Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 2

අනිත් අයට “ඉමහත් ශක්තියක්” වෙන්න ඔයාට පුළුවන්

අනිත් අයට “ඉමහත් ශක්තියක්” වෙන්න ඔයාට පුළුවන්

“දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් මට සහයෝගය දෙමින් සේවය කරන්නේ ඔවුනුයි. ඇත්තෙන්ම ඔවුහු මට ඉමහත් ශක්තියක් හා ධෛර්යයක් වී ඇත.”—කොලො. 4:11.

ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු

මේ ලිපියෙන් *

1. යෙහෝවා දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක් අද්දකින්නේ මොන වගේ අමාරු තත්වයන්ද?

ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් හුඟදෙනෙක් වේදනාකාරී, මනසට ලොකු පීඩනයක් දැනෙන තත්වයන්වලට මුහුණ දෙනවා. සමහරු බරපතළ අසනීප එක්ක පොරබදිනවා. තවත් අය වියෝදුකෙන් ඉන්නවා. පවුලේ කෙනෙක්, කිට්ටු යාළුවෙක් දෙවියන්ව අත්හැරලා ගිය වේදනාව දරාගන්න අයත් ඉන්නවා. තවත් අය ස්වාභාවික විපත් නිසා දුක් විඳිනවා. ඔයාගේ සභාවෙත් ඒ වගේ අය ඉන්නවාද? ඒ අයට සහනය ඕනේ. එයාලට සහනයක් වෙන්න අපිට පුළුවන් කොහොමද?

2. අනිත් අයගේ දිරිගැන්වීම් පාවුල්ට ඕනෙ වුණේ ඇයි?

2 නියෝජිත පාවුල් අනතුරුදායක තත්වයන්වලට හුඟක් සැරයක් මුහුණ දුන්නා. (2 කොරි. 11:23-28) “ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාවක්” දරාගන්නත් එයාට සිද්ධ වුණා. බොහෝදුරට ඒක එයාට තිබුණ සෞඛ්‍ය ගැටලුවක් වෙන්න ඇති. (2 කොරි. 12:7) පාවුල් එක්ක සේවය කරපු දේමස් “පවතින සමාජයේ දේවලට ඇලුම් වෙලා” එයාව අත්හැරලා ගියා. ඒ ගැනත් පාවුල්ට දුකක් දැනෙන්න ඇති. (2 තිමෝ. 4:10) පාවුල් ධෛර්යයවත්, තමන් ගැනවත් හිතන්නේ නැතුව අනිත් අය වෙනුවෙන් සේවය කරපු අභිෂේක ලත් කෙනෙක් වුණත් සමහර අවස්ථාවලදී එයාත් අධෛර්යය වුණා.—රෝම 9:1, 2.

3. පාවුල්ට ඕනෙ කරපු දිරිගැන්වීම් සහ උදව් යෙහෝවා දෙවියන් ලබා දුන්නේ කොහොමද?

3 පාවුල්ට ඕනෙ කරපු දිරිගැන්වීම් සහ උදව් එයාට ලැබුණා. ඒ කොහොමද? යෙහෝවා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් පාවුල්ව ශක්තිමත් කළා. (2 කොරි. 4:7; ෆිලි. 4:13) සහෝදර සහෝදරියන් මාර්ගයෙනුත් දෙවියන් පාවුල්ට දිරිගැන්වීම් සහ ශක්තිය ලබා දුන්නා. පාවුල් එයාත් එක්ක එකට සේවය කරපු සමහරුන්ව හැඳින්නුවේ එයාට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වුණ අය විදිහට. (කොලො. 4:11) අරිස්තාකස්, තිකිකස් සහ මාක් කියන්නේ පාවුල් නමින්ම සඳහන් කරපු ඒ වගේ තුන්දෙනෙක්. පාවුල්ට දිගටම විඳදරාගන්න එයාලගෙන් ලැබුණ දිරිගැන්වීම් උදව් වුණා. පාවුල්ට ශක්තියක් වෙන්න ඒ තුන්දෙනාට උදව් වුණ ගතිලක්ෂණ මොනවාද? අපිත් අපේ සහෝදර සහෝදරියන්ව දිරිගන්වද්දී ඒ තුන්දෙනාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

අරිස්තාකස් වගේ ළෙන්ගතු කෙනෙක් වෙන්න

අපේ සහෝදර සහෝදරියන් ‘විපත්තිවලට’ මුහුණ දෙද්දී අපි එයාලා ළඟින්ම ඉන්නවා නම් අපිටත් පුළුවන් අරිස්තාකස් වගේ ළෙන්ගතු යාළුවෙක් වෙන්න (4 සහ 5 ඡේද බලන්න) *

4. අරිස්තාකස් ළෙන්ගතු යාළුවෙක් කියලා පැහැදිලි වුණේ කොහොමද?

4 අරිස්තාකස් තෙසලෝනිකයෙන් ආපු මැසිඩෝනියානු ජාතික ක්‍රිස්තියානියෙක්. එයා පාවුල් ළඟින්ම හිටපු යාළුවෙක්. බයිබලේ අරිස්තාකස් ගැන මුලින්ම සඳහන් වෙන්නේ පාවුල් එයාගේ තුන්වෙනි මිෂනාරි ගමන යන අතරතුරේ එෆීසයට ගිය අවස්ථාවේදී. පාවුල් එක්ක සේවයේ හවුල් වුණ අරිස්තාකස්ව දවසක් මැර පිරිසක් අල්ලගත්තා. (ක්‍රියා 19:29) එයාව නිදහස් කළාම එයා එයාගේ ආරක්ෂාව ගැන හිතලා පාවුල්ව අත්හැරලා ගියේ නැහැ. ඊට මාස කීපයකට පස්සේ පාවුල් ග්‍රීසියේ සේවය කරද්දීත් අරිස්තාකස් පාවුල් එක්ක හිටියා. විරුද්ධවාදීන් දිගින් දිගටම පාවුල්ගේ ජීවිතේට අනතුරක් කරන්න බලන් ඉන්නවා කියලා දැනන් හිටියත් එයා පාවුල්ව අත්හැරලා ගියේ නැහැ. (ක්‍රියා 20:2-4) ක්‍රි.ව. 58දී විතර පාවුල්ව සිරකරුවෙක් විදිහට රෝමයට යවද්දී ඒ දිගු ගමනට අරිස්තාකස් හවුල් වුණා. ඒ ගමනේදී එයාලා ගිය නැව මුහුදුබත් වුණ වෙලාවෙත් එයා පාවුල්ගේ උදව්වට හිටියා. (ක්‍රියා 27:1, 2, 41) පේන විදිහට රෝමයට ආවට පස්සෙත් එයා යම් කාලයක් පාවුල් එක්ක හිරේ හිටියා. (කොලො. 4:10) ඒ වගේ ළෙන්ගතු යාළුවෙක් තමන් එක්ක ඉද්දී පාවුල්ට ලොකු දිරියක්, සහනයක් දැනුණ එක පුදුමයක්ද!

5. හිතෝපදේශ 17:17 අනුව ළෙන්ගතු යාළුවෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද?

5 සහෝදර සහෝදරියන් සතුටින් ඉන්න වෙලාවලදී වගේම එයාලා ‘විපත්තිවලට’ මුහුණ දෙන වෙලාවලදීත් අපි එයාලා එක්කම ඉන්නවා නම් අපිටත් පුළුවන් අරිස්තාකස් වගේ ළෙන්ගතු යාළුවෙක් වෙන්න. (හිතෝපදේශ 17:17 කියවන්න.) සහෝදරයෙක් හෝ සහෝදරියක් අමාරු දේකට මුහුණ දුන්නාට පස්සෙත් කාලයක් යන කල් එයාට අපේ උදව්, දිරිගැන්වීම් ඕනෙ වෙයි. ෆ්‍රැන්සෙස්ගේ * තාත්තා පිළිකාවකින් මිය ගිහිල්ලා මාස තුනකට පස්සේ අම්මාත් පිළිකාවකින් මිය ගියා. ෆ්‍රැන්සෙස් මෙහෙම කියනවා. “ඒ වගේ අමාරු දේකට මුහුණ දුන්නාම දැනෙන දුක කාලයක් යන කල් අඩු වෙන්නේ නැහැ. මගේ දෙමාපියෝ මිය ගිහින් කාලයක් ගිහින් තිබුණත් මං තාමත් ඉන්නේ වේදනාවෙන් කියලා තේරුම්ගත්ත මගේ යාළුවෝ මාත් එක්කම ඉන්නවා. ඒ වගේ යාළුවෝ මට ගොඩක් වටිනවා.”

6. ළෙන්ගතු යාළුවෙක් මොනවාද කරන්නේ?

6 ළෙන්ගතු යාළුවෙක් එයාගේ කාලය, ශක්තිය සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැමැත්තෙන්ම දෙනවා. සහෝදර පීටර්ගේ අද්දැකීම බලන්න. එයාට බරපතළ අසනීපයක් තියෙනවා කියලත් ඒ නිසා එයා වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ කියලත් වෛද්‍යවරයා එයාට කිව්වා. පීටර්ගේ බිරිඳ කැත්‍රීන් මෙහෙම කියනවා. “පීටර්ගේ ලෙඩේ ගැන දැනගත්ත දවසේ අපිව දොස්තර ළඟට එක්කගෙන ගියේ අපේ සභාවේ ඉන්න යුවළක්. ඒ වෙලාවේම එයාලා අපිට කිව්වා මේ අමාරු කාලය පුරාම එයාලා අපිත් එක්ක ඉන්නවා කියලා. කිව්ව විදිහටම අපිට උදව් ඕනෙ වුණ හැම වෙලාවකම එයාලා අපේ උදව්වට හිටියා.” හොඳ යාළුවෝ අපිට මොන තරම් සහනයක්ද! අපේ ප්‍රශ්න දරාගන්න එයාලා අපිට ලොකු ශක්තියක්.

තිකිකස් වගේ විශ්වාසවන්ත කෙනෙක් වෙන්න

අනිත් අය ප්‍රශ්න ගැටලු එක්ක පොරබදිද්දී තිකිකස් වගේ විශ්වාසවන්ත යාළුවෙක් වෙන්න අපිට පුළුවන් (7-9 ඡේද බලන්න) *

7-8. කොලොස්සි 4:7-9 අනුව තිකිකස් විශ්වාසවන්ත කෙනෙක් කියලා ඔප්පු කළේ කොහොමද?

7 ආසියා පළාතෙන් ආපු තිකිකස් පාවුල්ට හිටපු විශ්වාසවන්ත යාළුවෙක්. (ක්‍රියා 20:4) ක්‍රි.ව. 55දී විතර යුදයේ හිටපු ක්‍රිස්තියානීන්ට උදව් කරන්න සම්මාදම් එකතු කරන කාර්යයට පාවුල් තිකිකස්ව හවුල් කරගන්න ඇති. (2 කොරි. 8:18-20) පස්සේ කාලෙක පාවුල් රෝමයේ මුල්ම වතාවට හිරගෙදර ඉද්දී තිකිකස් පාවුල්ගේ පණිවිඩකරුවෙක් විදිහටත් වැඩ කළා. එයා පාවුල්ගේ දිරිගන්වන ලියුම් සහ පණිවිඩ ආසියා පළාතේ තිබුණ සභාවන්ට අරන් ගියා.—කොලො. 4:7-9.

8 තිකිකස් දිගටම පාවුල්ට විශ්වාසවන්ත යාළුවෙක් වුණා. (තීත. 3:12) ඒ කාලේ හිටපු හැම ක්‍රිස්තියානියෙක්ම තිකිකස් වගේ විශ්වාසවන්ත යාළුවන් වුණේ නැහැ. ක්‍රි.ව. 65දී විතර පාවුල්ව දෙවෙනි වතාවට සිරගත කරලා ඉද්දී ආසියා පළාතේ හිටපු හුඟක් සහෝදරයන් එයාව ආශ්‍රය කරන එක නතර කළා කියලා පාවුල් ලිව්වා. එහෙම වෙන්න ඇත්තේ එයාලා විරුද්ධවාදීන්ට බය වුණ නිසයි. (2 තිමෝ. 1:15) ඒත් තිකිකස් එහෙම කළේ නැහැ. ඒ නිසයි පාවුල් එයාට තවත් වගකීමක් භාර දුන්නේ. (2 තිමෝ. 4:12) තිකිකස් වගේ හොඳ යාළුවෙක් හිටපු එක පාවුල් අනිවාර්යයෙන්ම අගය කරන්න ඇති.

9. අපිට තිකිකස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

9 විශ්වාසවන්ත යාළුවෙක් වෙලා අපිට පුළුවන් තිකිකස්ව ආදර්ශයට ගන්න. උදව් ඕනෙ කරන සහෝදරයන්ට ‘අපි ඔයාලට උදව් කරන්නම්’ කියලා නිකම්ම කියලා විතරක් මදි. එයාලට උදව් ඕනෙ මොන වගේ පැතිවලින්ද කියලා හොයලා ඒ උදව් දෙන්න අපි ඉදිරිපත් වෙන්න ඕනේ. (මතෙ. 5:37; ලූක් 16:10) උදව්වක් ඕනෙ වෙලාවට උදව් කරන්න අපි ඉන්නවා කියලා දැනන් ඉන්න එක එයාලට ලොකු සහනයක්. සහෝදරියක් මෙහෙම කියනවා. “උදව් කරන්න පොරොන්දු වුණ කෙනා විශ්වාසවන්තයි කියලා දන්න නිසා එයා උදව්වට එයිද නැද්ද කියලා හිතලා කරදර වෙන්න ඕනෙ නැහැ.”

10. හිතෝපදේශ 18:24 සඳහන් වෙන විදිහට දුකෙන් ඉන්න අයට සහනයක් ලබාගන්න පුළුවන් කාගෙන්ද?

10 දුෂ්කර දේකට මුහුණ දෙමින් ඉන්න හෝ දුකෙන් ඉන්න කෙනෙක් එයාගේ හිතට දැනෙන දේ විශ්වාසවන්ත යාළුවෙක්ට කියද්දී එයාට ලොකු සහනයක් දැනෙනවා. (හිතෝපදේශ 18:24 කියවන්න.) බිජේගේ ලොකු පුතාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාම බිජේට ලොකු දුකක් දැනුණා. එයා මෙහෙම කියනවා. “මගේ හිතේ තිබුණ දේවල් විශ්වාසවන්ත යාළුවෙක්ට කියන්න මට ඕනෙ වුණා.” කාලොස් අතින් වෙච්ච අඩුපාඩුවක් නිසා සභාවේ එයා ගොඩක් ආසාවෙන් කරකර හිටපු වගකීමක් එයාට නැති වුණා. එයා මෙහෙම කියනවා. “මාව වැරදියට තේරුම්ගනියි කියලා බය වෙන්නේ නැතුව නිදහසේ මට හැඟුණ දේ කියන්න පුළුවන් යාළුවෝ මට ඕනෙ වුණා.” එයාගේ සභාවේ වැඩිමහල්ලන් එක්ක ඒ විදිහට කතා කරන්න පුළුවන් කියලා කාලොස්ට හැඟුණා. එයාට තිබුණ ප්‍රශ්නයෙන් ගොඩ එන්න වැඩිමහල්ලන් එයාට උදව් කළා. එයා කියපු දේවල් වැඩිමහල්ලන් අනිත් අයත් එක්ක කතා කරන්නේ නැහැ කියලා දැනන් හිටපු එකත් එයාට ලොකු සහනයක් වුණා.

11. විශ්වාසවන්ත යාළුවෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද?

11 විශ්වාසවන්ත යාළුවෙක් වෙන්න අපිට ඉවසීම ඕනේ. සන්නාගේ සැමියා එයාව අත්හැරලා ගියාම එයාට හැඟුණ විදිහ එයා කිට්ටු යාළුවෝ එක්ක බෙදාගත්තා. ඒක එයාට ලොකු සහයනයක් වුණා. “මං එකම දේ ආයේ ආයේ කියද්දී එයාලා ඉවසීමෙන් මං කියපු දේවල් අහගෙන හිටියා.” හොඳ සවන් දෙන්නෙක් වෙලා ඔයාටත් පුළුවන් ඔයා හොඳ යාළුවෙක් කියලා පෙන්නන්න.

මාක් වගේ උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න

දිගටම විඳදරාගන්න මාක් කරපු උදව් පාවුල්ට ශක්තියක් වුණා. සහෝදරයන් විපත්තිවලට මුහුණ දෙද්දී එයාලට උදව් කරන්න අපිට පුළුවන් (12-14 ඡේද බලන්න) *

12. මාක් කියන්නේ කවුද? අනිත් අයට උදව් කරන්න එයා කැමතියි කියලා එයා පෙන්නුවේ කොහොමද?

12 මාක් යෙරුසලමේ හිටපු යුදෙව් ක්‍රිස්තියානියෙක්. එයා බානබස්ගේ නෑදෑයෙක්. (කොලො. 4:10) මාක්ගේ පවුලේ අය ධනවත් කියලා හිතන්න පුළුවන්. ඒත් එයා ධන සම්පත්වලට එයාගේ ජීවිතේ මුල් තැන දුන්නේ නැහැ. එයා අනිත් අයට උදව් කරන්න ආසාවෙන් හිටියා කියලා එයා වැඩ කරපු විදිහෙන් පැහැදිලි වුණා. උදාහරණෙකට පාවුල් එක්කත් පේතෘස් එක්කත් එයා හුඟක් අවස්ථාවලදී එකට සේවය කළා. එයාලට ඕනෙ කරන කෑම මිල දී ගන්න එක, ඉන්න තැන් හොයන එක වගේ දේවල් මාක් එයාලා වෙනුවෙන් කරලා දෙන්න ඇති. එයාලගේ වගකීම් හොඳින් ඉටු කරන්න මාක්ගෙන් ලැබුණ සහය එයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. (ක්‍රියා 13:2-5; 1 පේතෘ. 5:13) පාවුල් මාක්ව විස්තර කරන්නේ ‘දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් එයාට සහයෝගය දෙමින් සේවය කරපු,’ එයාට “ඉමහත් ශක්තියක්” වුණ කෙනෙක් විදිහට.—කොලො. 4:10, 11.

13. මාක් විශ්වාසවන්තව කරපු සේවය පාවුල් අගය කළා කියලා 2 තිමෝති 4:11 පැහැදිලි වෙන්නේ කොහොමද?

13 මාක් පාවුල්ගේ කිට්ටු යාළුවෙක් වුණා. ක්‍රි.ව. 65දී විතර පාවුල්ව අන්තිම වතාවට රෝමයේ සිරගත කරලා හිටපු කාලේ තමයි පාවුල් තිමෝතිට දෙවෙනි ලිපිය ලිව්වේ. ඒ ලිපියේදී පාවුල් තිමෝතිට කිව්වා මාක්වත් එක්කගෙන රෝමයට එන්න කියලා. (2 තිමෝ. 4:11) මාක් කලින් විශ්වාසවන්තව කරපු සේවය පාවුල් හුඟක් අගය කළා. ඒ නිසයි මරණ දණ්ඩනය නියම වෙලා හිටපු පාවුල් එයාගේ ජීවිතේ අවසාන කාලේදී මාක් එයා ළඟ ඉන්නවා දකින්න කැමති වුණේ. මාක් එයා ළඟින්ම ඉඳලා එයාට ඕනෙ කරපු දේවල් ලබා දුන්නා. සමහරවිට කෑම බීම නැත්නම් ලිපි ලියන්න ඕනෙ කරපු දේවල් මාක් පාවුල්ට ලබා දෙන්න ඇති. කිසිම සැකයක් නැහැ මාක්ගෙන් ලැබුණ සහය සහ දිරිගැන්වීම් පාවුල්ට එයාගේ ජීවිතේ අන්තිම දවස් ටික විඳදරාගන්න ලොකු ශක්තියක් වෙන්න ඇති.

14-15. අනිත් අයට උදව් කරන විදිහ ගැන මතෙව් 7:12 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

14 මතෙව් 7:12 කියවන්න. අපි අමාරු අවස්ථාවකට මුහුණ දෙමින් ඉද්දී අනිත් අය අපිට උදව් ඕනෙ පැති තේරුම් අරන් අපිට උදව් කරද්දී ඒක අපි කොච්චර අගය කරනවාද! රයන්ගේ තාත්තා හදිසි අනතුරකින් මිය ගියා. රයන් මෙහෙම කියනවා. “වේදනාවෙන් ඉද්දී අපි හැමදාම කරන දේවල් වුණත් අපිට කරගන්න අමාරුයි. එහෙම වෙලාවකදී අපිට ඕනෙම කරලා තිබුණ දෙයක් කවුරු හරි අපි වෙනුවෙන් කරද්දී ඒක කොච්චර පුංචි දෙයක් වුණත් අපිට දැනෙන්නේ ලොකු සහනයක්.”

15 අපි දේවල් හොඳින් නිරීක්ෂණය කරනවා නම්, හොඳ අවධානයකින් ඉන්නවා නම් අනිත් අයට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා තේරුම්ගන්න අපිට පුළුවන්. උදාහරණෙකට අපි කලින් කතා කරපු පීටර් සහ කැත්‍රීන්ට දොස්තරලාව හම්බ වෙන්න යන්න උදව් කරන්න එක සහෝදරියක් ඉදිරිපත් වුණා. ඒ යුවළට වාහනය පදවන්න අමාරු නිසා ඒ සහෝදරිය සභාවේ අය එක්ක කතා කරලා එයාලව දොස්තර ළඟට එක්කගෙන යන්න කාලසටහනක් හැදුවා. ඒක ඒ යුවළට උදව් වුණාද? කැත්‍රීන් මෙහෙම කියනවා. “අපිට දැනුණේ අපේ ඔළුවේ තිබුණ ලොකු බරක් අරන් පැත්තකින් තිබ්බා වගේ.” අනිත් අයට උදව් කරන්න ඔයා කරන පුංචි දේකින් වුණත් එයාලට ලොකු සහනයක් දැනෙනවා කියලා අමතක කරන්න එපා.

16. අනිත් අයට සහනයක් වෙන එක ගැන අපිට මාක්ගෙන් ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම මොකක්ද?

16 මාක් හුඟක් කාර්යබහුල කෙනෙක්. මාක් පොත ලියන එක ඇතුළුව තවත් වැදගත් පැවරුම් එයාට භාර දීලා තිබුණා. ඒත් එයා පාවුල්ට අවශ්‍ය උදව් දෙන්න කාලේ හොයාගත්තා. ඒ නිසයි පාවුල් මාක්ගෙන් උදව් ඉල්ලන්න අදිමදි කළේ නැත්තේ. ඇන්ජලාගේ පවුලේ කෙනෙක් දරුණු මරණයකට ගොදුරු වුණ වෙලාවේ එයාව සනසන්න ආපු අය ගැන එයාට තියෙන්නේ ලොකු අගයක්. ඇන්ජලා මෙහෙම කියනවා. “සභාවේ අය උදව් කරන්න කැමැත්තෙන් ඉද්දී බය නැතුව එයාලගෙන් උදව් ඉල්ලන්න අපිට පුළුවන්.” අපිත් අපෙන් මෙහෙම අහලා බලමු. ‘උදව් ඕනෙ කරන අයට උදව් කරන්න මං ලෑස්ති පිට ඉන්න කෙනෙක් හැටියටද අනිත් අය මාව දකින්නේ?’

අනිත් අයට ශක්තියක් වෙන්න

17. 2 කොරින්ති 1:3, 4 කියන දේ ගැන හොඳට හිතන එක අනිත් අයට ශක්තියක් වෙන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්නේ කොහොමද?

17 සහනය, ශක්තිය අවශ්‍ය සහෝදර සහෝදරියන් ඕනෙ තරම් ඉන්නවා. අපිව සනසන්න, අපිට ශක්තියක් වෙන්න තව කෙනෙක් පාවිච්චි කරපු දේවල්ම පාවිච්චි කරලා ඒ අයට සහනයක් වෙන්න අපිට පුළුවන්. නීනෝගේ ආචිච්ගේ මරණය නිසා එයා හිටියේ හුඟක් දුකෙන්. එයා මෙහෙම කියනවා. “අපි ඉඩ දෙනවා නම් යෙහෝවා දෙවියන්ට පුළුවන් තව කෙනෙක්ව සනසන්න අපිව පාවිච්චි කරන්න.” (2 කොරින්ති 1:3, 4 කියවන්න.) කලින් සඳහන් කරපු ෆ්‍රැන්සෙස් මෙහෙම කියනවා. “2 කොරින්ති 1:4 කියන දේ ඇත්තම ඇත්ත. අනිත් අය අපිව සනසපු විදිහටම අපිටත් පුළුවන් තව කෙනෙක්ව සනසන්න.”

18. (අ) අනිත් අයව සනසන්න සමහරු අදිමදි කරන්නේ ඇයි? (ආ) අනිත් අයට සහනයක් වෙන්න අපිට පුළුවන් කොහොමද? අද්දැකීමක් කියන්න.

18 උදව්වක් ඕනෙ කරන කෙනෙක්ට උදව් කරන්න අපි කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න ඕනේ. දුකෙන් ඉන්න කෙනෙක්ට සහනයක් වෙන්න කියන්න ඕනෙ, කරන්න ඕනෙ මොනවාද කියලා අපි හරියටම දන්නේ නැති නිසා සමහරවිට අපිට බයක් දැනෙයි. පෝල් කියන වැඩිමහල්ලාගේ තාත්තා මිය ගිය වෙලාවේ සභාවේ අය එයාව සනසන්න උත්සාහ කරපු විදිහ ගැන එයා මෙහෙම කියනවා. “මොනවාද කියන්නේ කියලා හිතාගන්න බැරි නිසා මං ළඟට ඇවිල්ලා කතා කරන එක එයාලට ලේසි වුණේ නැහැ කියලා මං දන්නවා. ඒත් මාව සනසන්න එයාලට තිබුණ කැමැත්ත මං අදටත් අගය කරනවා.” දරුණු භූමිකම්පාවකට මුහුණ දීපු ටේජොන් මෙහෙම කියනවා. “භූමිකම්පාවට පස්සේ ගත වුණ දවස් කීපයේදී හුඟක් අය මාව දිරිගන්වලා මෙසේජස් එව්වා. ඒ හැම එකකම තිබුණ දේවල් මට මතක නැහැ. ඒත් එයාලගේ ආදරේ මට දැනුණා. ඒකයි එයාලා මං ගැන හොයලා බැලුවේ.” අපි අනිත් අය ගැන සැලකිලිමත් වුණොත් එයාලට සහනයක් වෙන්න අපිට පුළුවන්.

19. අනිත් අයට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වෙන්න ඔයා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ ඇයි?

19 මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න මේ ලෝකයේ තත්වය තව තවත් දරුණු අතට හැරෙනවා. අපි මුහුණ දෙන ප්‍රශ්නත් එන්න එන්නම වැඩි වෙයි. (2 තිමෝ. 3:13) අපිට උරුම වෙලා තියෙන පාපය නිසා අපි අතින් දිගින් දිගටම වැරදි අඩුපාඩු වෙයි. ඒ නිසාත් අපිට සහනය, ශක්තිය ඕනේ. පාවුල්ට එයාගේ ජීවිතේ අවසානය දක්වා විශ්වාසවන්තව විඳදරාගන්න උදව් වුණ එක දෙයක් තමයි අනිත් අයගෙන් ලැබුණ සහනය සහ ශක්තිය. අපිත් අරිස්තාකස් වගේ ළෙන්ගතු යාළුවන් වෙමු. තිකිකස් වගේ විශ්වාසවන්ත අය වෙමු. මාක් වගේ උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙමු. එතකොට යෙහෝවා දෙවියන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න අපිට පුළුවන්.—1 තෙස. 3:2, 3.

^ 5 ඡේ. නියෝජිත පාවුල් හුඟක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ අමාරු කාලවලදී එයාත් එක්ක එකට සේවය කරපු කීපදෙනෙක් නිසා එයාට ලොකු ශක්තියක් හා ධෛර්යයක් ලැබුණා. අනිත් අයට ශක්තියක් වෙන්න ඒ අයට උදව් වුණ ගතිලක්ෂණ තුනක් ගැන මේ ලිපියෙන් බලමු. එයාලව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් බලමු.

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි

^ 56 ඡේ. පින්තූරවල අදහස: නැව මුහුදුබත් වුණ වෙලාවේ අරිස්තාකස් පාවුල් එක්කම හිටියා.

^ 58 ඡේ. පින්තූරවල අදහස: පාවුල් ලියපු ලිපි සභාවන්ට අරන් යන වගකීම විශ්වාසවන්තව භාර දුන්නේ තිකිකස්ට.

^ 60 ඡේ. පින්තූරවල අදහස: පාවුල්ට ඕනෙ කරපු උදව් මාක් ලබා දුන්නා.