Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 25

කනස්සල්ලෙන් ඉද්දී යෙහෝවාව ඔයාගේ රැකවරණය කරගන්න

කනස්සල්ලෙන් ඉද්දී යෙහෝවාව ඔයාගේ රැකවරණය කරගන්න

“මම ගොඩක් හිතේ දුකෙන් ඉන්නේ.”—1 සාමු. 1:15.

ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි

මේ ලිපියෙන් *

1. යේසුස් කියපු දේ අපි හිතට ගන්න ඕනෙ ඇයි?

අවසන් දවස් ගැන අනාවැකිය කියද්දී යේසුස් මෙහෙම කිව්වා. ‘ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි.’ (ලූක් 21:34) අපි ඒ අනතුරු ඇඟවීම හිතට ගන්න ඕනේ. මොකද අද හැමෝම වගේ මුහුණ දෙන ප්‍රශ්නවලට අපිත් මුහුණ දෙනවා.

2. අපේ සහෝදර සහෝදරියන් මුහුණ දෙන්නේ මොන වගේ ප්‍රශ්නවලටද?

2 සමහර වෙලාවට එකපාර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. මේ අද්දැකීම් බලන්න. ජෝන් * බරපතළ ස්නායු රෝගයකින් පෙළෙන සාක්ෂිකරුවෙක්. අවුරුදු 19කට පස්සේ එයාගේ බිරිඳ එයාව අතහැරලා ගියා. ඒක එයාට දරාගන්න බැරි දුකක් වුණා. ඊටපස්සේ එයාගේ දුවලා දෙන්නත් යෙහෝවාට සේවය කරන එක නැවැත්තුවා. බොබ් සහ ලින්ඩාට මුහුණ දෙන්න වුණේ ඊට වෙනස්ම අභියෝගවලට. ඒ දෙන්නාටම එයාලගේ රස්සා නැති වුණා විතරක් නෙමෙයි එයාලගේ ගෙදරිනුත් එයාලට යන්න වුණා. ඔය අතරේ ලින්ඩාට බරපතළ හෘද රෝගයක් තියෙනවා කියලා එයාලට දැනගන්න ලැබුණා. ඒ එක්කම එයාට තිබුණ ආතරයිටිස් රෝගී තත්වය දරුණු අතට හැරුණා.

3. ෆිලිප්පි 4:6, 7 අපිට යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

3 අපි අද්දකින ප්‍රශ්න නිසා අපිට හැඟෙන විදිහ අපේ නිර්මාතෘ සහ අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා හොඳින්ම දන්නවා. ඔහුට ඕනෙ ප්‍රශ්න ගැටලුවලින් අපි යටපත් වෙලා යන්නේ නැතුව ඒවා දරාගන්න අපිට උදව් කරන්නයි. (ෆිලිප්පි 4:6, 7 කියවන්න.) දෙවියන්ගේ සේවකයන්ට මුහුණ දෙන්න වුණ අභියෝග, ප්‍රශ්න ගැනත් ඒ අවස්ථාවලදී යෙහෝවා එයාලට උදව් කරපු විදි ගැනත් බයිබලේ සඳහන් වෙනවා. ඒ වගේ උදාහරණ කීපයක් දැන් බලමු.

“එලියා අප හා සමාන හැඟීම් ඇති මිනිසෙකි”

4. එලියා මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද? යෙහෝවා ගැන එයාට හැඟුණේ කොහොමද?

4 එලියා යෙහෝවාට සේවය කළේ දේශයේ හුඟක් ප්‍රශ්න තිබුණ කාලෙක. එයාට හුඟක් අභියෝගවලටත් මුහුණ දෙන්න වුණා. ඊශ්‍රායෙල් ඉතිහාසයේ හිටපු නරකම රජ කෙනෙක් වුණ ආහබ් බාල්ට නමස්කාර කරන දුෂ්ට යෙසබෙල් රැජිනව විවාහ කරගත්තා. ඒ දෙන්නා එකතු වෙලා දේශය පුරාම බාල් නමස්කාරය ව්‍යාප්ත කළා. යෙහෝවාගේ අනාගතවක්තෘවරු හුඟදෙනෙකුව එයාලා මරලා දැම්මා. ඒත් එලියා බේරුණා. දරුණු සාගතයක් පැවතුණ කාලේදීත් යෙහෝවාගේ උදව්වෙන් එයාගේ ජීවිතේ රැකගන්න එලියාට පුළුවන් වුණා. (1 රාජා. 17:2-4, 14-16) බාල්ගේ අනාගතවක්තෘවරුන්ටයි, බාල්ට නමස්කාර කරපු අයටයි එලියා අභියෝග කරපු වෙලාවෙත් එයා රඳා හිටියේ යෙහෝවා මතයි. එලියා ඊශ්‍රායෙල්වරුන්ට උනන්දු කළා යෙහෝවාගේ පැත්ත ගන්න කියලා. (1 රාජා. 18:21-24, 36-38) ඒ අමාරු කාලේ පුරාම යෙහෝවාගේ ආරක්ෂාව, උදව් එලියා අද්දැක්කා.

එලියාව ශක්තිමත් කරන්න යෙහෝවා දේවදූතයෙක්ව එව්වා (5 සහ 6 ඡේද බලන්න) *

5-6. 1 රාජාවලිය 19:1-4 අනුව එලියාට හැඟුණේ කොහොමද? යෙහෝවා ඔහුගේ ආදරේ එලියාට පෙන්නුවේ කොහොමද?

5 1 රාජාවලිය 19:1-4 කියවන්න. ඒත් එලියාව මරනවා කියලා යෙසබෙල් රැජින තර්ජනය කළාම එලියා බය වෙලා බෙයර්-ෂෙබා නගරයට පලා ගියා. එයා කොච්චර අධෛර්යය වුණාද කියනවා නම් එයාව මරලා දාන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා. එයාට එහෙම හැඟුණේ ඇයි? එලියා කියන්නෙත් “අප හා සමාන හැඟීම් ඇති මිනිසෙක්.” (යාකො. 5:17) දැනුණ පීඩනය නිසාත් අධික වෙහෙස නිසාත් තවත් නම් දරාගන්න බැහැ කියලා එයාට හිතෙන්න ඇති. සමහරවිට එයා හිතන්න ඇති සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න එයා දරපු හැම උත්සාහයක්ම වතුරේ ගියා කියලා. යෙහෝවාට සේවය කරන්න දැන් ඉතුරු වෙලා ඉන්නේ එයා විතරයි කියලත් එයා හිතුවා. (1 රාජා. 18:3, 4, 13; 19:10, 14) ශක්තිමත් විශ්වාසයක් තිබුණ එලියා වගේ කෙනෙක්ට එහෙම හැඟුණ එක ගැන අපිට පුදුම හිතෙයි. ඒත් යෙහෝවා එලියාගේ හැඟීම් තේරුම්ගත්තා.

6 එලියා එයාට හැඟුණ විදිහ ගැන කිව්වාම යෙහෝවා එයාට දොස් කිව්වේ නැහැ. ඒ වෙනුවට විඩාවට පත් වෙලා හිටපු එලියාව දෙවියන් ශක්තිමත් කළා. (1 රාජා. 19:5-7) පස්සේ යෙහෝවා ඔහුගේ අතිමහත් බලය එලියාට පෙන්නලා එයා හිතපු විදිහ වෙනස් කරගන්න එයාට ආදරෙන් උදව් කළා. ඊටපස්සේ බාල්ට නමස්කාර නොකරන 7,000දෙනෙක් ඊශ්‍රායෙල් දේශයේ ඉන්නවා කියලා ඔහු එලියාට කිව්වා. (1 රාජා. 19:11-18) ඒ වගේ විදිවලින් යෙහෝවා ඔහුගේ ආදරේ එලියාට පෙන්නුවා.

යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?

7. යෙහෝවා එලියාට උදව් කරපු විදිහ බලද්දී අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

7 ඔයාගේ මනසටත් ලොකු පීඩනයක් දැනෙනවාද? යෙහෝවා එලියාගේ හැඟීම් තේරුම්ගත්තා කියන දේ මතක තියාගන්න එක අපිට මොන තරම් සහනයක්ද! දෙවියන් අපිවත් තේරුම්ගන්නවා කියන නිසැකකම ඒ නිසා අපිට ඇති වෙනවා. අපේ සීමාවන් මොනවාද අපි හිතන්නේ මොනවාද අපිට හැඟෙන විදිහ ඔහු දන්නවා. (ගීතා. 103:14; 139:3, 4) අපිත් එලියා වගේ යෙහෝවා මත රඳා ඉන්නවා නම් මනසට බරක් දැනෙන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න දෙවියන් අපිට උදව් කරනවා.—ගීතා. 55:22.

8. මනසට බරක් දැනෙන ප්‍රශ්නයකට ඔයා මැදි වෙලා ඉද්දී යෙහෝවා ඔයාට උදව් කරන්නේ කොහොමද?

8 පීඩනයකින් හෝ කනස්සල්ලෙන් ඉද්දී ඔයා ඉන්න තත්වය, ඔයාගේ ප්‍රශ්නය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතෙයි. ඒකෙන් වෙන්නේ ඔයා අධෛර්යය වෙන එකයි. ඒත් මතක තියාගන්න ඔයාට උදව් කරන්න යෙහෝවා කැමැත්තෙන් ඉන්නවා කියලා. ඔහු ඔයාට උදව් කරන්නේ කොහොමද? ඔයාගේ ප්‍රශ්න, ඔයාට හැඟෙන විදිහ ඔහුට කියන්න කියලා දෙවියන් කියනවා. උදව් ඉල්ලලා ඔයා කරන යාච්ඤාවලට ඔහු උත්තර දෙනවා. (ගීතා. 5:3; 1 පේතෘ. 5:7) ඒ නිසා ඔයාගේ ප්‍රශ්න ගැන නිතරම යෙහෝවාට කියන්න. ඔහු එලියා එක්ක කතා කරපු විදිහටම ඔයා එක්ක කතා කරන්නේ නැහැ. ඒත් බයිබලය සහ ඔහුගේ සංවිධානය මාර්ගයෙන් ඔහු ඔයාට කතා කරනවා. බයිබලේ තියෙන වාර්තා කියවද්දී ඔයාට ලොකු සහනයක් දැනෙයි. ප්‍රශ්නය දරාගන්න පුළුවන් කියලා ඔයාට හිතෙයි. සහෝදර සහෝදරියන්ටත් පුළුවන් ඔයාව දිරිගන්වන්න.—රෝම 15:4; හෙබ්‍රෙ. 10:24, 25.

9. ඔයාට උදව් කරන්න විශ්වාසවන්ත යාළුවෙක්ට පුළුවන් කොහොමද?

9 යෙහෝවා එලියාට කිව්වා එයා කරපු වැඩවලින් කොටසක් එලිෂාට භාර දෙන්න කියලා. ඇත්තටම ඒකෙන් යෙහෝවා කළේ එලියාට අධෛර්යයක් දැනෙන වෙලාවලදී එයාට උදව් කරන්න පුළුවන් හොඳ යාළුවෙක්ව දුන්න එකයි. අපිත් අපේ ප්‍රශ්න ගැන විශ්වාසවන්ත යාළුවෙකුට කියනවා නම් ඒවා දරාගන්න ඒ යාළුවා අපිට උදව් කරයි. (2 රාජා. 2:2; හිතෝ. 17:17) ඒත් විශ්වාසවන්ත යාළුවෙක් ඔයාට නැහැ කියලා හිතෙනවා නම් එහෙම කෙනෙක්ව හොයාගන්න උදව් කරන්න කියලා දෙවියන්ට කියන්න.

10. එලියාගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? යෙසායා 40:28, 29 සඳහන් පොරොන්දුව අපිට උදව් වෙන්නේ කොහොමද?

10 එලියාට දැනුණ පීඩනය දරාගන්න විතරක් නෙමෙයි අවුරුදු ගාණක් විශ්වාසවන්තව සේවය කරන්න දෙවියන් එලියාට උදව් කළා. එලියාගේ අද්දැකීම කියවද්දී අපිට වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. සමහර වෙලාවලදී අපිට කොච්චර පීඩනයක් දැනෙනවාද කියනවා නම් අපි හෙම්බත් වෙලා කියලා අපිට දැනෙයි. ඒත් අපි යෙහෝවා මත රඳා ඉන්නවා නම් දිගටම ඔහුට සේවය කරන්න ඕනෙ කරන ශක්තිය ඔහු අපිට අනිවාර්යයෙන්ම දෙනවා.—යෙසායා 40:28, 29 කියවන්න.

හන්නා, දාවිත් සහ ගීතිකාකරු යෙහෝවා මත රඳා හිටියා

11-13. හිතේ ඇති වුණ කනස්සල්ල අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන් තුන්දෙනෙක්ට බලපෑවේ කොහොමද?

11 ලොකු පීඩනයකින් හිටපු, කනස්සල්ලක් දැනුණ තවත් අය ගැන බයිබලේ සඳහන් වෙනවා. හන්නා ඒ වගේ කෙනෙක්. එයාට දරුවන් හිටියේ නැති නිසා එයාට එයා ගැනම ලොකු ලැජ්ජාවක් දැනුණා. ඒ විතරක් නෙමෙයි එයාගේ සැමියාගේ අනිත් බිරිඳට දරුවන් හිටිය නිසා එයා හන්නාට නිතරම සමච්චල් කළා. (1 සාමු. 1:2, 6) හන්නාට කොච්චර පීඩනයක් දැනුණාද කියනවා නම් එයා නොකා නොබී ඇඬුවා.—1 සාමු. 1:7, 10.

12 මනසට ලොකු බරක් දැනුණ ප්‍රශ්නවලට, තත්වයන්ට දාවිත් රජත් මුහුණ දුන්නා. එයා අතින් වුණ වැරදි නිසා එයාගේ හිත එයාට වධ දුන්නා. (ගීතා. 40:12) එයා හුඟක් ආදරේ කරපු එයාගේ පුතෙක් වුණ අබ්සලොම් එයාට විරුද්ධව කැරලිගැහුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අබ්සලොම් මිය ගියා. ඒ දුකත් එයාට දරාගන්න වුණා. (2 සාමු. 15:13, 14; 18:33) දාවිත්ගේ කිට්ටුම යාළුවෙක් එයාට ද්‍රෝහි වුණා. (2 සාමු. 16:23–17:2; ගීතා. 55:12-14) දාවිත් එයා ලියපු හුඟක් ගීතිකාවල එයාට දැනුණ දුක, අධෛර්යය වුණ අවස්ථා ගැන වගේම යෙහෝවා ගැන එයාට තිබුණ නොසැලෙන විශ්වාසය ගැන සඳහන් කරලා තියෙනවා.—ගීතා. 38:5-10; 94:17-19.

ආයෙත් සතුටින් යෙහෝවාට සේවය කරන්න ගීතිකාකරුට උදව් වුණේ මොකක්ද? (13-15 ඡේද බලන්න) *

13 දුෂ්ට මිනිසුන් අද්දකින සාර්ථකත්වය දැකලා එක ගීතිකාකරුවෙක්ට ලොකු කලකිරීමක් දැනුණා. බොහෝදුරට එයා ආසාෆ්ගෙන් පැවත ආපු, “දෙවිගේ ශුද්ධස්ථානයේ” සේවය කරපු ලෙවීවරයෙක් වෙන්න ඇති. එයාට දැනුණ කලකිරීම නිසා එයා කරපු සේවයෙන් කිසි සතුටක් එයා ලැබුවේ නැහැ. දුෂ්ටයන් අද්දකින සාර්ථකත්වය එක්ක බලද්දී දෙවියන්ට සේවය කරන අය අද්දකින ආශීර්වාද අඩුයි කියලා එයා හිතන්න ගත්තා.—ගීතා. 73:2-5, 7, 12-14, 16, 17, 21.

14-15. කනස්සල්ලක් දැනෙද්දී යෙහෝවා මත රඳා ඉන්න එකේ වැදගත්කම අපි බලපු බයිබල් චරිත තුනෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

14 ඒ තුන්දෙනාම මානසිකව වැටිලා ඉද්දී උදව් ඉල්ලුවේ යෙහෝවාගෙන්. නිතරම යාච්ඤා කරලා එයාලගේ හිතේ තිබුණ කනස්සල්ල ගැනත් ඒකට හේතුව ගැනත් හංගන්නේ නැතුව එයාලා දෙවියන්ට කිව්වා. ඒ වගේම එයාලා අත් නෑර දෙවියන්ට නමස්කාර කරන්න තිබුණ ස්ථානයටත් ගියා.—1 සාමු. 1:9, 10; ගීතා. 55:22; 73:17; 122:1.

15 ඒ එක් එක් කෙනාගේ තත්වය තේරුම්ගත්ත යෙහෝවා, එයාලගේ යාච්ඤාවලට සවන් දුන්නා. හිතේ දුක දෙවියන්ට කිව්වාට පස්සේ හන්නාගේ හිතට සැනසීමක් දැනුණා. (1 සාමු. 1:18) දාවිත් මෙහෙම කිව්වා. “ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය. නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.” (ගීතා. 34:19) ගීතිකාකරුට හැඟුණා දෙවියන් එයාගේ “දකුණතින් අල්ලාගෙන” එයාට ආදරෙන් උපදෙස් දෙනවා කියලා. ඒ නිසා එයා මෙහෙම කිව්වා. “දෙවිට ළං වී සිටීම මට යහපතකි. ඔහු මාගේ රක්ෂස්ථානයය.” (ගීතා. 73:23, 24, 28) ඒ තුන්දෙනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සමහර වෙලාවට හිතට ලොකු බරක්, පීඩනයක් දැනෙන බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒත් යෙහෝවා අනිත් අයට උදව් කරලා තියෙන විදි ගැන හොඳට හිතද්දී, ඔහුට යාච්ඤා කරලා ඔහු මත රඳා ඉද්දී, ඔහුට කීකරු වෙද්දී හිතට දැනෙන පීඩනය දරාගන්න අපිටත් පුළුවන් වෙයි.—ගීතා. 143:1, 4-8.

යෙහෝවා මත රඳා ඉඳලා සහනය අද්දකින්න

මුලින් එක සහෝදරියකට ඕනෙ වුණේ හැමෝගෙන්ම ඈත් වෙන්න. ඒත් එයා අනිත් අයට උදව් කරන්න පටන්ගත්තාම එයාට හැඟුණ විදිහ වෙනස් වුණා (16 සහ 17 ඡේද බලන්න)

16-17. (අ) යෙහෝවාගෙනුත් සහෝදරයන්ගෙනුත් අපි ඈත් වෙන්න හොඳ නැත්තේ ඇයි? (ආ) ආයෙත් ශක්තිමත් වෙන්න අපිට පුළුවන් කොහොමද?

16 ඒ තුන්දෙනාගෙන් අපිට තවත් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. අපි කවදාවත් යෙහෝවාගෙන් සහ ඔහුගේ සෙනඟගෙන් ඈත් වෙන්න හොඳ නැහැ. (හිතෝ. 18:1) නැන්සිගේ සැමියා එයාව අත්හැරලා ගියාම ඒක දරාගන්න එයාට හුඟක් අමාරු වුණා. එයා මෙහෙම කියනවා. “කා එක්කවත් කතා කරන්න, අඩු ගානේ එයාලව දකින්නවත් මං කැමති වුණේ නෑ. මට ඕනෙ වුණේ හැමෝගෙන්ම ඈත් වෙන්න. ඒත් එහෙම කරන තරමට මගේ දුක තව වැඩි වුණා.” පස්සේ නැන්සි ප්‍රශ්න තිබුණ අනිත් අයට උදව් කරන්න පටන්ගත්තා. “අනිත් අය එයාලා මුහුණ දෙන අභියෝග ගැන කියද්දී මං එයාලට ඇහුම්කන් දුන්නා. එයාලා ගැන හිතන්න හිතන්න මගේ ප්‍රශ්න ගැන හිතන එක අඩු වුණා” කියලා නැන්සි කියනවා.

17 මානසිකව වැටිලා හිටියත් අත් නෑර රැස්වීම්වලට යන එකෙනුත් ලොකු ශක්තියක් ලබන්න පුළුවන්. අපි රැස්වීම්වලට ගියාම අපිට උපකාර කරන්න, අපිව සනසන්න අපි යෙහෝවාට තවත් අවස්ථාවක් දෙනවා. (ගීතා. 86:17) රැස්වීම්වලදී දෙවියන් ඔහුගේ බලය, බයිබලය සහ ඔහුගේ සෙනඟ මාර්ගයෙන් අපිව ශක්තිමත් කරනවා. “එකිනෙකාව දිරිගැන්වීමට” රැස්වීම් හොඳ අවස්ථාවක්. (රෝම 1:11, 12) සොෆියා මෙහෙම කියනවා. “මට ප්‍රශ්න දරාගන්න පුළුවන් වුණේ යෙහෝවායි, සහෝදරයනුයි නිසයි. මට හුඟක්ම උදව් වුණේ රැස්වීම්. මං තේරුම්ගත්ත දෙයක් තමයි සේවේ වෙනුවෙන්, සභාව වෙනුවෙන් මං වැඩි කාලයක් දෙද්දී කනස්සල්ල, දුක දරාගන්න මට පහසුයි කියලා.”

18. අධෛර්යය වෙලා ඉද්දී අපි වෙනුවෙන් මොකක් කරන්නද යෙහෝවාට පුළුවන්?

18 හිතට කනස්සල්ලක් දැනෙද්දී, අධෛර්යය වෙලා ඉද්දී මේ දේ මතක තියාගමු. ඉදිරියේදී මේ හැම ප්‍රශ්නයකටම ස්ථිර විසඳුමක් දෙනවා කියලා විතරක් නෙමෙයි අපි දැන් අද්දකින පීඩනය දරාගන්න අපිට උදව් කරනවා කියලත් යෙහෝවා පොරොන්දු වෙලා තියෙනවා. යෙහෝවාට පුළුවන් අධෛර්යය කරවන හැඟීම් ඇති වෙද්දී ඒවායින් ගොඩ එන්න අපි තුළ “ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරන්න.”—ෆිලි. 2:13.

19. රෝම 8:37-39 අපිට දෙන සහතිකය මොකක්ද?

19 රෝම 8:37-39 කියවන්න. දෙවියන්ගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න කිසිම දේකට බැහැ කියලා පාවුල් අපිට සහතික වෙනවා. පීඩනයන් එක්ක පොරබදින අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? යෙහෝවාව ආදර්ශයට අරන් එයාලට දයානුකම්පාවෙන් සලකන්නත් එයාලට උදව් කරන්නත් අපිට පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 44 අසරණයෙකුගේ අයැදීම

^ 5 ඡේ. ලොකු පීඩනයකට මුහුණ දෙද්දී නැත්නම් කාලයක් තිස්සේ කනස්සල්ලෙන් ඉද්දී අපේ ශරීරයට වගේම මනසටත් ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. අපිට උදව් කරන්න යෙහෝවාට පුළුවන් කොහොමද? ලොකු පීඩනයකින් හිටපු එලියාට යෙහෝවා උදව් කළේ කොහොමද කියලා අපි බලමු. අපි පීඩනයකින් ඉද්දී යෙහෝවා මත රඳා ඉන්න පුළුවන් කොහොමද කියලා පෙන්නන බයිබල් ආදර්ශ කීපයකුත් බලමු.

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 53 ඡේ. පින්තූරයේ අදහස: දේවදූතයෙක් එලියාව ඇහැරවලා එයාට රොටි සහ වතුර දුන්නා.

^ 55 ඡේ. පින්තූරයේ අදහස: ආසාෆ්ගෙන් පැවත ආවා කියලා හිතන්න පුළුවන් ගීතිකාකරු ගීතිකා ලියලා, අනිත් ලෙවීවරුන් එක්ක ඒවා ගායනා කරලා සතුටක් ලැබුවා.