Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 48

ආරම්භ කළ කාර්යය අවසන් කරන්න

ආරම්භ කළ කාර්යය අවසන් කරන්න

“ඒ කාර්යය අවසන් කරන්න.”—2 කොරි. 8:11.

ගීතිකාව 35 ‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’

මේ ලිපියෙන් *

1. යෙහෝවා දෙවියන් අපිට නිදහස දීලා තියෙන්නේ මොකක් කරන්නද?

අපේ ජීවිතේ අපි ගත කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න යෙහෝවා දෙවියන් අපිට නිදහස දීලා තියෙනවා. හොඳ තීරණ ගන්නේ කොහොමද කියලා ඔහු අපිට කියලා දෙනවා වගේම ඒවාට අනුව වැඩ කරන්න ඔහු අපිට උදව් කරනවා. (ගීතා. 119:173) බයිබලෙන් අපි ඉගෙනගන්න දේවල් අදාළ කරගද්දී හොඳ තීරණ ගන්න අපිට පුළුවන්.—හෙබ්‍රෙ. 5:14.

2. තීරණයක් ගත්තාට පස්සේ එන අභියෝගය මොකක්ද?

2 අපි ඥානවන්ත තීරණයක් ගත්තත් ඒකට අනුව වැඩ කරන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. මේ උදාහරණ බලන්න. තරුණ සහෝදරයෙක් මුළු බයිබලේම කියවන්න තීරණයක් ගන්නවා. සති කීපයක් ඒක කළත් එයා ඒක මඟදී නවත්තනවා. සහෝදරියක් තීරණය කරනවා ස්ථාවර පුරෝගාමි සේවය කරන්න. ඒත් ඒක පටන්ගන්න එයා දවසින් දවස කල් දානවා. වැඩිමහල් මණ්ඩලයක් තීරණයකට එනවා සභාවේ අයව තව වැඩියෙන් හම්බ වෙලා එයාලව දිරිගන්වන්න. මාස කීපයක් ගත වුණත් එයාලා ඒක පටන් අරන් නැහැ. ඒ සිද්ධීන් එකකට එකක් වෙනස් වුණත් ඒ හැම සිද්ධියකම සමානකමක් තියෙනවා. ඒ තමයි තීරණයක් ගත්තාට ඒකට අනුව වැඩ කළේ නැති එක. මුල් සියවසේ කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීනුත් ඒ අභියෝගයට මුහුණ දුන්නා. ඒ ගැන අපි බලමු.

3. කොරින්ති සභාවේ අය ගත්ත තීරණය මොකක්ද? ඒත් වුණේ මොකක්ද?

3 ක්‍රි.ව. 55දී විතර කොරින්ති සභාවේ අය වැදගත් තීරණයක් ගත්තා. යෙරුසලමේ සහ යුදයේ ඉන්න සහෝදරයන් අගහිඟකම්වලින් පෙළෙනවා කියලත් එයාලට උදව් කරන්න අනිත් ප්‍රදේශවල තියෙන සභාවන් සම්මාදම් එකතු කරනවා කියලත් කොරින්ති සභාවේ අයට දැනගන්න ලැබුණා. සහෝදරයන් ගැන තිබුණ ආදරේ නිසාත් පරිත්‍යාග කරන්න තිබුණ කැමැත්ත නිසාත් කොරින්ති සභාවේ අයත් තීරණය කරනවා සහෝදරයන් වෙනුවෙන් සම්මාදම් කරන්න. ඒක කරන්න පුළුවන් කොහොමද කියලා එයාලා පාවුල්ගෙන් ඇහුවා. කරන්න ඕනෙ දේ ගැන පාවුල් එයාලට යම් මඟ පෙන්වීම් දීලා සම්මාදම් එකතු කරන්න තීතස්ව පත් කළා. (1 කොරි. 16:1; 2 කොරි. 8:6) ඒත් මාස කීපයක් ගත වුණාට පස්සේ පාවුල්ට දැනගන්න ලැබුණා කොරින්ති සභාවේ අය තීරණය කරපු විදිහට සම්මාදම් ලබා දීලා නැහැ කියලා. ඒ නිසා අනිත් සභාවලින් එකතු කරපු සම්මාදම් අරන් යෙරුසලමට යද්දී කොරින්ති සභාවේ අයගේ සම්මාදම් ඒ එක්ක යවන්න බැරි තත්වයකුයි තිබුණේ.—2 කොරි. 9:4, 5.

4. 2 කොරින්ති 8:7, 10, 11 පෙන්නලා තියෙන විදිහට පාවුල් කොරින්තිවරුන්ට දිරිගැන්නුවේ මොකක් කරන්න කියලාද?

4 කොරින්ති සභාවේ අය ගත්තේ හොඳ තීරණයක්. එයාලගේ විශ්වාසය, සම්මාදම් කරන්න එයාලට තිබුණ කැමැත්ත පාවුල් අගය කළා. ඒත් පාවුල්ට වුණා සම්මාදම් කරන්න එයාලා ගත්ත තීරණයට එකඟව වැඩ කරන්න කියලා එයාලට මතක් කරන්න. එයාලා පටන්ගත්ත කාර්යය අවසන් කරන්න කියලයි පාවුල් කිව්වේ. (2 කොරින්ති 8:7, 10, 11 කියවන්න.) ගන්න තීරණවලට එකඟව වැඩ කරන එක විශ්වාසවන්ත අයට වුණත් අමාරු වෙන්න පුළුවන් කියලා කොරින්තිවරුන්ගේ අද්දැකීමෙන් පැහැදිලියි.

5. අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

5 අපිටත් අපි ගත්ත තීරණවලට එකඟව වැඩ කරන්න අමාරු වෙන්න පුළුවන්. මොකද උරුම වෙලා තියෙන පාපය නිසා දේවල් කරන එක කල් දාන්න අපි පෙලඹෙයි. එහෙම නැත්නම් බලාපොරොත්තු නොවුණ දෙයක් සිද්ධ වුණ නිසා ගත්ත තීරණයකට අනුව වැඩ කරන්න බැරි වෙයි. (දේශ. 9:11; රෝම 7:18) හොඳ තීරණ ගන්නේ කොහොමද? ගත්ත තීරණයක යම් වෙනසක් කරන්න ඕනෙද කියලා තේරුම්ගන්නේ කොහොමද? ගත්ත තීරණයකට අනුව වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද?

හොඳ තීරණ ගන්න නම්

6. ගත්ත තීරණයක් සමහරවිට වෙනස් කරන්න වෙන්නේ ඇයි?

6 අපි ගන්න සමහර තීරණ අපි කවදාවත් වෙනස් කරන්නේ නැහැ. උදාහරණෙකට යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ගත්ත තීරණය අපි වෙනස් කරන්නේ නැහැ. සැමියාට, බිරිඳට විශ්වාසවන්තව ඉන්න අපි ගත්ත තීරණයටත් අපි ඇලිලා ඉන්නවා. (මතෙ. 16:24; 19:6) ඒත් අපි මුහුණ දෙන තත්වයන් වෙනස් වෙන නිසා සමහර තීරණ අපිට වෙනස් කරන්න වෙයි. හොඳ තීරණ ගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

7. අපි යාච්ඤාවෙන් ඉල්ලන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

7 ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න. යාකොබ් මෙහෙම කිව්වා. ‘තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. මන්ද දෙවි සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.’ (යාකො. 1:5) අපිට ‘ප්‍රඥාව අඩු’ වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා තීරණයක් ගද්දී වගේම ගත්ත තීරණයක් වෙනස් කරන්න ඕනෙද කියලා හිතද්දී දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. එතකොට ඥානවන්ත තීරණයක් ගන්න ඔහු ඔයාට උදව් කරයි.

8. තීරණයක් ගන්න කලින් තොරතුරු ලබාගන්නේ කොහොමද?

8 තොරතුරු ගවේෂණය කරන්න. බයිබලෙන් තොරතුරු හොයන්න. අපේ සංවිධානයේ ප්‍රකාශන කියවන්න. ඥානවන්ත උපදෙස් දෙන අය එක්ක කතා කරන්න. (හිතෝ. 20:18) රස්සාවේ හෝ පදිංචියේ වෙනසක් කරන්න තීරණය කරන්න කලින් තොරතුරු ගවේෂණය කරන එක හොඳ දෙයක්. දෙවියන්ට දිගටම සේවය කරන ගමන් වියදමට අවශ්‍ය මුදල් හොයාගන්න උදව් වෙන රැකියාවක් තෝරගන්න ලබන්න ඕනෙ අධ්‍යාපනය ගැන තීරණය කරන්න කලිනුත් තොරතුරු හොයන්න.

9. අපි අපිටම අවංක වෙන එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

9 යම් තීරණයක් ඔයා ගන්නේ ඇයි කියලා හිතන්න. අපි දේවල් කරන හේතුව ගැන යෙහෝවා දෙවියන් සැලකිලිමත් වෙනවා. (හිතෝ. 16:2) හැම කාරණයකදීම අපි අවංක වෙනවා දකින්නයි ඔහු කැමති. ඒ නිසා තීරණ ගද්දී අපි අපිටම අවංක වෙන්න ඕනෙ වගේම අපි අනිත් අයව රවට්ටන්නත් හොඳ නැහැ. අපි අවංක නැත්නම් අපි ගත්ත තීරණයට අනුව වැඩ කරන්න අපිට අමාරුයි. උදාහරණෙකට තරුණ සහෝදරයෙක් ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගන්න තීරණය කරනවා. ඒත් කාලයක් යද්දී එයාගෙන් බලාපොරොත්තු වෙන පැය ප්‍රමාණය කරන්න එයාට බැරි වෙනවා. සේවයෙන් එයා සතුටක් ලබන්නෙත් නැහැ. සමහරවිට එයා හිතන්න ඇති එයා පුරෝගාමි සේවය පටන්ගත්තේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න එයාට තියෙන කැමැත්ත නිසයි කියලා. ඒත් ඇත්තටම එයා පුරෝගාමි සේවය පටන්ගත්තේ එයාගේ දෙමාපියන්ව නැත්නම් වෙනත් කෙනෙක්ව සතුටු කරන්න වෙන්න පුළුවන්.

10. කෙනෙක් වෙනස්කම් කරගන්න පෙලඹෙන්නේ ඇයි?

10 බයිබලේ පාඩම් කරන කෙනෙක් සිගරට් බොන එක අත්හරින්න තීරණය කළා කියලා හිතන්න. අමාරු වුණත් සතියක් දෙකක් එයා සිගරට් නොබී ඉන්නවා. ඒත් ආයෙත් එයා සිගරට් බොන පුරුද්දට වැටෙනවා. කාලයක් ගියාට පස්සේ එයා ඒ පුරුද්ද සම්පූර්ණයෙන්ම අත්හරිනවා. තීරණය කරපු දේ එයාට කරන්න පුළුවන් වුණේ කොහොමද? යෙහෝවා දෙවියන් ගැන එයාට තියෙන ආදරේ සහ ඔහුව සතුටු කරන්න එයාට තිබුණ කැමැත්ත නිසයි එයා ඒක කරන්න පෙලඹුණේ.—කොලො. 1:10; 3:23.

11. අපි නිශ්චිත ඉලක්ක තියාගන්න ඕනෙ ඇයි?

11 නිශ්චිත ඉලක්ක තියාගන්න. එතකොට ඒවා ජය ගන්න ලේසියි. උදාහරණෙකට නිතිපතා බයිබලේ කියවන්න තීරණය කළත් ඒකට නිශ්චිත වෙලාවක් වෙන් කරලා කාලසටහනක් හදාගත්තේ නැත්නම් ඒක කරන්න අමාරුයි. * හිතන්න සභාවේ අයව තව වැඩිපුර හම්බ වෙලා දිරිගන්වන්න වැඩිමහල්ලන් තීරණය කළා කියලා. එයාලට තියෙන ඒ ඉලක්කය ජය ගන්න නම් එයාලා මේ පැති ගැන හිතන්න ඕනේ. “විශේෂයෙන්ම දිරිගැන්වීම් අවශ්‍ය කාටද කියලා අපි ලැයිස්තුවක් හදලා තියෙනවාද? එයාලව බලන්න යන්න අපි නිශ්චිත වෙලාවන් වෙන් කරලා තියෙනවාද?”

12. අපිට මොකක් කරන්න වෙයිද? ඒ ඇයි?

12 සාධාරණ වෙන්න. අපි කැමති හැම දේම කරන්න තරම් කාලයක්, හැකියාවක්, ශක්තියක් අපි කාටවත් නැහැ. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් මොනවාද බැරි මොනවාද කියලා සාධාරණව හිතන්න. ඔයාට තේරුණොත් ඔයා ගත්ත තීරණයකට අනුව වැඩ කරන එක දැන් ඔයාට අමාරුයි කියලා ඔයාට වෙයි ඒ තීරණය වෙනස් කරන්න. (දේශ. 3:6) හිතන්න ඔයා ගත්ත තීරණයක් ගැන ආයෙත් හිතලා බැලුවා කියලා. ඔයාගේ තත්වයට අනුව ඔයා යම් වෙනස්කම් කරගන්නවා. දැන් ඔයාට තේරෙනවා ඒ වැඩේ ඔයාට කරන්න පුළුවන් කියලා. ඒක සාර්ථකව අවසන් කරන්න උදව් වෙන පියවර පහක් බලන්න.

තීරණය කරපු දේ කරන්න උදව් වෙන පියවර පහක්

13. තීරණයකට අනුව වැඩ කරන්න අවශ්‍ය ශක්තිය ලබාගන්න පුළුවන් කොහොමද?

13 තීරණයට එකඟව වැඩ කරන්න ශක්තිය ඉල්ලලා යාච්ඤා කරන්න. ඔයා ගත්ත තීරණයට අනුව වැඩ කරන්න ඔයා තුළ “පෙලඹීමක් ඇති කරන්න” දෙවියන්ට පුළුවන්. (ෆිලි. 2:13) ඒ නිසා ශක්තිය ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න. ඔයාගේ යාච්ඤාවලට උත්තර ලැබෙන්න ප්‍රමාදයි වගේ පෙනුණත් දිගටම යාච්ඤා කරන්න. යේසුස් කිව්වේ දෙවියන්ගේ බලය ‘නොකඩවා ඉල්ලන්න. එවිට ඒ බලය ඔබට ලැබෙයි’ කියලා.—ලූක් 11:9, 13.

14. ගත්ත තීරණයකට එකඟව වැඩ කරන්න හිතෝපදේශ 21:5 තියෙන ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද?

14 සැලැස්මක් හදන්න. (හිතෝපදේශ 21:5 කියවන්න.) ඔයා පටන්ගන්න ඕනෙම වැඩක් සාර්ථකව අවසන් කරන්න නම් ඔයාට හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ සැලැස්මට අනුව වැඩ කරන්නත් ඕනේ. ඔයා තීරණයක් ගත්තාම ඒකට එකඟව වැඩ කරන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා ලැයිස්තුවක් හදාගන්න. ඔයාට කරන්න තියෙන්නේ ටිකක් ලොකු කාර්යයක් නම් ඒක පොඩි පොඩි කොටස්වලට බෙදන්න. ඒ පොඩි පොඩි කොටස් එකින් එක කරද්දී කාර්යය සම්පූර්ණ කරන්න තව කොච්චර ප්‍රමාණයක් කරන්න ඕනෙද කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන්. පාවුල් කොරින්තිවරුන්ට කිව්වා එයාලා දෙන්න අදහස් කරපු මුළු සම්මාදම එකතු කරන්න එයා එන කල් බලන් ඉන්නේ නැතුව “සෑම සතියකම පළමුවෙනි දින” එයාලා ළඟ තියෙන මුදල්වලින් යම් මුදලක් ඒ වෙනුවෙන් වෙන් කරන්න කියලා. (1 කොරි. 16:2) කරන්න තියෙන ලොකු කාර්යයක් පොඩි පොඩි කොටස්වලට බෙදුවාම ඒ වැඩේ කරන්න බැරි තරම් විශාල එකක් හැටියට පේන්නේ නැහැ.

15. සැලැස්මක් හැදුවාට පස්සේ ඔයාට කරන්න පුළුවන් මොකක්ද?

15 කරන්න සැලසුම් කරලා තියෙන දේවල් ඔයා පැහැදිලිව ලියාගන්නවා නම් ගත්ත තීරණයට එකඟව වැඩ කරන්න ඔයාට පහසුයි. (1 කොරි. 14:40) උදාහරණෙකට වැඩිමහල්ලන්ට මඟ පෙන්නලා තියෙනවා එයාලා මණ්ඩලයක් විදිහට ගන්න හැම තීරණයක්ම සටහන් කරගන්න වගකීම එක වැඩිමහල්ලෙක්ට භාර දෙන්න කියලා. ඒ එක් එක් කාර්යය භාර දෙන්නේ කාටද කියලත් ඒවා කරලා ඉවර කරන්න ඕනෙ කවදාටද කියලත් එයා සටහන් කරගන්න ඕනේ. එහෙම කළාම මණ්ඩලයක් විදිහට ගන්න තීරණවලට අනුව වැඩ කරන්න වැඩිමහල්ලන්ට ලේසියි. (1 කොරි. 9:26) එදිනෙදා වැඩවලදී ඒ වගේම දෙයක් කරන්න ඔයාටත් පුළුවන්. උදාහරණෙකට හැම දවසකම ඔයාට කරන්න තියෙන වැඩවල ලැයිස්තුවක් හදාගෙන ඒවා කරන්න ඕනෙ අනුපිළිවෙළට අනුව ඒක සකස් කරගන්න. එහෙම කරද්දී ඔයා කරන්න අදහස් කරපු වැඩ ටික කරලා ඉවර කරගන්න වගේම තව අමතර දෙයක් කරන්නත් ඔයාට පුළුවන් වෙයි.

16. ගත්ත තීරණයකට අනුව වැඩ කරන්න නම් ඔයා මොකක්ද කරන්න ඕනේ? රෝම 12:11 ඒක පැහැදිලි වෙන්නේ කොහොමද?

16 වෑයමක් දරන්න. ඔයා හදපු සැලැස්මට අනුව වැඩ කරලා පටන්ගත්ත කාර්යය අවසන් කරන්න නම් වෑයමක් දරන්න වෙනවා. (රෝම 12:11 කියවන්න.) පාවුල් තිමෝතිට කිව්වා දක්ෂ ගුරුවරයෙක් වෙන්න එයාගේ පැත්තෙන් එයා කරන්න ඕනෙ දේවල් ගැන “නිරතුරුවම සැලකිලිමත් වෙන්න” කියලා. අත් නෑර ඒ දේවලට “ඇලී සිටින්න” කියලා එයා කිව්වා. ඒ උපදෙස දෙවියන් වෙනුවෙන් අපි කරන්න තීරණය කරන ඕනෙම දේකට අදාළයි.—1 තිමෝ. 4:13, 16.

17. අපේ සැලැස්මට අනුව වැඩ කරන්න එෆීස 5:15, 16 උදව් වෙන්නේ කොහොමද?

17 කාලය ඥානවන්තව පාවිච්චි කරන්න. (එෆීස 5:15, 16 කියවන්න.) ඔයා දෙයක් කරන්න වෙන් කරපු වෙලාවේ ඒක කරන්න. තත්වයන් හොඳ අතට හැරෙන කල් බලන් ඉන්න එපා. මොකද ඔයා බලාපොරොත්තු වෙන විදිහට තත්වයන් හොඳ අතට හැරෙන්නේ නැති වෙන්න පුළුවන්. (දේශ. 11:4) වඩා වැදගත් දේවලට දෙන්න ඕනෙ කාලය, ශක්තිය එච්චර වැදගත් නැති දේවලට නොදී ඉන්න වගබලා ගන්න. (ෆිලි. 1:10) වැඩක් වෙනුවෙන් කාලය වෙන් කරගද්දී අනිත් අයගෙන් බාධාවක් වෙන්නේ නැති වෙයි කියලා හිතෙන වෙලාවක් තෝරගන්න. ඒ වෙලාවේ ඔයාට බාධා කරන්න එපා කියලා අනිත් අයට කියන්නත් ඔයාට පුළුවන්. ඔයාගේ ෆෝන් එක ඕෆ් කරන එක, ඔයාට එන මෙසේජස්, ඊ-මේල් පස්සේ වෙලාවක බලන එක හොඳ දෙයක්. *

18-19. ගත්ත තීරණයකට අනුව වැඩ කරන එක අමාරු වුණත් ඒ තීරණයට ඇලිලා ඉන්න උදව් වෙන්නේ මොකක්ද?

18 ප්‍රතිඵල ගැන හිතන්න. ඔයා ගත්ත තීරණයකට අනුව වැඩ කළාම ලැබෙන ප්‍රතිඵලය හරියට ඔයා යන ගමනක ගමනාන්තය වගේ. ගමනාන්තයටම යන්න ඔයාට ඕනෙ නම් මොනම හේතුවක් නිසාවත් ඔයා ගමන නතර කරන්නේ නැහැ. පාර වහලා තිබුණත් ඔයා වෙන පාරකින් හරි එතනට යනවා. ඒ වගේ අපි ගත්ත තීරණයට එකඟව වැඩ කළාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය ගැන හිතනවා නම් බාධා ආවත් අපි ඒ තීරණයට ඇලිලා ඉන්නවා.—ගලා. 6:9.

19 හොඳ තීරණ ගන්න එක ලේසි නැහැ. ගන්න තීරණවලට අනුව වැඩ කරන එකත් අභියෝගයක්. ඒත් ඒ දෙකම කරන්න ඕනෙ කරන ප්‍රඥාව සහ ශක්තිය ඔයාට දෙන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්.

ගීතිකාව 65 දියුණු වන්න

^ 5 ඡේ. ඔයා ගත්ත සමහර තීරණ ගැන ඔයා පසුතැවෙනවාද? හොඳ තීරණ ගන්නත් ඒවාට අනුව වැඩ කරන්නත් සමහර වෙලාවට ඔයාට අමාරුයි කියලා හිතෙනවාද? ඒ අභියෝග ජය අරන් ඔයා ගත්ත තීරණවලට අනුව වැඩ කරන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

^ 11 ඡේ. පෞද්ගලිකව බයිබලේ කියවන්න හොඳ කාලසටහනක් හදාගන්න jw.org® වෙබ් අඩවියේ තියෙන “බයිබල් කියවීමේ වැඩසටහන” පාවිච්චි කරන්න පුළුවන්.

^ 17 ඡේ. කාලය ඥානවන්තව පාවිච්චි කරන්න උදව් වෙන තොරතුරු දැනගන්න 2010 අප්‍රියෙල් ‘පිබිදෙව්!’ කලාපයේ පළ වුණ “කාලය සොයාගැනීමට යෝජනා 20ක්” කියන ලිපිය බලන්න.