පාඩම් ලිපිය 32
යෞවනයෙනි, බව්තීස්මෙන් පස්සෙත් දියුණු වෙන්න
“ප්‍රේමය ඇතුව අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් බවට පත් වන තුරු වර්ධනය වෙමු.”—එෆී. 4:15.
ගීතිකාව 56 දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
මේ ලිපියෙන් *
1. සත්‍යය වෙනුවෙන් හුඟක් යෞවනයන් කරලා තියෙන හොඳ දේවල් මොනවාද?
හැම අවුරුද්දකම අපේ යෞවනයන් දහස් ගාණක් බව්තීස්ම වෙනවා. ඔයාත් ඒ අතරින් කෙනෙක්ද? එහෙමනම් ඔයා ගත්ත තීරණය ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඒ හැමෝටම වඩා යෙහෝවා දෙවියන් සතුටු වෙනවා. (හිතෝ. 27:11) හිතන්න, ඔයා සත්‍යය දැනගත්ත දවසේ ඉඳලා මේ වෙන කල් කොච්චර හොඳ දේවල් කරලා තියෙනවාද! ඔයා සමහරවිට උනන්දුවෙන් බයිබලේ අධ්‍යයනය කරන්න ඇති. එහෙම කරද්දී බයිබලේ පිටු අතර තියෙන්නේ දෙවියන්ගේ අදහස් කියලා ඔයාට විශ්වාසයක් ඇති වුණා. යෙහෝවා ගැන ලොකු ආදරයක් ඇති වුණා. ඒ ආදරේ තමයි ඔයාව පෙලඹුවේ ඔයාගේ මුළු ජීවිතේම ඔහුට කැප කරලා බව්තීස්ම වෙන්න. ඒක තමයි ඔයා ගත්ත හොඳම තීරණය.
2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
2 බව්තීස්මය දක්වා ආපු මේ ගමනේ ඔයාට ගොඩක් අභියෝග තියෙන්න ඇති. ඒත් ඔයා කොහොමහරි ඒවා ජය ගත්තා. ඒත් අභියෝග එතනින් නවතින්නේ නැහැ. ඔයා ටිකෙන් ටික ලොකු වෙද්දී අලුත් අලුත් ඒවා එයි. මොකද සාතන්ට ඕනෙ මොන විදිහකින් හරි යෙහෝවා දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ හොරකම් කරලා ඔයාව යෙහෝවාගෙන් ඈත් කරන්න. (එෆී. 4:14) අනේ දුවේ පුතේ, ඒක නම් කවදාවත් වෙන්න දෙන්න එපා! දෙවියන්ට කැප වෙද්දී ඔයා දීපු පොරොන්දුව රකින්න, දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න උදව් වෙන්නේ මොකක්ද? ඒකට ඔයා අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න “දැඩි උත්සාහයක්” දරන්න ඕනේ.—හෙබ්‍රෙ. 6:1.
දිගටම දියුණු වෙන්න
3. බව්තීස්මෙන් පස්සේ කරන්න ඕනෙ මොකක්ද?
3 බව්තීස්මෙන් පස්සේ අපි හැමෝම පාවුල් කියපු විදිහට “හොඳින් වැඩුණු” අය වෙන්න ඕනේ. (එෆී. 4:13) තව විදිහකින් කියනවා නම් අපි දිගටම සත්‍යයේ ‘දියුණු වෙන්න’ ඕනේ. සත්‍යයේ දියුණු වෙන එක පුංචි ළමයෙක් ටිකෙන් ටික ලොකු වෙන එකට පාවුල් සමාන කළා. මුල්ම වතාවට මේ ලෝකේ එළිය දකින කිරිකැටියෙක් ගැන හිතන්න. අම්මාටයි, තාත්තාටයි එයා තමයි එයාලගේ මුළු ලෝකෙම. හැබැයි හැමදාම එයාට බබෙක් වෙලා ඉන්න බැහැ. එයාත් ටිකෙන් ටික වැඩෙනවාත් එක්කම “කුඩා දරුවෙක්ට තියෙන ගතිලක්ෂණ” අයින් කරන්න ඕනේ. (1 කොරි. 13:11) කෙනෙක් බව්තීස්ම වෙද්දී එයාත් හරියට අර පුංචි දරුවා වගේ. දරුවෙක් ඉපදෙද්දී දෙමාපියෝ සතුටු වෙනවා වගේ ඔයා බව්තීස්ම වෙද්දීත් ඒ ගැන හැමෝම සතුටු වෙනවා. හැබැයි බව්තීස්ම වුණා කියලා ඔයාගේ ගමන එතනින් ඉවර වෙන්නේ නැහැ. ඔයා දිගටම සත්‍යයේ දියුණු වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද?
4. සත්‍යයේ දියුණු වෙන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? පැහැදිලි කරන්න. (ෆිලිප්පි 1:9)
4 යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි කරගන්න. ඔයා දැනටමත් යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරේ ඇති. හැබැයි ඒ ආදරේ තව වැඩි කරගන්න පුළුවන් කියලා පාවුල් ෆිලිප්පියේ හිටපු ක්‍රිස්තියානීන් ගැන කරපු යාච්ඤාවකින් පැහැදිලි වෙනවා. (ෆිලිප්පි 1:9 කියවන්න.) එයා එතන කියනවා “නිවැරදි දැනුමක් හා පූර්ණ අවබෝධයක්” ලබාගන්න එකෙන් දෙවියන් ගැන තියෙන ‘ආදරේ වැඩි කරගන්න’ පුළුවන් කියලා. ඒ කියන්නේ අපි දෙවියන්ව හොඳට අඳුරගන්න තරමට ඔහුගේ ගුණාංග ගැන, ඔහු දේවල් කරන විදිහ ගැන අපි තේරුම්ගන්නවා. ඒක උදව් වෙනවා ඔහු ගැන තියෙන ආදරේ වැඩි කරගන්න. එතකොට යෙහෝවා දෙවියන්ගේ හිත රිදෙන විදිහේ කිසිම දෙයක් කරන්න අපි කැමැති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුව සතුටු කරන්නේ කොහොමද කියලා තේරුම් අරන් ඒක කරන්න අපි මහන්සි වෙනවා.
5-6. යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද? පැහැදිලි කරන්න.
5 යේසුස් ගැන ඉගෙනගන්න එකෙනුත් දෙවියන්ට තියෙන ආදරේ වැඩි කරගන්න පුළුවන්. මොකද යේසුස් යෙහෝවා දෙවියන්ව 100%ක් ආදර්ශයට ගත්තා. (හෙබ්‍රෙ. 1:3) යේසුස් ගැන දැනගන්න පුළුවන් හොඳම විදිහ තමයි සුවිශේෂ පොත් අධ්‍යයනය කරන එක. බයිබලේ හැමදාම කියවන එක ඔයාට අභියෝගයක්ද? එහෙනම් සුවිශේෂ පොත්වලින්ම පටන්ගත්තොත් නරකද? ඒ වාර්තා කියවද්දී යේසුස් කොයි වගේ කෙනෙක්ද කියලා හිතන්න. ඕනම කෙනෙක් බය නැතුව යේසුස් ළඟට ආවා. ඔහු පුංචි අයව ආදරෙන් තුරුලු කරගත්තා. (මාක් 10:13-16) ඔහු ගෝලයන්ටත් සැලකුවේ ආදරෙන්. ඒ නිසා හිතට එන ඕන දෙයක් කියන්න එයාලා බය වුණේ නැහැ. (මතෙ. 16:22) යෙහෝවාත් ඒ වගේ. ඔහුට ළං වෙන්න, හිතට දැනෙන හැම දෙයක්ම බය නැතුව ඔහුට කියන්න අපි ඕනම කෙනෙක්ට පුළුවන්. ඔහු කවදාවත් අපිව වැරදියට තේරුම් අරගෙන අපිව විනිශ්චය කරන්නේ නැහැ. මොකද ඔහු අපිට ගොඩක් ආදරෙයි.—1 පේතෘ. 5:7.
6 යේසුස්ට මිනිස්සු ගැන පුදුම කැක්කුමක් තිබුණා. මතෙව් කියනවා එඬේරෙක් නැති බැටළුවන් වගේ හිරිහැර විඳින මිනිස්සුන්ව දැක්කාම යේසුස්ට “ඔවුන් ගැන අනුකම්පාවක් ඇති වුණා” කියලා. (මතෙ. 9:36) යෙහෝවාට මිනිස්සු ගැන දැනෙන්නේ කොහොමද? බලන්න ඒ ගැන යේසුස් කියන දේ. ‘මේ අයගෙන් එක් කෙනෙක්වත් විනාශ වෙනවාට මගේ පියාණන් කැමති නැහැ.’ (මතෙ. 18:14) ඒකෙන් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන්ටයි, යේසුස්ටයි තියෙන්නේ එකම ගතිගුණ කියලා. අපි යේසුස්ව තවත් හොඳින් අඳුරගන්න තරමටම අපේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙනවා.
7. දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙන අයව ආශ්‍රය කරද්දී ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
7 දෙවියන් ගැන තියෙන ආදරේ වැඩි කරගන්න, ඔහුට උපරිමෙන් සේවේ කරන්න ඔයාට උදව් ගන්න පුළුවන් කාගෙන්ද? ඒ යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තියෙන සහෝදර සහෝදරියන්ගෙන්. එයාලා කොච්චර සතුටින්ද ඉන්නේ කියලා ඔයා දැකලා තියෙනවාද? දෙවියන්ට සේවේ කරන්න ගත්ත තීරණය ගැන එයාලා කවදාවත් පසුතැවෙන්නේ නැහැ. දෙවියන්ට ජීවිතේ මුල් තැන දීලා සේවය කරපු නිසා එයාලට ගොඩක් අද්දැකීම් ඇති. ඔයාට පුළුවන් එයාලගෙන් ඒ ගැන අහන්න. ඔයාට වැදගත් තීරණයක් ගන්න වෙද්දී එයාලගෙන් උදව් ගන්න. මොකද බයිබලේ කියනවා “උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි” කියලා.—හිතෝ. 15:22.
8. බයිබලේ කියන දෙයක් ගැන සැකයක් තියෙනවා නම් ඔයා මොනවාද කරන්න ඕනේ?
8 සැක නැති කරගන්න. අපි 2වෙනි ඡේදයේ බැලුවා වගේ ඔයාගේ විශ්වාසය දුර්වල කරන්න සාතන් හැම දේම කරයි. සාතන් ඒක කරන එක විදිහක් තමයි බයිබල් ඉගැන්වීම් ගැන හිතේ සැක ඇති කරන එක. උදාහරණෙකට පරිණාමය ගැන හිතන්න. පුංචි කාලේදී ඔයා ඒ ගැන එච්චර හිතලා නැතුව ඇති. හැබැයි ලොකු පන්තිවලට යද්දී ඒ ගැන ඉස්කෝලේ උගන්වයි. සමහරවිට ටීචර් කියයි ‘පරිණාමය විද්‍යාවෙන් ඔප්පු කරලා ඉවරයි, ඒකට ඕන තරම් සාක්ෂි තියෙනවා’ කියලා. හැබැයි එහෙම කිව්වාට එයාලා කවදාවත් නිර්මාතෘ කෙනෙක් ඉන්නවාද කියලවත් සාක්ෂි හොයලා නැතුව ඇති. හිතෝපදේශ 18:17 මෙහෙම කියනවා. “නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ. එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.” ඒ නිසා පරිණාමය ගැන ඉස්කෝලේ උගන්වපු පළියට ඒක එක පාරටම විශ්වාස කරන්න එපා. ඊට කලින් බයිබලෙන් සාක්ෂි හොයන්න. අපේ පොත් පත් අධ්‍යයනය කරන්න. කලින් පරිණාමය විශ්වාස කරපු සහෝදරයන් එක්ක කතා කරන්න. අපිට ආදරේ කරන නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා එයාලට විශ්වාසයක් ඇති වුණේ ඇයි කියලා අහන්න. පරිණාමය කියන්නේ දෙවියන්ට කොච්චර අගෞරවයක් ගේන ඉගැන්වීමක්ද කියලා එතකොට ඔයාට තේරෙයි.
9. මෙලීසාගෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
9 මෙලීසාගේ අද්දැකීම බලන්න. * එයා මෙහෙම කියනවා. “පරිණාමය ගැන විශ්වාසයක් ඇති කරන්න ටීචර්ලා රූපසටහන් පෙන්නලා එක එක දේවල් කිව්වා. බැලූ බැල්මට ඒවා ඇත්ත වගේ. ඉතින් මටත් හිතුණා ‘පරිණාමය ඇත්තක් වෙන්න බැරිද’ කියලා. ඒත් පරිණාමය ගැන හොයලා බලන්න මං බය වුණා. මොකද මට හිතුණා ‘පරිණාමය පිළිගන්න සාක්ෂි හම්බ වුණොත් මං මෙච්චර කල් විශ්වාස කරපු දේට මොකද වෙන්නේ’ කියලා. ඒත් යෙහෝවා කැමති නැහැනේ අපි දෙයක් ඔහේ විශ්වාස කරනවාට. ඉතින් මං ඇත්ත හොයලා බලන්න තීරණය කළා. ‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?’ කියන පොතයි, ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?,’ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරායි මං කියෙව්වා. ඊටපස්සේ මගේ හිතේ තිබුණ සැක නැති වෙලා ගියා. ‘අනේ මේක මං කලින් කළා නම්’ කියලා මට හිතුණා.”
10-11. වැරදි දේවල්වලින් ඈත් වෙන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? (1 තෙසලෝනික 4:3, 4)
10 වැරදි දේවල්වලින් ඈත් වෙන්න. යෞවන කාලේදී ලිංගික හැඟීම් ගොඩක් ප්‍රබල නිසා අනාචාරයේ යෙදෙන්න ඔයාට ලොකු පෙලඹීමක් එන්න පුළුවන්. යාළුවොත් ඒකට ඔයාට බල කරයි. සාතන්ටත් ඕනෙ ඒකම තමයි. ඒ කිසිම දේකට පුංචිවත් ඉඩක් දෙන්න එපා. ඒ වගේ වැරදි සිතුවිලිවලට අහු නොවී ඉන්න ඔයාට පුළුවන් කොහොමද? (1 තෙසලෝනික 4:3, 4 කියවන්න.) ඒකට යාච්ඤාව ඔයාට උදව් වෙයි. ඔයාට දැනෙන හැම දෙයක්ම යෙහෝවාට කියන්න. හරි දේ කරන්න ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න. (මතෙ. 6:13) ඔහුට ඕනෙ ඔයාට උදව් කරන්නයි. නැතුව ඔයාව විනිශ්චය කරන්නවත් ඔයාට දඬුවම් කරන්නවත් නෙවෙයි. (ගීතා. 103:13, 14) බයිබලේ කියවන එකත් අතපසු කරන්න එපා. කලින් සඳහන් කරපු මෙලීසාට ඒක උදව් වුණ විදිහ බලන්න. “බයිබලේ හැමදාම කියවපු නිසා වැරදි සිතුවිලි එක්ක සටන් කරන්න මට පුළුවන් වුණා. මං අයිති යෙහෝවා දෙවියන්ට. හැමදාම ඔහු ළඟින්ම ඉන්නයි මට ඕනේ. බයිබලේ කියවද්දී මට ඒක හැම වෙලේම මතක් වුණා.”—ගීතා. 119:9.
11 ප්‍රශ්න තනියෙන් විසඳන්න යන්න එපා. ඒ ගැන අම්මාටයි, තාත්තාටයි කියන්න. හිතට දැනෙන හැම දේම කියන්න ලේසි නැහැ තමයි. ටිකක් ලැජ්ජා හිතෙන්නත් පුළුවන්. හැබැයි නොකියා හිටියොත් හානියක් වෙන්නේ ඔයාටමයි. මෙලීසා මෙහෙම කියනවා. “බය නැතුව තාත්තා එක්ක කතා කරන්න උදව් ඉල්ලලා මං යාච්ඤා කළා. පස්සේ මං තාත්තාට හැම දේම කිව්වා. මට දැනුණේ පුදුම සහනයක්. මං දන්නවා හරි දේ කරපු එක ගැන යෙහෝවා සතුටු වෙනවා කියලා.”
12. හොඳ තීරණ ගන්න ඔයාට පුළුවන් කොහොමද?
12 බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න. ඔයා ටිකෙන් ටික ලොකු වෙද්දී සමහර තීරණ තනියෙන් ගන්න දෙමාපියන් ඔයාට ඉඩ දෙයි. හැබැයි ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා කියලා අමතක කරන්න එපා. එහෙමනම් යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම පලුදු කරගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන් කොහොමද? (හිතෝ. 22:3) ඒකට උත්තරේ සහෝදරි කේරිගේ අද්දැකීමෙන් දැනගන්න පුළුවන්. එයා මෙහෙම කියනවා. “අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් නීති පස්සේ යන්නේ නෑ. ඒ නිසා මාත් හැම වෙලේම උත්සාහ කළේ බයිබල් ප්‍රතිපත්ති තේරුම්ගන්න.” ඒ දේම කරන්න ඔයාටත් පුළුවන්. ඒකට බයිබලේ කියවද්දී මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න. ‘මේ කොටසින් යෙහෝවා හිතන විදිහ ගැන මං ඉගෙනගත්තේ මොකක්ද? මේකේ මගේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් ප්‍රතිපත්ති තිබුණාද? ඒවා අදාළ කරගද්දී මට ලැබෙන ප්‍රයෝජන මොනවාද?’ (ගීතා. 19:7; යෙසා. 48:17, 18) ඔයා බයිබලේ කියවලා ඒකේ තියෙන ප්‍රතිපත්ති ගැන හොඳට හිතනවා නම් දෙවියන් සතුටු වෙන තීරණ ගන්න ඔයාට ගොඩක් ලේසියි. කාලයක් යද්දී යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්න ඔයා පුරුදු වෙයි. එතකොට ඔයාට හැම පුංචි දේකටම නීතියක් ඕනෙ නැහැ.
13. දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙන අයව යාළුවෝ කරගද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද? (හිතෝපදේශ 13:20)
13 යෙහෝවාගේ යාළුවන්ව යාළුවෝ කරගන්න. අපි කලින් බලපු විදිහට හොඳ යාළුවන්ට පුළුවන් ඔයාව දෙවියන්ට තවත් ළං කරන්න. (හිතෝපදේශ 13:20 කියවන්න.) ඒක කොච්චර ඇත්තක්ද කියලා සාරාගේ අද්දැකීමෙන් තේරෙනවා. කාලයක් යද්දී සාරාට තේරුණා එයා දැන් ඉන්නේ කලින් වගේ සතුටින් නෙවෙයි කියලා. නැති වුණ සතුට ආයෙත් ලබාගන්න එයාට උදව් වුණේ මොනවාද? සාරා මෙහෙම කියනවා. “මට හොඳ යාළුවෝ හම්බුණා. උදව් ඕනෙම වෙලාවේ එයාලා මගේ ළඟ හිටියා. යාළුවෙකුයි, මායි හැම සතියෙම ‘මුරටැඹට’ ලෑස්ති වුණා. තව යාළුවෙක් මට උදව් කළා රැස්වීමේදී උත්තර දෙන්න. බයිබල් අධ්‍යයනය, යාච්ඤාව කොච්චර වැදගත්ද කියලත් මං එයාලගෙන් ඉගෙනගත්තා. ඒ නිසා කලින්ට වඩා මං යෙහෝවාට ගොඩක් කිට්ටු වුණා. අන්තිමේදී ඒ නැති වෙච්ච සතුට මට ආයේ ලැබුණා.”
14. ජූලියන් හොඳ යාළුවෝ හොයාගත්තේ කොහොමද?
14 හොඳ යාළුවෝ හොයාගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ගැන වැඩිමහල්ලෙක් වන ජූලියන් කියන දේ බලන්න. “යෞවන කාලේ මං යාළුවෝ කරගන්න හැදුවේ මගේම වයසේ අයව. ඒ නිසා මට හොඳ යාළුවෝ හිටියේ නෑ. ඒත් පස්සේ මාත් එක්ක එකට සේවේ ගිය අයට මං ගොඩක් කිට්ටු වුණා. එයාලා එක එක වයස්වල අය. ඒගොල්ලෝ දෙවියන්ට ගොඩක් ආදරෙයි. ගොඩක් උද්යෝගයෙන් සේවෙත් කළා. ඒකෙන් එයාලා කොච්චර සතුටක් ලබනවාද කියලා මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ සතුට මටත් බෝ වුණා. ඒ නිසා තමයි මාත් තීරණය කළේ පූර්ණකාලීන සේවේ කරන්න. පස්සේ මං බෙතෙල් එකේ වැඩ කරන්න ගියාම එහෙදීත් මට හොඳ යාළුවෝ හම්බුණා. විනෝදෙට කරන දේවල් ගැන පරෙස්සම් වෙන්නේ කොහොමද කියලා මං එයාලගෙන් ඉගෙනගත්තා. එයාලගේ උදව් නිසා තමයි යෙහෝවාට මෙච්චර ළං වෙන්න මට පුළුවන් වුණේ.”
15. පාවුල් තිමෝතිට දීපු අනතුරු ඇඟවීම මොකක්ද? (2 තිමෝති 2:20-22)
15 සභාවේ ඉන්න සමහර යාළුවෝ නිසා ඔයා දෙවියන්ගෙන් ඈත් වෙන්න පුළුවන්. ඒ වගේ යාළුවෝ අද විතරක් නෙවෙයි මුල් සියවසෙත් හිටියා. එයාලා ජීවත් වුණේ දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට අනුව නෙවෙයි. ඒ නිසා පාවුල් තිමෝතිට කිව්වා එයාලගෙන් ඈත් වෙන්න කියලා. (2 තිමෝති 2:20-22 කියවන්න.) ඔයාගේ සභාවෙත් ඒ වගේ අය ඉන්නවාද? එහෙමනම් ඒ අයගෙන් පරෙස්සම් වෙන්න. මොකද යෙහෝවා එක්ක තියෙන බැඳීම තරම් වටින දෙයක් තවත් නැහැ. අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙලා ඇති කරගත්ත ඒ යාළුකම කඩන්න යාළුවන්ට ඉඩ දෙන්න එපා!—ගීතා. 26:4.
ඉලක්ක තියාගන්න
16. ඔයා තියාගන්න ඕනෙ මොන වගේ ඉලක්කද?
16 හොඳ ඉලක්ක තියාගන්න. අපිට ඕනෙ දෙවියන් කැමති ගුණාංග ඇති කරගෙන ඇතුළාන්තයෙන්ම ශක්තිමත් අය වෙන්න. (එෆී. 3:16) ඒකට හොඳ ඉලක්ක තියෙන්න ඕනේ. මොන වගේ ඉලක්කද? ඔයාට පුළුවන් හැමදාම බයිබලේ කියවන්න. බයිබලේ අධ්‍යයනය කරන්න. (ගීතා. 1:2, 3) ඒ වගේම වරද්දන්නේ නැතුව හැමදාම යාච්ඤා කරන්න. ඒක ඔහේ කරන්නන් වාලේ කරන්නේ නැතුව හදවතින්ම කරන්න. සමහර වෙලාවට ඔයාට තේරෙයි විනෝදෙට කරන දේවල් ගැන ඔයා මීට වඩා පරෙස්සම් වෙන්න ඕනෙ කියලා. එහෙමනම් ඒ ගැන හොඳ තීරණ ගන්න, ඇබ්බැහි නොවී ඒවාට නිසි තැන දෙන්න ඉලක්කයක් තියාගන්න. (එෆී. 5:15, 16) යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න ඔයා ගොඩක් මහන්සි වෙනවා කියලා දැක්කාම ඔහුගේ හිතේ ඔයා ගැන ලොකු ආදරයක් ඇති වෙයි.
17. අනිත් අයට උදව් කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?
17 අනිත් අයට උදව් කරද්දී යෙහෝවා දෙවියන්ට වටින කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. ඒකෙන් ඔයාට ලොකු සතුටකුත් ලැබෙයි. මොකද යේසුස් කිව්වා “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා. (ක්‍රියා 20:35) ඔයාගේ කාලය, ශක්තිය පාවිච්චි කරලා අනිත් අයට උදව් කරන්න. උදාහරණෙකට තනියම දේවල් කරගන්න බැරි අය, වයසක අය ඔයාගේ සභාවේ ඉන්නවා නම් එයාලට උදව් කරන්න ඉලක්කයක් තියාගන්න. සමහර වෙලාවට බඩු මුට්ටු ටිකක් ගේන්න නැත්නම් ටැබ් එකක්, ෆෝන් එකක් පාවිච්චි කරන විදිහ දැනගන්න එයාලට උදව් ඕනෙ ඇති. ඔයා සහෝදරයෙක් නම් සහායක සේවකයෙක් වෙන්න ඉලක්කයක් තියාගන්න. ඔයා ඒක කරන්න ඕනෙ සහෝදර සහෝදරියන්ට සේවය කරන්න තියෙන ආසාව නිසයි. (ෆිලි. 2:4) හැබැයි ඔයාගේ ආදරේ සභාවේ අයට විතරක් සීමා කරන්න එපා. ශුභාරංචිය කියලා ඒ ආදරේ හැමෝටම පෙන්නන්න. (මතෙ. 9:36, 37) ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි පූර්ණකාලීන සේවය කරන එක. ඔයා කවදා හරි ඒ ගැන හිතලා තියෙනවාද?
18. සත්‍යයේ තව දියුණු වෙන්න පූර්ණකාලීන සේවය ඔයාට උදව් වෙන්නේ කොහොමද?
18 පූර්ණකාලීන සේවයට අඩිය තියද්දී යෙහෝවා දෙවියන්ට තව ළං වෙන්න, සත්‍යයේ තවත් දියුණු වෙන්න ඔයාට පුළුවන් වෙයි. ඔයා පුරෝගාමි සේවය පටන්ගත්තොත් සමහර වෙලාවට ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට යන්න ඔයාට අවස්ථාව ලැබෙයි. එහෙම නැත්නම් බෙතෙල් එකේ හරි ඉදි කිරීම් ව්‍යාපෘතිවල හරි වැඩ කරන්න ඔයාට පුළුවන් වෙයි. යෞවන වයසේදීම පුරෝගාමි සේවය පටන්ගත්ත සහෝදරි කේට්ලින් මෙහෙම කියනවා. “යෙහෝවාට ගොඩක් ආදරේ කරන, හුඟක් අද්දැකීම් තියෙන අයව සේවේ යද්දී කිට්ටුවෙන් ආශ්‍රය කරන්න මට පුළුවන් වුණා. බව්තීස්මෙන් පස්සේ දෙවියන්ට තවත් ළං වෙන්න එයාලා තමයි මට උදව් කළේ. එයාලගේ ආදර්ශය මට උදව් වුණා බයිබලේ ගැඹුරට හාරලා ඒකේ තියෙන වටිනා දේවල් හොයාගන්න. ඒ වගේම හිතට කාවදින විදිහට අනිත් අයට උගන්වන්න.”
19. දිගටම දෙවියන්ට ජීවිතේ මුල් තැන දුන්නොත් ඔයාට ලැබෙන ආශීර්වාද මොනවාද?
19 ඔයා හොඳ ඉලක්ක තියාගෙන දිගටම යෙහෝවා දෙවියන්ට ජීවිතේ මුල් තැන දුන්නොත් ඔහු ඔයාව ආශීර්වාදවලින් පොහොසත් කරයි. ඒ වගේම වැඩක් නැති දේවල් පස්සේ ගිහින් ඔයාගේ ජීවිතේ නිකම් බොරුවට නාස්ති කරගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන් වෙයි. (1 යොහ. 2:17) සැබෑ සතුට, සාර්ථකත්වය ජීවිතේට ළං කරගන්නත් ඔයාට පුළුවන් වෙයි. (හිතෝ. 16:3) ඒ විතරක් නෙවෙයි ඔයා බාල, මහලු හැමෝටම හොඳ ආදර්ශයක් වෙයි. (1 තිමෝ. 4:12) ඒ හැම දේටම වඩා යෙහෝවාට ඔයා තවත් ළං වෙයි. ඒ වගේම ඔයාගේ ජීවිතේ හොඳම කාලය ඔහු වෙනුවෙන් දීලා ඔහුව සතුටු කරපු එක ගැන ඔයාටත් ලොකු සතුටක් දැනෙයි.—හිතෝ. 23:15, 16.
ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න
^ අපේ යෞවනයන් යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙද්දී ඒක හැමෝටම ලොකු සතුටක්. හැබැයි එයාලගේ ගමන එතනින් නතර වෙන්නේ නැහැ. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න එයාලා දිගටම මහන්සි වෙන්න ඕනේ. අලුතින් බව්තීස්ම වුණ යෞවන යෞවනියන්ට දිගටම සත්‍යයේ දියුණු වෙන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් අපි සාකච්ඡා කරනවා. මේ තොරතුරුවලින් යෞවනයන්ට විතරක් නෙවෙයි අපි හැමෝටම ප්‍රයෝජන ගන්න පුළුවන්.
^ සමහර නම් වෙනස් කර ඇත.