Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 22

තව හොඳින් බයිබලය අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්ද?

තව හොඳින් බයිබලය අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්ද?

“වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.”—ෆිලි. 1:10.

ගීතිකාව 35 ‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’

මේ ලිපියෙන් *

1. අධ්‍යයනය කරන එක සමහරුන්ට අමාරු ඇයි?

ජීවිතේ ගැටගහගන්න අද හැම කෙනෙක්ම වගේ ලොකු සටනක් කරනවා. පවුලේ අයට අත්‍යවශ්‍ය දේවල් ලබා දෙන්න අපේ සහෝදරයන් හුඟදෙනෙක් දවසට පැය ගාණක් වැඩ කරනවා. තව හුඟදෙනෙක්ගේ දවසේ පැය ගාණක්ම ගෙවෙන්නේ මඟ තොටේ. මොකද රැකියාව කරන තැනට යන්නත් ආපහු ගෙදර එන්නත් පැය ගාණක් ගත වෙනවා. වැඩිදෙනෙක් කරන්නේ කය වෙහෙසලා කරන වැඩ. දවස අවසන් වෙද්දී ඒ සහෝදර සහෝදරියන් ඉන්නේ හෙම්බත් වෙලා. අධ්‍යයනය කරන්න තරම් ශක්තියක් එයාලට ඉතුරු වෙලා නැති තරම්.

2. ඔයා අධ්‍යයනය කරන්නේ කොයි වෙලාවේදීද?

2 ඒත් බයිබලය සහ අපේ ප්‍රකාශන අධ්‍යයනය කරන්න අපි කොහොමහරි කාලේ හොයාගන්න ඕනේ. යෙහෝවා දෙවියන් එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්නත් සදකාල ජීවනය කියන තෑග්ග ලබාගන්නත් අධ්‍යයනය කරන එක අත්‍යවශ්‍යයි. (1 තිමෝ. 4:15) සමහරු හැමදාම පාන්දරින් නැඟිටලා අධ්‍යයනය කරනවා. මොකද සුව නින්දකින් පස්සේ එයාලට පැහැදිලිව හිතන්න පුළුවන්. අනික ඒ වෙලාවට ගෙදර සද්ද බද්දත් අඩුයි. තවත් අය දවස අවසානයේ නිදහසේ ඉන්න වෙලාවක් අධ්‍යයනය සඳහා වෙන් කරගන්නවා.

3-4. මෑත කාලේදී කළේ මොන වගේ වෙනස්කම්ද? ඒ ඇයි?

3 අධ්‍යයනය සඳහා කාලේ වෙන් කරන එක වැදගත් කියලා ඔයා දන්නවා. ඒත් මොනවාද අධ්‍යයනය කරන්න ඕනේ? ‘ප්‍රකාශන හැම එකක්ම කියවන්න කොහෙද කාලේ’ කියලා ඔයාට හිතෙයි. අපිට ලැබෙන හැම ප්‍රකාශනයක්ම කියවන්න, හැම වීඩියෝ එකක්ම බලන්න සමහරුන්ට පුළුවන්. ඒත් අපේ සහෝදරයන්ගෙන් හුඟදෙනෙකුට ඒක කරන්න කාලේ හොයාගන්න අමාරුයි. ඒ අභියෝගය පාලක මණ්ඩලයට තේරෙනවා. ඒ නිසයි මුද්‍රිත සහ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් අපිට ලබා දෙන තොරතුරු යම් දුරකට අඩු කරන්න පාලක මණ්ඩලය මෑත කාලේදී තීරණය කළේ.

4 උදාහරණෙකට ‘වාර්ෂික පොත’ අපි තවදුරටත් පළ කරන්නේ නැහැ. මොකද ඒකේ එන දිරිගන්වන අද්දැකීම් දැන් අපිට jw.org® වෙබ් අඩවියෙන් කියවන්නත් හැම මාසෙකම එන බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනෙන් බලන්නත් පුළුවන්. ‘මුරටැඹ’ පොදු කලාපය සහ ‘පිබිදෙව්!’ සඟරා දැන් පළ කරන්නේ අවුරුද්දකට තුන් පාරයි. ඒ වෙනස්කම් කළේ නමස්කාරයට සම්බන්ධ නැති දේවල් වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න පුළුවන් වෙන්න නෙමෙයි. ඒ වෙනුවට “වඩා වැදගත් දේවලට” හොඳ අවධානයක් දෙන්න අපිට කාලේ හොයාගන්න උදව් කරන්නයි. (ෆිලි. 1:10) වඩා වැදගත් දේවල් මොනවාද කියලා තීරණය කරන්න ඔයාට පුළුවන් කොහොමද? බයිබලේ අධ්‍යයනය කරද්දී උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

වැදගත් දේවලට මුල් තැන දෙන්න

5-6. අපි හොඳින් අධ්‍යයනය කරන්න ඕනෙ මොන ප්‍රකාශනද?

5 අධ්‍යයනය කරද්දී අපි මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද? අපි අනිවාර්යයෙන්ම හැම දවසකම බයිබලේ අධ්‍යයනය කරන්න කාලේ හොයාගන්න ඕනේ. සතියට නියමිත බයිබල් කොටස දැන් අඩු කරලා කියලා ඔයා දකින්න ඇති. එහෙම කරලා තියෙන්නේ අපි කියවන බයිබල් පද ගැන හොඳට හිතන්නත් ඒවා ගැන තොරතුරු අපේ ප්‍රකාශනවලින් ගවේෂණය කරන්නත් කාලේ වෙන් කරගන්න ලේසි වෙන්නයි. අපේ ඉලක්කය සතියට නියමිත බයිබල් කොටස නිකම්ම කියවන එක නෙමෙයි. අපිට ඕනෙ අපේ හදවතට කතා කරන්න බයිබලේට ඉඩ දෙන්නයි. එතකොටයි යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙන්න අපි පෙලඹෙන්නේ.—ගීතා. 19:14.

6 අපි තව මොනවාද හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ? ‘මුරටැඹ’ පාඩමට, සභා බයිබල් පාඩමට වගේම සති මැද රැස්වීමේ අනිත් කොටස්වලට අපි හොඳින් සූදානම් වෙන්න ඕනේ. පළ වෙන හැම ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාවක්ම කියවන්න අපි කාලේ වෙන් කරන එකත් වැදගත්.

7. අපේ වෙබ් අඩවියේ, JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන හැම දෙයක්ම කියවන්න, බලන්න වෙලාව හොයාගන්න අපිට අමාරුයි නම් ඒ ගැන හිතලා අපි දුක් වෙන්න ඕනෙද?

7 ඒ දේවල් අපි අධ්‍යයනය කරන්නම ඕනෙ කියලා ඔයා පිළිගන්නවා ඇති. හැබැයි ‘අපේ වෙබ් අඩවියේ, JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන හැම දෙයක්ම කියවන්න, බලන්න මට වෙලාව නැහැනේ’ කියලා ඔයාට හිතෙයි. හිතන්න, ඔයා රෙස්ටුරන්ට් එකකට යනවා කියලා. එතන කෑම ජාති ගොඩක් තිබුණත් ඒ හැම එකක්ම කාලා බලන්න ඔයාට බැහැ. ඔයාට වෙනවා එතන තියෙන කෑමවලින් කීපයක් තෝරගන්න. ඒ වගේ තමයි ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් අපිට ලැබෙන හැම දෙයක්ම කියවන්න, බලන්න ඔයාට කාලේ හොයාගන්න බැරුව ඇති. ඒ ගැන දුක් වෙන්න එපා. ඔයාට පුළුවන් ප්‍රමාණය කියවන්න හෝ බලන්න උත්සාහ කරන්න.

අධ්‍යයනය කරන්න වෑයමක් දරන්න ඕනේ

8. ‘මුරටැඹ’ පාඩම අධ්‍යයනය කරන්න ඕනෙ කොහොමද? එහෙම කරද්දී ඔයා ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

8 කෙනෙක් අධ්‍යයනය කරද්දී එයා කියවන කොටසට හොඳ අවධානයක් දෙනවා. මොකද එයාට ඕනෙ ඒකෙන් දෙයක් ඉගෙනගන්න. අධ්‍යයනය කරනවා කියන්නේ තොරතුරු උඩින් පල්ලෙන් කියවලා උත්තර යටින් ඉරි ගහන එක නෙමෙයි. ඔයා ‘මුරටැඹ’ පාඩමට සූදානම් වෙනවා කියලා හිතන්න. මුලින්ම “මේ ලිපියෙන්” කියන කොටස කියවන්න. ඊටපස්සේ ලිපියේ මාතෘකාව, උපමාතෘකා සහ පුනරීක්ෂණ ප්‍රශ්න කියවලා ඒ ගැන හිතන්න. ඊළඟට කාලේ අරන් ලිපිය හොඳින් කියවන්න. ඡේදයේ කතා කරන මූලික කරුණ සඳහන් වෙන වාක්‍යය හොයාගන්න. ගොඩක් වෙලාවට ඒක සඳහන් වෙන්නේ ඡේදයක මුල් වාක්‍යයේ. ලිපිය කියවගෙන යද්දී එක් එක් ඡේදය උපමාතෘකාවට සහ ලිපියේ තේමාවට සම්බන්ධ වෙන විදිහ ගැන හිතන්න. ඔයා තොරතුරු හොයන්න ඕනෙ කියලා හිතන, කලින් දැනගෙන හිටියේ නැති වචන හෝ කරුණු ලියාගන්න.

9. (අ) ‘මුරටැඹ’ පාඩම අධ්‍යයනය කරද්දී ඒකේ සඳහන් වෙන බයිබල් පදවලට විශේෂ අවධානයක් දෙන්න ඕනෙ ඇයි? ඒක කරන්නේ කොහොමද? (ආ) බයිබල් පද කියවනවාට අමතරව අපි මොකක් කරන්න ඕනෙ කියලාද යොෂුවා 1:8 කාවද්දන්නේ?

9 අපි ‘මුරටැඹ’ පාඩම අධ්‍යයනය කරද්දී බයිබලේ සඳහන් දේවල් තේරුම්ගන්න ඒක අපිට උදව් වෙනවා. ඒ නිසා ලිපියේ සඳහන් වෙන බයිබල් පදවලට විශේෂයෙන්ම, කියවන්න කියලා සඳහන් වෙන බයිබල් පදවලට අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒවාවල තියෙන ප්‍රධාන වචනවලින් ඡේදයේ සඳහන් මූලික අදහස පැහැදිලි වෙන විදිහ තේරුම්ගන්න බලන්න. බයිබල් පද කියවද්දී ටිකක් නතර වෙලා ඒ ගැන හිතන්න. ඒවා ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් පැති ගැනත් හිතන්න.—යොෂුවා 1:8 කියවන්න.

දෙමාපියෙනි, අධ්‍යයනය කරන විදිහ දරුවන්ට කියලා දෙන්න (10 ඡේදය බලන්න) *

10. හෙබ්‍රෙව් 5:14 අනුව පවුලේ නමස්කාරයේදී අධ්‍යයනය කරන්න දරුවන්ට උගන්වන්න දෙමාපියන් කාලේ ගන්න ඕනෙ ඇයි?

10 දෙමාපියෙනි, ඔයාලා කැමතියි පවුලේ නමස්කාරයෙන් දරුවන් හැම සතියකම සතුටක් ලබනවා දකින්න. ඇත්ත, ඒකෙදී සාකච්ඡා කරන තොරතුරු ඔයාලා හොඳින් සැලසුම් කරන්න ඕනේ. ඒත් හැම සතියකම විශේෂ ක්‍රියාකාරකම් සැලසුම් කරන්න ඕනෙ කියලා හිතන්න එපා. පවුලේ නමස්කාරය සඳහා JW බ්‍රෝඩ්කාස්ටිං මාසික වැඩසටහන බලන්නත් නෝවාගේ නැවේ ආකෘතියක් හදන එක වගේ විශේෂ ක්‍රියාකාරකම් ඉඳලා හිටලා කරන්නත් සැලසුම් කරන්න පුළුවන්. ඒත් එක්කම අධ්‍යයනය කරන්න දරුවන්ට උගන්වන එකත් හරිම වැදගත්. ඒ නිසා දරුවන් එක්ක අධ්‍යයනය කරන එක පවුලේ නමස්කාරයේ කොටසක් කරගන්න. උදාහරණෙකට රැස්වීම්වලට සූදානම් වෙන්නේ කොහොමද කියලත් පාසැලේදී කවුරු හරි අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න තොරතුරු හොයන්නේ කොහොමද කියලත් දරුවන්ට කියලා දෙන්න. (හෙබ්‍රෙව් 5:14 කියවන්න.) දරුවන් ගෙදරදී බයිබලේ තියෙන යම් විෂයක් ගැන අධ්‍යයනය කරන්න කාලේ ගන්නවා නම් රැස්වීම්වලදී, සමුළුවලදී උගන්වන තොරතුරුවලට හොඳින් අවධානය දෙන්න එයාලට පහසු වෙයි. මොකද රැස්වීම්වලදී, සමුළුවලදී හැම වෙලේම තොරුතුරු ඉදිරිපත් කරන්නේ වීඩියෝ මාර්ගයෙන් නෙමෙයි. දරුවාගේ වයස, එයාගේ පෞද්ගලිකත්වය අනුව ඔයාලට තීරණය කරන්න පුළුවන් කොයි තරම් වෙලාවක් එයා එක්ක අධ්‍යයනය කරනවාද කියලා.

11. අපිත් එක්ක පාඩම් කරන අයට අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා උගන්වන එක වැදගත් ඇයි?

11 අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා අපිත් එක්ක බයිබලේ පාඩම් කරන අයත් ඉගෙනගන්න ඕනේ. එයාලා පාඩම් කරන්න පටන්ගත්ත කාලේ පාඩමට හෝ රැස්වීම්වලට සූදානම් වෙද්දී උත්තර යටින් ඉරි ගහලා තියෙනවා දැක්කාම අපිට සතුටුයි. ඒත් ඒ විතරක් ඇද්ද? නැහැ. තොරතුරු ගවේෂණය කරන්න, එයාලට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට අධ්‍යයනය කරන්න අපි එයාලට කියලා දෙන්න ඕනේ. එතකොට එයාලට ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙද්දී කරන්න ඕනෙ මොකක්ද කියලා සභාවේ අයගෙන් අහන්න ඕනෙ වෙන්නේ නැහැ. අවශ්‍ය තොරතුරු අපේ ප්‍රකාශනවලින් හොයාගන්න එයාලටම පුළුවන්.

අධ්‍යයනය කරන හේතුව මනසේ තියාගන්න

12. අපි අධ්‍යයනය කරන්න පෙලඹෙන්නේ මොන හේතු නිසාද?

12 අධ්‍යයනය කරන්න ඔයා එච්චර කැමති නැති කෙනෙක් නම් ඔයා හිතනවා ඇති ආසාවෙන් අධ්‍යයනය කරන්න ඔයාට කවදාවත් බැහැ කියලා. එහෙම හිතන්න එපා. එකපාර පැය ගාණක් අධ්‍යයනය කරනවා වෙනුවට මුලින් පොඩි වෙලාවකට ඒක කරන්න. ඊටපස්සේ ටිකෙන් ටික වෙලාව වැඩි කරන්න. ඔයා අධ්‍යයනය කරන්නේ ඇයි කියලා හිතන්න. අපි හැමෝටම ඕනෙ යෙහෝවා දෙවියන්ට තව ළං වෙන්න. අධ්‍යයනය ඒකට අපිට උදව් වෙනවා. ඒක තමයි අපි අධ්‍යයනය කරන්න පෙලඹෙන්න ඕනෙ ප්‍රධානම හේතුව. ඊට අමතරව කවුරු හරි අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න තොරතුරු හොයන අරමුණින් හෝ අපි මුහුණ දීලා ඉන්න ප්‍රශ්නයකට අදාළ වෙන තොරතුරු ගවේෂණය කරන අරමුණින් අධ්‍යයනය කරන්න අපිට පුළුවන්.

13. (අ) තමන්ගේ විශ්වාසයන් ගැන ඉස්කෝලේ අනිත් ළමයින්ට පැහැදිලි කරන්න කලින් යෞවනයෙක්ට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද? (ආ) කොලොස්සි 4:6 සඳහන් උපදෙස අදාළ කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

13 ඔයා ඉස්කෝලේ යන කෙනෙක්ද? පන්තියේ ළමයි හැමෝම වගේ පරිණාමවාදය විශ්වාස කරනවා ඇති. අපිව නිර්මාණය කළා කියන දේ ඔයා විශ්වාස කරන්නේ ඇයි කියලා එයාලට පැහැදිලි කරන්න ඔයා කැමති වුණත් ඒක කරන්න ඔයාට බැහැ කියලා හිතෙනවාද? එහෙමනම් ඒ ගැන තොරතුරු අධ්‍යයනය කරන එක හොඳ දෙයක් නෙමෙයිද? අධ්‍යයනය කරන්න ඔයාට හේතු 2ක් තියෙනවා. (1) දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා ඔයාට තියෙන විශ්වාස තවත් ශක්තිමත් කරගන්න. (2) ඔයාගේ විශ්වාසයන් තව දක්ෂ විදිහට වෙන කෙනෙකුට පැහැදිලි කරන්න ඉගෙනගන්න. (රෝම 1:20; 1 පේතෘ. 3:15) මුලින්ම හිතන්න ‘පන්තියේ ළමයි පරිණාමවාදය විශ්වාස කරන්නේ ඇයි’ කියලා. ඊටපස්සේ පරිණාමවාදය ගැන අපේ ප්‍රකාශනවල සඳහන් තොරතුරු ගවේෂණය කරන්න. ඔයා විශ්වාස කරන දේවල් ගැන පැහැදිලි කරන එක ඔයා හිතන තරම් අමාරු නැහැ. හුඟදෙනෙක් පරිණාමවාදය විශ්වාස කරන්නේ එයාලා ගරු කරන කවුරු හරි ඒක ඇත්තක් කියලා කියපු නිසයි. පරිණාමවාදය ගැන ඔයා කරුණක් හෝ දෙකක් හොයාගත්තොත් සත්‍යය දැනගන්න අවංක ආසාවක් තියෙන කෙනෙක්ට උදව් කරන්න ඔයාට පුළුවන් වෙයි.—කොලොස්සි 4:6 කියවන්න.

ආසාවක් ඇති කරගන්න

14-16. (අ) බයිබලයට ඇතුළත් පොතක් ගැන ඔයා වැඩිය විස්තර දන්නේ නැත්නම් ඒ ගැන දැනගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? (ආ) ඡේදයේ සඳහන් වෙන බයිබල් පද ආමොස් පොත තවත් හොඳින් තේරුම්ගන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. (“ බයිබල් සිද්ධීන්වලට පණ පොවන්න” කියන කොටුවත් බලන්න.)

14 හිතන්න, ඉස්සරහට තියෙන රැස්වීමකදී අපි හෙබ්‍රෙව් ලියවිල්ලේ අන්තිම පොත් 12න් එකක් කියවලා සාකච්ඡා කරන්න නියමිතයි කියලා. සමහරවිට ඒ අනාගතවක්තෘවරයා ගැන ඔයා වැඩිය දන්නේ නැතුව ඇති. එහෙමනම් එයා ලියපු තොරතුරු ගැන දැනගන්න ආසාවක් ඇති කරගන්න. ඒක කරන්නේ කොහොමද?

15 මුලින්ම මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මේ පොතේ ලේඛකයා ගැන මම දන්නේ මොනවාද? එයා කවුද? එයා ජීවත් වුණේ කොහේද? එයා ජීවත් වෙන්න කළේ මොනවාද?’ ලේඛකයා ගැන තොරතුරු දැනගද්දී එයා සමහර යෙදුම්, උදාහරණ පාවිච්චි කරලා තියෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන්. ඒ පොත කියවද්දී ලේඛකයා කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න ඔයාට උදව් වෙන දේවල් හොයන්න.

16 ඊටපස්සේ ඒ පොත ලියපු කාලය හොයාගන්න. ‘නව ලොව පරිවර්තනයේ’ පිටුපස තියෙන “බයිබලයේ පොත් පිළිබඳ විස්තර” කියන කොටසෙන් ඔයාට ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඊට අමතරව ‘දේවවචනය අධ්‍යයනයට’ පොතේ 14-17 පිටුවල තියෙන රජවරුන් සහ අනාගතවක්තෘවරුන් කියන වගුව බලන්න. ඔයා කියවන පොතේ වැඩිපුර තියෙන්නේ අනාවැකි නිසා ඒක ලියන කාලේ මිනිසුන් ගත කළේ මොන වගේ ජීවිතද කියන දේ ගැන තොරතුරු හොයන එකත් ප්‍රයෝජනවත්. ඒ අනාගතවක්තෘ බලාපොරොත්තු වුණේ මිනිසුන්ට තිබුණ මොන නරක ආකල්ප හෝ එයාලා කරපු මොන නරක දේවල් නිවැරදි කරන්නද? ඒ ලේඛකයා ජීවත් වුණ කාලේ හිටපු අනිත් අය කවුද? ඒ පොතේ සඳහන් තොරතුරු ගැන සම්පූර්ණ අවබෝධයක් ගන්න ඔයාට බයිබලේ වෙනත් පොත්වල තොරතුරුත් හොයන්න වෙයි. උදාහරණෙකට අනාගතවක්තෘ ආමොස්ගේ කාලේ සිද්ධ වුණේ මොන වගේ දේවල්ද කියලා තේරුම්ගන්න 2 රාජාවලිය සහ 2 ලේකම් පොත්වල සමහර බයිබල් පද කියවන එක ප්‍රයෝජනවත් වෙයි. උදව් වෙන ඒ බයිබල් පද ආමොස් 1:1 යොමු දැක්වීමේ සඳහන් වෙනවා. ඊට අමතරව ආමොස්ගේ කාලේ හිටියා කියලා හිතන්න පුළුවන් අනාගතවක්තෘ හොෂෙයා ලියපු පොතත් බලන්න. ඒ විදිහට අනිත් පොත්වල තියෙන තොරතුරු බලද්දී ආමොස් එයාගේ පොත ලියද්දී තිබුණ වාතාවරණය තේරුම්ගන්න ඔයාට පුළුවන්.—2 රාජා. 14:25-28; 2 ලේක. 26:1-15; හොෂෙ. 1:1-11; ආමො. 1:1.

පොඩි පොඩි තොරතුරුවලට අවධානය දෙන්න

17-18. බයිබල් පදයක සඳහන් වෙන පොඩි කරුණකට අවධානය දෙන එකෙන් අධ්‍යයනය තවත් රසවත් කරගන්න පුළුවන් කියන දේ ඡේදවල සඳහන් උදාහරණ හෝ ඔයා හොයාගත්ත උදාහරණයක් පාවිච්චි කරලා පෙන්නලා දෙන්න.

17 බයිබලේ කියවද්දී තව තොරතුරු දැනගන්න අපිට ආසාවක් තියෙන එක හොඳ දෙයක්. හිතන්න, සෙකරියා පොතේ 12වෙනි පරිච්ඡේදය ඔයා කියවනවා කියලා. ඒ අනාවැකියේ කතා කරන්නේ ගැලවුම්කරුගේ මරණය ගැනයි. (සෙක. 12:10) 12වෙනි පදයේ කියනවා ගැලවුම්කරුගේ මරණය ගැන “නාතන්ගේ පවුලේ අයද” හඬා වැලපෙනවා කියලා. ඒ කරුණ එච්චර ගණන් නොගෙන දිගටම කියවගෙන යනවා වෙනුවට ටිකක් නතර වෙලා මේ ගැන හිතන්න. ‘ගැලවුම්කරු සහ නාතන්ගේ පවුලේ අය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ ගැන තව තොරතුරු දැනගන්න විදිහක් තියෙනවාද?’ ඔයාට පුළුවන් රහස් පරීක්ෂක වැඩක් කරන්න. 12වෙනි පදයට අදාළ එක යොමු දැක්වීමක් ඔයාව ගෙනියන්නේ 2 සාමුවෙල් 5:14ට. එතන කියනවා නාතන් දාවිත් රජුගේ එක පුතෙක් කියලා. 12වෙනි පදයට අදාළ තවත් යොමු දැක්වීමක් තමයි ලූක් 3:31. එතන සඳහන් පෙළපත් වාර්තාවෙන් පේනවා යේසුස් නාතන්ගෙන් පැවතෙන කෙනෙක් කියලා. නාතන් මරියාගේ මුතුන්මිත්තෙක්. ඔයා දැනගෙන හිටියා යේසුස් දාවිත්ගේ පෙළපතින් එනවා කියලා අනාවැකියක තියෙනවා කියලා. (මතෙ. 22:42) ඒත් දාවිත්ට පුත්තු 20දෙනෙක්ට වඩා හිටියා. යේසුස්ගේ මරණය ගැන හඬා වැලපෙන අය ගැන කතා කරද්දී නාතන්ගේ පවුලේ අයව සෙකරියා විශේෂයෙන්ම සඳහන් කරපු එක ප්‍රබල තොරතුරක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

18 තවත් උදාහරණයක් බලන්න. ලූක් 1වෙනි පරිච්ඡේදය කියවද්දී ඔයා දකියි ගාබ්‍රියෙල් දේවදූතයා මරියාව හම්බ වෙන්න ගිහින් එයාට ලැබෙන්න යන දරුවා ගැන මෙහෙම කියනවා. ‘ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය ලබා දෙයි. ඔහු යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරනවා.’ (ලූක් 1:32, 33) සමහරවිට අපි ගාබ්‍රියෙල් දේවදූතයා කිව්ව මුල් කොටසට විතරක් අවධානය දෙන්න පෙලඹෙයි. ඒ යේසුස් “මහෝත්තම දෙවිගේ පුත්‍රයා” කියන කාරණය. ඒත් ඔයා දැක්කාද දේවදූතයා මරියාට කිව්වා යේසුස් ‘රජකම් කරනවා’ කියලා. ගාබ්‍රියෙල් දේවදූතයා කියපු ඒ දේ මරියා කොහොම තේරුම්ගන්න ඇද්ද කියලා ඔයා හිතයි. එයා හිතුවාද හෙරොද් රජුගේ තැන එහෙම නැත්නම් එයාට පස්සේ රජ වෙන කෙනාගේ තැන යේසුස් ගනියි කියලා? යේසුස් රජ වෙනවා කියන්නේ මරියා මව් රැජින වෙනවා කියන එකයි. එයාගේ පවුලේ අය රජමාලිගාවේ ජීවත් වෙයි. ඒත් මරියා ඒ වගේ කිසිම දෙයක් ගාබ්‍රියෙල් දේවදූතයාගෙන් ඇහුවා කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මරියා කවදාවත් දේවරාජ්‍යයේ විශේෂ තනතුරු තමන්ට දෙන්න කියලා ඉල්ලුවේ නැහැ. යේසුස්ගේ නියෝජිතයන් දෙන්නෙක් නම් ඒ වගේ ඉල්ලීමක් කළා. (මතෙ. 20:20-23) ලූක් පොතේ සඳහන් වෙන ඒ පොඩි තොරතුර නිසා මරියා හරිම නිහතමානී කෙනෙක් කියන කාරණය අපිට තවත් ස්ථිර වෙනවා.

19-20. යාකොබ් 1:22-25 සහ 4:8 විස්තර කරලා තියෙන විදිහට අපි අධ්‍යයනය කරන්නේ ඇයි?

19 බයිබලයත් අපේ ප්‍රකාශනත් අපි අධ්‍යයනය කරන ප්‍රධානම හේතුව තමයි යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙන්න ඒකෙන් අපිට පුළුවන් වෙන නිසා. අපි ඇත්තටම මොන වගේ අයද කියලා තව හොඳින් අවබෝධ කරගන්නත් දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න අපි මොන වගේ වෙනස්කම් කරගන්න ඕනෙද කියලා තේරුම්ගන්නත් අධ්‍යයනය කරන එකෙන් අපිට පුළුවන් වෙනවා. (යාකොබ් 1:22-25; 4:8 කියවන්න.) එහෙමනම් අපි අධ්‍යයනය කරන හැම වෙලාවකදීම යෙහෝවා දෙවියන්ගේ උදව් ඉල්ලලා ඒක පටන්ගන්න එක කොච්චර වැදගත්ද! අධ්‍යයනය කරන තොරතුරුවලින් උපරිම ප්‍රයෝජන ගන්න උදව් කරන්න කියලත් අපි කරගන්න ඕනෙ වෙනස්කම් හඳුනගන්න උදව් කරන්න කියලත් යෙහෝවා දෙවියන්ට කන්නලව් කරන්න.

20 ගීතිකාකරු විස්තර කරන මේ විශ්වාසවන්ත පුද්ගලයා වගේ වෙන්නයි අපි හැමෝගෙම අදිටන. ‘යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.’—ගීතා. 1:2, 3.

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් හරිම ත්‍යාගශීලීව අපිට කියවන්න, බලන්න සහ අධ්‍යයනය කරන්න හුඟක් තොරතුරු ලබා දෙනවා. ඔයා අධ්‍යයනය කරන්න ඕනෙ මොන තොරතුරුද කියලා තීරණය කරන්න මේ ලිපිය ඔයාට උදව් කරයි. අධ්‍යයනය කරද්දී ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලත් මේ ලිපියේ කතා කරනවා.

^ 61 ඡේ. පින්තූරයේ අදහස: ‘මුරටැඹ’ පාඩමට සූදානම් වෙන විදිහ දෙමාපියන් දරුවන්ට කියලා දෙනවා.

^ 63 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් ආමොස් කියන බයිබල් ලේඛකයා ගැන තොරතුරු ගවේෂණය කරනවා. එයා ඒ වාර්තාව කියවලා ඒ ගැන කල්පනා කරන අතරේ හිතින් මවාගන්න දේවල් එයාට පිටුපසින් තියෙන පින්තූරවලින් පෙන්නලා තියෙනවා.