Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් මට ආශීර්වාද කළා

හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් මට ආශීර්වාද කළා

‘හරි නම් මං කරන්න ඕනෙ පුරෝගාමි සේවේ තමයි. ඒත් ඒක ඔය කියන තරම්ම රසවත්ද’ කියලා මට හිතුණා. මගේ රස්සාවට මං ගොඩක් ආස කළා. මට කරන්න තිබුණේ අප්‍රිකාවේ නගරවලට කෑම ජාති අපනයනය කරන එක. මං කවදාවත් හිතුවේ නැහැ දවසක මං ඒ පැති ඇතුළුව අප්‍රිකාවේ තවත් හුඟක් පැතිවලට ගිහින් පූර්ණකාලීන සේවේ කරයි කියලා.

පුරෝගාමි සේවේ කරන්න පටන්ගත්තාට පස්සේ මං කවදාවත් හිතුවේ නැති විදිහට මගේ ජීවිතේ වෙනස් වුණා. (එෆී. 3:20) එහෙම වුණේ කොහොමද කියලා මං ඔයාලට කියන්නම්.

මං ඉපදුණේ ජර්මනියේ බර්ලින්වල. ඒ 1939 දෙවෙනි ලෝක යුද්දේ පටන් අරන් මාස කීපයකට පස්සේ. 1945 යුද්දේ අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී බර්ලින්වලට දරුණු බෝම්බ ප්‍රහාර එල්ල වුණා. අපේ ගෙවල් තිබුණ පාරටත් බෝම්බයක් දැම්මා. මාවයි, නංගිවයි අරන් අම්මායි, තාත්තායි ආරක්ෂිත තැනකට ගිය නිසා අපේ ජීවිත බේරුණා. පස්සේ අපි අම්මාගේ ගම වුණ එර්ෆර්ට්වලට ගියා.

1950දී විතර අම්මායි, තාත්තායි, නංගියි, මායි ජර්මනියේ

අම්මාට ලොකු වුවමනාවක් තිබුණා සත්‍යය හොයාගන්න. ඒ නිසා අම්මා දාර්ශනිකයන්ගේ පොත් කියෙව්වා. ආගම් ගැන හොයලා බැලුවා. ඒත් ඒ එකකින්වත් අම්මා හොයපු දේ හම්බ වුණේ නැහැ. ඔහොම ඉද්දී තමයි 1948දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවේ. අම්මා එයාලව ගෙදරට පිළි අරන් එයාලගෙන් එක පිට එක ප්‍රශ්න ඇහුවා. පැයකට විතර පස්සේ අම්මා මටයි, නංගිටයි කිව්වා ‘මට සත්‍යය හම්බ වුණා’ කියලා. වැඩි දවසක් යන්න කලින් මමයි, අම්මයි, නංගියි එර්ෆර්ට්වල තිබුණ රැස්වීම්වලට යන්න පටන්ගත්තා.

1950දී අපි ආයෙත් බර්ලින්වලට ආවා. අපි පදිංචි වුණේ ක්‍රොයිට්ස්බර්ක් කියන පැත්තේ. ටික දවසක් එහේ තිබුණ සභාවට ගියත් අපි අපේ පදිංචිය බර්ලින්වලම තවත් පැත්තක් වුණ ටෙම්පල්හූෆ්වලට මාරු කළාම අපි එහේ තිබුණ සභාවට යන්න පටන්ගත්තා. ටික කාලෙකින් අම්මා බව්තීස්ම වුණා. ඒත් මං බව්තීස්ම වෙන්න ටිකක් අදිමදි කළා.

මට තිබුණ බාධාවක් මං ජය ගත්තා

මං හරිම ලැජ්ජාශීලී කෙනෙක්. මං දේශනා සේවේ ගියත් අවුරුදු දෙකක් යන කල් මං එක ගෙදරකටවත් කතා කළේ නැහැ. ඒත් නිර්භීතව දෙවියන්ට සේවේ කරපු සහෝදර සහෝදරියන් එක්ක කාලේ ගත කරද්දී ඒ ලැජ්ජාශීලීකමින් ගොඩ එන්න මට පුළුවන් වුණා. ඒ අයගෙන් සමහරු නාට්සි ගාල් කඳවුරුවල, නැඟෙනහිර ජර්මනියේ තිබුණ හිරගෙවල්වල ඉඳලා තියෙනවා. තවත් අය අහු වුණොත් හිරේ යන්න වෙනවා කියලා දැන දැනත් අපේ පොත් පත් නැඟෙනහිර ජර්මනියට හොරෙන් අරන් ගිහින් තියෙනවා. එයාලගේ ආදර්ශ මගේ හිතට තදින්ම වැදුණා. යෙහෝවා දෙවියන් වෙනුවෙන්, සහෝදරයන් වෙනුවෙන් එයාලට පුළුවන් වුණා නම් එයාලගේ ජීවිත පරදුවට තියන්න ලැජ්ජාශීලීකමින් ගොඩ එන්න මං කොහොමහරි උත්සාහ කරන්න ඕනෙ කියලා මං හිතුවා.

1955දී සංවිධානයෙන් දේශනා කරන්න විශේෂ වැඩසටහනක් සැලසුම් කළා. ඒකට හවුල් වුණ එක ලැජ්ජාශීලීකමින් ගොඩ එන්න මට උදව් වුණා. ඒ විශේෂ වැඩසටහන තමයි එතෙක් සේවේ වෙනුවෙන් සැලසුම් කරපු ලොකුම වැඩසටහන කියලා ‘රාජ්‍ය සේවාවේ’ * පළ වුණ ලිපියක සහෝදර නේතන් නෝර් සඳහන් කරලා තිබුණා. හැම ප්‍රචාරකයෙක්ම ඒකට හවුල් වුණොත් දේශනා සේවෙන් වැඩිම ප්‍රතිඵල ලබන්න පුළුවන් මාසය ඒක වෙයි කියලත් එයා කියලා තිබුණා. එයා කියපු දේ අපි අද්දැක්කා. ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ 1956දී මං බව්තීස්ම වුණා. මාත් එක්ක තාත්තයි, නංගිත් බව්තීස්ම වුණා. ඒ එක්කම මට තවත් ලොකු තීරණයක් ගන්න වුණා.

මං දැනන් හිටියා පුරෝගාමි සේවේ කරන එක තමයි හොඳම දේ කියලා. ඒත් අවුරුදු ගාණක් ඒ තීරණය ගන්න එක මං කල් දැම්මා. මං හිතුවා බර්ලින්වල ඉන්න ගමන් ආනයන, අපනයන ක්ෂේත්‍රය ගැන අධ්‍යයනය කරන්න ඕනෙ කියලා. ඊටපස්සේ ඒ ක්ෂේත්‍රයේම රැකියාවක් කරලා පස්සේ පුරෝගාමි සේවේ පටන්ගන්නයි මං හිතන් හිටියේ. ඒ නිසා 1961දී මං ජර්මනියේ තිබුණ ලොකුම වරාය නගරය වන හැම්බර්ග්වල රැකියාවකට ගියා. ඒ රස්සාවට මං ගොඩක් ආස කරපු නිසා පුරෝගාමි සේවේ පටන්ගන්න එක මං දවසින් දවස කල් දැම්මා.

මං මුල් තැන දෙන්න ඕනෙ දෙවියන්ට කරන සේවෙටයි කියලා මට ආදරෙන් මතක් කරලා දෙන්න යෙහෝවා දෙවියන් සහෝදරයන් කීපදෙනෙක්වම පාවිච්චි කළා. ඒ වෙද්දී මගේ යාළුවන් කීපදෙනෙක්ම පුරෝගාමි සේවේ පටන් අරගෙනයි තිබුණේ. යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරන්න කියලා සහෝදර එරික් මූන්ඩ් මාව නිතරම දිරිගැන්නුවා. එයා කලින් නාට්සි සිරකඳවුරක හිටපු කෙනෙක්. එයා කිව්වා කඳවුරේ හිටපු සමහර සහෝදරයෝ තමන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ගිහින් එයාලගේ විශ්වාසය දුර්වල කරගත්තා කියලා. ඒත් දෙවියන් ගැන විශ්වාසය තියපු අය දිගටම දෙවියන්ට ළැදිව හිටියා. පස්සේ ලොකු සේවයක් කරන්න එයාලට පුළුවන් වුණා කියලා එයා කිව්වා.

1963 මං පුරෝගාමි සේවේ පටන්ගත්ත කාලේ

සහෝදර මාර්ටීන් පොඑට්සිඟර් සහෝදරයන්ව නිතරම දිරිගන්වලා කිව්වා “අපි ළඟ තියෙන්න ඕනෙ වටිනාම දේ ධෛර්යය” කියලා. එයා කියපු දේ ගැන හොඳට හිතුවාට පස්සේ 1963දී මං තීරණය කළා රස්සාවෙන් අස් වෙලා පුරෝගාමි සේවේ කරන්න. ඒක තමයි මං ගත්ත හොඳම තීරණය. මාස දෙකකට පස්සේ විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවේ කරන්න මට පැවරුමක් ලැබුණා. ඊට අවුරුදු කීපයකට පස්සේ මං කවදාවත් හිතුවේ නැති දෙයක් යෙහෝවා දෙවියන් මට දුන්නා. ඒ තමයි ගිලියද් පාසැලේ 44වෙනි පන්තියට සහභාගි වෙන්න මට දුන්න අවස්ථාව.

මං හිතට ගත්ත වටිනා පාඩමක්

“අධෛර්යය වෙලා පැවරුම ඉක්මනින් අත්හරින්න එපා” කියන වටිනා පාඩම මං ගිලියද් පාසැලේදී ඉගෙනගත්තා. විශේෂයෙන්ම සහෝදර නේතන් නෝර් සහ සහෝදර ලයිමන් ස්විංගල් ඒ කාරණය ගොඩක් කාවැද්දුවා. “ඔයා වැඩි අවධානයක් දෙන්නේ ජරාව, මැස්සෝ, මදුරුවෝ, දුප්පත්කම වගේ දේවලටද? නැත්නම් ගස් වැල්, මල්, සිනාමුසු මුහුණුවලටද? මිනිසුන්ට ආදරේ කරන්න ඉගෙනගන්න” කියලා සහෝදර නෝර් අපිට කිව්වා. දවසක් සහෝදර ස්විංගල් සමහර සහෝදරයන් එයාලගේ පැවරුම ඉක්මනින්ම අත්හරින්නේ ඇයි කියලා පැහැදිලි කරද්දී එයාට ඇඬුණා. ටික වෙලාවකට එයා දේශනය දෙන එකත් නැවැත්තුවා. එයා දුක් වුණ විදිහ මගේ හිතට ගොඩක් වැදුණා. මං හිතාගත්තා මං නම් කවදාවත් යේසුස්ටවත් ඔහුගේ සහෝදරයන්ටවත් දුකක් දෙන්නේ නැහැ කියලා.—මතෙ. 25:40.

මම, ක්ලෝඩ් සහ හෙන්රික් 1967 කොංගෝවේ ලුබුම්භාෂීවලදී

අපිට අපේ අලුත් පැවරුම් ලැබුණාම බෙතෙල් පවුලේ සහෝදරයන් කීපදෙනෙක් අපෙන් ඇහුවා අපිට පැවරුම් ලැබුණේ කොහෙටද කියලා. එක් එක් කෙනා අපි යන තැන් ගැන කියද්දී එයාලා ඒ තැන් ගැන හොඳ දේවල් කිව්වා. ඒත් මං යන්නේ කොංගෝවලට කියලා කිව්වාම “ආ කොංගෝවලටද! යෙහෝවා ඔයාට උදව් කරයි” කියලා එයාලා කිව්වා. ඒ කාලේ කොංගෝ ප්‍රසිද්ධ ගොඩක් සටන් තිබුණ, මිනිස්සු ගහමරාගන්න රටක් විදිහට. ඒත් මං ගිලියද් පාසැලෙන් ඉගෙනගත්ත වටිනා පාඩම මතක් කරගත්තා. 1967 සැප්තැම්බර් මාසේදී හෙන්රික් ඩෙන්බොස්ටල්, ක්ලෝඩ් ලින්සේ කියන සහෝදරයන් එක්ක මම කොංගෝවල අගනුවර වුණ කින්ෂාසාවලට ගියා.

පුහුණුවක් ලබන්න හොඳම තැන

කින්ෂාසාවලට ආවාට පස්සේ මාස තුනක් යන කල් අපි ප්‍රංශ භාෂාව ඉගෙනගත්තා. ඊටපස්සේ අපි දකුණු කොංගෝවල ලුබුම්භාෂීවලට ගියා. කලින් එහෙට කිව්වේ එලිසාබෙත්විල් කියලයි. අපි නතර වුණේ එහේ තිබුණ මිෂනාරි නිවසේ.

ලුබුම්භාෂීවල හිටපු වැඩිදෙනෙක් කවදාවත් අපේ පණිවිඩය අහලා තිබුණේ නැහැ. එයාලා එක්ක මුල්ම වතාවට සත්‍යය කතා කරන්න ලැබුණ එක අපිට ලොකු සතුටක්. වැඩි කල් යන්න කලින් අපිට කරන්න පුළුවන් ප්‍රමාණයටත් වඩා බයිබල් පාඩම් අපිට ලැබුණා. අපි ආණ්ඩුවේ නිලධාරීන්ටත් පොලීසියේ නිලධාරීන්ටත් දේශනා කළා. ඒ අයගෙන් හුඟදෙනෙක් බයිබලේට ගරු කළා. අපේ සේවෙත් අගය කළා. එහේ හිටපු ගොඩක් මිනිස්සු කතා කළේ ස්වහීලී භාෂාව නිසා මමයි, සහෝදර ලින්සේයි ඒක ඉගෙනගත්තා. පස්සේ ස්වහීලී භාෂාව කතා කරන සභාවක සේවේ කරන්න අපිට පැවරුමක් ලැබුණා.

එහේ සේවේ හරිම රසවත්. ඒත් අභියෝගත් තිබුණා. හොඳටම බීපු හමුදා නිලධාරීන්, දරුණු පොලිස් නිලධාරීන් නිතරම වගේ අපිට බොරු චෝදනා කළා. දවසක් අපි අපේ මිෂනාරි නිවසේ රැස්වීම් පවත්වමින් ඉද්දී පොලිස් කණ්ඩායමක් ආයුධ අරන් එතනට කඩා පැන්නා. එයාලා අපිව පොලිස් ස්ථානයට අරන් ගිහින් බිම වාඩි කරවලා තිබ්බා. එයාලා අපිව නිදහස් කළේ රෑ දහයට විතර.

1969දී මට චාරිකා සේවේ යන්න පැවරුමක් ලැබුණා. සමහර දවස්වලට මට සිද්ධ වුණා උසට වැඩුණු පඳුරු මැදින්, මඩ වගුරු හරහා හුඟක් දුර පයින් යන්න. ඒවා අප්‍රිකාවේ සාමාන්‍ය දේවල්. එක ගමක මං නවාතැන් ගත්ත ගෙදර මගේ ඇඳ යට කිකිළියකුයි, උගේ පැටව් ටිකයි හිටියා. එළිය වැටෙන්නත් කලින් කිකිළි හඬලලා මාව ඇහැරවපු විදිහ මට අද වගේ මතකයි. ගිනිමැලයක් ගහගෙන සහෝදරයන් එක්ක බයිබලේ තිබුණ දේවල් ගැන කතාබහ කරපු අවස්ථා අදටත් මට සොඳුරු මතකයන්.

අපි මුහුණ දීපු ලොකුම අභියෝගය තමයි සහෝදරයන් වගේ පෙනී හිටපු කිටාවාලා * කියන සංවිධානයේ සාමාජිකයන්. එයාලගෙන් සමහරු බව්තීස්ම වෙලා සභාවේ වැඩිමහල්ලන් විදිහටත් වැඩ කළා. එයාලා හරියට “සැඟවී තිබෙන ගල්පර” වගේ. ඒත් එයාලට බැරි වුණා විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ව රවට්ටන්න. (යූද් 12) කාලයත් එක්කම යෙහෝවා දෙවියන් සභාව පවිත්‍ර කළා. ඊටපස්සේ තව හුඟදෙනෙක් සත්‍යයට ඇදිලා ආවා.

1971දී මට පැවරුමක් ලැබුණා කින්ෂාසාවල තිබුණ අපේ ශාඛා කාර්යාලයේ වැඩ කරන්න. එහෙදී ලිපි ලේඛන වැඩ, සභාවලින් පොත් පත් ඉල්ලුම් කළාම ඒවා බෙදාහරින වැඩ සහ සේවෙට සම්බන්ධ වැඩකටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. අඩු පහසුකම් මැද වුණත් ලොකු රටක අපේ වැඩකටයුතු සැලසුම් කරන්නේ කොහොමද කියලා බෙතෙල් එකේදී මං ඉගෙනගත්තා. සමහර අවස්ථාවලදී අපි තැපෑලෙන් යවපු දේවල් සභාවලට ලැබුණේ මාස ගාණකට පස්සේ. මොකද ඒවා ගුවන් යානයෙන් අරන් ගිහින් පස්සේ බෝට්ටුවලට පටවනවා. සමහර ගංගාවල ගඟ වැහෙන්නම පැළෑටි වැවිලා තිබුණ නිසා සති ගාණක් යන කල් බෝට්ටුවලට යන්න අමාරුයි. ඒ වගේ අභියෝග මැද සේවේ දිගටම කරගෙන ගියා.

ලොකු මුදලක් නැති වුණත් එහේ හිටපු සහෝදරයන් විශාල සමුළු සංවිධානය කරපු විදිහ දැකලා මට පුදුම හිතුණා. එයාලා වේදිකාව හැදුවේ හුඹස් මැටිවලින්. උණබටවලින් මඩු හදලා ඒකේ බිත්ති හැදුවේ උසට වැවුණු පඳුරුවලින්. පුටු තිබුණේ නැති නිසා ඒ පඳුරු ජාතියම රෝල් කරලා ඉඳගන්න පාවිච්චි කළා. වහලෙට දැම්මේ පැදුරු. ඇණ වෙනුවට පාවිච්චි කළේ ලී පතුරු. ඒ සහෝදරයන් විවිධ ක්‍රම පාවිච්චි කරලා එයාලට තිබුණ අභියෝග ජය ගත්තා. එයාලව දාලා වෙන පැවරුමකට යන්න වුණාම මට දැනුණේ ලොකු දුකක්.

කෙන්යාවේ කරපු සේවේ

1974දී මං කෙන්යාවේ නයිරෝබිවල තිබුණ ශාඛා කාර්යාලයේ සේවේ කරන්න ගියා. එහේ අපිට කරන්න ගොඩක් වැඩ තිබුණා. මොකද කෙන්යාවේ ශාඛා කාර්යාලයෙන් තමයි ඒ අවට තිබුණ රටවල් 10ක අපේ වැඩකටයුතු බලාගත්තේ. ඒ සමහර රටවල අපේ සේවේ තහනම් කරලයි තිබුණේ. නිතරම වගේ ඒ රටවලට ගිහින් අපේ වැඩකටයුතු ගැන හොයලා බලන්න මට පැවරුම් ලැබුණා. ඉතියෝපියාවට මං කීප සැරයක්ම ගියා. එහේ සහෝදරයෝ හුඟක් පීඩා අද්දැක්කා. හුඟක් අයට වධ හිංසා දීලා හිරේ දැම්මා. සමහර සහෝදරයන්ව මැරුවා. ඒත් එයාලට යෙහෝවා දෙවියන් එක්ක, සහෝදර සහෝදරියන් එක්ක හොඳ බැඳීමක් තිබුණ නිසා ඒ පීඩා විඳදරාගන්න එයාලට පුළුවන් වුණා.

1980 මට විශේෂ අවුරුද්දක්. මං ගේල් මැතසන් එක්ක විවාහ වුණේ ඒ අවුරුද්දේදී. එයාගේ උපන් රට කැනඩාව. මං සහභාගි වුණ ගිලියද් පන්තියේ එයාත් හිටියා. පාසැලෙන් පස්සේ කාලයක් යන කල් අපි දෙන්නා ලියුම් හුවමාරු කරගත්තා. ඒ වෙද්දී ගේල් සේවේ කළේ බොලිවියාවේ. අවුරුදු 12කට පස්සේ අපි දෙන්නා නිව් යෝර්ක්වලදී ආයෙත් හම්බ වුණා. ඊටපස්සේ කෙන්යාවේදී අපි විවාහ වුණා. ගේල් හැම වෙලේම උත්සාහ කරන්නේ යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතලා දේවල් කරන්න. එයා තියෙන දේවලින් සෑහීමට පත් වෙනවා. අදටත් එයා මං ළඟින්ම ඉඳලා මට හොඳ සහයක් දෙනවා.

1986දී චාරිකා සේවේ යන්න අපිට පැවරුමක් ලැබුණා. ඒ වෙද්දී මං ශාඛා කමිටුවේ සාමාජිකයෙක් විදිහටත් සේවේ කළා. අපේ චාරිකාවට කෙන්යා ශාඛා කාර්යාලය යටතේ තිබුණ හුඟක් රටවල් ඇතුළත් වුණා.

1992 අස්මාරවලදී සමුළුවේ දේශනයක් දෙමින්

1992දී ඇස්මාරාවල සමුළුවක් පවත්වන්න සහෝදර සහෝදරියන් සූදානම් වුණ විදිහ මට තාමත් මතකයි. ඒ වෙද්දී අපේ වැඩකටයුතු එහේ තහනම් කරලා තිබුණේ නැහැ. සමුළුව පවත්වන්න අපිට හොයාගන්න පුළුවන් වුණේ පරණ ධාන්‍ය ගබඩාවක්. පිටින් පේන්න තිබුණාටත් වඩා ඒ ගබඩාවේ ඇතුළ ගොඩක් ජරා වෙලා තිබුණා. ඒත් සමුළු දවස වෙද්දී සහෝදර සහෝදරියන් ඒ ගබඩාව දෙවියන්ට නමස්කාර කරන්න පුළුවන් තත්වයට සකස් කරලා තිබුණා. හුඟක් අය ලස්සන රෙදිවලින් කැතට තිබුණ හැම තැනක්ම වහලා තිබුණා. සමුළුවට ආපු 1,279දෙනාම ඒ සමුළුවෙන් ලොකු සතුටක් ලැබුවා.

චාරිකා සේවේ යද්දී එක සතියක අපිට මුහුද අයිනේ තිබුණ බංගලාවක නවාතැන් හම්බ වුණා. ඊළඟ සතියේ අපිට නවාතැන් හම්බ වුණේ ටකරංවලින් හදපු පොඩි කාමරේක. වැසිකිළිය තිබුණේ එතන ඉඳන් මීටර් 100කටත් වඩා දුරින්. අපිට ඒ මොන වෙනස්කම්වලට මුහුණ දෙන්න වුණත් අපි වැඩියෙන්ම සතුටු වුණේ පුරෝගාමීන් සහ ප්‍රචාරකයන් එක්ක සේවේ හවුල් වෙලයි. ආයෙත් අපිට අලුත් පැවරුමක් ලැබුණාම අපි ආදරේ කරපු ඒ අයව දාලා ගියේ දුකෙන්.

ඉතියෝපියාවේ සේවෙට දෙවියන්ගේ ආශීර්වාද ලැබුණා

1980 අගභාගයේදී සහ 1990 මුල් කාලේදී කෙන්යාවේ ශාඛා කාර්යාලය යටතේ තිබුණ රටවල් කීපයකටම අපේ සේවේ නීත්‍යනුකූලව කරගෙන යන්න නිදහස ලැබුණා. ඒ නිසා ඒ රටවල ශාඛා කාර්යාල සහ දේශීය කමිටු පිහිටෙව්වා. 1993දී අපිට පැවරුමක් ලැබුණා ඉතියෝපියාවේ අඩිස් අබාබාවල තිබුණ කාර්යාලයේ සේවේ කරන්න. දශක ගාණක්ම එහේ සහෝදරයන් සේවේ කළේ තහංචි මැද. ඒත් දැන් අපේ වැඩකටයුතු කරගෙන යන්න නිදහස තියෙනවා.

1996 ඉතියෝපියාවේ දිස්ත්‍රික් සේවේ කරපු කාලේ

ඉතියෝපියාවේ කරපු සේවේට යෙහෝවා දෙවියන් හුඟක් ආශීර්වාද කරලා තියෙනවා. පුරෝගාමි සේවේ කරන්න හුඟදෙනෙක් ඉදිරිපත් වුණා. 2012 ඉඳන් ගත වුණ හැම අවුරුද්දකම එහේ ප්‍රචාරකයන්ගෙන් 20%කට වඩා වැඩිදෙනෙක් ස්ථාවර පුරෝගාමි සේවේ හවුල් වෙලා තියෙනවා. සංවිධානයෙන් සැලසුම් කරපු විවිධ පාසැල් නිසා එහේ සහෝදර සහෝදරියන්ට හොඳ පුහුණුවක් ලැබුණා. නමස්කාර මධ්‍යස්ථාන 120කට වඩා වැඩියෙන් ඉදි කරලා තියෙනවා. 2004දී බෙතෙල් පවුල අලුත් තැනකට මාරු වුණා. එතනම තමයි සමුළු ශාලාවත් තියෙන්නේ.

ඉතියෝපියාවේ හිටපු කාලේ පුරාම හුඟක් සහෝදර සහෝදරියන් අපිට ගොඩක් ළං වුණා. එයාලා පෙන්නපු ආදරේ, කරුණාව අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් අපේ ශරීර සෞඛ්‍යය ඒ තරම් හොඳ නැති නිසා අපිව මධ්‍යම යුරෝපීය ශාඛා කාර්යාලයට මාරු කළා. මෙහේ ඉන්න අය අපිව ආදරෙන් රැකබලා ගන්නවා. ඒත් ඉතියෝපියාවේ ඉන්න අපේ යාළුවන් නැති අඩුව අපිට තදින්ම දැනෙනවා.

වර්ධනය දුන්නේ යෙහෝවා දෙවියන්

යෙහෝවා දෙවියන් සේවේට ආශීර්වාද කරපු විදිහ අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා. (1 කොරි. 3:6, 9) උදාහරණෙකට තඹ හොයාගෙන කොංගෝවලට ආපු රුවන්ඩා ජාතිකයන්ට මං දේශනා කරද්දී රුවන්ඩාවේ ප්‍රචාරකයන් හිටියේ නැහැ. එහේ දැන් ප්‍රචාරකයන් 30,000කට වඩා ඉන්නවා. 1967දී කොංගෝවේ හිටියේ ප්‍රචාරකයන් 6,000ක් විතරයි. දැන් එහේ සාක්ෂිකරුවන් 2,30,000ක් විතර ඉන්නවා. 2018දී ලක්ෂ දහයකට වඩා වැඩිදෙනෙක් සිහි කිරීමට සහභාගි වුණා. කලින් කෙන්යාවේ ශාඛා කාර්යාලය යටතේ තිබුණ රටවල දැන් ප්‍රචාරකයන්ගේ මුළු එකතු 1,00,000කට වැඩියි.

මීට අවුරුදු 50කට කලින් පූර්ණකාලීන සේවේ තෝරගන්න යෙහෝවා දෙවියන් හුඟක් සහෝදරයන් මාර්ගයෙන් මට උදව් කළා. මං තාමත් ලැජ්ජාශීලී වුණත් යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න මං ඉගෙනගත්තා. ඉවසීම වර්ධනය කරගන්නත් තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නත් අප්‍රිකාවේදී මං ලබපු අද්දැකීම් මට උදව් වුණා. ආගන්තුක සත්කාරයට ළැදි, අමාරු ප්‍රශ්න තිබුණත් ඒවා දාරාගන්න, යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරන සහෝදර සහෝදරියන්ව මායි, ගේලුයි හුඟක් අගය කරනවා. යෙහෝවා දෙවියන් මට පෙන්නපු මහත් කරුණාව මං කවදාවත් අමතක කරන්නේ නැහැ. ඇත්තටම මට හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් මට ආශීර්වාද කළා.—ගීතා. 37:4.

^ 11 ඡේ. ඒ කාලේ ඒක “ඉන්ෆෝමන්ට්” කියලත් දැන් ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ කියලත් හඳුන්වනවා.

^ 23 ඡේ. “කිටාවාලා” කියන්නේ ස්වහීලී භාෂාවෙන් ආපු වචනයක්. ඒකෙන් අදහස් කළේ “අනිත් අයව යටත් කරගන්න, පාලනය කරන්න” කියන එකයි. ඒ සංවිධානයේ අරමුණ වුණේ බෙල්ජියම් පාලනයෙන් කොංගෝව නිදහස් කරගන්න එකයි. ඒකේ සාමාජිකයන් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන ලබාගෙන, ඒවා අධ්‍යයනය කරලා, ඒවා අනිත් අය අතරේ බෙදාහැරියා. එයාලට ඕනෙ වුණේ අපේ ප්‍රකාශනවල තිබුණ අදහස් එයාලගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න පාවිච්චි කරන්න. ඒ වගේම එයාලා කරපු මිථ්‍යා චාරිත්‍ර, එයාලගේ අනාචාර ගති පැවතුම් හරි කියලා පෙන්නන්න බයිබලේ සඳහන් ඉගැන්වීම් එයාලා වැරදි විදිහට පාවිච්චි කළා.