Skip to content

පටුනට යන්න

විශ්වයේ බලවත්ම තැනැත්තා අනිත් අය ගැන හිතනවා

විශ්වයේ බලවත්ම තැනැත්තා අනිත් අය ගැන හිතනවා

“[යෙහෝවා දෙවි] අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය.”—ගීතා. 103:14.

ගීතිකා: 30, 10

1, 2. (අ) බලතල තියෙන පුද්ගලයන්ට වඩා වෙනස්ව යෙහෝවා දෙවි මිනිසුන්ට සලකන්නේ කොහොමද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

අධිකාරියක් තියෙන පුද්ගලයන් ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ අනිත් අයව පාලනය කරන්න නැත්නම් එයාලව යටත් කරගන්න. (මතෙ. 20:25; දේශ. 8:9) යෙහෝවා දෙවි විශ්වයේ ඉන්න බලවත්ම කෙනා වුණත් පාපය උරුම කරගත්ත අපිට කාරුණිකව සලකනවා. අපි ගැන හුඟක් හිතනවා. ඔහු අපේ හැඟීම් තේරුම්ගන්නවා වගේම අපේ අවශ්‍යතා ගැනත් සැලකිලිමත් වෙනවා. ‘අපිව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන’ නිසා අපිට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා දෙයක් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.—ගීතා. 103:13, 14.

2 යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ගේ තත්වයන් සැලකිල්ලට අරන් වැඩ කරපු හුඟක් අවස්ථා ගැන බයිබලේ තියෙනවා. අපි ඒ වගේ සිද්ධීන් 3ක් බලමු. (1) උත්තම පූජක ඒලීට විනිශ්චය පණිවිඩයක් දෙන්න දෙවි පුංචි සාමුවෙල්ට උදව් කරපු සිද්ධිය. (2) ඊශ්‍රායෙල්වරුන් අතරේ පෙරමුණ අරන් වැඩ කරන්න මෝසෙස් අදිමදි කරද්දී දෙවි එයාත් එක්ක කටයුතු කරපු විදිහ. (3) ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගද්දී දෙවි එයාලා ගැන සැලකිලිමත් වුණ විදිහ. අපිට ඒ සිද්ධීන්වලින් දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අපිට අදාළ කරගන්න පුළුවන් පාඩම් මොනවාද කියලත් බලමු.

පුංචි පුතාව තේරුම්ගත්තා

3. පුංචි සාමුවෙල් මුහුණ දුන්න සිද්ධිය මොකක්ද? අපිට මතු වෙන්න පුළුවන් ප්‍රශ්නය මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 සාමුවෙල් ශුද්ධ කූඩාරමේ සේවය කරන්න පටන්ගද්දී එයා ගොඩක් පොඩියි. (1 සාමු. 3:1) දවසක් රෑ සාමුවෙල් නිදාගෙන ඉද්දී පුදුම දෙයක් වුණා. * (1 සාමුවෙල් 3:2-10 කියවන්න.) කවුරු හරි එයාගේ නම කියලා කතා කරනවා එයාට ඇහුණා. ඒ කතා කළේ ඒලී කියලා හිතපු සාමුවෙල් ඒලී ළඟට ගිහින් මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබ මට කතා කළාද? මම ආවේ ඒ නිසයි.” ඒත් ඒලී කිව්වා එයා කතා කළේ නැහැ කියලා. ඒ විදිහට තව දෙපාරක්ම වුණා. එතකොට ඒලීට තේරුණා සාමුවෙල්ට කතා කරන්නේ දෙවි කියලා. ආයෙත් ඒ හඬ ඇහුණොත් කරන්න ඕනෙ මොනවාද කියලා ඒලී සාමුවෙල්ට කියලා දුන්නාම සාමුවෙල් ඒ විදිහටම කළා. සාමුවෙල්ට කතා කරන්නේ දෙවි කියලා මුල් වතාවේම දෙවි කිව්වේ නැත්තේ ඇයි? ඒ ගැන බයිබලේ කියන්නේ නැහැ. ඒත් දෙවි එහෙම කළේ සාමුවෙල්ගේ හැඟීම් ගැන ඔහු සැලකිලිමත් වුණ නිසයි කියලා හිතන්න පුළුවන්.

4, 5. (අ) ඒලීට කියන්න කියලා දෙවි සාමුවෙල්ට පණිවිඩයක් දුන්නාම සාමුවෙල් මොකද කළේ? (ආ) ඒ වාර්තාවෙන් අපිට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

4 1 සාමුවෙල් 3:11-18 කියවන්න. නීතියේ සඳහන් වුණා දරුවන් මහලු අයට විශේෂයෙන්ම අධිකාරියක් තියෙන අයට ගෞරවයෙන් සලකන්න ඕනෙ කියලා. (නික්. 22:28; ලෙවී. 19:32) ඒ නිසා පුංචි සාමුවෙල් දෙවි දුන්න විනිශ්චය පණිවිඩය පහුවෙනිදා උදේ ඒලී ළඟට ගිහින් බය නැතුව කියයි කියලා හිතන්න බැහැ. බයිබලේ කියන්නේ “තමා දුටු දර්ශනය ගැන ඒලීට කියන්න සාමුවෙල් බය විය” කියලයි. තමන් සාමුවෙල්ට කතා කරනවා කියලා දෙවි ඒලීට පැහැදිලිවම දැනගන්න සැලැස්සුවා. ඒ නිසයි ඒලීම සාමුවෙල් ළඟට ගිහින් කිව්වේ ‘දෙවි කියූ එක වචනයක්වත් මගෙන් වසං කරන්න එපා’ කියලා. එතකොට සාමුවෙල් ‘ඒලීගෙන් කිසිවක් නොසඟවා සියල්ල කිව්වා.’

5 ඒක අහලා ඒලී පුදුම වුණේ නැහැ. මොකද මීට කලිනුත් “දෙවිගේ අනාගතවක්තෘවරයෙක්” ඒ හා සමාන පණිවිඩයක් ඒලීට කියලා තිබුණා. (1 සාමු. 2:27-36) යෙහෝවා දෙවි අනිත් අයගේ හැඟීම් තේරුම්ගන්න, ප්‍රඥාවන්ත දෙවි කෙනෙක් කියලා ඒ සිද්ධියෙන් පැහැදිලියි.

6. දෙවි සාමුවෙල්ට උදව් කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 ඔයා පොඩි වයසේ ඉන්න කෙනෙක්ද? එහෙමනම් ඔයාට තියෙන අභියෝග, ඔයාට හැඟෙන විදිහ ගැන යෙහෝවා දෙවි හොඳින් තේරුම්ගන්නවා කියලා පුංචි සාමුවෙල්ගේ සිද්ධියෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන්. ඔයා ලැජ්ජාශීලී කෙනෙක් නම් ශුභාරංචිය වැඩිහිටියන්ට කියන්න, යාළුවන්ට වඩා ඔයා වෙනස් කියලා පෙන්නන්න ඔයාට අමාරු ඇති. ඒත් අමතක කරන්න එපා දෙවි ඔයාට උදව් කරන්න බලන් ඉන්නවා කියලා. ඒ නිසා ඔයාට හැඟෙන විදිහ ගැන දෙවිට කියන්න. (ගීතා. 62:8) සාමුවෙල් වගේ පොඩි වයසේ අය ගැන බයිබලේ සඳහන් වාර්තා කියවලා ඒ ගැන හොඳට හිතන්න. ඔයාට තියෙනවා වගේ අභියෝගවලට මුහුණ දීපු සභාවේ ඉන්න ඔයාගේ වයසේ අය එක්ක, වැඩිහිටියන් එක්ක කතා කරන්න. යෙහෝවා දෙවි එයාලට උදව් කරපු විදි ගැන, සමහරවිට එයාලා නොහිතපු විදිහට ඒ උදව් ලැබුණ විදි ගැන එයාලා ඔයාට කියයි.

දෙවි මෝසෙස්ගේ හැඟීම් ගැන හිතුවා

7, 8. යෙහෝවා දෙවි මෝසෙස්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වුණා කියන්නේ ඇයි?

7 මෝසෙස්ට වයස 80දී ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගන්න බැරෑරුම් වගකීම දෙවි එයාට භාර දුන්නා. (නික්. 3:10) අවුරුදු 40ක් තිස්සේ එඬේරෙක් විදිහට වැඩ කරපු මෝසෙස්ට දෙවි කියපු දේ අදහාගන්න බැරුව ගියා. “මා වැනි කෙනෙකුට පාරාවෝ ළඟට යා හැකිද? ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට රැගෙන ඒමට මට පුළුවන්ද” කියලා එයා ඇහුවේ ඒ නිසයි. ඒත් “මම ඔබ සමඟ සිටිමි” කියලා යෙහෝවා දෙවි එයාට කිව්වා. (නික්. 3:11, 12) ඒ වගේම ‘ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලෝ අනිවාර්යයෙන්ම ඔබ කියන දේට සවන් දෙනවා’ කියලත් දෙවි කිව්වා. ඒත් ‘සෙනඟ මම කියන දේ විශ්වාස නොකර හිටියොත්’ මොකද කරන්නේ කියලා මෝසෙස් ඇහුවා. (නික්. 3:18; 4:1) ඒක හරියට දෙවි කියපු දේ වරදින්න පුළුවන් කියලා මෝසෙස් කිව්වා වගේ. ඒත් දෙවි ඉවසුවා. ආශ්චර්යයන් කරන්න මෝසෙස්ට බලයත් දුන්නා. බයිබලේ වාර්තා වෙන විදිහට මිනිසුන් අතරින් ඒ වගේ බලයක් ලැබුණ පළවෙනි කෙනා මෝසෙස්.—නික්. 4:2-9, 21.

8 දෙවි ඒ තරම් දේවල් කළත් මෝසෙස් තව නිදහසට කරුණක් කිව්වා. එයා හොඳ කථිකයෙක් නෙමෙයි කියලා ඊළඟට මෝසෙස් කිව්වා. එතකොට දෙවි මෙහෙම කිව්වා. “ඔබ කතා කරන විට මම ඔබ සමඟ සිටිමි. ඔබ පැවසිය යුතු වචන මම ඔබට කියා දෙන්නෙමි.” ඒක අහලා මෝසෙස් පැවරුම භාරගත්තාද? නැහැ. එයා දෙවිගෙන් ඇහුවා එයා වෙනුවට වෙන කෙනෙක්ව යවන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ නම් දෙවි එයා ගැන උදහස් වුණා. ඒත් දෙවි මෝසෙස්ගේ හැඟීම් සැලකිල්ලට අරන් එයා වෙනුවෙන් කතා කරන්න ආරොන්ව දුන්නා.—නික්. 4:10-16.

9. දෙවි පෙන්නපු ඉවසීම, සැලකිල්ල මෝසෙස්ට එයාගේ පැවරුම කරන්න උදව් වුණේ කොහොමද?

9 ඒ සිද්ධියෙන් යෙහෝවා දෙවි ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? විශ්වයේ බලවත්ම කෙනා දෙවි නිසා දෙවිට ඕනෙ නම් තිබුණා ඔහුගේ බලය පෙන්නලා මෝසෙස්ව බය කරලා ඒ පැවරුම කරන්න කියන්න. ඒත් දෙවි වැඩ කළේ ඉවසීමෙන්, කාරුණිකව. දෙවිට ඕනෙ වුණේ දෙවි එයාත් එක්ක ඉන්නවා කියන විශ්වාසය මෝසෙස් තුළ ඇති කරන්නයි. ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබුණාද? ඔව්. මෝසෙස් සාර්ථක නායකයෙක් වුණා. යෙහෝවා දෙවි එයාත් එක්ක වැඩ කරපු විදිහටම සෙනඟ එක්කත් වැඩ කරන්න මෝසෙස් ලොකු උත්සාහයක් ගත්තා.—ගණන්. 12:3.

අනිත් අයත් එක්ක වැඩ කරද්දී ඔයා යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්නවාද? (10 ඡේදය බලන්න)

10. යෙහෝවා දෙවි වගේ අපිත් අනිත් අය ගැන සැලකිලිමත් වෙලා වැඩ කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

10 ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඔයා සැමියෙක් නම්, දෙමාපියෙක් නම් නැත්නම් සභාවේ වැඩිමහල්ලෙක් නම් ඔයාටත් යම් අධිකාරියක් තියෙනවා. එහෙමනම් ඔයාගේ බිරිඳගේ, දරුවන්ගේ, සභාවේ අයගේ හැඟීම් තේරුම් අරන් එයාලා එක්ක ඉවසීමෙන්, කාරුණිකව වැඩ කරන්න. (කොලො. 3:19-21; 1 පේතෘ. 5:1-3) ඔයා යෙහෝවා දෙවිවත් උතුම් මෝසෙස් වන යේසුස්වත් ආදර්ශයට ගද්දී අනිත් අය බය නැතුව ඔයා ළඟට ඇවිත් කතා කරයි. ඔයා නිසා එයාලා දිරිගැන්වෙයි. (මතෙ. 11:28, 29) ඔයා එයාලට හොඳ ආදර්ශයකුත් වෙයි.—හෙබ්‍රෙ. 13:7.

බලවත් වුණත් අනිත් අය ගැන සැලකිලිමත්

11, 12. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට අරන් එද්දී එයාලට ආරක්ෂාවක් දැනෙන්න සැලැස්සුවේ කොහොමද?

11 ක්‍රි.පූ. 1513දී මිලියන 3කට වැඩි ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් බේරිලා ආවා. ඒ අය අතරේ මහලු, අසනීප, අබාධිත අය වගේම කුඩා දරුවනුත් ඉන්න ඇති. ඒ වගේ විශාල සෙනඟකට ඕනෙ එයාලව තේරුම්ගන්න, ප්‍රේමණීය නායකයෙක්ව. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ඒ වගේ නායකයෙක් වුණා. දෙවි මෝසෙස් මාර්ගයෙන් එයාලව ආදරෙන් බලාගත්තා. කාලයක් තිස්සේ තමන්ගේ නිවහන වෙලා තිබුණ ඊජිප්තුව දාලා එද්දී එයාලට බයක් දැනුණේ නැහැ. එයාලට දැනුණේ ආරක්ෂාවක්.—ගීතා. 78:52, 53.

12 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට සුරක්ෂිත හැඟීමක් දැනෙන්න සැලැස්සුවේ කොහොමද? දෙවි එයාලව ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේ “යුද්ධයට යන හමුදාවක් වගේ” හොඳින් සංවිධානය කරලයි. (නික්. 13:18) එයාලව සංවිධානය කරපු විදිහ දකිද්දී ‘බය වෙන්න දෙයක් නැහැ. දෙවි හැම දෙයක්ම බලාගනියි’ කියන හැඟීම ඊශ්‍රායෙල්වරුන්ට ඇති වෙන්න ඇති. ඒ වගේම ‘දහවල් කාලයේදී වලාකුළකුත් රාත්‍රි කාලයේදී ගිනි ජාලාවකුත්’ එයාලා එක්ක යවලා දෙවි පෙන්නුවා එයාලට මඟ පෙන්නන්න, ආරක්ෂා කරන්න දෙවි එයාලා එක්කම ඉන්නවා කියලා. ඒ සහතිකය ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?—ගීතා. 78:14.

රතු මුහුද ළඟදී දෙවි ඊශ්‍රායෙල්වරුන් ගැන හුඟක් හිතුවා කියලා පැහැදිලි වෙන්නේ ඔහු කරපු මොන දෙයින්ද? (13 ඡේදය බලන්න)

13, 14. (අ) රතු මුහුද ළඟදී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ තත්වය ගැන හිතලා වැඩ කළා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) දෙවි ඊජිප්තුවරුන්ට වඩා බලවත් කියලා පෙන්නුවේ කොහොමද?

13 නික්මයාම 14:19-22 කියවන්න. ඔයාත් ඊශ්‍රායෙල්වරු අතරේ ඉන්නවා කියලා හිතන්න. ඔයාලා ඉස්සරහා තියෙන්නේ රතු මුහුද. ඔයාලට පිටිපස්සෙන් ඉන්නේ බලවත් ඊජිප්තු හමුදාව. බැලූ බැල්මට ඔයාලා කොටු වෙලා වගෙයි. එතකොටම දෙවි මැදිහත් වෙනවා. ඔයාලා ඉදිරියෙන් තිබුණ වලා ටැඹ ඔයාලා පිටිපස්සට යනවා. දැන් ඒක තියෙන්නේ ඊජිප්තුවරුනුයි, ඔයාලයි අතරේ. ඊජිප්තුවරු ඉන්න පැත්තේ දැඩි අන්ධකාරයක් තිබුණත් ඔයාලා ඉන්න පැත්තට ලොකු ආලෝකයක් වැටෙනවා. ඔය අතරේ මෝසෙස් එයාගේ අත රතු මුහුද දිහාවට දික් කරනවා. ඒත් එක්කම නැඟෙනහිර දෙසින් හමාගෙන එන ලොකු හුළඟක් නිසා මුහුද දෙබෑ වෙලා පාරක් හැදෙනවා. ඒ පාර දිගේ ඔයාත් ඔයගේ පවුලේ අයත් ඔයාලගේ සත්තුත් පිළිවෙළකට ඇවිදගෙන යනවා. ඒක මුහුද මැදින් හැදුණ පාරක් වුණත් ඒ පාර මඩ වෙලාවත් ලිස්සන්නෙවත් නැහැ. ඒක වියළි පාරක් නිසා ඇවිදින්න අමාරු කෙනෙක්ට වුණත් බයක් නැතුව ඇවිදගෙන අනිත් පැත්තට යන්න පුළුවන්.

14 නික්මයාම 14:23, 26-30 කියවන්න. ඔය අතරේ උඩඟු පාරාවෝ එයාගේ හමුදාවත් එක්ක හරිම කලබලෙන් මුහුද මැද තිබුණ පාර දිගේ ඉස්සරහාට එනවා. ඒ වෙලාවේ මෝසෙස් ආයෙත් එයාගේ අත මුහුද දිහාවට දික් කරනවා. ඒත් එක්කම පවුරු දෙකක් වගේ තිබුණ ජල කඳ එකපාරටම කඩන් වැටෙනවා. ඒකට අහු වෙලා පාරාවොයි, එයාගේ මුළු හමුදාවයි විනාශ වෙනවා.—නික්. 15:8-10.

15. අපි බලපු සිද්ධියෙන් යෙහෝවා දෙවි ගැන ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 යෙහෝවා දෙවි දේවල් හොඳින් සංවිධානය කරන දෙවි කෙනෙක් කියලා ඒ වාර්තාවෙන් පැහැදිලියි. ඒක අපි තුළ ලොකු සුරක්ෂිත හැඟීමක් ඇති කරනවා. (1 කොරි. 14:33) රැළට ආදරේ කරන, රැළ හොඳින් බලාගන්න එඬේරෙක් වගේ දෙවි තම සෙනඟව ළඟින්ම තියාගෙන සතුරන්ගෙන් ආරක්ෂා කරනවා. ඒක දැනන් ඉන්න එක මේ දුෂ්ට සමාජයේ විනාශය අද්දර ඉන්න අපිට කොච්චර ලොකු සහනයක්ද!—හිතෝ. 1:33.

16. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ගලවගත්ත විදිහ ගැන ආයෙත් හිතන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

16 දෙවි අදත් තමන්ගේ සෙනඟව කණ්ඩායමක් විදිහට රැකබලා ගන්නවා. ඔහුත් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න අවශ්‍ය උදව් දෙවි ලබා දෙනවා. සතුරන්ගෙන් එයාලව ආරක්ෂා කරනවා. ළඟ ළඟම එන මහත් පීඩාවේදීත් ඔහු ඒ විදිහටම අපිව රැකබලා ගන්නවා. (එළි. 7:9, 10) ඒ නිසයි දෙවිගේ සෙනඟට අයිති අය යෞවන වුණත් මහලු වුණත් හොඳ ශරීර සෞඛ්‍යයක් තිබුණත් නැතත් මහත් පීඩාවේදී එයාලට බයක් දැනෙන්නේ නැත්තේ. * එදාට එයාලට යේසුස් කියපු මේ වචන මතක් වෙයි. “ඔබ ධෛර්යය උපදවාගෙන නැඟිටින්න. ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟයි.” (ලූක් 21:28) අතීත ඊජිප්තුවරුන්ට වඩා හුඟක් බලවත් ගොග් ඒ කියන්නේ ජාතීන්ගේ එකතුව එල්ල කරන ප්‍රහාරයේදීත් දෙවිගේ ආරක්ෂාව ලැබෙනවා කියන විශ්වාසය ඇතුව එයාලා ඉන්නවා. (එස. 38:2, 14-16) ඒ ඇයි? මොකද එයාලා දන්නවා දෙවි වෙනස් වෙන්නේ නැහැ කියලා. එදාටත් දෙවි ඔප්පු කරලා පෙන්නයි ඔහු තම සෙනඟ ගැන සැලකිලිමත්, ප්‍රේමණීය ගැලවුම්කරුවෙක් කියලා.—යෙසා. 26:3, 20.

17. (අ) යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ ගැන සැලකිලිමත් වෙන විදි සඳහන් වාර්තාවලින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොයි විදිවලින්ද? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

17 යෙහෝවා දෙවි අපිව රැකබලා ගද්දී, අපිට මඟ පෙන්නද්දී, අපිව ගලවාගද්දී ඔහු ඒ දේ කරන්නේ අපේ හැඟීම්, අපේ තත්වයන් සැලකිල්ලට අරගෙනයි කියලා ඔප්පු වෙන සිද්ධීන් 3ක් විතරයි අපි බැලුවේ. ඒ වගේ සිද්ධීන් තව හුඟක් බයිබලේ තියෙනවා. ඔයා ඒ වාර්තා කියවද්දී හැම පොඩි කාරණයක් ගැනම හිතන්න. දෙවිගේ පෞද්ගලිකත්වයේ තියෙන සියුම් පැති හඳුනගන්න ඒක ඔයාට උදව් වෙයි. එහෙම කරද්දී දෙවිගේ ගුණාංග තවත් හොඳින් ඔයාගේ හිතට කාවදියි. දෙවි ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ, විශ්වාසය ඒකෙන් තව වැඩි වෙයි. දෙවි අනිත් අය ගැන සැලකිලිමත් වෙන විදිහ පවුල තුළ, සභාව තුළ සහ සේවයේ යද්දී ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

^ 3 ඡේ. මේ සිද්ධිය වෙද්දී සාමුවෙල්ට වයස 12යි කියලා යුදෙව් ඉතිහාසඥයෙක් වන ජොසීෆස් කියනවා.

^ 16 ඡේ. හර්–මගෙදොන් යුද්දෙන් බේරෙන අය අතරේ ආබාධිත අයත් ඉඳියි කියලා හිතන්න පුළුවන්. යේසුස් පොළොවේ ඉද්දී “සියලු ආකාර ආබාධ” සුව කළා. ඒක අනාගතයේදී ඔහු මහා පරිමාණයෙන් කරන්න යනවා. ඔහු ආබාධ සුව කරන්නේ හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන අයගේ මිසක් නැවත නැඟිටුවන අයගේ නෙමෙයි. (මතෙ. 9:35) මොකද නැවත නැඟිටුවන අයට ආයෙත් ජීවිතේ ලැබෙන්නේ ආබාධවලින් තොර ශරීරයක් ඇතුවයි.