Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 52

දෙමාපියෙනි, යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට කියලා දෙන්න

දෙමාපියෙනි, යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට කියලා දෙන්න

“දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි.”—ගීතා. 127:3.

ගීතිකාව 134 දරුවන් දෙවිගෙන් ලද සම්පතක්

මේ ලිපියෙන් *

1. යෙහෝවා දෙවියන් දෙමාපියන්ට දීලා තියෙන වගකීම මොකක්ද?

යෙහෝවා දෙවියන් මුල් යුවළ නිර්මාණය කළේ දරුවන් ඇතිදැඩි කරන ආසාව ඇතුවයි. බයිබලේ කියනවා “දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි” කියලා. (ගීතා. 127:3) ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? හිතන්න, ඔයාගේ යාළුවෙක් ලොකු මුදලක් ඔයාට දීලා කියනවා ඒක පරෙස්සම් කරන්න කියලා. යාළුවා ඔයාව විශ්වාස කරලා ඒ තරම් මුදලක් පරෙස්සම් කරන්න ඔයාට දුන්න එක ගැන ඔයාට ලොකු අගයක් දැනෙයි. ඒත් ඒ මුදල් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා පොඩි බයකුත් ඔයාට දැනෙයි. අපේ හොඳම යාළුවා වන යෙහෝවා දෙවියන් මුදල්වලට වඩා ගොඩක් වටින දෙයක් දෙමාපියන්ට බලාගන්න දීලා තියෙනවා. ඒ එයාලගේ දරුවන්. දරුවන්ව ආදරෙන් රැකබලා ගන්න වගකීම දෙවියන් දෙමාපියන්ට දීලා තියෙනවා.

2. අපි බලන්නේ මොන ප්‍රශ්නද?

2 විවාහක යුවළක් දරුවන්ව හදනවාද එහෙමනම් ඒ කොයි කාලේදීද කියන තීරණය ගන්න ඕනෙ කවුද? දරුවන්ට එයාලගේ ජීවිතේ සතුටින් ගත කරන්න දෙමාපියන්ට උදව් කරන්න පුළුවන් කොහොමද? යුවළකට ඥානවන්ත තීරණ ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් අපි දැන් බලමු.

යුවළක් ගන්න තීරණයට ගරු කරන්න

3. (අ) දරුවන්ව හදනවාද කියන තීරණය ගන්න ඕනෙ කවුද? (ආ) යුවළකගේ පවුලේ අය සහ යාළුවෝ මතක තියාගන්න ඕනෙ බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

3 සමහර රටවල ඉන්න අය හිතන්නේ යුවළක් විවාහ වුණ අලුතම දරුවන් හදන්න ඕනෙ කියලයි. ඒ නිසා පවුල්වල අය, යාළුවෝ ඉක්මනින්ම දරුවෝ හදන්න කියලා යුවළකට බලපෑම් කරන්න ඉඩ තියෙනවා. ආසියාවේ ඉන්න සහෝදර ජෙත්‍රෝ මෙහෙම කියනවා. “සභාවේ දරුවන් ඉන්න සමහර සහෝදර සහෝදරියන් දරුවන් නැති විවාහක යුවළයන්ට දරුවන් හදන්න කියලා නිතර නිතර කියනවා.” ආසියාවේ ඉන්න ජෙෆ්රි කියන සහෝදරයා මෙහෙම කියනවා. “සමහරු දරුවෝ නැති යුවළයන්ට කියනවා එයාලා වයසට ගියාම එයාලව බලාගන්න කවුරුත් නැති වෙයි කියලා.” දරුවන් හදනවාද නැද්ද කියන තීරණය ගන්න ඕනෙ විවාහක යුවළක්. ඒක එයාලගේ වගකීමක්. (ගලා. 6:5) පවුලේ අය, යාළුවෝ සමහරවිට එහෙම බල කරනවා ඇත්තේ අලුත බැඳපු යුවළගේ සතුට ගැන හිතලා වෙන්න පුළුවන්. ඒත් හැමෝම මතක තියාගන්න ඕනෙ දරුවන් හදනවාද නැද්ද කියන තීරණය ගන්න ඕනෙ ඒ යුවළ කියලා.—1 තෙස. 4:11.

4-5. යුවළක් කතා කරන්න ඕනෙ මොන කාරණා 2 ගැනද? ඒ ගැන කතා කරන්න හොඳම අවස්ථාව මොකක්ද? ඒ ඇයි?

4 යුවළක් දරුවන් හදනවා කියලා තීරණය කළොත් එයාලා මේ වැදගත් කාරණා 2 ගැන කතාබහ කරන්න ඕනේ. (1) එයාලා දරුවෝ හදන්නේ කොයි කාලේදීද? (2) දරුවෝ කීදෙනෙක්ව හදනවාද? ඒ දේවල් ගැන කතා කරන්න හොඳම අවස්ථාව මොකක්ද? ඒ කාරණා 2 ගැන කතා කරන එක වැදගත් ඇයි?

5 දරුවෝ හදන එක ගැන කතා කරලා තීරණයක් ගන්න ඕනෙ යුවළක් විවාහ වෙන්න කලින්. ඒ ඇයි? මොකද ඒ කාරණා ගැන දෙන්නාම එකඟ වෙන එක හරිම වැදගත්. ඒ වගේම ඒ තරම් බැරෑරුම් වගකීමක් දරන්න එයාලා සූදානම්ද කියලා හිතලා බලන එකත් වැදගත්. සමහර යුවළයන් තීරණය කරලා තියෙනවා විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යන කල් දරුවෝ හදන්නේ නැහැ කියලා. මොකද දරුවෝ හැදුවාම දරුවන් වෙනුවෙන් ලොකු කාලයක්, ශක්තියක් වැය කරන්න එයාලට වෙනවා. දරුවෝ හදන එක ටික කාලෙකට කල් දාන එකෙන් විවාහ ජීවිතේට හොඳින් හුරු වෙන්නත් දෙන්නාට දෙන්නා තව ළං වෙන්නත් ඒ කාලේ පාවිච්චි කරන්න එයාලට පුළුවන්.—එෆී. 5:33.

6. අපි ජීවත් වෙන්නේ අසීරු කාලෙක නිසා සමහර යුවළයන් තීරණය කරලා තියෙන්නේ මොකක්ද?

6 තවත් අය තීරණය කරලා තියෙනවා නෝවාගේ පුත්තු තුන්දෙනාව සහ එයාලගේ භාර්යාවන් තුන්දෙනාව ආදර්ශයට ගන්න. එයාලා විවාහ වෙලා කාලයක් යන කල් දරුවෝ හැදුවේ නැහැ. (උත්. 6:18; 9:18, 19; 10:1; 2 පේතෘ. 2:5) යේසුස් කිව්වා අපි ජීවත් වෙන කාලේ වෙන දේවල් “නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි” කියලා. අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” කියලා කිසිම සැකයක් නැහැ. (මතෙ. 24:37; 2 තිමෝ. 3:1) ඒ නිසා සමහර යුවළයන් තීරණය කරලා තියෙනවා දරුවන් හදන එක කාලෙකට කල් දාන්න. එතකොට එයාලට යෙහෝවා දෙවියන් වෙනුවෙන් වැඩි සේවයක් කරන්න කාලේ දෙන්න පුළුවන්.

දරුවන් හදනවාද හදනවා නම් කීදෙනෙක්ද කියලා තීරණය කරද්දී ඥානවන්ත යුවළයන් “වියදම ගණන් බලනවා” (7 ඡේදය බලන්න) *

7. ලූක් 14:28, 29 සහ හිතෝපදේශ 21:5 සඳහන් ප්‍රතිපත්ති යුවළකට උදව් වෙන්නේ කොහොමද?

7 දරුවන් හදනවාද හදනවා නම් ඒ කීදෙනෙක්ද කියලා තීරණය කරද්දී ඥානවන්ත යුවළක් “වියදම ගණන් බලනවා.” (ලූක් 14:28, 29 කියවන්න.) දරුවන් ඉන්න යුවළයන් දන්නවා දරුවෝ වෙනුවෙන් සෑහෙන මුදලක් වගේම ලොකු කාලයක්, ශක්තියක් වැය කරන්න වෙනවා කියලා. ඒ නිසා යුවළක් මේ ප්‍රශ්න ගැන හිතන එක වැදගත්. ‘පවුලට අත්‍යවශ්‍යම දේවල් මිල දී ගන්න අපි දෙන්නාටම රැකියාවක් කරන්න වෙයිද? අපේ පවුලට අත්‍යවශ්‍යම දේවල් මොනවාද කියන දේ ගැන අපි දෙන්නා එකඟ වෙනවාද? දෙන්නාටම රස්සා කරන්න වුණොත් දරුවෝ බලාගන්නේ කවුද? එතකොට දරුවෝ හිතන්න, දේවල් කරන්න ඉගෙනගන්නේ කාගෙන්ද?’ ඒ ප්‍රශ්න ගැන හොඳින් කතා කරලා තීරණ ගද්දී යුවළක් අදාළ කරගන්නේ හිතෝපදේශ 21:5 (කියවන්න.) තියෙන ප්‍රතිපත්තියයි.

ආදරණීය සැමියෙක් දරුවන්ව බලාගන්න බිරිඳට සහය දෙනවා (8 ඡේදය බලන්න)

8. යුවළක් බලාපොරොත්තු වෙන්න ඕනෙ මොන වගේ අභියෝගද? ආදරණීය සැමියෙක් කරන්නේ මොනවාද?

8 දරුවෙක් වෙනුවෙන් කාලය සහ ශ්‍රමය අම්මායි, තාත්තායි දෙන්නාම දෙන්න ඕනේ. යුවළක් ළඟ ළඟ දරුවන් කීපදෙනෙක්වම හැදුවොත් ඒ එක් එක් දරුවා වෙනුවෙන් අවධානය දෙන එක යුවළකට ලොකු අභියෝගයක් වෙයි. ඒක මනසට ලොකු බරක් කියලා ඒ වගේ දරුවෝ කීපදෙනෙක්ම ඉන්න දෙමාපියන් කියනවා. අම්මාට දැනෙන වෙහෙස නිසා අධ්‍යයනය කරන්න, යාච්ඤා කරන්න, නිතිපතා දේශනා සේවයේ හවුල් වෙන්න ශක්තියක් නැහැ කියලා එයාට දැනෙයි. ඒ වගේම රැස්වීම්වලට ගිහින් හොඳින් අවධානය දෙන එක, ඒ තොරතුරුවලින් ප්‍රයෝජන ගන්න එක එයාට අභියෝගයක් වෙයි. හොඳ සැමියෙක් ගෙදරදී වගේම රැස්වීම්වලදීත් දරුවන්ව බලාගන්න බිරිඳට සහයෝගය දෙනවා. උදාහරණෙකට එයාට පුළුවන් ගෙදරදොරේ වැඩවලට බිරිඳට උදව් කරන්න. හැම සතියකම පවුලේ නමස්කාරයෙන් හැමෝටම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදිහට ඒක සැලසුම් කරන්න එයා උපරිමය කරනවා. ඒ වගේම එයා පවුලේ අය එක්ක නිතිපතා දේශනා සේවයේ හවුල් වෙනවා.

යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න

9-10. දරුවන්ට උදව් කරන්න නම් දෙමාපියන් කරන්න ඕනෙ මොනවාද?

9 යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට කියලා දෙන්න දෙමාපියන්ට කරන්න පුළුවන් සමහර දේවල් මොනවාද? මේ සමාජයේ නරක බලපෑම්වලින් දරුවන්ව ආරක්ෂා කරගන්න එයාලට පුළුවන් කොහොමද? දෙමාපියන්ට කරන්න පුළුවන් දේවල් කීපයක් බලන්න.

10 යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. සැම්සන්ගේ දෙමාපියන් වුණ මානෝවා සහ එයාගේ බිරිඳ දෙමාපියන්ට හොඳ ආදර්ශයක්. දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තාම ඒ දරුවාව ඇතිදැඩි කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න කියලා මානෝවා දෙවියන්ගෙන් ඉල්ලුවා.

11. විනිශ්චයකරුවෝ 13:8 පෙන්නන විදිහට මානෝවාව ආදර්ශයට ගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

11 බොස්නියා සහ හර්සගොවිනාවල ඉන්න නිහාඩ් සහ අල්මා මානෝවාව ආදර්ශයට ගත්ත යුවළක්. එයාලා මෙහෙම කියනවා. “මානෝවා වගේ අපිත් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවා හොඳ දෙමාපියන් වෙන්න අපිට උදව් කරන්න කියලා. බයිබලෙන්, අපේ ප්‍රකාශනවලින්, රැස්වීම්වලින් සහ සමුළුවලින් යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දුන්නා.”—විනිශ්චයකරුවෝ 13:8 කියවන්න.

12. යෝසෙප් සහ මරියා එයාලගේ දරුවන්ට තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

12 හොඳ ආදර්ශයක් වෙන්න. ඔයා කියන දේවල් වැදගත්. ඒත් ඔයාගේ ආදර්ශය දරුවන්ට ඊට වඩා වැදගත්. යෝසෙප් සහ මරියා යේසුස් ඇතුළුව එයාලගේ දරුවන්ට හොඳ ආදර්ශයක් තිබ්බා. පවුලේ අවශ්‍යතා සපයන්න යෝසෙප් මහන්සි වෙලා වැඩ කළා. ඒ වගේම දෙවියන්ට කරන නමස්කාරය ගැන හිතේ ලොකු අගයක් ඇති කරගන්න එයා දරුවන්ට උදව් කළා. (ද්වි. 4:9, 10) “සෑම අවුරුද්දකදීම” පාස්කු උත්සවය පවත්වන්න යෙරුසලමට යද්දී පවුලේ අයවත් අරන් යන්න ඕනෙ කියලා නීතියේ සඳහන් වුණේ නැතත් යෝසෙප් ඒක කළා. (ලූක් 2:41, 42) ඒ වගේ දුර, කාලය, මුදල් වැය වෙන ගමනක් පවුලේ හැමෝවම අරන් යන එක අමාරුයි කියලා ඒ කාලේ හිටපු සමහර තාත්තලා හිතන්න ඇති. ඒත් යෝසෙප් දෙවියන්ට කරන නමස්කාරය ගොඩක් වටින එක්ක විදිහට සැලකුවා වගේම එහෙම සලකන්න දරුවන්ටත් ඉගැන්නුවා. මරියාටත් ශුද්ධ ලියවිලි ගැන හොඳ අවබෝධයක් තිබුණා. එයා කියපු කරපු දේවල් එයාගේ දරුවන්ට දේවවචනය ගැන ඇල්මක් ඇති කරගන්න උදව් වෙන්න ඇති.

13. යුවළක් යෝසෙප්ව සහ මරියාව ආදර්ශයට ගත්තේ කොහොමද?

13 කලින් සඳහන් කරපු නිහාඩ්ටයි, අල්මාටයි ඕනෙ වුණේ යෝසෙප්ව සහ මරියාව ආදර්ශයට ගන්නයි. යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න එයාලගේ පුතාගේ හිතේ ආසාවක් ඇති කරන්න ඒක කොහොමද එයාලට උදව් වුණේ? එයාලා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති අදාළ කරගන්න එක මොන තරම් ප්‍රයෝජනවත්ද කියලා අපි ජීවත් වුණ විදිහෙන් අපි පුතාට පෙන්නුවා.” නිහාඩ් මෙහෙම කියනවා. “ඔයාගේ දරුවා මොන වගේ කෙනෙක් වෙනවාටද ඔයා ආස කියලා ඔයාගේ ආදර්ශයෙන්ම පෙන්නන්න.”

14. දරුවන් ආශ්‍රය කරන අය ගැන දෙමාපියන් දැනගන්න ඕනෙ ඇයි?

14 හොඳ යාළුවන්ව තෝරගන්න දරුවන්ට උදව් කරන්න. දරුවා ආශ්‍රය කරන්නේ කාවද, ආශ්‍රය කරද්දී කරන්නේ මොනවාද කියලා අම්මායි, තාත්තායි දෙන්නාම දැනගන්න ඕනේ. දරුවා ෆෝන් එක හරහා, සමාජ ජාල වෙබ් අඩවි හරහා ආශ්‍රය කරන අය ගැනත් දෙමාපියන් දැනගෙන ඉන්න ඕනේ. මොකද දරුවා හිතන, වැඩ කරන විදිහට ලොකු බලපෑමක් කරන්න එයා ආශ්‍රය කරන අයට පුළුවන්.—1 කොරි. 15:33.

15. සහෝදර ජෙසිගෙන් දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

15 කොම්පියුටර්, ෆෝන් පාවිච්චි කරන්න දෙමාපියන් ඒ තරම් දන්නේ නැත්නම් මොකද කරන්නේ? සහෝදර ජෙසි පිලිපීනයේ ඉන්න තාත්තා කෙනෙක්. එයා මෙහෙම කියනවා. “ඉලෙක්ට්‍රෝනික උපකරණ ගැන අපිට එච්චර දැනුමක් නෑ. ඒත් ඒවා පාවිච්චි කරද්දී වෙන්න පුළුවන් අනතුරු ගැන දරුවන්ට කියලා දෙන්න අපි ඒක බාධාවක් කරගත්තේ නෑ.” කොම්පියුටර්, ෆෝන් වගේ දේවල් පාවිච්චි කරන එක ජෙසි එයාගේ දරුවන්ට තහනම් කළේ නැහැ. ජෙසි මෙහෙම කියනවා. “අලුත් භාෂාවක් ඉගෙනගන්න, රැස්වීම්වලට හොඳට සූදානම් වෙන්න, හැමදාම බයිබලේ කියවන්න ඒවා පාවිච්චි කරන්න කියලා මං දරුවන්ට උනන්දු කළා.” දෙමාපියෙනි, මෙසේජ් යවන එක, සමාජ ජාල වෙබ් අඩවිවල ෆොටෝ දාන එක ගැන jw.org® වෙබ් අඩවියේ “යෞවනයන්” යටතේ පළ වෙලා තියෙන තොරතුරු ඔයා කියවලා ඒවා දරුවෝ එක්ක සාකච්ඡා කරන්න. “ඔයාගේ මුළු ජීවිතේම ගැජට්ද?” සහ “මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!” කියන වීඩියෝ දරුවන් එක්ක බලලා සාකච්ඡා කරන්න. * ෆෝන්, ටැබ් වගේ දේවල් ඥානවන්තව පාවිච්චි කරන විදිහ ගැන දරුවන්ට කියලා දෙන්න ඒ තොරතුරු ඔයාට උදව් වෙයි.—හිතෝ. 13:20.

16. හුඟක් දෙමාපියන් කරලා තියෙන්නේ මොකක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

16 හුඟක් දෙමාපියන් ආදර්ශවත් සහෝදර සහෝදරියන් එක්ක කාලේ ගත කරන්න එයාලගේ දරුවන්ට අවස්ථාවන් හොයලා දෙනවා. උදාහරණෙකට අයිවරි කෝස්ට්වල ඉන්න ඩෙනි සහ බෝමින් යුවළ නිතරම වගේ චාරිකා සේවකට එයාලගේ ගෙදර නවාතැන් දුන්නා. ඩෙනි මෙහෙම කියනවා. “ඒක අපේ ලොකු පුතාට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. එයා පුරෝගාමි සේවය පටන්ගත්තා. දැන් එයා ආදේශක චාරිකා සේවකයෙක් හැටියට සේවය කරනවා.” ඔයාටත් පුළුවන්ද ආදර්ශවත් අයව ආශ්‍රය කරන්න දරුවන්ට අවස්ථාවන් හදලා දෙන්න?

17-18. දරුවන්ව පුහුණු කරන්න පටන්ගන්න ඕනෙ කොයි කාලේදීද?

17 පුංචි කාලේදීම පුහුණුව පටන්ගන්න. පුහුණුව කලින්ම පටන්ගන්න තරමට හොඳයි. (හිතෝ. 22:6) තරුණ වයසේදී පාවුල් එක්ක සංචාරක සේවයේ හවුල් වුණ තිමෝති ඒ වගේ පුහුණුවක් ලබපු කෙනෙක්. එයාගේ අම්මා යූනිස් සහ ආච්චි ලොයිස් එයාව පුහුණ කළේ “ළදරු කාලයේ” ඉඳන්මයි.—2 තිමෝ. 1:5; 3:15.

18 පීස් සහ ජෝන් ක්ලෝඩ් අයිවරි කෝස්ට්වල ඉන්න තවත් යුවළක්. එයාලට පුළුවන් වුණා දෙවියන්ට ආදරේ කරන්න සහ ඔහුට සේවය කරන්න එයාලගේ දරුවෝ හයදෙනාටම උදව් කරන්න. එයාලත් යූනිස්ව සහ ලොයිස්ව ආදර්ශයට ගත්තා. එයාලා මෙහෙම කියනවා. “අපේ දරුවෝ ඉපදිලා වැඩි දවසක් යන්න කලින් අපි බයිබලේ තියෙන තොරතුරු එයාලගේ හිත්වලට කාවද්දන්න පටන්ගත්තා.”—ද්වි. 6:6, 7.

19. දරුවන්ගේ හිත්වලට දෙවියන්ගේ වචනය කාවද්දනවා කියන්නේ මොකක්ද?

19 දරුවන්ගේ හිත්වලට දෙවියන්ගේ වචනය කාවද්දනවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? යම් දෙයක් උගන්වලා ඒක ආයේ ආයේ මතක් කරන එක ඒකෙන් අදහස් වෙනවා. එහෙම කරන්න නම් දෙමාපියන් නිතරම දරුවන් එක්ක කාලේ ගත කරන්න ඕනේ. උගන්වපු දෙයක් නිතර නිතර මතක් කරන්න වෙද්දී ඒක වධයක් කියලා දෙමාපියන්ට දැනෙන්න පුළුවන්. ඒත් දෙමාපියෙනි, ඒක බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්නත් ඒවා ජීවිතේට අදාළ කරගන්නත් දරුවන්ට උදව් කරන්න ලැබෙන අවස්ථාවක් හැටියට සලකන්න.

එක් එක් දරුවාව පුහුණු කරන්නේ කොහොමද කියලා දෙමාපියන් තේරුම්ගන්න ඕනේ (20 ඡේදය බලන්න) *

20. දරුවන්ව ඇතිදැඩි කරද්දී ගීතාවලිය 127:4 සඳහන් දේ අදාළ කරගන්න පුළුවන් කොහොමද?

20 දරුවාව හොඳින් හඳුනගන්න. 127වෙනි ගීතිකාවේ දරුවන්ව සමාන කරලා තියෙන්නේ ඊතලවලට. (ගීතාවලිය 127:4 කියවන්න.) විවිධ ඊතල හදන්න විවිධ ද්‍රව්‍ය යොදාගන්නවා. ඒ වගේම විවිධ ප්‍රමාණයේ ඊතලත් තියෙනවා. ඒ වගේ තමයි දරුවොත් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. ඒ නිසා එක් එක් දරුවාව පුහුණු කරන්න ඕනෙ කොහොමද කියලා දෙමාපියන් තේරුම්ගන්න ඕනේ. දරුවන් දෙන්නෙක්ව හොඳින් ඇතිදැඩි කරපු ඊශ්‍රායෙලයේ ඉන්න යුවළක් එයාලට උදව් වුණ දෙයක් ගැන මෙහෙම කියනවා. “අපි අපේ දරුවෝ දෙන්නාට වෙන වෙනම බයිබල් පාඩම් කළා.” එහෙම කරන එක අත්‍යවශ්‍යද එහෙම කරන්න පුළුවන්ද කියන තීරණය පවුලේ මූලිකයා ගන්න ඕනෙ තීරණයක්.

යෙහෝවා දෙවියන් ඔයාලට උදව් කරනවා

21. යෙහෝවා දෙවියන් දෙමාපියන්ට උදව් කරන්නේ කොයි විදිවලින්ද?

21 දරුවන්ට උගන්වන එක අමාරුයි කියලා සමහර වෙලාවට දෙමාපියන්ට හිතෙන්න පුළුවන්. ඒත් දරුවන් යෙහෝවා දෙවියන්ගෙන් දෙමාපියන්ට ලැබුණ තෑග්ගක්. ඔහු ඕනෙම වෙලාවක ලෑස්තියි දෙමාපියන්ට උදව් කරන්න. දෙමාපියන්ගේ යාච්ඤාවලට ඔහු කැමැත්තෙන්ම සවන් දෙනවා. බයිබලය, අපේ ප්‍රකාශන වගේම සභාවේ ඉන්න අවබෝධයෙන් වැඩ කරන දෙමාපියන්ගේ ආදර්ශ සහ එයාලා දෙන යෝජනා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් ඒ යාච්ඤාවලට උත්තර දෙනවා.

22. දෙමාපියන්ට දරුවන්ට දෙන්න පුළුවන් හොඳම දේවල් මොනවාද?

22 දරුවෙක් ඇතිදැඩි කරන එක අවුරුදු 20ක ව්‍යාපෘතියක් කියලා සමහරු කියනවා. ඒත් දරුවන් වැඩිහිටි වයසට ආවත් දෙමාපියන් එයාලට ගුරුහරුකම් දෙන එක නතර කරන්නේ නැහැ. තමන්ගේ ආදරය, කාලය සහ බයිබලේ යොදාගෙන දෙන පුහුණුව දෙමාපියන්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම දේවලින් කීපයක්. දෙමාපියන් දෙන පුහුණුවෙන් දරුවෙක් ප්‍රයෝජන ගන්න විදිහ දරුවාගෙන් දරුවාට වෙනස් වෙයි. ආසියාවේ ජීවත් වෙන සහෝදරි ජෝඇනා එයාට දෙමාපියන්ගෙන් ලැබුණ පුහුණුව ගැන මෙහෙම කියනවා. “මගේ දෙමාපියන් මාව ඇතිදැඩි කරපු විදිහ දිහා ආපහු හැරිලා බලද්දී එයාලා මට හික්මවීම් දුන්න එක ගැන, යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න මට උගන්වපු එක ගැන මට ඇති වෙන්නේ ලොකු අගයක්. එයාලා මට නිකම්ම ජීවිතේ දුන්නේ නැහැ. ඒක අර්ථවත්ව ගත කරන්න මට ඉගැන්නුවා.” (හිතෝ. 23:24, 25) ඒ විදිහට හැඟෙන මිලියන ගාණක් සහෝදර සහෝදරියන් අපි අතරේ ඉන්නවා.

ගීතිකාව 59 මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න

^ 5 ඡේ. විවාහක යුවළක් දරුවන්ව හදන්න ඕනේද? දරුවන්ව හදන්න එයාලා තීරණය කළොත් දරුවන් කීදෙනෙක්ව හදන්න ඕනේද? යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න සහ ඔහුට සේවය කරන්න දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් සහ අද්දැකීම් ලත් දෙමාපියන් කීපදෙනෙක්ගේ අදහස් මේ ලිපියෙන් බලනවා.

^ 15 ඡේ. ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 1වන පොතේ 36වෙනි පරිච්ඡේදය සහ 2වන පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: යුවළක් දරුවන් හදනවාද කියන තීරණය ගද්දී දරුවන් ඇතිදැඩි කරන එකෙන් ලැබෙන සතුට වගේම ඒ එක්ක එන වගකීම් ගැන හිතනවා.

^ 64 ඡේ. පින්තූරයේ අදහස: දරුවන්ගේ වයස සහ හැකියාවන් වෙනස් නිසා යුවළක් වෙන වෙනම දරුවන් එක්ක පාඩම කරනවා.