Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 21

‘මේ ලෝකයේ ප්‍රඥාවට’ රැවටෙන්න එපා

‘මේ ලෝකයේ ප්‍රඥාවට’ රැවටෙන්න එපා

“මේ ලෝකයේ තිබෙන ප්‍රඥාව දෙවි සලකන්නේ මෝඩකමක් ලෙසය.”—1 කොරි. 3:19.

ගීතිකාව 98 දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්

මේ ලිපියෙන් *

1. දේවවචනය අපිට උගන්වන්නේ මොනවාද?

අපේ “උදාර උපදේශකයාණන්” යෙහෝවා දෙවියන් නිසා අපි මොන ප්‍රශ්නයට මුහුණ දුන්නත් ඒකට විසඳුමක් හොයාගන්න අපිට පුළුවන්. (යෙසා. 30:20, 21) “සියලු දේ කිරීමට සමත් කෙනෙක්” සහ “සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක්” වෙන්න ඕනෙ කරන මඟ පෙන්වීම් දේවවචනයේ තියෙනවා. (2 තිමෝ. 3:17) බයිබලේ සඳහන් ඉගැන්වීම්වලට අනුව අපි ජීවත් වෙනවා නම් “මේ ලෝකයේ තිබෙන ප්‍රඥාව” ගැන විශ්වාසය තියන අයට වඩා ප්‍රඥාවන්ත අය වෙන්න අපිට පුළුවන්.—1 කොරි. 3:19; ගීතා. 119:97-100.

2. මේ ලිපියේ අපි බලන්නේ මොනවා ගැනද?

2 ලෝකේ තියෙන ප්‍රඥාව මත පදනම් වෙලා තියෙන අදහස්වලට අපේ හිත ඇදිලා යන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා මේ ලෝකේ අය හිතන විදිහට හිතන්නේවත් වැඩ කරන විදිහට වැඩ කරන්නේවත් නැතුව ඉන්න අපිට ලොකු සටනක් කරන්න වෙනවා. බයිබලේ මෙහෙම කියනවා. “ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන්.” (කොලො. 2:8) සාතන්ගේ ඉගැන්වීම් 2ක් ජනප්‍රිය වුණ විදිහ ගැන අපි මේ ලිපියෙන් බලමු. ඒ එක් එක් අදහස ගැන බලද්දී ලෝකේ ප්‍රඥාව කොයි තරම් මෝඩද කියලත් බයිබලේ තියෙන ප්‍රඥාව ලෝකේ ඉදිරිපත් කරන ඕනෙම දේකට වඩා උසස් කියලත් ඔයා දකියි.

සදාචාර ප්‍රමිතිවල පහත වැටීමක්

3-4. 20වෙනි සියවසේ මුල් කාලේදී එක්සත් ජනපදයේ ජීවත් වුණ මිනිසුන් අතරේ දකින්න තිබුණේ මොන වගේ වෙනස්කම්ද?

3 එක්සත් ජනපදයේ හිටපු මිනිසුන්ට සදාචාර ප්‍රමිති ගැන හැඟුණ විදිහ 20වෙනි සියවසේ මුල් කාලේදී වෙනස් වෙන්න පටන්ගත්තා. කලින් එයාලා විශ්වාස කළේ ලිංගික සම්බන්ධකම් විවාහ වුණ දෙන්නෙක් අතරේ විතරක් වෙන්න ඕනෙ දෙයක් කියලා. ලිංගික කාරණා ගැන එයාලා ප්‍රසිද්ධියේ කතා කළෙත් නැහැ. ඒත් ඒ ප්‍රමිති යටපත් වෙලා හැම දෙයක්ම සැහැල්ලුවට ගන්න සමාජයක් බිහි වුණා.

4 1වෙනි ලෝක යුද්දේ කාලේ මිනිසුන් හුඟක් කටුක දේවලට මුහුණ දුන්න නිසා යුද්දෙන් පස්සේ ඒ කියන්නේ 1920ත් 29ත් අතර කාලේදී මිනිසුන් විනෝදයට, මුදල් හම්බ කරන එකට වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තා. එයාලගේ හැසිරීමත් වෙනස් වුණා. ලිංගික දේවල් ගැන එයාලා හිතපු විදිහත් පුදුම විදිහට වෙනස් වෙන්න පටන්ගත්තා. චිත්‍රපටි, වේදිකා නාට්‍ය, සිංදු, නවකතා සහ වෙළද දැන්වීම් වැඩි හරියකම තිබුණේ ලිංගික දේවල් ඉස්මතු කරලා පෙන්නන දේවල් කියලා එක පර්යේෂකයෙක් කියනවා. ඒ කාලේ ලිංගික හැඟීම් අවුස්සන විදිහේ නැටුම් ජනප්‍රිය වුණා. මිනිසුන්ගේ ඇඳුම් පැළදුම් එන්න එන්නම අවිනීත වෙන්න පටන්ගත්තා. අවසාන කාලේ ජීවත් වෙන අය “විනෝදයට ඇල්මක් දක්වන අය” කියලා බයිබලේ කලින්ම සඳහන් වුණ දේ ඇත්තක් කියලා පැහැදිලිවම දකින්න තිබුණා.—2 තිමෝ. 3:4.

සදාචාර ප්‍රමිති බිඳ වැටිලා තියෙන සමාජයක හිටියත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ඒ ප්‍රමිතිවලට අනුව හැඩගැහෙන්නේ නැහැ (5 ඡේදය බලන්න) *

5. 1960 ගණන්වල ඉඳන් සදාචාර ප්‍රමිතිවලට මොකද වෙලා තියෙන්නේ?

5 1960 ගණන්වල විවාහ නොවී එකට ජීවත් වීම, සමලිංගික ක්‍රියා, දික්කසාදය මිනිසුන් සාමාන්‍ය දේවල් විදිහට සලකන්න පටන්ගත්තා. චිත්‍රපටිවල, නාට්‍යවල ලිංගික දර්ශන එළිපිට පෙන්නුවා. සදාචාර ප්‍රමිති පහත වැටුණ එකෙන් වුණේ මොකක්ද? පවුල් බැඳීම් කැඩිලා තියෙන්නෙත් මවට හෝ පියාට තනියම දරුවන් ඇතිදැඩි කරන්න වෙලා තියෙන්නෙත් හුඟදෙනෙක් මානසික පීඩනයෙන් ඉන්නෙත් අසභ්‍ය දර්ශනවලට මේ තරම් දෙනෙක් ඇබ්බැහි වෙලා තියෙන්නෙත් සදාචාරය පහත වැටුණ නිසයි කියලා ලේඛිකාවක් කියනවා. ඒඩ්ස් වගේ සමාජ රෝග පැතිරිලා තියෙන්නෙත් සදාචාරය පිරිහුණු නිසයි. ඒ හැම දේකින්ම පේන්නේ ලෝකේ ප්‍රඥාව කොයි තරම් මෝඩද කියලා.—2 පේතෘ. 2:19.

6. මිනිසුන් ලිංගික කාරණා ගැන දරන අදහස් නිසා සාතන් කැමති දේ වෙන්නේ කොහොමද?

6 සාතන්ට ඕනෙ මිනිසුන් ලිංගික කාරණා ගැන සැහැල්ලු අදහස් දරනවා දකින්නයි. අද වෙන්නේ සාතන් කැමති ඒ දේ තමයි. යෙහෝවා දෙවියන් අරමුණු කරපු නැති විදිහට මිනිසුන් ලිංගික ක්‍රියාවල යෙදෙද්දී සාතන් ගොඩක් සතුටු වෙනවා. මොකද ඒකෙන් දෙවියන් ඇති කරපු විවාහ සැලැස්ම අගෞරවයට පත් වෙනවා. (එෆී. 2:2) ඒ විතරක් නෙමෙයි මිනිසුන් අනාචාරයේ යෙදෙද්දී එයාලා පෙන්නන්නේ දරුවන් බිහි කරලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න දෙවියන් දුන්න අවස්ථාව ගැන එයාලට කිසිම අගයක් නැහැ කියලා. එහෙම අයට සදාකාල ජීවනය කියන තෑග්ග අහිමි වෙන්න පුළුවන්.—1 කොරි. 6:9, 10.

බයිබලේ මොකක්ද කියන්නේ?

7-8. ලිංගික කාරණා ගැන බයිබලේ සඳහන් වෙන්නේ මොකක්ද? ඒක සමාජයේ තියෙන අදහසට වඩා උසස් කියන්නේ ඇයි?

7 සමාජයේ තියෙන අදහස් පිළිගන්න අය බයිබලේ සඳහන් උසස් සදාචාර ප්‍රමිතිවලට හිනා වෙනවා. ඒවා පිළිපදින්න බැරි ප්‍රමිති කියලයි එයාලා කියන්නේ. එයාලා අහනවා “ලිංගික ආශාවන් පාලනය කරගන්න ඕනෙ නම් ඇයි දෙවියන් ඒ ආශාව ඇතුව අපිව හැදුවේ” කියලා. ඒ වගේ ප්‍රශ්න එයාලා අහන්නේ මිනිසුන්ට කරන්න හිතෙන ඕනෙම දෙයක් කරන්න එයාලට නිදහස තියෙන්න ඕනෙ කියන වැරදි අදහස එයාලට තියෙන නිසයි. ඒත් බයිබලේ කියන්නේ අපේ හිතේ ඇති වෙන හැම ආශාවකටම වහල් වෙනවා වෙනුවට වැරදි ආශාවන්ට විරුද්ධව සටන් කරන්න අපිට හැකියාව තියෙනවා කියලා. (කොලො. 3:5) ඊට අමතරව දෙවියන් විවාහ සැලැස්ම ඇති කරලා තියෙනවා. ඒ සැලැස්ම නිසා විවාහක යුවළකට දෙවියන් අරමුණු කරපු විදිහට තමන්ගේ ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න පුළුවන්. (1 කොරි. 7:8, 9) අනාචාරය නිසා ඇති වෙන දරුණු ප්‍රතිඵලවලට ඒ අයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.

8 ලිංගික කාරණා ගැන අපිට තියෙන්න ඕනෙ නිවැරදි අදහස බයිබලේ සඳහන් වෙනවා. බයිබලේ කියනවා ලිංගික ඇසුරකින් සතුටක් ලබන්න පුළුවන් කියලා. (හිතෝ. 5:18, 19) ඒත් එක්කම බයිබලේ මෙහෙමත් කියනවා. “සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි. දෙවිව හඳුනන්නේ නැති ජාතීන් කරන්නා සේ කිසිවෙකු කාමාශාවෙන් දැවිදැවී නොසිටිය යුතුයි.”—1 තෙස. 4:4, 5.

9. (අ) 20වෙනි සියවස මුල් කාලේ හිටපු යෙහෝවා දෙවියන්ගේ සෙනඟට එදා සමාජයේ තිබුණ අදහස්වලට අහු නොවී ඉන්න පුළුවන් වුණේ කොහොමද? (ආ) 1 යොහන් 2:15, 16 සඳහන් වෙන සිහිගැන්වීම මොකක්ද? (ඇ) රෝම 1:24-27 සඳහන් වෙන මොන පිළිකුල්සහගත ක්‍රියාවලින්ද අපි වැළකෙන්න ඕනේ?

9 20වෙනි සියවස මුල් කාලේ මිනිසුන් “කිසිම හැඟීමක් දැනීමක් නැතුව” ඉදිරිපත් කරපු අදහස්වලට යෙහෝවා දෙවියන්ගේ සෙනඟ රැවටුණේ නැහැ. (එෆී. 4:19) දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න එයාලා ලොකු උත්සාහයක් ගත්තා. 1926 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් නිතරම උත්සාහ කරන්න ඕනෙ නිර්මල ජීවිතයක් ගත කරන්න. එයාගේ සිතුවිලි, ක්‍රියාවන් පවිත්‍ර වෙන්න ඕනේ. විශේෂයෙන්ම විරුද්ධ ලිංගයේ අයව ආශ්‍රය කරද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.” සදාචාරය ගැන මිනිසුන් මොන වගේ අදහස් දැරුවත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වුණා. (1 යොහන් 2:15, 16 කියවන්න.) දේවවචනය අපි කොයි තරම් අගය කරන්න ඕනෙද! ඒ වගේම මේ ලෝකය ඉදිරිපත් කරන අදහස්වලට අහු නොවී ඉන්න දෙවියන් ඔහුගේ සංවිධානය මාර්ගයෙන් අපිව නිතරම දැනුවත් කරනවා. ඒ මඟ පෙන්වීම් ගැන අපි ඔහුට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! *රෝම 1:24-27 කියවන්න.

තමන් ගැන විතරක් හිතන සමාජයක්

10-11. අවසාන කාලේ ජීවත් වෙන අය ගැන බයිබලේ කලින්ම කියලා තිබුණේ මොනවාද?

10 බයිබලේ කියලා තිබුණා අවසාන කාලේ ජීවත් වෙන්නේ “තමන් ගැනම සිතන” මිනිසුන් කියලා. (2 තිමෝ. 3:1, 2) ඒ නිසා ආත්මාර්ථකාමී අදහස් අද සමාජයේ හැම තැනම පැතිරිලා තියෙන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. එක පොතක සඳහන් වෙනවා 1970 ගණන්වලදී “සාර්ථක ජීවිතයක් ගත කරන්න අවශ්‍ය උපදෙස් ඇතුළත් පොත් හුඟක් නිකුත් වුණා” කියලා. ඒ සමහර පොත්වල කිව්වේ කෙනෙක් තමන්ගේ පෞද්ගලිකත්වය කිසිම විදිහකින් වෙනස් කරගන්න ඕනෙ නැහැ කියලයි. ඒ වගේ එක පොතක මේ වගේ අදහසක් තිබුණා. “ලස්සනම, අනිත් අයගේ සිත් වැඩියෙන්ම ඇදගන්න කෙනා ඔයායි! ඒ නිසා ඔයා ඔයාටම ආදරේ කරන්න.” ඒ පොතේ මෙහෙමත් කියලා තිබුණා. “තමන් හැසිරෙන්න ඕනෙ කොහොමද කියලා තීරණය කරන්න ඕනෙ තමන්මයි. තමන්ට හරියි කියලා, පහසුයි කියලා හිතෙන ඕනෙම දෙයක් කරන්න තමන්ට අයිතිය තියෙනවා.”

11 ඒ අදහස අහලා පුරුදුයි වගේද? සාතන් ඒවට කරන්න කිව්වෙත් ඒ වගේ දෙයක්. එයා කිව්වා ‘හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වෙන්න’ ඒවට පුළුවන් කියලා. (උත්. 3:5) අද හුඟක් අය තමන් ගැන කොයි තරම් ඉහළින් හිතනවාද කියනවා නම් එයාලා හිතන්නේ හරි වැරැද්ද ගැන එයාලට කියලා දෙන්න කාටවත් අඩුම තරමේ දෙවියන්ටවත් අයිතියක් නැහැ කියලා. උදාහරණෙකට හුඟදෙනෙක් විවාහය සලකන විදිහෙන් ඒක පේනවා.

සැබෑ ක්‍රිස්තියානියෙක් අනිත් අයගේ විශේෂයෙන්ම තමන්ගේ සැමියාගේ හෝ බිරිඳගේ අවශ්‍යතාවලට මුල් තැන දෙනවා (12 ඡේදය බලන්න) *

12. විවාහය කොහොම සලකන්න කියලාද මේ ලෝකය දිරිගන්වන්නේ?

12 විවාහ වුණ යුවළක් එකිනෙකාට ගෞරවය කරන්න ඕනෙ කියලත් විවාහ පොරොන්දුව රකින්න ඕනෙ කියලත් බයිබලේ කියනවා. බයිබලේ උනන්දු කරන්නේ විවාහක යුවළකට වෙන් නොවී දිගටම එකට ජීවත් වෙන්න කියලයි. බයිබලේ තියෙන මේ දෙයින් ඒක පැහැදිලියි. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (උත්. 2:24) ඒත් ලෝකේ ප්‍රඥාවට අනුව වැඩ කරන අය ප්‍රචලිත කරන්නේ ඊට වඩා වෙනස් අදහසක්. එයාලා කියන්නේ සැමියා හෝ බිරිඳ වැඩියෙන් හිතන්න ඕනෙ තමන්ගේ අවශ්‍යතා ගැනයි කියලා. දික්කසාදය ගැන කතා කරන එක පොතක මෙහෙම කියනවා. “සමහර විවාහ උත්සවවලදී විවාහ පොරොන්දුවේ තියෙන ‘අපි දෙන්නා ජීවත් වෙන තාක් කල්’ එකට ඉන්නවා කියන පොරොන්දුව වෙනුවට එයාලා පොරොන්දු වෙන්නේ ‘අපි දෙන්නා එකිනෙකාට ආදරේ කරන තාක් කල්’ එකට ජීවත් වෙනවා කියලා.” විවාහ බැඳීම හැමදාටම තියෙන්න ඕනෙ බැඳීමක් කියලා වැඩිදෙනෙක් හිතන්නේ නැති නිසා හුඟක් පවුල් දෙකඩ වෙලා. ඒ නිසා මේ වෙද්දී හුඟදෙනෙක් වේදනා විඳිනවා. ලෝකේ ප්‍රඥාව ඇත්තටම මොන තරම් මෝඩද!

13. යෙහෝවා දෙවියන් උඩඟු අයව පිළිකුල් කරන්නේ ඇයි?

13 “උඩඟු සිත් ඇති සියල්ලෝ යෙහෝවා දෙවිට පිළිකුලකි” කියලා බයිබලේ කියනවා. (හිතෝ. 16:5) ඇයි යෙහෝවා දෙවියන් උඩඟු අයව පිළිකුල් කරන්නේ? එක හේතුවක් තමයි තමන් ගැන මහ ඉහළින් හිතන අයට තියෙන්නේ සාතන්ට තියෙන උඩඟු ආකල්පයමයි. හැම දෙයක්ම හදන්න දෙවියන් හවුල් කරගත්ත යේසුස් වගේ බලවත් කෙනෙක් එයා ඉදිරියේ වැඳ වැටිලා එයාට නමස්කාර කරයි කියලා සාතන් හිතුවා. සාතන් කොච්චර උඩඟුද! (මතෙ. 4:8, 9; කොලො. 1:15, 16) තමන් ගැන මහ ලොකුවට මිනිසුන් හිතන එකෙන්ම පේනවා ලෝකේ ප්‍රඥාව දෙවියන් ඉදිරියේ මෝඩකමක් කියලා.

බයිබලේ මොකක්ද කියන්නේ?

14. අපි ගැන අපි හිතන්න ඕනෙ විදිහ රෝම 12:3 පැහැදිලි වෙන්නේ කොහොමද?

14 තමන් ගැන සැලකිලිමත් වෙන එක වැරදියි කියලා බයිබලේ කියලා නැහැ. යම් දුරකට අපි අපි ගැන හිතන්න ඕනේ. යේසුස් කිව්වා “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලා. (මතෙ. 19:19) ඒත් බයිබලේ කියනවා අනිත් අයට වඩා අපි උසස් කියලා අපි හිතන්න හොඳ නැහැ කියලා. ඒ වෙනුවට ඒකේ කියන්නේ මෙහෙමයි. “කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.”—ෆිලි. 2:3; රෝම 12:3 කියවන්න.

15. අපි ගැන හිතන්න ඕනෙ විදිහ ගැන බයිබලේ දීලා තියෙන උපදෙස් තමයි හොඳම උපදෙස් කියලා ඔයා හිතන්නේ ඇයි?

15 සමාජයේ උගත් කියලා සලකන වැඩිදෙනෙක් කියන්නේ බයිබලේ තියෙන ඒ උපදෙස මෝඩ අදහසක් කියලයි. ඒ අය කියන්නේ අනිත් අය උසස් කියලා හිතන්න ගියොත් ‘එයාලා අපේ ඔළුවට අත හෝදන්න එයි’ කියලයි. ඒත් අනිත් අයට වඩා තමන් උසස් කියලා හිතලා වැඩ කරන අයගේ ජීවිත සාර්ථකද? ආත්මාර්ථකාමී අය ඉන්නේ සතුටින්ද? එයාලගේ පවුල් ජීවිත සාර්ථකද? අවංක යාළුවෝ එයාලට ඉන්නවාද? දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් එයාලට තියෙනවාද? ඔයා දකින විදිහට සතුටින් ඉන්නෙත් සාර්ථක ජීවිත ගත කරන්නෙත් ලෝකේ තියෙන ප්‍රඥාවට අනුව වැඩ කරන අයද නැත්නම් දේවවචනයේ තියෙන මඟ පෙන්වීම් පිළිපදින අයද?

16-17. අපි දෙවියන්ට ස්තුති කරන්න ඕනෙ ඔහු අපිට දුන්න මොන දේවල් ගැනද? ඒ ඇයි?

16 මිනිසුන් උගත් කියලා සලකන අයගෙන් උපදෙස්, මඟ පෙන්වීම් ලබාගන්න අය හරියට අතරමං වෙලා ඉන්න සංචාරකයෙක්ගෙන් පාර අහන තවත් සංචාරකයෙක් වගේ. යේසුස්ගේ කාලේ හිටපු උගත් කියලා සලකපු අය ගැන යේසුස් මෙහෙම කිව්වා. “ඔවුන් අන්ධ මඟ පෙන්වන්නෝ වගෙයි. අන්ධ මිනිසෙක් තවත් අන්ධ මිනිසෙකුට මඟ පෙන්නුවොත් ඒ දෙදෙනාම වළක වැටෙයි.” (මතෙ. 15:14) ඇත්තටම මේ ලෝකේ තියෙන ප්‍රඥාව දෙවියන් ඉදිරියේ මෝඩකමක්.

දෙවියන්ට කීකරු වෙමින් ගත කරපු ජීවිතේ ගැන දෙවියන්ගේ සෙනඟට දැනෙන්නේ ලොකු තෘප්තියක් (17 ඡේදය බලන්න) *

17 බයිබලේ සඳහන් මඟ පෙන්වීම් “ඉගැන්වීමට, අවවාද කිරීමට, කාරණා නිවැරදි කිරීමට, ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමට ප්‍රයෝජනවත්” කියලා හැම කාලෙකදීම ඔප්පු වෙලා තියෙනවා. (2 තිමෝ. 3:16) ලෝකේ තියෙන ප්‍රඥාවට රැවටෙන්නේ නැතුව ඉන්න දෙවියන් ඔහුගේ සංවිධානය මාර්ගයෙන් අපිට උදව් කරන එක ගැන අපි ඔහුට ස්තුති කරන්න ඕනේ. (එෆී. 4:14) සංවිධානය මාර්ගයෙන් ලැබෙන පෝෂණය නිසා උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න අපිට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. බයිබලේ තියෙන විශ්වාසවන්ත මඟ පෙන්වීම් අපිට ලැබෙන එක මොන තරම් වරප්‍රසාදයක්ද!

ගීතිකාව 54 “යා යුතු හරි මඟ”

^ 5 ඡේ. විශ්වාසවන්ත මඟ පෙන්වීම් අපිට ලබාගන්න පුළුවන් යෙහෝවා දෙවියන්ගෙන් විතරයි කියන දේ ගැන තවත් ස්ථිර වෙන්න මේ ලිපිය අපිට උදව් වෙයි. මේ ලෝකේ තියෙන ප්‍රඥාවට අනුව වැඩ කරන එකෙන් භයානක ප්‍රතිඵල ලැබෙනවා කියලත් බයිබලේ තියෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරද්දී ප්‍රයෝජන ලැබෙනවා කියලත් මේ ලිපියේ පෙන්නලා දෙනවා.

^ 50 ඡේ. පින්තූරයේ අදහස: සාක්ෂිකාර යුවළකගේ ජීවිතේ විවිධ අවස්ථාවන්. 1960 ගණන්වල ඒ සහෝදරයා සහ සහෝදරිය දේශනා සේවයේ හවුල් වෙමින්.

^ 52 ඡේ. පින්තූරයේ අදහස: 1980 ගණන්වලදී අසනීපයෙන් ඉන්න බිරිඳව සැමියා ආදරෙන් බලාගන්නවා. එයාලගේ දුව එයාලා දිහා බලාගෙන ඉන්නවා.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: යෙහෝවා දෙවියන්ට සේවය කරමින් ගෙවුණු සොඳුරු කාලය ඒ යුවළ මතක් කරනවා. එයාලගේ දුවයි, දුවගේ මහත්තයයි, පුතායි ඒ සතුට එයාලත් එක්ක බෙදාගන්නවා.