Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 52

අධෛර්යය කරවන සිතුවිලි එක්ක කරන සටන අත්හරින්න එපා

අධෛර්යය කරවන සිතුවිලි එක්ක කරන සටන අත්හරින්න එපා

“ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.”—ගීතා. 55:22.

ගීතිකාව 33 ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

මේ ලිපියෙන් *

1. අධෛර්යය කරවන සිතුවිලි නිසා අපිට වෙන්න පුළුවන් මොකක්ද?

හැම දවසකම අපි ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒවා විඳදරාගන්න අපි අපේ උපරිමයෙන් උත්සාහ කරනවා. හැබැයි, ප්‍රශ්න නිසා අපි අධෛර්යය වුණොත් මොකද වෙන්නේ? හිතෝපදේශ 24:10 කියනවා “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය” කියලා. ඔව්, ප්‍රශ්න එද්දී අපි අධෛර්යය වුණොත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න අපිට තියෙන ශක්තිය තවත් අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දිගින් දිගටම අධෛර්යය කරවන දේවල් ගැන හිතුවොත් අපේ සතුට නැති වෙන්නත් අපේ කිසි වටිනාකමක් නැහැ කියලා හිතන්න පෙලඹෙන්නත් ඉඩ තියෙනවා.

2. අපි අධෛර්යය වෙන්න පුළුවන් මොන හේතු නිසාද? මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 විවිධ හේතු නිසා අපි අධෛර්යය වෙනවා. උදාහරණෙකට අපි අතින් වෙන වැරදි නිසා, අපිට තියෙන සීමාවන් නිසා, අසනීප නිසා අපි අධෛර්යය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ආසාවෙන් බලන් හිටිය පැවරුමක් අපිට ලැබුණේ නැති වුණාමත් අපි සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය අපේ පණිවිඩේට උනන්දුවෙන් ඇහුම්කන් දෙන්නේ නැති වුණාමත් අපි අධෛර්යය වෙන්න පුළුවන්. එහෙම වෙද්දී ඒ සිතුවිලිවලින් ජය ගන්න අපිට උදව් වෙන දේවල් කීපයක් ගැන අපි මේ ලිපියෙන් බලමු.

අපේම දුර්වලකම් එක්ක සටන් කරද්දී

3. අපි අතින් වෙන වැරදි නිසා අධෛර්යය නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

3 අපි අතින් වෙන වැරදි නිසා අපි ලේසියෙන්ම අධෛර්යය වෙන්න පුළුවන්. ඒ නිසා “දෙවියන් අපිට ආදරේ කරන එකක් නැහැ, පාරාදීසයේ ජීවත් වෙන්න ඔහු අපිට අවස්ථාවක් දෙන එකක් නැහැ” කියලා අපිට හිතෙයි. හැබැයි එහෙම හිතන එක හරිම භයානකයි. මොකද බයිබලේ පැහැදිලිවම කියනවා “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත” කියලා. (රෝම 3:23) අනික, පව්කාරකම උරුම වෙලා තියෙන අපිට දේවල් සීයට සීයක්ම හරි විදිහට කරන්න බැහැ කියලා දෙවියන් දන්නවා. අපි හැමෝගෙම ආදරණීය තාත්තා හැටියට ඔහුට ඕනෙ අපිට උදව් කරන්න. ඔහු අපි ගැන හුඟක් ඉවසනවා. අපේ වැරදි හදාගන්නත් අධෛර්යය කරවන සිතුවිලිවලින් ගොඩ එන්නත් අපි කොච්චර වෑයම් කරනවාද කියලා ඔහු දන්නවා. ඒ විතරක් නෙවෙයි ඕනම වෙලාවක අපිට උදව් කරන්න ඔහු කැමැත්තෙනුයි ඉන්නේ.—රෝම 7:18, 19.

අපි ඉස්සර කරපු යහපත් දේවල් වගේම දැන් කරන යහපත් දේවලුත් යෙහෝවා දෙවියන් දකිනවා (5 ඡේදය බලන්න) *

4-5. සහෝදරියන් දෙන්නෙක්ට 1 යොහන් 3:19, 20 උදව් වුණේ කොහොමද?

4 ඩෙබෝරාගේ සහ මරියාගේ අද්දැකීම බලන්න. * ඩෙබෝරාට එයාගේ පවුලේ අයගෙන් කිසිම ආදරයක් ලැබුණේ නැහැ. කිසිම කෙනෙක් එයාව අගය කළේ නැති තරම්. ඒ නිසා වැඩිහිටියෙක් වුණාට පස්සෙත් එයා අතින් පුංචි වරදක් වුණත් එයා ගොඩක් කලකිරුණා. එයාට හිතුණා කිසිම දෙයක් එයාට හරියට කරගන්න බැහැ කියලා. මරියාත් ඒ වගේ දේකට මුහුණ දීපු කෙනෙක්. එයාගේ පවුලේ අය, නෑදෑයන් එයාව පහත් කළා. ඒ නිසා එයාට හිතුණා එයාගේ ජීවිතේ කිසි වටිනාකමක් නැහැ කියලා. එයා බව්තීස්ම වුණාට පස්සෙත් එයාට හිතුණා එයා යෙහෝවා දෙවියන්ගේ සේවකයෙක් වෙන්න තරම් වටින්නේ නැහැ කියලා.

5 හැබැයි ඒ සහෝදරියන් දෙන්නා යෙහෝවා දෙවියන්ට සේවය කරන එක නතර කළේ නැහැ. ඒකට එයාලට උදව් වුණ එක දෙයක් තමයි හිතේ තිබුණු හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට කියපු එක. (ගීතා. 55:22) ඒ වගේම, අතීතයේ අපි මුහුණ දීපු දේවල් ගැන සහ ඒ ගැන අපේ හිතේ තියෙන වේදනාව ගැන අපේ ආදරණීය තාත්තා හොඳින්ම දන්නවා කියලත් එයාලා තේරුම්ගත්තා. ඒ විතරක් නෙවෙයි අපිවත් නොදකින අපේ හොඳ ගතිගුණ ඔහු දකිනවා කියලත් එයාලා තේරුම්ගත්තා.—1 යොහන් 3:19, 20 කියවන්න.

6. කෙනෙක් අතින් එකම වරද ආයෙත් වුණොත් එයාට ඒ ගැන කොහොම හිතෙයිද?

6 වරදක් හදාගන්න උත්සාහ කරන කෙනෙක් අතින් ඒ වරදම ආයෙත් වුණොත් ඒ ගැන එයා ගොඩක් කලකිරෙන්න ඉඩ තියෙනවා. අපි අතින් බරපතළ වරදක් වුණොත් අපේ හිත අපිට දොස් කියනවා තමයි. (2 කොරි. 7:10) හැබැයි එහෙම වෙද්දී, “මට නම් කවදාවත් මගේ වැරදි හදාගන්න බැරි වෙයි, යෙහෝවා දෙවියන් කවදාවත් මට සමාව දෙන එකක් නැහැ” කියලා අපි හිතන්න හොඳ නැහැ. මොකද, එහෙම හිතුවොත් යෙහෝවා දෙවියන්ට කරන සේවය අපි නතර කරන්න පෙලඹෙයි. ඒ නිසා, අපි අධෛර්යය වෙද්දී අපේ ශක්තිය හීන වෙනවා කියලා හිතෝපදේශ 24:10 කියන දේ අපි මතක තියාගන්න ඕනේ. අධෛර්යය වෙලා ඉන්නවා වෙනුවට ඔයාට පුළුවන්, වුණ වරද ගැන යෙහෝවා දෙවියන්ට කියලා ඒකට ඔහුගෙන් සමාව ඉල්ලන්න. (යෙසා. 1:18) වරද ගැන ඔයා අවංකවම පසුතැවිලි වෙනවා කියලත් වරද හදාගන්න ඔයා උපරිමයෙන් උත්සාහ කරනවා කියලත් දකිද්දී යෙහෝවා දෙවියන් ඔයාට සමාව දෙයි. ඔයාට පුළුවන් වැඩිමහල්ලන් එක්කත් කතා කරන්න. එයාලා හරිම ඉවසීමෙන් ඔයාට ඇහුම්කන් දීලා, ආයෙත් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔයාට උදව් කරයි.—යාකො. 5:14, 15.

7. හරි දේ කරන එක හුඟක් අමාරුයි කියලා හිතෙද්දී අපි අධෛර්යය වෙන්න හොඳ නැත්තේ ඇයි?

7 වැරදි හදාගන්න උපරිමයෙන් වෑයම් කරන අයට ප්‍රංශයේ ඉන්න වැඩිමහල්ලෙක් වන ජෝන් ලූක් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකන්නේ කිසිම වරදක් නොකරන කෙනෙක්ව නෙවෙයි. ඒ වෙනුවට, තමන් අතින් වුණු වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙලා ඒවා හදාගන්න උපරිමයෙන්ම උත්සාහ කරන කෙනෙක්වයි.” (රෝම 7:21-25) ඒ නිසා ඔයාගේ වැරදි හදාගන්න එක හරිම අමාරුයි කියලා හිතෙද්දී ඔයාගේ කිසිම වටිනාකමක් නැහැ කියලා හිතන්න එපා. මොකද අපිට අපේම උත්සාහයෙන් දෙවියන් ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙක් වෙන්න බැහැ. යෙහෝවා දෙවියන් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් පෙන්නන මහත් කරුණාව අපි හැමෝටම ඕනේ.—එෆී. 1:7; 1 යොහ. 4:10.

8. අපි අධෛර්යය වුණාම උදව් ගන්න පුළුවන් කාගෙන්ද?

8 සහෝදර සහෝදරියන්ගෙන් උදව් ගමු. අපිට හැඟෙන විදිහ කියද්දී එයාලා හරිම ඉවසීමෙන් ඇහුම්කන් දීලා අපිව දිරිගැන්වෙන විදිහට කතා කරයි. (හිතෝ. 12:25; 1 තෙස. 5:14) නයිජීරියාවේ සහෝදරි ජෝයි මෙහෙම කියනවා. “සහෝදරයන්ගේ උදව් ලැබුණේ නැත්නම් දේවල් දරාගන්න මට පුළුවන් වෙන එකක් නැහැ. එයාලා මාව දිරිගන්වද්දී මට දැනුණා යෙහෝවා දෙවියන් මගේ යාච්ඤාවලට උත්තර දෙනවා කියලා. මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ව දිරිගන්වන්න පුළුවන් කොහොමද කියලා මම එයාලගෙන් ඉගෙනගත්තා.” සමහර වෙලාවට අපි අධෛර්යය වෙලා හිටියත් අපේ සහෝදර සහෝදරියන්ට ඒක දැනෙන එකක් නැහැ. මොකද, අපේ හිත් කියවන්න එයාලට බැහැනේ. ඒ නිසා අවබෝධයෙන් වැඩ කරන සහෝදර සහෝදරියන්ට අපේ හිතේ තියෙන දේ කියලා එයාලගෙන් උදව් ගන්න අපි මුල් පියවර ගන්න ඕනේ.

අසනීප එක්ක පොරබදිද්දී

9. ගීතාවලිය 41:3 සහ 94:19 අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

9 යෙහෝවා දෙවියන්ගෙන් උදව් ගමු. අපි අසනීපෙන් ඉද්දී, විශේෂයෙන්ම අවුරුදු ගාණක් බරපතළ අසනීපයක් එක්ක පොරබදිද්දී සතුටෙන් ඉන්න එක අපිට ලේසි වෙන එකක් නැහැ. මේ කාලෙදී යෙහෝවා දෙවියන් ආශ්චර්යවත් විදිහට අපිව සුව කරන්නේ නැහැ කියලා අපි දන්නවා. හැබැයි ඔහු අපිත් එක්කම ඉඳන් අපිව සනසනවා. දේවල් විඳදරාගන්න ඕන කරන ශක්තිය අපිට දෙනවා. (ගීතාවලිය 41:3; 94:19 කියවන්න.) උදාහරණෙකට අපේ ගෙදරදොරේ වැඩක් කරලා දෙන්න, කඩසාප්පුවලින් අපිට ඕන කරන දේවල් ගෙනත් දෙන්න, එහෙම නැත්නම් අපිත් එක්ක යාච්ඤා කරන්න ඔහු අපේ සහෝදරයන්ව පොලඹවයි. ලෙඩක් දුකක් නැතුව පාරාදීස පොළොවේ ජීවත් වෙන්න අපිට තියෙන බලාපොරොත්තුව සහ අපිට සහනයක් වෙන බයිබලේ තියෙන තව තොරතුරු මතක් කරලා දෙන්නත් ඔහුට පුළුවන්.—රෝම 15:4.

10. දිගටම අධෛර්යය නොවී ඉන්න ඊසාංට පුළුවන් වුණේ කොහොමද?

10 හදිසි අනතුරක් නිසා නයිජීරියාවේ ඊසාං අංශභාගී රෝගියෙක් වුණා. වෛද්‍යවරයා එයාට කිව්වා ආයේ කවදාවත් ඇවිදින්න බැරි වෙයි කියලා. “ඒ වෙලාවේ මගේ හිතට දැනුණ වේදනාව මට වචනෙන් විස්තර කරන්න බැහැ” කියලා ඊසාං කියනවා. හැබැයි එයා දිගටම අධෛර්යය වෙලා හිටියේ නැහැ. ඒකට එයාට උදව් වුණ දේවල් ගැන එයා කිව්වේ මෙහෙමයි. “මොනම හේතුවක් නිසාවත් මායි මගේ බිරිඳයි යාච්ඤා කරන එකයි බයිබලේ අධ්‍යයනය කරන එකයි අතපහු කළේ නැහැ. ඒ වගේම අනාගතයේ අපි අද්දකින්න යන ආශීර්වාද ගැනත් අපි දැන් අද්දකින ආශීර්වාද ගැනත් අපි දිගටම හිතුවා.”

බරපතළ අසනීපයක් එක්ක පොරබදින අයටත් සේවෙන් සතුටක් ලබන්න පුළුවන් (11-13 ඡේද බලන්න)

11. සතුටින් ඉන්න සින්ඩිට උදව් වුණේ මොනවාද?

11 මෙක්සිකෝවේ ජීවත් වෙන සින්ඩිට මාරාන්තික අසනීපයක් හැදිලා තිබුණා. ඒක දරාගන්න එයාට පුළුවන් වුණේ කොහොමද? ප්‍රතිකාර ලබාගන්න යන හැම දවසකම සාක්ෂි දරන්න එයා අදිටන් කරගත්තා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “එහෙම කරපු එක මට උදව් වුණා මගේ අසනීපය ගැන, මට දැනුණ වේදනාව ගැන, මගේ සැත්කම ගැන හිතනවා වෙනුවට අනිත් අය ගැන හිතන්න. ඩොක්ටර්ස්ලා එක්ක හරි නර්ස්ලා එක්ක හරි කතා කරද්දී මං අහනවා එයාලගේ පවුලේ අය හොඳින්ද කියලා. ඊටපස්සේ මං අහනවා මේ වගේ අමාරු රස්සාවක් එයාලා තෝරගත්තේ ඇයි කියලා. එයාලගේ හිත්වලට කාවදින විෂයන් ගැන කතා කරන්න ඒක මට උදව් වෙනවා. හුඟදෙනෙක් මට කිව්වා ‘අපි හොඳින්ද කියලා අපෙන් ලෙඩ්ඩු කවදාවත් අහලා නෑ, තැන්ක්යූ අපි ගැන හිතුවාට’ කියලා. සමහර අය මට එයාලගේ දුරකථන අංකත් දුන්නා. හැම දෙයක්ම දරාගන්න යෙහෝවා දෙවියන් මට උදව් කරයි කියලා මං දැනන් හිටියා. හැබැයි දිගටම සතුටින් ඉන්න ඔහු මට උදව් කළේ මං හිතුවේවත් නැති විදිහට.”—හිතෝ. 15:15.

12-13. අසනීප අය, මහලු අය දිගටම සේවේ හවුල් වෙලා තියෙන්නේ කොහොමද? එයාලට ලැබුණු ප්‍රතිඵල මොනවාද?

12 අසනීපව ඉන්න අය නැත්නම් මහලු වයසේ ඉන්න අය කැමති තරම් සේවය කරගන්න බැරි වෙන එක ගැන හිතලා අධෛර්යය වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ අතරින් හුඟදෙනෙක් විවිධ ක්‍රමවලින් සාක්ෂි දරලා තියෙනවා. එක්සත් ජනපදයේ හිටිය ලෝරල් අවුරුදු 37ක්ම ජීවත් වුණේ එයාට හුස්මගන්න උදව් වුණ මැෂින් එකක් ඇතුළේ. එයාට පිළිකාවක් හැදුණා. සැත්කම් කීපයක්ම කරන්න වුණා. දරුණු හමේ ලෙඩකුත් හැදුණා. හැබැයි ඒ කිසි දෙයක් නිසාවත් එයා දේශනා කරන එක නැවැත්තුවේ නැහැ. එයාට ප්‍රතිකාර කරන්න එයාගේ ගෙදරට ආව අයට එයා සාක්ෂි දැරුවා. ප්‍රතිඵලයක් විදිහට 17දෙනෙකුට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න උදව් කරන්න එයාට පුළුවන් වුණා. *

13 ප්‍රංශයේ වැඩිමහල්ලෙක් වන රිචඩ් ගෙවල්වලටම නැත්නම් සාත්තු නිවාසවලටම කොටු වෙලා ඉන්න අයට උදව් වෙන යෝජනාවක් ගැන මෙහෙම කියනවා. “ඒ වගේ අයට පුළුවන් අපේ ප්‍රකාශන අනිත් අයට පේන තැනකින් තියන්න. එතකොට ඒවා දකින අය ඒ ගැන ප්‍රශ්න අහන්න පෙලඹෙයි. ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්න බැරි අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට ඒක ලොකු දිරිගැන්වීමක් වෙයි.” ලිපි මාර්ගයෙන් සහ දුරකථනය මාර්ගයෙන් සාක්ෂි දරන්නත් එයාලට පුළුවන්.

ආස කරන පැවරුමක් නොලැබෙද්දී

14. දාවිත් රජගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 සමහරවිට අපේ වයස නිසා, සෞඛ්‍ය ගැටලු නිසා නැත්නම් වෙන හේතුවක් නිසා අපි ආසාවෙන් බලන් හිටපු පැවරුමක් අපිට ලැබෙන එකක් නැහැ. දාවිත් රජටත් එහෙම දෙයක් වුණා. දේවමාලිගාව හදන්න එයාට ලොකු ආසාවක් තිබුණා. හැබැයි දෙවියන් එයාට කිව්වා ඒ දේ කරන්න ඔහු තෝරගෙන තියෙන්නේ එයාව නෙවෙයි කියලා. ඒක දැනගත්තාම දෙවියන් ඒ පැවරුම දීපු කෙනාට දාවිත් එයාගේ උපරිමයෙන් සහයෝගය දුන්නා. එයාට තිබුණ රන්, රිදී සෑහෙන ප්‍රමාණයකුත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කළා.—2 සාමු. 7:12, 13; 1 ලේක. 29:1, 3-5.

15. යුඑග් අධෛර්යය කරවන සිතුවිලිවලින් ගොඩ ආවේ කොහොමද?

15 අසනීප තත්වයක් නිසා ප්‍රංශයේ ජීවත් වෙන යුඑග්ට වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන එක නතර කරන්න වුණා. ගෙදරදී එයාට පුංචිම වැඩක්වත් තනියම කරගන්න බැරි වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මුලදී මං සෑහෙන කලකිරුණා. මගේ කිසිම වටිනාකමක් නැහැ කියලත් මට හිතුණා. ඒත් පස්සේ මං තේරුම්ගත්තා මගේ සීමාවන් තේරුම් අරන් වැඩ කරන එක කොච්චර වැදගත්ද කියලා. ඒ නිසා දැන් මං මට පුළුවන් විදිහට සතුටින් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා. ගිඩියොනුයි එයාත් එක්ක හිටපු තුන්සියදෙනායි වෙහෙසට පත් වෙලා හිටියත් සටන අත්හැරියේ නැහැ වගේ මමත් මගේ සටන කවදාවත් අත්හරින්නේ නැහැ.”—විනි. 8:4.

16. දේවදූතයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 විශ්වාසවන්ත දේවදූතයන්ගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. උදාහරණයක් බලන්න. ආහබ් රජ වෙලා හිටපු කාලෙදී එයාව රවට්ටන්නේ කොහොමද කියලා යෙහෝවා දෙවියන් දේවදූතයන්ගෙන් ඇහුවා. එතකොට එයාලා විවිධ යෝජනා දුන්නා. හැබැයි යෙහෝවා දෙවියන් තෝරගත්තේ එක දේවදූතයෙක් දීපු යෝජනාවක් විතරයි. (1 රාජා. 22:19-22) ඒ නිසා “අපරාදේ මං යෝජනා දෙන්න ගියේ” කියලා හිතලා අනිත් දේවදූතයන් අධෛර්යය වෙන්න ඇද්ද? එහෙම හිතන්න බැහැ නේද? මොකද දේවදූතයන් හරිම නිහතමානියි. එයාලට ඕනෙ කොයි වෙලෙත් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න.—විනි. 13:16-18; එළි. 19:10.

17. අපි ආස පැවරුමක් ලැබුණේ නැත්නම් ඒ ගැන අධෛර්යය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

17 අපිට ලැබිලා තියෙන වටිනාම දේ යෙහෝවා දෙවියන්ගේ සේවකයෙක් වෙන්නත් රාජ්‍යය ගැන දේශනා කරන්නත් ලැබිලා තියෙන අවස්ථාවයි කියලා මතක තියාගමු. අපිට සමහර පැවරුම් ලැබෙන්නත් සමහර පැවරුම් නැති වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි යෙහෝවා දෙවියන් අපිව වටිනා අය විදිහට සලකන්නේ අපිට ලැබෙන පැවරුම් නිසා නෙවෙයි. යෙහෝවා දෙවියනුත් අපේ සහෝදර සහෝදරියනුත් වටිනා අය විදිහට සලකන්නේ නිහතමානීව වැඩ කරන අයව. ඒ නිසා දිගටම නිහතමානීව ඉන්න හැම දවසකම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. නිහතමානීව වැඩ කරපු බයිබල් චරිත ගැන හොඳට හිතන්න. පුළුවන් හැම විදිහකින්ම සහෝදරයන් වෙනුවෙන් සේවය කරන්නත් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න.—ගීතා. 138:6; 1 පේතෘ. 5:5.

සේවේ හොඳ ප්‍රතිඵල නොලැබෙද්දී

18-19. සේවේ හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා හිතෙද්දී වුණත් සතුටින් සේවය කරන්න ඔයාට පුළුවන් කොහොමද?

18 සේවේ හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා නැත්නම් සේවේ යන පැත්තේ මිනිස්සු ගෙවල්වල නැති නිසා ඔයාත් සමහර වෙලාවට අධෛර්යය වෙනවාද? ඒ වගේ වුණාම දිගටම සතුටින් සේවය කරන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන යෝජනා කීපයක් “ සේවේ සතුට වැඩි කරගන්න නම් . . .” කියන කොටුවේ තියෙනවා. අපි කරන සේවය ගැන හරි ආකල්පයක් ඇතුව ඉන්න එකත් හරිම වැදගත්. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

19 අපි දේශනා කරන ප්‍රධානම හේතුව දෙවියන් ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් අනිත් අයට කියන එකයි කියලා මතක තියාගමු. යේසුස් පැහැදිලිවම කිව්වා ජීවනය කරා යන පාරට ඇතුල් වෙන්නේ හරිම ටිකදෙනයි කියලා. (මතෙ. 7:13, 14) අනික අපි සේවේ යද්දී යෙහෝවා දෙවියන්, යේසුස් සහ දේවදූතයන් එක්ක එකට වැඩ කරන වටිනා අවස්ථාව අපිට ලැබෙනවා. (මතෙ. 28:19, 20; 1 කොරි. 3:9; එළි. 14:6, 7) තමන්ට සේවය කරන්න කැමති අයව යෙහෝවා දෙවියන් තමන් වෙතට ඇදගන්නවා. (යොහ. 6:44) ඒ නිසා කෙනෙක් මුල් වතාවේදී අපේ පණිවිඩේට ඇහුම්කන් දෙන්න අකමැති වුණත් ඊළඟ වතාවේ ඇහුම්කන් දෙන්න ඉඩ තියෙනවා.

20. අධෛර්යය කරවන සිතුවිලි එක්ක කරන සටන ජය ගන්න යෙරෙමියා 20:8, 9 උදව් වෙන්නේ කොහොමද?

20 අනාගතවක්තෘ යෙරෙමියාගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එයාට සේවය කරන්න ලැබුණේ හරිම අමාරු ප්‍රදේශයක. ඒ මිනිස්සු “දවස පුරාම” එයාට සමච්චල් කළා. (යෙරෙමියා 20:8, 9 කියවන්න.) ඒ ගැන එයා කොච්චර අධෛර්යය වුණාද කිව්වොත් එයා හිතුවා “ආයේ නම් දේශනා කරන්නේ නැහැ” කියලා. හැබැයි එයා එහෙම කළේ නැහැ. මොකද, ‘යෙහෝවා දෙවිගේ පණිවිඩේ’ ගැන කියන්න එයාගේ හිතේ ඇවිළෙන ගින්නක් වගේ ලොකු උද්‍යෝගයක් තිබුණා. ඒ නිසා ඒ පණිවිඩේ හිතේ තද කරගෙන ඉන්න එයාට බැරි වුණා. අපිත් හැමදාම බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතුවොත් අපිටත් යෙරෙමියා වගේ වෙන්න පුළුවන්. එතකොට සේවයෙන් ලබන සතුට වැඩි කරගන්න අපිට පුළුවන් වෙයි. අපේ පණිවිඩේට ඇහුම්කන් දෙන්නත් මිනිස්සු පෙලඹෙයි.—යෙරෙ. 15:16.

21. අපි කරන සටන ජය ගන්න අපිට පුළුවන් කොහොමද?

21 කලින් සඳහන් කරපු ඩෙබෝරා කියනවා “සාතන් අධෛර්යය කරවන සිතුවිලි බලවත් ආයුධයක් විදිහට අපිට විරුද්ධව පාවිච්චි කරනවා” කියලා. හැබැයි සාතන් ළඟ තියෙන කිසිම ආයුධයක් යෙහෝවා දෙවියන්ට වඩා බලවත් නැහැ. මොනම හේතුවක් නිසා ඔයා අධෛර්යය වුණත් ලොකු වුවමනාවකින් යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ඔයාගේ අඩුපාඩු හදාගන්න, ඔයාගේ අසනීප දරාගන්න, පැවරුම් ගැන හරි විදිහට හිතන්න, සේවේ ගැන හරි ආකල්පයක් ඇතුව ඉන්න ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි. ඔයාගේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන්ට ඔයාගේ හිතේ තියෙන හැම දෙයක් ගැනම කියන්න. ඔහුගේ උදව්වෙන් අධෛර්යය කරවන සිතුවිලි එක්ක ඔයා කරන සටන දිනන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි.

ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව

^ 5 ඡේ. අපි හැමෝම සමහර වෙලාවට අධෛර්යය වෙනවා. අධෛර්යය කරවන සිතුවිලිවලින් ජය ගන්න උදව් වෙන දේවල් කීපයක් ගැන අපි මේ ලිපියෙන් බලමු. අධෛර්යය කරවන සිතුවිලි එක්ක අපි කරන සටන යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් ජය ගන්න පුළුවන් කියලා තේරුම්ගන්නත් මේ ලිපිය අපිට උදව් වෙයි.

^ 4 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 12 ඡේ. ලෝරල් නිස්බට්ගේ අද්දැකීම 1993 මැයි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ සඳහන් වුණා.

^ 69 ඡේ. පින්තූරයේ අදහස: අධෛර්යය වෙලා හිටිය සහෝදරියක් අතීතයේ එයා යෙහෝවා දෙවියන් වෙනුවෙන් කරපු දේවල් මතක් කරගෙන යාච්ඤා කරනවා. එයා කලින් කරපු දේවලුත් දැන් කරන දේවලුත් යෙහෝවා දෙවියන් අමතක කරන්නේ නැහැ කියලා එයාට ස්ථිරයි.