Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 43

යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න

යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න

“යෙහෝවා දෙවි වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙකි.”—නාහු. 1:2.

ගීතිකාව 51 දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත

මේ ලිපියෙන් *

1. අපි යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න ඕනෙ ඇයි?

අපි නමස්කාර කරන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට විතරයි. මොකද ඔහු අපේ නිර්මාතෘ. අපිට ජීවිතේ දුන්නේ ඔහුයි. (එළි. 4:11) අපි ඔහුට ආදරේ කළත් ඔහුට ගරු කළත් අපේ ජීවිතේ දෙවියන්ට දෙන තැන අපි වෙනත් දේකට දෙන්න පෙලඹෙන්න පුළුවන්. එතකොට ඔහුට විතරක් ආදරේ කරන්න, ඔහුට විතරක් නමස්කාර කරන්න අපිට බැරි වෙයි. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කොහොමද කියලා අපි තේරුම්ගන්න ඕනේ. අපි මුලින්ම බලමු යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරනවා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා.

2. නික්මයාම 34:14 අනුව යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරනවා කියන්නේ මොකක්ද?

2 බයිබලේ පෙන්නන විදිහට යෙහෝවා දෙවියන් ගැන හිතේ ලොකු ආදරයක් තියෙන කෙනෙක් නමස්කාර කරන්නේ ඔහුට විතරයි. එයාගේ හදවතේ දෙවියන්ට දීලා තියෙන තැන ගන්න එයා වෙන කිසිම කෙනෙකුට හෝ කිසිම දේකට ඉඩ දෙන්නේ නැහැ.—නික්මයාම 34:14 කියවන්න.

3. යෙහෝවා දෙවියන්ට අපි කරන නමස්කාරය කරන්නන් වාලේ කරන දෙයක් නෙමෙයි කියන්නේ ඇයි?

3 යෙහෝවා දෙවියන්ට අපි කරන නමස්කාරය කරන්නන් වාලේ කරන දෙයක් නෙමෙයි. මොකද අපි ඔහුට නමස්කාර කරන්න තීරණය කළේ ඔහු ගැන ඉගෙනගත්ත තොරතුරුවලට අනුවයි. ඔහුට තියෙන ලස්සන ගතිලක්ෂණ ගැන අපේ හිතේ ලොකු අගයක් ඇති වුණා. ඔහු කැමති අකමැති දේවල් ගැන අපි දන්නවා. ඒ දේවල් ගැන අපිට හැඟෙන්නෙත් ඔහුට හැඟෙන විදිහටමයි. මිනිසුන් සඳහා ඔහුගේ අරමුණ ගැනත් අපි දන්නවා. ඒ අරමුණ ඉටු කරන්න අපි අපේ උපරිම සහයෝගය දෙනවා. දෙවියන් ඔහුගේ යාළුවෙක් වෙන්න අපිට දීලා තියෙන අවස්ථාව අපි සලකන්නේ ලොකු ගෞරවයක් විදිහට. (ගීතා. 25:14) අපේ නිර්මාතෘ ගැන අපි ඉගෙනගන්න හැම පුංචි දෙයක් නිසාම අපි තව තවත් ඔහුට ළං වෙනවා.—යාකො. 4:8.

4. (අ) යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන ආදරේ අඩු කරන්න සාතන් පාවිච්චි කරන්නේ මොනවාද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 මේ දුෂ්ට සමාජය තියෙන්නේ සාතන්ගේ පාලනය යටතේ. ඒ නිසා අපි ආස දේවලට ජීවිතේ මුල් තැන දෙන්නත් අපේ හිතේ ඇති වෙන වැරදි ආශාවන් කොහොමහරි ඉටු කරගන්නත් අපිව පොලඹවන්න සාතන් මේ සමාජයේ තියෙන දේවල් පාවිච්චි කරනවා. (එෆී. 2:1-3; 1 යොහ. 5:19) ඔහුට ඕනෙ දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ අඩු කරලා ඒ ආදරේ අපි වෙන දේවලට දෙනවා දකින්නයි. සාතන් ඒක කරන විදි දෙකක් දැන් අපි බලමු. (1) සල්ලි පස්සේ යන්න අපිව පොලඹවනවා. (2) විනෝදය සඳහා දෙවියන් අකමැති දේවල් තෝරගන්න අපිව පොලඹවනවා.

සල්ලි පස්සේ යන උගුලෙන් පරෙස්සම් වෙන්න

5. සල්ලි පස්සේ යන එක ගැන අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

5 අවශ්‍ය ප්‍රමාණයට කෑම, ඇඳුම් පැළඳුම්, ජීවත් වෙන්න සුදුසු තැනක් තියෙනවාට අපි හැමෝම ආසයි. ඒත් සල්ලි පස්සේ යන්න හිතේ ආසාවක් ඇති වෙන එක භයානකයි. අද සමාජයේ ඉන්න හුඟදෙනෙක් “මුදලට ලොල් වී සිටින” අය. සල්ලිවලින් ගන්න පුළුවන් දේවල් ගැන එයාලට තියෙන්නේ ලොකු ආසාවක්. (2 තිමෝ. 3:2) තමන්ගේ අනුගාමිකයන්ගේ හිතේ මුදල්වලට ආසාවක් ඇති වෙන්න පුළුවන් කියලා යේසුස් දැනන් හිටියා. ඒ නිසා ඔහු මෙහෙම කිව්වා. “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.” (මතෙ. 6:24) කෙනෙක් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අතරේ සල්ලි හම්බ කරන්න වැඩි කාලයක්, ශ්‍රමයක් යොදවනවා නම් ඒක හරියට ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න හදනවා වගේ. එයා යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන කෙනෙක් කියන්න බැහැ.

ලවෝදිසිය සභාවේ හිටපු සමහරු තමන් ගැන හිතපු විදිහ . . . යෙහෝවා දෙවියන් සහ යේසුස් එයාලව දැකපු විදිහ (6 ඡේදය බලන්න)

6. ලවෝදිසිය සභාවේ හිටපු අයට යේසුස් කිව්ව දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 ලවෝදිසිය සභාවේ හිටපු අය තමන් ගැන ආඩම්බරයෙන් කිව්වේ මෙහෙමයි. “මා ධනවත්ය. මට ධනය ඇත. මට කිසි හිඟයක් නැත.” ඒත් යෙහෝවා දෙවියන් සහ යේසුස් එයාලව දැක්කේ ‘දුක්ඛිත, අනුකම්පාවක් ලැබිය යුතු, දිලිඳු, අන්ධ හා කිසි වස්ත්‍රයක් නැති තත්වයක සිටින අය’ විදිහටයි. යේසුස් එයාලට උපදෙස් දුන්නේ එයාලා ධනවත් අය නිසා නෙමෙයි. ඒ වෙනුවට දෙවියන් එක්ක එයාලට තිබුණ බැඳීමට හානියක් වෙන තරමට එයාලා මුදල්වලට ඇලුම් කරපු නිසයි. (එළි. 3:14-17) සල්ලි පස්සේ යන්න අපේ හිතෙත් පොඩි හරි ආසාවක් ඇති වෙලා කියලා තේරුණොත් අපි ඉක්මනින්ම අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ. (1 තිමෝ. 6:7, 8) එහෙම කළේ නැත්නම් දෙවියන් ගැන අපිට තියෙන ආදරේ අඩු වෙලා අපි වෙන දේවලට ආදරේ කරන්න ඉඩ තියෙනවා. එහෙම කෙනෙක්ගේ නමස්කාරය යෙහෝවා දෙවියන් පිළිගන්නේ නැහැ. මොකද ඔහු “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිනවා.” (ද්වි. 4:24) සල්ලි පස්සේ යන්න අපි පෙලඹෙන්න පුළුවන් කොහොමද?

7-9. ඩේවිඩ්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 එක්සත් ජනපදයේ ඉන්න ඩේවිඩ්ගේ අද්දැකීම බලන්න. වැඩිමහල්ලෙක් විදිහට එයා මහන්සි වෙලා සේවය කළා. රැකියාවෙත් එයා කැපවීමෙන් වැඩ කළා. ඒ නිසා එයාට උසස් වීම් වගේම වැඩි පඩියකුත් හම්බ වුණා. එයාගේ ක්ෂේත්‍රයේ දක්ෂතම කෙනෙක් විදිහට එයාට පිළිගැනීමකුත් ලැබුණා. ඩේවිඩ් කියනවා “මං හිතුවේ රස්සාවෙන් ඉහළට යන්න පුළුවන් වුණේ දෙවියන් මට ආශීර්වාද කරපු නිසයි” කියලා. ඒත් ඒවා යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ ආශීර්වාදද?

8 එයාගේ රැකියාව නිසා දෙවියන් එක්ක එයාට තියෙන බැඳීම දුර්වල වෙනවා කියලා එයාට තේරුණා. ඒ ගැන ඩේවිඩ් මෙහෙම කියනවා. “රැස්වීම්වලදී, සේවේ යද්දී මං නිතරම කල්පනා කළේ රැකියා ස්ථානයේ තිබුණ ප්‍රශ්න ගැන. මං ගොඩක් සල්ලි හම්බ කළා. ඒත් මං හිටියේ ලොකු මානසික පීඩනයකින්. මායි, බිරිඳයි අතරෙත් ප්‍රශ්න ඇති වෙන්න පටන්ගත්තා.”

9 ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා හිතලා බලන්න ඩේවිඩ් තීරණය කළා. “වෙනස් වෙන්න ඕනෙ කියලා මං අධිෂ්ඨාන කරගත්තා” කියලා ඩේවිඩ් කියනවා. එයා වැඩ කරපු පැය ගාණේ වෙනසක් කරන්න එයාට ඕනෙ වුණා. ඒ ගැන එයා ප්‍රධානියාත් එක්ක කතා කළා. මොකද වුණේ? ඩේඩිඩ්ට එයාගේ රැකියාව නැති වුණා. ඒත් ඊළඟ දවසේම එයා දිගටම සහායක පුරෝගාමි සේවය කරන්න අයදුම්පතක් පුරවලා භාර දුන්නා. එයාලගේ වියදමට ඕනෙ කරන සල්ලි හොයාගන්න එයායි, එයාගේ බිරිඳයි පිරිසිදු කරන වැඩ කරන්න පටන්ගත්තා. ටික කාලෙකින් ඩේවිඩ් ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. පස්සේ එයාගේ බිරිඳත් පුරෝගාමි සේවය පටන්ගත්තා. මේ යුවළ වියදමට ඕනෙ කරන සල්ලි හොයාගන්න කරන්නේ හුඟදෙනෙක් කරන්න එච්චර ආස නැති රැකියාවක්. ඒත් ඒක එයාලට ප්‍රශ්නයක් වුණේ නැහැ. එයාලට කලින් ලැබුණ ආදායමෙන් දහයෙන් එකක්වත් දැන් ලැබෙන්නේ නැති වුණත් එයාලගේ වියදම් පිරිමහගන්න ලැබෙන ඒ මුදල ඇති. ඒ දෙන්නාට ඕනෙ එයාලගේ ජීවිතවල මුල් තැන යෙහෝවා දෙවියන්ට දෙන්නයි. දේවරාජ්‍යයට මුල් තැන දෙන අයව දෙවියන් රැකබලා ගන්නවා කියලා එයාලා අද්දැක්කා.—මතෙ. 6:31-33.

10. අපේ සිත ආරක්ෂා කරගන්න අපිට පුළුවන් කොහොමද?

10 සල්ලි පස්සේ යන උගුලට අපෙන් ඕනෙම කෙනෙක් අහු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මුදල් ටිකක් තිබුණත් ගොඩක් තිබුණත් අපි අපේ සිත ආරක්ෂා කරගන්න ඕනේ. මුදල්වලට හිතේ ආසාවක් ඇති කරගන්න එපා. ඒ වගේම යෙහෝවා දෙවියන්ට කරන සේවයට වඩා වැඩි තැනක් ඔයාගේ රැකියාවට දෙන්නත් එපා. සල්ලිවලට හිතේ ආසාවක් ඇති වෙලාද කියලා දැනගන්නේ කොහොමද? මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහලා බලන්න. ‘රැස්වීමේ ඉද්දී, සේවයේ යද්දී මං හිතන්නේ රස්සාව ගැනද? ඉස්සරහට ජීවත් වෙන්න මට ඇති තරම් සල්ලි තියෙයිද කියලා මං හැම තිස්සෙම හිතනවාද? සල්ලි නිසා පවුලේ නිතරම ප්‍රශ්න ඇති වෙනවාද? දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න නිසා අනිත් අය වැදගත් නැහැ කියලා සලකන රස්සාවක් වුණත් කරන්න මං කැමතිද?’ (1 තිමෝ. 6:9-12) ඒ ප්‍රශ්න ගැන හිතද්දී යෙහෝවා දෙවියන් අපිට හුඟක් ආදරෙයි කියලත් ඔහුට ආදරේ කරන අයට ඔහු මේ පොරොන්දුව දීලා තියෙනවා කියලත් මතක තියාගන්න. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.” ඒ නිසයි පාවුල් මෙහෙම කිව්වේ. “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.”—හෙබ්‍රෙ. 13:5, 6.

විනෝදය සඳහා දේවල් තෝරගද්දී පරෙස්සම් වෙන්න

11. විනෝදය සඳහා කෙනෙක් තෝරගන්න දේවල් නිසා එයාට මොකක් වෙන්න පුළුවන්ද?

11 යෙහෝවා දෙවියන්ට ඕනෙ අපි සතුටින් ඉන්නවා දකින්න. අපි විනෝදයට තෝරගන්න දේවලින් අපිට සතුටක් ලබන්න පුළුවන්. බයිබලෙත් කියන්නේ “මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මා දැක නැත” කියලයි. (දේශ. 2:24) ඒ වුණත් අද විනෝදය සඳහා තෝරගන්න තියෙන වැඩි හරියකින් වෙන්නේ හානියක්. ඒවාවලින් සදාචාර ප්‍රමිති බාල කරනවා. යෙහෝවා දෙවියන් අකමැති දේවල් කළාට වරදක් නැහැ කියලා හිතන්න එහෙම නැත්නම් ඒ ගැන ආසාවක් ඇති කරගන්න ඒවා අපිව පොලඹවනවා.

විනෝදය සඳහා ඔයා තෝරගන්න දේවල් හදන්නේ කවුද? (11-14 ඡේද බලන්න) *

12. 1 කොරින්ති 10:21, 22 අනුව විනෝදය සඳහා දේවල් තෝරගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

12 අපිට ඕනෙ යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න. ඒ නිසා අපිට “යෙහෝවා දෙවිගේ මේසයට සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න” බැහැ. (1 කොරින්ති 10:21, 22 කියවන්න.) සාමාන්‍යයෙන් අපි කෙනෙක් එක්ක කෑම වේලක් ගන්නේ එයා අපේ යාළුවෙක් හැටියට සලකන නිසයි. අපි සැහැසිකකම්, භූතවාදය, අනාචාරය හෝ වෙනත් වැරදි ආශාවන්, ආකල්ප ඇතුළත් දේවල් විනෝදයට තෝරගන්නවා නම් ඒක හරියට දෙවියන්ගේ සතුරන් හදපු කෑම වේලක් එයාලා එක්ක එකතු වෙලා රස විඳිනවා වගේ. ඒකෙන් අපිට හානියක් වෙනවා වගේම දෙවියන් එක්ක අපිට තියෙන යාළුකමටත් ලොකු හානියක් වෙනවා.

13-14. යාකොබ් 1:14, 15 පෙන්නන විදිහට වැරදි ආශාවන් පෝෂණය කරන එක භයානක ඇයි? පැහැදිලි කරන්න.

13 විනෝදයට තෝරගන්න දේවල් කෑමකට සමාන කරන්න පුළුවන් කොහොමද? අපි කන්නේ මොනවාද කියන දේ ගැන අපිට තේරීමක් කරන්න පුළුවන්. ඒත් කෑම කටට දාගෙන ඒක ගිල්ලාට පස්සේ වෙන ක්‍රියාවලිය පාලනය කරන්න අපිට බැහැ. පෝෂ්‍යදායි ආහාර ගත්තොත් ඒක අපේ ශරීර සෞඛ්‍යයට හොඳ විදිහට බලපානවා. ඒත් පෝෂ්‍යදායි නැති කෑම ගත්තොත් ඒකෙන් වෙන්නේ හානියක්. අපි ගන්න කෑම ශරීරයට බලපාන විදිහ සමහරවිට එදාම දකින්න බැරි වුණත් කාලයත් එක්ක ඒක දකින්න පුළුවන්.

14 විනෝදය සඳහා අපි කරන්නේ මොනවාද කියන දේ ගැන තේරීමක් කරන්නත් අපිට පුළුවන්. ඒත් අපි තෝරගන්න දේ අපේ සිතුවිලිවලට, අපේ හැඟීම්වලට බලපාන විදිහ පාලනය කරන්න අපිට බැහැ. විනෝදය සඳහා අපි යහපත් දෙයක් තෝරගත්තොත් ඒකෙන් අපිට ලොකු ප්‍රබෝධයක් ලැබෙනවා. ඒත් නරක දෙයක් තෝරගත්තොත් ඒකෙන් අපිට වෙන්නේ හානියක්. (යාකොබ් 1:14, 15 කියවන්න.) නරක දෙයක් තෝරගත්තාම ඒකෙන් වෙන හානිය එකපාරටම පේන එකක් නැහැ. ඒත් කාලයත් එක්කම ඒක දකින්න පුළුවන්. ඒ නිසයි බයිබලේ අපිට මෙහෙම අනතුරු අඟවන්නේ. “මුළා නොවන්න. දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන. මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි. ඒ අනුව තම ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසින් වපුරන තැනැත්තා නෙළාගන්නේ විනාශය හා මරණය පමණි.” (ගලා. 6:7, 8) යෙහෝවා දෙවියන් පිළිකුල් කරන දේවල් අපි විනෝදයට තෝරගන්නේ නැතුව ඉන්න එක කොච්චර වැදගත්ද!—ගීතා. 97:10.

15. යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙන තෑග්ග මොකක්ද?

15 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් JW බ්‍රෝඩ්කාස්ටිං බලලා ලොකු සතුටක් ලබනවා. සහෝදරි මර්ලින් මෙහෙම කියනවා. “මගේ සතුට තව වැඩි කරගන්න JW බ්‍රෝඩ්කාස්ටිං එක මට හුඟක් උදව් වෙලා තියෙනවා. ඒකේ තියෙන හැම දේම බය නැතුව මට බලන්න පුළුවන්. මට තනිකමක්, අධෛර්යයක් දැනෙන වෙලාවට දේශනයක්, උදෑසන නමස්කාර වැඩසටහනක් මං තෝරගෙන බලනවා. යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ සංවිධානයටත් තව ළං වෙන්න ඒක මට උදව් වෙනවා. JW බ්‍රෝඩ්කාස්ටිං නිසා මගේ මුළු ජීවිතේම වෙනස් වුණා.” යෙහෝවා දෙවියන් දීලා තියෙන තෑග්ගෙන් ඔයාත් ප්‍රයෝජන ගන්නවාද? මාසික වැඩසටහනට අමතරව තවත් හුඟක් ඕඩියෝ, වීඩියෝ වැඩසටහන් වගේම ලස්සන සිංදුත් ඒකේ තියෙනවා.

16-17. විනෝදය සඳහා අපි දෙන කාලය පාලනය කරන්න ඕනෙ ඇයි? ඒක කරන්නේ කොහොමද?

16 අපි විනෝදය සඳහා තෝරගන්න දේවල් විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් කොයි තරම් කාලයක් යොදවනවාද කියන දේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම කළේ නැත්නම් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න යොදවන කාලයට වඩා වැඩි කාලයක් විනෝදය වෙනුවෙන් යොදවන්න ඉඩ තියෙනවා. විනෝදය වෙනුවෙන් යොදවන කාලය පාලනය කරගන්න හුඟක් අයට අමාරුයි. වයස 18ක සහෝදරියක් වන ඇබිගේල් මෙහෙම කියනවා. “දවස පුරාම මහන්සි වෙලා ඇවිත් TV එක ටිකක් බලද්දී මහන්සිය නිවාගන්න ඒක මට උදව් වෙනවා. ඒත් මං පරෙස්සම් වුණේ නැත්නම් දන්නෙම නැතුව පැය ගාණක් මං TV බලනවා.” යෞවන සහෝදරයෙක් වන සැමුවෙල් මෙහෙම කියනවා. “සමහර වෙලාවට මං ඉන්ටර්නෙට් එකේ තියෙන පොඩි පොඩි වීඩියෝ බලනවා. පටන්ගන්නේ එකක් බලනවා කියලා හිතාගෙන ඒත් දන්නෙම නැතුව පැය තුන හතරක්ම ගිහින්.”

17 විනෝදය වෙනුවෙන් යොදවන කාලය පාලනය කරගන්න ඔයාට පුළුවන් කොහොමද? මුලින්ම ඔයා විනෝදය වෙනුවෙන් සතියකට කොච්චර කාලයක් වැය කරනවාද කියලා බලන්න. TV බලන්න, ඉන්ටර්නෙට් එකේ සැරිසරන්න, ෆෝන් එකෙන් ගේම්ස් ගහන්න කොච්චර කාලයක් ගත කළාද කියලා සටහන් කරගන්න. ඔයා ලොකු කාලයක් ඒ වෙනුවෙන් වැය කරනවා කියලා තේරුණොත් කාලසටහනක් හදාගන්න. වඩා වැදගත් දේවල් වෙනුවෙන් මුලින්ම කාලේ වෙන් කරන්න. ඊටපස්සේ විනෝදය වෙනුවෙන් කාලය වෙන් කරන්න. කාලසටහනට ඇලිලා වැඩ කරන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. එහෙම කරද්දී බයිබලේ අධ්‍යයනය කරන්න, පවුලේ නමස්කාරය කරන්න, රැස්වීම්වලට යන්න, දේශනා සේවයේ සහ බයිබල් පාඩම්වලට යන්න කාලය සහ ශක්තිය ඔයාට තියෙයි. ඒ වගේම ඔයා යෙහෝවා දෙවියන්ට කරන සේවයට මුල් තැන දුන්න නිසා විනෝදය වෙනුවෙන් දෙන කාලෙන් සතුටක් ලබන්න පුළුවන්.

දිගටම යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න

18-19. යෙහෝවා දෙවියන්ට විතරයි අපි නමස්කාර කරන්නේ කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

18 සාතන්ගේ දුෂ්ට සමාජයේ අවසානය ගැනත් ඉදිරියේදී පොළොව පාරාදීසයක් වෙන එක ගැනත් කතා කළාට පස්සේ පේතෘස් මෙහෙම කියනවා. “ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.” (2 පේතෘ. 3:14) ඒ උපදෙසට කීකරු වෙලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන්න, ඔහුට නමස්කාර කරන්න අපි උපරිම උත්සාහයක් ගන්නවා නම් අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි කියලා ඔප්පු වෙනවා.

19 යෙහෝවා දෙවියන්ට ලැබෙන්න ඕනෙ තැන වෙන දේවලට දෙන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්න සාතන් සහ මේ දුෂ්ට සමාජය දිගටම උත්සාහ කරයි. (ලූක් 4:13) ඒත් ඔහුට අපේ හිතේ තියෙන තැන වෙන දේකට හෝ වෙන කෙනෙකුට දෙන්න අපි කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. නමස්කාරය ලබන්න වටින එකම තැනැත්තා වන යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන එකයි අපේ අදිටන.

ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි

^ 5 ඡේ. යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපි හැමෝටම ලොකු කැමැත්තක් තියෙනවා. ඒත් අපි නමස්කාර කරන්නේ ඔහුට විතරද? අපි ගන්න තීරණවලින් ඒකට උත්තරේ පැහැදිලි වෙනවා. අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරද කියලා තේරුම්ගන්න කාරණා දෙකක් සම්බන්ධයෙන් අපි ගන්න තීරණ ගැන මේ ලිපියේ සාකච්ඡා කරනවා.

^ 53 ඡේ. පින්තූරයේ අදහස: අපිරිසිදු කුස්සියක හදන කෑම කන්න අපි කැමති නැහැ. සැහැසිකකම්, භූතවාදය, දුරාචාරය ඇතුළත් දේවල් විනෝදය සඳහා තෝරගන්න එකත් ඒ වගේ තමයි.