Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 33

යෙහෝවා දෙවියන් අපිව ඇස් දෙක වගේ බලාගන්නවා

යෙහෝවා දෙවියන් අපිව ඇස් දෙක වගේ බලාගන්නවා

“යෙහෝවා දෙවිගේ ඇස් ඔහුට ගරුබිය ඇති අය දෙසට යොමු වී තිබේ.”—ගීතා. 33:18.

ගීතිකාව 4 “යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

මේ ලිපියෙන් *

1. ගෝලයන්ව ආරක්ෂා කරන්න කියලා යේසුස් දෙවියන්ගෙන් ඉල්ලුවේ ඇයි?

 මැරෙන්න කලින් දා රෑ යේසුස් ඔහුගේ තාත්තාගෙන් හරිම විශේෂ ඉල්ලීමක් කළා. ඒ ඔහුගේ ගෝලයන්ව ආරක්ෂා කරන්න කියලා. (යොහ. 17:15, 20) ඒත් දෙවියන් ඔහුගේ සෙනඟව කවදත් ආරක්ෂා කළා. එහෙමනම් ඇයි යේසුස් ඒ වගේ ඉල්ලීමක් කළේ? යේසුස් දැනන් හිටියා සාතන් කලින්ටත් වඩා දරුණු විදිහට ගෝලයන්ට පීඩා කරනවා කියලා. එයාලගේ තනි හයියෙන් ඒ පීඩාවලට මුහුණ දෙන්න බැහැ කියලා යේසුස් තේරුම් අරන් හිටියා.

2. පීඩා ප්‍රශ්න එද්දී අපි බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි? (ගීතාවලිය 33:18-20)

2 අද අපිට හුඟක් ප්‍රශ්න තියෙනවා. එක පිට එක පීඩා එද්දී අපි අධෛර්යය වෙනවා. අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන දේවලුත් වෙනවා. හැබැයි අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද ‘යෙහෝවා දෙවිගේ ඇස් ඔහුට ගරුබිය ඇති අය දෙසට යොමු වෙලා තියෙන්නේ.’ (ගීතාවලිය 33:18-20 කියවන්න.) ඔහු අපිව ඇස් දෙක වගේ බලාගන්නවා. මොහොතකටවත් ඔහුගේ ඇස් අපෙන් අහකට ගන්නේ නැහැ. ඒ නිසා අපේ දුකේදී අපිට අත දෙන්න ඔහුට පුළුවන්. ඒක තේරුම්ගන්න දෙවියන් ඔහුගේ සේවකයන්ට උදව් කරපු අවස්ථා දෙකක් ගැන අපි බලමු.

තනිකමක් දැනෙද්දී

3. අපිට තනිකමක් දැනෙන්න පුළුවන් මොන වගේ වෙලාවටද?

3 අපි කොච්චර සහෝදර සහෝදරියන්ගෙන් වට වෙලා හිටියත් සමහර වෙලාවට අපිට ලොකු පාළුවක්, තනිකමක් දැනෙනවා. උදාහරණෙකට අපේ දුවලා, පුතාලාට එයාලගේ විශ්වාසයන් ගැන ඉස්කෝලේ යාළුවන්ට කියන්න වෙද්දී නැත්නම් අලුත් සභාවකට මාරු වෙද්දී ලොකු තනිකමක් දැනෙන්න පුළුවන්. තවත් අය ‘මං වටින්නේ නෑ, මගෙන් කිසි වැඩක් නෑ’ කියලා හිතලා ගොඩක් දුක් වෙනවා. ඒ වගේ අය එයාලගේ දුක හිතේ හිර කරගෙන තනියම ඒකත් එක්ක සටන් කරනවා. එයාලා හිතනවා ‘කාටවත් ඒ දුක තේරෙන්නේ නෑ, අනිත් අයට ඒ ගැන ගාණක් නෑ’ කියලා. ඔයාත් ඉන්නේ ඒ වගේ තත්වෙකද? එහෙමනම් තනිකමට ඔයාව තනි කරන්න ඉඩ දෙන්න එපා. ඒක හරිම භයානකයි. මොකද එහෙම වුණොත් ඔයාට ලොකු අසරණකමක්, පීඩනයක් දැනෙයි. අපි ඒ වගේ තත්වෙකට ඇදන් වැටෙනවාට යෙහෝවා දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. කොහොමද අපි ඒක හරියටම දන්නේ?

4. “බේරුණේ මම විතරයි” කියලා එලියා කිව්වේ ඇයි?

4 අපි දැන් එලියා ගැන ටිකක් බලමු. යෙසබෙල් රැජිණ එලියාව මරනවා කියලා දිවුරලා තිබුණා. ඉතින් ජීවිතේ බේරගන්න එලියා දවස් 40ක් තිස්සේ තැනින් තැනට පලා ගියා. (1 රාජා. 19:1-9) අන්තිමේදී එයා නතර වුණේ ගුහාවක. හුඟක් අසරණ වෙලා හිටපු එලියා එතනදී යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා කිව්වා අනාගතවක්තෘවරුන්ගෙන් “බේරුණේ මම විතරයි” කියලා. (1 රාජා. 19:10) ඒත් ඒ වෙද්දී තව හුඟක් අනාගතවක්තෘවරු හිටියා. මොකද අනාගතවක්තෘවරු 100දෙනෙක්ව ඔබදියා යෙසබෙල්ගෙන් ආරක්ෂා කළා. (1 රාජා. 18:7, 13) එහෙමනම් ඇයි එලියා එහෙම කිව්වේ? ඒ බේරගත්ත අනාගතවක්තෘවරුන්වත් යෙසබෙල් මරලා දාන්න ඇති කියලා හිතපු නිසාද? නැත්නම් කර්මෙල් කන්දේදී යෙහෝවා සැබෑ දෙවියන් කියලා ඔප්පු වෙලත් කිසි කෙනෙක් ඔහුට නමස්කාර කරන්න තීරණය කළේ නැති නිසාද? එහෙමත් නැත්නම් එයා ඉන්න තත්වේ කාටවත්ම තේරෙන්නේ නැහැ, කාටවත් ඒ ගැන කිසි ගාණක් නැහැ කියලා හිතපු නිසාද? ඒ ගැන බයිබලේ මොකුත් කියලා නැහැ. හැබැයි එලියාට හැඟුණු විදිහ කාට තේරුණේ නැතත් යෙහෝවා දෙවියන්ට තේරුණා. ඒ වගේම එලියාට උදව් කරන්න ඕනෙ හොඳම විදිහ මොකක්ද කියලත් ඔහු දැනගෙන හිටියා.

ඔයාට තනිකමක් දැනෙද්දී යෙහෝවා දෙවියන් එලියාට උදව් කරපු විදිහ ගැන හිතන එක ඔයාට සහනයක් වෙන්නේ කොහොමද? (5 සහ 6 ඡේද බලන්න)

5. යෙහෝවා දෙවියන් එලියාව සැනසුවේ කොහොමද?

5 දෙවියන් එලියාට හුඟක් විදිවලින් උදව් කළා. මුලින්ම හැඟෙන විදිහ හිතේ හැටියට කියන්න එලියාට අවස්ථාව දුන්නා. ඔහු දෙපාරක්ම ඇහුවා “එලියා, ඔබ මෙතැනට ආවේ ඇයි” කියලා. (1 රාජා. 19:9, 13) ඒ හැම වතාවකදීම එලියා කතා කරද්දී දෙවියන් ඉවසීමෙන් අහගෙන හිටියා. ඊටපස්සේ තමන්ගේ බලය පෙන්නලා මේ විශ්වයේ ඉන්න බලවත්ම කෙනා එලියාත් එක්ක ඉන්නවා කියලා මතක් කරලා දුන්නා. ඒ වගේම බාල්ට දණ නමපු නැති තව හුඟදෙනෙක් තාමත් ඉතුරු වෙලා ඉන්නවා කියලත් කිව්වා. (1 රාජා. 19:11, 12, 18) ඒකෙන් පස්සේ එලියාගේ හිතට කොයි තරම් නිදහසක් දැනෙන්න ඇද්ද! ඊළඟට දෙවියන් එලියාට විශේෂ පැවරුම් කීපයකුත් දුන්නා. හසායෙල්ව සිරියාවේ රජ විදිහට පත් කරන්න කියලත් යේහුව ඊශ්‍රායෙලයේ රජ විදිහට පත් කරන්න කියලත් එලිෂාව අනාගතවක්තෘවරයෙක් විදිහට පත් කරන්න කියලත් ඔහු එලියාට කිව්වා. (1 රාජා. 19:15, 16) ඒ පැවරුම් නිසා ප්‍රශ්න මත්තෙම ඉන්නේ නැතුව සතුටින් සේවය කරන්න එලියාට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි ඔහු එලියාගේ උදව්වට එලිෂාවත් දුන්නා. ඔයාට තනිකමක් දැනෙද්දී යෙහෝවා ඒ විදිහටම ඔයාටත් උදව් කරයිද?

6. ඔයාට තනිකමක් දැනෙද්දී යාච්ඤා කරන්න පුළුවන් මොන දේවල් ගැනද? (ගීතාවලිය 62:8)

6 තනිකමක් දැනෙද්දී තනි වෙන්නේ නැතුව හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න කියලා ඔහු ඔයාගෙන් ඉල්ලනවා. මොකද ඔයාට තියෙන ප්‍රශ්න ඔහු දන්නවා. ඕනෙම වෙලාවක ඔයාගේ යාච්ඤා අහන්න ඔහු සූදානම්. (1 තෙස. 5:17) ඔයාගේ දුක අහන එක යෙහෝවාට කරදරයක් නෙවෙයි. (හිතෝ. 15:8) ඒත් ඔයාට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද? එලියා වගේ හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න. (ගීතාවලිය 62:8 කියවන්න.) ඔයාට දැනෙන තනිකමත් එක්ක දිගටම සටන් කරන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. උදාහරණෙකට ඉස්කෝලේ යාළුවන්ට ඔයාගේ විශ්වාසයන් ගැන කියන්න වෙද්දී ඔයාට බයක් දැනෙන්න පුළුවන්. ‘උදව්වට කවුරුත් ළඟ නෑනේ’ කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි යෙහෝවා ඔයාත් එක්ක ඉන්නවා කියලා අමතක කරන්න එපා. එයාලව කේන්ති ගස්සන්නේ නැතුව හොඳට හිතලා උත්තර දෙන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. (ලූක් 21:14, 15) ඒ වගේම ඔයාට දුකක්, තනිකමක් දැනෙද්දී ඒ ගැනත් යාච්ඤා කරන්න. සභාවේ ඉන්න අද්දැකීම් තියෙන කෙනෙක්ට ඒ ගැන කියන්න ශක්තිය දෙන්න කියලත් ඔයාව තේරුම්ගන්න එයාට උදව් කරන්න කියලත් දෙවියන්ගෙන් ඉල්ලන්න. ඊටපස්සේ යෙහෝවා ඔයාගේ යාච්ඤාවට උත්තර දෙන විදිහ ගැන හොඳ අවධානයකින් ඉන්න. ඒ වගේම අනිත් අයගෙන් උදව් ගන්න. එහෙම කළොත් දැනෙන තනිකමෙන්, පාළුවෙන් ගොඩ එන්න ඔයාට පුළුවන්.

සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා තව වැඩියෙන් සේවේ කරන්න පුළුවන්ද කියලා ඔයා හිතලා තියෙනවාද? (7 ඡේදය බලන්න)

7. මව්රීස්යෝගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

7 සතුටක් ලබන්න පුළුවන් පැවරුම් දෙවියන් අපිටත් දීලා තියෙනවා. සභාවේදී වගේම සේවේදීත් අපි ඒ පැවරුම් මහන්සි වෙලා කරන විදිහ යෙහෝවා දෙවියන් දකිනවා. (ගීතා. 110:3) ඒක ඔහු ගොඩක් අගය කරනවා. ඒ ගැන අපි මව්රීස්යෝගේ * අද්දැකීමෙන් බලමු. එයා බව්තීස්ම වෙලා වැඩි කල් යන්න කලින් එයාගේ කිට්ටු යාළුවෙක් ටික ටික සත්‍යයෙන් ඈත් වුණා. ඒ ගැන මව්රීස්යෝ මෙහෙම කියනවා. “එයා ටිකෙන් ටික සත්‍යයෙන් ඈත් වෙද්දී මටත් ඒකම වෙයිද කියලා මට ලොකු බයක් දැනුණා. කොච්චර කට්ටිය මගේ වටේ හිටියත් මට ලොකු තනිකමක් දැනුණා. කවුරුත් මාව තේරුම්ගන්න එකක් නෑ කියලයි මට හිතුණේ.” ඉතින් එයා මොකද කළේ? එයා මෙහෙම කියනවා. “සේවේ වැඩි කරන්න මං හිතුවා. ඒක මට උදව් වුණා දුක කියන වළෙන් ගොඩ එන්න. සේවේදී අනිත් අයත් එක්ක කාලේ ගත කරනකොට මට ලොකු සතුටක් දැනුණා. මගේ තනිකම එහෙම්මම මැකිලා ගියා. සමහරවිට අපි මුහුණ දෙන දේවල් නිසා කලින් වගේ සහෝදරයන්ව හම්බ වෙලා සේවේ කරන්න අපිට බෑ. ඒත් එයාලත් එක්ක එකතු වෙලා ලියුම්වලින්, ෆෝන් එකෙන් සාක්ෂි දරද්දී ලොකු ශක්තියක් ලැබෙනවා.” මව්රීස්යෝට තනිකමෙන්, පාළුවෙන් ගොඩ එන්න උදව් වුණ තව දෙයක් තියෙනවා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “මං සභාවේ දේවල් ගොඩක් මහන්සි වෙලා කළා. ශිෂ්‍ය පැවරුම්වලටත් හොඳට ලෑස්ති වුණා. ඒවා හොඳට කළාම අනිත් අය මාව අගය කරද්දී මට මං ගැනම හොඳ හැඟීමක් ඇති වුණා. යෙහෝවාට, සහෝදරයන්ට මාව කොච්චර වටිනවාද කියලා මට දැනුණා.”

එක පිට එක ප්‍රශ්න එද්දී

8. හුඟක් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී ඒවා අපිට බලපාන්න පුළුවන් කොහොමද?

8 අපි ඉන්නේ අවසාන කාලේ නිසා අපිට හුඟක් ප්‍රශ්න එනවා. (2 තිමෝ. 3:1) හැබැයි අපි ඒ දේ කොච්චර දැනගෙන හිටියත් ප්‍රශ්න එද්දී අපි මානසිකව බින්දුවටම වැටෙන්න පුළුවන්. මොකද ඒවා එන්නේ අපි හිතපු නැති වෙලාවලදී, හිතපු නැති විදිවලින්. සමහර වෙලාවට හිටිහැටියේම ආර්ථික ප්‍රශ්න එනවා. බරපතළ අසනීපයක් හැදෙනවා. එහෙම නැත්නම් අපි ආදරේ කරපු කෙනෙක් හදිස්සියේ නැති වෙනවා. ඔයාත් ඉන්නේ ඒ වගේ ප්‍රශ්නෙකද? එහෙමනම් ඔයා ගොඩක් අධෛර්යය වෙලා ඇති. විශේෂයෙන්ම තොරතෝංචියක් නැතුව එක දිගට ප්‍රශ්න එද්දී ලොකු අසරණකමක් දැනෙනවා ඇති. ඒත් මේ දේ අමතක කරන්න එපා. ඔයා ප්‍රශ්නෙක ඉද්දී යෙහෝවා කවදාවත් අහක බලන්නේ නැහැ. ඉතින් මොකටද බය වෙන්නේ? ඔහු දෙන ශක්තියෙන් ඕනම දෙයක් විඳදරාගන්න ඔයාට පුළුවන්.

9. යෝබ්ට මුහුණ දෙන්න වුණේ මොන වගේ පීඩාවලටද?

9 දැන් අපි යෝබ් ගැන බලමු. එයා කෙටි කාලයක් ඇතුළත හුඟක් දරුණු දේවල්වලට මුහුණ දුන්නා. මුලින්ම එයාට තිබුණ හැම ආදායම් මාර්ගයක්ම නැති වුණා. ඊටපස්සේ එයාගේ සේවකයන්ව මරලා දැම්මා. ඒ හැම දේටම වඩා එයාට දරාගන්න අමාරු වුණේ එයාගේ දරුවෝ 10දෙනාගේ මරණය. (යෝබ් 1:13-19) වියෝදුක නිසා හිතේ ඇති වුණ තුවාල මදිවට එයාගේ හිස් මුදුනේ ඉඳන් යටි පතුල වෙන කල්ම දරුණු කුෂ්ට රෝගයකුත් හැදුණා. (යෝබ් 2:7) ඇඟ පුරාම ඒ විදිහට තුවාල දාලා ඉද්දී මිනිස්සු එයා දිහා හරිම අප්පිරියාවෙන් බලන්න ඇති. ඒ වෙලාවේ එයාට කොච්චර අසරණකමක් දැනෙන්න ඇද්ද? ඒ නිසයි එයා මෙහෙම කිව්වේ. “මට ජීවිතය තිත්ත වී ඇත. සැමදා ජීවත් වෙන්න මා තුළ කිසි ආශාවක් නැත.”—යෝබ් 7:16.

යෙහෝවා දෙවියන් තමන් නිර්මාණය කරලා තියෙන දේවල් ආදරෙන් බලාගන්නවා. ඒ වගේ යෝබ්වත් බලාගන්නවා කියලා දෙවියන් යෝබ්ට කියනවා (10 ඡේදය බලන්න)

10. පීඩාවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවියන් යෝබ්ට උදව් කළේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

10 යෝබ් වින්ද හැම දුකක්ම යෙහෝවා දෙවියන් දැක්කාද? ඔව්. ඒ නිසයි ඔහු ඉක්මනටම යෝබ්ට උදව් කළේ. මොකද ඔහු යෝබ්ට ගොඩක් ආදරේ කළා. යෝබ්ට උදව් කරන්න ඕනෙ හොඳම විදිහ මොකක්ද කියලා ඔහු දැනගෙන හිටියා. මුලින්ම ඔහු යෝබ්ට කතා කරලා ඔහුට කොච්චර ප්‍රඥාවක් තියෙනවාද කියලා පෙන්නුවා. ඒ වගේම ඔහු නිර්මාණය කරපු පුදුමාකාර සත්තු ගැනත් දෙවියන් යෝබ්ට කිව්වා. (යෝබ් 38:1, 2; 39:9, 13, 19, 27; 40:15; 41:1, 2) “ඒ දේවල් බලාගන්නවා වගේ මට ඔයාවත් බලාගන්න පුළුවන්” කියලා ඔහු යෝබ්ට මතක් කළා. ඔහු යෝබ්ව ශක්තිමත් කරන්න, සනසන්න එලිහුව එව්වා. දිගටම විඳදරාගන්න අයට යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා යෝබ්ගේ හිතේ විශ්වාසයක් ඇති කරන්න එලිහුට පුළුවන් වුණා. එලිහුව පාවිච්චි කරලා දෙවියන් යෝබ්ව නිවැරදිත් කළා. මේ මුළු විශ්වයම නිර්මාණය කරපු යෙහෝවා දෙවියන් යෝබ්ට වඩා කොච්චර බලවත්ද කියලා තේරුම්ගන්නත් එයා යෝබ්ට උදව් කළා. (යෝබ් 37:14) ඒ වගේම දෙවියන් යෝබ්ට විශේෂ පැවරුමකුත් දුන්නා. දෙවියන් කිව්වා ඔහු ගැන බොරු කියපු යාළුවෝ තුන්දෙනා වෙනුවෙන් කන්නලව් කරන්න කියලා. (යෝබ් 42:8-10) අද අපි පීඩාවලට මුහුණ දෙද්දී යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?

11. පීඩාවලට මුහුණ දෙද්දී බයිබලෙන් අපිට සහනයක් ලැබෙන්නේ කොහොමද?

11 දෙවියන් යෝබ් එක්ක කතා කළා වගේ අද අපිත් එක්ක කෙළින්ම කතා කරන්නේ නැහැ. ඔහු අපිට කතා කරන්නේ බයිබලේ මාර්ගයෙන්. (රෝම 15:4) අනාගතේ ගැන ලස්සන බලාපොරොත්තුවක් දීලා ඔහු අපේ හිත් සනසලා තියෙනවා. අපිට සහනයක් වෙන හුඟක් පද ඔහු බයිබලේට ඇතුළත් කරලා තියෙනවා. දෙවියන් සහතික වෙනවා අපි කොච්චර බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුන්නත් “දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න” කිසිම දේකට බැහැ කියලා. (රෝම 8:38, 39) ඒ වගේම “තමාට හඬගසන සියල්ලන්ට සමීපව ඉන්නවා” කියලා ඔහු අපිට පොරොන්දු වෙනවා. (ගීතා. 145:18) අපි දෙවියන් ගැන විශ්වාසය තියලා ඔහු මත රඳා ඉන්නවා නම් මොන ප්‍රශ්න ආවත් සතුටින් දිගටම විඳදරාගන්න අපිට උදව් කරනවා කියලා යෙහෝවා අපිට කියනවා. (1 කොරි. 10:13; යාකො. 1:2, 12) අනිත් අතට අපිට පීඩාවලට මුහුණ දෙන්න වෙන්නේ හරිම ටික කාලෙකටයි. අනාගතේදී ලැබෙන සදාකාල ජීවිතේ එක්ක බලද්දී ඒ පීඩා කොච්චර පුංචිද කියලා අපිට හිතෙයි. (2 කොරි. 4:16-18) අපි දන්නවා අද අපි මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම ප්‍රධාන හේතුව සාතන් කියලා. හැබැයි ළඟදීම යෙහෝවා දෙවියන් සාතන්වත් සාතන්ගේ පැත්තේ ඉන්න හැමෝවමත් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. (ගීතා. 37:10) ඇත්ත, ඉස්සරහටත් අපිට ගොඩක් පීඩා එයි. ඒවාට මුහුණ දෙන්න ඔයා ලෑස්තිද? ඒ වෙනුවෙන් ඔයා මතක තියාගෙන ඉන්නේ මොන වගේ බයිබල් පදද?

12. අපි මොනවා කරයි කියලාද යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ?

12 අපි පුරුද්දක් විදිහට බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට කල්පනා කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. අපි බයිබලෙන් ඉගෙනගන්න දේවල් අපේ ජීවිතේට අදාළ කරගද්දී අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. ඒ වගේම අපි දෙවියන්ට තවත් ළං වෙනවා. ඒක තමයි ඕනෙම පීඩාවක් සාර්ථකව විඳදරාගන්න අපිට උදව් වෙන්නේ. අපි දෙවියන්ගේ වචනයේ තියෙන මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගද්දී යෙහෝවා දෙවියන් අපිට ඔහුගේ බලය දෙනවා. ඔහු දෙන ඒ බලය “සාමාන්‍යය ඉක්මවූ බලයක්” නිසා ඕනෙම පීඩාවක් සාර්ථකව ජය ගන්න අපිට පුළුවන්.—2 කොරි. 4:7-10.

13. ප්‍රශ්න ගැටලු දිගටම විඳදරාගන්න “දාසයා” දෙන පෝෂණය අපිට උදව් වෙන්නේ කොහොමද?

13 යෙහෝවා දෙවියන් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් අපිට නියම වෙලාවට පෝෂණය දෙනවා. (මතෙ. 24:45) ගීතිකා, සින්දු, වීඩියෝ සහ ලිපි සිය ගාණක් පාවිච්චි කරලා දාසයා අපේ විශ්වාසය කොයි තරම් ශක්තිමත් කරනවාද! දිගටම යෙහෝවාට ළං වෙලා ඉන්න ඒ පෝෂණය අපිට උදව් වෙනවා. ඒත් දාසයා දෙන ඒ හැම සැපයුමකින්ම මම ප්‍රයෝජන ගන්නවාද? එක්සත් ජනපදයේ ඉන්න මේ සහෝදරියගේ අද්දැකීම බලන්න. එයා හුඟක් ප්‍රශ්නවලින් බැට කාපු කෙනෙක්. එයාගේ සීයා ඇක්සිඩන්ට් එකකින් මැරුණා. පස්සේ අම්මායි, තාත්තායි අසනීප වෙලා මැරුණා. ඒ විතරක් නෙවෙයි එයාටත් දෙපාරක්ම පිළිකා හැදුණා. එච්චර දේවල් වෙලත් එයා දිගටම විඳදරාගත්තේ කොහොමද? එයා මෙහෙම කියනවා. “මං දැන් යෙහෝවාට සේවේ කරන්න අරන් අවුරුදු 40ක් වෙනවා. ඒ කාලේ පුරාම මගේ විශ්වාසය සෝදිසියට ලක් වුණ වාර අනන්තයි. හැබැයි ඒ හැම වෙලාවකදීම ඔහු මාත් එක්ක හිටියා. ඒ හැම දෙයක්ම විඳදරාගන්න දාසයා දෙන පෝෂණය මට උදව් වුණා. ඒ නිසා මටත් යෝබ් වගේ ඔළුව කෙළින් තියාගෙන කියන්න පුළුවන් ‘අවසන් හුස්ම හෙළන කල් මම දෙවිට විශ්වාසවන්තව ඉන්නවා’ කියලා.”—යෝබ් 27:5.

සහෝදර සහෝදරියන්ට ශක්තියක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (14 ඡේදය බලන්න)

14. සහෝදරයන්ව පාවිච්චි කරලා දෙවියන් අපිට විඳදරාගන්න උදව් කරන්නේ කොහොමද? (1 තෙසලෝනික 4:9)

14 පීඩා, ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න සහෝදරයන්ව සනසන හැටි, එයාලට ආදරේ පෙන්නන හැටි යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට උගන්වලා තියෙනවා. (2 කොරි. 1:3, 4; 1 තෙසලෝනික 4:9 කියවන්න.) ඒ නිසා ප්‍රශ්න මැද ඉන්න අයව සනසන්න, එයාලට උදව් කරන්න අපේ සහෝදරයන් එලිහු වගේ ගොඩක් ආසාවෙන් ඉන්නවා. (ක්‍රියා 14:22) ඩියෑන්ගේ අද්දැකීම බලන්න. එයාගේ මහත්තයාට බරපතළ අසනීපයක් හැදුණා. ඒ වෙලාවේ සභාවේ අය තමයි එයාගේ උදව්වට හිටියේ. එයා ඒ ගැන මෙහෙම කියනවා. “ඒ ගෙවුණු මාස කීපය හරියට නපුරු හීනයක් වගේ. හැබැයි යෙහෝවා අපිව තුරුලු කරගෙන, ආදරෙන් සනසපු විදිහ අපි අද්දැක්කා. අපිට උදව් කරන්න සහෝදරයෝ නොකරපු දෙයක් නෑ. එයාලා අපිව බලන්න ඇවිත් අපිව ආදරෙන් බදාගත්තා. අපිට කෝල් කළා. ප්‍රශ්න මැද්දේ වාරු නැතුව හිටපු අපිට කෙළින් හිටගන්න හයියක් වුණේ එයාලා. මං වාහන එලවන්න දන්නේ නෑ. ඉතින් අපේ සහෝදර සහෝදරියෝ තමයි මට රැස්වීම්වලටයි, සේවේටයි යන්න උදව් කළේ.” ඒ අද්දැකීම අහද්දී ඔයාට මොකක්ද හිතුණේ? මේ වගේ ආදරණීය පවුලකට එකතු වෙන්න ලැබුණ එක ඔයා ඇත්තටම අගය කරන්නේ නැද්ද?

යෙහෝවාගේ ආදරේට අපි සදා ණයගැතියි

15. ඕනෙම ප්‍රශ්නෙකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියලා අපිට සැකයක් නැත්තේ ඇයි?

15 අපි හැමෝම මේ කාලේ මොකක් හරි ප්‍රශ්නයක් එක්ක පොරබදිනවා. හැබැයි අපි මේ ලිපියෙන් බලපු විදිහට අපි තනි වෙලා නැහැ. අපේ ආදරණීය යෙහෝවා දෙවියන් අපේ උදව්වට ඉන්නවා. ඔහු අපිව ඇස් දෙක වගේ බලාගන්නවා. අපි අසරණ වෙලා ඔහුට කන්නලව් කරද්දී ඔහු අපිට උදව් කරන්න මොහොතක්වත් පරක්කු වෙන්නේ නැහැ. (යෙසා. 43:2) ඒ නිසා ඕනම ප්‍රශ්නෙකට සාර්ථකව මුහුණ දෙන්න අපිට පුළුවන් කියලා කිසිම සැකයක් නැහැ. මොකද ඒකට අවශ්‍ය හැම දෙයක්ම ඔහු මේ වෙද්දීත් අපිට දීලයි තියෙන්නේ. ඔහු අපිට යාච්ඤාව කියන වටිනා තෑග්ග දීලා තියෙනවා. ඔහුගේ වචනය වන බයිබලේ දීලා තියෙනවා. දාසයා මාර්ගයෙන් කිසිම අඩුවක් නැතුව අපිව පෝෂණය කරනවා. ඒ වගේම අපේ දුකේදී සැපේදී අපේ ළඟින්ම ඉන්න සහෝදර සහෝදරියන්වත් දීලා තියෙනවා.

16. දිගටම යෙහෝවාගේ රැකවරණය ලබන්න අපිට පුළුවන් කොහොමද?

16 ස්වර්ගයේ ඉඳන් අපි දිහා බලාගෙන ඉන්න ආදරණීය තාත්තා කෙනෙක් ඉන්න එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? ඔහු නිසයි “අපේ සිත් සතුටෙන් පිරිලා ඉතිරිලා යන්නේ.” (ගීතා. 33:21) දෙවියන් පෙන්නන ආදරේ, සැලකිල්ල අපි අගය කරනවා නම් ඔහු දෙන සැපයුම්වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ වගේම දිගටම ඔහුට කීකරු වෙලා ඔහුගේ ඇස් ඉස්සරහා හරි දේ කරන්න ඕනේ. එහෙම කරනවා නම් යෙහෝවා දෙවියන්ගේ පියාපත් සෙවණේ සදහටම රැකවරණය ලබන්න අපිට පුළුවන්.—1 පේතෘ. 3:12.

ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි

^ ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න අපිට යෙහෝවා දෙවියන්ගේ උදව් ඕනෙමයි. ඔහු අපි ගැන හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නේ. ඒ නිසා අපි මුහුණ දෙන්නේ මොන වගේ ප්‍රශ්නවලටද කියලා ඔහු දන්නවා. ඔහුට පුළුවන් ඒවායින් ගොඩ එන්න අපිට උදව් කරන්න. ඒ ගැන තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න මේ ලිපිය අපිට උදව් වෙයි.

^ සමහර නම් වෙනස් කර ඇත.