සියවසකට පෙර 1919
අවුරුදු 4ක් තිස්සේ ඇදී ගිය දරුණු යුද්ධය (පසුව එය 1වෙනි ලෝක මහා යුද්ධය විදිහට හැඳින්නුවා) 1919 වෙද්දී අවසන් වෙලයි තිබුණේ. ඊට කලින් අවුරුද්දේ අවසාන භාගය වෙද්දී ජාතීන් යුද්ධ කරන එක නතර කළා. 1919 ජනවාරි 18වෙනිදා පැරිස්වලදී සාම සාකච්ඡාවන් පටන්ගත් අතර ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට වර්සයි ගිවිසුම ඇති කරගත්තා. මිත්‍ර හමුදා ජර්මනියට විරුද්ධව තවදුරටත් යුද්ධ නොකරන්න ඒ ගිවිසුමෙන් එකඟ වුණා. ඒක අත්සන් කළේ 1919 ජූනි 28වෙනිදා.
ඒ ගිවිසුමට අනුව අලුතින් සංවිධානයක් ආරම්භ කරන්නත් එයාලා එකඟ වුණා. ඒක හැඳින්නුවේ ජාතීන්ගේ සංගමය විදිහට. ඒ සංවිධානයේ අරමුණ වුණේ ජාතීන්ව එක්සත් කරලා ලෝකේ පුරාම සාමය සහ සුරක්ෂිතභාවය ඇති කරන එකයි. ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත ආගම් හුඟක් ඒ සංගමයට සහය දුන්නා. ඇමරිකාවේ ඒකාබද්ධ ක්‍රිස්තු සභා මණ්ඩලය ඒ සංවිධානය ගැන කිව්වේ “දේවරාජ්‍යයේ පාලනය පොළොව මත ක්‍රියාත්මක කරන්නේ ඒ සංවිධානය” කියලයි. ජාතීන්ගේ සංගමයට තමන් සහය දෙනවා කියලා පෙන්නන්න ඒකාබද්ධ ක්‍රිස්තු සභා මණ්ඩලය එයාලගේ නියෝජිතයන්ව පැරිස්වල තිබුණ සාම සාකච්ඡාවලට යැව්වා. ඒ එක නියෝජිතයෙක් කිව්වේ “මේ සාකච්ඡාවන් නිසා ලෝක ඉතිහාසයේ අලුත් යුගයක් ආරම්භ වෙනවා” කියලා.
ඇත්තටම අලුත් යුගයක් ආරම්භ වුණා. ඒත් ඒ සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් නිසා නෙමෙයි. 1919දී දේශනා සේවයට අලුත් යුගයක් ආරම්භ වුණා. ඒ යෙහෝවා දෙවියන් දේශනා සේවය තවත් වැඩි කරන්න ඔහුගේ සෙනඟට වෙන කවරදාකටත් වඩා ශක්තිය දුන්න නිසයි. ඒත් ඊට කලින් ලොකු වෙනසකට බයිබල් ශිෂ්‍යයන් මුහුණ දුන්නා.
අමාරු තීරණයක්
“වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි” එකේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්න වාර්ෂිකව පවත්වන ඡන්දය යෙදිලා තිබුණේ 1919 ජනවාරි 4වෙනිදාට. ඒ වෙද්දී සංවිධානයේ පෙරමුණ අරගෙන වැඩ කරපු ජෝසෆ් එෆ්. රදෆර්ඩ්ව සහ තවත් සහෝදරයන් 7දෙනෙක්ව බොරු චෝදනා මත එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටාවල සිරගත කරලයි තිබුණේ. ඒ නිසා සහෝදරයන්ට තීරණය කරන්න වුණා අධ්‍යක්ෂකවරුන් විදිහට සේවය කරපු, ඒ වෙද්දී සිරගත කරලා ඉන්න සහෝදරයන්වම ආයෙත් පත් කරනවාද නැත්නම් එයාලා වෙනුවට වෙනත් පිරිසක්ව අධ්‍යක්ෂකවරු විදිහට පත් කරනවාද කියලා.
සිරකුටියේ ඉන්න ගමන් සහෝදර රදෆර්ඩ් සංවිධානයේ අනාගතය ගැන හිතුවා. සභාපති විදිහට වෙන සහෝදරයෙක්ව පත් කරන්න ඕනෙ කියන අදහස සමහර සහෝදරයන්ට තිබුණා කියලා එයා දැනන් හිටියා. ඒ නිසා ඡන්ද ලබා දීමට රැස් වෙන සහෝදරයන්ට ලිපියක් ලියලා එයා කිව්වා සහෝදර ඉවැන්ඩ ජේ. කවර්ඩ්ව සභාපති විදිහට පත් කරන්න එයා යෝජනා
කරනවා කියලා. සහෝදර රදෆර්ඩ් සහෝදර කවර්ඩ්ව විස්තර කළේ සන්සුන්, නුවණැති, ස්වාමීන්ට ළැදි කෙනෙක් විදිහටයි. ඒත් හුඟක් සහෝදරයන්ට ඕනෙ වුණේ ඡන්දය තව මාස 6කට කල් දාන්න. සිරගත කරලා හිටපු සහෝදරයන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයන් ඒකට එකඟ වුණා. ගන්න ඕනෙ තීරණය ගැන සාකච්ඡා කරද්දී සමහර සහෝදරයන්ට ටිකක් කේන්ති ගියා.ඇති වුණ ඒ ප්‍රශ්නය සමතයකට පත් කරන දෙයක් ඒ වෙලාවේ වුණා කියලා සහෝදර රිචඩ් බාබර් පස්සේ කාලෙක කිව්වා. ඡන්දය දෙන්න රැස් වෙලා හිටපු සහෝදරයෙක් මෙහෙම කිව්වා. “මම නීතිඥයෙක් නෙමෙයි. ඒත් ළැදිව ඉන්නවා කියන්නේ මොකක්ද කියලා මං දන්නවා. දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ළැදිව ඉඳියි කියලා. මේ වෙලාවේ දෙවියන්ට අපේ ළැදිකම පෙන්නන්න පුළුවන් හොඳම විදිහ ඡන්දයක් තියලා සහෝදර රදෆර්ඩ්ව සභාපති විදිහට ආයෙත් පත් කරන එකයි.”—ගීතා. 18:25.
හිරේ හිටපු සහෝදර ඒ. එච්. මැක්මිලන් ඊට පහුවෙනිදා වුණ දේ ගැන විස්තර කළා. සහෝදර රදෆර්ඩ් සහෝදර මැක්මිලන් හිටපු සිරකුටියේ බිත්තියට තට්ටු කරලා කියලා තියෙනවා “ඔයාගේ අත එළියට දික් කරන්න” කියලා. ඊටපස්සේ සහෝදර රදෆර්ඩ් එයාට ටෙලිග්‍රෑම් එකක් දුන්නා. ඒකේ තිබුණ කෙටි පණිවිඩය දැක්ක ගමන්ම ඒකෙන් අදහස් කරන දේ සහෝදර මැක්මිලන් තේරුම්ගත්තා. ඒකේ තිබුණේ “රදෆර්ඩ් වයිස් වැන් බාබර් ඇන්ඩර්සන් බුලි සහ ස්පිල් අධ්‍යක්ෂක මුල් තුන්දෙනා කලින් වගකීම් හැමෝටම ආදරය” කියලයි. ඒකෙන් අදහස් වුණේ අධ්‍යක්ෂකවරුන් හැටියට කලින් සේවය කරපු අයව ඡන්දයෙන් ආයෙත් පත් කළා වගේම ජෝසෆ් රදෆර්ඩ් සහ විලියම් වැන් ඇම්බර්ග්ට කලින් තිබුණ වගකීම් ආයෙත් ලැබුණා කියලයි. ඒ නිසා සහෝදර රදෆර්ඩ් වොච් ටවර් සමිතියේ සභාපති විදිහට දිගටම සේවය කරයි.
නිදහස්!
සහෝදරයන් 8දෙනා හිරේ ඉද්දී බයිබල් ශිෂ්‍යයන් එයාලව නිදහස් කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලලා පෙත්සමක් සකස් කළා. ඒකට ලක්ෂ 7කට වඩා වැඩිදෙනෙක්ගේ අත්සන් ලබාගන්න එයාලට පුළුවන් වුණා. ඒත් ඒ පෙත්සම ඉදිරිපත් කරන්නත් කලින් ඒ කියන්නේ 1919 මාර්තු 26වෙනි බදාදා සහෝදර රදෆර්ඩ් ඇතුළු අනිත් සහෝදරයන්ව නිදහස් කළා.
නිදහස් වෙලා එද්දී එයාව පිළිගන්න ඇවිත් හිටපු අයට සහෝදර රදෆර්ඩ් මෙහෙම කිව්වා. “අපි හැමෝම මුහුණ දීපු මේ දේ ඉස්සරහට අපිට මුහුණ දෙන්න වෙන අමාරු තත්වයන්වලට හොඳ පුහුණුවක්. . . . ඔයාලා සටන් කළේ අපිව හිරෙන් නිදහස් කරගන්න නෙමෙයි. සටනේ ප්‍රධාන අරමුණ යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන එකයි. ඒකට හවුල් වුණ අයට ලොකු ආශීර්වාදයක් ලැබුණා.”
සහෝදරයන්ට විරුද්ධව තිබුණ නඩුව විසඳුණ විදිහ බලද්දී යෙහෝවා දෙවියන්ගේ උදව් එයාලට ලැබුණා කියලා හිතන්න පුළුවන්. 1919 මැයි 14වෙනිදා අභියාචනාධිකරණය තීන්දු කළේ ඒ නඩුවේදී විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලැබිලා නැහැ කියලා. ඒ හේතුව නිසා කලින් දීපු තීන්දුව අවලංගු කරනවා කියලත් කිව්වා. ඒ සහෝදරයන්ට විරුද්ධව තිබුණේ බරපතළ චෝදනා නිසා කලින් දීපු තීන්දුව අවලංගු කරන්නේ නැතුව එයාලට සමාව දුන්නා නම් හෝ එයාලට දීලා තිබුණ දඬුවම අඩු කළා නම් සහෝදරයන්ට විරුද්ධව තිබුණ චෝදනා අයින් වෙන්නේ නැහැ. ඒත් ලැබුණ තීන්දුව නිසා එයාලට විරුද්ධව තිබුණ චෝදනාවලින් එයාලව සම්පූර්ණයෙන්ම නිදහස් කළා. ඒ නිසා සහෝදර රදෆර්ඩ්ට
දිගටම නීතිඥ්‍යයෙක් විදිහට සාක්ෂිකරුවන් වෙනුවෙන් එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටින්න පුළුවන්කම තිබුණා.දේශනා කරන්න අධිෂ්ඨානයක් ගත්තා
ඒ කාලේ මතක් කරලා සහෝදර මැක්මිලන් මෙහෙම කිව්වා. “ස්වාමීන් අපිව ස්වර්ගයට ගන්න කල් කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහේ බලන් ඉන්න අපිට ඕනෙ වුණේ නැහැ. ස්වාමීන්ගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම්ගන්න අපි මොකක් හරි දෙයක් කරන්න ඕනෙ කියලා අපිට තේරුණා.”
ඒත් මූලස්ථානයේ සේවය කරපු සහෝදරයන්ට කලින් කරපු වැඩ ආයෙත් එකපාරටම පටන්ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද සහෝදරයන්ව සිරගත කරලා හිටපු කාලේදී මුද්‍රණාලයේ පාවිච්චි කරපු මුද්‍රණ තහඩු හැම එකක්ම විනාශ කරලා තිබුණා. ඒ නිසා සහෝදරයන් අධෛර්යය වෙලයි හිටියේ. සමහර අය කල්පනා කළා දේශනා කිරීමේ කාර්යය අවසන්ද කියලා.
බයිබල් ශිෂ්‍යයන් දේශනා කරපු දේවරාජ්‍යය ගැන පණිවිඩයට සවන් දෙන්න කැමති අය තව ඉන්නවාද? ඒක දැනගන්න සහෝදර රදෆර්ඩ් දේශනයක් දෙන්න තීරණය කළා. හැමෝටම ඒකට ආරාධනා කළා. “කවුරුත් ඒකට ආවේ නැත්නම් දේශනා සේවය අවසන් කියලා අපිට දැනගන්න පුළුවන්” කියලා සහෝදර මැක්මිලන් කිව්වා.
අසනීප තත්වයෙන් හිටියත් සහෝදර රදෆර්ඩ් 1919 මැයි 4වෙනි ඉරිදා “පීඩිත මිනිස් සංහතියට ඇති එකම බලාපොරොත්තුව” කියන දේශනය කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස්වලදී දුන්නා. ඒකට 3,500දෙනෙක් විතර ආවා. ඉඩ මදි නිසා තවත් සිය ගාණක්ව හරවලා යැව්වා. ඊළඟ දවසේ ඒ දේශනයට සවන් දෙන්න තව 1,500දෙනෙක් ආවා. සහෝදරයන්ට තිබුණ ප්‍රශ්නයට උත්තර ලැබුණා!
ඊළඟට සහෝදරයන් ගත්ත පියවර අද වෙන කල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරන දේශනා සේවයට දායක වෙනවා.
අනාගතයට සූදානම්
1919 අගෝස්තු 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණා සැප්තැම්බර් මාසයේ මුල් හරියේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට්වල සාක්ෂිකරුවන්ගේ සමුළුවක් පැවැත්වෙනවා කියලා. “හැමෝම හිතුවා ඒකට සහභාගි වෙන්න ඕනෙමයි කියලා.” එහෙම කිව්වේ මිසූරි
ප්‍රාන්තයේ හිටපු තරුණ බයිබල් ශිෂ්‍යයෙක්. ඒ සමුළුවට සහෝදර සහෝදරියන් 6,000කට වඩා ඇවිත් හිටියා. ඒක එයාලා බලාපොරොත්තු වුණාට වඩා හුඟක් වැඩි ගාණක්. ඒ සමුළුවේදී 200කට වැඩිදෙනෙක් බව්තීස්ම වුණා.1919 සැප්තැම්බර් 5වෙනිදා ඒ කියන්නේ සමුළුවේ පස්වෙනි දවසේ සහෝදර රදෆර්ඩ් දුන්න දේශනයකදී “ද ගෝල්ඩන් ඒජ්” කියන අලුත් සඟරාව මුදාහරිනවා කියලා නිවේදනය කළා. * “ඒ සඟරාවේ වර්තමාන ලෝක සිද්ධීන් ගැන සහ ඒ සිද්ධීන් වෙන්නේ ඇයි කියලා බයිබලේ සඳහන් වෙන දේ ගැන කතා කරනවා” කියලා සහෝදර රදෆර්ඩ් කිව්වා.
මේ අලුත් සඟරාව පාවිච්චි කරලා බය නැතුව දේශනා කරන්න කියලා හැම ප්‍රචාරකයෙක්ටම දිරිගැන්නුවා. ඒ කාර්යය සංවිධානය කරන විදිහ විස්තර කරලා තිබුණ ලිපියක මෙහෙම සඳහන් වුණා. “බව්තීස්ම වෙලා ඉන්න හැමෝම මතක තියාගන්න ඕනෙ සේවය කරන්න ලැබිලා තියෙන අවස්ථාව වටිනා වරප්‍රසාදයක් කියලා. ඒ නිසා දැන් ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කරන්න.” ඒ මඟ පෙන්වීම හුඟදෙනෙක් කැමැත්තෙන් පිළිගත්තා. දෙසැම්බර් මාසේ වෙද්දී ඒ අලුත් සඟරාව මාස් පතා ලබාගන්න කැමති 50,000කට වඩා වැඩිදෙනෙක්ව ප්‍රචාරකයන්ට හම්බ වෙලා තිබුණා.
1919 අවසන් වෙද්දී යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව ශක්තිමත් කරලා තව හොඳින් එයාලව සංවිධානය කරලා තිබුණා. ඊට අමතරව අවසාන කාලය ගැන බයිබලේ සඳහන් වුණ අනාවැකි කීපයකුත් ඒ වෙද්දී ඉටු වෙලා තිබුණා. මලාකි 3:1-4 සඳහන් වෙන විදිහට දෙවියන්ගේ සෙනඟව සෝදිසි කරලා එයාලව පවිත්‍ර කරලයි තිබුණේ. යෙහෝවා දෙවියන්ගේ සෙනඟ සංකේතාත්මක “මහ බැබිලෝනියෙන්” නිදහස් වෙලයි හිටියේ. ඒ වගේම යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” * පත් කරලා තිබුණා. (එළි. 18:2, 4; මතෙ. 24:45) යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟගෙන් බලාපොරොත්තු වුණ කාර්යය කරන්න බයිබල් ශිෂ්‍යයන් හැම අතින්ම සූදානම්!
^ 22 ඡේ. ඒ සඟරාව 1937දී “කොන්සලේෂන්” කියලත් 1946දී “එවේක්!” කියලත් හැඳින්නුවා.