Skip to content

පටුනට යන්න

විනාශය ළඟ ළඟම එන නිසා ඒ ගැන අපි මිනිසුන්ට අනතුරු අඟවන්න ඕනේ

විනිශ්චයකින් බේරෙන්න දෙවියන් ඇති තරම් කාලයක් දෙනවාද?

විනිශ්චයකින් බේරෙන්න දෙවියන් ඇති තරම් කාලයක් දෙනවාද?

කාලගුණ අනාවැකි කියන කෙනෙක් රේඩාර් පද්ධතිය පරීක්ෂා කරද්දී දකිනවා විශාල සෙනඟක් ඉන්න ප්‍රදේශයකට දරුණු සුළිකුණාටුවක් ළඟම එනවා කියලා. සෙනඟගේ ජීවිත ගැන සැලකිලිමත් වෙන නිසා එයා බලබල ඉන්නේ නැතුව පුළුවන් උපරිමයෙන් ඒ ගැන අනතුරු අඟවනවා.

යෙහෝවා දෙවියනුත් ළඟ ළඟම එන දරුණු විනාශයක් ගැන දැන් අනතුරු අඟවනවා. ඒ තරම් භයානක විනාශයක් ගැන කිසිම කාලගුණ අනාවැකියකින් අනතුරු අඟවලා නැහැ. දෙවියන් ඒ අනතුරු ඇඟවීම දෙන්නේ කොහොමද? ඒකෙන් ආරක්ෂා වෙන්න දෙවියන් මිනිසුන්ට ඇති තරම් කාලයක් දෙනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි? ඒවාට උත්තර දැනගන්න යෙහෝවා දෙවියන් අතීතයේ දුන්න අනතුරු ඇඟවීම් කීපයක් ගැන බලමු.

දෙවියන් අනතුරු ඇඟවීම් දුන්නා

අතීතයේදී යෙහෝවා දෙවියන් ඔහුට හිතාමතාම අකීකරු වුණ අයට විරුද්ධව කීප සැරයක්ම “සුළිසුළඟක්” හා සමාන විනාශයන් ගෙනාවා. (හිතෝ. 10:25; යෙරෙ. 30:23) ඒත් ඒ හැම අවස්ථාවකදීම දෙවියන් ඒ ගැන අනතුරු අඟවලා වෙනස්කම් කරගන්න ඇති තරම් කාලයක් දුන්නා. (2 රාජා. 17:12-15; නෙහෙ. 9:29, 30) ඔහු බලාපොරොත්තු වුණ ඒ වෙනස්කම් කරගන්න දෙවියන් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මාර්ගයෙන් මිනිසුන්ට උදව් කළා. ඒ වගේම ඒ වෙනස්කම් ඉක්මනින්ම කරගන්න එක කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්නත් ඔහු මිනිසුන්ට උදව් කළා.—ආමො. 3:7.

නෝවා ඒ වගේ විශ්වාසවන්ත සේවකයෙක්. එයාගේ කාලේ ජීවත් වුණේ අනාචාර ජීවිත ගත කරපු, සැහැසික ක්‍රියාවල යෙදුණ මිනිසුන්. ඒත් එයා අවුරුදු ගාණක් බය නැතුව එන්න යන ජලගැල්ම ගැන ඒ මිනිසුන්ට අනතුරු ඇඟෙව්වා. (උත්. 6:9-13, 17) ඒකෙන් බේරෙන්න කරන්න ඕනෙ දේත් එයා කිව්වා. එයා කොච්චර කාලයක් අනතුරු ඇඟවීම දුන්නාද කියනවා නම් එයාව හඳුන්වන්නේ “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ” කෙනෙක් විදිහට.—2 පේතෘ. 2:5.

ඒත් ඒ කාලේ හිටපු මිනිසුන් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. එයාලට දෙවියන් ගැන කිසිම විශ්වාසයක් නැහැ කියලා එයාලා වැඩ කරපු විදිහෙන් පැහැදිලි වුණා. ප්‍රතිඵලයක් විදිහට “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන” ගියා. (මතෙ. 24:39; හෙබ්‍රෙ. 11:7) විනාශය එද්දී දෙවියන් ඒ ගැන අනතුරු ඇඟෙව්වේ නැහැ කියලා ඔහුට දොස් කියන්න එයාලට කිසිම හේතුවක් තිබුණේ නැහැ.

ගේන්න යන විනාශයන් ගැන ඒක ගේන්න ළං කරලා යෙහෝවා දෙවියන් අනතුරු අඟවපු අවස්ථාත් තියෙනවා. ඒත් අවශ්‍ය වෙනස්කම් කරගෙන විනාශයෙන් බේරෙන්න දෙවියන් මිනිසුන්ට කාලය දුන්නා. ඊජිප්තුවට ගෙනාපු පීඩා 10 ගැන හිතන්න. ඒ හැම එකකටම කලින් දෙවියන් ඒ ගැන අනතුරු ඇඟෙව්වා. උදාහරණෙකට හත්වෙනි පීඩාව වන හිම කැට වර්ෂාව ගේන්න කලින් දවසේ යෙහෝවා දෙවියන් මෝසෙස්ව සහ ආරොන්ව පාරාවෝ ළඟට යැව්වා ඒ ගැන අනතුරු අඟවන්න. අනතුරු ඇඟවීම දුන්නේ දවසකට කලින් වුණත් හිම කැට වර්ෂාව එන්න ඉස්සෙල්ලා ආරක්ෂිත තැනකට යන්න එයාලට කාලය තිබුණා. බයිබලේ මෙහෙම කියනවා. “පාරාවෝගේ සේවකයන් අතරින් යෙහෝවා දෙවි කී දේට භය වූ අය තම සේවකයන්ව හා සත්ව රැළ ගෙට ගත්තෝය. නමුත් යෙහෝවා දෙවි කී දේ නොතැකූ අය තම සේවකයන්ට හා සත්ව රැළට එළිමහනේ සිටීමට ඉඩහැරියෝය.” (නික්. 9:18-21) අනතුරු ඇඟවීමට අනුව පියවර ගත්ත අයට ඒකෙන් බේරෙන්න යෙහෝවා දෙවියන් ඇති තරම් කාලය දුන්නා.

දෙවියන් දහවෙනි පීඩාව ගේන්න කලින් පාරාවෝට සහ ඔහුගේ සේවකයන්ට ඒ ගැන අනතුරු ඇඟෙව්වත් එයාලා ඒක ප්‍රතික්ෂේප කළා. (නික්. 4:22, 23) ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයාලා හැමෝගෙම කුලුඳුල් පුත්‍රයන් මිය ගියා. (නික්. 11:4-10; 12:29) ඒ අනතුරු ඇඟවීමට කීකරු වෙන්න තරම් කාලයක් එයාලට තිබුණාද? ඔව්. දහවෙනි පීඩාව ගැන මෝසෙස් ඉක්මනින්ම ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු අඟවලා ඒකෙන් එයාලගේ පවුල්වල අයව බේරගන්න මොනවාද කරන්න ඕනෙ කියලා කිව්වා. (නික්. 12:21-28) ඒ මඟ පෙන්වීම්වලට කීදෙනෙක් කීකරු වුණාද? ගණන් බලලා තියෙන විදිහට ලක්ෂ 30ක් ඒ පීඩාවෙන් බේරිලා ඊජිප්තුවෙන් පිටතට ආවා. ඊශ්‍රායෙල්වරුන්ට අමතරව ඒ සෙනඟ අතරේ ඊජිප්තු ජාතිකයන් සහ “වෙනත් ජාතීන්ට අයත් මහත් සමූහයක්” හිටියා.—නික්. 12:38.

අනතුරු ඇඟවීම් හිතට අරන් වෙනස්කම් කරගන්න අවශ්‍ය කාලය යෙහෝවා දෙවියන් මිනිසුන්ට දෙනවා කියලා ඒ උදාහරණවලින් පැහැදිලියි. (ද්වි. 32:4) දෙවියන් එහෙම කරන්නේ ඇයි? පේතෘස් මෙහෙම කියනවා. “කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය.” (2 පේතෘ. 3:9) දෙවියන් මිනිසුන් ගැන සැලකිලිමත්. ඔහුට ඕනෙ මිනිසුන් පසුතැවිලි වෙලා වෙනස්කම් කරගන්නවා දකින්න.—යෙසා. 48:17, 18; රෝම 2:4.

දෙවියන් දැන් දෙන අනතුරු ඇඟවීම හිතට ගන්න

අදත් ලෝකේ පුරාම අනතුරු ඇඟවීමක් කරනවා. මිනිසුන් ඒක හිතට අරන් ඉක්මනින්ම වෙනස්කම් කරගන්න ඕනේ. ඉදිරියේදී එන “මහත් පීඩාවක්” ගැන යේසුස් කතා කළා. ඒ පීඩාව අතරතුරේදී මේ දුෂ්ට සමාජය විනාශ වෙනවා කියලා ඔහු කිව්වා. (මතෙ. 24:21) ඒ විනාශය සම්බන්ධයෙන් යේසුස් අනාවැකියක් කිව්වා. ඒ අනාවැකියෙන් ඔහු කිව්වා විනාශය ළං වෙද්දී ඔහුගේ අනුගාමිකයන්ට දකින්න පුළුවන් වෙන සහ මුහුණ දෙන්න වෙන සිදුවීම් ගැන. යේසුස් කිව්ව ඒ සිදුවීම් අද අපේ ඇස් ඉදිරියේම ඉටු වෙනවා.—මතෙ. 24:3-12; ලූක් 21:10-13.

විනාශයට තව වැඩි කල් නැති නිසා යෙහෝවා දෙවියන් හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ ඔහුගේ පාලනය පිළි අරන් ඔහුට කීකරු වෙන්න කියලයි. ඔහුට කීකරු වෙන මිනිසුන්ට දැනුත් සදහටමත් සතුටින් ඉන්න අවස්ථාව තියෙනවා. (2 පේතෘ. 3:13) දෙවියන්ට ඕනෙ ඔහුගේ පොරොන්දු ගැන විශ්වාසයක් ඇති කරගන්න මිනිසුන්ට උදව් කරන්න. ඒ නිසයි ඔහු “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” මිනිසුන්ට දැනුම් දෙන්නේ. ඒ පණිවිඩය “සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි” කියලා යේසුස් කිව්වා. (මතෙ. 24:14) ඒ ගැන මිනිසුන්ට දැනුම් දෙන්න දෙවියන් ඔහුගේ සෙනඟව හොඳින් සංවිධානය කරලා තියෙනවා. එයාලා රටවල් 240ක විතර ඒ පණිවිඩය දේශනා කරනවා. යෙහෝවා දෙවියන්ට ඕනෙ පුළුවන් තරම් දෙනෙක් ඒ අනතුරු ඇඟවීමට සවන් දීලා ළඟ ළඟම එන “සැඩ කුණාටුවක්” හා සමාන විනාශයෙන් බේරෙනවා දකින්න.—ශෙප. 1:14, 15; 2:2, 3.

යෙහෝවා දෙවියන් ඔහු දෙන අනතුරු ඇඟවීම් හිතට අරන් වෙනස්කම් කරගන්න අවශ්‍ය තරම් කාලයක් මිනිසුන්ට දෙනවා කියලා ඒ තොරතුරුවලින් පැහැදිලියි. ඒත් වැදගත්ම දේ දෙවියන් දීලා තියෙන මේ කාලය ප්‍රයෝජනයට අරන් ඒ අනතරු ඇඟවීමට කීකරු වෙන්න මිනිසුන් පියවර ගනියිද කියන එක. දෙවියන්ගේ පණිවිඩකරුවන් වන අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ ඉස්සරහට එන විනාශයෙන් බේරෙන්න පුළුවන් තරම් දෙනෙක්ට උදව් කරන එකයි.