Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 19

දුෂ්ටකම් පිරුණු ලොවක දෙවියන්ගේ ආදරේ, යුක්තිය අද්දකින්න

දුෂ්ටකම් පිරුණු ලොවක දෙවියන්ගේ ආදරේ, යුක්තිය අද්දකින්න

“ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවෙයි. දුෂ්ටයෙකුට එක මොහොතක්වත් ඔබ සමඟ සිටීමට අවසර නොලැබෙයි.”—ගීතා. 5:4.

ගීතිකාව 142 බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

මේ ලිපියෙන් *

1-3. (අ) ගීතාවලිය 5:4-6 කියන විදිහට දුෂ්ටකම් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) ළමා අපචාරය “ක්‍රිස්තුස්ගේ නීතියට” සම්පූර්ණයෙන්ම විරුද්ධ ක්‍රියාවක් කියන්නේ ඇයි?

යෙහෝවා දෙවියන් හැම දුෂ්ටකමක්ම පිළිකුල් කරනවා. (ගීතාවලිය 5:4-6 කියවන්න.) එහෙමනම් ළමා ලිංගික අපචාරය කියන අශික්ෂිත, කුරිරු අපරාධය ඔහු කොච්චර පිළිකුල් කරනවා ඇද්ද! යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපිත් ළමා අපචාරය පිළිකුල් කරනවා. දැන දැනම ඒ වගේ දෙයක් සභාවේ සිදු වෙන්න අපි ඉඩ දෙන්නේවත් ඒ වගේ දෙයක් කරන කෙනෙක්ව අපි කිසිම විදිහකින් ආරක්ෂා කරන්නේවත් නැහැ. එහෙම දෙයක් ගැන දැනගන්න ලැබුණොත් අපි ඒ සම්බන්ධයෙන් ඉක්මනින් පියවර ගන්නවා.—රෝම 12:9; හෙබ්‍රෙ. 12:15, 16.

2 ළමා අපචාරය “ක්‍රිස්තුස්ගේ නීතියට” සම්පූර්ණයෙන්ම විරුද්ධ ක්‍රියාවක්. (ගලා. 6:2) ක්‍රිස්තුස්ගේ නීතිය ගොඩනඟලා තියෙන්නේ ආදරේ මත. ඒකෙන් යුක්තියත් ඉටු වෙනවා. ඒ නීතියට කීකරු වන සැබෑ ක්‍රිස්තියානීන් දරුවන්ට සලකන්නේ එයාලට ආරක්ෂිත හැඟීමක් ඇති වෙන, ආදරයක් දැනෙන විදිහට. ඒත් ළමා අපචාරය හරිම ආත්මාර්ථකාමී ක්‍රියාවක්. ඒකෙන් දරුවෙක්ට වෙන්නේ ලොකු අසාධාරණයක්. මොකද ඒ වගේ දෙයක් වෙද්දී දරුවෙක්ට ලොකු අනාරක්ෂිත හැඟීමක් දැනෙනවා.

3 ළමා ලිංගික අපචාරය අද වසංගතයක් වගේ. අපෙන් සමහරදෙනෙකුත් ඒකට ගොදුරු වෙලා තියෙනවා. ඒ කොහොමද? “දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන්” අද හැම තැනම ඉන්නවා. (2 තිමෝ. 3:13) එයාලගෙන් සමහරු ආත්මාර්ථකාමී චේතනාවෙන් සභාවේ අයව ඇසුරු කරනවා. ඊට අමතරව යෙහෝවා දෙවියන්ගේ සේවකයන් සමහරදෙනෙකුත් විකෘති ලිංගික ආශාවන්ට එයාලව පාලනය කරන්න ඉඩ දීපු නිසා දරුවන්ව අපයෝජනය කරලා තියෙනවා. ළමා අපචාරය බරපතළ, පිළිකුල්සහගත පාපයක් කියන්නේ ඇයි කියලා අපි බලමු. බරපතළ පාපයක් සභාවේ කෙනෙක් කළොත් වැඩිමහල්ලන් ගන්නේ මොන වගේ පියවරද කියලත් ළමා අපචාරයෙන් තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලත් බලමු. *

බරපතළ, පිළිකුල්සහගත පාපයක්

4-5. ළමා අපචාරය ඒකට ලක් වුණ කෙනාට විරුද්ධව කරන පාපයක් කියන්නේ ඇයි?

4 ළමා අපචාරයක් සිදු වුණාම ඒකට ගොදුරු වුණ කෙනාට වගේම එයාට ආදරේ කරන අයට අවුරුදු ගාණක් යන කල් ලොකු දුකක් දැනෙනවා. ඒක හරිම බරපතළ, පිළිකුල්සහගත පාපයක්.

5 ඒක අපචාරයට ලක් වුණ කෙනාට විරුද්ධව කරන පාපයක්. * තව කෙනෙක්ව රිද්දවන එක, දුකට පත් කරන එක පාපයක්. දරුවෙකුව අපයෝජනය කරන කෙනා ඒ දරුවාව ශාරීරිකව, මානසිකව වේදනාවට පත් කරනවා. එයා ගැන දරුවාට තිබුණ විශ්වාසය එයා කඩ කරනවා. දරුවාට දැනුණ සුරක්ෂිත හැඟීම එයා නැති කරනවා. දරුවෙකු අද්දකින්න සුදුසු නැති දේවල් අද්දකින්න බලෙන්ම සලස්වනවා. ඒ වගේ දේකට ගොදුරු වුණ අයට සහනය අත්‍යවශ්‍යයි.—1 තෙස. 5:14.

6-7. ළමා අපචාරය සභාවට විරුද්ධවත්, උසස් බලධාරීන්ට විරුද්ධවත් කරන පාපයක් කියන්නේ ඇයි?

6 ඒක සභාවට විරුද්ධව කරන පාපයක්. සභාවේ කෙනෙක් දරුවෙක්ව අපයෝජනය කළොත් එයා සභාවේ හොඳ නම නින්දාවට පත් කරනවා. (මතෙ. 5:16; 1 පේතෘ. 2:12) ‘විශ්වාසවන්තව ඉන්න මහත් සටනක නිරත’ වන මිලියන ගාණක් ක්‍රිස්තියානීන්ට එයා කරන්නේ මොන තරම් අසාධාරණයක්ද! (යූද් 3) අපි ඒ වගේ දුෂ්ටකම් ගණන් ගන්නේ නැතුව ඉන්නේ නැහැ. ඒ වගේ පිළිකුල්සහගත දෙයක් කරලා පසුතැවෙන්නේ නැති, සභාවේ හොඳ නමට කැළැලක් ඇති කරන අයට සභාවේ සාමාජිකයන් විදිහට ඉන්න කිසිම ඉඩක් නැහැ.

7 ඒක උසස් බලධාරීන්ට විරුද්ධව කරන පාපයක්. ක්‍රිස්තියානීන් “උසස් බලධාරීන්ට යටත් විය යුතුයි.” (රෝම 13:1) රටේ නීතියට කීකරු වෙලා අපිට ඒක කරන්න පුළුවන්. සභාවේ කෙනෙක් අපරාධ නීතියක් කඩ කළොත් උදාහරණෙකට ළමා අපචාරයක් කළොත් ඒක එයා උසස් බලධාරීන්ට විරුද්ධව කරන පාපයක්. (ක්‍රියා 25:8 බලන්න.) රටේ නීතිය කඩන අයට ඒ නීතියට අනුව දඬුවම් කරන්න වැඩිමහල්ලන්ට අයිතියක් නැහැ. නීතියෙන් ලැබෙන දඬුවමින් එයාව ආරක්ෂා කරන්න වැඩිමහල්ලන් උත්සාහ කරන්නෙත් නැහැ. (රෝම 13:4) එයාට සිද්ධ වෙනවා එයා කරපු වරදට ප්‍රතිඵල විඳින්න.—ගලා. 6:7.

8. කෙනෙක් තව කෙනෙක්ට විරුද්ධව පාපයක් කරද්දී දෙවියන් ඒක සලකන්නේ කොහොමද?

8 ඒක යෙහෝවා දෙවියන්ට විරුද්ධව කරන පාපයක්. (ගීතා. 51:4) කෙනෙක් තව කෙනෙක්ට විරුද්ධව පාපයක් කරද්දී එයා යෙහෝවා දෙවියන්ට විරුද්ධවත් පාපයක් කරනවා. උදාහරණෙකට නීතියේ සඳහන් වුණා කෙනෙක් අසල්වැසියාගෙන් යමක් සොරකම් කළොත් හෝ එයාට වංචාවක් කළොත් ඒක ‘යෙහෝවා දෙවිට අවිශ්වාසවන්ත වීමක්’ කියලා. (ලෙවී. 6:2-4) සභාවේ කෙනෙක් දරුවෙක්ව අපයෝජනයට ලක් කරද්දී එයා කරන්නේ දෙවියන්ට අවිශ්වාසවන්ත වීමක්. එයා දරුවාට දැනුණ සුරක්ෂිත හැඟීම උදුරගන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ඒ වගේ වරදක් කළාම එයා දෙවියන්ගේ නමට ගේන්නේ අපකීර්තියක්. ඒ නිසයි ළමා ලිංගික අපචාරය හරිම පහත්, පිළිකුල්සහගත දෙයක් විදිහට අපි සලකන්නේ. ඒක දෙවියන්ට විරුද්ධව කරන බරපතළ පාපයක්.

9. බයිබලේ මත පදනම් මොන වගේ තොරතුරුද සංවිධානය පළ කරලා තියෙන්නේ? ඒ ඇයි?

9 පහුගිය අවුරුදුවල යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ළමා අපචාරය කියන විෂයට අදාළ බයිබලේ මත පදනම් තොරතුරු හුඟක් පළ කරලා තියෙනවා. උදාහරණෙකට අපචාරයට ගොදුරු වුණ අය අද්දකින වේදනාවෙන් ගොඩ එන්න එයාලට කරන්න පුළුවන් දේවල් ගැනත් එයාලට උදව් කරන්න අනිත් අයට පුළුවන් විදි ගැනත් දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන් කරන්න ඕනෙ දේවල් ගැනත් ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාවල ලිපි පළ වුණා. කෙනෙක් ළමා අපචාරයක් කළොත් කරන්න ඕනෙ දේ සම්බන්ධයෙන් සංවිධානය වැඩිමහල්ලන්ට මඟ පෙන්වීම් දීලා තියෙනවා. සංවිධානය ඒ මඟ පෙන්වීම් නිතරම සෝදිසි කරලා අවශ්‍ය වුණොත් ඒවා සංශෝධනය කරනවා. එහෙම කරන්නේ හැම වෙලාවෙම ක්‍රිස්තුස්ගේ නීතියට අනුව දේවල් කරන්න වැඩිමහල්ලන්ට උදව් කරන්නයි.

කෙනෙක් බරපතළ පාපයක් කළාම . . .

10-12. (අ) කෙනෙක් බරපතළ වරදක් කරලා කියලා දැනගත්තාම වැඩිමහල්ලන් මතක තියාගන්න ඕනෙ මොකක්ද? එයාලගේ වගකීමට ඇතුළත් වෙන්නේ මොනවාද? (ආ) යාකොබ් 5:14, 15 අනුව වැඩිමහල්ලන් උත්සාහ කරන්නේ මොකක් කරන්නද?

10 බරපතළ පාපයකට සම්බන්ධ කාරණා හසුරුවද්දී තමන් ක්‍රිස්තුස්ගේ නීතියට යටත් වෙන්න ඕනෙ කියන දේ වැඩිමහල්ලන් මතක තියාගන්නවා. ඒ කියන්නේ දෙවිගේ රැළේ බැටළුවන්ට ආදරෙන් සලකන එකත් දෙවියන් හරියි කියන දේ කරන එකත් දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙනවා කියලා වැඩිමහල්ලන් මතක තියාගන්නවා. ඒ නිසා කෙනෙක් බරපතළ පාපයක් කළා කියලා දැනගත්තාම වැඩිමහල්ලන් හිතන්න ඕනෙ හුඟක් කාරණා තියෙනවා. වැඩිමහල්ලන්ගේ මූලික වගකීම යෙහෝවා දෙවියන්ගේ නමට කැළැලක් ඇති නොවීමට වගබලා ගන්න එකයි. (ලෙවී. 22:31, 32; මතෙ. 6:9) සභාවේ අනිත් අයට ඒ බරපතළ පාපය කොහොම බලපාලා ඇද්ද කියලා හිතලා දෙවියන් එක්ක එයාලට තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න උදව් කරන එකත් ඒ පාපය නිසා වේදනාවට පත් වෙලා ඉන්න අයව සනසන එකත් වැඩිමහල්ලන්ගේ වගකීම්වලට ඇතුළත්.

11 වරදකරු සභාවේ කෙනෙක් නම් කරපු වරද ගැන එයා අවංකවම පසුතැවෙනවාද කියලා වැඩිමහල්ලන් හොයලා බලනවා. එයා පසුතැවෙනවා නම් දෙවියන් එක්ක ආයෙත් බැඳීමක් ඇති කරගන්න වැඩිමහල්ලන් එයාට උදව් කරන්න ඕනේ. (යාකොබ් 5:14, 15 කියවන්න.) වැරදි ආශාවන්ට හසු වෙලා බරපතළ පාපයක් කරපු කෙනෙක් හරියට අසනීපයක් නිසා දුර්වල වෙලා ඉන්න කෙනෙක් වගේ. එයාට දෙවියන් එක්ක තවදුරටත් හොඳ බැඳීමක් නැහැ. * වෛද්‍යවරයෙක් රෝගියෙකුට උදව් කරනවා වගේ වැඩිමහල්ලන් ‘ඒ කෙනාට සනීප වෙන්න’ උදව් කරනවා. එයාලා බයිබලේ යොදාගෙන දෙන උපදෙස් ඒ කෙනාට උදව් වෙනවා දෙවියන් එක්ක ආයෙත් බැඳීමක් ඇති කරගන්න. ඒත් ඒකට එයා අවංකව පසුතැවෙන්න ඕනේ.—ක්‍රියා 3:19; 2 කොරි. 2:5-10.

12 වැඩිමහල්ලන්ට තියෙන්නේ බැරෑරුම් වගකීමක්. දෙවියන් භාර දීලා තියෙන රැළ එයාලා බලාගන්නේ ආදරෙන්. (1 පේතෘ. 5:1-3) එයාලට ඕනෙ සභාව සුරක්ෂිත තැනක් කියන හැඟීම සහෝදරයන් තුළ ඇති කරන්නයි. ඒ නිසා ළමා ලිංගික අපචාරය ඇතුළුව වෙනත් බරපතළ වරදක් ගැන දැනගන්න ලැබුණාම එයාලා ඉක්මනින්ම පියවර ගන්නවා.

13-14. ළමා ලිංගික අපචාරයක් සිදු වුණොත් ඒ ගැන බලධාරීන්ව දැනුවත් කරන්න ඕනෙ කියලා රටේ නීතියක් තියෙනවා නම් වැඩිමහල්ලන් ඒකට කීකරු වෙනවාද? පැහැදිලි කරන්න.

13 ළමා ලිංගික අපචාරයක් සිදු වෙලා තියෙනවා කියලා කවුරු හරි චෝදනාවක් කළොත් ඒ ගැන බලධාරීන්ව දැනුවත් කරන්න ඕනෙ කියලා රටේ නීතියක් තියෙනවා නම් වැඩිමහල්ලන් ඒකට කීකරු වෙනවාද? ඔව්. එහෙම කරන්න වැඩිමහල්ලන් බැඳිලා ඉන්නවා. (රෝම 13:1) ඒ වගේ නීති නිසා දෙවියන්ගේ නීති උල්ලංගනය වෙන්නේ නැහැ. (ක්‍රියා 5:28, 29) ඒ නිසා ළමා ලිංගික අපචාරයක් ගැන දැනගන්න ලැබුණාම ඒ ගැන බලධාරීන්ව දැනුවත් කරන්න ඕනෙ කොහොමද කියලා වැඩිමහල්ලන් ඉක්මනින්ම ශාඛා කාර්යාලයෙන් මඟ පෙන්වීම් ලබාගන්න ඕනේ.

14 සිද්ධ වුණ දේ ගැන බලධාරීන්ට දැනුම් දෙන්න ළමා අපචාරයට ගොදුරු වුණ කෙනාට, එයාගේ දෙමාපියන්ට හෝ ඒ ගැන දන්න වෙනත් අයට අයිතියක් තියෙනවා. වැඩිමහල්ලන් ඒ අයිතිය ගැන එයාලට කියන්න ඕනේ. ඒත් වරදකරු සභාවේ කෙනෙක් නම් ඒ ගැන බලධාරීන්ට දැනුම් දෙන එකෙන් එයා කරපු වරද මිනිසුන් අතරේ ප්‍රචාරය වුණොත් මොකද කරන්නේ? ඒ ගැන බලධාරීන්ට දැනුම් දුන්න කෙනා හිතන්න ඕනෙද එයා ඒක දැනුම් දුන්න නිසයි දෙවියන්ගේ නමට අගෞරවයක් ඇති වුණේ කියලා? නැහැ. දෙවියන්ගේ නමට අගෞරවයක් ගෙනාවේ වරදකරුයි.

15-16. (අ) 1 තිමෝති 5:19 අනුව විනිශ්චය කමිටුවක් පිහිටුවන්න කලින් අඩුම තරමේ සාක්ෂිකරුවන් දෙන්නෙක්වත් ඉන්න ඕනෙ ඇයි? (ආ) ළමා අපචාරයක් සිදු කළා කියලා සභාවේ කෙනෙක්ට චෝදනාවක් එල්ල වුණොත් වැඩිමහල්ලන් මොනවාද කරන්නේ?

15 කෙනෙක් බරපතළ පාපයක් කළා කියලා ඔප්පු කරන්න වැඩිමහල්ලන්ට අඩුම තරමේ දෙන්නෙක්ගේවත් සාක්ෂි ඕනෙ ඇයි? මොකද බයිබලේට අනුව ඒක තමයි යුක්තිසහගත දේ. කෙනෙක් බරපතළ පාපයක් කළා කියලා තව කෙනෙක් චෝදනා කරනවා කියලා හිතන්න. ඒත් එයා ඒ වරද පිළිගන්නේ නැහැ. එතකොට වැඩිමහල්ලන්ට විනිශ්චය කමිටුවක් පිහිටුවන්න සාක්ෂිකරුවන් දෙන්නෙක් ඉන්න ඕනේ. (ද්වි. 19:15; මතෙ. 18:16; 1 තිමෝති 5:19 කියවන්න.) ඒකෙන් අදහස් කරනවාද ළමා අපචාරයක් ගැන බලධාරීන්ට දැනුම් දෙන්නත් දෙන්නෙක්ගේ සාක්ෂි ඕනෙ කියලා? නැහැ. ඒ සැලැස්ම අදාළ වෙන්නේ සභාවේ වැඩකටයුතුවලට විතරයි. ළමා අපචාරයක් කියන්නේ රටේ නීතියක් උල්ලංගනය වීමක් නිසා වැඩිමහල්ලන්ට හෝ වෙන ඕනෙම කෙනෙක්ට ඒ ගැන බලධාරීන්ට දැනුම් දෙන්න පුළුවන්.

16 ළමා අපචාරයක් සිදු කළා කියලා සභාවේ කෙනෙක්ට චෝදනාවක් එල්ල වුණොත් වැඩිමහල්ලන් ඒ ගැන බලධාරීන්ට දැනුම් දෙන එක සම්බන්ධයෙන් රටේ තියෙන නීතිවලට මුලින්ම කීකරු වෙනවා. ඊටපස්සේ එයාලා ඒ සිද්ධිය ගැන තොරතුරු හොයලා බලනවා. බයිබලේ සඳහන් මඟ පෙන්වීම්වලට අනුව එයාලා තීරණය කරනවා විනිශ්චය කමිටුවක් පත් කරනවාද කියලා. වැඩිමහල්ලන් මුලින්ම චෝදනාවට ලක් වුණ කෙනාගෙන් එයා ඒ වරද කළාද කියලා අහනවා. එයා ඒක පිළි නොගත්තොත් ඒ ගැන තොරතුරු දන්න වෙන අයට වැඩිමහල්ලන් සවන් දෙනවා. චෝදනාව කරන කෙනා සහ අඩු තරමේ තව එක් කෙනෙක්වත් කියනවා නම් චෝදනාව ලබපු කෙනා මේ දරුවාව හෝ වෙනත් දරුවෙකුව අපයෝජනය කළා කියලා විනිශ්චය කමිටුවක් පිහිටුවන්න ඒ සාක්ෂි ඇති. * චෝදනාව කරන කෙනාට අමතරව තව සාක්ෂිකරුවෙක් නැත්නම් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ චෝදනාව බොරුවක් කියලා. කෙනෙක් ළමා ලිංගික අපචාරයක් කළා කියලා ඔප්පු කරන්න දෙන්නෙක්ගේ සාක්ෂි තිබුණේ නැතත් අනිත් අයව වේදනාවට පත් කරපු හරිම නරක දෙයක් චෝදනාව ලබපු කෙනා අතින් වෙලා ඇති කියලා වැඩිමහල්ලන් තේරුම්ගන්නවා. වේදනාවට පත් වෙලා ඉන්න අයට අවශ්‍ය සහනය වැඩිමහල්ලන් දිගටම ලබා දෙන්න ඕනේ. සභාව ආරක්ෂා කරගන්න ඕනෙ නිසා වැඩිමහල්ලන් චෝදනාවට ලක් වුණ කෙනා ගැන හොඳ අවධානයකින් ඉන්නත් ඕනේ.—ක්‍රියා 20:28.

17-18. විනිශ්චය කමිටුවකට තියෙන වගකීම විස්තර කරන්න.

17 විනිශ්චය කමිටුවේ වගකීම මොකක්ද? එයාලගේ වගකීම තමයි වරදකරුට තවදුරටත් සභාවේ සාමාජිකයෙක් හැටියට ඉන්න පුළුවන්ද කියන දේ තීරණය කරන එක. අපචාරයක් කරපු කෙනා රටේ නීතියක් කඩ කරපු නිසා නීතියට අනුව එයාට ලැබෙන්න ඕනෙ දඬුවම වැඩිමහල්ලන් තීරණය කරන්නේ නැහැ. ඒක බලධාරීන්ට තීරණය කරන්න එයාලා ඉඩ දෙනවා.—රෝම 13:2-4; තීත. 3:1.

18 විනිශ්චය කමිටුවක සේවය කරන වැඩිමහල්ලන් විනිශ්චය කරන්නේ කෙනෙක් අතින් වුණ වරද සභාවට සහ එයාගේ නමස්කාර කටයුතුවලට බලපාන විදිහයි. වරදකරු එයා කරපු වරද ගැන අවංකව පසුතැවිලි වෙනවාද කියලා එයාලා තීරණය කරනවා. ඒ තීරණය ගන්නේ බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුවයි. එයා පසුතැවිලි වෙන්නේ නැත්නම් වැඩිමහල්ලන් එයාට කියනවා එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනවා කියලා. ඊටපස්සේ ඒ ගැන සභාවේ නිවේදනය කරනවා. (1 කොරි. 5:11-13) ඒත් එයා පසුතැවෙනවා නම් එයාට දිගටම සභාවේ සාමාජිකයෙක් විදිහට ඉන්න පුළුවන්. ඒ වුණත් එයාට අවුරුදු ගාණක් යන කල් සමහරවිට ජීවිත කාලේටම වුණත් සභාවේ කිසිම වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ කියලා වැඩිමහල්ලන් එයාට කියනවා. සභාවේ දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා වැඩිමහල්ලන්ට පුළුවන් සභාවේ කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට කියන්න එයාලගේ දරුවන් වරදකරු එක්ක ඇසුරු කරද්දී විමසිල්ලෙන් ඉන්න කියලා. ඒත් අපචාරයට ගොදුරු වුණ අය ගැන තොරතුරු නොකියන්න වැඩිමහල්ලන් වගබලා ගන්න ඕනේ.

ඔයාගේ දරුවන්ව ආරක්ෂා කරගන්න

දරුවන්ගේ වයසට අනුව එයාලත් එක්ක ලිංගික කාරණා ගැන කතා කරන එකෙන් දරුවන්ව ලිංගික අපචාරයෙන් ආරක්ෂා කරගන්න දෙමාපියන්ට පුළුවන්. දෙවියන්ගේ සංවිධානයෙන් ලැබෙන තොරතුරු ඒ වගේ සාකච්ඡාවන් කරන්න දෙමාපියන් පාවිච්චි කරනවා. (19-22 ඡේද බලන්න)

19-22. ළමා අපචාරයෙන් දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට කරන්න පුළුවන් මොනවාද? (කවරයේ පින්තූරය බලන්න.)

19 දරුවන්ව ආරක්ෂා කරගන්න ප්‍රධානම වගකීම තියෙන්නේ දෙමාපියන්ට. * ඔයාගේ දරුවන් ඔයාට “යෙහෝවා දෙවිගෙන් ලැබුණ උරුමයක්.” (ගීතා. 127:3) ඒ උරුමය රැකගන්න එක ඔයාගේ වගකීමක්. ළමා අපචාරයෙන් දරුවන්ව ආරක්ෂා කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

20 (1) අපචාරයක් කියන්නේ මොකක්ද කියලා ඔයා දැනුවත් වෙන්න. දරුවන්ව අපයෝජනයට ලක් කරන්නේ මොන වගේ අයද සහ එයාලා දරුවන්ව රවට්ටගන්න විදි ගැන දැනුවත් වෙන්න. අනතුරක් කරන්න පුළුවන් පුද්ගලයන් සහ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් අවස්ථා ගැන විමසිල්ලෙන් ඉන්න. (හිතෝ. 22:3; 24:3) හුඟක් අවස්ථාවලදී දරුවන්ව අපයෝජනය කරලා තියෙන්නේ දරුවා හොඳින් දන්න, දරුවාගේ විශ්වාසය දිනාගත්ත අයයි.

21 (2) දරුවන්ට ඔයාත් එක්ක ඕනෙම දෙයක් කියන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න. (ද්වි. 6:6, 7) ඒකට දරුවාට හොඳින් සවන් දෙන එක ඇතුළත්. (යාකො. 1:19) අපයෝජනයට ලක් වෙන දරුවන් ඒ ගැන තව කෙනෙක්ට කියන්න අදිමදි කරයි. එහෙම වෙන්නේ සමහරවිට එයා කියන දේ අනිත් අය විශ්වාස නොකරයි කියලා එයා හිතන නිසයි. එහෙම නැත්නම් ඒ ගැන කාට හරි කිව්වොත් දරුවාට හානියක් කරනවා කියලා අපයෝජනය කරපු කෙනා තර්ජනය කරලා ඇති. දරුවාට යම් අනතුරක් වෙලා කියලා තේරුණොත් කාරුණිකව ප්‍රශ්න අහන්න. දරුවා කතා කරද්දී කලබල වෙන්නේ නැතුව ඇහුම්කන් දෙන්න.

22 (3) දරුවන්ව දැනුවත් කරන්න. ලිංගික කාරණා ගැන දරුවන්ව දැනුවත් කරන්න. එයාගේ වයස, එයාට අවබෝධ කරගන්න පුළුවන් ප්‍රමාණය අනුව කියන්නේ මොනවාද කියලා ඔයා තීරණය කරන්න. කවුරු හරි අනවශ්‍ය විදිහට එයාව අත පත ගානවා නම් ඒ වගේ වෙලාවලදී කියන්න ඕනෙ, කරන්න ඕනෙ මොනවාද කියලා එයාව දැනුවත් කරන්න. දරුවන්ව ආරක්ෂා කරගන්න සංවිධානය දීලා තියෙන තොරතුරු පාවිච්චි කරන්න.—“ ඔයාත් දැනුවත් වෙලා දරුවන්වත් දැනුවත් කරන්න” කියන කොටුව බලන්න.

23. ළමා ලිංගික අපචාරය ගැන අපිට හැඟෙන්නේ කොහොමද? ඊළඟ ලිපියෙන් බලන්නේ මොකක් ගැනද?

23 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට ළමා ලිංගික අපචාරය අපි සලකන්නේ පිළිකුල්සහගත මෙන්ම කුරිරු අපරාධයක් විදිහට. ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වෙන අපි ළමා ලිංගික අපචාරය කරපු අයව කිසිම විදිහකින් ආරක්ෂා කරන්නේ නැහැ. සභාවේ කෙනෙක් ලිංගික අපචාරයට ගොදුරු වෙලා තියෙනවා නම් එයාට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

^ 5 ඡේ. දරුවන්ව ලිංගික අපචාරයෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා. දුෂ්ටකම්වලින් සභාව ආරක්ෂා කරගන්න වැඩිමහල්ලන් පියවර ගන්නේ කොහොමද කියලත් තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලත් බලමු.

^ 3 ඡේ. පැහැදිලි කිරීමක්: ළමා ලිංගික අපචාරය කියන්නේ වැඩිහිටියෙක් එයාගේ ලිංගික ආශාවන් පිනවගන්න දරුවෙක්ව පාවිච්චි කරන එකටයි. දරුවෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, මුඛය හෝ ගුද මාර්ගය යොදාගෙන දරුවෙක් එක්ක ලිංගික ක්‍රියවල යෙදීම, දරුවෙක්ගේ ලිංගේන්ද්‍රයන්, පියයුරු, තට්ටම් ප්‍රදේශය අතගෑම හෝ වෙනත් ඕනෑම නොහොබිනා ක්‍රියාවක් ඒකට ඇතුළත්. ළමා ලිංගික අපචාරයට වැඩියෙන්ම ගොදුරු වෙලා තියෙන්නේ ගැහැනු දරුවන් වුණත් පිරිමි දරුවන් හුඟදෙනෙකුත් ඒකට ගොදුරු වෙලා තියෙනවා. දරුවන්ව අපයෝජනය කරන වැඩිදෙනෙක් පිරිමින්. ඒ වුණත් සමහර කාන්තාවන් අතිනුත් දරුවන්ව අපයෝජනයට ලක් වෙනවා.

^ 5 ඡේ. පැහැදිලි කිරීමක්: මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් ‘අපචාරයට ලක් වුණ කෙනා’ කියද්දී ඒකෙන් කුඩා වයසේදී අපචාරයට ගොදුරු වුණ කෙනෙක්ව අදහස් වෙනවා.

^ 11 ඡේ. කෙනෙක්ට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් නැති එක බරපතළ වරදක් කරන්න නිදහසට කරුණක් නෙමෙයි. තමන් කරපු වරදට එයා සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ වගේම ඒ ගැන එයා දෙවියන්ට ගණන් දෙන්න ඕනේ.—රෝම 14:12.

^ 16 ඡේ. ළමා ලිංගික අපචාරයක් සිදු කළා කියන චෝදනාව ලබපු කෙනා එක්ක වැඩිමහල්ලන් කතා කරද්දී අපයෝජනයට ලක් වුණ දරුවාව ඒ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ නැහැ. දෙමාපියෙක්ට හෝ දරුවාගේ විශ්වාසය දිනාගත්ත වෙනත් වැඩිහිටියෙක්ට පුළුවන් සිද්ධ වුණ දේ ගැන දරුවා කියන දේවල් වැඩිමහල්ලන්ට කියන්න. එහෙම කරද්දී දරුවාව තවදුරටත් වේදනාවට පත් වෙන එකෙන් වළක්වගන්න පුළුවන්.

^ 19 ඡේ. දෙමාපියන්ට තියෙන වගකීම් දරුවන්ගේ නීත්‍යනුකූල භාරකරුවන්ට සහ දරුවන්ව හදා වඩා ගන්න වෙනත් අයටත් අදාළයි.