Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 5

“ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු”

“ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු”

“දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.”—සෙක. 8:23.

ගීතිකාව 26 ඔබ ඒ දේ කළේ මටයි

මේ ලිපියෙන් *

අභිෂේක ලත් (“යුදෙව් ජාතිකයා”) අයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ලැබිලා තියෙන අවස්ථාව වෙනත් බැටළුවන් (“මිනිස්සු දසදෙනා”) සලකන්නේ ගෞරවයක් හැටියට (1 සහ 2 ඡේද බලන්න)

1. යෙහෝවා දෙවියන් කිව්වේ අපේ කාලේ වෙන මොන දේ ගැනද?

අපේ කාලේ වෙන දෙයක් ගැන යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දසදෙනෙක් යුදෙව් ජාතිකයෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගෙන මෙසේ පවසනු ඇත. ‘දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.’” (සෙක. 8:23) එතන සඳහන් “යුදෙව් ජාතිකයාගෙන්” නියෝජනය වෙන්නේ දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරපු අයයි. එයාලව “දෙවිගේ ඊශ්‍රායෙලය” කියලත් හඳුන්වනවා. (ගලා. 6:16) “මිනිස්සු දසදෙනාගෙන්” නියෝජනය වෙන්නේ පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයයි. එයාලා දන්නවා අභිෂේක ලත් අයට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙනවා කියලා. අභිෂේක ලත් අය එක්ක එකට දෙවියන්ට නමස්කාර කරන්න ලැබුණ අවස්ථාව එයාලා සලකන්නේ ගෞරවයක් විදිහට.

2. “මිනිස්සු දසදෙනා” අභිෂේක ලත් අය ‘සමඟ යනවා’ කියද්දී අදහස් වෙන්නේ මොකක්ද?

2 අද පොළොවේ ඉන්න අභිෂේක ලත් හැම කෙනෙක්ගෙම නම් දැනගන්න බැරි වුණත් * පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට එයාලා ‘සමඟ යන්න’ පුළුවන්. ඒ කොහොමද? බයිබලේ කියන්නේ ‘මිනිස්සු දසදෙනා යුදෙව් ජාතිකයෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන “දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු”’ කියලා කියනවා කියලයි. එතන සඳහන් වෙන්නේ එක යුදෙව් ජාතිකයෙක් ගැන. ඒත් “ඔබ” කියද්දී ඒකෙන් එක පුද්ගලයෙක් නෙමෙයි කණ්ඩායමක් අදහස් වෙනවා. ඒ කියන්නේ යුදෙව් ජාතිකයාගෙන් අභිෂේක ලත් අයව කණ්ඩායමක් විදිහට නියෝජනය වෙනවා. පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය අභිෂේක ලත් අය එක්ක එකට යෙහෝවා දෙවියන්ට සේවය කරනවා. ඒත් එයාලා අභිෂේක ලත් අයව තමන්ගේ නායකයන් විදිහට සලකන්නේ නැහැ. මොකද අපි හැමෝගෙම නායකයා යේසුස්.—මතෙ. 23:10.

3. අපි මේ ලිපියෙන් උත්තර බලන්නේ මොන ප්‍රශ්නවලටද?

3 දෙවියන්ගේ සෙනඟ අතරේ අභිෂේක ලත් අය තවමත් ඉන්න නිසා සමහරුන්ගේ හිතට මේ ප්‍රශ්න එන්න පුළුවන්. (1) අභිෂේක ලත් අයට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද? (2) සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයට අපි සලකන්න ඕනෙ කොහොමද? (3) සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ සංඛ්‍යාව වැඩි වෙනවා නම් අපි ඒ ගැන කරදර වෙන්න ඕනෙද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලමු.

අභිෂේක ලත් අයට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද?

4. 1 කොරින්ති 11:27-29 අභිෂේක ලත් අයට දීලා තියෙන අනතුරු ඇඟවීම මොකක්ද? ඒ ඇයි?

4 අභිෂේක ලත් අය 1 කොරින්ති 11:27-29 (කියවන්න.) සඳහන් අනතුරු ඇඟවීම හිතට ගන්න ඕනේ. අභිෂේක ලත් කෙනෙක් යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් නොවී සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්නවා නම් එයා ඒක කරන්නේ “නුසුදුසු ලෙස” කියලා කියන්න පුළුවන්. (හෙබ්‍රෙ. 6:4-6; 10:26-29) අභිෂේක ලත් අය දන්නවා “ස්වර්ගයට යෑම සඳහා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිගෙන් ලැබූ කැඳවීම” කියන තෑග්ග ලබාගන්න නම් එයාලා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඕනෙ කියලා.—ෆිලි. 3:13-16.

5. අභිෂේක ලත් අයට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද?

5 උඩඟු නොවී නිහතමානී වෙන්න දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ඔහුගේ සෙනඟට උදව් කරනවා. (එෆී. 4:1-3; කොලො. 3:10, 12) තමන් අනිත් අයට වඩා උසස් කියලා අභිෂේක ලත් අය හිතන්නේ නැහැ. දෙවියන්ගේ අනිත් සේවකයන්ට වඩා වැඩියෙන් තමන්ට දෙවියන්ගේ බලය ලැබෙන්නේ නැහැ කියලා එයාලා දන්නවා. ඒ වගේම බයිබලේ තියෙන කාරණා වෙන අයට වඩා හොඳින් අවබෝධ කරගන්න තමන්ට හැකියාව තියෙනවා කියලත් එයාලා හිතන්නේ නැහැ. “සිහි කිරීමේදී ඔයාත් රොටි සහ වයින් ගන්න” කියලා එයාලා කවදාවත් තව කෙනෙකුට කියන්නේ නැහැ. මොකද එයාලා නිහතමානීව පිළිගන්නවා කෙනෙක්ට ස්වර්ගයේ ජීවත් වෙන්න ආරාධනාව කරන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි කියලා.

6. 1 කොරින්ති 4:7, 8 අනුව අභිෂේක ලත් අය ක්‍රියා කරන්න ඕනෙ කොහොමද?

6 ස්වර්ගයේ ජීවත් වෙන්න ලැබුණු ආරාධනාව ලොකු ආශීර්වාදයක් විදිහට සැලකුවත් අනිත් අයගෙන් විශේෂ සැලකිලි අභිෂේක ලත් අය බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ෆිලි. 2:2, 3) කෙනෙක්ව දෙවියන් අභිෂේක කරද්දී ඒ ගැන අනිත් අයට දැනුම් දෙන්නේ නැහැ කියලා අභිෂේක ලත් අය දන්නවා. ඒ නිසා තමන් අභිෂේක ලත් කෙනෙක් කියලා සමහරු එකපාරටම විශ්වාස නොකළොත් එයා පුදුම වෙන්නේ නැහැ. එයා දන්නවා දෙවියන් තමන්ට විශේෂ පැවරුමක් දුන්නා කියලා කවුරු හරි කියනවා නම් ඒක පිළිගන්න ඉක්මන් වෙන්න එපා කියලා බයිබලේ සඳහන් වෙනවා කියලා. (එළි. 2:2) අනිත් අයගෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු නොවන නිසා මුල්ම වතාවට මුණගැහෙන අයට තමන් අභිෂේක ලත් කෙනෙක් කියලා එයා කියන්නේවත් එයාගේ බලාපොරොත්තුව ගැන පුරසාරම් දොඩන්නේවත් නැහැ.—1 කොරින්ති 4:7, 8 කියවන්න.

7. අභිෂේක ලත් අය කරන්නේ නැත්තේ මොකක්ද? ඒ ඇයි?

7 මිතුරු සමාජයක සාමාජිකයන් වගේ තමන් ඇසුරු කරන්න ඕනෙ අභිෂේක ලත් අය එක්ක විතරයි කියලා අභිෂේක ලත් අය හිතන්නේ නැහැ. අභිෂේක ලබද්දී එයාලට හැඟුණ, දැනුණ විදිහ බෙදාගන්න අරමුණින් හෝ කණ්ඩායමක් විදිහට එකතු වෙලා බයිබලේ අධ්‍යයනය කරන අරමුණින් එයාලා වෙන අභිෂේක ලත් අයව හොයන්නේ නැහැ. (ගලා. 1:15-17) ඒ වගේ දේවල් කළොත් ඒක සභාවේ එක්සත්කමට බාධාවක්. ඒක දෙවියන්ගේ බලයට විරුද්ධ වීමක්. දෙවියන්ගේ බලය නැතුව ඔහුගේ සෙනඟ අතරේ සාමය සහ එකමුතුකම පවත්වගන්න බැහැ.—රෝම 16:17, 18.

සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයට අපි සලකන්න ඕනෙ කොහොමද?

අභිෂේක ලත් අය ඇතුළුව පෙරමුණ අරන් වැඩ කරන වෙන කිසිම කෙනෙක්ව ජනප්‍රිය පුද්ගලයන් විදිහට අපි සලකන්න හොඳ නැහැ (8 ඡේදය බලන්න) *

8. සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයට ඔයා සලකන විදිහ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි? (පාදසටහනත් බලන්න.)

8 අභිෂේක ලත් සහෝදර සහෝදරියන්ට අපි සලකන්න ඕනෙ කොහොමද? කෙනෙක්ව ඕනෑවට වඩා වර්ණනා කරන එක වැරදියි. ඒ කෙනා යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයෙක් වුණත් ඒකේ වෙනසක් නැහැ. (මතෙ. 23:8-12) වැඩිමහල්ලන් ගැන කතා කරද්දී බයිබලේ කියනවා එයාලා “තුළ තිබෙන විශ්වාසය ආදර්ශයට ගන්න” කියලා. ඒත් කිසිම මිනිසෙක්ව නායකයෙක් හැටියට පත් කරගන්න කියලා බයිබලේ කොහේවත් කියන්නේ නැහැ. (හෙබ්‍රෙ. 13:7) සමහර අය “වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන්” කියලත් බයිබලේ කියනවා. ඒත් එහෙම කියන්නේ ඒ අය “සභා වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන” සහ “දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන” නිසා මිසක් එයාලා අභිෂේක ලත් නිසා නෙමෙයි. (1 තිමෝ. 5:17) අපි ඕනෑවට වඩා අභිෂේක ලත් කෙනෙක්ව වර්ණනා කරනවා නම්, එයාට වැඩි අවධානයක් දෙනවා නම් එයා අපහසුතාවට පත් වෙයි. * ඒක එයාගේ හිතේ උඩඟුකමක් ඇති වෙන්න හේතු වෙන්නත් පුළුවන්. (රෝම 12:3) අපි කරන දෙයක් නිසා යේසුස්ගේ සහෝදරයෙක් අතින් බරපතළ වරදක් වෙනවා දකින්න අපි කවුරුත් කැමති නැහැ.—ලූක් 17:2.

9. අභිෂේක ලත් අයට අපි ගෞරව කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

9 යෙහෝවා දෙවියන් ඔහුගේ බලයෙන් අභිෂේක කරපු අයට අපි ගෞරව කරනවා කියලා පෙන්නන්නේ කොහොමද? අභිෂේක ලබන එක මොන වගේ අද්දැකීමක්ද කියලා එයාලගෙන් අහන්නේ නැතුව ඉන්න එක ඒක කරන්න පුළුවන් එක විදිහක්. ඒක පෞද්ගලික කාරණයක්. ඒක දැනගන්න අපිට අයිතියක් නැහැ. (1 තෙස. 4:11; 2 තෙස. 3:11) එයාලගේ සැමියා, බිරිඳ, දෙමාපියන් හෝ පවුලේ අනිත් අයත් අභිෂේක ලත් අය වෙන්න ඇති කියලා අපි හිතන්න හොඳ නැහැ. ස්වර්ගයේ ජීවත් වෙන්න ලබන ආරාධනය පවුලෙන් උරුම වෙන දෙයක් නෙමෙයි. ඒක දෙවියන්ගෙන් ලැබෙන ආරාධනයක්. (1 තෙස. 2:12) හිතට දුකක් ගේන ප්‍රශ්න අහන එකෙනුත් අපි වළකින්න ඕනේ. උදාහරණෙකට සැමියා නැතුව පාරාදීසයේ සදහටම ජීවත් වෙන එක ගැන කොහොමද හැඟෙන්නේ කියලා අභිෂේක ලත් සහෝදරයෙකුගේ බිරිඳගෙන් අහන්න හොඳ නැහැ. එදාට දෙවියන් “ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා” කියලා අපිට නිසැකයි.—ගීතා. 145:16.

10. “පුද්ගලයන්ව වර්ණනා” නොකර ඉන්න එක අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

10 අභිෂේක ලත් අයට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඉන්න එක අපිට ආරක්ෂාවක්. ඒ කොහොමද? බයිබලේ කියනවා අභිෂේක ලත් අයගෙන් සමහරදෙනෙක් දිගටම විශ්වාසවන්තව ඉන්නේ නැති වෙන්න පුළුවන් කියලා. (මතෙ. 25:10-12; 2 පේතෘ. 2:20, 21) “පුද්ගලයන්ව වර්ණනා” කරන එකෙන් අපි වළකිනවා නම් අපි පුද්ගලයන් පස්සේ යන්න පෙලඹෙන්නේ නැහැ. (යූද් 16) ඒ කෙනා අභිෂේක ලත් වුණත් හැමෝම දන්න කියන කෙනෙක් වුණත් කාලයක් දෙවියන්ට සේවය කරන කෙනෙක් වුණත් අපි එහෙම කරන එක වැරදියි. එතකොට එයාලා කවදා හරි දෙවියන්ව අත්හැරලා ගියත් දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය නැති වෙන්නේවත් යෙහෝවා දෙවියන්ට අපි කරන සේවය නවත්වන්නේවත් නැහැ.

සංඛ්‍යාව වැඩි වෙනවා නම් ඒ ගැන අපි කරදර වෙන්න ඕනෙද?

11. සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ සංඛ්‍යාව ගැන කියන්න පුළුවන් මොකක්ද?

11 සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ සංඛ්‍යාව අවුරුදු ගාණක් තිස්සේ එන්න එන්න අඩු වුණා. ඒත් ළඟකදී ඉඳන් ඒ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ ගැන අපි කරදර වෙන්න ඕනෙද? නැහැ. අපි මතක තියාගන්න ඕනෙ වැදගත් කරුණු කීපයක් දැන් බලමු.

12. සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ සංඛ්‍යාව ගැන අපි කරදර වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

12 “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය.” (2 තිමෝ. 2:19) අභිෂේක කරලා තියෙන්නේ කාවද කියලා යෙහෝවා දෙවියන් දන්නවා වුණාට සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයව ගණන් කරන සහෝදරයෝ ඒක දන්නේ නැහැ. ඒ නිසා තමන් අභිෂේක ලත් කියලා හිතුවත් ඇත්තටම එහෙම නැති අයත් ඒ ගාණට ඇතුළත්. උදාහරණෙකට කලින් රොටි සහ වයින් ගත්ත අය පස්සේ කාලෙකදී ඒක නවත්තලා තියෙනවා. යම් මානසික ප්‍රශ්නයක් හෝ අසනීපයක් තියෙන කෙනෙක්ටත් හිතෙන්න පුළුවන් යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න තමන්ව තෝරගෙන තියෙනවා කියලා. ඒ නිසා 1,44,000දෙනාට අයිති අයගෙන් තව කීදෙනෙක් පොළොවේ ඉන්නවාද කියලා අපිට හරියටම කියන්න බැහැ.

13. මහත් පීඩාව පටන්ගද්දී අභිෂේක ලත් අයගෙන් කීදෙනෙක් පොළොවේ ඉඳියිද කියලා බයිබලේ කියලා තියෙනවාද?

13 අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරගන්න යේසුස් එන කාලේදී ඒ අය පොළොවේ විවිධ පළාත්වල ඉන්නවා. (මතෙ. 24:31) අන්තිම දවස්වලදී අභිෂේක ලත් අයගෙන් ටිකදෙනෙක් පොළොවේ ඉන්නවා කියලා බයිබලේ කියනවා. (එළි. 12:17) ඒත් මහත් පීඩාව පටන්ගද්දී අභිෂේක ලත් කීදෙනෙක් පොළොවේ ඉඳියිද කියලා බයිබලේ කියන්නේ නැහැ.

කෙනෙක් සිහි කිරීමේදී රොටි සහ වයින් ගත්තොත් අපි මොනවාද කරන්න ඕනේ? (14 ඡේදය බලන්න)

14. අභිෂේක ලත් අයව තෝරගන්න එක ගැන රෝම 9:11, 16 අපි ඉගෙනගන්නේ මොකක්ද?

14 යෙහෝවා දෙවියන් තමයි අභිෂේක ලත් අයව තෝරගන්න කාලය තීරණය කරන්නේ. (රෝම 8:28-30) දෙවියන් අභිෂේක ලත් අයව තෝරන්න පටන්ගත්තේ යේසුස්ව නැවත නැඟිට්ටෙව්වාට පස්සේ. පේන විදිහට මුල් සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් හැමෝම වගේ අභිෂේක ලත් අය. ඊටපස්සේ ගත වුණ සියවස් ගාණ පුරාම හිටපු වැඩිදෙනෙක් තමන් ක්‍රිස්තියානීන් කියලා කිව්වත් ඒ අය යේසුස්ව අනුගමනය කළේ නැහැ. ඒත් ඒ කාලේ හිටපු සැබෑ ක්‍රිස්තියානීන් කීපදෙනෙක්ව දෙවියන් අභිෂේක කළා. ඒ අය හරියට කිරිඳි අතරේ තිබුණු තිරිඟු වගේ. (මතෙ. 13:24-30) අන්තිම කාලය පුරාම දෙවියන් 1,44,000දෙනාට අයිති තවත් අයව අභිෂේක කරමින් ඉන්නවා. * අවසානය ඔන්න මෙන්න කියලා තියෙද්දී දෙවියන් සමහරුන්ව අභිෂේක කරන්න තීරණය කරනවා නම් ඔහුගේ තීරණය ප්‍රශ්න කරන්න අපිට බැහැ. (රෝම 9:11, 16 කියවන්න.) * යේසුස් වැඩකරුවන් ගැන කියපු උපමාවේ අවසන් පැයේදී ආපු සේවකයන්ටත් එකම වැටුප ගෙවපු එක ගැන කන්කෙඳිරි ගෑව සේවකයන් වගේ නොවී ඉන්න අපි පරෙස්සම් වෙමු.—මතෙ. 20:8-15.

15. අභිෂේක ලත් හැම කෙනෙක්ම මතෙව් 24:45-47 විස්තර කරලා තියෙන “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” අයිතිද? පැහැදිලි කරන්න.

15 ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” අයිති නැහැ. (මතෙව් 24:45-47 කියවන්න.) මුල් සියවසේදී වගේ අදත් යෙහෝවා දෙවියන් සහ යේසුස් බොහෝදෙනෙක්ව පෝෂණය කරන්න පාවිච්චි කරන්නේ සහෝදරයන් කීපදෙනෙක්වයි. මුල් සියවසේදී ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල ලියන්න දෙවියන් යොදාගත්තේ අභිෂේක ලත් කීපදෙනෙක්ව විතරයි. අදත් දෙවියන්ගේ සෙනඟට “නියම වේලාවට ආහාර දීමේ” වගකීම ඔහු භාර දීලා තියෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කීපදෙනෙක්ට විතරයි.

16. ඔයා මේ ලිපියෙන් ඉගෙනගත්තේ මොනවාද?

16 මේ ලිපියෙන් අපි ඉගෙනගත්තේ මොනවාද? දෙවියන්ගේ සෙනඟගෙන් වැඩිදෙනෙක්ට මේ පොළොවේ සදහටම ජීවත් වෙන බලාපොරොත්තුවත් යේසුස් එක්ක රජකම් කරන්න යන කුඩා පිරිසකට ස්වර්ගයේ ජීවත් වෙන බලාපොරොත්තුවත් දෙවියන් දීලා තියෙනවා. යෙහෝවා දෙවියන් දෙන තෑග්ග ලබාගන්න නම් “යුදෙව් ජාතිකයාගෙන්” වගේම “මිනිස්සු දසදෙනාගෙන්” නියෝජනය වන ඒ දෙපිරිසම එකම නීති මාලාවකට කීකරු වෙලා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඕනේ. ඒ හැමෝම නිහතමානීව ඉන්න එකත් වැදගත්. හැමෝම එක්සත්ව දෙවියන්ට නමස්කාර කරන්නත් ඕනේ. ඒ වගේම සභාවේ සාමය රැකගන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕනේ. අවසානයට ළං වෙන්න වෙන්න අපි හැමෝම “එක රැළක්” වගේ යේසුස්ව අනුගමනය කරමින් දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරමු.—යොහ. 10:16.

^ 5 ඡේ. මේ අවුරුද්දේ යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්නේ අප්‍රියෙල් 7වෙනි අඟහරුවාදා. එදාට රොටි කන සහ වයින් බොන අය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? රොටි සහ වයින් ගන්න අයගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා නම් ඒ ගැන අපි කරදර වෙන්න ඕනෙද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු. මේ ලිපිය පදනම් වෙලා තියෙන්නේ 2016 ජනවාරි ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණ තොරතුරු මතයි.

^ 2 ඡේ. යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන හැමෝගෙම නම් යෙහෝවා දෙවියන් අනාගතයේදී හෙළි කරයි කියලා ගීතාවලිය 87:5, 6 සඳහන් දෙයින් හිතන්න පුළුවන්.—රෝම 8:19.

^ 8 ඡේ. 2016 ජනවාරි ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “ප්‍රේමය තියෙන කෙනෙක් ‘අවිනීතව හැසිරෙන්නේ නැහැ’” කියන කොටුව බලන්න.

^ 14 ඡේ. කෙනෙක්ට දෙවියන්ගේ බලය ලබා දෙන්නේ යේසුස් මාර්ගයෙන් කියලා ක්‍රියා 2:33 සඳහන් දෙයින් පැහැදිලි වුණත් ස්වර්ගයේ ජීවත් වෙන්න එක් එක් කෙනාට ආරාධනය කරන්නේ යෙහෝවා දෙවියන්.

^ 14 ඡේ. වැඩි විස්තර දැනගන්න 2007 මැයි 1 ‘මුරටැඹ’ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.

ගීතිකාව 34 දෙවිට විශ්වාසවන්තව සිටීම

^ 56 ඡේ. පින්තූරේ අදහස: සමුළුවකදී සහෝදර සහෝදරියන් මූලස්ථාන නියෝජිතව සහ එයාගේ භාර්යාවව වට කරගෙන ෆොටෝස් ගත්තොත් එයාලා කොච්චර අපහසුතාවට පත් වෙයිද!