Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යම් කාරණයක් ස්ථිර කරන්න සාක්ෂිකරුවන් දෙන්නෙක්වත් ඉන්න ඕනෙ කියලා බයිබලේ කියනවා. (ගණන්. 35:30; ද්වි. 17:6; 19:15; මතෙ. 18:16; 1 තිමෝ. 5:19) ඒත් නීතියට අනුව විවාහ ගිවිසගෙන හිටපු තරුණියක්ව ‘කෙතකදී’ පුරුෂයෙක් දූෂණය කළොත් ඒ පුරුෂයාව සලකන්නේ අනාචාරයේ හැසිරුණ කෙනෙක් විදිහටයි. ඒත් ඒ තරුණියව සලකන්නේ නිදොස් කෙනෙක් විදිහට. ඒ පුරුෂයා ඒ තරුණියව දූෂණය කරනවා කවුරුත් දැක්කේ නැතත් පුරුෂයාව වරදකරුවෙක් හැටියටත් තරුණියව නිදොස් කෙනෙක් හැටියටත් සැලකුවේ ඇයි?

ද්විතීය කතාව 22:25-27 සඳහන් නීතියෙන් ඔප්පු කරන්න හැදුවේ පුරුෂයා වරදකරුවෙක් කියන දේ නෙමෙයි. මොකද ඔහුව කොහොමත් සැලකුවේ වරදකරුවෙක් හැටියටයි. ඒ නීතිය විශේෂයෙන්ම අවධානය දුන්නේ තරුණියගේ නිදොස්කම ඔප්පු කරන්නයි. අවට පද බලන්න.

ඊට කලින් තියෙන ඡේදවල විවාහ ගිවිසගෙන ඉන්න තරුණියක් එක්ක “නුවරේදී” ලිංගික සම්බන්ධකම් පවත්වපු පුරුෂයෙක් ගැන කතා කරනවා. ඒ තරුණිය විවාහ ගිවිසගෙන හිටපු නිසා ඇයව සැලකුවේ විවාහක කෙනෙක් හැටියටයි. ඒ නිසා ඒ පුරුෂයා අනාචාරය කියන වරදට දඬුවම් ලබනවා. තරුණිය ගැන මොනවාද කියන්න පුළුවන්? “ඇය කෑගසා නුවරේ සිටි අයට ඒ ගැන හෙළි නොකළ නිසා” ඇයත් වරදකරුවෙක් වෙනවා. මොකද ඇය කෑගැසුවා නම් අනිත් අයට ඒක ඇහිලා ඇයව බේරගන්න තිබුණා. ඒත් ඇය කෑගැසුවේ නැති නිසා ඇයත් අනාචාරය කියන වරදට දඬුවම් ලබනවා.—ද්වි. 22:23, 24.

නීතියේ ඊළඟට සඳහන් වෙන්නේ වෙනස් අවස්ථාවක් ගැනයි. “යම් පුරුෂයෙක් වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වීමට ගිවිසගෙන සිටින තරුණියක් කෙතක සිටිනවා දැක එහිදී ඇයට බලහත්කාරකම් කළොත් මරා දැමිය යුත්තේ ඒ පුරුෂයාව පමණයි. තරුණියට කිසිම දඬුවමක් දෙන්න එපා. මරණ දඬුවම ලබන්න තරම් වරදක් ඇය අතින් සිදු වී නැහැ. මන්ද ඔහු ඇයට කළේ තවත් කෙනෙකුගේ ජීවිතය නැති කරනවා හා සමාන දෙයක්. වෙනත් කෙනෙකු හා විවාහ වීමට ගිවිසගෙන සිටි මේ තරුණියට එම පුරුෂයා බලහත්කාරකම් කළේ කෙතකදී නිසා ඇය කෑගැසුවත් ඇයව බේරගන්න කිසිම කෙනෙක් එහි සිටියේ නැහැ.”—ද්වි. 22:25-27.

ඒ අවස්ථාවේදී සැකයේ වාසිය තරුණියට ලැබුණා. ඒ ඇයි? ඒ තරුණිය කෑගහන්න ඇති කියලත් ‘ඇයව බේරගන්න කිසිම කෙනෙක් එහි සිටියේ නැහැ’ කියලත් විනිශ්චයකරුවන් විශ්වාස කළා. ඒ නිසා අනාචාරයේ යෙදුණ කෙනෙක් හැටියට ඇයව සැලකුවේ නැහැ. ඒත් විවාහ ගිවිසගෙන හිටපු තරුණියකට ‘බලහත්කාරකම්’ කරපු නිසා පුරුෂයා දූෂණය කිරීම සහ අනාචාරයේ යෙදීම කියන වැරදිවලට වරදකරු වෙනවා.

ඒ නීතිය විශේෂයෙන්ම අවධානය දුන්නේ තරුණියගේ නිර්දෝෂකම ඔප්පු කරන්න වුණත් දූෂණය කිරීම සහ අනාචාරයේ යෙදීම කියන වැරදිවලට ඒ පුරුෂයා වරදකරුවෙක් කියලා සඳහන් වෙන දේ නිවැරදියි. විනිශ්චයකරුවන් ‘ඒ කාරණය ගැන හොඳින් සොයා බලන්න’ ඇති කියලත් යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති සැලකිල්ලට අරන් තීන්දුවක් දෙන්න ඇති කියලත් අපිට නිසැක වෙන්න පුළුවන්.—ද්වි. 13:14; 17:4; නික්. 20:14.