Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 42

දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඔහු ඔයාව කොහොම පාවිච්චි කරයිද?

දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඔහු ඔයාව කොහොම පාවිච්චි කරයිද?

‘ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය. ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.’—ෆිලි. 2:13.

ගීතිකාව 104 ත්‍යාගයක් වන දෙවිගේ බලය

මේ ලිපියෙන් *

1. තමන්ගේ අරමුණ ඉටු කරන්න යෙහෝවා දෙවියන්ට මොනවාද කරන්න පුළුවන්?

තමන් අරමුණු කරන දේ ඉටු කරන්න ඕනෙම තත්වයකට පත් වෙලා ඕනෙම දෙයක් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. ඒක දෙවියන්ගේ නමේ අර්ථයට ඇතුළත් එක පැත්තක්. උදාහරණෙකට ඔහු සමහර වෙලාවලදී ගුරුවරයෙක් විදිහටත් තවත් වෙලාවලදී සනසන්නෙක් විදිහටත් ශුභාරංචියක් ප්‍රකාශ කරන කෙනෙක් විදිහටත් වැඩ කරලා තියෙනවා. (යෙසා. 48:17; 2 කොරි. 7:6; ගලා. 3:8) ඒත් ඔහුගේ අරමුණ ඉටු කරන්න ඔහු තමන්ගේ නිර්මාණයක් වන මිනිසුන්වත් හුඟක් වෙලාවට යොදාගන්නවා. ඒක දෙවියන්ගේ නමේ අර්ථයට ඇතුළත් තවත් පැත්තක්. (මතෙ. 24:14; 28:19, 20; 2 කොරි. 1:3, 4) ඒ සඳහා අපෙන් ඕනෙම කෙනෙක්ව ඕනෙම විදිහකින් පාවිච්චි කරන්න දෙවියන්ට පුළුවන්. ඒකට අවශ්‍ය ප්‍රඥාව සහ ශක්තිය ඔහු අපිට දෙනවා.

2. (අ) ‘තමන්ගේ අරමුණ ඉටු කරන්න දෙවියන් මාව යොදාගන්නේ නැහැ’ කියලා සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 යෙහෝවා දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඔහු අපිව පාවිච්චි කරනවාට අපි කැමතියි. ඒත් ‘දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න මාව යොදාගන්නවාද’ කියලා සමහරු කල්පනා කරනවා. මොකද මහලු වයස නිසා, අද්දකින දුෂ්කරතා නිසා හෝ හැකියාවන් නැහැ කියලා හිතන නිසා තමන් කැමති තරම් සේවයක් කරන්න බැහැ කියලා එයාලා හිතනවා. තවත් අය හිතනවා එයාලා දැනට කරන සේවය ඇති කියලා. දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න අපෙන් ඕනෙම කෙනෙක්ව පාවිච්චි කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කොහොමද? දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න අතීතයේ හිටපු පුරුෂයන්ගේ සහ ස්ත්‍රීන්ගේ හිතේ ආශාවක් වගේම පෙලඹීමක් ඇති කළේ කොහොමද? අපිව පාවිච්චි කරන්න ඔහුට ඉඩ දෙන්න පුළුවන් කොහොමද? ඒ ගැන මේ ලිපියෙන් බලමු.

දෙවියන්ගේ කැමැත්ත කරන්න අවශ්‍ය දේ ඔහු දෙනවා

3. ෆිලිප්පි 2:13 සඳහන් වෙන විදිහට දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔහු අපි තුළ ආශාවක් ඇති කරන්නේ කොහොමද?

3 ෆිලිප්පි 2:13 කියවන්න. * යෙහෝවා දෙවියන්ට පුළුවන් ඔහු අරමුණු කරන දේ කරන්න අපි තුළ ආශාවක් ඇති කරන්න. ඔහු ඒක කරන්නේ කොහොමද? සභාවේ කෙනෙක්ට උදව්වක් ඕනෙ වෙලා කියලා නැත්නම් සභාවේ කරන්න යම් වැඩක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. එහෙම නැත්නම් වැඩිමහල්ලෙක් ශාඛා කාර්යාලයෙන් ආපු ලිපියක් කියවද්දී අපි දැනගන්නවා වෙනත් ප්‍රදේශයක ඉන්න සහෝදරයන්ට අපේ සහය ඕනෙ කියලා. එතකොට අපිට හිතෙයි ‘ඒ වෙනුවෙන් මට මොනවාද කරන්න පුළුවන්’ කියලා. නැත්නම් අමාරු පැවරුමක් අපිට ලැබෙනවා. ඒක හොඳට කරන්න පුළුවන් වෙයිද කියලා අපිට හිතෙයි. නැත්නම් බයිබලෙන් කොටසක් කියෙව්වාට පස්සේ අපි හිතයි ‘තව කෙනෙක්ට උදව් කරන්න මේ කොටස මට අදාළ කරගන්න පුළුවන් කොහොමද’ කියලා. ඒ කිසිම දෙයක් කරන්න දෙවියන් අපි කාටවත් බල කරන්නේ නැහැ. ඒත් අපිට යම් දෙයක් කරන්න පුළුවන්ද කියලා අපි හිතද්දී ඒක කරන්න අපි තුළ ආශාවක් ඇති කරන්න දෙවියන්ට පුළුවන්.

4. යෙහෝවා දෙවියන් අපි තුළ පෙලඹීමක් ඇති කරන්නේ කොහොමද?

4 දෙයක් කරන්න අපිව පොලඹවන්න ඒ කියන්නේ ඒක කරන්න අවශ්‍ය ශක්තිය අපිට දෙන්නත් දෙවියන්ට පුළුවන්. (යෙසා. 40:29) ඒ කොහොමද? දෙවියන්ට පුළුවන් ඔහුගේ බලය අපිට දීලා අපි ළඟ දැනටමත් තියෙන හැකියාවන් තව දියුණු කරගන්න අපිට උදව් කරන්න. එතකොට ඔහු කැමති දේ කරන්න අපි පෙලඹෙනවා. (නික්. 35:30-35) යම් කාර්යයක් කරන්න දෙවියන් ඔහුගේ සංවිධානය යොදාගෙන අපිව පුහුණු කරයි. ලැබුණ පැවරුමක් හරියට කරන්නේ කොහොමද කියලා ඔයා දන්නේ නැත්නම් උදව් ඉල්ලන්න. ඕනෙම වෙලාවක යෙහෝවා දෙවියන්ගෙන් “සාමාන්‍යය ඉක්මවූ බලය” ඉල්ලන්නත් ඔයාට පුළුවන්. (2 කොරි. 4:7; ලූක් 11:13) දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න අතීතයේ හිටපු පුරුෂයන්ගේ සහ ස්ත්‍රීන්ගේ හිතේ ආශාවක් වගේම පෙලඹීමක් ඇති කරපු අවස්ථා බයිබලේ තියෙනවා. ඒ කීපදෙනෙක් ගැන දැන් බලමු. එයාලා කරපු දේවල්ම කරන්න යෙහෝවා දෙවියන්ට ඔයාව පාවිච්චි කරන්න ඉඩ දෙන්න පුළුවන් කොහොමද කියලා හිතන්න.

දෙවියන් පුරුෂයන්ව යොදාගත්ත විදි

5. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න මෝසෙස්ව යොදාගත්ත කාලයෙන් සහ යොදාගත්ත විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 ඊශ්‍රායෙල් සෙනඟගේ මිදුම්කරු විදිහට යෙහෝවා දෙවියන් මෝසෙස්ව යොදාගත්තා. ඒත් ඒ කොයි කාලෙදීද? ‘ඊජිප්තුවරුන්ගෙන් දැනුම් සම්භාරය ලබාගෙන’ තමන් ඒකට සුදුසුයි කියලා මෝසෙස් හිතපු වෙලාවේදීද? (ක්‍රියා 7:22-25) නැහැ. යෙහෝවා දෙවියන් මෝසෙස්ව ඒ කාර්යයට යොදගත්තේ නිහතමානී, මෘදු කෙනෙක් වෙන්න එයාට උදව් කළාට පස්සෙයි. (ක්‍රියා 7:30, 34-36) ඊජිප්තුවේ හිටපු බලවත්ම පාලකයා ඉදිරියේ කතා කරන්න ධෛර්යය දෙවියන් මෝසෙස්ට දුන්නා. (නික්. 9:13-19) දෙවියන් මෝසෙස්ව යොදාගත්ත විදිහෙන් සහ එයාව යොදාගත්ත කාලය ගැන හිතද්දී අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්? දෙවියන් අරමුණු කරන දේ ඉටු කරන්න ඔහු යොදාගන්නේ ඔහු ප්‍රිය කරන ගුණාංග පෙන්නන, ඔහු මත රඳා ඉන්න අයවයි.—ෆිලි. 4:13.

6. දාවිත් රජුට උදව් කරන්න බාසිල්ලයිව දෙවියන් පාවිච්චි කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 ඊට සියවස් ගාණකට පස්සේ දාවිත් රජුට උදව් කරන්න යෙහෝවා දෙවියන් බාසිල්ලයිව පාවිච්චි කළා. අබ්සලොම්ගෙන් පලා යද්දී දාවිත් සහ එයාත් එක්ක හිටපු අය හිටියේ ‘හුඟක් මහන්සියෙන්, බඩගින්නෙන් සහ තිබහෙන්.’ ඒ නිසා මහලු වයසේ හිටපු බාසිල්ලයි තමන්ගේ ජීවිතේ අනතුරේ වැටෙනවා කියලා දැන දැනත් තවත් කීපදෙනෙක් එක්ක එකතු වෙලා දාවිත්ටයි, එයා එක්ක හිටපු අයටයි අවශ්‍ය දේවල් ගෙනත් දුන්නා. තමන් ඉන්නේ මහලු වයසේ නිසා දෙවියන්ට දැන් එයාව පාවිච්චි කරන්න බැහැ කියලා බාසිල්ලයි හිතුවේ නැහැ. ඒ වෙනුවට උදව්වක් ඕනෙ වෙලා තිබුණ දෙවියන්ගේ සෙනඟ වෙනුවෙන් එයාට කරන්න පුළුවන් දේ එයා කළා. (2 සාමු. 17:27-29) අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද? අපේ වයස මොකක් වුණත් දෙවියන්ට පුළුවන් අවශ්‍යතාවන් තියෙන අපේ සහෝදරයන්ට උදව් කරන්න අපිව යොදාගන්න. (හිතෝ. 3:27, 28; 19:17) අපිට එයාලව හම්බ වෙලා එයාලට උදව් කරන්න බැරි වුණත් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් සම්මාදම් කරන්න අපිට පුළුවන්. සහන සේවා වැඩවලට සහ වෙනත් අවශ්‍යතාවලට ඒ සම්මාදම් යොදාගන්න සංවිධානයට පුළුවන්.—2 කොරි. 8:14, 15; 9:11.

7. යෙහෝවා දෙවියන් සිමියොන්ව යොදාගත්තේ කොහොමද? ඒක අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

7 යෙරුසලමේ ජීවත් වුණ සිමියොන් මහලු කෙනෙක්. එයා මැරෙන්න කලින් ගැලවුම්කරුව දකින්න ලැබෙනවා කියලා යෙහෝවා දෙවියන් එයාට පොරොන්දුවක් දුන්නා. ගැලවුම්කරුව දකින්න එයා අවුරුදු ගාණක් බලාගෙන හිටපු නිසා ඒ පොරොන්දුවෙන් එයා ලොකු දිරිගැන්වීමක් ලබන්න ඇති. විශ්වාසවන්තව, විඳදරාගෙන හිටපු සිමියොන්ට යෙහෝවා දෙවියන් ආශීර්වාද කළා. දවසක් “දෙවි තම බලයෙන් එයාට මඟ පෙන්වූ නිසා” එයා දේවමාලිගාවට ගියා. එහෙදී ළදරු වයසේ හිටපු යේසුස්ව එයා දැක්කා. ගැලවුම්කරු වෙන්න නියමිත ඒ දරුවා ගැන අනාවැකියක් කියන්නත් දෙවියන් සිමියොන්ව යොදාගත්තා. (ලූක් 2:25-35) යේසුස් දේවසේවය පටන්ගන්න කලින් සිමියොන් මිය යන්න ඇති. ඒත් එදා දෙවියන් එයාව පාවිච්චි කරපු එක ගැන එයා හුඟක් සතුටු වුණා. අනාගතයේදීත් එයාට හුඟක් ආශීර්වාද ලැබෙනවා. යේසුස්ගේ පාලනය යටතේ පොළොවේ ඉන්න හැම පවුලකටම ආශීර්වාද ලැබෙන හැටි එදාට එයා දකියි. (උත්. 22:18) යෙහෝවා දෙවියන් ඔහුගේ සේවය වෙනුවෙන් අපිව මොන විදිහකින් පාවිච්චි කළත් ඒක අගය කරන්න අපිටත් පුළුවන්.

8. බානබස්ව යොදාගත්තා වගේ යෙහෝවා දෙවියන් අපිවත් යොදාගන්නේ කොහොමද?

8 මුල් සියවසේ හිටපු යෝසෙප් ත්‍යාගශීලී කෙනෙක්. දෙවියන් අරමුණු කරපු දේ ඉටු කරන්න එයාව යොදාගන්න එයා දෙවියන්ට ඉඩ දුන්නා. (ක්‍රියා 4:36, 37) ‘සැනසිල්ලේ පුත්‍රයා’ කියන අදහස තියෙන බානබස් කියන නම නියෝජිතයන් එයාට දෙන්න ඇත්තේ අනිත් අයව සනසන්න එයාට හොඳින් පුළුවන් වුණ නිසයි. යේසුස්ගේ අනුගාමිකයන්ට යෙරුසලමේදී දරුණු විදිහට පීඩා කරපු නිසා සාවුල් ක්‍රිස්තියානියෙක් වුණාට පස්සෙත් හුඟක් අය එයාට බය වුණා. ඒ වෙලාවේ සාවුල්ගේ උදව්වට ආවේ බානබස්. එයා පෙන්නපු සැලකිල්ල සාවුල් හුඟක් අගය කරන්න ඇති. (ක්‍රියා 9:21, 26-28) පස්සේ කාලෙක යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන්ට ඕනෙ වුණා ඈතින් පිහිටි සිරියාවේ අන්තියෝකියේ හිටපු සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න. එයාලා යැව්වේ බානබස්ව. ඒක හොඳ තේරීමක්. මොකද “ස්ථිර අධිෂ්ඨානයකින් ස්වාමීන්ට විශ්වාසවන්තව සිටින්න කියා ඔහු ඔවුන් සියලුදෙනාටම දිරිගැන්නුවා.” (ක්‍රියා 11:22-24) අනිත් අයව සනසන කෙනෙක් වෙන්න අද අපිටත් උදව් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. උදාහරණෙකට වියෝදුකෙන් ඉන්න කෙනෙක්ව සනසන්න ඔහු අපිව යොදාගනියි. අසනීපයෙන් හෝ මානසික පීඩනයෙන් ඉන්න කෙනෙක්ව හම්බ වෙලා එහෙම නැත්නම් කෝල් එකක් දීලා දිරිගන්වන්න ඔහු අපිව පොලඹවයි. දෙවියන් බානබස්ව යොදාගත්ත විදිහට ඔයාවත් යොදාගන්න ඔයා ඉඩ දෙනවාද?—1 තෙස. 5:14.

9. හොඳ වැඩිමහල්ලෙක් වෙන්න සහෝදර වසීලිට යෙහෝවා දෙවියන් උදව් කරපු විදිහෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද?

9 හොඳ වැඩිමහල්ලෙක් වෙන්න යෙහෝවා දෙවියන් වසීලිට උදව් කළා. වයස 26දී එයාව වැඩිමහල්ලෙක් විදිහට පත් කළාම එයාට හිතුණේ සභාවේ අයට විශේෂයෙන්ම ප්‍රශ්න ගැටලු අද්දකිමින් හිටපු අයට උදව් කරන්න තරම් අද්දැකීම් එයාට නැහැ කියලා. ඒත් අද්දැකීම් තියෙන වැඩිමහල්ලන්ගෙනුත් පත් කළ සහෝදරයන් සඳහා පාසැලෙනුත් එයාට හොඳ පුහුණුවක් ලැබුණා. ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න වසීලිත් වෑයමක් දැරුවා. උදාහරණෙකට එයාට තියන්න පුළුවන් පොඩි පොඩි ඉලක්කවල ලැයිස්තුවක් එයා හදාගත්තා. ඒ ඉලක්ක එකින් එක ජය ගද්දී කලින් එයාට කරන්න බැහැ කියලා හිතුණ දේවල් කරන්න එයාට පුළුවන් වුණා. එයා මෙහෙම කියනවා. “කලින් මං කරන්න බයෙන් හිටපු දේවලින් තමයි දැන් මං වැඩියෙන්ම සතුටු වෙන්නේ. සභාවේ කෙනෙක්ව සනසන්න ගැළපෙනම බයිබල් පදයක් හොයාගන්න දෙවියන් මට උදව් කළාම මට දැනෙන්නේ පුදුම සතුටක්.” සහෝදරයෙනි, වසීලි වගේ ඔයාලව යොදාගන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දුන්නොත් තව වැඩියෙන් සභාවේ දේවල් කරන්න අවශ්‍ය හැකියාව ඔහු ඔයාලට දෙයි.

දෙවියන් ස්ත්‍රීන්ව යොදාගත්ත විදි

10. අබිගායිල් කළේ මොකක්ද? එයාගෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

10 සාවුල් රජ දාවිත්වත් එයාත් එක්ක හිටපු පිරිසවත් අල්ලගන්න ආපු කාලේ දාවිත්ට අනිත් අයගේ උදව් ඕනෙ වුණා. එයාලා දවසක් නාබල් කියන පොහොසත් කෙනාගෙන් කෑම ටිකක් ඉල්ලුවා. එයාලා ඒ වගේ ඉල්ලීමක් කළේ පාළුකරයේ හිටපු නාබල්ගේ සත්ව රැළවල් එයාලා ආරක්ෂා කරලා දුන්න නිසයි. ඒත් නාබල් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒක අහලා දාවිත්ට හොඳටම කේන්ති ගියා. නාබල්වත් එයාගේ ගෙදර හිටපු හැම පිරිමියෙක්වමත් මරන්න එයා ලෑස්ති වුණා. (1 සාමු. 25:3-13, 22) ඒත් නාබල්ගේ බිරිඳ අබිගායිල් නුවණැතිව වැඩ කරපු ස්ත්‍රියක්. එයා බය නැතුව දාවිත්ව හම්බ වෙන්න ගිහින් දණින් වැටිලා කිව්වා පළිගත්තොත් ලේ වරදට අහු වෙයි කියලා. යෙහෝවා දෙවියන්ට කාරණය භාර දෙන්න කියලා එයා කාරුණිකව ඉල්ලුවා. අබිගායිල් යටහත්පහත්ව කතා කරපු විදිහත් නුවණැතිව වැඩ කරපු විදිහත් නිසා එයාව එව්වේ යෙහෝවා දෙවියන් කියලා දාවිත් තේරුම්ගත්තා. (1 සාමු. 25:23-28, 32-34) අබිගායිල් ඒ ලස්සන ගුණාංග වර්ධනය කරගන්න වෑයමක් දරලා තිබුණ නිසා යෙහෝවා දෙවියන්ට එයාව පාවිච්චි කරන්න පුළුවන් වුණා. අදත් සහෝදරියන් නුවණැතිව, අවබෝධයෙන් වැඩ කරද්දී පවුලේ අයව වගේම සභාවේ අයව ගොඩනංවන්න එයාලව පාවිච්චි කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්.—හිතෝ. 24:3; තීත. 2:3-5.

11. ෂල්ලුම්ගේ දූවරුන් කළේ මොනවාද? අද එයාලව ආදර්ශයට ගන්නේ කවුද?

11 ඊට සියවස් ගාණකට පස්සේ යෙරුසලමේ පවුරු අලුත්වැඩියා කරන්න යෙහෝවා දෙවියන් යොදාගත්ත අය අතරේ ෂල්ලුම්ගේ දූවරුනුත් හිටියා. (නෙහෙ. 2:20; 3:12) එයාලගේ තාත්තා අධිපතියෙක් වුණත් ඒ අමාරු, භයානක කාර්යය කරන්න ෂල්ලුම්ගේ දූවරු කැමති වුණා. (නෙහෙ. 4:15-18) “යටත් වී වැඩ කරන්න අකමැති” වුණ තෙකෝවාහි ප්‍රධානීන්ට වඩා එයාලා කොච්චර වෙනස්ද! (නෙහෙ. 3:5) පවුරු දවස් 52කින් ගොඩනඟලා ඉවර වුණාම ෂල්ලුම්ගේ දූවරුන්ට ලොකු සතුටක් දැනෙන්න ඇති. (නෙහෙ. 6:15) අදත් පරිශුද්ධ සේවයට අයිති විශේෂ කාර්යයක් කරන්න සහෝදරියන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. ඒ තමයි දෙවියන්ගේ සේවය වෙනුවෙන් පාවිච්චි කරන ගොඩනැඟිලි ඉදි කරන සහ ඒවා නඩත්තු කරන කාර්යය. සාර්ථකව ඒ කාර්යය කරන්න ඒ සහෝදරියන්ගේ දක්ෂතාවන්, උනන්දුව සහ ළැදිකම අපිට නැතුවම බැහැ.

12. තබිතාව වගේ අපිවත් යොදාගන්න දෙවියන්ට පුළුවන් කොහොමද?

12 අනිත් අයට විශේෂයෙන්ම වැන්දඹුවන්ට උදව් කරන්න යෙහෝවා දෙවියන් තබිතාව පෙලඹුවා. එයා ‘බොහෝ යහපත් දේවල් කරපු, නිතරම අනුන්ට කරුණාව දක්වමින් නොයෙකුත් දේවල් තෑගි කරපු’ කෙනෙක්. (ක්‍රියා 9:36) එයා මිය ගිය වෙලාවේ එයාගේ ත්‍යාගශීලීකම සහ කරුණාවන්තකම ගැන මතක් කරලා හුඟක් අය දුක් වුණා. ඒත් පේතෘස් එයාව නැවත නැඟිටෙව්වාම හැමෝම ගොඩක් සතුටු වුණා. (ක්‍රියා 9:39-41) තබිතාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි තරුණ වුණත් මහලු වුණත් සහෝදරයෙක් වුණත් සහෝදරියක් වුණත් අපි හැමෝටම පුළුවන් අපේ සහෝදර සහෝදරියන්ට විවිධ විදිවලින් උදව් කරන්න.—හෙබ්‍රෙ. 13:16.

13. රූත්ව යෙහෝවා දෙවියන් යොදාගත්තේ කොහොමද? ඒ ගැන එයා කිව්වේ මොකක්ද?

13 රූත් ලැජ්ජාශීලී සහෝදරියක්. එයාට ඕනෙ වුණේ මිෂනාරි සේවය කරන්න. යෞවන වයසේ ඉද්දී එයා සේවයේ ගියාම ගෙදරකට ගිහින් පත්‍රිකාවක් දීලා ඉක්මනින් අනිත් ගෙදරට යනවා. “මං සේවේ කළේ ආසාවෙන්” කියලා රූත් කිව්වා. ඒත් ගෙදරකට ගිහින් කෙනෙක් එක්ක දේවරාජ්‍යය ගැන කතා කරන එක එයාට අභියෝගයක් වුණා. ලැජ්ජාශීලී වුණත් එයා වයස 18දී ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. 1946දී එයා ගිලියද් පාසැලට සහභාගි වෙලා පස්සේ හවායිවල සහ ජපානයේ සේවය කළා. ඒ රටවල ශුභාරංචිය ව්‍යාප්ත කරන්න යෙහෝවා දෙවියන් රූත්ව ගොඩක් විදිවලින් යොදාගත්තා. අවුරුදු 80කට කිට්ටු කාලයක් පුරා සේවය කරපු රූත් මෙහෙම කිව්වා. “මාව ශක්තිමත් කළේ යෙහෝවා දෙවියන්. ලැජ්ජාශීලීකමින් ගොඩ එන්න දෙවියන් මට උදව් කළා. ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරන ඕනෙම කෙනෙක්ව තමන්ගේ අරමුණ ඉටු කරන්න දෙවියන්ට පාවිච්චි කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.”

ඔහු කැමති විදිහට ඔයාව යොදාගන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දෙන්න

14. යෙහෝවා දෙවියන්ට අපිව යොදාගන්න නම් කොලොස්සි 1:29 අනුව අපි මොනවාද කරන්න ඕනේ?

14 අතීතය පුරාම යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ව හුඟක් විදිවලින් යොදාගෙන තියෙනවා. ඔහු ඔයාව මොන විදිවලින් යොදාගනියිද? වෙහෙසිලා සේවය කරන්න ඔයා කොච්චර දුරට කැමතිද කියන දේ මත තමයි ඒක ගොඩක් දුරට තීරණය වෙන්නේ. (කොලොස්සි 1:29 කියවන්න.) ඔයාව යොදාගන්න ඔයා යෙහෝවා දෙවියන්ට ඉඩ දෙනවා නම් උද්‍යෝගයෙන් දේශනා කරන කෙනෙක්, හොඳ ගුරුවරයෙක්, හොඳ සනසන්නෙක්, දක්ෂ ඉදි කරන්නෙක්, හොඳ යාළුවෙක් නැත්නම් යෙහෝවා දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න අවශ්‍ය වෙනත් ඕනෙම කෙනෙක් වෙන්න ඔයාට උදව් කරන්න ඔහුට පුළුවන්.

15. 1 තිමෝති 4:12, 15 අනුව යෞවන සහෝදරයන් යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න ඕනෙ මොන දේ කරන්නද?

15 වැඩිහිටි වයසට ටිකෙන් ටික ළං වෙන යෞවන සහෝදරයෙනි, සහයක සේවකයන් විදිහට සභාවේ වැඩවලට උදව් කරන්න සවිශක්තිය තියෙන සහෝදරයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා. හුඟක් සභාවල සහයක සේවකයන්ගේ ගාණට වඩා වැඩි ගාණක් ඉන්නේ වැඩිමහල්ලන්. සභාවේ අමතර වගකීම් භාරගන්න ආසාවක් ඔයාලගෙන් සමහරදෙනෙක්ට ඇති කරගන්න පුළුවන්ද? සමහර සහෝදරයෝ කියනවා “ප්‍රචාරකයෙක් විදිහට සේවය කරගෙන ඉන්න එක මට ඇති” කියලා. ඔයාට හැඟෙන්නෙත් එහෙමද? එහෙමනම් සහයක සේවකයෙක් විදිහට සේවය කරන්න ඔයා තුළ ආශාවක් ඇති කරගන්න උදව් කරන්න කියලත් ඒක කරන්න ඕනෙ කරන ශක්තිය ඔයාට දෙන්න කියලත් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න. (දේශ. 12:1) යෞවන සහෝදරයෙනි, අපිට ඔයාලගේ උදව් ඕනේ!—1 තිමෝති 4:12, 15 කියවන්න.

16. අපි යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

16 යෙහෝවා දෙවියන්ට පුළුවන් ඔහු අරමුණු කරන දේ ඉටු කරන්න ඔහු කැමති ඕනෙම විදිහකින් ඔයාව යොදාගන්න. ඒ නිසා ඔහු කැමති දේ කරන්න ඔයා තුළ ආශාවක් ඇති කරන්න කියලත් ඒක කරන්න අවශ්‍ය පෙලඹීම නැත්නම් ශක්තිය ඔයාට දෙන්න කියලත් දෙවියන්ගෙන් ඉල්ලන්න. ඔයාගේ වයස මොකක් වුණත් ඔයාගේ කාලය, ශක්තිය, හැකියාවන් සහ ඔයා ළඟ තියෙන වෙනත් වටිනා දේවල් දැන් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න යොදාගන්න. (දේශ. 9:10) යෙහෝවා දෙවියන්ට වැඩි සේවයක් කරන්න ඔයාට අවස්ථාවක් ලැබුණාම බය නිසා හෝ ඒක කරගන්න බැරි වෙයි කියලා හැඟෙන නිසා ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරන්න ඉක්මන් වෙන්න එපා. අපේ දෙවි යෙහෝවාට ලැබිය යුතු ගෞරවය දෙන්න පුංචි විදිහකින් හරි හවුල් වෙන්න ලැබෙන එක මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද!

ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

^ 5 ඡේ. දැන් කරනවාට වඩා වැඩි සේවයක් කරන්න ඔයා කැමතිද? දෙවියන්ට කලින් තරම් දැන් මගෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා ඔයාට හිතෙනවාද? එහෙම නැත්නම් දැන් කරන ටික ඇති කියලා හිතෙනවාද? මේ ලිපියෙන් බලමු අපි තුළ ආශාවක් වගේම පෙලඹීමක් ඇති කරලා දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඔහුට අපිව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා.

^ 3 ඡේ. පාවුල් ලිපිය ලිව්වේ මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට වුණත් ඔහු කියපු දේවල් දෙවියන්ගේ හැම සේවකයෙක්ටම අදාළයි.