Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 11

යෙහෝවා දෙවියන්ගේ හඬට සවන් දෙන්න

යෙහෝවා දෙවියන්ගේ හඬට සවන් දෙන්න

‘මේ මාගේ පුත්‍රයාය. මොහුට සවන් දෙන්න.’—මතෙ. 17:5.

ගීතිකාව 89 දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද

මේ ලිපියෙන් *

1-2. (අ) යෙහෝවා දෙවියන් ඔහුගේ අදහස් මිනිසුන්ට දැනුම් දුන්නේ කොහොමද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

අපිත් එක්ක අදහස් හුවමාරු කරගන්න යෙහෝවා දෙවියන් හුඟක් කැමතියි. අතීතයේදී ඔහු අනාගතවක්තෘවරුන්, දේවදූතයන් සහ ඔහුගේ පුතා වන යේසුස් මාර්ගයෙන් ඔහුගේ අදහස් මිනිසුන්ට දැනුම් දුන්නා. (ආමො. 3:7; ගලා. 3:19; එළි. 1:1) දෙවියන් අද ඒක කරන්නේ ඔහුගේ වචනය වන බයිබලේ මාර්ගයෙන්. ඔහු බයිබලේ දුන්නේ ඔහු හිතන විදිහ, දේවල් කරන විදිහ තේරුම්ගන්න අපිට උදව් කරන්නයි.

2 යේසුස් පොළොවේ ඉද්දී යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ඉඳන් අවස්ථා 3කදී කතා කළා. ඒ අවස්ථාවලදී ඔහු කියපු දේවල් ගැනත් ඒ දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් ඒවා අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් දැන් අපි බලමු.

“මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි”

3. මාක් 1:9-11 සඳහන් වෙන විදිහට යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ යෙහෝවා දෙවියන් කිව්වේ මොකක්ද? ඔහු කියපු දෙයින් පැහැදිලි වෙන කරුණු 3 මොනවාද?

3 යෙහෝවා දෙවියන් යේසුස්ට කතා කරපු 1වෙනි අවස්ථාව ගැන මාක් 1:9-11 සඳහන් වෙනවා. (කියවන්න.) දෙවියන් මෙහෙම කිව්වා. “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි.” තමන්ගේ ආදරණීය තාත්තා කතා කරලා යේසුස්ට ආදරෙයි කියලත් ඔහු ගැන සතුටු වෙනවා කියලත් කියද්දී ඔහුට කොහොම හැඟෙන්න ඇද්ද! දෙවියන් යේසුස්ට කියපු ඒ දෙයින් වැදගත් කරුණු 3ක් පැහැදිලි වෙනවා. (1) යේසුස් දෙවියන්ගේ පුතා. (2) යෙහෝවා දෙවියන් ඔහුගේ පුතාට ආදරෙයි. (3) දෙවියන්ගේ අනුමැතිය යේසුස්ට තියෙනවා. ඒ කරුණු 3 ගැන දැන් අපි බලමු.

4. යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ තව විශේෂ විදිහකින් දෙවියන්ගේ පුත්‍රයා වුණේ කොහොමද?

4 ‘මාගේ පුත්‍රයා ඔබයි.’ යේසුස් පොළොවට එන්න කලින් ස්වර්ගයේ ඉද්දීත් ඔහු දෙවියන්ගේ පුත්‍රයා. ඒත් යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ ‘මාගේ පුත්‍රයා ඔබයි’ කියලා දෙවියන් කිව්වේ යේසුස් තව විශේෂ විදිහකින් දෙවියන්ගේ පුත්‍රයා වුණ නිසයි. ඒ වෙලාවේ දෙවියන් ඔහුගේ බලයෙන් යේසුස්ව අභිෂේක කළා. අභිෂේක ලබපු යේසුස්ට ස්වර්ගයට යන බලාපොරොත්තුව ලැබුණා වගේම එහේට ගියාම දෙවියන් ඔහුව රජු සහ උත්තම පූජකයා විදිහට පත් කරන්න නියමිතයි. (ලූක් 1:31-33; හෙබ්‍රෙ. 1:8, 9; 2:17) එහෙමනම් ‘මාගේ පුත්‍රයා ඔබයි’ කියලා දෙවියන් යේසුස්ට කිව්වේ හොඳ හේතුවක් ඇතුවයි.—ලූක් 3:22.

අනිත් අය අපිව අගය කරද්දී, දිරිගන්වද්දී ඒක අපිට ලොකු ශක්තියක් (5 ඡේදය බලන්න) *

5. යෙහෝවා දෙවියන් ආදරේ පෙන්නන විදිහ, දිරිගන්වන විදිහ ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

5 ‘ප්‍රේමණීය පුත්‍රයා ඔබයි.’ යෙහෝවා දෙවියන්ව ආදර්ශයට අරන් අනිත් අයව දිරිගන්වන්න අවස්ථා අපිත් හොයන්න ඕනේ. (යොහ. 5:20) අපි ආදරේ කරන කෙනෙක් එයාගේ ආදරේ අපිට පෙන්නද්දී, අපි කරන හොඳ දෙයක් අගය කරද්දී අපිට ලොකු ප්‍රබෝධයක් දැනෙන්නේ නැද්ද? ඒ වගේ තමයි සභාවේ අයටත් පවුලේ අයටත් අපේ ආදරේ, දිරිගැන්වීම් ලැබෙද්දී ඒකෙන් එයාලගේ විශ්වාසය ශක්තිමත් වෙනවා. දිගටම දෙවියන්ට ළැදිව ඉන්න ඒක එයාලට ලොකු හයියක්. විශේෂයෙන්ම දෙමාපියන් තමන්ගේ දරුවන්ව දිරිගන්වන්න ඕනේ. එයාලට ආදරේ පෙන්නන්න ඕනේ. ඒක එයාලගේ වර්ධනයට දායක වෙනවා.

6. යේසුස් ගැන විශ්වාසය තියන්න අපිට පුළුවන් ඇයි?

6 “මම ඔබව අනුමත කළෙමි.” යේසුස්ට භාර දුන්න කාර්යය ඔහු විශ්වාසවන්තව කරයි කියලා දෙවියන්ට සැකයක් තිබුණේ නැහැ. යෙහෝවා දෙවියන්ට යේසුස් ගැන එච්චර විශ්වාසයක් තියෙනවා නම් දෙවියන්ගේ හැම පොරොන්දුවක්ම යේසුස් ඉටු කරයිද කියලා සැක කරන්න අපිට කිසිම හේතුවක් නැහැ. (2 කොරි. 1:20) දෙවියන් කියපු දේවල් යේසුස් විශ්වාසවන්තව ඉටු කරපු විදිහ ගැන හිතද්දී ඔහුගෙන් ඉගෙනගන්නත් ඔහුගේ අඩි පාරේ යන්නත් අපිට තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වෙනවා. තමන්ගේ පුතා ගැන තිබුණා වගේම විශ්වාසයක් දෙවියන්ට තම සේවකයන් ගැන තියෙනවා. එයාලා දිගටම යේසුස්ගෙන් ඉගෙනගනියි කියලා දෙවියන්ට විශ්වාසයි.—1 පේතෘ. 2:21.

“මොහුට සවන් දෙන්න”

7. මතෙව් 17:1-5 සඳහන් වෙන විදිහට දෙවියන් 2වෙනි වතාවට කතා කළේ මොන අවස්ථාවේදීද? ඔහු කිව්වේ මොකක්ද?

7 මතෙව් 17:1-5 කියවන්න. යෙහෝවා දෙවියන් 2වෙනි වතාවට කතා කළේ යේසුස්ගේ “පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණ” අවස්ථාවේදියි. දවසක් යේසුස් පේතෘස්, යාකොබ් සහ යොහන්ව එක්කගෙන උස් කන්දකට ගියා. එහෙදී ඒ 3දෙනා දර්ශනයක් දැක්කා. යේසුස්ගේ මුහුණ දීප්තියෙන් බැබළුණා. ඔහුගේ වස්ත්‍රත් දිදුලන්න පටන්ගත්තා. ඒ වෙලාවේ එයාලා දැක්කා මෝසෙස්ව සහ එලියාව නියෝජනය කරන දෙන්නෙක් යේසුස් එක්ක කතා කරමින් ඉන්නවා. එයාලා කතා කළේ යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ගැනයි. ඊට ටික වෙලාවකට කලින් නියෝජිතයන් 3දෙනා ‘නිදාගෙන හිටියත්’ ඒ දර්ශනය පෙනුණ වෙලාවේ එයාලා හිටියේ අවදියෙන්. (ලූක් 9:29-32) ඊළඟට දීප්තිමත් වලාකුළකින් එයාලා වට වුණා. ඒ එක්කම ඒ වලාකුළෙන් හඬක් නික්මුණා. ඒ දෙවියන්ගේ හඬ. ඒ වෙලාවෙත් දෙවියන් කතා කරලා කිව්වා “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත” කියලා. ඒත් මේ වතාවේ කලින් කියපු නැති දෙයකුත් දෙවියන් කිව්වා. ඒ තමයි “මොහුට සවන් දෙන්න” කියලා.

8. දර්ශනය යේසුස්ටත් නියෝජිතයන්ටත් උදව් වුණේ කොහොමද?

8 අනාගතයේදී දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස්ට කොයි තරම් තේජසක්, බලයක් ලැබෙනවාද කියලා ඒ දර්ශනයෙන් පෙන්නුවා. ඉස්සරහට මුහුණ දෙන්න වෙන අසීරු තත්වයන්වලටත් වේදනාකාරී මරණයටත් හොඳින් මුහුණ දෙන්න ඒ දර්ශනයෙන් යේසුස්ට ලොකු දිරිගැන්වීමක් ලැබෙන්න ඇති. ඒ දර්ශනය නිසා නියෝජිතයන්ගේ විශ්වාසයත් ශක්තිමත් වුණා. ඉස්සරහට මුහුණ දෙන්න වෙන දුෂ්කරතා දරාගන්නත් එයාලා ඉදිරියේ තිබුණ බැරෑරුම් කාර්යය සාර්ථකව කරන්නත් ඒක එයාලට ලොකු හයියක් වුණා. ඊට අවුරුදු 30කට විතර පස්සේ පේතෘස් ඒ දර්ශනය ගැන කතා කළා. ඒකෙන් තේරෙනවා ඒ වෙද්දීත් ඒ සිද්ධිය එයාට හොඳට මතක තිබුණා කියලා.—2 පේතෘ. 1:16-18.

9. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන්න ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් මොනවාද?

9 “මොහුට සවන් දෙන්න.” ඒකෙන් පැහැදිලියි අපි යේසුස් කියන දේවලට ඇහුම්කන් දීලා ඒවාට කීකරු වෙයි කියලා යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා. අපි සවන් දෙන්න ඕනෙ හුඟක් දේවල් යේසුස් පොළොවේ ඉද්දී කිව්වා. උදාහරණෙකට ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද කියලත් සෝදිසියෙන් ඉන්න එකේ වැදගත්කම ගැනත් ඔහු තමන්ගේ අනුගාමිකයන්ට කිව්වා. (මතෙ. 24:42; 28:19, 20) විශ්වාසය රැකගන්න දැඩි උත්සාහයක් දරන්න කියලත් බලාපොරොත්තු අත්හරින්න එපා කියලත් ඔහු කිව්වා. (ලූක් 13:24) ඔහු එයාලට විශේෂයෙන්ම කිව්වා එයාලා එකිනෙකාට ආදරේ කරන්න ඕනෙ කියලා. එයාලා අතරේ තියෙන එක්සත්කම දිගටම රැකගන්න කියලත් ඔහුගේ ආඥාවලට කීකරු වෙන්න ඕනෙ කියලත් ඔහු කිව්වා. (යොහ. 15:10, 12, 13) යේසුස් දුන්න ඒ මඟ පෙන්වීම් අදටත් ප්‍රයෝජනවත්.

10-11. අපි යේසුස්ට සවන් දෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

10 යේසුස් කිව්වා “සත්‍යයට පක්ෂව සිටින සියලුදෙනාම මගේ හඬට සවන් දෙනවා” කියලා. (යොහ. 18:37) අනිත් අය අතින් අඩුපාඩු වුණත් ‘එයාලා ගැන ඉවසද්දී, දිගටම එයාලට මුළු හදවතින්ම සමාව දෙද්දී’ අපි කරන්නේ යේසුස්ගේ හඬට සවන් දෙන එකයි. (කොලො. 3:13; ලූක් 17:3, 4) “හොඳ වාතාවරණයක් තිබුණත් නැතත්” උද්‍යෝගයෙන් දේශනා කරද්දීත් අපි පෙන්නන්නේ අපි ඔහුගේ හඬට සවන් දෙනවා කියලයි.—2 තිමෝ. 4:2.

11 “මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා” කියලා යේසුස් කිව්වා. (යොහ. 10:27) යේසුස්ගේ අනුගාමිකයන් ඔහු කියන දේවලට හොඳින් සවන් දෙනවා කියලා පැහැදිලි වෙන්නේ එයාලා ඔහු කියපු දේවලට අනුව ජීවත් වෙන එකෙන්. “එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර” එයාලා ඒකට බාධාවක් කරගන්නේ නැහැ. (ලූක් 21:34) අමාරු තත්වයන්වලදී වුණත් එයාලා යේසුස්ගේ ආඥාවලට කීකරු වෙනවා. අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් විරුද්ධවාදීන්ගෙන් එල්ල වෙන හිංසා පීඩා, දුප්පත්කම, ස්වාභාවික විපත් වගේ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙනවා. ඒත් එයාලා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා. ඒ අයට යේසුස් මේ සහතිකය දෙනවා. “කෙනෙක් මම ආඥා කරන දේවල් පිළිගෙන ඒවා පිළිපදිනවා නම් මට ප්‍රේම කරන්නේ ඒ තැනැත්තායි. ඒ වගේම මට ප්‍රේම කරන තැනැත්තාට මගේ පියාණන් ප්‍රේම කරනවා.”—යොහ. 14:21.

මනස වෙන දේවලට යොමු නොකර තියාගන්න දේශනා සේවය අපිට උදව් වෙනවා (12 ඡේදය බලන්න) *

12. යේසුස්ට සවන් දෙනවා කියලා පෙන්නන්න පුළුවන් තවත් විදිහක් මොකක්ද?

12 යේසුස්ට ඇහුම්කන් දෙන්න පුළුවන් තව විදිහක් තමයි අපි අතරේ පෙරමුණ අරන් වැඩ කරන්න ඔහු පත් කරලා ඉන්න අය එක්ක සහයෝගයෙන් සේවය කරන එක. (හෙබ්‍රෙ. 13:7, 17) මෑත අවුරුදුවලදී දෙවියන්ගේ සංවිධානය හුඟක් වෙනස්කම් කළා. දේශනා සේවයේදී පාවිච්චි කරන්න අලුත් දේවල්, අලුත් ක්‍රම හඳුන්වලා දුන්නා. සති මැද රැස්වීමේ වෙනස්කම් කළා. ඒ වගේම අපේ නමස්කාර මධ්‍යස්ථාන ඉඳි කරන, අලුත්වැඩියා කරන, නඩත්තු කරන විදිවලත් වෙනස්කම් කරලා තියෙනවා. හොඳට හිතලා බලලා අපිට ලබා දෙන ඒ මඟ පෙන්වීම් අපි හුඟක් අගය කරනවා. ඒ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අපි දරන උත්සාහයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා.

13. යේසුස්ට සවන් දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 යේසුස් උගන්වපු හැම දේකටම අපි ඇහුම්කන් දෙද්දී අපිට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. යේසුස් ඔහුගේ ඉගැන්වීම් ගැන කිව්වේ “මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි” කියලා. ඒ නිසා ඒවාට කීකරු වෙන එකෙන් ඔහුගේ අනුගාමිකයන්ට “මහත් සහනයක් ලබාගත හැකියි.” (මතෙ. 11:28-30) යේසුස්ගේ ජීවිතය හා දේවසේවය ගැන වාර්තා ඇතුළත් මතෙව්, මාක්, ලූක් සහ යොහන් කියන පොත් 4 ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලම කියවද්දී දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් වෙනවා. ඒ වගේම ඥානවන්තව වැඩ කරන්නත් අපිට පුළුවන් වෙනවා. (ගීතා. 19:7; 23:3) “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි” කියලා යේසුස් කිව්වා.—ලූක් 11:28.

‘මම මගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි’

14-15. (අ) යොහන් 12:27, 28 සඳහන් වෙන විදිහට දෙවියන් කතා කරපු 3වෙනි අවස්ථාව මොකක්ද? (ආ) යෙහෝවා දෙවියන් කියපු දේ යේසුස්ට සහනයක් වගේම ශක්තියක් වුණේ කොහොමද?

14 යොහන් 12:27, 28 කියවන්න. යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ඉඳන් කතා කරපු 3වෙනි අවස්ථාව ගැන යොහන් පොතේ වාර්තා වෙනවා. යේසුස් ඔහුගේ මරණයට දවස් කීපයකට කලින් පාස්කු උත්සවය පවත්වන්න යෙරුසලමට ගියා. ඒ අවස්ථාවේදී යේසුස් කිව්වා “මගේ සිත දැන් කැලඹිලා” කියලා. ඊටපස්සේ ඔහු මෙහෙම යාච්ඤා කළා. “පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න!” එතකොට ඔහුගේ ආදරණීය තාත්තා ස්වර්ගයේ ඉඳන් කතා කරලා මෙහෙම කිව්වා. “මම එය ගෞරවයට පත් කළෙමි. නැවතත් එය ගෞරවයට පත් කරන්නෙමි.”

15 යේසුස්ගේ සිත කැලඹිලා තිබුණේ ඇයි? යේසුස් දැනන් හිටියා මරණය දක්වාම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක මොන තරම් වැදගත්ද කියලා. හුඟක් දුක් විඳලා කෲර මරණයක් අද්දකින්න වෙනවා කියලත් ඔහු දැනන් හිටියා. (මතෙ. 26:38) ඒ හැම දේටම වඩා ඔහුගේ මනසේ තිබුණේ දෙවියන්ගේ නාමය ගෞරවයට පත් කරන එකයි. දෙවියන්ට අපහාස කරන්නෙක් කියලා ඔහුට චෝදනා කරපු නිසා ඔහුගේ මරණයෙන් දෙවියන්ගේ නමට අගෞරවයක් වෙයිද කියලා යේසුස් හිතුවා. ඒත් දෙවියන් කතා කරලා දෙවියන්ගේ නම ගෞරවයට පත් කරනවා කියලා කිව්වාම යේසුස්ට ලොකු සහනයක් දැනෙන්න ඇති. ඒ වගේම අද්දකින්න වෙන වේදනාකාරී දේවලට හොඳින් මුහුණ දෙන්නත් ඒකෙන් ඔහුට ලොකු ශක්තියක් ලැබෙන්න ඇති. එදා දෙවියන් කියපු ඒ දේ තේරුණේ යේසුස්ට විතරක් වුණත් දෙවියන් ඒ වචන බයිබලේට ඇතුළත් කළා. ඒ අපේ ප්‍රයෝජනය සඳහායි.—යොහ. 12:29, 30.

යෙහෝවා දෙවියන් ඔහුගේ නාමය ගෞරවයට පත් කරලා ඔහුගේ සෙනඟව ගලවගන්නවා (16 ඡේදය බලන්න) *

16. දෙවියන්ගේ නමට අගෞරවයක් ඇති වෙයි කියලා අපි කනස්සලු වෙන්නේ මොන වගේ වෙලාවලදීද?

16 යේසුස්ට වගේ අපිටත් සමහරු අසාධාරණ විදිහට සලකනවා. අපේ විරුද්ධවාදීන් අපි ගැන බොරු තොරතුරු පතුරුවනවා. ඒ කටකතා නිසා දෙවියන්ගේ නමටත් ඔහුගේ සංවිධානයටත් ඇති වෙන්න පුළුවන් අගෞරවය ගැන හිතලා අපි දුක් වෙනවා ඇති. ඒ වගේ වෙලාවලදී දෙවියන් යේසුස්ට කියපු දේ මතක් කරගන්න. ඒක අපිට ලොකු සහනයක් වෙයි. දෙවියන්ගේ නමට, ඔහුගේ සංවිධානයට වෙන්න පුළුවන් අගෞරවය ගැන හිතලා අපි ඕනෑවට වඩා කනස්සලු වෙන්න ඕනෙ නැහැ. බයිබලේ මෙහෙම කියනවා. “ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.” (ෆිලි. 4:6, 7) යෙහෝවා දෙවියන් ඔහුගේ නාමය අනිවාර්යයෙන්ම ගෞරවයට පත් කරනවා. සාතන් සහ මේ දුෂ්ට සමාජය දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට කරන හැම නපුරු දෙයක්ම දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවියන් අයින් කරනවා. එයාලට සිද්ධ වුණ හැම අසාධාරණයක්ම දෙවියන් හරිගස්සනවා.—ගීතා. 94:22, 23; යෙසා. 65:17.

දෙවියන්ගේ හඬට සවන් දීලා ප්‍රයෝජන ලබන්න

17. යෙසායා 30:21 පොරොන්දු වෙන විදිහට දෙවියන් අද අපිට කතා කරන්නේ කොහොමද?

17 යෙහෝවා දෙවියන් අද අපිටත් කතා කරනවා. (යෙසායා 30:21 කියවන්න.) ඔහු ස්වර්ගයේ ඉඳන් අපිට කතා කරන්නේ නැහැ. ඒත් ඔහු අපිට ඔහුගේ වචනය වන බයිබලේ දීලා තියෙනවා. බයිබලේ මාර්ගයෙන් ඔහු අපිට මඟ පෙන්නනවා. ඒ වගේම ඔහුගේ සෙනඟට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න ඔහුගේ බලය දීලා ‘විශ්වාසවන්ත සේවකයාට’ දෙවියන් උදව් කරනවා. (ලූක් 12:42) මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් අපිට මොන තරම් පෝෂණයක් ලැබෙනවාද!

18. යෙහෝවා දෙවියන් යේසුස්ට කියපු දේවල් නිසා ඔයාගේ විශ්වාසය, ධෛර්යය වැඩි වෙන්නේ කොහොමද?

18 යේසුස් පොළොවේ ඉද්දී යෙහෝවා දෙවියන් ඔහුට කතා කරලා කියපු දේවල් අපි මතක තියාගමු. මොකද ඒ වචන නිසා යෙහෝවා දෙවියන්ගේ අරමුණ වෙනස් කරන්න කාටවත් බැහැ කියන දේ ගැන අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් වෙනවා. ඒ වගේම සාතන් සහ දුෂ්ට සමාජය නිසා අපිට මුහුණ දෙන්න වෙන ඕනෙම නරක දෙයක් සම්පූර්ණයෙන්ම අයින් කරලා හැම දේම ආයෙත් හොඳ තත්වයට ගේන්න දෙවියන්ට පුළුවන් කියන දේ ගැනත් අපේ හිතේ ලොකු නිසැකකමක් ඇති වෙනවා. දිගටම දෙවියන්ගේ හඬට සවන් දෙන්න අපි අදිටන් කරගමු. එතකොට මොන ප්‍රශ්න ආවත් නොසැලී විඳදරාගන්න අපිට පුළුවන් වෙයි. බයිබලේ මෙහෙම කියනවා. “ඔබ දෙවිගේ කැමැත්ත ඉටු කළ පසු ඔහු දුන් පොරොන්දුවල ඉටු වීම අද්දැකීමට ඔබ දිගටම විඳදරාගත යුතුයි.”—හෙබ්‍රෙ. 10:36.

ගීතිකාව 4 “යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

^ 5 ඡේ. යේසුස් පොළොවේ හිටපු කාලේදී යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ඉඳන් කතා කරපු අවස්ථා 3ක් ගැන බයිබලේ සඳහන් වෙනවා. ඒ එක අවස්ථාවකදී දෙවියන් යේසුස්ගේ අනුගාමිකයන්ට කිව්වා ඔහුගේ පුතාට සවන් දෙන්න කියලා. අද දෙවියන් අපිට කතා කරන්නේ ඔහුගේ වචනය වන බයිබලේ මාර්ගයෙන්. යේසුස්ගේ ඉගැන්වීමුත් බයිබලේට ඇතුළත් වෙනවා. දෙවියන්ගේ සංවිධානය මාර්ගයෙනුත් ඔහු අපිට කතා කරනවා. යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් සවන් දෙන එකෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද කියලා බලමු.

^ 52 ඡේ. පින්තූරවල අදහස: සහායක සේවකයෙක් නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන වැඩවලට, පොත් අංශයේ වැඩවලට සහය දෙන විදිහ වැඩිමහල්ලෙක් දකිනවා. වැඩිමහල්ලා එයාව අගය කරනවා.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: සියරා ලියොන්වල සේවය කරන යුවළක් රැස්වීම්වලට කරන ආරාධනා පත්‍රිකාවක් ධීවරයෙක්ට දෙනවා.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට තහංචි දාලා තියෙන රටක සහෝදරයන් ගෙදරක රැස්වීමක් පවත්වනවා. විරුද්ධවාදීන්ගේ අවධානයට ලක් නොවෙන්න නිසා සාමාන්‍යයෙන් රැස්වීම්වලට එනවාට වඩා වෙනස් විදිහට එයාලා ඇඳ පැළඳගෙන ඉන්නවා.