Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 34

‘සත්‍යයට එකඟව දිගටම ජීවත් වෙන්න’

‘සත්‍යයට එකඟව දිගටම ජීවත් වෙන්න’

‘සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න.’—3 යොහ. 4.

ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි

මේ ලිපියෙන් *

1. අපි “සත්‍යයට” ආපු විදිහ ගැන කතා කරන එක ප්‍රයෝජනවත් ඇයි?

 “ඉතින් කියන්නකෝ, ඔයා සත්‍යයට ආවේ කොහොමද?” ඒ ප්‍රශ්නේ අපේ සහෝදර සහෝදරියන් ඕන තරම් ඔයාගෙන් අහලා ඇති. මොකද අපි යෙහෝවා දෙවියන්ව දැනගත්ත විදිහ ගැන අහන්න එයාලා ආසයි. ඒ වගේම සත්‍යය අපිට කොච්චර වටිනවාද කියලා රස කරකර කියන්න අපිත් ආසයි. (රෝම 1:11) සාක්ෂිකරුවෙක් වෙන්න ලැබුණ අවස්ථාව කොච්චර වටිනවාද කියලා මතක් කරගන්න ඒ වගේ දේවල් කතා වෙන එක අපිට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම ‘සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න,’ යෙහෝවාගේ අනුමැතිය ලබාගන්න අපි අරන් තියෙන අධිෂ්ඨානයත් ඒකෙන් ශක්තිමත් වෙනවා.—3 යොහ. 4.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 සත්‍යය කියන්නේ අපේ ජීවිතේට ලැබුණ වටිනා තෑග්ගක්. ඒ තෑග්ග ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙන්නේ ඇයි? ඒ අගය අපිට දිගටම පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු. යෙහෝවා දෙවියන් අපිව සත්‍යයට ළං කරපු එක ගැන අපිට තියෙන අගය තවත් වැඩි කරගන්න ඒ තොරතුරු උදව් වෙයි. (යොහ. 6:44) ඒ වගේම අනිත් අයත් එක්ක සත්‍යය බෙදාගන්න අපේ හිතේ ලොකු පෙලඹීමකුත් ඇති කරයි.

“සත්‍යය” අපිට මෙච්චරම වටින්නේ ඇයි?

3. සත්‍යය අපිට වටිනවා කියන්න තියෙන වැදගත්ම හේතුව මොකක්ද?

3 සත්‍යය අපිට වටින්නේ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් අපිට කියන්න ගොඩක් හේතු තියෙනවා. ඒ අතරින් වැදගත්ම හේතුව තමයි සත්‍යයේ උල්පත වන යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ. බයිබලේ ඉගෙනගද්දී අපි දැනගත්තා යෙහෝවා කියන්නේ මේ අහස, පොළොව හැම දේම නිර්මාණය කරපු බලවත් දෙවියන් කියලා. හැබැයි ඒ විතරක් නෙවෙයි ඔහු අපිව ලොකු සෙනෙහසකින් රැකබලා ගන්න ආදරණීය තාත්තා කෙනෙක්. (1 පේතෘ. 5:7) ඒ වගේම ‘යෙහෝවා දෙවියන් දයාන්විතයි, කරුණාවන්තයි. කෝප වීමට ඉක්මන් වෙන්නේ නැහැ. ඉමහත් ප්‍රේමයක් පෙන්නනවා, හැම වෙලේම විශ්වාසවන්තව ක්‍රියා කරනවා.’ (නික්. 34:6) ඔහු යුක්තියට කැමති දෙවි කෙනෙක්. (යෙසා. 61:8) අපි දුක් විඳිනවාට ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒක ඔහුටත් ලොකු වේදනාවක්. ඒ විතරක් නෙවෙයි දෙවියන් ආසාවෙන් බලාගෙන ඉන්නේ අපි විඳින මේ දුක් වේදනාවන් හැම එකක්ම ළඟදීම අයින් කරලා දාන්න. (යෙරෙ. 29:11) ඒ දවස එන කල් අපිත් ඉන්නේ ඇඟිලි ගැන ගැන. යෙහෝවා දෙවියන් කියන්නේ පුදුමාකාර ගතිගුණ තියෙන කෙනෙක්. ඉතින් ඔහු ගැන අපේ හිතේ ආදරයක් ඇති වෙන එක අහන්නත් දෙයක්ද!

සත්‍යය . . . නැංගුරමක් වගේ

කැලඹුණු මුහුදක තියෙන බෝට්ටුවක් ගහගෙන යන එක වළක්වන්න නැංගුරමකට පුළුවන්. සත්‍යයත් ඒ නැංගුරම වගේ. ඒක අපිට උදව් වෙනවා ප්‍රශ්න එද්දී ඒවාට සන්සුන්ව මුහුණ දෙන්න. ඒ වගේම අපි බයිබලෙන් දැනගත්ත සත්‍යය අපිව පොලඹවනවා ඒ ගැන අනිත් අයටත් කියන්න (4-7 ඡේද බලන්න)

4-5. බලාපොරොත්තුව පාවුල් නැංගුරමකට සමාන කළේ ඇයි?

4 සත්‍යය දැනගන්න එකෙන් අපිට ගොඩක් ප්‍රයෝජනත් තියෙනවා. ඒ අතරින් එකක් තමයි අනාගතේ ගැන ලස්සන බලාපොරොත්තුවක් ලැබෙන එක. බලාපොරොත්තුව අපේ ජීවිතේට කොච්චර වටිනවාද කියලා පාවුල් කියපු මේ දෙයින් තේරෙනවා. “අපට තිබෙන ඒ බලාපොරොත්තුව අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය. එය ස්ථිරය. ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැත.” (හෙබ්‍රෙ. 6:19) කැලඹුණු මුහුදක තියෙන බෝට්ටුවක් සැඩ පහරට ගහගෙන යන්නේ නැතුව තියාගන්න නැංගුරමක් උදව් වෙනවා. අපිට තියෙන බලාපොරොත්තුවත් නැංගුරමක් වගේ. පීඩා, ප්‍රශ්න එද්දී සන්සුන්ව ඉන්න ඒක අපිට උදව් වෙනවා.

5 පාවුල් මෙතන කතා කරකර හිටියේ අභිෂේක ලත් අයට තියෙන බලාපොරොත්තුව ගැනයි. ඒත් පාරාදීස පොළොවක ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන අයටත් පාවුල් කියපු වචන අදාළයි. (යොහ. 3:16) ඇත්තම කිව්වොත් ස්වර්ගයේ වුණත් පොළොවේ වුණත් සදහටම ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුව නිසයි අපේ ජීවිතේට අර්ථයක් ලැබිලා තියෙන්නේ.

6-7. අනාගතේ ගැන ඇත්ත දැනගත්ත එක ඉවෝන්ට උදව් වුණේ කොහොමද?

6 සහෝදරි ඉවෝන්ගේ අද්දැකීම බලන්න. එයා සත්‍යයේ හැදුණු වැඩුණු කෙනෙක් නෙවෙයි. පොඩි කාලේ කියවපු දෙයක් එයාගේ මනසට ගොඩක් බලපෑවා. ඒකේ තිබුණේ “හෙටක් කියලා දෙයක් උදා වෙන්නේ නැති දවසක් එනවා. ඒ තමයි මැරෙන දවස” කියලා. ඒක එයාට කොච්චර බලපෑවාද කියනවා නම් එයාගේ හිතේ මරණය ගැන ලොකු බයක් ඇති වුණා. ඒක එයාගේ ඔළුවෙන් අයින් කරගන්නම බැරි වුණා. ‘මෙහෙම ටික කාලයක් දුක් විඳලා මැරිලා යන එකද ජීවිතේ කියන්නේ? ඇයි මං ඉපදුණේ? මං මැරෙන්න කැමති නෑ’ කියලා එයා රෑ එළි වෙන කල් හිතුවා. එයාට හරියට නින්ද ගියෙත් නැහැ.

7 ඉවෝන් යෞවන වයසට ආවම සාක්ෂිකරුවන් එක්ක බයිබලේ ඉගෙනගන්න පටන්ගත්තා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න මටත් පුළුවන් කියලා මගේ හිතේ විශ්වාසයක් ඇති වෙන්න පටන්ගත්තා. ‘හෙට මොනා වෙයිද? මං මැරෙයිද’ කියලා හිතහිත මං දැන් බය වෙන්නේ නෑ. මට දැන් රෑට හොඳට නින්ද යනවා. මොකද දැන් මට අනාගතේ ගැන ලස්සන බලාපොරොත්තුවක් තියෙනවා.” ඉවෝන්ගේ ජීවිතේට සත්‍යය කොච්චර වටිනාකමක් එකතු කළාද කියලා ඔයාලා දැක්කාද? එයාට තියෙන බලාපොරොත්තුව අනිත් අය එක්කත් බෙදාගන්න එකෙන් ඉවෝන් දැන් ලොකු සතුටක් ලබනවා.—1 තිමෝ. 4:16.

සත්‍යය . . . නිධානයක් වගේ

සත්‍යය නිසා දැන් විතරක් නෙවෙයි සදහටමත් දෙවියන්ට සේවේ කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව අපිට නිධානයක් වගේ වටිනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි මොන කැප කිරීම කළත් ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ (8-11 ඡේද බලන්න)

8-9. (අ) උපමාවේ හිටපු කෙනා එයාට හම්බ වුණ වස්තුව සැලකුවේ කොහොමද? (ආ) ඔයාට ලැබුණ සත්‍යය ඔයා සලකන්නේ කොහොමද?

8 දේවරාජ්‍යය ගැන ශුභාරංචියත් බයිබලේ තියෙන සත්‍යයට ඇතුළත් වෙනවා. මතෙව් 13:44 යේසුස් මෙහෙම කිව්වා. “ස්වර්ග රාජ්‍යය තණබිමක සඟවා තිබෙන වස්තුවකට සමානයි. එක්තරා මිනිසෙකුට එය සම්බ වූ විට ඔහු එය එතැනම සඟවා තැබුවා. ඔහුට ඇති වූ ප්‍රීතිය කොතරම්ද කියනවා නම් ඔහු ගොස් තමා සතු සියල්ල විකුණා ඒ තණබිම මිල දී ගත්තා.” ඒ උපමාවේ හිටපු කෙනා වස්තුව හොයාගෙන ගියේ නැහැ. එයාට ඒක හම්බ වුණේ අහම්බෙන්. හැබැයි ඒක හම්බ වුණාම එයා මොනවාද කළේ? එයාට අයිති හැම දේම විකුණලා එයා ඒක ගත්තා. ඒ ඇයි? මොකද එයා දැනන් හිටියා ඒක එච්චරටම වටිනවා කියලා.

9 සත්‍යය ගැන ඔයාට හැඟෙන්නෙත් ඒ විදිහටමද? ඒ ගැන කිසිම සැකයක් නැහැ. මොකද සත්‍ය ඉගැන්වීම් ගැන දැනගන්න ලැබුණ නිසා තමයි අද දෙවියන්ට සේවේ කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ. අද විතරක් නෙවෙයි දේවරාජ්‍යය යටතේ සදහටම ඒක කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒකෙන් ලැබෙන සතුට වෙන කිසිම දේකින් ලැබෙනවාද? සත්‍යය නිසා අද අපිට යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා. ඒ වෙනුවෙන් මොන කැප කිරීම කරන්න වුණත් අපි කවදාවත් ඒ ගැන දුක් වෙන්නේ නැහැ. ‘හැම දේකදීම යෙහෝවා දෙවියන්ව සතුටු කරන එක’ තමයි අපේ එකම ආසාව.—කොලො. 1:10.

10-11. මයිකල් ජීවිතේ වෙනස් කරගත්තේ ඇයි?

10 යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න අපේ සහෝදරයෝ හුඟක් කැප කිරීම් කරලා තියෙනවා. සමහර අයට මේ ලෝකේ හිණිපෙත්තටම යන්න අවස්ථාව තිබුණත් එයාලා ඒක අත්හැරියා. තවත් අය හොඳට සල්ලි හම්බ කරලා සැප පහසු ජීවිතයක් ගත කරන්න තිබුණ අවස්ථාව කැප කළා. තවත් සමහර අය දෙවියන් වෙනුවෙන් එයාලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තියෙනවා. මයිකල් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. එයා තරුණ කාලේ කරාටේ ඉගෙනගත්තා. එයා මෙහෙම කියනවා. “මගේ ඇඟේපතේ හයිය ගැන මං ඕනාවට වඩා හිතුවා. සමහර වෙලාවට මට හිතුණා කිසිම කෙනෙක්ට මාව පරද්දන්න බෑ කියලා.” හැබැයි බයිබලේ පාඩම් කරද්දී සැහැසියාව ගැන දෙවියන්ට හැඟෙන විදිහ මයිකල් දැනගත්තා. (ගීතා. 11:5) එයාත් එක්ක බයිබලේ පාඩම් කරපු සාක්ෂිකාර යුවළ ගැන මයිකල් මෙහෙම කියනවා. “කරාටේ නවත්තන්න කියලා එයාලා කවදාවත් කිව්වේ නැහැ. ඒ වෙනුවට එයාලා බයිබලේ තියෙන සත්‍යය මට කියලා දුන්නා.”

11 යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගද්දී මයිකල්ගේ හිතේ ඔහු ගැන තිබුණ ආදරෙත් වැඩි වුණා. දෙවියන් ඔහුගේ සෙනඟට පෙන්නන ආදරේ, සැලකිල්ල තමයි මයිකල්ගේ හිතට වැඩියෙන්ම වැදුණේ. කාලයක් යද්දී එයාට තේරුණා එයා දෙකෙන් එකක් තෝරගන්න ඕනෙ කියලා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මගේ ජීවිතේ අමාරුම දේ වුණේ කරාටේ අත්හරින එක. හැබැයි මට තේරුණා නියම සතුට ලබන්න නම් මං යෙහෝවා කැමති විදිහට ජීවත් වෙන්න ඕනෙ කියලා. ඒ නිසා මං අමාරුවෙන් හරි කරාටේ අත්හැරියා.” මයිකල්ගේ හිතේ සත්‍යය ගැන ලොකු අගයක් තිබුණා. ඒකයි එයා ඉගෙනගත්ත දේවල් අදාළ කරගෙන ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තේ.—යාකො. 1:25.

සත්‍යය . . . පහනක් වගේ

අන්ධකාරය මැදින් හරි පාර හොයාගන්න පහනක එළිය අපිට උදව් වෙනවා. දෙවියන්ගේ වචනයත් හරියට පහනක් වගේ. සාතන්ගේ මේ අඳුරු ලෝකය මැදින් යද්දී හරි පාර හොයාගන්න ඒක අපිට උදව් වෙනවා (12-13 ඡේද බලන්න)

12-13. බයිබල් ඉගැන්වීම් මයිලිගේ ජීවිතේට ආලෝකයක් වුණේ කොහොමද?

12 බයිබල් ඉගැන්වීම් කොච්චර වටිනවාද කියලා තේරුම්ගන්න ඒවා බයිබලේ පහනකට සමාන කරලා තියෙනවා. (ගීතා. 119:105; එෆී. 5:8) අසර්බයිජානයේ ඉන්න මයිලිගේ ජීවිතේට සත්‍යය ආලෝකයක් වුණේ කොහොමද කියලා අපි එයාගේ අද්දැකීමෙන් බලමු. එයාගේ තාත්තා මුස්ලිම්. අම්මා යුදෙව්. පුංචි කාලේ ඉඳන් අහපු දේවල් එයාගේ හිතට බලපාපු විදිහ ගැන එයා මෙහෙම කියනවා. “දෙවි කෙනෙක් ඉන්නවාද කියන එක ගැන මට කිසිම සැකයක් තිබ්බේ නෑ. හැබැයි මගේ හිතේ තව ගොඩක් ප්‍රශ්න තිබුණා. ‘ඇයි දෙවියන් අපිව හැදුවේ? කෙනෙක් ඉපදුණ දවසේ ඉඳන් මැරෙන කල්ම දුක් විඳලා විඳලා, මැරුණාට පස්සෙත් අපායක දුක් විඳින්නේ ඇයි? මිනිස්සු කියන විදිහට ඒ හැම දෙයක්ම වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත නිසා. ඒ කියන්නේ දෙවියන් අපිව හැදුවේ අපි දුක් විඳිනවා බලලා සතුටු වෙන්නද?’”

13 මයිලි එයාට තිබුණ ප්‍රශ්නවලට දිගටම උත්තර හෙව්වා. කාලයක් යද්දී එයා බයිබලේ පාඩම් කරලා සත්‍යයට ආවා. එයා මෙහෙම කියනවා. “මගේ හිතේ තිබුණ හැම ප්‍රශ්නෙටම පිළිගන්න පුළුවන් උත්තර මට බයිබලෙන් ලැබුණා. එතනින් පස්සේ තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන්ගත්තේ. බයිබලෙන් තර්කානුකූලව උත්තර දැනගද්දී මගේ හිතට පුදුම සහනයක් දැනුණා.” එහෙම බලද්දී අපිව ‘අන්ධකාරයෙන් එළියට අරගෙන බැබළෙන ආලෝකයට කැඳවපු’ එක ගැන අපි යෙහෝවාට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!—1 පේතෘ. 2:9.

14. සත්‍යය ගැන තියෙන අගය වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද? (“ බයිබල් ඉගැන්වීම් මේවාටත් සමාන කරන්න පුළුවන්” කියන කොටුව බලන්න.)

14 අපි බලපු විදිහට සත්‍යය කියන්නේ අපිට ගොඩක් වටින දෙයක්. ඒක නැංගුරමකට, වස්තුවකට, පහනකට විතරක් නෙවෙයි තව හුඟක් දේවල්වලට සමාන කරන්න පුළුවන්. සමහරවිට තව උදාහරණ ඔයාගේ ඔළුවටත් එන්න ඇති. ඉතින් සත්‍යය කියන විෂය තෝරගෙන ඒ ගැන ටිකක් අධ්‍යයනය කරන්න. එතකොට සත්‍යය ගැන ඔයාගේ හිතේ තියෙන අගය තව වැඩි වෙයි. අගය වැඩි වෙන්න වැඩි වෙන්න සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්නත් ඔයා පෙලඹෙයි.

සත්‍යය ඔයාට වටිනවා කියලා පෙන්නන්න

15. සත්‍යය ගොඩක් වටිනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් එක විදිහක් කියන්න.

15 බයිබලේ සහ අපේ පොත් පත් ගැඹුරින් අධ්‍යයනය කරද්දී සත්‍යය අපිට ගොඩක් වටිනවා කියලා පෙන්නන්න පුළුවන්. අවුරුදු ගාණක් සත්‍යයේ හිටියත් අපි හැම දේම දන්නේ නැහැ. ඒකයි අපි බයිබලේ අධ්‍යයනය කරන එක පුරුද්දක් කරගන්න ඕනේ. මුලින්ම පළ වුණ ‘මුරටැඹ’ සඟරාවේ වල් පැළ අතර පිපුණ ලස්සන මලකට සත්‍යය සමාන කරලා තිබුණා. ඒකේ මෙහෙම කියනවා. “වල් පැළවලින් වැහිලා තිබුණ නිසා බැලූ බැල්මට ඒ මල පේන්නේ නැහැ. හොඳට හෙව්වොත් විතරයි ඒක හොයාගන්න පුළුවන්. කෙනෙක් ඒ වගේ මලක් දැක්කාම ඒකෙන් සෑහීමට පත් වෙන්නේ නැතුව තව මල් සැඟවිලා තියෙනවාද කියලා හොයනවා. අපිත් බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීමක් තේරුම්ගත්තාම ඒකෙන් සෑහීමට පත් වෙලා එතනින් නතර වෙන්න හොඳ නැහැ.” ඇත්ත, අධ්‍යයනය කරන්න අපේ පැත්තෙන් ගොඩක් මහන්සි වෙන්න වෙයි. ඒත් ඒ මහන්සිය අපතේ යන්නේ නැහැ.

16. අධ්‍යයනය කරන්න ඔයා පාවිච්චි කරන්නේ මොන ක්‍රමයද? (හිතෝපදේශ 2:4-6)

16 සමහරුන්ට අධ්‍යයනය කරන එක, කියවන එක මරන්න ගෙනියනවා වගේ වැඩක්. ඒත් යෙහෝවා අපිට කියන්නේ බයිබල් සත්‍යයන් ‘දිගටම හොයන්න’ කියලා. එතකොට ඒවා හොඳට තේරුම්ගන්න අපිට පුළුවන්. (හිතෝපදේශ 2:4-6 කියවන්න.) අපි මහන්සි වෙලා ඒක කරද්දී ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. කෝරිගේ අද්දැකීම බලන්න. එයා බයිබලේ කියවද්දී එක සැරේකට අවධානය දෙන්නේ එක පදේකට විතරයි. එයා මෙහෙම කියනවා. “මං ඒ බයිබල් පදේට අදාළ හැම පාදසටහනක්ම, හරස් යොමු සටහනක්ම බලනවා. ඒ වගේම ඒ පදේ ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරනවා. එහෙම කරන එකෙන් මං දන්නේ නැති හුඟක් දේවල් දැනගන්න මට පුළුවන් වෙලා තියෙනවා.” ඔයාත් අධ්‍යයනය කරද්දී ඒ ක්‍රමයම හරි වෙන ක්‍රමයක් හරි පාවිච්චි කරනවා ඇති. හැබැයි ඒ කොහොම කළත් කාලේ අරන්, ලොකු වෑයමක් දරලා අධ්‍යයනය කරද්දී ඔයා පෙන්නන්නේ සත්‍යය ගැන ඔයාගේ හිතේ තියෙන අගයයි.—ගීතා. 1:1-3.

17. සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (යාකොබ් 1:25)

17 අපි බයිබලේ තියෙන දේවල් නිකම්ම අධ්‍යයනය කරලා විතරක් මදි. ඒවාට එකඟව ජීවත් වෙන්නත් ඕනේ. එතකොට තමයි අපිට නියම සතුට ලැබෙන්නේ. (යාකොබ් 1:25 කියවන්න.) ඒත් අපි සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඒ ගැන එක සහෝදරයෙක් මේ වගේ දෙයක් කිව්වා. “ඒකට අපි අපිවම හොඳට සෝදිසි කරන්න ඕනේ. එතකොට අපිටම තේරෙයි අපි බයිබල් ඉගැන්වීම් අදාළ කරගෙන වෙනස් වෙලා තියෙන්නේ මොන පැතිවලින්ද, තව දියුණු වෙන්න ඕනෙ මොන පැතිවලින්ද කියලා.” පාවුල් පවා කිව්වා “මෙතරම් දුරකට ප්‍රගතියක් ලබාගැනීමට අප යම් දේවල් කළා නම් ඒ දේවල ඒ අයුරින්ම දිගටම නිරත වෙමු” කියලා.—ෆිලි. 3:16.

18. “සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න” අපි උපරිමය කරන්නේ ඇයි?

18 “සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන” එකෙන් කොච්චර ප්‍රයෝජන ලැබෙනවාද! එක අතකින් එහෙම කරද්දී අපේ ජීවිත හොඳ අතට හැරෙනවා. අනිත් පැත්තෙන් අපිට යෙහෝවා දෙවියන්ව, අපේ සහෝදර සහෝදරියන්ව සතුටු කරන්නත් පුළුවන්. (හිතෝ. 27:11; 3 යොහ. 4) සත්‍යයට ඇලුම් වෙලා දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න ඊටත් වඩා හේතු ඕනෙද!

ගීතිකාව 144 යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත

^ අපේ විශ්වාසයන්වලට අපි කියන්නේ “සත්‍යය” කියලා. ඒ විශ්වාසයන්වලට අනුව ජීවත් වෙන එකට “සත්‍ය මාර්ගයේ යනවා” කියලා අපි කියනවා. ඔයා පොඩි කාලේ ඉඳලාම සත්‍යයේ ඉන්න කෙනෙක්ද? නැත්නම් ඔයා සත්‍යය දැනගත්තේ මෑතකදීද? ඒ කොහොම වුණත් අපි එක් එක් කෙනා හිතලා බලන්න ඕනෙ ‘සත්‍යය දැනගන්න ලැබුණ එක මං අගය කරන්නේ ඇයි’ කියලා. ඒ ගැන හිතලා බලන එක යෙහෝවා දෙවියන්ව දිගටම සතුටු කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න උදව් වෙයි.