Skip to content

පටුනට යන්න

“සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න”

“සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න”

ඔයා ස්තුතිවන්ත වෙන කෙනෙක්ද? ඒක අපි හැමෝම අපෙන්ම අහලා බලන්න ඕනෙ ප්‍රශ්නයක්. අපි ජීවත් වෙන මේ කාලේ ඉන්න හුඟදෙනෙක් “ස්තුතිවන්ත නොවන” අය කියලා බයිබලේ කියලා තියෙනවා. (2 තිමෝ. 3:2) අනිත් අය තමන් වෙනුවෙන් දේවල් කරන්නම ඕනෙ, තමන්ට දේවල් දෙන්නම ඕනෙ කියලා හිතන අයව සමහරවිට ඔයාට හම්බ වෙලා ඇති. තමන්ට ලැබෙන දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෙ නැහැ කියලයි එයාලා හිතන්නේ. ඒ වගේ අයව ආශ්‍රය කරන එකෙන් කිසි ප්‍රබෝධයක් ලැබෙන්නේ නැහැ කියලා ඔයා අද්දැකලා ඇති.

ඊට වෙනස්ව යෙහෝවා දෙවියන්ගේ සේවකයන් තුළ “ස්තුතිවන්තකම දක්නට ලැබිය යුතුයි” කියලා බයිබලේ කියනවා. අපිට උනන්දු කරන්නේ “සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න” කියලයි. (කොලො. 3:15; 1 තෙස. 5:18) ඇත්තටම ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන එකෙන් අපිට ගොඩක් හොඳ දේවල් අද්දකින්න පුළුවන්. ඒ මොන වගේ දේවල්ද?

අපිට අපි ගැනම හොඳ හැඟීමක් ඇති වෙනවා

අපි ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙද්දී ඒක අපිට උදව් වෙනවා අපි ගැනම හොඳ හැඟීමක් ඇතුව ඉන්න. එහෙම වෙන්නේ කොහොමද? මේ ගැන හිතන්න. කෙනෙක් ඔයා වෙනුවෙන් දෙයක් කරන්නේ හෝ ඔයාට යමක් දෙන්නේ එයාට ඔයාව වටින නිසයි. තව කෙනෙක් ඔයාව වටින කෙනෙක් විදිහට සලකනවා කියලා දැනුණාම ඔයාට ඔයා ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. ඒක ඔයාට සතුටක්. ඒ කෙනා ඔයාට කරපු දේට නැත්නම් දීපු දේට ඔයා ස්තුතියි කිව්වාම ඒක එයාටත් සතුටක්. බෝවස් රූත් වෙනුවෙන් දේවල් කළාම රූත්ටත් හැඟුණා තමන් වටින කෙනෙක් කියලා.—රූත් 2:10-13.

අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට. දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය දේවල් වගේම මේ වෙන කල් ඔයාට ජීවත් වෙන්න අවශ්‍ය හැම දේම ඔහු ඔයාට දීලා තියෙනවා. (ද්වි. 8:17, 18; ක්‍රියා 14:17) සමහර වෙලාවලදී ඒ දේවල් ගැන ඔයා කල්පනා කරලා ඇති. ඒත් දෙවියන් කරලා තියෙන යහපත් දේවල් ගැන හිතලා ටික වෙලාවකින් ඒක අමතක කරලා දාන්නේ නැතුව ඔහු ඔයා වෙනුවෙනුත් ඔයා ආදරේ කරන අය වෙනුවෙනුත් කරලා තියෙන හැම දෙයක් ගැනම කාලේ අරන් හොඳට හිතන්න. යෙහෝවා දෙවියන් කොයි තරම් ත්‍යාගශීලීද කියලා හිතද්දී ඔහු ගැන ඔයාගේ හිතේ තියෙන අගය තව වැඩි වෙයි. ඔහුට ඔයා ගැන ලොකු ආදරයක් තියෙනවා කියලත් ඔයාව ඔහු අගය කරනවා කියලත් ඔයාට තවත් නිසැක වෙයි.—1 යොහ. 4:9.

ඒත් දෙවියන්ගේ ත්‍යාගශීලීකම, ඔහු ඔයාට ආශීර්වාද කරලා තියෙන විදි ගැන හොඳට හිතන එක විතරක් මදි. ඒ හැම දෙයක් ගැනම ඔහුට ස්තුති කරන්න. (ගීතා. 100:4, 5) “ස්තුතිවන්ත වෙන එක අපේ සතුටට දායක වෙනවා” කියලා හොයාගෙන තියෙනවා.

මිතුදම් තව ශක්තිමත් වෙනවා

අපි ස්තුතිවන්ත වෙද්දී අපි අතරේ තියෙන මිතුදම් තව ශක්තිමත් වෙනවා. අනිත් අය අපිව අගය කරනවා කියලා අපිට දැනෙන්න ඕනේ. තව කෙනෙක් ඔයා වෙනුවෙන් කරපු දේකට ඔයා ස්තුතියි කියද්දී ඔය දෙන්නා අතරේ තියෙන යාළුකම වැඩි වෙනවා. (රෝම 16:3, 4) ස්තුතිවන්ත වෙන අය අනිත් අයට උදව් කරන්න කැමතියි. මොකද අනිත් අය එයාලා වෙනුවෙන් කරන දේවල් එයාලගේ අවධානයට ඉක්මනින්ම ලක් වෙනවා වගේම අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න එයාලත් පෙලඹෙනවා. අනිත් අයට උදව් කරද්දී කෙනෙක් ලොකු සතුටක් අද්දකිනවා. යේසුස් කිව්වෙත් “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලයි.—ක්‍රියා 20:35.

ස්තුතිවන්තකම ගැන අධ්‍යයනය කරන, කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයෙක් වන රොබර්ට් එමන්ස් මෙහෙම කියනවා. “ස්තුතිවන්ත වෙන්න නම් එකිනෙකාගේ උදව් අපිට ඕනෙ කියලා අපි තේරුම්ගන්න ඕනේ. සමහර වෙලාවට අනිත් අය අපි වෙනුවෙන් දෙයක් කරනවා. තවත් වෙලාවක අපි එයාලා වෙනුවෙන් දෙයක් කරනවා.” ඒ කියන්නේ ජීවත් වෙන්නත් ඒ ජීවිතේ සතුටින් ගත කරන්නත් අපිට අනිත් අය ඕනේ. උදාහරණෙකට කෑම බීම, බෙහෙත් හේත් ලබාගන්න අපිට අනිත් අයගේ උදව් ඕනේ. (1 කොරි. 12:21) ස්තුතිවන්ත වෙන කෙනෙක් අනිත් අය එයා වෙනුවෙන් කරන දේවල් අගය කරනවා. එහෙමනම් අනිත් අය ඔයා වෙනුවෙන් කරන දේවලට ස්තුතියි කියන්න පුරුදු වෙන එක හොඳ දෙයක් නෙමෙයිද?

හොඳ දකින්න ලේසියි

ජීවිතේ අපි අද්දකින නරක දේවලට නෙමෙයි හොඳ දේවලට වැඩි අවධානයක් දෙන්න ස්තුතිවන්ත වෙන එක අපිට උදව් වෙනවා. අපේ මනසට පුළුවන් නරක දේවලට බාධකයක් දාලා හොඳ දේවලට විතරක් අපේ මනස යොමු කරන්න. ඔයා වැඩි වැඩියෙන් ස්තුතිවන්ත වෙද්දී තව වැඩියෙන් හොඳ පැති දකින්න ඔයාට පුළුවන්. එතකොට ස්තුතිවන්ත වෙන්න ඔයාට තවත් හේතු ලැබෙයි. ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවලට ඔයා වැඩි අවධානයක් දෙද්දී “ස්වාමීන් ගැන නිරතුරුවම ප්‍රීති වන්න” කියලා පාවුල් කියපු දේ කරන්න ඔයාට පුළුවන් වෙයි.—ෆිලි. 4:4.

ස්තුතිවන්ත වෙන්න ඔයා පුරුදු වෙද්දී ඔයාට තේරෙයි නරක සිතුවිලි හිතින් අයින් කරගන්න ඒක ඔයාට උදව් වෙනවා කියලා. උදාහරණෙකට හිතන්න ස්තුතිවන්ත වෙන ගමන්ම තව කෙනෙක් එක්ක තරහෙන් ඉන්න, එයාට ඊර්ෂ්‍යා කරන්න ඔයාට පුළුවන්ද? බැහැ නේද? ඒ වගේම ස්තුතිවන්ත වෙන කෙනෙක් දැනටමත් තමාට තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙනවා. ඒ නිසා එයා ධන සම්පත් පස්සේ දුවන්නේ නැහැ.—ෆිලි. 4:12.

ඔයාට ලැබිලා තියෙන හොඳ දේවල් ගැන හිතන්න

මේ අවසාන කාලේ අපිට මුහුණ දෙන්න වෙන දුෂ්කරතා නිසා අපි අධෛර්යය වෙලා දුකෙන් ඉන්නවා දකින්න සාතන් කැමතියි. අපි හැමදාම කන්කෙඳිරි ගගා, හැම දේකම නරක පැති විතරක් දැකදැක ඉන්නවා නම් සාතන් ගොඩක් සතුටු වෙයි. මොකද එතකොට අපිට බැරි වෙනවා මිනිසුන්ගේ හිතට කාවදින විදිහට, උද්‍යෝගයෙන් අපේ පණිවිඩය එයාලට කියන්න. ඊට වෙනස්ව ස්තුතිවන්ත වෙන කෙනෙක් තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග දකින්න පුළුවන්. උදාහරණෙකට එහෙම කෙනෙක් තුළ ප්‍රීතිය තියෙනවා. දෙවියන් එයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන එයා සතුටු වෙනවා. ඒ වගේම දෙවියන්ගේ හැම පොරොන්දුවක් ගැනම එයාට ලොකු විශ්වාසයකුත් තියෙනවා.—ගලා. 5:22, 23.

යෙහෝවා දෙවියන්ගේ සේවකයෙක් හැටියට ඔයා දන්නවා ස්තුතිවන්ත වෙන එක ගැන මේ ලිපියේ කතා කරපු තොරතුරු කොච්චර වටිනවාද කියලා. ඒත් හැම වෙලාවෙම ස්තුතිවන්ත වෙන එක, හැම දේකම හොඳ පැත්ත දකින එක ලේසි නැහැ. එහෙමයි කියලා ඒක කොහොමටවත් කරන්න බැරි දෙයක් කියලා හිතන්න එපා. අපි ඕනෙම කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. හැම දවසකම ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් ගැන හිතන්න කාලේ ගන්න. ඔයා එහෙම කරන්න කාලේ ගන්න තරමට ස්තුතිවන්ත වෙන එක ඔයාට ලේසි දෙයක් වෙයි. ඒකෙන් ඔයාගේ සතුටත් තව වැඩි වෙයි. ඔයා ගැන තියෙන ආදරේ නිසා යෙහෝවා දෙවියන් සහ අනිත් අය ඔයා වෙනුවෙන් කරන දේවල් ගැන හිතන්න. ඒ ගැන ඔයාට පොඩි පොතක ලියන්නත් පුළුවන්. හැම දවසකම ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් 2ක් හෝ 3ක් ඒකේ ලියන්න.

පර්යේෂකයන් හොයාගෙන තියෙනවා අපි නිතරම ස්තුතිවන්ත වෙද්දී අපේ මනස ක්‍රියා කරන විදිහේ යම් වෙනසක් වෙනවා කියලා. ඒ වෙනස අපිට උදව් වෙනවා අපේ ජීවිතේ ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න. ස්තුතිවන්ත වෙන කෙනෙක් අද්දකින සතුට වැඩියි. ඒ නිසා ඔයාට ලැබිලා තියෙන හැම යහපත් දෙයක් ගැනම හිතන්න. ජීවිතේ ඔයා අද්දකින හොඳ දේවල් ගැන සතුටු වෙන්න. ඒ හැම දේකටම “යෙහෝවා දෙවිට ස්තුති කරන්න.” මොකද ‘ඔහු යහපත් දෙවි කෙනෙක්.’ අගය නැති කරගන්නේ නැතුව “සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න.”—1 ලේක. 16:34; 1 තෙස. 5:18.