Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 41

‘මහත් පීඩාව’ අතරතුරේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න

‘මහත් පීඩාව’ අතරතුරේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න

“යෙහෝවා දෙවිට පක්ෂපාත සියල්ලෙනි, ඔහුට ප්‍රේම කරන්න. විශ්වාසවන්තව සිටින අයව යෙහෝවා දෙවි ආරක්ෂා කරන්නේය.”—ගීතා. 31:23.

ගීතිකාව 129 දිගටම විඳදරාගමු

මේ ලිපියෙන් *

1-2. (අ) ළඟදීම ලෝක නායකයන් කරන නිවේදනය මොකක්ද? (ආ) අපි උත්තර දැනගන්න ඕනෙ මොන ප්‍රශ්නවලටද?

“මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා ලෝක නායකයන් දැන් නිවේදනය කළා කියලා හිතන්න. වෙන කවදාවත් තිබුණේ නැති විදිහේ සාමයක් දැන් ලෝකෙට උදා වෙලා කියලා එයාලා ආඩම්බරයෙන් කියයි. මිනිසුන්ගේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න එයාලට පුළුවන් කියලා අපි හිතනවා දකින්නයි ලෝක නායකයන්ට ඕනේ. ඒත් ඒක වැරදියි. මොකද ඊළඟට වෙන්න යන දේ වළක්වන්න එයාලට බැහැ. බයිබලේ කියන්නේ “නොදැනුවත්වම හදිසි විනාශයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. එයින් ඔවුන් කිසි ලෙසකින්වත් ගැලවෙන්නේ නැත” කියලයි.—1 තෙස. 5:3.

2 අපි උත්තර දැනගන්න ඕනෙ වැදගත් ප්‍රශ්න කීපයක් තියෙනවා. “මහත් පීඩාව” අතරතුරේ වෙන්නේ මොනවාද? ඒ කාලේදී අපි මොනවා කරයි කියලාද දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මහත් පීඩාව අතරතුරේ දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න දැන් අපිට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?—මතෙ. 24:21.

“මහත් පීඩාව” අතරතුරේ මොනවාද වෙන්නේ?

3. එළිදරව් 17:5, 15-18 අනුව යෙහෝවා දෙවියන් “මහ බැබිලෝනිය” විනාශ කරන්නේ කොහොමද?

3 එළිදරව් 17:5, 15-18 කියවන්න. “මහ බැබිලෝනිය” අනිවාර්යයෙන්ම විනාශ වෙනවා! ඒ වෙද්දී ලෝක නායකයන්ට එයාලා ඊළඟට කරන්න යන දේ පාලනය කරන්න හැකියාවක් නැහැ. එහෙම කියන්නේ ඇයි? මොකද ‘දෙවි තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඔවුන්ගේ මනස් තුළට යම් අදහසක් දානවා.’ ඒ අදහස තමයි ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම් * ඇතුළු අසත්‍යය උගන්වන හැම ආගමක්ම විනාශ කරන එක. දෙවියන් ඒ අදහස “තද රතු පාට මෘගයාගේ” අං දසයට දානවා. අං දසයෙන් නියෝජනය වෙන්නේ “මෘගයාට” එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහය දෙන දැන් තියෙන ආණ්ඩු. (එළි. 17:3, 11-13; 18:8) ඒ ආණ්ඩු අසත්‍යය උගන්වන ආගම්වලට පහර දෙනවත් එක්කම මහත් පීඩාව ආරම්භ වෙනවා. ඒක හදිසියේ සිද්ධ වෙන භයානක විනාශයක්. ඒක පොළොවේ ඉන්න හැමෝටම බලපානවා.

4. (අ) අසත්‍යය උගන්වන ආගම්වලට පහර දෙන්න ලෝක නායකයන් මොන වගේ හේතු ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවාද? (ආ) ඒ ආගම්වල සාමාජිකයන් වෙලා හිටපු අය මොනවා කරයිද?

4 මහ බැබිලෝනියට පහර දෙන්න ලෝක නායකයන් මොන වගේ හේතු ඉදිරිපත් කරයිද කියලා අපි දන්නේ නැහැ. සමහරවිට එයාලා කියයි ආගමික නායකයන් අනවශ්‍ය විදිහට දේශපාලනයට ඇඟිලි ගහන නිසා ලෝක සාමයට ආගම් බාධාවක් කියලා. එහෙම නැත්නම් එයාලා කියයි ඒ ආගමික සංවිධාන හුඟක් ධනය, දේපළ රැස් කරගෙන කියලා. (එළි. 18:3, 7) ලෝක නායකයන් අසත්‍යය උගන්වන ආගම් විනාශ කරද්දී ඒ ආගම්වලට අයිති හැම සාමාජිකයෙක්වම විනාශ කරන එකක් නැහැ. ඒ වෙනුවට එයාලා විනාශ කරන්නේ ආගමික සංවිධානයි. ඒ ආගමික සංවිධාන විනාශ වුණාම ඒවාවල සාමාජිකයන් තේරුම්ගන්නවා එයාලගේ ආගමික නායකයන් දීපු පොරොන්දු බොරු කියලා. ඒ නිසා ඒ ආගම්වල සාමාජිකයන් බොහෝදුරට කියයි තමන්ට ඒ ආගම් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා.

5. මහත් පීඩාව ගැන යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද? ඒ ඇයි?

5 මහ බැබිලෝනියේ විනාශය කොච්චර කාලයක් පුරා සිදු වෙයිද කියලා බයිබලේ කියන්නේ නැහැ. ඒත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ වෙන දෙයක් නෙමෙයි කියලා අපි දන්නවා. (එළි. 18:10, 21) මොකද යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා ඔහු “තෝරාගත් අයව” සහ සැබෑ ආගම බේරාගන්න නිසා පිඩාව පවතින “දවස් කෙටි” කරනවා කියලා. (මාක් 13:19, 20) මහත් පීඩාව ආරම්භ වෙලා හර්–​මගෙදොන් යුද්ධය දක්වා තියෙන කාලේදී අපි මොනවා කරයි කියලාද යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ?

අත් නෑර යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න

6. අසත්‍යය උගන්වන ආගම්වලින් ඉවත් වෙන එක විතරක් මදි කියන්නේ ඇයි?

6 අපි කලින් ලිපියේ බලපු විදිහට තමන්ගේ සෙනඟ මහ බැබිලෝනියේ කිසිම දේකට හවුල් නොවී ඉඳියි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක විතරක් මදි. අපි අත් නෑර යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නත් ඕනේ. ඒක කරන්න පුළුවන් විදි 2ක් බලමු.

අමාරු කාලේදීත් එකට රැස් වෙන එක අතපසු නොකරමු (7 ඡේදය බලන්න) *

7. (අ) යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට දිගටම කීකරුව ඉන්න අපිට පුළුවන් කොහොමද? (ආ) අපි එකට රැස් වෙන්න ඕනෙ කියලා හෙබ්‍රෙව් 10:24, 25 කියන්නේ ඇයි? විශේෂයෙන්ම මේ කාලේ ඒක වැදගත් ඇයි?

7 (1) අපි දිගටම යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලිලා ඉන්න ඕනේ. මේ ලෝකේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන අනාචාර ගතිපැවතුම් අපි කොහොමටවත් පිළිගන්නේ නැහැ. උදාහරණෙකට සමලිංගික විවාහයන් සහ වෙනත් සමලිංගික ක්‍රියා ඇතුළු කිසිම විදිහක ලිංගික දුරාචාරයක් අපි අනුමත කරන්නේ නැහැ. (මතෙ. 19:4, 5; රෝම 1:26, 27) (2) අපි දිගටම සහෝදර සහෝදරියන් එක්ක යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඕනේ. නමස්කාර මධ්‍යස්ථානවලදී, සාක්ෂිකරුවන්ගේ ගෙවල්වලදී එහෙම නැත්නම් රහසිගතව වුණත් අපි ඒක කරනවා. මොන වගේ තත්වයකට මුහුණ දෙන්න වුණත් පුරුද්දක් විදිහට නමස්කාරය සඳහා එකට රැස් වෙන එක අපි නවත්තන්නේ නැහැ. ඒ වෙනුවට “මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරන්න” අපි අදිටන් කරගන්න ඕනේ.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.

8. අපි දේශනා කරන පණිවිඩය වෙනස් වෙන්න ඉඩ තියෙන්නේ කොහොමද?

8 මහත් පීඩාව අතරතුරේදී අපි දේශනා කරන පණිවිඩය බොහෝදුරට වෙනස් වෙයි. දැන් අපි දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන ගමන් මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරනවා. ඒත් ඒ කාලේදී අපි ප්‍රකාශ කරන පණිවිඩය මිනිසුන්ට ඇහෙද්දී එයාලට දැනෙන්නේ හරියට දරුණු හිම කැට වර්ෂාවක් එයාලා පිටට වැටෙනවා වගේ. (එළි. 16:21) සාතන්ගේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නයි යන්නේ කියලා එදාට අපි දැනුම් දෙයි. අපි කියන්න යන පණිවිඩය මොකක්ද ඒක කියන්නේ කොයි විදිවලින්ද කියලා අපිට ඉස්සරහට දැනගන්න ලැබෙයි. ඒ පණිවිඩය කියන්න අවුරුදු සිය ගාණක් පුරා අපි දේශනා කරපු විදිම පාවිච්චි කරයිද? එහෙම නැත්නම් අපි වෙනස්ම විදි පාවිච්චි කරයිද? ඒක අපි හරියටම දන්නේ නැහැ. එදාට අපි කොයි විදිවලින් ඒ පණිවිඩය කිව්වත් යෙහෝවා දෙවියන් ගේන විනිශ්චය ගැන දැනුම් දෙන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා හිතන්න පුළුවන්.—එස. 2:3-5.

9. අපි දැනුම් දෙන පණිවිඩය ගැන මිනිසුන්ට කොහොම හැඟෙයිද? ඒත් අපි හොඳින්ම දන්නේ මොකක්ද?

9 එදාට අපි කියන පණිවිඩය නිසා ලෝක නායකයන් උත්සාහ කරයි අපේ දේශනා කිරීමේ කාර්යය සම්පූර්ණයෙන්ම නවත්තන්න. අද අපිට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවියන් උදව් කරන නිසයි. එදාටත් ඒ කාර්යය හොඳින් කරන්න අපිට දෙවියන්ගේ උදව් ඕනෙමයි. ඔහු බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔහුගේ බලය අපිට දෙනවා කියලා අපි හොඳින්ම දන්නවා.—මීකා 3:8.

දෙවියන්ගේ සෙනඟට විරුද්ධව එන ප්‍රහාරයට සූදානමින් ඉන්න!

10. ලූක් 21:25-28 කියලා තියෙන විදිහට මහත් පීඩාවේදී සිදු වෙන දේවල් නිසා මිනිසුන්ට කොහොම හැඟෙයිද?

10 ලූක් 21:25-28 කියවන්න. හැමදාටම තියෙයි කියලා මිනිසුන් හිතපු දේවල් මහත් පීඩාව අතරතුරේ කඩන් වැටෙනවා දකිද්දී මිනිසුන්ට ඒක හිතාගන්න බැරි වෙනවා. එයාලට “දැඩි වේදනාවක්” දැනෙයි. මිනිස් ඉතිහාසයේ අඳුරුම අවස්ථාවට මුහුණ දෙමින් ඉන්න ඒ කාලේ තමන්ගේ ජීවිතේ නැති වෙයි කියලා හිතලා මිනිසුන් හුඟක් බය වෙනවා. (ශෙප. 1:14, 15) අපි මේ ලෝකේ දේවලට හවුල් නොවන නිසා ඒ කාලේදී යෙහෝවා දෙවියන්ගේ සෙනඟටත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙයි. අපිට අත්‍යවශ්‍ය සමහර දේවල් පවා එදාට අපිට නැති වෙයි.

11. (අ) ලෝක නායකයන්ගේ සහ මිනිසුන්ගේ අවධානය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට යොමු වෙන්නේ ඇයි? (ආ) මහත් පීඩාවට අපි බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

11 තමන්ගේ ආගම් විනාශ වුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කිසිම හානියක් වෙලා නැහැ කියලා මහත් පීඩාව අතරතුරේ එක්තරා අවස්ථාවකදී මිනිසුන් තේරුම්ගන්නවා. ඒ ගැන එයාලට ලොකු කේන්තියක් දැනෙයි. ඒ කේන්තිය එයාලා ප්‍රසිද්ධියේ කියයි. ඒකට එයාලා සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරයි. ඉතුරු වෙලා තියෙන එකම ආගම අපි නිසා ලෝක නායකයන්ට සහ එයාලගේ පාලකයා වන සාතන්ට අපි ගැන දැනෙන්නේ වෛරයක්. හැම ආගමක්ම අතු ගාලා දාන්න එයාලට තිබුණ ඉලක්කය ජය ගන්න බැරි වුණා කියලා එයාලට දැනෙයි. ඒ නිසා එයාලගේ සම්පූර්ණ අවධානය අපි දිහාවට යොමු වෙනවා. ඒ අවස්ථාවේදී තමයි ලෝක නායකයන් මාගොග් දේශයේ ගොග්ගේ * චරිතයට පණ පොවන්නේ. එයාලා එක්සත්ව එයාලගේ සම්පූර්ණ බලය පාවිච්චි කරලා යෙහෝවා දෙවියන්ගේ සෙනඟට පහර දෙනවා. (එස. 38:2, 14-16) එදාට වෙන දේවල් ගැන හැම තොරතුරක්ම අපි දන්නේ නැති නිසා මහත් පීඩාවේදී මොනවා වෙයිද කියලා හිතලා අපිට බයක් දැනෙන්න පුළුවන්. ඒත් අපි එක දෙයක් ගැන හොඳින් දන්නවා. මහත් පීඩාව ගැන අපි බය වෙන්න ඕනෙ නැහැ. අපේ ජීවිත ගලවගන්න ඕනෙ කරන මඟ පෙන්වීම් යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම අපිට දෙයි. (ගීතා. 34:19) අපේ “ගැලවීම ළඟයි” කියලා අපි දන්න නිසා එදාට අපේ හිස් ඔසවලා “ධෛර්යය උපදවාගෙන නැඟිටින්න” අපිට පුළුවන්. *

12. අනාගතයේදී වෙන්න යන දේවලට දැන්ම සූදානම් වෙන්න “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අපිට උදව් කරලා තියෙන්නේ කොහොමද?

12 මහත් පීඩාව අතරතුරේ දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න “දාසයා” අපිව සූදානම් කරනවා. (මතෙ. 24:45) ඒ දේ දාසයා හුඟක් විදිවලින් කරලා තියෙනවා. 2016-2018 දක්වා පවත්වපු තුන්දින සමුළු ඒකට එක උදාහරණයක්. යෙහෝවා දෙවියන්ගේ දවසට ළං වෙද්දී අපිට තියෙන්න ඕනෙම ගුණාංග තව වර්ධනය කරගන්න ඒ සමුළුවලින් අපිව දිරිගැන්නුවා. ඒ ගුණාංග ගැන අපි කෙටියෙන් බලමු.

ළැදිකම, විඳදරාගැනීම සහ ධෛර්යය තව වැඩි කරගන්න

“මහත් පීඩාවෙන්” බේරෙන්න දැන්ම සූදානම් වෙන්න (13-16 ඡේද බලන්න) *

13. යෙහෝවා දෙවියන්ට තියෙන අපේ ළැදිකම තව වැඩි කරගන්නේ කොහොමද? ඒ දේ අපි දැන් කරන්න ඕනෙ ඇයි?

13 ළැදිකම. 2016 තුන්දින සමුළුවේ තේමාව වුණේ “යෙහෝවා දෙවිට ළැදිව ඉන්න” කියන එකයි. අපිට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා නම් අපි ඔහුව අත්හරින්නේ නැහැ කියලා ඒ සමුළුවෙන් අපි දැනගත්තා. මුළු හදවතින්ම යාච්ඤා කරන එකෙන්, බයිබලය අධ්‍යයනය කරන එකෙන් අපිට දෙවියන්ට තව ළං වෙන්න පුළුවන් කියලා සමුළු වැඩසටහනෙන් මතක් කළා. ඒ දේවල් කරද්දී අමාරුම අභියෝග වුණත් ජය ගන්න අපිට ශක්තිය ලැබෙනවා. සාතන්ගේ දුෂ්ට සමාජයේ විනාශය ළං වෙන්න වෙන්න යෙහෝවා දෙවියන්ට සහ ඔහුගේ රාජ්‍යයට තියෙන අපේ ළැදිකම තව තවත් සෝදිසියට ලක් වෙයි. මිනිසුන් දිගින් දිගටම අපිට සමච්චල් කරයි. (2 පේතෘ. 3:3, 4) සාතන්ගේ ලෝකේ කිසිම දේකට අපි සහය නොදෙන එක ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. යෙහෝවා දෙවියන්ට තව වැඩියෙන් ළැදි වෙන්න දැන් අපි පුරුදු වුණොත් මහත් පීඩාව කාලේදීත් අපි ඔහුට ළැදිව ඉඳියි.

14. (අ) දෙවියන්ගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසේ පෙරමුණ ගන්න අයගේ සිදු වෙන වෙනස මොකක්ද? (ආ) ඒ කාලේදී අපි ළැදිව ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඇයි?

14 මහත් පීඩාව අතරතුරේ දෙවියන්ගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසේ පෙරමුණ ගන්න සහෝදරයන්ගේ වෙනසක් සිදු වෙනවා. මහත් පීඩාව අතරතුරේ එක්තරා අවස්ථාවකදී පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරනවා. මොකද එයාලත් හර්–​මගෙදොන් යුද්ධයේදී සටන් කරනවා. (මතෙ. 24:31; එළි. 2:26, 27) ඒ කියන්නේ පාලක මණ්ඩලයේ සහෝදරයන් අපි එක්ක එදාට ඉන්නේ නැහැ කියන එකයි. ඒත් වෙනත් බැටළුවන් අතරේ ඉන්න සුදුසුකම් තියෙන සහෝදරයන් පෙරමුණ අරන් වැඩ කරන නිසා මහත් සමූහය කලින් වගේම පිළිවෙළට දේවල් කරනවා. පෙරමුණ ගන්න ඒ සහෝදරයන්ට සම්පූර්ණ සහය දීලා දෙවියන් එයාලා මාර්ගයෙන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා යෙහෝවා දෙවියන්ට අපි ළැදියි කියලා පෙන්නමු. ගැලවෙන්න නම් එහෙම කරන එක අත්‍යවශ්‍යයි.

15. විඳදරාගැනීමේ හැකියාව තව වැඩි කරගන්නේ කොහොමද? ඒ දේ අපි දැන් කරන්න ඕනෙ ඇයි?

15 විඳදරාගැනීම. 2017 තුන්දින සමුළුව පැවැත්තුවේ “අත්හරින්න එපා!” කියන තේමාව යටතේ. විරුද්ධවාදිකම්, දුෂ්කරතා එද්දී ඒවා තව හොඳින් විඳදරාගන්න අපිට පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න ඒ සමුළු වැඩසටහන අපිට උදව් වුණා. දේවල් විඳදරාගන්න අපිට පුළුවන් වෙන්නේ අපි අද්දකින දුෂ්කරතා වෙනස් වෙයිද නැද්ද කියන දේ මත නෙමෙයි. ඒ වෙනුවට අපි යෙහෝවා දෙවියන් මත රඳා ඉන්නවා නම් ඕනෙම දෙයක් විඳදරාගන්න අපිට පුළුවන් කියලා අපි ඉගෙනගත්තා. (රෝම 12:12) යේසුස් කියපු මේ දේ අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. “ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.” (මතෙ. 24:13) යේසුස් කියපු ඒ දෙයින් තේරෙනවා අපිට මොන අභියෝගයකට මුහුණ දෙන්න වුණත් අපි දිගටම දෙවියන්ට ළැදිව ඉන්න ඕනෙ කියලා. දැන් අපිට එන අභියෝග හොඳින් විඳදරාගන්නවා නම් මහත් පීඩාව එද්දී අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙයි.

16. අපිට ධෛර්යවන්තව වැඩ කරන්න පුළුවන් මොකක් නිසාද? ධෛර්යය තව වැඩි කරගන්න දැන් අපිට පුළුවන් කොහොමද?

16 ධෛර්යය. 2018 තුන්දින සමුළුවේ තේමාව වුණේ “ධෛර්යවත් වෙන්න” කියන එකයි. ඒ සමුළුවේදී අපිට මතක් කළා ධෛර්යවන්තව වැඩ කරන්න අපිට පුළුවන් වෙන්නේ අපේ හැකියාවන් නිසා නෙමෙයි කියලා. දුෂ්කරතා විඳදරාගන්න යෙහෝවා දෙවියන්ගේ උදව් අපිට ඕනෙ වගේ ධෛර්යවන්තව වැඩ කරන්න අපිට පුළුවන් වෙන්නේ අපි දෙවියන් මත රඳා හිටියොත් විතරයි. තව වැඩියෙන් දෙවියන් මත රඳා ඉන්න ඉගෙනගන්න අපිට පුළුවන් කොහොමද? හැමදාම බයිබලේ කියවලා, යෙහෝවා දෙවියන් අතීතයේ හිටපු ඔහුගේ සේවකයන්ව බේරගත්ත විදි ගැන හොඳට හිතනවා නම් දෙවියන් මත රඳා ඉන්න අපිත් ඉගෙනගන්නවා. (ගීතා. 68:20; 2 පේතෘ. 2:9) මහත් පීඩාව අතරතුරේ ජාතීන්ගේ එකතුව අපිට ප්‍රහාරය එල්ල කරද්දී ඒකට මුහුණ දෙන්න අපිට ධෛර්යය ඕනෙ වගේම වෙන කවරදාකටත් වඩා අපි දෙවියන් මත රඳා ඉන්නත් ඕනේ. (ගීතා. 112:7, 8; හෙබ්‍රෙ. 13:6) දැන් අපි දෙවියන් මත රඳා ඉන්නවා නම් ගොග්ගේ ප්‍රහාරයට මුහුණ දෙන්න ඕනෙ කරන ධෛර්යය අපිට තියෙයි. *

ගැලවීම ලැබෙන දවස දිහා ආසාවෙන් බලාගෙන ඉන්න

යේසුස් සහ ස්වර්ගයේ ඉන්න ඔහුගේ හමුදාව ළඟදීම හර්–මගෙදොන් යුද්ධයේදී දෙවියන්ගේ සතුරන්ව විනාශ කරනවා (17 ඡේදය බලන්න)

17. හර්–​මගෙදොන් ගැන අපි පොඩ්ඩක්වත් බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

17 කලින් ලිපියේ බලපු විදිහට අපෙන් වැඩිදෙනෙක් අපේ ජීවිත කාලෙම ගත කරලා තියෙන්නේ අවසාන කාලේ. ඒ විතරක් නෙමෙයි මහත් පීඩාවෙන් බේරිලා දිගටම ජීවත් වෙන බලාපොරොත්තුවත් අපිට තියෙනවා. හර්–​මගෙදොන් යුද්ධයේදී සාතන්ගේ දුෂ්ට සමාජයේ හැම අංශු මාත්‍රයක්ම විනාශ වෙනවා. ඒත් අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද ඒ යුද්ධයේදී සටන් කරන්නේ යෙහෝවා දෙවියන්. (හිතෝ. 1:33; එස. 38:18-20; සෙක. 14:3) යුද්ධයට දැන් යන්න කියලා යෙහෝවා දෙවියන් කිව්වාම යේසුස්ගේ නායකත්වය යටතේ නැවත නැඟිටවපු අභිෂේක ලත් අය සහ දසදහස් ගාණක් දේවදූතයන් සටනට යනවා. එයාලා එකතු වෙලා සාතන්ටත් භූතයන්ටත් පොළොවේ ඉන්න එයාලගේ හමුදාවටත් විරුද්ධව සටන් කරනවා.—දානි. 12:1; එළි. 6:2; 17:14.

18. (අ) යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද? (ආ) අනාගතය ගැන ඔයාට තියෙන බලාපොරොත්තුව එළිදරව් 7:9, 13-17 සඳහන් දෙයින් ශක්තිමත් වෙන්නේ කොහොමද?

18 “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැහැ” කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙනවා. (යෙසා. 54:17) ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් “මහත් සමූහයක්” අනිවාර්යයෙන්ම “මහත් පීඩාවෙන් බේරී” ජීවත් වෙනවා. ඒ අය දිගටම ඔහුට පරිශුද්ධ සේවයක් පිරිනමන්න යනවා. (එළිදරව් 7:9, 13-17 කියවන්න.) අනාගතය ගැන බය නොවී ඉන්න අපිට ඕනෙ තරම් හේතු බයිබලෙන් හොයාගන්න පුළුවන්. “විශ්වාසවන්තව සිටින අයව යෙහෝවා දෙවි ආරක්ෂා කරනවා” කියලා අපිට නිසැකයි. (ගීතා. 31:23) අනාගතයේදී යෙහෝවා දෙවියන් තමන්ගේ නාමය නිදොස් කරන විදිහ දැක්කාම ඔහුට ආදරේ කරන, ඔහුව ප්‍රශංසාවට පත් කරන හැමෝටම මොන තරම් සතුටක් දැනෙයිද!—එස. 38:23.

19. ළඟදීම අපිට අද්දකින්න පුළුවන් මොකක්ද?

19 හිතන්න, 2 තිමෝති 3:2-5 විස්තර කරන්නේ සාතන්ගේ බලපෑම නැති පාරාදීසයේ ජීවත් වෙන අයව කියලා. මොන වගේ විස්තරයක් එතන තියෙයිද? (“ එදාට ඉන්න මිනිසුන්” කියන කොටුව බලන්න.) පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර ජෝජ් ගැංගස් * ඒ කාලය විස්තර කළේ මෙහෙමයි. “පොළොවේ ඉන්න හැමෝම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරද්දී ඒක කොච්චර ලස්සන කාලයක් වෙයිද! ඔයාලට ළඟදීම ඒ වගේ කාලෙක ජීවත් වෙන්න ලැබෙනවා. යෙහෝවා දෙවියන් ජීවත් වෙන තාක් කල් ඔයාත් ජීවත් වෙනවා. අපි සදහටම ජීවත් වෙනවා.” ඇත්තටම ඒක ලස්සන බලාපොරොත්තුවක්!

ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු

^ 5 ඡේ. ළඟදීම මිනිසුන් හැමෝටම ‘මහත් පීඩාවට’ මුහුණ දෙන්න වෙනවා. මහත් පීඩාව අතරතුරේ දෙවියන්ගේ සෙනඟට මොකද වෙන්නේ? ඒ කාලේදී අපි මොනවා කරයි කියලාද යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මහත් පීඩාව අතරතුරේ විශ්වාසවන්තව ඉන්න නම් දැන් අපි වැඩි කරගන්න ඕනෙ මොන ගුණාංගද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලමු.

^ 3 ඡේ. පැහැදිලි කිරීමක්: තමන් යේසුස්ව අනුගමනය කරනවා කියලා කිව්වත් යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට ඔහුට නමස්කාර නොකරන හැම ආගමක්ම ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වලට ඇතුළත්.

^ 11 ඡේ. පැහැදිලි කිරීමක්: මාගොග් දේශයේ ගොග් කියන්නේ මහත් පීඩාවේ අවසාන හරියේ යෙහෝවා දෙවියන්ගේ සේවකයන්ට පහර දෙන්න සූදානම් වෙන ජාතීන්ගේ එකතුවටයි.

^ 11 ඡේ. පාදසටහන: හර්–මගෙදොන් යුද්ධයට කලින් සිදු වෙන දේවල් ගැන වැඩි විස්තර දැනගන්න ‘දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!’ පොතේ 21වෙනි පරිච්ඡේදය බලන්න. මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරය ගැනත් හර්–​මගෙදොන් යුද්ධයේදී යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ වෙනුවෙන් සටන් කරන විදිහ ගැනත් වැඩි විස්තර දැනගන්න 2015 ජූලි 15 ‘මුරටැඹ’ කලාපයේ 14-19 පිටු බලන්න.

^ 16 ඡේ. 2019 තුන්දින සමුළුවේ තේමාව “ප්‍රේමය සදාතනිකයි” කියන එකයි. යෙහෝවා දෙවියන් අපිව ආදරෙන් රැකබලා ගන්න නිසා හැමදාටම සුරක්ෂිතව ඉන්න අපිට පුළුවන් කියන විශ්වාසය ඒ සමුළුවෙන් අපි තුළ ඇති කරනවා.—1 කොරි. 13:8.

^ 19 ඡේ. 1994 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “ඔහුගේ ක්‍රියා ඔහු කැටුව යයි” කියන ලිපිය බලන්න.

^ 65 ඡේ. පින්තූරයේ අදහස: මහත් පීඩාව අතරතුරේ සාක්ෂිකරුවන්ගේ කුඩා කණ්ඩායමක් බය නැතුව කැලේක එකතු වෙලා රැස්වීම් පවත්වනවා.

^ 67 ඡේ. පින්තූරයේ අදහස: මහත් පීඩාවෙන් බේරී සතුටින් එන යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් මහත් සමූහයක්.