Skip to content

පටුනට යන්න

යහපත්කම - වර්ධනය කරගන්නේ කොහොමද?

යහපත්කම - වර්ධනය කරගන්නේ කොහොමද?

‘එයා හරිම හොඳ කෙනෙක්.’ අනිත් අය අපි ගැන ඒ විදිහට හිතනවාටයි අපි කැමති. ඒත් අද ඉන්න හුඟදෙනෙක් ‘යහපත්කමට කිසි ඇල්මක් දක්වන්නේ නැති’ නිසා යහපත් කෙනෙක් වෙන එක මේ කාලේ ලේසි නැහැ. (2 තිමෝ. 3:3) අද ඉන්න වැඩිදෙනෙක් “යහපතට නපුර කියාද නපුරට යහපත කියාද” කියනවා. (යෙසා. 5:20) අපි ඇතිදැඩි වුණ පසුබිම නිසාත් අපිට උරුම වෙලා තියෙන පාපය නිසාත් යහපත් අය වෙන එක අමාරුයි. ඒ නිසා අවුරුදු ගාණක් යෙහෝවා දෙවියන්ට සේවය කරපු සහෝදරියකට හැඟුණු විදිහටම අපිටත් හැඟෙන්න පුළුවන්. “යහපත් කෙනෙක් වෙන්න මට පුළුවන් කියලා මං හිතන්නේ නෑ.”

ඒත් ඕනෙම කෙනෙක්ට යහපත් කෙනෙක් වෙන්න පුළුවන්. මොකද යහපත්කම කියන්නේ දෙවියන්ගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. යහපත් කෙනෙක් වෙන්න අපිට බාධා වෙන ඕනෙම දෙයක් පරාජය කරන්න යෙහෝවා දෙවියන්ගේ බලයට පුළුවන්. යහපත් කෙනෙක් මොන වගේද? ඒ වගේ කෙනෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද?

යහපත් කෙනෙක් මොන වගේද?

යහපත් කෙනෙක් දෙවියන් හරියි කියන දේ කරනවා වගේම ඔහු වැරදියි කියන දේවලින් ඈත් වෙනවා. එයා ගත කරන්නේ නිර්මල ජීවිතයක්. එයා තුළ කිසි නපුරක් නැහැ. එයා හැම වෙලේම අනිත් අයට උදව් කරන්න පුළුවන් විදි ගැන හිතලා උදව් කරනවා.

සමහරු පවුලේ අයට, යාළුවන්ට යහපත් දේවල් කරනවා. ඒත් යහපත් කෙනෙක් හැටියට දෙවියන් සලකන කෙනෙක් එතනින් නතර වෙන්නේ නැහැ. ඇත්ත, අපි කාටවත් 100%ක් යහපත් අය වෙන්න බැහැ. බයිබලේ කියන්නේ “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක” කියලයි. (දේශ. 7:20) පාවුල් මෙහෙම කිව්වා. “වරදට නැඹුරු වූ මාගේ ශරීරය තුළ කිසි යහපතක් වාසය නොකරන බව මම දනිමි.” (රෝම 7:18) අපි යහපත්කම වර්ධනය කරගන්න නම් ඒ ගැන යෙහෝවා දෙවියන් කියන්නේ මොනවාද කියලා ඉගෙනගන්න ඕනේ.

‘යෙහෝවා දෙවියන් යහපත්’

යහපත් දේ මොකක්ද කියලා තීරණය කරන්නේ යෙහෝවා දෙවියන්. ඔහු ගැන බයිබලේ මෙහෙම කියනවා. “ඔබ යහපත්ය. ඔබ සැමවිටම යහපත්කම් කරන්නෙහිය.” (ගීතා. 119:68) ඒ පදේ සඳහන් වෙන දෙවියන්ගේ යහපත්කමට ඇතුළත් පැති 2ක් බලන්න.

යෙහෝවා දෙවියන් යහපත්. ඔහු කොයි තරම් යහපත්ද කියනවා නම් ඔහුට කිසිම නපුරු දෙයක් කරන්න බැහැ. ඔහුගේ හැම ගුණාංගයකින්ම යහපත්කම දකින්න පුළුවන්. එක අවස්ථාවක දෙවියන් මෝසෙස්ට කිව්වා “මාගේ යහපත්කම මම ඔබට සම්පූර්ණයෙන්ම දකින්න සලස්වන්නෙමි” කියලා. ඊටපස්සේ යහපත්කම ඇතුළු ඔහුගේ තේජස දෙවියන් මෝසෙස්ට පෙන්නද්දී මෝසෙස්ට මේ වචන ඇහුණා. ‘යෙහෝවා දෙවි වන මා දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නෙමි. යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙමි. මම මහත් ප්‍රේමයක් පෙන්වමින් අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන්ට දිය යුතු දඬුවමින් මම කිසිවිටෙක ඔවුන්ව නිදහස් නොකරන්නෙමි.’ (නික්. 33:19; 34:6, 7) යෙහෝවා දෙවියන් හැම අතින්ම යහපත් කෙනෙක්. මිනිසුන් අතරින් යහපත්ම කෙනා වුණ යේසුස් පවා දෙවියන් ගැන මෙහෙම කිව්වා. “යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි.”—ලූක් 18:19.

යෙහෝවා දෙවියන්ගේ යහපත්කම ඔහුගේ නිර්මාණවලින් දකින්න පුළුවන්

යෙහෝවා දෙවියන් යහපත් දේවල් කරනවා. දෙවියන් කරන හැම දේකින්ම ඔහුගේ යහපත්කම පේනවා. බයිබලේ කියන්නේ ‘යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය. ඔහු නිර්මාණය කළ සියල්ලන්ට දයාව පෙන්වන්නේය’ කියලා. (ගීතා. 145:9) ඔහු භේදයක් නැතුව හැමෝටම යහපත කරනවා. ඔහු ජීවිතේ දුන්නා වගේම ජීවිතේ පවත්වගෙන යන්න ඕනෙ කරන හැම දේම සපයනවා. (ක්‍රියා 14:17) අපේ වැරදිවලට ඔහු අපිට සමාව දෙන්නේ ඔහු යහපත් නිසයි. ගීතිකාකරු දෙවියන්ට කිව්වේ මෙහෙමයි. “ඔබ සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්ය.” (ගීතා. 86:5) “ඔහු නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙනවා” කියලා අපිට විශ්වාසයි.—ගීතා. 84:11.

“යහපත් දේ කරන්න ඉගෙනගන්න”

යෙහෝවා දෙවියන් අපිව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව නිසා යහපත් අය වෙන්න, යහපත් දේවල් කරන්න අපිට පුළුවන්. (උත්. 1:27) ඒත් ඒක ඉබේ වෙන්නේ නැහැ. බයිබලේ අපිට කියන්නේ “යහපත් දේ කරන්න ඉගෙනගන්න” කියලයි. (යෙසා. 1:17) ඒක කරන්න පුළුවන් විදි 3ක් ගැන බලන්න.

(1) දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. දෙවියන් බලාපොරොත්තු වෙන විදිහේ යහපත් කෙනෙක් වෙන්න අපිට උදව් කරන්න ඔහුගේ බලයට පුළුවන්. (ගලා. 5:22) දෙවියන් උදව් කරද්දී අපිට පුළුවන් යහපත් දේට ඇලුම් කරන්නත් නරක දේ පිළිකුල් කරන්නත් ඉගෙනගන්න. (රෝම 12:9) “සෑම යහපත් දෙයක් කිරීමට හා කීමට ඔබට ශක්තිය ලබා දෙන්න” දෙවියන්ට පුළුවන්.—2 තෙස. 2:16, 17.

(2) අපි බයිබලේ කියවන්න ඕනේ. එතකොට “යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල” අපිට කියලා දෙන්නත් ‘සෑම යහපත් ක්‍රියාවක් කරන්න’ අපිව සූදානම් කරන්නත් දෙවියන්ට පුළුවන්. (හිතෝ. 2:9; 2 තිමෝ. 3:17) අපි බයිබලේ කියවලා ඒ ගැන හොඳින් හිතනවා නම් දෙවියන් ගැන තොරතුරුවලින් අපේ හිත පිරෙනවා. ඒ විදිහට අපි අපේ වස්තු ගබඩාවට තොරතුරු රැස් කළාම අවශ්‍ය වෙලාවට ඒවා ප්‍රයෝජනයට ගන්න අපිට පුළුවන්.—ලූක් 6:45; එෆී. 5:9.

(3) “යහපත් දේවල් ආදර්ශයට ගන්න.” (3 යොහ. 11) අපිට ආදර්ශයට ගන්න පුළුවන් හොඳම දෙන්නා යෙහෝවා දෙවියන් සහ යේසුස්. යහපත් දේවල් කරපු තව අය ගැනත් බයිබලේ සඳහන් වෙනවා. තබිතා සහ බානබස් ඒ වගේ දෙන්නෙක්. (ක්‍රියා 9:36; 11:22-24) එයාලා ගැන සඳහන් වාර්තා අධ්‍යයනය කරන්න. එතකොට ඔයා දකියි අනිත් අය වෙනුවෙන් එයාලා යහපත් දේවල් කළේ කොහොමද කියලා. එයාලව ආදර්ශයට අරන් පවුලේ හෝ සභාවේ අයට උදව් කරන්න පුළුවන් විදි ගැන හිතන්න. අනිත් අයට යහපත් දේවල් කරපු නිසා ඒ දෙන්නා අද්දැක්ක ආශීර්වාද ගැනත් හිතන්න. ඔයාටත් ඒ ආශීර්වාද අද්දකින්න පුළුවන්.

අපිට ආදර්ශයට ගන්න පුළුවන් අය අපි අතරෙත් ඉන්නවා. උදාහරණෙකට “යහපත්කමට ඇලුම් කරන” සභාවේ වැඩිමහල්ලන් ගැන හිතන්න. වචනයෙන් වගේම ආදර්ශයෙන් අනිත් අයට “යහපත් දේවල් උගන්වන” විශ්වාසවන්ත සහෝදරියන් ගැන හිතන්න. (තීත. 1:8; 2:3) එක සහෝදරියක් මෙහෙම කියනවා. “මගේ යාළුවා එයාගේ පහසුව ගැනවත් හිතන්නේ නැතුව සභාවේ අයට උදව් කරන්න, එයාලව දිරිගන්වන්න ලොකු උත්සාහයක් ගන්නවා. අනිත් අය මුහුණ දෙන තත්වයන් ගැන හිතලා එයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙන පුංචි තෑගි එයා දෙනවා. කාට හරි උදව්වක් ඕනෙ නම් එයා ඒක කරනවා. එයා ඇත්තටම යහපත් කෙනෙක්.”

යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට උනන්දු කරන්නේ “යහපත් දේ කරන්න” කියලයි. (ආමො. 5:14) යහපත් දේ කරන්න නම් යහපත් කියලා දෙවියන් සලකන ප්‍රමිති ගැන අපි දැනගන්න ඕනේ. ඒ ගැන දැනුවත් වෙද්දී අපි යහපත් දේට ඇලුම් කරන්න පටන්ගන්නවා. එතකොට ඒ විදිහට ජීවත් වෙන්න අපි පෙලඹෙයි.

යහපත් අය වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ

යහපත් කෙනෙක් වෙන්න අනිත් අය වෙනුවෙන් ලොකු ලොකු දේවල් කරන්න ඕනෙ නැහැ. ඒක තේරුම්ගන්න මේ උදාහරණේ බලන්න. පින්සල් පාරවල් එකකින් හෝ දෙකකින් ලස්සන චිත්‍රයක් අඳින්න චිත්‍ර ශිල්පියෙකුට බැහැ. එයා පොඩි පොඩි පින්සල් පාරවල් සිය ගාණක් ඇඳලයි ලස්සන චිත්‍රයක් නිර්මාණය කරන්නේ. අපි අනිත් අය වෙනුවෙන් කරන පුංචි පුංචි දේවල් ගොඩක් එකතු වෙද්දියි අපි යහපත් කෙනෙක් කියලා පේන්නේ.

බයිබලේ අපිට කියන්නේ යහපත් දේවල් කරන්න “සූදානම් වී” ඉන්න කියලයි. (2 තිමෝ. 2:21; තීත. 3:1) අනිත් අය මුහුණ දෙන දේවල් ගැන අපි අවධානයෙන් ඉන්නවා නම් අපිට පුළුවන් එයාලගේ ‘යහපත ගැන හිතලා එයාලව ගොඩනංවන්න.’ (රෝම 15:2) අපි ළඟ තියෙන දෙයක් එයාලා එක්ක බෙදාගන්න එකත් ඒකට ඇතුළත්. (හිතෝ. 3:27) කෑම වේලකට, සුහද ඇසුරකට අපේ ගෙදරට එයාලට ආරාධනා කරන්නත් අපිට පුළුවන්. කවුරු හරි අසනීපයෙන් ඉන්නවා නම් කාඩ් එකක් යවන්න, එයාව ගිහින් බලන්න නැත්නම් කෝල් එකක් දෙන්න අපිට පුළුවන්. “සුදුසු අවස්ථාවලදී සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න” හුඟක් අවස්ථාවන් හොයාගන්න අපිට පුළුවන් වෙයි.—එෆී. 4:29.

අපිටත් ඕනෙ යෙහෝවා දෙවියන් වගේ හැමෝටම යහපත් දේවල් කරන්න. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි භේදයක් නැතුව හැමෝටම ශුභාරංචිය කියන එක. යේසුස් කිව්වා වගේ අපිට වෛර කරන අයටත් අපි යහපත කරන්න ඕනේ. (ලූක් 6:27) එහෙම කරන එක “වැරදියි කියලා කිසි නීතියක සඳහන් වී නැත.” (ගලා. 5:22, 23) යම් මිනිසුන් අපිට නපුරු විදිහට සලකද්දීත් අනිත් අය වෙනුවෙන් අපි යහපත් දේවල් කරනවා නම් දෙවියන් ගැන ඉගෙනගන්න එයාලා පෙලඹෙයි. ඒකෙන් දෙවියන්ට ප්‍රශංසාවක් ලැබෙනවා.—1 පේතෘ. 3:16, 17.

අපිටත් ප්‍රයෝජන ලැබෙනවා

‘යහපත් තැනැත්තා නෙළාගන්න’ සමහරක් ප්‍රතිඵල මොනවාද? (හිතෝ. 14:14) අපි අනිත් අයට යහපත් දේවල් කරද්දී එයාලත් අපිට හොඳින් සලකයි. (හිතෝ. 14:22) සමහරු එහෙම කළේ නැතත් අපි දිගටම එයාලට යහපත් දේවල් කරන්න ඕනේ. එතකොට එයාලා අපි ගැන හිතන විදිහ වෙනස් කරගෙන අපිට නපුරු විදිහට සලකන්නේ නැතුව ඉඳියි.—රෝම 12:20.

නරක දේවල් කරන එක නවත්තලා යහපත් දේවල් කරද්දී ඒකෙන් අපිටම ප්‍රයෝජන ලැබෙනවා. නැන්සිගේ අද්දැකීම බලන්න. “මං ඉස්සර ගත කළේ දුරාචාර ජීවිතයක්. ඒත් දෙවියන්ගේ ප්‍රමිති ඉගෙනගෙන ඒවා ජීවිතේට අදාළ කරද්දී මට සතුටක් දැනුණා. දැන් මට මං ගැනම හොඳ හැඟීමක් තියෙනවා.”

යහපත්කම වර්ධනය කරන්න අපි උත්සාහ කරන ප්‍රධානම හේතුව එහෙම කරද්දී යෙහෝවා දෙවියන් අපි ගැන සතුටු වෙන නිසයි. කවුරු දැක්කේ නැතත් අපි කරන හැම යහපත් දෙයක්ම, හැම යහපත් සිතුවිල්ලක්ම දෙවියන් දකිනවා. (එෆී. 6:7, 8) ‘යහපත් අයට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබෙනවා.’ (හිතෝ. 12:2) ඒ නිසා අපි දිගටම යහපත්කම වර්ධනය කරගමු. ‘යහපත් දේ කරන අයට තේජසත් ගෞරවයත් සමාදානයත් හිමි වේ’ කියලා දෙවියන් පොරොන්දු වෙනවා.—රෝම 2:10.