Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 51

ඔයා යෙහෝවා දෙවියන්ව කොයි තරම් හොඳින් හඳුනනවාද?

ඔයා යෙහෝවා දෙවියන්ව කොයි තරම් හොඳින් හඳුනනවාද?

“ඔබේ නාමය හඳුනන්නෝ ඔබ ගැන විශ්වාසයෙන් සිටිති. යෙහෝවා දෙවියනි, ඔබේ මඟ පෙන්වීම් පතන අයව ඔබ කිසිසේත් අත්නාරින්නෙහිය.”—ගීතා. 9:10.

ගීතිකාව 56 දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න

මේ ලිපියෙන් *

1-2. ඇන්ජෙලිටොගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන විදිහට අපි එක් එක් කෙනා කරන්න ඕනෙ මොකක්ද?

ඔයාගේ දෙමාපියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද? එහෙමයි කියලා ඔයාට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඉබේම ඇති වෙන්නේ නැහැ. දෙමාපියන් දෙවියන්ට සේවය කළත් නැතත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපි එක් එක් කෙනා වෑයමක් දරන්න ඕනේ.

2 සහෝදර ඇන්ජෙලිටොගේ අද්දැකීම බලන්න. එයාගේ පවුලේ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඒත් එයාට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා කියලා යෞවන කාලේදී එයාට දැනුණේ නැහැ. එයා මෙහෙම කියනවා. “පවුලේ අය යෙහෝවා දෙවියන්ට සේවේ කරපු නිසයි මාත් සේවේ කළේ.” ඒත් ඇන්ජෙලිටො තීරණය කළා බයිබලය කියවන්න, ඒ ගැන හොඳට හිතන්න වැඩිපුර කාලේ ගන්න ඕනෙ කියලා. දෙවියන්ට නිතරම යාච්ඤා කරන්නත් එයා පටන්ගත්තා. ඒක එයාට උදව් වුණේ කොහොමද? ඇන්ජෙලිටො මෙහෙම කියනවා. “මං තේරුම්ගත්තා මගේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන්ට ළං වෙන්න නම් මමම ඔහුව දැන හඳුන ගන්න ඕනෙ කියලා.” ඒ අද්දැකීම අපිව පොලඹවනවා මේ ප්‍රශ්න ගැන හිතන්න. දෙවියන් ගැන දැනගෙන ඉන්න එකයි ඔහුව දැන හඳුන ගන්න එකයි අතර තියෙන වෙනස මොකක්ද? දෙවියන්ව දැන හඳුන ගන්න පුළුවන් කොහොමද?

3. දෙවියන් ගැන දැනගෙන ඉන්න එකයි ඔහුව දැන හඳුන ගන්න එකයි අතර තියෙන වෙනස මොකක්ද?

3 දෙවියන්ගේ නම ගැන, ඔහු කරපු කියපු සමහර දේවල් ගැන දන්න නිසා අපි දෙවියන්ව හඳුනනවා කියලා හිතෙයි. ඒත් යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගන්න නම් අපි ඊට වඩා දෙයක් කරන්න ඕනේ. අපි ඔහු ගැනත් ඔහුගේ ගතිලක්ෂණ ගැනත් ඉගෙනගන්න කාලේ ගන්න ඕනේ. දෙවියන් දේවල් කියන්නේ, කරන්නේ ඇයි කියලා තේරුම්ගන්න අපිට පුළුවන් වෙන්නේ එතකොටයි. ඒක අපිට උදව් වෙනවා අපි හිතන, අපි කරන දේවල් ගැන දෙවියන් සතුටු වෙනවාද නැද්ද කියලා අවබෝධ කරගන්න. යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේ අපි අවබෝධ කරගත්තාම ඒකට අනුව අපි වැඩ කරන්න ඕනේ.

4. බයිබලේ සඳහන් ආදර්ශ ගැන බලන එක අපිට උදව් වෙන්නේ කොහොමද?

4 අපි යෙහෝවා දෙවියන්ව හඳුනගන්න පටන්ගද්දී සමහරු අපිට සමච්චල් කරයි. අපි රැස්වීම් යන්න පටන්ගත්තාම එයාලා අපිට තව වැඩියෙන් විරුද්ධවාදිකම් එල්ල කරයි. ඒත් අපි යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරනවා නම් ඔහු අපිව අත්හරින්නේ නැහැ. දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරද්දී අපි ඔහුත් එක්ක බැඳීමක් ඇති කරගන්න පටන්ගන්නවා. ඒ බැඳීම ජීවිත කාලෙටම තියෙන බැඳීමක්. අපිට යෙහෝවා දෙවියන්ව ඒ තරම් කිට්ටුවෙන් දැන හඳුන ගන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් කියලා මෝසෙස්ගේ සහ දාවිත් රජුගේ ජීවිතවලින් ඔප්පු වෙනවා. ඒ ආදර්ශ බලද්දී මේ ප්‍රශ්න දෙකට උත්තර හොයමු. එයාලා යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගත්තේ කොහොමද? එයාලගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

“නොපෙනෙන තැනැත්තාණන්ව” මෝසෙස් දැක්කා

5. මෝසෙස් තීරණය කළේ මොකක් කරන්නද?

5 යෙහෝවා දෙවියන්ට සේවය කරන්න මෝසෙස් තීරණය කළා. මෝසෙස්ට වයස 40ක් විතර වුණාම එයා තීරණය කළා “පාරාවෝගේ දුවගේ පුත්‍රයා” හැටියට ඉන්නවා වෙනුවට දෙවියන්ගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට සහය දෙන්න. (හෙබ්‍රෙ. 11:24) මෝසෙස් එදා අත්හැරියේ සමාජය හුඟක් උසස් කියලා සලකපු ජීවිතයක්. වහලුන් විදිහට හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ පැත්ත ගත්තාම පාරාවෝට එයා එක්ක හුඟක් කේන්ති යයි කියලා මෝසෙස් දැනන් හිටියා. පාරාවෝ බලවත් පාලකයෙක්. ඊජිප්තුවරුන් එයාව සැලකුවේ දෙවි කෙනෙක් විදිහට. එහෙම කෙනෙක්ට පිටුපාන්න මෝසෙස්ට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. මෝසෙස්ට එයාගේ ජීවිත කාලේ පුරාම යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න උදව් වුණේ ඒ විශ්වාසයයි.—හිතෝ. 3:5.

6. මෝසෙස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? මෝසෙස්ට වගේ අපිටත් වෙනවා අපි යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවාද කියන තීරණය ගන්න. දෙවියන්ට සේවය කරද්දී අපිට යම් දේවල් කැප කරන්න වෙයි. ඔහුව හඳුනගෙන නැති අයගෙන් එන විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්නත් වෙයි. ඒත් අපේ ආදරණීය තාත්තා ගැන විශ්වාසය තිබ්බොත් ඔහු අපිට උදව් කරනවා.

7-8. මෝසෙස් දිගටම ඉගෙනගත්තේ මොනවා ගැනද?

7 මෝසෙස් දිගටම යෙහෝවා දෙවියන්ගේ ගතිලක්ෂණ ගැන ඉගෙනගෙන දෙවියන් බලාපොරොත්තු වුණ දේ කළා. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන එන පැවරුම දෙවියන් මෝසෙස්ට දුන්නාම ඒක කරන්න එයාට හැකියාවක් නැහැ කියලා එයා හිතුවා. ඒ ගැන එයා කීප සැරයක්ම දෙවියන්ට කිව්වා. ඒ වෙලාවේ දෙවියන් මෝසෙස්ට අනුකම්පා කරලා එයාට අවශ්‍ය උදව් දුන්නා. (නික්. 4:10-16) ඒ නිසා මෝසෙස්ට පුළුවන් වුණා බය නැතුව පාරාවෝ ඉස්සරහට ගිහින් දෙවියන්ගේ විනිශ්චය පණිවිඩ කියන්න. රතු මුහුද ළඟදී ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කරන්නත් පාරාවෝව සහ එයාගේ හමුදාව විනාශ කරන්නත් යෙහෝවා දෙවියන් ඔහුගේ බලය යොදාගත්ත විදිහ මෝසෙස් දැක්කා.—නික්. 14:26-31; ගීතා. 136:15.

8 මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනාවට පස්සේ එයාලා දිගින් දිගටම මැසිවිලි නැඟුවා. ඒත් යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් එක්ක ඉවසීමෙන් වැඩ කරපු විදිහ මෝසෙස් දැක්කා. (ගීතා. 78:40-43) මෝසෙස් කියපු දේ අහලා ගත්ත තීරණයක් වෙනස් කරන්න තරම් දෙවියන් නිහතමානී වුණ විදිහත් එයා දැක්කා.—නික්. 32:9-14.

9. හෙබ්‍රෙව් 11:27 අනුව මෝසෙස්ට යෙහෝවා දෙවියන් එක්ක තිබුණේ මොන වගේ බැඳීමක්ද?

9 ඊජිප්තුවෙන් සෙනඟව නිදහස් කරගෙන ආවාට පස්සේ ගත වුණ කාලේදී දෙවියන් එක්ක මෝසෙස්ට තිබුණ බැඳීම හුඟක් ශක්තිමත් වුණා. කොච්චරද කියනවා නම් මෝසෙස් වැඩ කළේ දෙවියන්ව දකිනවා හා සමාන විශ්වාසයකින්. (හෙබ්‍රෙව් 11:27 කියවන්න.) ඒ දෙන්නා අතරේ තිබුණ බැඳීම ගැන බයිබලේ මෙහෙම කියනවා. “මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය.”—නික්. 33:11.

10. යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

10 අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගන්න නම් අපි ඔහුගේ ගතිලක්ෂණ ගැන ඉගෙනගෙන විතරක් මදි. ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේ කරන්නත් ඕනේ. ‘සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගැලවීම ලබාගන්නත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගන්නත්’ අපි උදව් කරයි කියලා දෙවියන් අද අපෙන් බලාපොරොත්තු වෙනවා.—1 තිමෝ. 2:3, 4.

11. අනිත් අයට දෙවියන් ගැන කියලා දෙන එක දෙවියන්ව දැන හඳුන ගන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

11 අනිත් අයට යෙහෝවා දෙවියන් ගැන කියලා දෙද්දී අපිත් ඔහුව දැන හඳුන ගන්නවා. උදාහරණෙකට දෙවියන් ගැන දැනගන්න ආසාවෙන් ඉන්න අයව හොයාගන්න දෙවියන් අපිට උදව් කරද්දී ඔහුට මිනිසුන් ගැන තියෙන අනුකම්පාව අපි දකිනවා. (යොහ. 6:44; ක්‍රියා 13:48) අපිත් එක්ක පාඩම් කරන අය නරක පුරුදු අත්හැරලා එයාලගේ ජීවිත දෙවියන් කැමති විදිහට වෙනස් කරගන්නවා දකිද්දී බයිබලේට කොයි තරම් බලයක් තියෙනවාද කියලා අපිට තේරෙනවා. (කොලො. 3:9, 10) අපේ ප්‍රදේශයේ ඉන්න මිනිසුන් ළඟට දෙවියන් අපිව ආයේ ආයේ යවද්දී ඔහු එයාලා එක්ක කොයි තරම් ඉවසීමෙන් වැඩ කරනවාද කියලා අපිට පේනවා.—රෝම 10:13-15.

12. නික්මයාම 33:13 අනුව මෝසෙස් කරපු ඉල්ලීම මොකක්ද? ඒ ඇයි?

12 යෙහෝවා දෙවියන් එක්ක එයාට තිබුණ බැඳීම මෝසෙස් වටින එකක් විදිහට සැලකුවා. දෙවියන් බලවත් ක්‍රියා කරන්න මෝසෙස්ව පාවිච්චි කළා. ඒ නිසා එයා දෙවියන්ව දැන හඳුන ගෙන හිටියා. ඒත් දෙවියන්ව තවත් හොඳින් දැන හඳුන ගන්න උදව් කරන්න කියලා එයා දෙවියන්ගෙන් ඉල්ලුවා. (නික්මයාම 33:13 කියවන්න.) ඒ ඉල්ලීම කරද්දී මෝසෙස්ට වයස 80කට වඩා වැඩියි. ඒත් එයා දැනන් හිටියා දෙවියන් ගැන එයාට දැනගන්න තව ගොඩක් දේවල් තියෙනවා කියලා.

13. යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

13 අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? අපි යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පටන් අරන් කොච්චර කාලයක් ගිහින් තිබුණත් දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම රැකගන්න අපි දිගටම වෑයමක් දරන්න ඕනේ. යාච්ඤාවෙන් දෙවියන් එක්ක කතා කරන එක ඒ බැඳීම අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් එක විදිහක්.

14. දෙවියන්ව හඳුනගන්න යාච්ඤාව හුඟක් වැදගත් කියන්නේ ඇයි?

14 කිට්ටු යාළුවන් නිතරම කතාබහ කරනවා. දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න නම් නිතරම යාච්ඤාවෙන් ඔහුට කතා කරන්න. ඔයා හිතන, ඔයාට හැඟෙන දේවල් ගැන බය නැතුව දෙවියන්ට කියන්න. (එෆී. 6:18) ක්‍රිස්ටා මෙහෙම කියනවා. “මම යාච්ඤාවෙන් මගේ හිතේ තියෙන දේවල් දෙවියන්ට කියද්දී, ඔහු මට උදව් කරන විදිහ දකිද්දී ඒ හැම වතාවකම ඔහු ගැන මට තියෙන ආදරේ, විශ්වාසය වැඩි වෙනවා. මගේ යාච්ඤාවලට යෙහෝවා දෙවියන් උත්තර දෙද්දී යෙහෝවා දෙවියන් මගේ තාත්තා, මගේ යාළුවා කියලා මට දැනෙනවා.”

යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරපු කෙනෙක්

15. දාවිත් රජ ගැන යෙහෝවා දෙවියන් කිව්වේ මොකක්ද?

15 දාවිත් රජ ආවේ දෙවියන්ට කැප වුණ ජාතියකින්. ඒත් එයා දෙවියන්ට නමස්කාර කරන්න තීරණය කළේ එයා අවට හිටපු අය දෙවියන්ට නමස්කාර කරපු නිසා නෙමෙයි. දෙවියන් එක්ක එයා බැඳීමක් ඇති කරගත්තා. යෙහෝවා දෙවියන් එයාට හුඟක් ආදරේ කළා. දාවිත් “මාගේ සිත සතුටු කරන මිනිසෙක්” කියලා දෙවියන් කිව්වා. (ක්‍රියා 13:22) දාවිත්ට දෙවියන් එක්ක එච්චර කිට්ටු බැඳීමක් ඇති වුණේ කොහොමද?

16. නිර්මාණ දිහා බලලා දාවිත් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගත්තේ මොනවාද?

16 නිර්මාණවලින් දාවිත් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගත්තා. දාවිත් තරුණ කාලේදී එයාගේ තාත්තාගේ බැටළුවන්ව බලාගන්න දවසේ වැඩි කාලයක් එළිමහනේ ගත කළා. දෙවියන්ගේ නිර්මාණ ගැන දාවිත් හිතන්න ඇත්තේ ඒ වෙලාවලදී වෙන්න ඇති. උදාහරණෙකට රෑ අහස දිහා බලද්දී තරු දහස් ගාණක් දාවිත් දැක්කා. ඒත් නිකම්ම තරු දිහා බලලා එයා නතර වුණේ නැහැ. ඒවා නිර්මාණය කරපු දෙවියන්ගේ ගතිලක්ෂණ එයා තේරුම්ගන්න උත්සාහ කළා. එයා මෙහෙම ලිව්වා. “අහස, දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය, ඔහු තම දෑතින් නිර්මාණය කළ දේට සාක්ෂි දෙයි.” (ගීතා. 19:1, 2) මිනිසුන්ව දෙවියන් කොයි තරම් පුදුමාකාර විදිහටද නිර්මාණය කරලා තියෙන්නේ කියලා දාවිත් හිතුවා. යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාව දාවිත් ඒකෙන් තේරුම්ගත්තා. (ගීතා. 139:14) දෙවියන්ගේ නිර්මාණ ගැන හිතද්දී දාවිත්ට තේරුණා දෙවියන් එයාට වඩා ගොඩක් උසස් කියලා.—ගීතා. 139:6.

17. නිර්මාණ ගැන කාලේ අරන් හිතද්දී අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

17 අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන ලස්සන දේවල් දිහා බලන්න කාලේ ගන්න. ඒවා කොයි තරම් පුදුමාකාර විදිහටද නිර්මාණය කරලා තියෙන්නේ කියලා හිතන්න. ඔයා අවට දකින්න තියෙන ගස් වැල්වලින්, සතුන්ගෙන්, මිනිසුන්ගෙන් ඔයාට දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හැමදාම හිතන්න. එතකොට හැම දවසකම දෙවියන් ගැන අලුත් දෙයක් ඔයා ඉගෙනගනයි. (රෝම 1:20) දෙවියන් ගැන ඔයාට තියෙන ආදරේ දවසින් දවස වැඩි වෙයි.

18. ගීතාවලිය 18 පෙන්නලා තියෙන විදිහට දාවිත් තේරුම්ගත්තේ මොකක්ද?

18 යෙහෝවා දෙවියන් එයාට උදව් කරනවා කියලා දාවිත් තේරුම්ගත්තා. දාවිත් බැටළුවන්ව සිංහයෙක්ගෙන් සහ වලහෙක්ගෙන් ආරක්ෂා කරපු වෙලාවේ එයා තේරුම්ගත්තා ඒක කරන්න එයාට පුළුවන් වුණේ යෙහෝවා දෙවියන් උදව් කරපු නිසයි කියලා. යෝධ ගොලියත්ව පරාජය කළාම දාවිත් තේරුම්ගත්තා එයාට මඟ පෙන්නුවේ යෙහෝවා දෙවියන් කියලා. (1 සාමු. 17:37) එයාව මරන්න හොයපු සාවුල් රජුගෙන් බේරුණාම එයා පිළිගත්තා එයාව ආරක්ෂා කළේ යෙහෝවා දෙවියන් කියලා. (ගීතා. 18, හැඳින්වීම) උඩඟු කෙනෙක් නම් හිතයි ඒ හැම දෙයක්ම තමන්ගේ හැකියාවෙන් කළා කියලා. ඒත් දාවිත් නිහතමානී කෙනෙක්. ඒ නිසා එයාට පුළුවන් වුණා එයාට උදව් කරන්නේ යෙහෝවා දෙවියන් කියලා තේරුම්ගන්න.—ගීතා. 138:6.

19. දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

19 අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? අපි යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලලා විතරක් මදි. දෙවියන් අපිට උදව් කරන අවස්ථා, විදි තේරුම්ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. අපි නිහතමානී නම් අපි පිළිගන්නවා අපිට හැම දේම අපේ ශක්තියෙන් කරන්න බැහැ කියලා. අපිට කරන්න බැරි දේ කරන්න අපිට උදව් කරන්නේ දෙවියන් කියලත් අපි තේරුම්ගන්නවා. යෙහෝවා දෙවියන්ගේ උදව් අපි අද්දකින හැම අවස්ථාවකදීම ඔහුත් එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් වෙනවා. අවුරුදු ගාණක් දෙවියන්ට සේවය කරන සහෝදර අයිසැක් මෙහෙම කියනවා. “මගේ ජීවිතේ දිහා හැරිලා බලද්දී මම බයිබලේ පාඩම් කරන්න පටන්ගත්ත කාලේ ඉඳන් අද වෙන කල් යෙහෝවා දෙවියන් මට උදව් කරලා තියෙන විදිහ පේනවා. ඔහු මට සැබෑ කෙනෙක්.”

20. දාවිත්ට යෙහෝවා දෙවියන් එක්ක තිබුණ බැඳීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

20 යෙහෝවා දෙවියන්ගේ ගතිලක්ෂණ දාවිත් අනුකරණය කළා. දෙවියන් අපිව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ අනුකරණය කරන්න පුළුවන් විදිහට. (උත්. 1:26) අපි ඔහුගේ ගතිලක්ෂණ ගැන ඉගෙනගන්න තරමට ඔහුව තව හොඳින් අනුකරණය කරන්න අපිට පුළුවන්. දාවිත් යෙහෝවා දෙවියන්ව හොඳින් දැන හඳුන ගෙන හිටපු නිසා අනිත් අය එක්ක වැඩ කරද්දී දෙවියන්ව ආදර්ශයට ගන්න එයාට පුළුවන් වුණා. මේ උදාහරණේ බලන්න. දාවිත් බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදිලා පස්සේ එයාගේ පුරුෂයාව මරන්න සැලසුම් කළාම එයා කළේ බරපතළ පාපයක්. (2 සාමු. 11:1-4, 15) ඒත් දෙවියන් දාවිත්ට දයාව පෙන්නුවා. මොකද දාවිත් දෙවියන්ව අනුකරණය කරලා අනිත් අයට දයාව පෙන්නලා තිබුණා. දාවිත්ට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තිබුණ නිසයි ඊශ්‍රායෙල්වරුන්ගේ ආදරේ දිනාගන්න එයාට පුළුවන් වුණේ. ඊශ්‍රායෙලයේ හිටපු අනිත් රජවරුන්ට ආදර්ශයක් විදිහට දෙවියන් යොදාගත්තෙත් දාවිත්ව.—1 රාජා. 15:11; 2 රාජා. 14:1-3.

21. එෆීස 4:24 සහ 5:1 අනුව අපි ‘දෙවියන්ව අනුකරණය කරද්දී’ වෙන්නේ මොකක්ද?

21 අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? අපි “දෙවිව අනුකරණය කරන්නන්” වෙන්න ඕනේ. එහෙම කරද්දී ඒකෙන් අපිට ප්‍රයෝජන ලැබෙනවා වගේම දෙවියන්ව තව හොඳින් දැන හඳුන ගන්න පුළුවන් වෙනවා. දෙවියන්ව අනුකරණය කරද්දී අපි දෙවියන්ගේ දරුවෝ කියලත් ඔප්පු වෙනවා.—එෆීස 4:24; 5:1 කියවන්න.

යෙහෝවා දෙවියන්ව හොඳින් හඳුනගන්න

22-23. යෙහෝවා දෙවියන් ගැන අපි ඉගෙනගන්න දේවල් අදාළ කරගද්දී වෙන්නේ මොකක්ද?

22 අපි බලපු විදිහට දෙවියන්ගේ නිර්මාණවලින් සහ බයිබලෙන් ඔහු ගැන ඉගෙනගන්න අපිට පුළුවන්. මෝසෙස්, දාවිත් වගේ අපිට ආදර්ශයට ගන්න පුළුවන් විශ්වාසවන්ත සේවකයන් හුඟදෙනෙක් ගැන බයිබලේ තියෙනවා. ඔහුව දැන හඳුන ගන්න අවශ්‍ය දේවල් දෙවියන් අපිට දීලා තියෙනවා. ඒ දේවල් උදව්වට අරන් දෙවියන්ව හොඳින් දැන හඳුන ගන්න එක අපේ වගකීමක්.

23 සදාකාලෙටම වුණත් අපිට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන්. (දේශ. 3:11) වැදගත් වෙන්නේ අපි දෙවියන් ගැන කොච්චර දේවල් දන්නවාද කියන එක නෙමෙයි. ඒ දැනුම අපි පාවිච්චි කරන්නේ කොහොමද කියන එකයි. අපි ඉගෙනගන්න දේවල් අදාළ කරගෙන අපේ ආදරණීය තාත්තාව අනුකරණය කරනවා නම් දෙවියන් අපිට තවත් ළං වෙනවා. (යාකො. 4:8) දෙවියන්ව හඳුනගන්න උත්සාහ කරන අයව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ කියලා ඔහුම සහතික වෙනවා.

ගීතිකාව 80 “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

^ 5 ඡේ. හුඟදෙනෙක් දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒත් එයාලා දෙවියන්ව හඳුනගෙන නැහැ. යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඔහු එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නේ කොහොමද කියලා අපිට මෝසෙස්ගෙන් සහ දාවිත්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලනවා.