Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 50

යෙහෝවා දෙවියන් ඔයාව නිදහස් කරනවා

යෙහෝවා දෙවියන් ඔයාව නිදහස් කරනවා

‘දේශයේ සියලු වැසියන්ට නිදහස ලැබෙන බව නිවේදනය කරන්න.’—ලෙවී. 25:10.

ගීතිකාව 22 අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

මේ ලිපියෙන් *

1-2. (අ) සමහර රටවල පවත්වන විශේෂ සැමරීම මොකක්ද? ඊශ්‍රායෙල්වරු පවත්වපු සැමරීම මොකක්ද? (“ විශේෂ අවුරුද්ද කියන්නේ මොකක්ද?” යන කොටුව බලන්න) (ආ) ලූක් 4:16-18 යේසුස් කතා කළේ මොකක් ගැනද?

සමහර රටවල ඒ රටේ රජුගේ හෝ රැජිනගේ පාලනයට අවුරුදු 50ක් පිරුණාම ඒක උත්සවශ්‍රීයෙන් සමරනවා. ගොඩක් වෙලාවට ඒක හඳුන්වන්නේ ඒ රජුගේ හෝ රැජිනගේ ජුබිලි වසර විදිහටයි. එයාලා සමහරවිට දවසක්, සතියක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් ඒ උත්සව පවත්වනවා. ඒත් ඒවා අවසන් වුණාම ඒ විශේෂ සැමරීමත් මිනිසුන්ගේ මතකයෙන් යනවා.

2 අතීතයේදී ඊශ්‍රායෙල්වරුනුත් හැම අවුරුදු 50කට වතාවක්, අවුරුද්දක් පුරාම විශේෂ සැමරීමක් කළා. ඒක ජුබිලි නැත්නම් විශේෂ අවුරුද්ද විදිහට හැඳින්නුවා. ඒ විශේෂ අවුරුද්දේදී ඊශ්‍රායෙල්වරුන්ට නිදහස ලැබුණා. ඒ සැමරීම ගැන අපි ඉගෙනගන්න ඕනෙ ඇයි? මොකද ඒකෙන් දෙවියන් අපි වෙනුවෙන් ඇති කරපු සැලැස්මක් ගැන මතක් කරනවා. ඒ සැලැස්ම නිසා අපිට සදහටම නිදහස ලැබෙනවා වගේම දැනුත් ඒකෙන් ප්‍රයෝජන ලබන්න අපිට පුළුවන්. ඒ නිදහස ගැන යේසුත් කතා කළා.—ලූක් 4:16-18 කියවන්න.

විශේෂ අවුරුද්දේදී ඊශ්‍රායෙල් සෙනඟ ලොකු සතුටක් අද්දැක්කා. දාසයන් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන් තමන්ගේ පවුල්වලට, තමාට උරුම වූ ස්ථානවලට ආයෙත් ආවා (3 ඡේදය බලන්න) *

3. ලෙවී කතාව 25:8-12 අනුව විශේෂ අවුරුද්ද ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

3 යෙහෝවා දෙවියන් අතීතයේදී ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් ඇති කරපු විශේෂ අවුරුද්ද ගැන විස්තර ටිකක් අපි බලමු. ඒක අපිට උදව් වෙනවා නිදහස ගැන කතා කරද්දී යේසුස් අදහස් කළේ මොකක්ද කියලා තව හොඳින් තේරුම්ගන්න. යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “පනස්වන අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් ලෙස සැලකිය යුතුයි. දේශයේ සියලු වැසියන්ට එම අවුරුද්දේ නිදහස ලැබෙන බව නිවේදනය කරන්න. එය විශේෂ අවුරුද්දක් වන නිසා ඔබ එකිනෙකා තම තමාගේ පවුල්වලටද තම තමාට උරුම වූ ස්ථානවලටද හැරී යා යුතුයි.” (ලෙවී කතාව 25:8-12 කියවන්න.) කලින් ලිපියේ අපි බැලුවා සතිපතා පවත්වපු සබත් දවසින් ඊශ්‍රායෙල්වරු ප්‍රයෝජන ලැබුවේ කොහොමද කියලා. විශේෂ අවුරුද්දෙනුත් එයාලට ප්‍රයෝජන ලැබුණා. ඒ කොහොමද? හිතන්න, ඊශ්‍රායෙල්වරයෙක් ගෙවාගන්න බැරි තරමට ණය වුණා කියලා. එතකොට එයාට වෙනවා අකමැත්තෙන් හරි එයාගේ ඉඩම විකුණලා ඒ ණය ගෙවන්න. ඒත් විශේෂ අවුරුද්දේදී ඒ ඉඩම එයාට ආයෙත් ලැබෙනවා. ඒ නිසා එයාට “උරුම වූ ස්ථානයට” ආයෙත් එන්න පුළුවන්. පස්සේ කාලෙක එයාගේ දරුවන්ට ඒ ඉඩම උරුම වෙනවා. තවත් අවස්ථාවක් ගැන හිතන්න. ණය බරින් මිරිකිලා ඉන්න ඊශ්‍රායෙල්වරයෙක්ට ඒ ණය ගෙවන්න නිසා සමහරවිට එයාගේ දරුවෙක්ව එහෙම නැත්නම් එයාවම දාසකමට විකුණන්න වෙනවා. ඒත් විශේෂ අවුරුද්දේදී දාසයන්ට නිදහස් වෙලා ආයෙත් ‘එයාලගේ පවුල්වලට හැරිලා එන්න’ අවස්ථාව ලැබුණා. ඒ සැලැස්ම නිසා කවුරුත් හැමදාටම දාසයන් වෙලා හිටියේ නැහැ. යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා ඒ සැලැස්මෙන් පැහැදිලි වුණා.

4-5. ඊශ්‍රායෙල්වරුන්ට තිබුණ විශේෂ අවුරුද්ද ගැන අපි ඉගෙනගන්න ඕනෙ ඇයි?

4 විශේෂ අවුරුද්දෙන් ලැබුණ තවත් ප්‍රයෝජනයක් ගැන දෙවියන් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී ඔබ සියලුදෙනාටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද නොඅඩුව ලැබෙයි. ඒ නිසා ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට දිලිඳු වීමට හේතුවක් නැහැ.” (ද්වි. 15:4) ඒක අද තියෙන තත්වයට වඩා කොච්චර වෙනස්ද! අද පොහොසත් අය තව තවත් පොහොසත් වෙද්දී දුප්පත් අය තව තවත් දුප්පත් වෙනවා.

5 මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියට අපි කීකරු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා විශේෂ අවුරුද්දේදී ඊශ්‍රායෙල්වරුන් කළා වගේ දාසයන්ව නිදහස් කරන්න, ණය අහෝසි කරන්න, ඉඩම් ආපහු අයිති අයටම ලබා දෙන්න අපි බැඳිලා නැහැ. (රෝම 7:4; 10:4; එෆී. 2:15) ඒත් යෙහෝවා දෙවියන් ඇති කරපු ඒ සැලැස්ම ගැන අපි ඉගෙනගන්න ඕනේ. මොකද නිදහස ලබා දෙන්න දෙවියන් අපි වෙනුවෙන් ඇති කරලා තියෙන ශ්‍රේෂ්ඨ සැලැස්මක් ගැන ඒකෙන් අපිට මතක් කරනවා.

යේසුස් නිදහස ගැන ප්‍රකාශ කළා

6. මිනිසුන්ව නිදහස් කරන්න ඕනෙ මොකෙන්ද?

6 අපි හැමෝම ඉන්නේ පාපයට වහල් වෙලා නිසා අපිට නිදහස ඕනේ. අපි වයසට යනවා, අසනීප වෙනවා, මැරෙනවා. ඒක ඇත්තක් කියලා කණ්ණාඩියක් ඉස්සරහට ගියාම, බෙහෙත් ගන්න දොස්තර ළඟට ගියාම අපිට තේරෙනවා. අපි අතින් වැරදි වෙද්දී අපි අධෛර්යය වෙනවා. “මම පාපය නමැති නීතියට වහල් වී සිටිමි” කියලා පාවුල් කිව්වා. “මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! මගේ මරණයට හේතු වන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද” කියලා එයා ඇහුවා.—රෝම 7:23, 24.

7. නිදහස ගැන යෙසායා කිව්වේ මොනවාද?

7 පාපයෙන් සහ මරණයෙන් අපිව නිදහස් කරන්න යෙහෝවා දෙවියන් සැලැස්මක් ඇති කළා. ඒ ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද! ඒ නිදහස අපිට ලැබෙන්නේ යේසුස් මාර්ගයෙන්. යේසුස් පොළොවේ මිනිසෙක් විදිහට ඉපදෙන්න අවුරුදු 700කට වැඩි කාලෙකට කලින් අනාගතවක්තෘ යෙසායා අනාගතේදී ලැබෙන විශිෂ්ට නිදහසක් ගැන අනාවැකියක් කිව්වා. ඒ නිදහස විශේෂ අවුරුද්දේදී ඊශ්‍රායෙල්වරුන් අද්දැක්ක නිදහසට වඩා හැම අතින්ම විශිෂ්ටයි. යෙසායා ඒ ගැන මෙහෙම කිව්වා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත. මන්ද යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචි ප්‍රකාශ කරන පිණිස මාව අභිෂේක කළේය. දෙවි මාව එවා තිබෙන්නේ බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන පිණිසත් වහලුන්ට නිදහස ප්‍රකාශ කරන පිණිසත්ය.” (යෙසා. 61:1) ඒක අදාළ වුණේ කාටද?

8. යෙසායාගේ අනාවැකිය අදාළ වුණේ කාටද?

8 යෙසායා කියපු අනාවැකිය ඉටු වෙන්න පටන්ගත්තේ යේසුස් ඔහුගේ සේවය පොළොවේ පටන්ගත්තාට පස්සේ. යේසුස් නාසරෙත් නුවරේ තිබුණ සිනගෝගයට ගිහින් එතන රැස් වෙලා හිටපු යුදෙව්වන්ට ඇහෙන්න යෙසායාගේ අනාවැකිය කියෙව්වා. මේ වචන ඔහු තමාටම අදාළ කරගත්තා. “යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න මාව අභිෂේක කළේය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස ලැබෙන බවත් අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවත් දේශනා කිරීමට සහ තැළී පීඩිතව සිටින අයව නිදහස් කිරීමටයි. එමෙන්ම යෙහෝවා දෙවිගේ කරුණාවේ අවුරුද්ද ගැන දේශනා කිරීමටයි.” (ලූක් 4:16-19) ඒ අනාවැකිය යේසුස් ඉටු කළේ කොහොමද?

මුලින්ම නිදහස් වුණ අය

නාසරෙත් නුවරේ තිබුණ සිනගෝගයේදී යේසුස් නිදහස ගැන ප්‍රකාශ කළා (8 සහ 9 ඡේද බලන්න)

9. යේසුස්ගේ කාලේ හිටපු හුඟදෙනෙකුට නිදහස් වෙන්න ඕනෙ වුණේ මොකෙන්ද?

9 යෙසායාගේ අනාවැකියේ සඳහන් වෙලා තිබුණ නිදහස මුලින්ම අද්දැක්කේ මුල් සියවසේ හිටපු අය. යේසුස් කියපු මේ දෙයින් ඒක අපිට තේරෙනවා. “ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ඇහෙන්න කියෙවූ එම කොටස ඔබේ ඇස් ඉදිරිපිටම දැන් ඉටු වෙනවා.” (ලූක් 4:21) එදා යේසුස්ට සවන් දෙමින් හිටපු හුඟදෙනෙක් බලාපොරොත්තු වුණේ රෝම පාලනයෙන් නිදහස් වෙන්න. එයාලත් හිතන්න ඇත්තේ යේසුස් ගැන මෙහෙම කියපු මිනිසුන් දෙන්නා වගේමයි. “අප සිතාගෙන සිටියේ ඊශ්‍රායෙල් සෙනඟට ගැලවීම ලබා දෙන්න නියමිත තැනැත්තා ඔහු කියායි.” (ලූක් 24:13, 21) ඒත් අපි දන්නවා කුරිරු රෝම පාලනයට විරුද්ධව කැරලිගහන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ නැහැ කියලා. ඒ වෙනුවට ඔහු කිව්වේ “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න” කියලා. (මතෙ. 22:21) එහෙමනම් ඒ කාලේ හිටපු අයට යේසුස් නිදහස ලබා දුන්නේ කොහොමද?

10. යේසුස් මිනිසුන්ව නිදහස් කළේ මොකෙන්ද?

10 යේසුස් පොළොවට ආවේ දේවල් 2කින් නිදහස් වෙන්න මිනිසුන්ට උදව් කරන්න. පළවෙනි දේ මොකක්ද? ආගමික නායකයන් උගන්වලා තිබුණ අසත්‍ය ඉගැන්වීම්වලින් නිදහස් වෙන්න යේසුස් මිනිසුන්ට උදව් කළා. ආගමික නායකයන් යුදෙව්වන්ට බල කළා මිනිසුන්ගේ සම්ප්‍රදායන්ට, බොරු විශ්වාසයන්ට කීකරු වෙන්න කියලා. (මතෙ. 5:31-37; 15:1-11) දෙවියන්ට ළං වෙන්න මිනිසුන්ට උදව් කරන්න හිටපු අය දෙවියන් බලාපොරොත්තු වුණ විදිහට ඔහුට නමස්කාර කළේ නැහැ. එයාලා හරියට අන්ධ මඟ පෙන්නන්නන් වගේ. ගැලවුම්කරුවත් ඔහු උගන්වපු සත්‍ය ඉගැන්වීමුත් එයාලා ප්‍රතික්ෂේප කරපු නිසා දෙවියන්ව දැන හඳුන ගන්න එයාලට බැරි වුණා. එයාලා දිගටම හිටියේ අන්ධකාරයේ. ඒ නිසා එයාලගේ පව්වලට සමාව ලැබුණේ නැහැ. (යොහ. 9:1, 14-16, 35-41) යේසුස්ගේ ඉගැන්වීම් නිසාත් ඔහුගේ ආදර්ශය නිසාත් ඔහුට පුළුවන් වුණා අසත්‍ය ඉගැන්වීම්වලින් නිදහස් වෙන්න නිහතමානී අයට උදව් කරන්න.—මාක් 1:22; 2:23–3:5.

11. යේසුස් මිනිසුන්ව නිදහස් කරපු දෙවෙනි දේ මොකක්ද?

11 මිනිසුන්ට නිදහස ලැබුණ දෙවෙනි දේ මොකක්ද? මිනිසුන්ට උරුම වෙලා තියෙන පාපයේ වහල්කමින් නිදහස් වෙන්න යේසුස් මඟ විවර කළා. යේසුස්ගේ ජීවිත පූජාව නිසා යෙහෝවා දෙවියන්ට පුළුවන් ඒ පූජාව ගැන විශ්වාසය තියන, ඒ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන අයගේ පාපවලට සමාව දෙන්න. (හෙබ්‍රෙ. 10:12-18) යේසුස් කිව්වා “පුත්‍රයා ඔබව නිදහස් කළොත් ඔබට සැබෑ නිදහසක් ලැබෙයි” කියලා. (යොහ. 8:36) ඒ නිදහස විශේෂ අවුරුද්දේදී ඊශ්‍රායෙල්වරුන් ලබපු නිදහසට වඩා ශ්‍රේෂ්ඨ විදිහේ නිදහසක්. මොකද විශේෂ අවුරුද්දේදී කෙනෙක්ව දාසකමින් නිදහස් කළත් එයා ආයෙත් දාසයෙක් වෙන්න ඉඩ තිබුණා. එහෙම නැතත් කාලයත් එක්ක එයා මිය යනවා. ඒත් යේසුස් ලබා දෙන නිදහස කවදාවත් නැති වෙන්නේ නැහැ.

12. යේසුස් ප්‍රකාශ කරපු නිදහස මුලින්ම අද්දැක්කේ කවුද?

12 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී යෙහෝවා දෙවියන් යේසුස්ගේ නියෝජිතයන් ඇතුළුව තවත් විශ්වාසවන්ත ස්ත්‍රීන් සහ පුරුෂයන් පිරිසක්ව ඔහුගේ බලයෙන් අභිෂේක කළා. දෙවියන් එයාලව ඔහුගේ පුත්‍රයන් විදිහට පිළිගත්තා. ඒ නිසා යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන බලාපොරොත්තුව එයාලට ලැබුණා. එයාලව නැවත නැඟිටුවන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්නයි. (රෝම 8:2, 15-17) නාසරෙත් නුවරේ තිබුණ සිනගෝගයේදී යේසුස් ප්‍රකාශ කරපු නිදහස අද්දැක්ක මුල්ම පිරිස එයාලයි. ඒ අය අසත්‍ය ඉගැන්වීම්වලට, මිනිසුන්ගේ සම්ප්‍රදායන්වලට තවදුරටත් වහලුන් වුණේ නැහැ. යෙහෝවා දෙවියන් එයාලව සැලකුවේ පාපයේ වහල්කමින් නිදහස් වුණ අය හැටියටයි. නිදහස ආයෙත් ලබා දෙන්න යෙහෝවා දෙවියන් ඇති කරපු සැලැස්ම ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ ආරම්භ වුණා. ඒක අවසන් වෙන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේදී. ඒ කාලය සංකේතාත්මකව විශේෂ අවුරුද්දක් කියලා කියන්න පුළුවන්. යේසුස්ගේ දහස් අවුරුදු පාලනය අවසන් වෙද්දී මොන වගේ යහපත් දේවල් වෙලා තියෙයිද?

තවත් මිලියන ගාණකට නිදහස

13-14. අභිෂේක ලත් අයට අමතරව යේසුස් ප්‍රකාශ කරපු නිදහස අද්දකින්න පුළුවන් තව කාටද?

13 අද දෙවියන් හැම ජාතියකින්ම තෝරගෙන තියෙන ඔහුගේ සෙනඟ අතරේ ඉන්න වැඩිදෙනෙක් “වෙනත් බැටළුවන්ට” අයිති අය. (යොහ. 10:16) එයාලට තියෙන්නේ පොළොවේ සදහටම ජීවත් වෙන බලාපොරොත්තුව. ඔයාට තියෙන්නෙත් ඒ බලාපොරොත්තුවද?

14 අභිෂේක ලත් අය ලබන සමහර ආශීර්වාද දැන් ඔයාත් අද්දකිනවා. ඔයාට යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසයක් තියෙන නිසා ඔයාගේ පව්වලට දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න පුළුවන්. ඒ නිසා දෙවියන්ගේ අනුමැතිය ලබාගන්නත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් ඔයාට පුළුවන්. (එෆී. 1:7; එළි. 7:14, 15) අසත්‍ය ඉගැන්වීම්වලින් නිදහස් වුණ නිසාත් ඔයා හුඟක් ආශීර්වාද අද්දකිනවා. යේසුස් මෙහෙම කිව්වා. “ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”—යොහ. 8:32.

15. අනාගතයේදී අපි අද්දකින්නේ මොන වගේ නිදහසක්ද? අපි ලබන ආශීර්වාද මොනවාද?

15 අනාගතයේදී ඊටත් වඩා නිදහසක් අද්දකින්න ඔයාට පුළුවන්. ළඟදීම යේසුස් අසත්‍යය උගන්වන ආගම් සහ මිනිස් ආණ්ඩු විනාශ කරනවා. දෙවියන් ඔහුට සේවය කරන “මහත් සමූහයක්” ආරක්ෂා කරලා එයාලට පාරාදීස පොළොවේ සතුටින් ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. (එළි. 7:9, 14) මිය ගිය විශාල පිරිසකට දෙවියන් ආයෙත් ජීවිතේ දෙනවා. පාපය නිසා අද්දකින නරක ප්‍රතිඵලවලින් නිදහස ලබන්න ඒ අයට අවස්ථාව ලැබෙනවා.—ක්‍රියා 24:15.

16. අනාගතයේදී මිනිසුන් ශ්‍රේෂ්ඨ නිදහසක් අද්දකිනවා කියන්නේ ඇයි?

16 දහස් අවුරුදු පාලන කාලේදී යේසුස් ඔහුගේ හවුල් පාලකයන් එක්ක එකතු වෙලා පරිපූර්ණ ශරීර සෞඛ්‍යයක් ඇති කරගන්නත් කවදාවත් තිබුණේ නැති විදිහේ කිට්ටු බැඳීමක් දෙවියන් එක්ක ඇති කරගන්නත් මිනිසුන්ට උදව් කරනවා. විශේෂ අවුරුද්දේදී මුලින් තිබුණ තත්වයට දේවල් ගේන්නත් නිදහස ලබන්නත් ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා. දහස් අවුරුදු පාලන කාලේදී වෙන්නෙත් ඒ වගේ දෙයක්. යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන හැම කෙනෙක්ම පරිපූර්ණ අය වෙනවා. එයාලා පාපයේ වහල්කමින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා.

පාරාදීස පොළොවේදී අපි ප්‍රයෝජනවත් වැඩ කරලා තෘප්තියක් ලබනවා (17 ඡේදය බලන්න)

17. යෙසායා 65:21-23 කියන විදිහට දෙවියන්ගේ සෙනඟ අද්දකින්නේ මොන වගේ ආශීර්වාදද? (කවරයේ පින්තූරය බලන්න.)

17 අනාගතයේදී මිනිසුන් පොළොවේ ගත කරන ජීවිතය ගැන අනාවැකියක් යෙසායා 65:21-23 (කියවන්න.) සඳහන් වෙනවා. ඒක කිසි වැඩක් නොකර කම්මැළිකමේ ඉන්න වෙන කාලයක් නෙමෙයි. ඒ වෙනුවට දෙවියන්ගේ සෙනඟ ප්‍රයෝජනවත් වැඩ කරලා තෘප්තියක් ලබනවා. දහස් අවුරුදු පාලනය අවසන් වෙද්දී “පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වී, දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වෙනවා.”—රෝම 8:21.

18. අපේ අනාගතය සතුටින් පිරුණු එකක් කියලා අපිට විශ්වාස ඇයි?

18 ඊශ්‍රායෙල්වරුන්ට වැඩ කරන්න කාලයක් වගේම විවේක ගන්න කාලයක් ලබා දෙන්න යෙහෝවා දෙවියන් සැලැස්මක් ඇති කළා. දහස් අවුරුදු පාලන කාලේදීත් ඒ වගේම දෙයක් දෙවියන් ඔහුගේ සෙනඟ වෙනුවෙන් කරනවා. එදාට නමස්කාරයට සම්බන්ධ වැඩ වෙනුවෙන් කාලයක් වෙන් කරයි. මොකද අදත් එදාටත් සැබෑ සතුට අද්දකින්න නම් අපි දෙවියන්ට නමස්කාර කරන්න ඕනේ. දහස් අවුරුදු පාලන කාලේදී අපි හැමෝටම අපි කරන වැඩවලින් තෘප්තියක් ලැබෙයි. අපි හැමෝම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා. ඒ නිසා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් හැමෝම ඒ කාලේදී ඉන්නේ සතුටින්.

ගීතිකාව 142 බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

^ 5 ඡේ. අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට නිදහස ලබා දෙන්න යෙහෝවා දෙවියන් විශේෂ සැලැස්මක් ඇති කළා. ඒ විශේෂ අවුරුද්ද නැත්නම් ජුබිලි අවුරුද්ද කියන සැලැස්ම. අපි මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියට කීකරු වෙන්න අවශ්‍ය නැතත් ඒ විශේෂ අවුරුද්ද ගැන ඉගෙනගන්න එක අපිට වැදගත්. මොකද යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරපු වටිනා දෙයක් ඒකෙන් අපිට මතක් කරනවා. ඒ ගැනත් ඒකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද කියලත් මේ ලිපියෙන් බලමු.

^ 61 ඡේ. පින්තූරයේ අදහස: දාසයන් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන්ට විශේෂ අවුරුද්දේදී නිදහස ලැබුණා. එයාලට තමන්ගේ පවුල්වලට, තමාට උරුම වූ ස්ථානවලට ආයෙත් යන්න පුළුවන් වුණා.