Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 45

දෙවියන්ගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද?

දෙවියන්ගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද?

“මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”—ෆිලි. 4:13.

ගීතිකාව 104 ත්‍යාගයක් වන දෙවිගේ බලය

මේ ලිපියෙන් *

1-2. (අ) හැම දවසකම අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න දරාගන්න උදව් වෙන්නේ මොකක්ද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

“පහුගිය කාලේ මං මුහුණ දීපු ප්‍රශ්නය ගැන හිතද්දී ඒක මගේ හැකියාවෙන් නම් මට කවදාවත් දරාගන්න බැහැ කියලා මං දන්නවා.” ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? ඔයා බරපතළ අසනීපයකට මුහුණ දුන්නා නම්, ආදරේ කරපු කෙනෙක් මරණයෙන් වෙන් වුණා නම් ඔයාට එහෙම හිතිලා ඇති. ඒ අමාරු කාලේ දිහා ආපහු හැරිලා බලද්දී ගත වුණ දවසක් දවසක් ගානේ ඔයා දරාගත්තේ දෙවියන් ඔහුගේ “සාමාන්‍යය ඉක්මවූ බලය” ඔයාට දුන්න නිසයි කියලා ඔයාට සැකයක් නැහැ.—2 කොරි. 4:7-9.

2 දුෂ්ට සමාජයෙන් එන බලපෑම්වලට විරුද්ධව සටන් කරන්නත් අපිට දෙවියන්ගේ බලය ඕනේ. (1 යොහ. 5:19) “භූත සේනාවන්” එක්ක අපි කරන සටනටත් අපිට ශක්තිය ඕනේ. (එෆී. 6:12) ඒ දේවලට හොඳින් මුහුණ දෙන්න දෙවියන්ගේ බලය අපිට උදව් කරන විදි 2ක් දැන් බලමු. ඊටපස්සේ අපි බලමු දෙවියන්ගේ බලය අපි තුළ උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලා.

දෙවියන්ගේ බලය අපිව ශක්තිමත් කරනවා

3. ප්‍රශ්න දරාගන්න දෙවියන් අපිට උදව් කරන එක විදිහක් මොකක්ද?

3 ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණත් ඒවා දරාගෙන අපිට තියෙන වගකීම් දිගටම ඉටු කරන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් අපිට දෙනවා. දුෂ්කරතාවන් අද්දැක්කත් පාවුල්ට දිගටම සේවය කරන්න පුළුවන් වුණේ “ක්‍රිස්තුස් තුළින් ලැබෙන බලය” නිසයි කියලා එයා තේරුම්ගත්තා. (2 කොරි. 12:9) දෙවෙනි මිෂනාරි ගමනේදී දේශනා කරන්න එයා ලොකු කාලයක් වැය කළා වගේම වියදමට අවශ්‍ය මුදල් හොයාගන්න රැකියාවක් කරන්නත් එයාට වුණා. එයා කොරින්තියේ නැවතිලා හිටියේ අකිලා සහ ප්‍රිසිලාගේ ගෙදර. එයාලගේ රැකියාව වුණේ කූඩාරම් හදන එක. කූඩාරම් හදන්න පාවුලුත් දැනගෙන හිටපු නිසා සතියට දවස් කීපයක් එයාලා එක්ක කූඩාරම් හදලා වියදමට අවශ්‍ය මුදල් එයා හොයාගත්තා. (ක්‍රියා 18:1-4) තමන්ගේ අවශ්‍යතා පිරිමහගන්න අතරේ දේවසේවය හොඳින් කරන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් පාවුල්ට දුන්නා.

4. 2 කොරින්ති 12:7ආ-9 අනුව පාවුල් මුහුණ දීපු පීඩාව මොකක්ද?

4 2 කොරින්ති 12:7ආ-9 කියවන්න. ඒ පදවල “ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාවක්” ගැන පාවුල් කතා කරනවා. හිතන්න, ඔයාගේ කකුලට කටුවක් ඇනුණා කියලා. ඒක කොච්චර වේදනාකාරීද? පාවුල් කිව්වේ එයා අද්දැක්ක යම් පීඩාවක් නිසා එයාට ලොකු වේදනාවක් දැනුණා කියලයි. “සාතන්ගේ දූතයෙකු හා සමානව ක්‍රියා කරන ඒ දෙයින් මම නිතරම පහර ලබමි” කියලත් එයා කියනවා. පාවුල්ට තිබුණ පීඩාව සාතන්වත් භූතයන්වත් කෙළින්ම ඇති කරපු පීඩාවක් නොවෙන්න පුළුවන්. ඒත් ඇනිලා තිබුණ කටුවක් තවත් තද කරලා වේදනාව වැඩි කරනවා වගේ පාවුල්ට පීඩාවක් තියෙනවා කියලා දැක්කාම සාතන් ඒ පීඩාව පාවිච්චි කරලා පාවුල්ව තව තවත් වේදනාවට පත් කරන්න ඇති.

5. යෙහෝවා දෙවියන් පාවුල්ගේ යාච්ඤාවට උත්තර දුන්නේ කොහොමද?

5 පාවුල්ට ඕනෙ වුණේ යෙහෝවා දෙවියන් එයාගේ පීඩාව අයින් කරනවා දකින්නයි. “එය මගෙන් ඉවත් කරන ලෙස මම ස්වාමීන්ගෙන් තුන් වතාවක්ම මහත් ඕනෑකමින් ඉල්ලා සිටියෙමි” කියලා පාවුල් කිව්වා. කොච්චර යාච්ඤා කළත් ඒ පීඩාව නැති වුණේ නැහැ. ඒකෙන් අදහස් කරනවාද දෙවියන් පාවුල්ගේ යාච්ඤාවලට උත්තර දුන්නේ නැහැ කියලා? නැහැ. දෙවියන් උත්තර දුන්නා. පීඩාව අයින් කළේ නැති වුණාට ඒක විඳදරාගන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් එයාට දුන්නා. දෙවියන් කිව්වා “ඔබේ දුර්වලකම තුළින් මගේ බලය සම්පූර්ණයෙන්ම දැකගත හැකිය” කියලා. (2 කොරි. 12:8, 9) දෙවියන්ගේ උදව්වෙන් පාවුල්ට පුළුවන් වුණා සතුට සහ හිතේ සාමය දිගටම තියාගන්න.—ෆිලි. 4:4-7.

6. (අ) යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට මොන විදිවලින් උත්තර දෙයිද? (ආ) ඔයාට ශක්තියක් වුණේ ඡේදයේ සඳහන් වෙන බයිබල් පදවල තියෙන මොන පොරොන්දුද?

6 පාවුල් වගේ ඔයාත් ඔයාට තියෙන ප්‍රශ්නයක් අයින් කරන්න කියලා යෙහෝවා දෙවියන්ට කන්නලව් කරලා තියෙනවාද? කොච්චර යාච්ඤා කළත් ප්‍රශ්නය තාමත් තියෙනවාද? නැත්නම් තිබුණාට වඩා ප්‍රශ්නය තව වැඩි වෙලාද? දෙවියන්ගේ අනුමැතිය ඔයාට නැති වෙලා කියලා ඔයාට හිතුණාද? පාවුල්ගේ යාච්ඤාවලට දෙවියන් උත්තර දුන්නා වගේ ඔයාගේ යාච්ඤාවලටත් දෙවියන් උත්තර දෙනවා. ඔහු සමහරවිට ඔයාගේ ප්‍රශ්නය අයින් කරන එකක් නැහැ. ඒත් දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ඒක දරාගන්න අවශ්‍ය ශක්තිය ඔයාට දෙනවා. (ගීතා. 61:3, 4) ප්‍රශ්නය නිසා ඔයාව ‘බිමටම ඇදලා දාලා’ කියලා ඔයාට දැනෙයි. ඒත් යෙහෝවා දෙවියන් කවදාවත් ඔයාව අත්හරින්නේ නැහැ.—2 කොරි. 4:8, 9; ෆිලි. 4:13.

ඉස්සරහට යන්න දෙවියන්ගේ බලය අපිට උදව් කරනවා

7-8. (අ) දෙවියන්ගේ බලය හුළඟකට සමාන කරන්න පුළුවන් කොහොමද? (ආ) දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙන විදිහ පේතෘස් විස්තර කළේ කොහොමද?

7 දෙවියන්ගේ බලය අපිට උදව් කරන 2වෙනි විදිහ මොකක්ද? අපිට පුළුවන් දෙවියන්ගේ බලය හුළඟකට සමාන කරන්න. රළු මුහුදක යාත්‍රා කළත් හුළං හමන දිශාව පාවිච්චි කරලා බෝට්ටුවකට පුළුවන් ආරක්ෂාකාරීව ගමනාන්තයට යන්න. ඒ වගේ අපි ප්‍රශ්නවලට මුහුණ දුන්නත් නොසැලී මේ පොළොව පාරාදීසයක් වෙන කල් දිගටම ඉස්සරහට යන්න අපිට උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන්.

8 පේතෘස් ධීවරයෙක් නිසා මුහුදු ගමන් ගැන එයාට හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා වෙන්න ඇති දෙවියන් ඔහුගේ බලය යොදාගන්න විදිහ ගැන කතා කරද්දී එයා මුහුදු ගමන්වලට සම්බන්ධ යෙදුමක් පාවිච්චි කළේ. එයා මෙහෙම කිව්වා. “අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.” එතන “ක්‍රියාත්මක වී” හැටියට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයේ මූලික අදහස “ගසාගෙන යනවා” නැත්නම් “අරගෙන යනවා” කියන එකයි.—2 පේතෘ. 1:21.

9. පේතෘස් මිනිසුන්ගේ හිතේ අඳින්න උත්සාහ කළේ මොන වගේ පින්තූරයක්ද?

9 ක්‍රියා පොත ලියපු ලූක්, චණ්ඩ මාරුතයකට හසු වෙලා “ගසාගෙන” යන නැවක් ගැන විස්තර කරන්න පාවිච්චි කළෙත් පේතෘස් පාවිච්චි කරපු ග්‍රීක වචනයමයි. (ක්‍රියා 27:15) බයිබල් විශාරදයෙක් කියනවා බයිබල් ලේඛකයන් තුළ “දෙවිගේ බලය ක්‍රියාත්මක වී” කියලා කියන්න පේතෘස් පාවිච්චි කරලා තියෙන වචනය නිසා මිනිසුන්ගේ මනසේ ඇඳුණේ හුළඟේ උදව්වෙන් යාත්‍රා කරන රුවල් නැවක් කියලා. පේතෘස් කියන්න හැදුවේ හුළං, රුවල් නැවක් ගමනාන්තයට අරගෙන යනවා වගේ බයිබල් ලේඛකයන්ට එයාලගේ කාර්යය කරන්න දෙවියන්ගේ බලය මඟ පෙන්නුවා කියලයි. ඒ විශාරදයාම කිව්වා බයිබල් ලේඛකයන් හරියට රුවල් දිගහැරපු නැව් වගේ කියලා. දෙවියන්ගේ බලය මඟ පෙන්නපු දේ කරන්න එයාලා හිටියේ ලෑස්ති පිට. ඔහුගේ බලය දීලා දෙවියන්ගේ පැත්තෙන් වෙන්න ඕනෙ දේ ඔහු කළා. දෙවියන්ගේ බලය මඟ පෙන්නන විදිහට දේවල් කරලා බයිබල් ලේඛකයනුත් එයාලගේ පැත්තෙන් වෙන්න ඕනෙ දේ කළා.

1 පියවර: යෙහෝවා දෙවියන් අපිට කරන්න කියලා තියෙන දේවල් නිතිපතා කරන්න

2 පියවර: පුළුවන් තරම් හොඳින් ඒ දේවල් කරන්න (11 ඡේදය බලන්න) *

10-11. දෙවියන්ගේ බලය මඟ පෙන්නන විදිහ අද්දකින්න නම් අපි කරන්න ඕනෙ දේවල් 2 මොනවාද? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

10 බයිබලේ ලියලා අවසන් නිසා යෙහෝවා දෙවියන් තවත් පොත් ලියන්න ඔහුගේ බලය මාර්ගයෙන් මිනිසුන්ට අද මඟ පෙන්නන්නේ නැහැ. හැබැයි තවමත් දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වීම් දෙන්න ඔහුගේ බලය යොදාගන්නවා. ඔහුගේ පැත්තෙන් වෙන්න ඕනෙ දේ ඔහු අදටත් කරනවා. දෙවියන්ගේ බලය මඟ පෙන්නන විදිහ අද්දකින්න නම් අපි අපේ පැත්තෙන් වෙන්න ඕනෙ දේ කරන්න ඕනේ. මොනවාද අපේ පැත්තෙන් වෙන්න ඕනෙ දේ?

11 රුවල් බෝට්ටුවක් පදවන කෙනෙක් මුහුදු හුළංවලින් ප්‍රයෝජන ගන්න නම් දේවල් 2ක් කරන්න ඕනේ. (1) එයා එයාගේ බෝට්ටුව හුළං හමන පැත්තට ගෙනියන්න ඕනේ. හුළං හමන ප්‍රදේශයෙන් ඈත තියෙන වරායක බෝට්ටුව නවත්තගෙන හිටියොත් ඒ බෝට්ටුව ගමනාන්තයට යන්නේ නැහැ. (2) එයා ඒ බෝට්ටුවේ තියෙන රුවල් ඉහළට උස්සලා පුළුවන් තරම් දිගහරින්න ඕනේ. මොකද බෝට්ටුව ඉස්සරහට යන්නේ හමන හුළං රුවල්වල වදින විදිහට ඒවා හොඳට දිගහැරලා තිබුණොත් විතරයි. ඒ වගේ දෙවියන්ගේ බලයෙන් ප්‍රයෝජන ලබන්න නම් අපිත් දේවල් 2ක් කරන්න ඕනේ. (1) බෝට්ටුව හුළං හමන පැත්තට ගෙනියනවා වගේ යෙහෝවා දෙවියන් ඔහුගේ බලය ලබා දෙන්නේ මොන දේවලටද කියලා තේරුම් අරන් ඒ දේවල අපි යෙදෙන්න ඕනේ. (2) හුළං හොඳට වදින විදිහට රුවල් ඉහළට උස්සනවා වගේ දෙවියන් ඔහුගේ බලය ලබා දෙන දේවල් අපි පුළුවන් තරම් හොඳින් කරන්න ඕනේ. (ගීතා. 119:32) එතකොට විරුද්ධවාදිකම්, ප්‍රශ්න මැද වුණත් ඒවා දරාගෙන දිගටම දෙවියන්ට සේවය කරමින් ඉස්සරහට යන්න අපිට පුළුවන්.

12. දැන් අපි බලන්නේ මොනවා ගැනද?

12 මේ වෙන කල් අපි බැලුවා දෙවියන්ගේ බලය අපිට උදව් කරන විදි 2ක් ගැන. ප්‍රශ්න අද්දකිද්දී ඒවා දරාගන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් අපිට දෙනවා. ඒ වගේම අපේ ගමනාන්තය වන පාරාදීස පොළොවේ සදාකාල ජීවිතය ලැබෙන කල් ප්‍රශ්න මැද වුණත් අත් නෑර දෙවියන්ට සේවය කරමින් ඉදිරියටම යන්න ඔහුගේ බලය අපිට උදව් කරනවා. දෙවියන්ගේ බලය උපරිමයෙන්ම අපි තුළ ක්‍රියාත්මක වෙන්න නම් අපි කරන්න ඕනෙ දේවල් 4ක් ගැන දැන් බලමු.

දෙවියන්ගේ බලය උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙන්න නම් . . .

13. 2 තිමෝති 3:16, 17 අනුව මොකක් කරන්නද බයිබලේට පුළුවන්? අපේ පැත්තෙන් වෙන්න ඕනෙ මොකක්ද?

13 (1) දේවවචනය අධ්‍යයනය කරන්න. (2 තිමෝති 3:16, 17 කියවන්න.) එතන “දෙවිගේ මඟ පෙන්වීම තුළින්” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයේ මූලික අර්ථය “දෙවියන් හුස්ම හෙළුවා” කියන එකයි. ඒ කියන්නේ දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ඔහුගේ අදහස් බයිබල් ලේඛකයන්ගේ මනස් තුළට දැම්මා කියන එකයි. අපි බයිබලේ කියවලා කියවපු දේ ගැන හොඳට හිතද්දී දෙවියන්ගේ අදහස් අපේ මනසට සහ හදවතට ඇතුල් වෙනවා. දෙවියන් කැමති විදිහට අපේ ජීවිතේ වෙනස්කම් කරගන්න ඒ අදහස් අපිව පොලඹවනවා. (හෙබ්‍රෙ. 4:12) ඒත් දෙවියන්ගේ බලය උපරිමයෙන්ම අපි තුළ ක්‍රියාත්මක වෙන්න නම් බයිබලේ අධ්‍යයනය කරන්නත් ඒ ගැන හොඳට හිතන්නත් අපි නිතිපතා කාලේ ගන්න ඕනේ. එතකොටයි දේවවචනයේ තියෙන අදහස් අපි කියන කරන හැම දේටම බලපාන්නේ.

14. (අ) අපේ රැස්වීම්වලදී දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙනවා කියන්න පුළුවන් ඇයි? (ආ) රැස්වීම්වලදී දෙවියන්ගේ බලය උපරිමයෙන්ම අපි තුළ ක්‍රියාත්මක වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

14 (2) එක්ව දෙවියන්ට නමස්කාර කරන්න. (ගීතා. 22:22) අපේ රැස්වීම්වලදී දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙනවා. (එළි. 2:29) මොකද අපි සහෝදර සහෝදරියන් එක්ක රැස් වෙද්දී දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරනවා. දේවවචනය මත පදනම් වුණ ගීතිකා කියනවා. බයිබලේ මත පදනම් තොරතුරුවලට අපි ඇහුම්කන් දෙනවා. ඒවා අපිට කියලා දෙන්නේ දෙවියන්ගේ බලය මාර්ගයෙන් පත් කරපු සහෝදරයන්. තමන්ට ලැබෙන පැවරුම්වලට හොඳින් සූදානම් වෙලා ඒවා ඉදිරිපත් කරන්න සහෝදරියන්ටත් දෙවියන් බලය දීලා උදව් කරනවා. ඒත් දෙවියන්ගේ බලය උපරිමයෙන්ම අපි තුළ ක්‍රියාත්මක වෙන්න නම් අපි රැස්වීම්වලට හොඳින් සූදානම් වෙලා අදහස් දෙන්න ඕනේ. ඒ විදිහට අපි රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි පෙන්නන්නේ දෙවියන්ගේ බලය ලබාගන්න අපි සූදානම් කියලා. අපි හරියට හුළං හොඳට වදින විදිහට රුවල් ඉහළට උස්සලා තියෙන බෝට්ටුවක් වගේ.

15. දේශනා කරද්දී දෙවියන්ගේ බලය ලබන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

15 (3) සේවයේ හවුල් වෙන්න. දේශනා කරද්දී, උගන්වද්දී අපි බයිබලේ හොඳින් පාවිච්චි කරනවා නම් අපිට උදව් කරන්න අපි දෙවියන්ගේ බලයට ඉඩ දෙනවා. (රෝම 15:18, 19) ඒත් සේවයේදී දෙවියන්ගේ බලය උපරිමයෙන්ම අපි තුළ ක්‍රියාත්මක වෙන්න නම් අපි නිතිපතා දේශනා සේවයේ හවුල් වෙන්න ඕනේ. ඒ වගේම පුළුවන් හැම අවස්ථාවකදීම බයිබලෙන් දේවල් පෙන්නන්න ඕනේ. ‘වැඩපොතේ’ තියෙන යෝජනා පාවිච්චි කරනවා නම් සේවයේදී මිනිසුන් එක්ක හොඳ සාකච්ඡාවන් පටන්ගන්න ඔයාට පුළුවන් වෙයි.

16. දෙවියන්ගේ බලය කෙළින්ම ලබාගන්න අපිට පුළුවන් කොහොමද?

16 (4) යාච්ඤා කරන්න. (මතෙ. 7:7-11; ලූක් 11:13) අපිට දෙවියන්ගේ බලය කෙළින්ම ලබාගන්න පුළුවන් විදිහ තමයි ඔහුගෙන් බලය ඉල්ලලා යාච්ඤා කරන එක. අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන එකෙන් දෙවියන්ව වළක්වන්නවත් දෙවියන් ඔහුගේ බලය අපිට ලබා දෙද්දී ඒකට බාධා කරන්නවත් කිසිම දේකට බැහැ. (යාකො. 1:17) දෙවියන්ගේ බලය අපි තුළ උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්න නම් අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද? ඒකට උත්තර දැනගන්න ලූක් පොතේ විතරක් සඳහන් වෙන උපමාවක් අපි බලමු. *

අත් නෑර යාච්ඤා කරන්න

17. ලූක් 11:5-9, 13 සඳහන් යේසුස් කියපු උපමාවෙන් යාච්ඤාව ගැන අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

17 ලූක් 11:5-9, 13 කියවන්න. යේසුස් කියපු ඒ උපමාවෙන් පැහැදිලි වෙනවා දෙවියන්ගෙන් බලය ඉල්ලලා අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද කියලා. ඒ උපමාවේ ඉන්න මිනිසාට අවශ්‍ය දේ ලැබුණේ එයාගේ “දැඩි උත්සාහය නිසයි.” ගොඩක් රෑ වෙලා තිබුණත් එයා එයාගේ යාළුවාගෙන් උදව් ඉල්ලන්න බය වුණේ නැහැ. * ඒ උපමාව යේසුස් යාච්ඤාවට සම්බන්ධ කළේ කොහොමද? ඔහු මෙහෙම කිව්වා. ‘නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි. නොකඩවා දොරට තට්ටු කරන්න. එවිට ඔබටත් එය විවෘත කරනු ලැබෙයි.’ මොකක්ද පාඩම? දෙවියන්ගේ බලය ලබාගන්න නම් අපි අත්හරින්නේ නැතුව දිගටම බලය ඉල්ලලා යාච්ඤා කරන්න ඕනේ.

18. යෙහෝවා දෙවියන් ඔහුගේ බලය අනිවාර්යයෙන්ම අපිට දෙනවා කියලා යේසුස් කියපු උපමාවෙන් ස්ථිර වෙන්නේ කොහොමද?

18 යෙහෝවා දෙවියන් ඔහුගේ බලය අපිට ලබා දෙන්නේ ඇයි කියලා තේරුම්ගන්නත් යේසුස් කියපු ඒ උපමාව උදව් වෙනවා. ඒ උපමාවේ හිටපු මිනිසාට ඕනෙ වුණේ අමුත්තාට හොඳින් සලකන්න. ඒත් අමුත්තාට කෑමට දෙන්න කිසිම දෙයක් එයා ළඟ තිබුණේ නැහැ. ඒ මිනිසාගේ අසල්වැසියා කෑම දුන්නේ එයා අත්හරින්නේ නැතුව කෑම ඉල්ලපු නිසයි කියලා යේසුස් කිව්වා. යේසුස් උගන්වන්න හැදුවේ මොකක්ද? අත්හරින්නේ නැතුව දෙයක් ඉල්ලන කෙනෙක්ට ඒක දෙන්න පාපය උරුම කරගත්ත මිනිසෙක් කැමති වුණා නම් අපි අත්හරින්නේ නැතුව දෙවියන්ගෙන් බලය ඉල්ලද්දී අපේ තාත්තා වන යෙහෝවා දෙවියන් කොයි තරම් කැමැත්තකින් ඒ දේ අපිට ලබා දෙයිද!—ගීතා. 10:17; 66:19.

19. විඳදරාගන්න අපිට පුළුවන් කියලා ස්ථිර ඇයි?

19 සාතන් නොනවත්වා අපිට පහර දුන්නත් අපි වැටිලා යන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ජය ගන්නවා. එහෙම කියන්නේ ඇයි? මොකද දෙවියන්ගේ බලය අපිට විදි 2කින් උදව් කරනවා. (1) ප්‍රශ්න දරාගන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා. (2) ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නත් නොසැලී මේ පොළොව පාරාදීසයක් වෙන කල් දිගටම ඉස්සරහට යන්න අපිට උදව් කරනවා. ඒ නිසා දෙවියන්ගේ බලය අපි තුළ උපරිමයෙන් ක්‍රියාත්මක වෙන විදිහට දේවල් කරන්න අපි අදිටන් කරගමු.

ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව

^ 5 ඡේ. ප්‍රශ්න දරාගන්න අපිට උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා. දෙවියන්ගේ බලය අපි තුළ උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලත් බලනවා.

^ 16 ඡේ. සුවිශේෂ පොත් ලියපු ලේඛකයන් අතරින් ලූක් තමයි යේසුස් ඔහුගේ ජීවිතේ වැදගත් තැනක් යාච්ඤාවට දුන්නා කියන දේ වැඩියෙන්ම කාවද්දලා තියෙන්නේ.—ලූක් 3:21; 5:16; 6:12; 9:18, 28, 29; 18:1; 22:41, 44.

^ 17 ඡේ. 2018 ජූලි ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු’ යටතේ පළ වුණ “දැඩි උත්සාහය” කියන කොටස බලන්න.

^ 60 ඡේ. පින්තූරවල අදහස: 1 පියවර: සහෝදරයෙක් සහ සහෝදරියක් නමස්කාර මධ්‍යස්ථානයට එනවා. සහෝදර සහෝදරියන් එක්ක එකට රැස් වෙන එකෙන් එයාලා කරන්නේ දෙවියන් ඔහුගේ බලය ලබා දෙන දේකට හවුල් වෙන එකයි. 2 පියවර: රැස්වීමේදී අදහස් දෙන්න එයාලා සූදානම් වෙලයි ඇවිත් ඉන්නේ. මේ පියවර 2 බයිබලේ අධ්‍යයනය කරන එකට, දේශනා සේවයේ හවුල් වෙන එකට සහ යාච්ඤා කරන එකට අදාළයි.