Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 13

සහෝදර සහෝදරියන්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න

සහෝදර සහෝදරියන්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න

“ඔබ හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.”—1 පේතෘ. 1:22.

ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

මේ ලිපියෙන් *

අන්තිම රාත්‍රියේදී යේසුස් ඔහුගේ නියෝජිතයන් එක්ක කතා කළේ එකිනෙකාට ආදරේ කරන එක ගැනයි (1 සහ 2 ඡේද බලන්න)

1. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන්න ආඥාව මොකක්ද? (කවරයේ පින්තූරය බලන්න.)

යේසුස් මිය යන්න කලින් ඔහුගේ අනුගාමිකයන්ට මේ ආඥාව දුන්නා. “මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.” ඊටපස්සේ ඔහු කිව්වා “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා.—යොහ. 13:34, 35.

2. එකිනෙකාට ආදරේ කරන එක වැදගත් ඇයි?

2 යේසුස් කිව්වේ ඔහු පෙන්නුවා වගේ ආදරයක් ඔහුගේ අනුගාමිකයන් එකිනෙකාට පෙන්නනවා නම් විතරයි එයාලා සැබෑ ක්‍රිස්තියානීන් කියලා අනිත් අයට හඳුනගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක මුල් සියවසට වගේම අදටත් අදාළයි. මොන තරම් අමාරු වුණත් එකිනෙකාට ආදරේ කරන එක වැදගත් වෙන්නේ ඒ නිසයි.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද?

3 අපි හැමෝම අතින් අඩුපාඩුකම් වෙන නිසා අනිත් අයට හද පත්ලෙන්ම ආදරේ කරන එක ලේසි නැහැ. ඒත් යේසුස්ව ආදර්ශයට ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ප්‍රශ්න ඇති වෙද්දී සාමය ඇති කරගන්න, හැමෝටම එක විදිහට සලකන්න සහ ආගන්තුක සත්කාරය පෙන්නන්න ආදරේ අපිට උදව් වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. මේ ලිපිය අධ්‍යයනය කරද්දී ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘අමාරු වුණත් දිගටම එකිනෙකාට ආදරේ කරපු සහෝදර සහෝදරියන්ගෙන් මට ඉගෙනගන්න පුළුවන් මොනවාද?’

සාමය ඇති කරන කෙනෙක් වෙන්න

4. මතෙව් 5:23, 24 අනුව අපිත් එක්ක අමනාපයෙන් ඉන්න කෙනෙක් එක්ක අපි සාමය ඇති කරගන්න ඕනෙ ඇයි?

4 අපි එක්ක අමනාපයෙන් ඉන්න සහෝදරයෙක් එක්ක සාමය ඇති කරගන්න එක කොච්චර වැදගත්ද කියලා යේසුස් කියලා දුන්නා. (මතෙව් 5:23, 24 කියවන්න.) ඔහු කිව්වේ සහෝදරයන් ගැන අපේ හිතේ කහටක් තියෙනවා නම් දෙවියන්ව සතුටු කරන්න අපිට බැහැ කියලයි. ඒ නිසා සාමය ඇති කරන්න අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරන්න ඕනේ. අපි දිගටම අමනාපය හිතේ තියාගෙන සාමය ඇති කරන්න පොඩි උත්සාහයක්වත් ගන්නේ නැත්නම් යෙහෝවා දෙවියන් අපේ නමස්කාරය පිළිගන්නේ නැහැ.—1 යොහ. 4:20.

5. එක සහෝදරයෙක්ට සාමය ඇති කරගන්න අමාරු වුණේ ඇයි?

5 කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම සාමය ඇති කරගන්න එක අපිට අමාරු වෙන්න පුළුවන්. ඒ ඇයි? මාක්ට * වුණ දේ බලන්න. සහෝදරයෙක් මාක්ගේ වැරදි සභාවේ අයත් එක්ක කතා කරලා කියලා දැනගත්තාම මාක්ගේ හිත රිදුණා. එයා මොකද කළේ? “ඒ වෙලාවේ මට හොඳටම කේන්ති ගියා. ඒ නිසා මං එයාට බැන්නා” කියලා මාක් කියනවා. ඒත් පස්සේ මාක් ඒ ගැන දුක් වුණා. එයා ඒ සහෝදරයාව හම්බ වෙලා සමාව ඉල්ලුවත් ඒ සහෝදරයා සමාව දෙන්න කැමති වුණේ නැහැ. ඉතිං මාක් හිතුවා “එයාට ඕනෙ නැත්නම් මං මොකටද පස්සෙන් යන්නේ” කියලා. ඒත් ප්‍රශ්නේ විසඳගන්න දිගටම උත්සාහ කරන්න කියලා චාරිකා සේවක මාක්ට කිව්වා.

6. (අ) සාමය ඇති කරන්න මාක් දිගටම උත්සාහ කළේ කොහොමද? (ආ) කොලොස්සි 3:13, 14 කියන දේ මාක් අදාළ කරගන්නේ කොහොමද?

6 තමන් හිතපු විදිහ හරිද කියලා මාක් කල්පනා කළා. එතකොට එයාට තේරුණා සමහර වෙලාවට එයා එයා ගැනම ඕනෑවට වඩා හිතනවා කියලා. ඒක වෙනස් කරගන්න ඕනෙ කියලා මාක් හිතුවා. (කොලො. 3:8, 9, 12) එයා ඒ සහෝදරයාව හම්බ වෙලා එයාගෙන් ආයෙත් සමාව ඉල්ලුවා. සමාවෙන්න කියලත් හැම දේම අමතක කරලා ආයෙත් යාළුවෝ වගේ ඉමු කියලත් සඳහන් කරලා මාක් එයාට ලියුම් ලිව්වා. ඒ සහෝදරයා කැමති වෙයි කියලා හිතපු පොඩි තෑගිත් මාක් එයාට දුන්නා. ඒ මොනවා කළත් ඒ සහෝදරයා මාක් එක්ක තරහෙන් හිටියා. ඒත් තමන්ගේ සහෝදරයාට ආදරේ කරන්න කියලත් සමාව දෙන්න කියලත් යේසුස් දුන්න ආඥාවට මාක් දිගටම කීකරු වුණා. (කොලොස්සි 3:13, 14 කියවන්න.) සාමය ඇති කරන්න අපි කොයි තරම් උත්සාහ කළත් අනිත් කෙනාට සාමය ඇති කරගන්න ඒ තරම් වුවමනාවක් නැති වෙන්න පුළුවන්. ඒත් අපි යේසුස් වගේ අනිත් අයට ආදරේ කරනවා නම් අපි දිගටම එයාලට සමාව දෙනවා. ඒ වගේම ප්‍රශ්නේ විසඳගන්න උදව් කරන්න කියලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා.—මතෙ. 18:21, 22; ගලා. 6:9.

කෙනෙක් අපිත් එක්ක අමනාපයෙන් ඉන්නවා නම් එයාත් එක්ක සාමය ඇති කරගන්න අපිට හුඟක් දේවල් කරන්න වෙයි (7 සහ 8 ඡේද බලන්න) *

7. (අ) යේසුස් අපිට කරන්න කිව්වේ මොකක්ද? (ආ) සහෝදරියක් මුහුණ දුන්නේ මොන අමාරු තත්වයටද?

7 අපිට අනිත් අය සලකනවාට අපි කැමති විදිහටම අපි අනිත් අයටත් සලකන්න ඕනෙ කියලා යේසුස් කිව්වා. අපිට ආදරේ කරන අයට විතරක් අපි ආදරේ කරනවා නම් ඒකේ විශේෂත්වයක් නැහැ කියලත් ඔහු කිව්වා. (ලූක් 6:31-33) මේක සාමාන්‍යයෙන් වෙන දෙයක් නොවුණත් හිතන්න, සභාවේ කෙනෙක් ඔයාත් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ, ඔයාව දැක්කාම මඟහරිනවා කියලා. සහෝදරි ලාරා ඒ වගේ දේකට මුහුණ දුන්නා. එයා මෙහෙම කියනවා. “එක සහෝදරියක් මාව දැක්කාම අහක බලාගෙන යනවා. ඒක මගේ හිතට වධයක් වුණා. මට රැස්වීම් යන්න හිතුණෙත් නැහැ.” මුලදී ලාරා හිතුවේ මෙහෙමයි. “මං එයාට මුකුත් කළේ නෑනේ. ඒක එයාගේ ප්‍රශ්නයක්. අනික, සභාවේ ඉන්න අනිත් අයත් දන්නවා එයා ටිකක් අමුතුයි කියලා.”

8. සාමය ඇති කරගන්න ලාරා මොනවාද කළේ? ලාරාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 ලාරා ඒ ප්‍රශ්නේ ගැන යෙහෝවා දෙවියන්ට කිව්වා. ඊටපස්සේ එයා හිතුවා ඒ සහෝදරියව හම්බ වෙලා එයාත් එක්ක කතා කරන්න ඕනෙ කියලා. ඒ දෙන්නා ප්‍රශ්නේ ගැන කතා කරලා, එකිනෙකාව වැලඳගෙන සමාදාන වුණා. ප්‍රශ්නේ විසඳුණා වගෙයි පෙනුණේ. ඒත් “ආයෙත් ඒ සහෝදරිය කලින් වගේම මාව මඟහරින්න පටන්ගත්තා. ඒකෙන් මං ගොඩක් අධෛර්යය වුණා” කියලා ලාරා කියනවා. එයා හිතුවේ ඒ සහෝදරිය වෙනස් වුණොත් විතරයි තමන්ට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කියලා. ඒත් පස්සේ ලාරා තේරුම්ගත්තා එයාට කරන්න පුළුවන් හොඳම දේ ඒ සහෝදරියට දිගටම ආදරෙන් සලකලා එයාට “කැමැත්තෙන්ම සමාව දෙන” එකයි කියලා. (එෆී. 4:32–5:2) යේසුස් වගේ අනිත් අයට ආදරේ කරන කෙනෙක් “අමනාපයක් සිතේ තබාගන්නේ නැහැ. සියල්ල ඉවසා දරාගන්නවා. සියල්ල විශ්වාස කරනවා. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. සියල්ල විඳදරාගන්නවා” කියලා බයිබලේ සඳහන් දේ ලාරා මතක් කරගත්තා. (1 කොරි. 13:5, 7) ඊටපස්සේ ලාරා ඒ ප්‍රශ්නේ ගැන තවත් හිතලා කරදර වුණේ නැහැ. කාලයක් ගියාම ඒ සහෝදරිය ලාරා එක්ක ටිකක් මිත්‍රශීලී වුණා. ඔයාත් ඔයාගේ සහෝදර සහෝදරියන්ට දිගටම ආදරෙන් සලකලා එයාලා එක්ක සාමය ඇති කරගන්න වෑයම් කරද්දී ‘ප්‍රේමයද සමාදානයද ලබා දෙන දෙවි ඔයා එක්ක ඉන්නවා’ කියලා ඔයාට ස්ථිර වෙන්න පුළුවන්.—2 කොරි. 13:11.

හැමෝටම එක වගේ සලකන්න

9. ක්‍රියා 10:34, 35 අනුව හැමෝටම අපි එක හා සමානව සලකන්න ඕනෙ ඇයි?

9 යෙහෝවා දෙවියන් හැමෝටම එක හා සමානව සලකන දෙවි කෙනෙක්. (ක්‍රියා 10:34, 35 කියවන්න.) අපිත් හැමෝටම එක වගේ සලකනවා නම් ඒකෙන් ඔප්පු වෙනවා අපි ඔහුගේ දරුවන් කියලා. අපිට වගේම අපේ අසල්වැසියන්ට ආදරේ කරන්න කියන ආඥාවටත් අපි කීකරු වෙනවා. සහෝදර සහෝදරියන් අතරේ තියෙන සාමය රැකගන්න දායක වෙන්නත් අපිට පුළුවන්.—රෝම 12:9, 10; යාකො. 2:8, 9.

10-11. සහෝදරියක් එයා හිතපු විදිහ වෙනස් කරගත්තේ කොහොමද?

10 හැමෝටම එක වගේ සලකන එක අමාරු වෙන අවස්ථා තියෙනවා. රූත්ගේ අද්දැකීම බලන්න. යෞවන වයසේ ඉද්දී වෙනත් රටකින් ආපු කෙනෙක් රූත්ගේ පවුලේ අයට ගොඩක් නරක විදිහට සලකලා තිබුණා. ඒක රූත්ට බලපෑවේ කොහොමද? රූත් මෙහෙම කියනවා. “ඒ රට මට පේන්න බැරි වුණා. එහේ හැමෝම, අපේ සහෝදර සහෝදරියන් වුණත් නරක අය කියලයි මට හිතුණේ.”

11 ඒත් ඒ අය ගැන එයාට හැඟෙන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා රූත්ට තේරුණා. එයා මොකද කළේ? ඒ රට ගැන ‘වාර්ෂික පොතේ’ තිබුණ වාර්තා, අද්දැකීම් එයා කියෙව්වා. එයා මෙහෙම කියනවා. “ඒ රටේ අය ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න මං උත්සාහ කළා. එහේ සහෝදර සහෝදරියන් සේවය කරන්නේ ලොකු උද්‍යෝගයකින් කියලා වාර්තා කියවද්දී මං දැක්කා. එයාලත් ලෝකේ පුරාම ඉන්න අපේ පවුලේ සාමාජිකයන් කියලා මට තේරුණා.” කාලයක් යද්දී රූත් තේරුම්ගත්තා ඒ සහෝදරයන් ගැන එයාගේ හිතේ ආදරයක් ඇති කරගෙන විතරක් මදි ඒ ආදරේ ක්‍රියාවෙන් පෙන්නන්න ඕනෙ කියලා. ඒ ගැන රූත් කිව්වේ මෙහෙමයි. “මට ඒ රටේ සහෝදරයෙක්ව හරි සහෝදරියක්ව හරි හම්බ වුණාම මං එයාලා ළඟට ගිහින් කතා කළා. මං එයාලව හොඳින් අඳුරගන්න උත්සාහ කළා.” මොකක්ද ප්‍රතිඵලය? “කාලයත් එක්කම මට ඒ රටේ අය ගැන දැනුණ වෛරය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා” කියලා රූත් කියනවා.

අපි අපේ “සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරනවා” නම් හැමෝටම එක හා සමානව සලකනවා (12 සහ 13 ඡේද බලන්න) *

12. සාරාට තිබුණ ප්‍රශ්නේ මොකක්ද?

12 සමහරු යම් පැතිවලින් අනිත් අයව ටිකක් පහත් කරලා සැලකුවත් එයාලා එහෙම කරනවා කියලා එයාලට තේරෙන්නේ නැහැ. සාරාට ඒ ප්‍රශ්නේ තිබුණා. එයා සභාවේ ඉන්න අයගේ ජාතිය, වත්පොහොසත්කම්, සභාවේ දරපු වගකීම් දිහා බලලා එයාලට වෙනස් විදිහට සැලකුවේ නැහැ. ඒ නිසා සාරා හිතුවේ එයා හැමෝටම එක වගේ සලකනවා කියලා. ඒත් එයා මෙහෙම කියනවා. “ඇත්තටම මං හැමෝටම එක වගේ සලකන්නේ නැහැ කියලා මට තේරුණා.” හැමෝටම එයා එක වගේ සැලකුවේ නැහැ කියන්නේ ඇයි? සාරායි, එයාගේ පවුලේ අයයි හොඳට ඉගෙනගත්ත අය. ඒ නිසා එයා වැඩිපුර ආශ්‍රය කරන්න කැමති වුණේ උගත් අයව. දවසක් සාරා එයාගේ යාළුවෙක්ට මෙහෙම කිව්වා. “සභාවේ මං ආශ්‍රය කරන්න කැමති උගත් අය එක්ක. අනිත් අයව මං වැඩිය ආශ්‍රය කරන්නේ නැහැ.”

13. සාරා වෙනස්කම් කරගත්ත විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 සාරා හිතපු විදිහ හරිද කියලා කල්පනා කරලා බලන්න චාරිකා සේවක එයාට උදව් කළා. සාරා මෙහෙම කියනවා. “මං විශ්වාසවන්තව කරන සේවය, මං රැස්වීමේදී දෙන අදහස්, මට බයිබලේ ගැන තියෙන දැනුම එයා අගය කළා. ඊටපස්සේ එයා කිව්වා අපේ දැනුම වැඩි වෙද්දී නිහතමානිකම, අනුකම්පාව වගේ ගුණාංග අපි වර්ධනය කරගන්න ඕනෙ කියලා.” චාරිකා සේවක දුන්න උපදෙස සාරා හිතට ගත්තා. එයා මෙහෙම කියනවා. “මට තේරුණා වැඩියෙන්ම වටින්නේ අපි අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකන එකයි කියලා. මං උත්සාහ කළා සහෝදරයන්ව යෙහෝවා දෙවියන්ට වටින්නේ එයාලට තියෙන මොන ගුණාංග නිසාද කියලා තේරුම්ගන්න.” ඒකේ ප්‍රතිඵලයක් විදිහට සහෝදරයන් ගැන එයා හිතපු විදිහ වෙනස් කරගන්න සාරාට පුළුවන් වුණා. අපි කොච්චර හොඳට ඉගෙනගෙන තිබුණත් අනිත් අයව පහත් කරලා සලකන්න හොඳ නැහැ. අපේ “සහෝදරයන් වන සියලුදෙනාටම අපි ප්‍රේම කරනවා” නම් හැමෝටම අපි එක හා සමානව සලකනවා.—1 පේතෘ. 2:17.

ආගන්තුක සත්කාරය පෙන්නන්න

14. හෙබ්‍රෙව් 13:16 අනුව අපි අනිත් අයට ආගන්තුක සත්කාරය පෙන්නද්දී යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

14 අපි අනිත් අයට ආගන්තුක සත්කාරය පෙන්නද්දී ඒ ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා. (හෙබ්‍රෙව් 13:16 කියවන්න.) විශේෂයෙන්ම අගහිඟකම්වලින් පෙළෙන අයට අපි උදව් කරයි කියලා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ඒක අපේ නමස්කාරයට අයිති දෙයක්. (යාකො. 1:27; 2:14-17) ඒ නිසයි බයිබලේ අපිට උනන්දු කරන්නේ “නිතරම ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න” කියලා. (රෝම 12:13) අපි ආගන්තුක සත්කාරය පෙන්නද්දී ඒක ලබන කෙනාට අපේ සැලකිල්ල, ආදරේ දැනෙනවා. අපි එයාගේ යාළුවෙක් වෙන්න කැමතියි කියලා පැහැදිලි වෙනවා. සමහරවිට ඔයාට තව කෙනෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් තේ එකක් නැත්නම් කෑම වේලක් වෙන්න ඇති. එහෙම නැත්නම් ඔයාගේ වටිනා කාලය වෙන්න ඇති. ඔයා ඒ මොන දේ දුන්නත් යෙහෝවා දෙවියන් ඒ ගැන සතුටු වෙනවා. (1 පේතෘ. 4:8-10) ඒත් සමහර හේතු නිසා ආගන්තුක සත්කාරය පෙන්නන්න අපි අදිමදි කරන්න පුළුවන්.

“ආගන්තුක සත්කාරය පෙන්නන්න ඉස්සර මං අදිමදි කළා. ඒත් මං වෙනස් වුණ නිසා දැන් මං ලොකු සතුටක් අද්දකිනවා” (16 ඡේදය බලන්න) *

15-16. (අ) ආගන්තුක සත්කාරය පෙන්නන්න සමහරු අදිමදි කරන්නේ ඇයි? (ආ) ඊවා ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?

15 දැන් අපි ඉන්න තත්වය, අපේ පසුබිම, අපි කරන්න පුරුදු වෙලා ඉන්න දේවල් නිසා ආගන්තුක සත්කාරය පෙන්නන්න අපි අදිමදි කරන්න පුළුවන්. ඊවාගේ අද්දැකීම බලන්න. එයා වැන්දඹුවක්. සාක්ෂිකරුවෙක් වෙන්න කලින් අනිත් අයව ආශ්‍රය කරන්න එයා එච්චර කැමති නැහැ. එයා හිතුවේ ආගන්තුක සත්කාරය පෙන්නන්න එයාට වඩා හොඳට අනිත් අයට පුළුවන් කියලයි.

16 ඒත් සාක්ෂිකරුවෙක් වුණාට පස්සේ එයා හිතපු ඒ විදිහ වෙනස් කරගත්තා. එයා මෙහෙම කියනවා. “අපේ අලුත් නමස්කාර මධ්‍යස්ථානය හදන්න පටන්ගත්ත කාලේ වැඩිමහල්ලෙක් ඇවිත් මගෙන් ඇහුවා ඒ වැඩවලට උදව් කරන්න එන යුවළකට සති දෙකකට මගේ ගෙදර නවාතැන් දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ මට මතක් වුණේ සාරෆෙත් නගරේ හිටපු වැන්දඹුවට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරපු විදිහයි.” (1 රාජා. 17:12-16) ඊවා ඒ යුවළට නවාතැන් දෙන්න කැමති වුණා. ඒකෙන් එයාට ආශීර්වාද ලැබුණාද? ඊවා මෙහෙම කියනවා. “එයාලා මාස දෙකක්ම අපේ ගෙදර හිටියා. ඒ කාලේදී අපි ගොඩක් ළං වුණා.” ඊවාට දැන් සභාවෙත් හොඳ යාළුවන් ඉන්නවා. එයා දැන් පුරෝගාමි සේවය කරනවා. සේවයේ ගිහින් ඉවර වුණාම එයාත් එක්ක සේවයේ යන අයට එයා තේ එකක් බොන්න ගෙදරට එන්න කියනවා. “අනිත් අයට දේවල් දෙද්දී ඒක මට ලොකු සතුටක්. ඇත්තටම එහෙම කරන එකෙන් ආශීර්වාද ලැබෙන්නේ මටයි” කියලා ඊවා කියනවා.—හෙබ්‍රෙ. 13:1, 2.

17. ලූක් සහ එයාගේ බිරිඳ තේරුම්ගත්තේ මොකක්ද?

17 අපි දැනටමත් ආගන්තුක සත්කාරය පෙන්නනවා ඇති. ඒත් අපිට තව දියුණු වෙන්න පුළුවන් පැති තියෙනවාද? මේ අද්දැකීම බලන්න. ලූක් සහ එයාගේ බිරිඳ ආගන්තුක සත්කාරය පෙන්නපු යුවළක්. එයාලා නිතරම වගේ එයාලගේ දෙමාපියන්ට, නෑදෑයන්ට, කිට්ටු යාළුවන්ට සහ චාරිකා යුවළට එයාලගේ ගෙදරට ආරාධනා කළා. ලූක් මෙහෙම කියනවා. “අපිට තේරුණා අපි ආගන්තුක සත්කාරය පෙන්නන්නේ අපිට කිට්ටු අයට විතරයි කියලා.” එයාලා මොකද කළේ?

18. ලූක් සහ එයාගේ බිරිඳ ආගන්තුක සත්කාරය පෙන්නන එක දියුණු කරගත්තේ කොහොමද?

18 “ඔබට ප්‍රේම කරන අයට පමණක් ඔබ ප්‍රේම කරනවා නම් එයින් ඇති පලය කුමක්ද” කියලා යේසුස් කියපු වචන ගැන හොඳට හිතුවාට පස්සේ ලූක්ටයි, එයාගේ බිරිඳටයි තේරුණා එයාලා වෙනස් වෙන්න ඕනෙ කියලා. (මතෙ. 5:45-47) යෙහෝවා දෙවියන් ත්‍යාගශීලීව දේවල් දෙන්නේ එක පිරිසකට විතරක් නෙමෙයි හැමෝටම. එයාලත් ඒ දේම කරන්න තීරණය කළා. ඒ නිසා කලින් එයාලගේ ගෙදරට ආරාධනා කරලා නැති සහෝදර සහෝදරියන්ට එයාලා ආරාධනා කළා. ලූක් මෙහෙම කියනවා. “ඒ අවස්ථාවලදී අපි ගොඩක් සතුටු වුණා. අපි එකිනෙකාට විතරක් නෙමෙයි යෙහෝවා දෙවියන්ටත් ගොඩක් ළං වුණා.”

19. අපි යේසුස්ගේ අනුගාමිකයන් කියලා පෙන්නන්නේ කොහොමද? ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

19 ප්‍රශ්න ඇති වෙද්දී සාමය ඇති කරගන්න, හැමෝටම එක විදිහට සලකන්න සහ ආගන්තුක සත්කාරය පෙන්නන්න ආදරේ අපිට උදව් වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බැලුවා. ආදරේ පෙන්නන්න බාධා වෙන හැඟීම් පරාජය කරලා අපි හද පත්ලෙන්ම අපේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න අදිටන් කරගමු. එහෙම කරද්දී අපිට සතුටින් ඉන්න පුළුවන් වෙනවා වගේම අපි යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කියලත් ඔප්පු වෙනවා.—යොහ. 13:17, 35.

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

^ 5 ඡේ. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්න පුළුවන් වෙන්නේ එයාලා එකිනෙකාට පෙන්නන ආදරෙන් කියලා යේසුස් කිව්වා. සාමය ඇති කරගන්න, හැමෝටම එක විදිහට සලකන්න සහ ආගන්තුක සත්කාරය පෙන්නන්න අපේ සහෝදර සහෝදරියන් ගැන අපිට තියෙන ආදරේ අපිව පොලඹවනවා. ඒත් එහෙම කරන එක හැම වෙලේම ලේසි නැහැ. අපේ සහෝදර සහෝදරියන්ට දිගටම හද පත්ලෙන්ම ආදරේ කරන්න අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන මේ ලිපියේ කතා කරනවා.

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 57 ඡේ. පින්තූරවල අදහස: සහෝදරියක් අමනාපයෙන් ඉන්න කෙනෙක් එක්ක සාමය ඇති කරගන්න උත්සාහ කරනවා. මුලින් ඒක සාර්ථක වුණේ නැතත් එයා උත්සාහය අත්හරින්නේ නැහැ. එයා දිගටම ආදරේ පෙන්නපු නිසා සාමය ඇති කරගන්න පුළුවන් වෙනවා.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: සභාවේ ඉන්න අය එයාව එච්චර ගණන් ගන්නේ නැහැ කියලා වයසක සහෝදරයෙකුට හැඟෙනවා.

^ 61 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරියක් ආගන්තුක සත්කාරය පෙන්නන්න මුලින් ටිකක් අදිමදි කළත් පස්සේ එයා වෙනස් වෙනවා. ඒ නිසා එයා ලොකු සතුටක් අද්දකිනවා.