Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

හොඳ හා නරක හඳුනාගැනීම යන නමින් හැඳින්නුව ගහෙන් කෑවොත් ඒව මැරෙන්නේ නැහැ කියලා සාතන් කිව්වා. කෙනෙක් මිය ගියත් නොමැරි පවතින ආත්මයක් ගැන ඉගැන්වීමද සාතන් ඒ වෙලාවේ ඒවට හඳුන්වා දුන්නේ?

පේන විදිහට නැහැ.සාතන් ඒවට කිව්වේ නැහැ දෙවියන් කන්න එපා කියපු ගහෙන් ඒව කෑවොත් එයාගේ ශරීරය මැරුණත් එයා තුළ තියෙන නොපෙනන දෙයක් (අමරණීය ආත්මයක් කියලා සමහරු අද කියන දේ) වෙනත් තැනකට ගිහින් දිගටම ජීවත් වෙනවා කියලා. සර්පයා මාර්ගයෙන් සාතන් කිව්වේ ඒව ඒ ගහෙන් කෑවොත් එයා “කවදාවත් මිය යන්නේ නැහැ” කියලා. සාතන් ඒකෙන් අදහස් කළේ දෙවියන්ගේ පාලනයෙන් නිදහස් වෙලා ඒවට දිගටම ජීවත් වෙන්න පුළුවන් කියලයි. ඒ ජීවිතය එයා ඒ වෙද්දී පොළොවේ ගත කරමින් හිටපු ජීවිතේට වඩා හොඳ ජීවිතයක් කියලයි සාතන් ඇඟෙව්වේ.—උත්. 2:17; 3:3-5.

අමරණීය ආත්මයක් ගැන ඉගැන්වීම ඒදන් උයනේදී ආරම්භ වුණ දෙයක් නෙමෙයි නම් ඒක ආරම්භ වුණේ කවදාද? ඒක අපි හරියටම දන්නේ නැහැ. නෝවාගේ කාලේදී ඇති වුණ ජලගැල්මත් එක්ක බොරු නමස්කාරට සම්බන්ධ හැම දෙයක්ම පොළොවෙන් අයින් වුණා කියලා අපි දන්නවා. ජලගැල්මෙන් බේරුණේ නෝවා සහ එයාගේ පවුලේ අය විතරයි. එයාලා හැමෝම නමස්කාර කළේ සැබෑ දෙවියන්ට. ඒ නිසා බොරු ඉගැන්වීම් පතුරුවන්න කවුරුත් හිටියේ නැහැ.

එහෙමනම් අමරණීය ආත්මයක් ගැන ඉගැන්වීම ආරම්භ වෙන්න ඇත්තේ ජලගැල්මෙන් පස්සේ කාලෙක. බාබෙල් නුවරේදී දෙවියන් මිනිසුන්ගේ භාෂා අවුල් කළාම සෙනඟ ‘පොළොව පුරාම විසිරිලා’ ගියා. එහෙම විසිරිලා යද්දී මිනිසුන් තුළ නොමැරී පවතින දෙයක් තියෙනවා කියන විශ්වාසයත් එයාලා ගිය ගිය තැන්වලට පැතිරෙන්න ඇති. (උත්. 11:8, 9) ඒ බොරු ඉගැන්වීම පටන්ගත්තේ කවදා වුණත් ඒකට මුල පිරුවේ “බොරුවේ පියා” වන සාතන් කියලත් ඒ ඉගැන්වීම පොළොව පුරාම පැතිරුණු එක ගැන සාතන් ඉන්නේ සතුටින් කියලත් අපිට ස්ථිරයි.—යොහ. 8:44.