Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 3

ඔයාගේ දෙවි යෙහෝවාට ඔයාව හුඟක් වටිනවා

ඔයාගේ දෙවි යෙහෝවාට ඔයාව හුඟක් වටිනවා

“අපි ලැජ්ජාවට පත්ව සිටි අවස්ථාවලදී ඔහු අපව අමතක නොකළේය.”—ගීතා. 136:23.

ගීතිකාව 33 ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

මේ ලිපියෙන් *

1-2. යෙහෝවා දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක් මුහුණ දෙන්නේ මොන වගේ තත්වයන්ටද? ඒක එයාලට බලපාන්න පුළුවන් කොහොමද?

මේ අවස්ථා තුන ගැන හිතන්න. තරුණ සහෝදරයෙක්ට එයාගේ දොස්තර කියනවා එයාට බරපතළ අසනීපයක් තියෙනවා කියලා. ඒ අසනීපය නිසා එයා එන්න එන්නම දුර්වල වෙනවා. මැදි වියේ ඉන්න, මහන්සි වෙලා වැඩ කරන සහෝදරයෙක්ට එයාගේ රැකියාව අහිමි වෙනවා. කොච්චර උත්සාහ කළත් එයාට තව රැකියාවක් හොයාගන්න බැරි වෙනවා. විශ්වාසවන්තව සේවය කරන මහලු වයසේ ඉන්න සහෝදරියකට එයා කලින් කළා වගේ යෙහෝවා දෙවියන්ට සේවය කරන්න දැන් බැහැ.

2 ඔයාත් ඒ වගේ තත්වයකට මුහුණ දෙනවා නම් ඔයාගෙන් දැන් කිසි වැඩක් නැහැ කියලා ඔයාට හැඟෙනවා ඇති. ඔයාගේ සතුටත් නැති වෙන්න පුළුවන්. ඔයාට ඔයා ගැන තිබුණ හොඳ හැඟීම නැති වෙලා යයි. අනිත් අය එක්ක ඔයාට තියෙන බැඳීම්වලටත් ඒක බලපාන්න පුළුවන්.

3. සාතන්ට සහ එයාගේ පැත්තේ ඉන්න අයට මිනිස් ජීවිත ගැන හැඟෙන්නේ කොහොමද?

3 අද සමාජයේ ඉන්න වැඩිදෙනෙක්ට මිනිස් ජීවිත ගැන හැඟෙන්නේ සාතන්ට හැඟෙන විදිහටමයි. එදා ඉඳන්ම සාතන්ට මිනිස් ජීවිත ගැන කිසි වටිනාකමක් තිබුණේ නැහැ. සාතන් කිසිම හිතක් පපුවක් නැතුව දෙවියන්ට අකීකරු වෙන්න ඒවව පෙලඹුවේ දෙවියන්ට අකීකරු වුණොත් ඒව මිය යනවා කියලා දැන දැනමයි. සාතන්ගේ පාලනය යටතේ තියෙන ව්‍යාපාර ලෝකය, දේශපාලනය සහ ආගම් මිනිස් ජීවිතවලට කිසිම වටිනාකමක් දෙන්නේ නැතුව වැඩ කරන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ.

4. අපි මේ ලිපියෙන් ඉගෙනගන්නේ මොනවාද?

4 ඒත් යෙහෝවා දෙවියන්ට අපිව වටිනවා. අපි ඒක තේරුම්ගන්නවා දකින්නයි ඔහු කැමති. අපි වටින්නේ නැහැ කියන හැඟීම අපි තුළ ඇති කරන තත්වයන්ට අපි මුහුණ දෙද්දී ඔහු අපිට උදව් කරන්නේ ඒ නිසයි. (ගීතා. 136:23; රෝම 12:3) අපි (1) අසනීපයක් එක්ක පොරබදිද්දී, (2) ආර්ථික ප්‍රශ්න එක්ක පොරබදිද්දී, (3) මහලු වයස නිසා කලින් තරම් දේවල් කරන්න බැහැ කියලා හැඟෙද්දී යෙහෝවා දෙවියන් අපිට උදව් කරන විදි ගැන මේ ලිපියේ කතා කරනවා. ඒත් අපි මුලින්ම බලමු යෙහෝවා දෙවියන්ට අපි එක් එක් කෙනාව හුඟක් වටිනවා කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් ඇයි කියලා.

යෙහෝවා දෙවියන්ට අපිව වටිනවා

5. යෙහෝවා දෙවියන්ට මිනිසුන්ව වටිනවා කියලා ඔයාට ස්ථිර ඇයි?

5 අපිව නිර්මාණය කරලා තියෙන්නේ දූවිල්ලෙන් වුණත් යෙහෝවා දෙවියන් අපිව සලකන්නේ නිකම්ම දූවිලි විදිහට නෙමෙයි. ඔහුට අපිව ගොඩක් වටිනවා. (උත්. 2:7) ඒ ගැන අපිට ස්ථිර වෙන්න පුළුවන් හේතු කීපයක් බලන්න. දෙවියන් අපිව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්න පුළුවන් විදිහටයි. (උත්. 1:27) එහෙම කරපු එකෙන් ඔහු පොළොවේ නිර්මාණය කරපු අනිත් හැම දේකටම වඩා මිනිසුන්ට විශේෂ තැනක් දුන්නා. සතුන් ඇතුළුව පොළොවේ තියෙන හැම දෙයක්ම බලාගන්න ඔහු මිනිසුන්ට භාර දුන්නා.—ගීතා. 8:4-8.

6. මිනිසුන්ට පාපය උරුම වුණත් එයාලව දෙවියන්ට වටිනවා කියලා ඔප්පු වෙන තවත් හේතුවක් මොකක්ද?

6 ආදම් පව් කළා කියලා මිනිසුන්ගේ වටිනාකම යෙහෝවා දෙවියන්ට අඩු වුණේ නැහැ. ඔහු ගොඩක් ආදරේ කරන ඔහුගේ එකම පුතාව අපි වෙනුවෙන් දීලා අපිව පාපයෙන් බේරගන්න පියවර ගත්තේ ඒ නිසයි. (1 යොහ. 4:9, 10) ආදම්ගෙන් උරුම වුණ පාපය නිසා ජීවිතය අහිමි වුණ “ධර්මිෂ්ඨ අයට වගේම අධර්මිෂ්ඨ අයට” යෙහෝවා දෙවියන් යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන ආයෙත් ජීවිතේ දෙනවා. (ක්‍රියා 24:15) අපි අසනීපයෙන් හිටියත් අපි දුප්පත් වුණත් අපි මහලු වුණත් දෙවියන්ට අපිව වටිනවා කියලා බයිබලේ අපිට පෙන්නලා තියෙනවා.—ක්‍රියා 10:34, 35.

7. යෙහෝවා දෙවියන්ට ඔහුගේ සේවකයන්ව වටිනවා කියලා විශ්වාස කරන්න අපිට තියෙන තවත් හේතු මොනවාද?

යෙහෝවා දෙවියන්ට අපිව වටිනවා කියලා කියන්න තවත් හේතු තියෙනවා. ඔහු ගැන දැනගන්න දෙවියන් අපේ හිතේ ආශාවක් ඇති කරලා ශුභාරංචියට අපි කොයි වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා ඔහු අවධානයෙන් හිටියා. (යොහ. 6:44) අපි ඔහුට ටිකෙන් ටික ළං වෙද්දී ඔහුත් අපිට ළං වුණා. (යාකො. 4:8) ඔහු අපි වෙනුවෙන් කාලයක්, වෑයමක් දරලා අපිට උගන්වන එකෙනුත් පේනවා ඔහුට අපිව වටිනවා කියලා. දැන් අපි කොයි වගේ අයද කියලත් ඉස්සරහට අපිට මොන වගේ අය වෙන්න පුළුවන්ද කියලත් දෙවියන් දන්නවා. ඔහු අපිට ආදරේ කරන නිසා අපිව හික්මවනවා. (හිතෝ. 3:11, 12) යෙහෝවා දෙවියන්ට අපිව වටිනවා කියන්න ඒවා මොන තරම් ප්‍රබල හේතුද!

8. ප්‍රශ්න ආවත් නොසැලී ඉන්න ගීතාවලිය 18:27-29 සඳහන් වදන් අපිට උදව් වෙන්නේ කොහොමද?

8 සමහරු දාවිත් රජුව කිසි කමකට නැති කෙනෙක් විදිහට සැලකුවා. ඒත් දාවිත් දැනන් හිටියා යෙහෝවා දෙවියන් එයාට ආදරෙයි, ඔහුගේ උදව් එයාට තියෙනවා කියලා. ඒක එයාට උදව් වුණා නොසැලී විඳදරාගන්න. (2 සාමු. 16:5-7) අපි මානසිකව වැටෙද්දී, අභියෝගවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවියන්ට පුළුවන් අපේ ප්‍රශ්නේ දිහා වෙනම කෝණයකින් බලන්න අපිට උදව් කරන්න. ඒ වගේම ඕනෑම අභියෝගයක් ජය ගන්න අපිට උදව් කරන්නත් ඔහුට පුළුවන්. (ගීතාවලිය 18:27-29 කියවන්න.) යෙහෝවා දෙවියන්ගේ උදව් අපිට තියෙනවා නම් ඔහුට සතුටින් සේවය කරන එකෙන් අපිව වළක්වන්න කාටවත් බැහැ. (රෝම 8:31) දෙවියන් අපිට ආදරෙයි කියලත් ඔහුට අපිව වටිනවා කියලත් අපි මතක තියාගන්න ඕනෙ අවස්ථාවන් 3ක් ගැන දැන් බලමු.

අසනීපයක් එක්ක පොරබදිද්දී

අසනීපයක් එක්ක පොරබදිද්දී ඇති වෙන අධෛර්යය කරවන සිතුවිලිවලින් යටපත් නොවී ඉන්න දේවවචනය කියවන එක අපිට උදව් වෙනවා (9-12 ඡේද බලන්න)

9. අසනීපයකින් පීඩා විඳිද්දී අපිට අපි ගැන කොහොම හැඟෙන්න පුළුවන්ද?

9 අසනීපයෙන් ඉද්දී ඒක අපිට මානසිකව බලපානවා. කාටවත් අපෙන් කිසි වැඩක් නැහැ කියලා අපිට හිතෙයි. අපිට සමහර දේවල් කරගන්න බැහැ කියලා අනිත් අය දකිද්දී, අනිත් අයගේ උදව් නැතුව අපිට දේවල් කරගන්න බැරි වෙද්දී අපිට ලැජ්ජාවක් දැනෙයි. සමහරවිට අපේ අසනීපය ගැන අනිත් අය දන්නේ නැතුව ඇති. ඒත් අපි කලින් කරපු සමහර දේවල් කරගන්න බැරි වෙද්දී අපිට අපි ගැනම ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. හැඟීම් එක්ක සටන් කරන ඒ වගේ අවස්ථාවලදී යෙහෝවා දෙවියන් අපිව ශක්තිමත් කරනවා. ඒ කොහොමද?

10. හිතෝපදේශ 12:25 අනුව අසනීපයකින් පීඩා විඳිද්දී අපිට උදව් වෙන එක දෙයක් මොකක්ද?

10 අපි අසනීපයෙන් ඉද්දී “දිරිගන්වනසුලු වචනයකට” පුළුවන් අපිව ශක්තිමත් කරන්න. (හිතෝපදේශ 12:25 කියවන්න.) දෙවියන් දිරිගන්වනසුලු වදන් බයිබලේට ඇතුළත් කරලා තියෙනවා. ඒ වචනවලට පුළුවන් අපි අසනීපයෙන් හිටියත් යෙහෝවා දෙවියන්ට අපිව හුඟක් වටිනවා කියන දේ අපිට මතක් කරලා දෙන්න. (ගීතා. 31:19; 41:3) ඒ වචන අපි ආයේ ආයේ කියවද්දී අපේ හිතට එන අධෛර්යය කරවන හැඟීම්වලින් යටපත් නොවී ඉන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරයි.

11. එක සහෝදරයෙක් යෙහෝවා දෙවියන්ගේ උදව් අද්දැක්කේ කොහොමද?

11 සහෝදර හොහේගේ අද්දැකීම බලන්න. එයාට තරුණ වයසේදීම බරපතළ අසනීපයක් හැදුණා. ඒ අසනීපය එන්න එන්නම දරුණු වුණ නිසා එයාගෙන් දැන් කිසිම වැඩක් නැහැ කියලා හොහේට හැඟුණා. “මගේ අසනීපය නිසා මගේ හිතට ආපු හැඟීම් මටම නුහුරුයි. අනිත් අයගේ අවධානයට මාව ලක් වුණ නිසා මට ලැජ්ජාවක් දැනුණා. මේ අසනීපේ නිසා මගේ ජීවිතේ කොච්චර නම් වෙනස් වෙයිද කියලා මං හිතුවා. මට දැනුණේ ලොකු බයක්. මං උදව් ඉල්ලලා යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා.” යෙහෝවා දෙවියන් එයාට උදව් කළේ කොහොමද? හොහේ මෙහෙම කියනවා. “මට එක දිගට එක දේකට අවධානය දෙන්න අමාරු වුණා. ඒ නිසා මං ගීතාවලිය පොතෙන් පද කීපයක් කියෙව්වා. මං කියෙව්වේ යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන් ගැන සැලකිලිමත් කියලා පැහැදිලි වෙන බයිබල් පද. මං හැමදාම ඒ පද ආයේ ආයේ කියෙව්වා. ඒකෙන් මට දැනුණේ ලොකු සහනයක්. ටික දවසක් යද්දී අනිත් අය කිව්වා මං ඉන්නේ වෙනදාට වඩා සතුටින් කියලා. ඒක එයාලටත් දිරිගැන්වීමක් කියලා එයාලා කිව්වා. මගේ යාච්ඤාවලට යෙහෝවා දෙවියන් උත්තර දීලා කියලා මට තේරුණා. මට මං ගැන හැඟුණ විදිහ වෙනස් කරගන්න ඔහු මට උදව් කරලා. මං අසනීපයෙන් හිටියත් දෙවියන්ට මාව වටිනවා කියලා බයිබලේ කියලා තියෙන දේවල් ගැන වැඩි වැඩියෙන් හිතන්න මං පටන්ගත්තා.”

12. අසනීපයකින් පීඩා විඳිද්දී යෙහෝවා දෙවියන්ගේ උදව් ලබාගන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?

12 ඔයාත් අසනීපයකින් පීඩා විඳින කෙනෙක් නම් ඔයාගේ හැඟීම් යෙහෝවා දෙවියන් තේරුම්ගන්නවා කියලා මතක තියාගන්න. ඔයාගේ තත්වය තේරුම් අරන්, ඔයාට කරන්න පුළුවන් දේ ගැන හිතන්න ඔයාට උදව් කරන්න කියලා ඔහුට යාච්ඤා කරන්න. ඊටපස්සේ ඔහු ඔයා වෙනුවෙන්ම බයිබලේ සඳහන් කරලා තියෙන දිරිගන්වනසුලු වචන බයිබලෙන් හොයාගෙන කියවන්න. යෙහෝවා දෙවියන්ට ඔහුගේ සේවකයන්ව කොච්චර වටිනවාද කියලා පෙන්නන බයිබල් පදවලට අවධානය දෙන්න. එහෙම කරද්දී ඔයා දකියි දෙවියන් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් වෙනුවෙන් යහපත් දේවල් කරනවා කියලා.—ගීතා. 84:11.

ආර්ථික ප්‍රශ්න එක්ක පොරබදිද්දී

අපිට අවශ්‍ය දේවල් සපයනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව මතක තියාගන්න එක රස්සාවක් හොයාගන්න අමාරු වෙද්දී අධෛර්යය නොවී ඉන්න අපිට උදව් වෙනවා (13-15 ඡේද බලන්න)

13. රස්සාව නැති වුණාම පවුලේ මූලිකයෙක්ට කොහොම හැඟෙන්න පුළුවන්ද?

13 පවුලේ මූලිකයන්ට ඕනෙ එයාලගේ පවුලේ අයට අත්‍යවශ්‍ය දේවල් සපයන්න. ඒත් හිතන්න අවංකව, හොඳින් වැඩ කරපු සහෝදරයෙක්ට එයාගේ රැකියාව නැති වෙනවා කියලා. වෙන රස්සාවක් හොයාගන්න එයා කොච්චර මහන්සි වුණාත් එයාට රස්සාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ තත්වයක ඉන්න කෙනෙක්ට හැඟෙයි දැන් එයාගෙන් කිසි වැඩක් නැහැ කියලා. යෙහෝවා දෙවියන්ගේ පොරොන්දු ගැන හොඳට හිතන එක එයාට උදව් වෙන්නේ කොහොමද?

14. යෙහෝවා දෙවියන් ඔහුගේ පොරොන්දු ඉටු කරන්නේ ඇයි?

14 යෙහෝවා දෙවියන් ඔහුගේ පොරොන්දු කවදාවත් කඩන්නේ නැහැ. (යොෂු. 21:45; 23:14) ඒකට හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි ඔහු පොරොන්දු ඉටු කළේ නැත්නම් ඒක ඔහුගේ හොඳ නමට කැළැලක්. තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව රැකබලා ගන්නවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුව ඉටු කරන එක දෙවියන් සලකන්නේ ඔහුගේ වගකීමක් හැටියට. (ගීතා. 31:1-3) ඒ වගේම දෙවියන් දන්නවා ඔහුගේ පවුලේ අයව ඔහු රැකබලා ගත්තේ නැත්නම් ඒක එයාලට කොච්චර දුකක්ද කියලා. අපිට ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් වගේම අපේ විශ්වාසය රැකගන්න ඕනෙ කරන හැම දෙයක්ම අපිට දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුව ඉටු කරන එකෙන් දෙවියන්ව වළක්වන්න කාටවත් බැහැ.—මතෙ. 6:30-33; 24:45.

15. (අ) මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් මුහුණ දුන්නේ මොන අභියෝගයටද? (ආ) ගීතාවලිය 37:18, 19 අනුව අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

15 යෙහෝවා දෙවියන් ඔහුගේ පොරොන්දු ඉටු කරන්නේ මොන හේතු නිසාද කියලා අපි නිතරම මතක තියාගන්න ඕනේ. ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙද්දී දෙවියන් අපිව බලාගන්නවා කියන විශ්වාසයෙන් ඉන්න එතකොට අපිට පුළුවන්. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීනුත් අමාරු තත්වයකට මුහුණ දුන්නා. යෙරුසලමේ තිබුණ සභාවට දරුණු විරුද්ධවාදිකම් එල්ල වෙද්දී “යේසුස්ගේ නියෝජිතයන් හැර අන් සියලුදෙනාම” විවිධ පැතිවලට විසිරී ගියා. (ක්‍රියා 8:1) එයාලා කරකර හිටපු ව්‍යාපාර, ගෙවල් දොරවල් අත්හැරලා යන්න එයාලට සිද්ධ වුණා. ඒ නිසා එයාලා ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඇති. ඒත් යෙහෝවා දෙවියන් එයාලව අත්හැරියේ නැහැ. එයාලා දිගටම සතුටින් දෙවියන්ට සේවය කළා. (ක්‍රියා 8:4; හෙබ්‍රෙ. 13:5, 6; යාකො. 1:2, 3) එදා හිටපු විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ව යෙහෝවා දෙවියන් රැකබලා ගත්තා නම් ඔහු ඒ දේම අද අපි වෙනුවෙනුත් කරයි කියලා අපිට ස්ථිරයි.—ගීතාවලිය 37:18, 19 කියවන්න.

මහලු වයසේදී එන අභියෝග එක්ක පොරබදිද්දී

මහලු වයසේදී වුණත් අපිට කරන්න පුළුවන් දේවල් ගැන හිතනවා නම් අපිව යෙහෝවා දෙවියන්ට වටිනවා කියන දේ අපිට ස්ථිර වෙයි (16-18 ඡේද බලන්න)

16. අපි දෙවියන්ට කරන නමස්කාරය ඔහුට වටින්නේ නැතුව ඇති කියලා අපිට හැඟෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවකදීද?

16 මහලු වයසට එද්දී යෙහෝවා දෙවියන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හරිම පොඩ්ඩයි කියලා අපිට හැඟෙන්න පුළුවන්. දාවිත් රජුත් ඒ වගේ හැඟීම් එක්ක පොරබදින්න ඇති. (ගීතා. 71:9) අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කොහොමද?

17. සහෝදරි ජෙරිගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

17 සහෝදරි ජෙරිගේ අද්දැකීම බලන්න. නඩත්තු වැඩ සම්බන්ධයෙන් පවත්වන පුහුණු වැඩසටහනකට සහභාගි වෙන්න කියලා එයාට ආරාධනයක් ලැබුණා. ඒත් ඒකට යන්න එයා එච්චර කැමති වුණේ නැහැ. එයා මෙහෙම කියනවා. “මම වයසයි. මම වැන්දඹුවක්. අනික, නඩත්තු වැඩ ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින්, මගෙන් මොකක්ද තියෙන ප්‍රයෝජනේ.” පුහුණු වැඩසටහනට කලින් දවසේ රෑ එයා එයාට දැනුණ හැම දේම යෙහෝවා දෙවියන්ට කිව්වා. ඊළඟ දවසේ එයා පුහුණු වැඩසටහන පවත්වන නමස්කාර මධ්‍යස්ථානයට ගියා. ඒත් ඒ වෙලාවෙත් එයා කල්පනා කළේ ‘මං මෙතනට ආපු එකේ ප්‍රයෝජනයක් තියෙනවාද’ කියලයි. වැඩසටහන අතරතුරේ එක කථිකයෙක් කිව්වා අපි ළඟ තියෙන ඕනෑම දක්ෂතාවකට වඩා වටින්නේ යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න අපි තුළ තියෙන කැමැත්තයි කියලා. සහෝදරි ජෙරි මෙහෙම කියනවා. “ඒ වෙලාවේ මට හිතුණා ‘මං දෙවියන්ගෙන් ඉගෙනගන්න ආසයිනේ’ කියලා. එතකොට මට ඇඬුණා. මොකද ඒක හරියට යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා වගේ. ‘මං වෙනුවෙන් දෙයක් දෙන්න ඔයාටත් පුළුවන්. මං කැමතියි ඔයාට උගන්වන්න.’ එදා මං පුහුණු වැඩසටහනට ගියේ ‘මගෙන් වැඩක් නැහැ’ කියන හැඟීමෙන්. ඒත් මං එතනින් ආවේ දිරිගැන්විලා. ‘මං වගේ කෙනෙකුත් දෙවියන්ට වටිනවා’ කියන හැඟීම එදා මට ඇති වුණා. දෙවියන් මගේ යාච්ඤාවට ඇහුම්කන් දුන්නා.”

18. අපි වයසට ගියත් යෙහෝවා දෙවියන්ට අපේ වටිනාකම අඩු වෙන්නේ නැහැ කියලා බයිබලේ පෙන්නලා තියෙන්නේ කොහොමද?

18 වයසට ගියත් යෙහෝවා දෙවියන් වෙනුවෙන් අපිට කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවා. (ගීතා. 92:12-15) දෙවියන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හරිම පොඩ්ඩයි කියලා අපිට හිතුණත් ඒ පොඩි දේ යෙහෝවා දෙවියන්ට ගොඩක් වටිනවා කියලා යේසුස් කිව්වා. (ලූක් 21:2-4) ඒ නිසා ඔයාට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. ඔයාට පුළුවන් යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට කියන්න. ඔයාගේ සහෝදරයන් වෙනුවෙන් යාච්ඤා කරන්නත් විශ්වාසවන්තව ඉන්න අනිත් අයව දිරිගන්වන්නත් ඔයාට පුළුවන්. දෙවියන් ඔයාව ඔහුගේ හවුල් සේවකයෙක් විදිහට සලකන්නේ ඔහුට කීකරු වෙන්න ඔයා තුළ තියෙන කැමැත්ත නිසයි. එහෙම නැතුව ඔයාට කරන්න පුළුවන් දේවල් නිසා නෙමෙයි.—1 කොරි. 3:5-9.

19. රෝම 8:38, 39 අපිට දෙන සහතිකය මොකක්ද?

19 යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ව සලකන්නේ වටිනා අය විදිහට. ඒ වගේ දෙවි කෙනෙක්ට නමස්කාර කරන්න අපිට ලැබුණ එක කොයි තරම් දෙයක්ද! ඔහුට කරන නමස්කාරය නිසයි අපේ ජීවිත අර්ථවත් වෙන්නේ. ඔහු අපිව නිර්මාණය කළේ ඒ අරමුණින්. (එළි. 4:11) සමහරවිට මේ සමාජය අපිව දකින්නේ කිසිම වටිනාකමක් නැති අය විදිහට වෙන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවියන් අපිව දකින්නේ ඒ විදිහට නෙමෙයි. (හෙබ්‍රෙ. 11:16, 38) අසනීප, ආර්ථික ප්‍රශ්න, මහලු වයස නිසා ඔයා අධෛර්යය වෙද්දී යෙහෝවා දෙවියන් ඔයාට කොච්චර ආදරේද කියලා මතක් කරගන්න. ඒ ආදරෙන් ඔයාව වෙන් කරන්න කාටවත් බැහැ.—රෝම 8:38, 39 කියවන්න.

^ 5 ඡේ. ඔයා මුහුණ දෙමින් ඉන්න යම් තත්වයක් නිසා ඔයාගෙන් කිසි වැඩක් නැහැ, ඔයාගේ කිසි වටිනාකමක් නැහැ කියලා ඔයාට හැඟෙනවාද? ඔයාව යෙහෝවා දෙවියන්ට කොච්චර වටිනවාද කියලා මේ ලිපිය ඔයාට මතක් කරලා දෙයි. ජීවිතේ මොන දේට මුහුණ දෙන්න වුණත් ඔයා ගැන හොඳ හැඟීමක් ඇතුව ඉන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපිය පෙන්නනවා.

ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි