෙවිගේ පොරොන්දු ඉටු වෙද්දී අද අපි අද්දකින කිසිම ප්‍රශ්නයක් අපිට මතක් වෙන්නේ නැහැ. ඇත්තටම පාරාදීසයේදී අපි මොන තරම් සතුටක් අද්දකියිද කියලා දැන් අපිට හිතාගන්නවත් බැහැ. එදාට “දසත පැතිරී තිබෙන සාමය නිසා මහත් සේ ප්‍රීති වෙන්න” අපිට පුළුවන්.—ගීතා. 37:11.