Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 49

වැඩවලටත් විවේකයටත් “නියමිත කාලයක් ඇත”

වැඩවලටත් විවේකයටත් “නියමිත කාලයක් ඇත”

“එන්න, අපි පාළු තැනකට යමු. අපිට පුළුවන් ටිකකට විවේක ගන්න.”—මාක් 6:31.

ගීතිකාව 143 දිගටම සේවය කරමින් ගැලවීම ලැබෙන තුරු බලා සිටිමු

මේ ලිපියෙන් *

1. හුඟදෙනෙක්ට වැඩ කරන එක ගැන හැඟෙන්නේ කොහොමද?

ඔයා ජීවත් වෙන රටේ හුඟදෙනෙක්ට වැඩ කරන එක ගැන හැඟෙන්නේ කොහොමද? හුඟක් රටවල ඉන්න අය ඉස්සරට වඩා දැන් වැඩිපුර වෙලාවක් වැඩ කරනවා. ඒ නිසා එයාලා විවේකයක් ගන්නේ නැති තරම්. පවුලේ අය එක්ක ගත කරන්න, දෙවියන් ගැන ඉගෙනගන්න එයාලට වෙලාවක් නැහැ. (දේශ. 2:23) තවත් සමහරු වැඩ කරන්න කොහොමටවත් කැමති නැහැ. වැඩ නොකර ඉන්න එයාලා හේතු මවනවා.—හිතෝ. 26:13, 14.

2-3. වැඩ කරන එක ගැන යෙහෝවා දෙවියන් සහ යේසුස් තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

2 අද ඉන්න හුඟදෙනෙක් එක්කෝ ඕනෑවට වඩා වැඩ කරනවා. නැත්නම් වැඩ කරන්න කම්මැළියි. ඒත් යෙහෝවා දෙවියන්ට සහ යේසුස්ට වැඩ කරන එක ගැන හැඟෙන්නේ කොහොමද? දෙවියන් වැඩ කරන්න ආසයි කියලා අපි දන්නවා. “මගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටිනවා. මමත් දිගටම වැඩ කරනවා” කියලා යේසුස් කියපු දෙයින් ඒක පැහැදිලියි. (යොහ. 5:17) දෙවියන් දේවදූතයන්ව, මේ මුළු විශ්වයම නිර්මාණය කරද්දී කොයි තරම් වැඩ කන්දරාවක් කරන්න ඇද්ද! ඔහු කොයි තරම් දේවල් ප්‍රමාණයක් මේ පොළොවේ නිර්මාණය කරලා තියෙනවාද! ගීතිකාකරු මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය. පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ.”—ගීතා. 104:24.

3 යේසුස් ඔහුගේ පියාව ආදර්ශයට ගත්තා. දෙවියන් ‘අහස පිහිටුවද්දී’ ඔහුගේ “ප්‍රධාන සේවකයා” විදිහට යේසුස් ඒ වැඩවලට හවුල් වුණා. (හිතෝ. 8:27-31) යේසුස් පොළොවේ ජීවත් වෙද්දීත් මහන්සි වෙලා විශාල වැඩ කොටසක් කළා. දෙවියන් දීපු වැඩ ඔහු සැලකුවේ ඔහුගේ කෑම විදිහට. ඔහු පොළොවේදී කරපු හැම දේකින්ම පැහැදිලි වුණා ඔහුව එවලා තියෙන්නේ දෙවියන් කියලා.—යොහ. 4:34; 5:36; 14:10.

4. විවේක ගන්න එක ගැන යෙහෝවා දෙවියන්ට සහ යේසුස්ට හැඟුණේ කොහොමද? එයාලගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

4 යෙහෝවා දෙවියන්ගේ සහ යේසුස්ගේ ආදර්ශයෙන් පේන්නේ අපි කිසිම විවේකයක් ගන්නේ නැතුව වැඩ කරන්න ඕනෙ කියලාද? නැහැ. යෙහෝවා දෙවියන්ට කවදාවත් වෙහෙසක් දැනෙන්නේ නැති නිසා යම් වැඩක් කළාට පස්සේ විවේකයක් ගන්න ඔහුට අවශ්‍ය නැහැ. ඒත් බයිබලේ කියනවා දෙවියන් අහසත් පොළොවත් නිර්මාණය කළාට පස්සේ ‘විවේක ගත්තා’ කියලා. (නික්. 31:17) ඒකෙන් අදහස් වෙන්නේ දෙවියන් දේවල් නිර්මාණය කරන එක නතර කරලා ඔහු නිර්මාණය කරපු දේවල් දිහා බලලා සතුටු වෙන්න කාලේ ගත්තා කියලයි. පොළොවේ හිටපු කාලේ යේසුත් මහන්සි වෙලා වැඩ කළාට විවේක ගන්න, යාළුවන් එක්ක කෑමක් කාලා සතුටින් ඉන්න ඔහු කාලේ හොයාගත්තා.—මතෙ. 14:13; ලූක් 7:34.

5. දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක්ට තියෙන අභියෝගය මොකක්ද?

5 දෙවියන්ගේ සෙනඟට බයිබලේ උනන්දු කරන්නේ කම්මැළි නොවී මහන්සි වෙලා වැඩ කරන්න කියලයි. (හිතෝ. 15:19) පවුලේ අයව බලාගන්න ඕනෙ නිසා ඔයා රස්සාවක් කරනවා ඇති. යේසුස්ගේ අනුගාමිකයන් හැටියට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට හවුල් වෙන එකත් අපේ වගකීමක්. ඒත් විවේක ගන්නත් ඔයා ප්‍රමාණවත් කාලයක් වෙන් කරගන්න ඕනේ. රස්සාව කරන අතරේ සේවයට සහ විවේකයට කාලේ හොයාගන්න ඔයාට අමාරුයිද? කොච්චර වෙලාවක් වැඩ කරන්න ඕනෙද විවේක ගන්න ඕනෙද කියලා තේරුම්ගන්නේ කොහොමද?

වැඩ ගැනත් විවේකය ගැනත් තියෙන්න ඕනෙ ආකල්පය

6. වැඩ සහ විවේකය ගැන යේසුස්ට හරි ආකල්පයක් තිබුණා කියලා මාක් 6:30-34 පැහැදිලි වෙන්නේ කොහොමද?

6 සලමොන් රජු කිව්වා “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියලා. වගා කරන්න, ගොඩනඟන්න, අඬන්න, සිනාසෙන්න, නටන්න සහ වෙනත් දේවලට නියමිත කාලයක් තියෙනවා කියලා එයා කිව්වා. (දේශ. 3:1-8) වැඩ සහ විවේකය කියන්නේ අපේ ජීවිතේ වැදගත් අංග දෙකක්. ඒ දේවල් දෙක ගැන යේසුස්ට හරි ආකල්පයක් තිබුණා. දවසක් යේසුස්ගේ නියෝජිතයන් මහන්සි වෙලා සේවය කරලා ආවා. එයාලා “කෑම කන්නවත් විවේකයක්” ගත්තේ නැහැ. යේසුස් එයාලට මෙහෙම කිව්වා. “එන්න, අපි පාළු තැනකට යමු. අපිට පුළුවන් ටිකකට විවේක ගන්න.” (මාක් 6:30-34 කියවන්න.) යේසුස්ටත් ඔහුගේ නියෝජිතයන්ටත් ප්‍රමාණවත් විවේකයක් ගන්න හැම වෙලාවේම කාලේ ලැබුණේ නැතත් එයාලා හැමෝටම විවේකය ඕනෙ කියලා යේසුස් දැනන් හිටියා.

7. සබත ගැන ඉගෙනගන්න එක අපිට උදව් වෙන්නේ මොකක් තේරුම්ගන්නද?

7 පොඩි විවේකයක් ගන්න එක එහෙම නැත්නම් අපේ දිනචර්යාවේ පොඩි වෙනසක් කරන එක අපි හැමෝටම හොඳයි. හැම සතියකම සබත පවත්වන්න කියලා ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් දීපු නීතියෙන් ඒක අපිට තේරුම්ගන්න පුළුවන්. ඒ නීතියට අපි කීකරු වෙන්න අවශ්‍ය නැතත් සබත ගැන නීතියේ සඳහන් දේ අපිට උදව් වෙනවා වැඩ කරන එක සහ විවේකය ගැන අපිට හරි ආකල්පයක් තියෙනවාද කියලා තේරුම්ගන්න.

සබත විවේකයට වගේම නමස්කාර වැඩවලට වෙන් කරපු වෙලාවක්

8. නික්මයාම 31:12-15 අනුව සබත් දවස වෙන් කලේ මොකක් වෙනුවෙන්ද?

8 යෙහෝවා දෙවියන් “දවස්” හයක් පුරා දේවල් නිර්මාණය කළාට පස්සේ පොළොවේ දේවල් නිර්මාණය කරන එක නතර කළා. (උත්. 2:2) ඒත් දෙවියන් වැඩ කරන්න ආසයි. ඒ නිසා ඔහු තාමත් වෙනත් ‘වැඩ කරමින් ඉන්නවා.’ (යොහ. 5:17) දෙවියන් දවස් හයක් වැඩ කරලා හත්වෙනි දවසේ විවේක ගත්තා වගේ ඔහු ඊශ්‍රායෙල්වරුන්ටත් කිව්වා හත්වෙනි දවසේදී විවේක ගන්න කියලා. දෙවියන් සහ ඊශ්‍රායෙල්වරුන් අතර ඇති ගිවිසුමට සබත ලකුණක් කියලා ඔහු කිව්වා. සබත කියන්නේ “මුළු දවසම කිසි වැඩක් නොකර විවේකයෙන් ගත කළ යුතු” දවසක්. මොකද ‘යෙහෝවා දෙවියන් ඒ දවස ශුද්ධ දවසක් ලෙස සැලකුවා.’ (නික්මයාම 31:12-15 කියවන්න.) එදාට කිසිම කෙනෙක්ට වැඩ කරන්න අවසර තිබුණේ නැහැ. දරුවන් සහ දාසයනුත් ඒකට ඇතුළත්. සතුන්වත් වැඩවලට පාවිච්චි කරන්න බැහැ. (නික්. 20:10) නමස්කාරයට සම්බන්ධ කටයුතුවලට වැඩි අවධානයක් දෙන්න ඒකෙන් ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා.

9. යේසුස්ගේ කාලේ වෙද්දී සබත ගැන සමහරුන්ට තිබුණ වැරදි අදහස මොකක්ද?

9 සබත් දවස නිසා දෙවියන්ගේ සෙනඟට හුඟක් ප්‍රයෝජන ලැබුණා. ඒත් යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයන් සබත පවත්වන්න ඕනෙ කොහොමද කියලා දැඩි නීති දැම්මා. එයාලා කිව්වා සබත් දවසේ ධාන්‍ය කරල් ටිකක් කඩලා කන එක, අසනීපෙන් ඉන්න කෙනෙක්ව සුව කරන එක වැරදියි කියලා. (මාක් 2:23-27; 3:2-5) ඒත් දෙවියන්ට සබත් දවස ගැන ඒ වගේ අදහස් තිබුණේ නැහැ කියලා යේසුස් පැහැදිලිවම මිනිසුන්ට කිව්වා.

යේසුස්ගේ පවුලේ අය සබත් දවසේදී නමස්කාරයට සම්බන්ධ වැඩවලට වැඩි අවධානයක් දුන්නා (10 ඡේදය බලන්න) *

10. යේසුස් සබත් දවස සලකපු විදිහ ගැන මතෙව් 12:9-12 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

10 යේසුස් සහ ඔහුව අනුගමනය කරපු යුදෙව්වන් මෝසෙස්ගේ නීතිය යටතේ හිටපු නිසා එයාලා සබත පැවැත්තුවා. * ඒත් සබත් දවසේදී අනිත් අය වෙනුවෙන් යහපත් දේවල් කරන එක වැරදි නැහැ කියලා යේසුස් කියපු, කරපු හුඟක් දේවලින් පෙන්නුවා. “සබත් දවසේදී යහපත් දෙයක් කිරීමෙහි වරදක් නැහැ” කියලා ඔහු කෙළින්ම කිව්වා. (මතෙව් 12:9-12 කියවන්න.) සබත් දවසේදී විවේක ගන්න කියලා යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට කිව්වේ මොන වැදගත් හේතුව නිසාද කියලා යේසුස් තේරුම් අරන් හිටියා. දවස් හයක් පුරා වැඩ කරලා හත්වෙනි දවසේ විවේක ගන්න කියලා දෙවියන් කිව්වේ නමස්කාර වැඩවලට වැඩි අවධානයක් දෙන්න ඒකෙන් එයාලට පුළුවන් වෙන්නයි. යේසුස් හැදී වැඩුණේ සබත් දවසේ නමස්කාරයට සම්බන්ධ වැඩවලට වැඩි අවධානයක් දුන්න පවුල් පසුබිමක. ඔහු ගැන සඳහන් මේ වාර්තාවෙන් ඒක පැහැදිලි වෙනවා. “යේසුස් තමා ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණියේය. සබත් දවසක් වූ එදින සුපුරුදු පරිදි ඔහු සිනගෝගයට ඇතුල් වී, ශුද්ධ ලියවිල්ලෙන් කොටසක් කියවීමට සිටගත්තේය.”—ලූක් 4:15-19.

වැඩ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

11. වැඩ කරන එක සම්බන්ධයෙන් යේසුස්ට හොඳ ආදර්ශයක් වුණේ කවුද?

11 හොඳ වඩුවෙක් වෙන්න යේසුස්ට උගන්වන ගමන් වැඩ කරන එක ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද කියලා යෝසෙප් යේසුස්ට කියලා දෙන්න ඇති. (මතෙ. 13:55, 56) යේසුත් දකින්න ඇති යෝපෙස් තමන්ගේ ලොකු පවුල බලාගන්න හැම දවසකම මහන්සි වෙලා වැඩ කරපු විදිහ. පස්සේ කාලෙකදී යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා “යම් සේවයක් කරන පුද්ගලයාට යමක් ලැබීම සුදුසුයි” කියලා. (ලූක් 10:7) මහන්සි වෙලා වැඩ කරන්න යේසුස් හොඳින් දැනන් හිටියා.

12. මහන්සි වෙලා වැඩ කරන එක ගැන පාවුල්ට හැඟුණේ කොහොමද?

12 නියෝජිත පාවුලුත් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. එයාගේ ජීවිතේ ප්‍රධානම කාර්යය වුණේ යේසුස් ගැනත් යේසුස්ගේ ඉගැන්වීම් ගැනත් අනිත් අයට කියලා දෙන එක. එයාගේ වියදමට අවශ්‍ය මුදල් හොයාගන්න එයා රැකියාවකුත් කළා. ‘කිසිවෙකුට බරක් නොවී ඉන්න’ ඕනෙ නිසා පාවුල් “වෙහෙස මහන්සිය නොබලා රෑ දවල් දෙකේම” වැඩ කළා කියලා තෙසලෝනික සභාවේ අය දැනන් හිටියා. (2 තෙස. 3:8; ක්‍රියා 20:34, 35) වැඩ කළා කියද්දී පාවුල් අදහස් කළේ කූඩාරම් හදපු එක වෙන්න ඇති. කොරින්තියේ හිටපු කාලේ පාවුල් නැවතිලා හිටියේ අකිලා සහ ප්‍රිසිලාගේ ගෙදර. එයාලා රැකියාව හැටියට කළේ කූඩාරම් හදන එක. පාවුලුත් එයාලා එක්ක එකතු වෙලා ඒ කාර්යය කළා. පාවුල් “රෑ දවල් දෙකේම” වැඩ කළා කියන්නේ එයා විවේකයක් ගන්නේ නැතුව එක දිගට වැඩ කළා කියන එකද? නැහැ. සබත් දවස්වල එයා විවේකයක් ගත්තා. ඒ දවස එයා ගත කළේ විවේකයෙන් හිටපු අනිත් යුදෙව්වන්ට සාක්ෂි දරන්න.—ක්‍රියා 13:14-16, 42-44; 16:13; 18:1-4.

13. පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 පාවුල් අපිට ආදර්ශයක්. එයාට රැකියාවක් කරන්න සිද්ධ වුණත් එයා “දෙවිගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ශුද්ධ කාර්යයේ” නිතරම හවුල් වෙන්න කාලේ ගත්තා. (රෝම 15:16; 2 කොරි. 11:23) එයා අනිත් අයටත් උනන්දු කළා දේශනා කිරීමේ කාර්යයේ නිතරම හවුල් වෙන්න කියලා. අකිලාවයි, ප්‍රිසිලාවයි එයා හඳුන්වන්නේ “ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් වන මගේ හවුල් සේවකයන්” විදිහට. (රෝම 12:11; 16:3) පාවුල් කොරින්තියේ හිටපු අයට උනන්දු කළා “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න” කියලා. (1 කොරි. 15:58; 2 කොරි. 9:8) “යමෙකු වැඩ කරන්න අකමැති නම් ඔහු කෑම නොකා සිටිය යුතුයි” කියලා පාවුල් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලිව්වා.—2 තෙස. 3:10.

14. යොහන් 14:12 යේසුස් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?

14 මේ අවසාන දවස්වල අපිට කරන්න තියෙන වැදගත්ම කාර්යය තමයි දේශනා කරන එක සහ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක. යේසුස් කිව්වා ඔහු කළාටත් වඩා මහත් ක්‍රියා ඔහුගේ අනුගාමිකයන් කරනවා කියලා. (යොහන් 14:12 කියවන්න.) ඒකෙන් අදහස් කළේ නැහැ යේසුස්ට වගේ අපිටත් ආශ්චර්යයන් කරන්න පුළුවන් වෙනවා කියලා. ඒ වෙනුවට ඔහු ඒකෙන් අදහස් කළේ ඔහු සේවය කළාට වඩා විශාල ප්‍රදේශයක, වැඩි මිනිසුන් ප්‍රමාණයකට, දීර්ඝ කාලයක් පුරා ඔහුගේ අනුගාමිකයන් දේශනා කරන සහ උගන්වන කාර්යය කරනවා කියලයි.

15. අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද? ඒ ඇයි?

15 ඔයා රස්සාවක් කරන කෙනෙක් නම් ඔයාගෙන්ම මෙහෙම අහලා බලන්න. ‘රැකියා ස්ථානයේ අය මාව දකින්නේ මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් හැටියටද? මට දෙන වැඩ කොටස මම වෙලාවට ඉවර කරනවාද? මං ඒක උපරිමයෙන් කරනවාද?’ ඒ ප්‍රශ්නවලට ඔයාගේ උත්තරේ “ඔව්” නම් ඔයාගේ ප්‍රධානියාගේ විශ්වාසය දිනාගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයා රැකියා ස්ථානයේ අයට සාක්ෂි දරද්දී එයාලා ඔයාට ඇහුම්කන් දෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. දේශනා කරන සහ උගන්වන කාර්යය සම්බන්ධයෙන් ඔයාගෙන් මෙහෙම අහලා බලන්න. ‘මං මහන්සි වෙලා සේවේ කරන කෙනෙක්ද? කෙනෙක්ව ආපහු බලන්න යද්දී මං හොඳින් සූදානම් වෙනවාද? උනන්දුවක් පෙන්නපු කෙනෙක්ව හම්බ වෙන්න මං ඉක්මනින්ම යනවාද? සේවේ විවිධ අංගවල මං නිතරම හවුල් වෙනවාද?’ ඒ ප්‍රශ්නවලට ඔයාගේ උත්තරේ “ඔව්” නම් ඔයාට සේවයෙන් ලොකු සතුටක් ලැබෙයි.

විවේකය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

16. යේසුස්ට සහ ඔහුගේ නියෝජිතයන්ට විවේකය ගැන තිබුණේ මොන වගේ ආකල්පයක්ද? අද ඉන්න අය විවේකය ගැන හිතන විදිහට වඩා ඒක වෙනස් වෙන්නේ කොහොමද?

16 තමන්ටත් තමන්ගේ නියෝජිතයන්ටත් සමහර වෙලාවලදී විවේකයක් ඕනෙ කියලා යේසුස් දැනන් හිටියා. ඒත් ඒ කාලේ හිටපු හුඟදෙනෙකුත් අද ඉන්න හුඟදෙනෙකුත් හරියට යේසුස්ගේ උපමාවේ ඉන්න පොහොසත් කෙනා වගේ. එයා එයාටම කියාගත්තේ “මට පුළුවන් වෙයි හොඳින් කා බී, ප්‍රීති වෙමින් විවේක සුවයෙන් ඉන්න” කියලා. (ලූක් 12:19; 2 තිමෝ. 3:4) එයා හිතුවේ ජීවිතේ වැදගත්ම දේ විවේකය සහ විනෝදය කියලයි. ඒත් යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් මුල් තැන දුන්නේ එයාලවම සතුටු කරගන්න එකට නෙමෙයි.

වැඩ කරන එක සහ විවේකය ගැන අපිට හරි ආකල්පයක් තියෙනවා නම් අපිව ප්‍රබෝධවත් කරන යහපත් වැඩවලට අපි හවුල් වෙනවා (17 ඡේදය බලන්න) *

17. රැකියාවේ නිරත වෙන්නේ නැති වෙලාවල් අපි පාවිච්චි කරන්නේ මොනවා කරන්නද?

17 රැකියාවේ නිරත වෙන්නේ නැති වෙලාවල් අපි විවේකයක් ගන්න විතරක් නෙමෙයි දේශනා සේවයේ හවුල් වෙන්න, රැස්වීම්වලට සහභාගි වෙන්න වගේ යහපත් දේවලට පාවිච්චි කරනවා නම් අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව. යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන කාර්යයත් රැස්වීම්වලට සහභාගි වෙන එකත් අපි සලකන්නේ වැදගත් දේවල් හැටියට. ඒ නිසා අතපසු නොකර ඒ දේවල් කරන්න අපි උපරිම උත්සාහයක් ගන්නවා. (හෙබ්‍රෙ. 10:24, 25) අපි නිවාඩුවකට කොහේ හරි ගියත් රැස්වීම්වලට යන එක අතපසු කරන්නේ නැහැ. අපිට හම්බ වෙන අයට දේශනා කරන්නත් අපි උත්සාහ කරනවා.—2 තිමෝ. 4:2.

18. අපේ රජු වන යේසුස් කැමති අපි මොකක් කරනවාටද?

18 අපේ රජු වන යේසුස් අපිට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැඩ කරන එක සහ විවේක ගන්න එක ගැන හරි ආකල්පයක් ඇතුව ඉන්න ඔහු අපිට උදව් කරනවා. (හෙබ්‍රෙ. 4:15) අපිට අවශ්‍ය විවේකය අපි ලබාගන්නවා දකින්න ඔහු කැමතියි. ඒ වගේම අපේ වියදම් පිරිමහගන්න අවශ්‍ය කරන මුදල් හොයාගන්න මහන්සි වෙලා වැඩ කරයි කියලත් දේශනා කරන සහ උගන්වන කාර්යයේ උද්‍යෝගයෙන් හවුල් වෙයි කියලත් ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. වහල්කමින් අපිව බේරගන්න යේසුස් කළේ මොකක්ද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

^ 5 ඡේ. වැඩ කරන එක සහ විවේකය ගැන හරි ආකල්පයක් තියාගන්නේ කොහොමද කියලා බයිබලේ අපිට කියලා දෙනවා. ඊශ්‍රායෙල්වරුන් හැම සතියකම පවත්වපු සබත් දවස උදාහරණෙකට අරන් වැඩ කරන එක සහ විවේකය ගැන අපිට තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද කියලා හිතලා බලන්න මේ ලිපිය අපිට උදව් කරනවා.

^ 10 ඡේ. යේසුස්ගේ දේහයට ගල්වන්න ඕනෙ සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල් සූදානම් කරන එක සබත් දවස අවසන් වෙන තුරු කල් දාපු එකෙන් තේරෙනවා ඔහුගේ අනුගාමිකයන් සබත් නීතියට ගරු කළා කියලා.—ලූක් 23:55, 56.

^ 55 ඡේ. පින්තූරයේ අදහස: සබත් දවසේදී යෝසෙප් එයාගේ පවුලේ අයව එක්කගෙන සිනගෝගයකට යනවා.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න මහන්සි වෙලා වැඩ කරන තාත්තා කෙනෙක් වැඩ කරන්නේ නැති වෙලාවලදී නමස්කාරයට සම්බන්ධ වැඩවල හවුල් වෙනවා. එයායි, එයාගේ පවුලේ අයයි නිවාඩුවකට ගියත් ඒ දේවල් අතපසු කරන්නේ නැහැ.