Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 24

යෙහෝවා දෙවියන් සමාව දෙන විදිහ අසමසමයි!

යෙහෝවා දෙවියන් සමාව දෙන විදිහ අසමසමයි!

“යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්ය. ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය අතිමහත්ය.”—ගීතා. 86:5.

ගීතිකාව 42 දෙවිගේ සේවකයෙකුගේ අයැදීම

මේ ලිපියෙන් a

1. දේශනාකාරයා 7:20 සලමොන් රජ කිව්වේ මොනවාද?

 සලමොන් රජ කිව්වා “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක” කියලා. (දේශ. 7:20) ඒක කොච්චර ඇත්තක්ද! අපි හැමෝම පව්කාරයෝ. අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. (1 යොහ. 1:8) ඒ නිසයි අපිට යෙහෝවාගේ සහ අනිත් අයගේ සමාව ඕනේ.

2. වෙච්ච වරදකට ඔයාගේ කිට්ටු යාළුවෙක් ඔයාට සමාව දෙද්දී ඒ ගැන දැනෙන්නේ කොහොමද?

2 හිතන්න, ඔයාගේ කිට්ටු යාළුවෙක්ට ඔයාගේ අතින් වරදක් වෙනවා. ඒ වගේ වෙලාවට ඔයා මොකද කරන්නේ? ඔය දෙන්නා අතර තියෙන යාළුකම නැති කරගන්න කැමති නැති නිසා ඔයා ඉක්මනටම ගිහින් සමාව ඉල්ලනවා. ඉල්ලන පරක්කුවට එයා ඔයාට සමාව දුන්නොත් ඔයාට කොහොම දැනෙයිද? හිතේ තිබ්බ ලොකු බරකින් නිදහස් වුණා වගේ දැනෙනවා නේද?

3. අපි මේ ලිපියෙන් විශේෂයෙන්ම බලන්නේ මොනවා ගැනද?

3 යෙහෝවා දෙවියන් හැමදාම අපේ කිට්ටුම යාළුවා වෙලා ඉන්නවා දකින්නයි අපිට ඕනේ. ඒ වුණත් අපේ අතින් ඔහුගේ හිත රිදෙන දේවල් ඕන තරම් වෙනවා. දෙවියන් අපේ අතින් වෙන වැරදිවලට සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා අපි දන්නේ කොහොමද? අපි සමාව දෙන විදිහට වඩා යෙහෝවා සමාව දෙන විදිහේ තියෙන විශේෂත්වය මොකක්ද? යෙහෝවා සමාව දෙන්නේ මොන වගේ අයටද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

යෙහෝවා දෙවියන් සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා

4. යෙහෝවා සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා අපි හරියටම දන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවියන් සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා බයිබලේ සහතික කරනවා. බලන්න සීනයි කන්දේදී ඔහු දේවදූතයෙක් මාර්ගයෙන් මෝසෙස්ට කියපු දේ. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නෙමි. යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙමි. මම පරම්පරා දහස් ගණනකට මහත් ප්‍රේමයක් පෙන්වමින් අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි.” (නික්. 34:6, 7) ඒකෙන් මොකක්ද පැහැදිලි වෙන්නේ? යෙහෝවා කියන්නේ පසුතැවිලි වුණ අයට සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න, දයාවෙන් සහ කරුණාවෙන් පිරුණු දෙවි කෙනෙක්.—නෙහෙ. 9:17; ගීතා. 86:15.

අපි අතීතයේදී මුහුණ දුන්න දේවල් අපි හිතන විදිහට, වැඩ කරන විදිහට බලපාලා තියෙනවා කියලා යෙහෝවා තේරුම්ගන්නවා (5 ඡේදය බලන්න)

5. යෙහෝවා අපි ගැන හැම තොරතුරක්ම දන්න නිසා ඔහු පෙලඹෙන්නේ මොනවා කරන්නද? (ගීතාවලිය 103:13, 14)

5 අපේ නිර්මාතෘ විදිහට යෙහෝවා තරම් අපි ගැන දන්න වෙන කවුරුත් නැහැ. ටිකකට හිතන්න, ඔහු මේ පොළොවේ ඉන්න හැම කෙනෙක්ගෙම හැම පුංචි තොරතුරක් ගැනම දන්නවා. (ගීතා. 139:15-17) ඒ වගේම අපිට තියෙන සමහර අඩුපාඩුකම්, දුර්වලකම් අපිට උපතින්ම උරුම වෙච්ච ඒවා කියලත් ඔහු දන්නවා. ඒ විතරක් නෙවෙයි පුංචි කාලේ ඉඳන් අපි මුහුණ දීලා තියෙන්නේ මොන වගේ දේවල්වලටද ඒ දේවල් අපි හිතන විදිහට, වැඩ කරන විදිහට බලපාලා තියෙන්නේ කොහොමද කියලත් ඔහු දන්නවා. ඒ නිසා යෙහෝවා අපිට දයාව, කරුණාව පෙන්නන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා.—ගීතා. 78:39; ගීතාවලිය 103:13, 14 කියවන්න.

6. යෙහෝවා අපිට සමාව දෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා ඔප්පු කරලා තියෙන්නේ කොහොමද?

6 අපිට සමාව දෙන්න යෙහෝවාගේ හිතේ කොච්චර ආසාවක් තියෙනවාද කියලා ඔහු ඔප්පු කරලා තියෙනවා. ඒ කොහොමද? ආදම් නිසා මිනිස්සු හැමෝටම පාපය සහ මරණය උරුම වුණා. (රෝම 5:12) අපි මොන දේ කළත් ඒ ශාපයෙන් අපිවවත් තව කෙනෙක්වවත් ගලවාගන්න අපිට බැහැ. (ගීතා. 49:7-9) හැබැයි යෙහෝවා කොච්චර කාරුණික දෙවි කෙනෙක්ද කියනවා නම් ඔහු ඒකෙන් අපිව නිදහස් කරන්න මාර්ගයක් විවෘත කළා. යොහන් 3:16 කියන විදිහට ඔහුගේ ආදරණීය පුතාව අපි වෙනුවෙන් මැරෙන්න මේ පොළොවට එව්වේ ඒ නිසයි. (මතෙ. 20:28; රෝම 5:19) යේසුත් මිනිස්සුන්ගේ හැම පාපයක්ම ඔහුගේ කර පිටට අරන් කැමැත්තෙන්ම ජීවිතේ පූජා කළා. ඒ නිසයි ඔහු ගැන විශ්වාසය තියන ඕනම කෙනෙක්ට පාපයෙන්, මරණයෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. (හෙබ්‍රෙ. 2:9) ඒත් ටිකකට හිතන්න, යේසුස් මේ පොළොවට ඇවිල්ලා හැමෝම ඉස්සරහා නින්දා විඳලා කුරිරු මරණයකට මුහුණ දෙද්දී යෙහෝවාට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! යෙහෝවා මිනිස්සුන්ට සමාව දෙන්න ආසාවෙන් හිටියේ නැත්නම් කීයටවත් ඒ වගේ දේකට ඉඩ හරියිද?

7. අතීතයේදී යෙහෝවා සමාව දීපු දෙන්නෙක් ගැන කියන්න.

7 යෙහෝවා දෙවියන් සමාව දීපු හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. (එෆී. 4:32) එහෙම කිව්වාම ඔයාට ඉස්සෙල්ලාම මතක් වුණේ කාවද? සමහරවිට ඔයාට මනස්සේ රජව මතක් වෙන්න ඇති. මනස්සේ කියන්නේ ගොඩක් දුෂ්ට කෙනෙක්. එයා බොරු නමස්කාරය නඟා සිටුවන්න පුළුවන් හැම දෙයක්ම කළා. බොරු දෙවිවරුන්ට තමන්ගේ දරුවන්වත් පූජා කළා. එයාගේ හිත කොච්චර දරදඬු වෙලා තිබ්බාද කියනවා නම් එයා කිසිම බයක් සැකක් නැතුව බොරු දෙවි කෙනෙක්ගේ පිළිමයක් දේවමාලිගාව ඇතුළටත් ගෙනාවා. මනස්සේ කරපු ඒ වගේ දේවල් නිසයි එයා ගැන බයිබලේ මෙහෙම කියලා තියෙන්නේ. “ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.” (2 ලේක. 33:2-7) හැබැයි ඒ මොන දේ කළත් මනස්සේ තමන්ගේ වැරදි තේරුම් අරන් අවංකවම පසුතැවිලි වෙද්දී යෙහෝවා එයාට සම්පූර්ණයෙන්ම සමාව දුන්නා. ඒ විතරක් නෙවෙයි එයාගේ රජකමත් ආයෙත් දුන්නා. (2 ලේක. 33:12, 13) මනස්සේව වගේම සමහරවිට ඔයාට දාවිත්වත් මතක් වෙන්න ඇති. දාවිත් කියන්නෙත් ගොඩක් වැරදි කරපු කෙනෙක්. එයා අනාචාරයේ යෙදුණා. මිනීමැරුමකටත් සම්බන්ධ වුණා. හැබැයි එයාත් අවංකවම පසුතැවිලි වෙද්දී යෙහෝවා දෙවියන් එයාටත් මුළු හදවතින්ම සමාව දුන්නා. (2 සාමු. 12:9, 10, 13, 14) ඒ දේවල්වලිනුත් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන් අපිට සමාව දෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා. ඒත් මිනිස්සු සමාව දෙන විදිහට වඩා යෙහෝවා දෙවියන් සමාව දෙන විදිහ හරිම විශේෂයි. එහෙම කියන්නේ ඇයි කියලා අපි දැන් බලමු.

යෙහෝවා දෙවියන් සමාව දෙන විදිහ විශේෂයි

8. යෙහෝවා තමයි ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු. ඒක ඔහු සමාව දෙන විදිහට බලපාන්නේ කොහොමද?

8 යෙහෝවා තමයි මේ “මුළු පොළොවෙම විනිශ්චයකරු.” (උත්. 18:25) සාමාන්‍යයෙන් විනිශ්චයකරුවෙක්ට නීතිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. බයිබලේ යෙහෝවා දෙවියන්ව විනිශ්චයකරු විදිහට විතරක් නෙවෙයි නීතිදායකයා විදිහටත් හඳුන්වලා තියෙනවා. (යෙසා. 33:22) ඒ කියන්නේ අපිට නීති ලබා දීලා තියෙන්නේ ඔහුයි. ඒකෙන් පැහැදිලි වෙනවා හරි වැරැද්ද ගැන දෙවියන්ට තරම් අවබෝධයක් වෙන කාටවත් නැහැ කියලා. හොඳ විනිශ්චයකරුවෙක්ට තියෙන්න ඕනෙ තව දෙයක් මොකක්ද? එයා යම් සිද්ධියක් ගැන හැම තොරතුරක්ම දැනගෙන ඉන්නත් ඕනේ. ඒ පැත්තෙන් බලද්දීත් අපිට ඉන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු යෙහෝවා දෙවියන් කියලා කියන්න පුළුවන්.

9. කෙනෙක්ට සමාව දෙනවාද නැද්ද කියලා යෙහෝවා තීරණය කරන්නේ කොහොමද?

9 මේ පොළොවේ ඉන්න විනිශ්චයකරුවන් වගේ නෙවෙයි යෙහෝවා දෙවියන් හැම කෙනෙක් ගැනම හැම දෙයක්ම දන්නවා. (උත්. 18:20, 21; ගීතා. 90:8) සාමාන්‍යයෙන් මිනිස්සු විනිශ්චයක් දෙන්නේ එයාලා අහන දකින දේවල්වලට අනුව. හැබැයි යෙහෝවා එහෙම නැහැ. කෙනෙක්ට දෙමාපියන්ගෙන් උරුම වුණ ගතිපැවැතුම්, එයාගේ මානසික තත්වය, අධ්‍යාපන මට්ටම, එයා හැදුණු වැඩුණු පරිසරය වගේ හැම දෙයක්ම ඔහු දන්නවා. ඒ විතරක් නෙවෙයි වරදක් කරන්න ඒ දේවල් එයාට බලපෑවේ කොහොමද කියලත් ඔහු දන්නවා. දෙවියන්ට මිනිස්සුන්ගේ හිත් කියවන්නත් පුළුවන්. ඒ නිසා දෙයක් කරන්න කෙනෙක් පෙලඹුණේ ඇයි, එයාගේ හිතේ චේතනාවන්, ආසාවන් මොනවාද කියලත් ඔහු දන්නවා. කොටින්ම කියනවා නම් යෙහෝවා අපි ගැන නොදන්න දෙයක් නැහැ. (හෙබ්‍රෙ. 4:13) ඒ තොරතුරුවලින් මොකක්ද පැහැදිලි වෙන්නේ? යෙහෝවා දෙවියන් කෙනෙක්ට සමාව දෙන්නේ එයා ගැන හැම තොරතුරක්ම දැනගෙනයි.

යෙහෝවා පැති ගන්නේ නැති, සාධාරණ දෙවි කෙනෙක්. ඔහුට අල්ලස් දීලා ඔහුගේ තීන්දු වෙනස් කරන්න කාටවත් බැහැ (10 ඡේදය බලන්න)

10. යෙහෝවා දෙන විනිශ්චයන් හැම වෙලේම සාධාරණයි කියලා කියන්න පුළුවන් ඇයි? (ද්විතීය කතාව 32:4)

10 යෙහෝවා දෙන විනිශ්චයන් හැම වෙලේම සාධාරණයි. මොකද ඔහු කවදාවත් පැති ගන්න දෙවි කෙනෙක් නෙවෙයි. ඔහු කෙනෙක්ට සමාව දෙන්නේ එයාගේ පෙනුම, එයාට සමාජයේ තියෙන තැන, වත්පොහොසත්කම්, හැකියාවන් දිහා බලලා නෙවෙයි. (1 සාමු. 16:7; යාකො. 2:1-4) යෙහෝවාට බලපෑම් කරලා, ඔහුට අල්ලස් දීලා ඔහු දෙන තීන්දු වෙනස් කරන්න කාටවත් බැහැ. (2 ලේක. 19:7) ඔහු විනිශ්චයක් දෙද්දී කවදාවත් හැඟීම්වලට වහල් වෙන්නේ නැහැ. කේන්තියෙන් ඒක කරන්නෙත් නැහැ. (නික්. 34:7) යෙහෝවාට අපි ගැන, අපි මුහුණ දෙන තත්වයන් ගැන තියෙන අසීමිත අවබෝධය දිහා බලද්දී ඔහු තමයි අපිට ඉන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු කියලා කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්.—ද්විතීය කතාව 32:4 කියවන්න.

11. යෙහෝවා සමාව දෙන විදිහේ තියෙන විශේෂත්වය මොකක්ද?

11 දෙවියන් සමාව දෙන විදිහේ විශේෂත්වයක් තියෙනවා කියලා බයිබල් ලේඛකයන් තේරුම් අරන් හිටියා. ඒ නිසයි ඒ ගැන විස්තර කරන්න සමහර අවස්ථාවලදී එයාලා වෙනමම හෙබ්‍රෙව් වචනයක් පාවිච්චි කළේ. ඒ ගැන එක පොතක මෙහෙම කියනවා. “ඒ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන් ගැන කතා කරද්දී විතරයි. මිනිස්සු සමාව දෙන විදිහ විස්තර කරද්දී ඒ වචනය කිසිම වෙලාවක එයාලා පාවිච්චි කළේ නැහැ. මිනිස්සු මුළු හදවතින්ම සමාව දුන්නත් එයාලට දෙවියන් සමාව දෙන විදිහටම සමාව දෙන්න හැකියාවක් නැහැ. මොකද දෙවියන් සමාව දෙන විදිහ අසමසමයි.” යෙහෝවාට විතරයි කෙනෙක්ට සම්පූර්ණයෙන්ම සමාව දෙන්න අයිතිය තියෙන්නේ. ඒත් යෙහෝවා සමාව දෙද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

12-13. (අ) යෙහෝවා කෙනෙක්ට සමාව දුන්නාම ඒ කෙනාට ලැබෙන්නේ මොනවාද? (ආ) අපි කරපු වරදකට යෙහෝවා සමාව දෙන්නේ කොච්චර කාලෙකටද?

12 යෙහෝවාගෙන් සමාව ලබපු කෙනෙක් “මහත් සහනයක්” අද්දකිනවා. ඒ වගේම මනසේ සාමය ඇතුව ඉන්නත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් එයාට පුළුවන් වෙනවා. මිනිස්සු සමාව දෙද්දී කවදාවත් ඒ වගේ සහනයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ “යෙහෝවා දෙවියන්ගෙන්” විතරයි. (ක්‍රියා 3:19) සමාව දුන්නාට පස්සේ යෙහෝවා දෙවියන් අපි කරපු වැරදි සම්පූර්ණයෙන්ම අමතක කරනවා. ඊටපස්සේ ඔහු කලින් අපිත් එක්ක තිබ්බ බැඳීම ආයෙත් ඇති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔහු අපිව සලකන්නේ කවදාවත් ඒ වැරැද්ද කරපු නැති කෙනෙක් විදිහට.

13 සමාව දුන්නාට පස්සේ යෙහෝවා දෙවියන් අපි කරපු වැරදි ආයෙත් මතක් කරකර අපිව රිද්දන්නෙවත් අපිට දඬුවම් කරන්නෙවත් නැහැ. (යෙසා. 43:25; යෙරෙ. 31:34) ඒ වෙනුවට ‘බස්නාහිර නැගෙනහිරෙන් ගොඩක් ඈතින් තියෙනවා වගේ’ යෙහෝවා අපේ වැරදි අපෙන් ඈත් කරනවා. b (ගීතා. 103:12) යෙහෝවා සමාව දෙන විදිහ ගැන හිතද්දී ඔහු කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා අපිට හිතෙනවා නේද! ඒ වගේම ඔහු ගැන ලොකු ආදරයක්, අගයක් අපේ හිතේ ඇති වෙනවා. (ගීතා. 130:4) ඒත් යෙහෝවා සමාව දෙන්නේ මොන වගේ අයටද?

යෙහෝවා දෙවියන් සමාව දෙන්නේ කාටද?

14. යෙහෝවා සමාව දෙනවාද නැද්ද කියලා තීරණය කරන විදිහ ගැන අපි ඉගෙනගත්තේ මොනවාද?

14 අපි කලින් ඡේදවල බලපු විදිහට යෙහෝවා කෙනෙක්ට සමාව දෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ එයා කරපු වරද ලොකුද පොඩිද කියලා බලලා නෙවෙයි. අපේ නිර්මාතෘ, නීති දායකයා සහ ශ්‍රේෂ්ඨ විනිශ්චයකරු විදිහට ඔහුට හැම දෙයක් ගැනම පුළුල් අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඔහු සමාව දෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ හැම තොරතුරක්ම සලකලා බැලුවාට පස්සෙයි. දැන් අපි යෙහෝවා සමාව දෙන්න කලින් බලන වැදගත් පැති කීපයක් බලමු.

15. ලූක් 12:47, 48 කියන විදිහට යෙහෝවා සලකලා බලන එක දෙයක් මොකක්ද?

15 යෙහෝවා සලකලා බලන එක දෙයක් තමයි කෙනෙක් වැරැද්දක් කරන්න කලින් ඒක වැරදියි කියලා දැනන් හිටියාද කියන කාරණය. ඒක යේසුත් ලූක් 12:47, 48 කාවැද්දුවා. (කියවන්න.) දෙවියන් පිළිකුල් කරනවා කියලා දැන දැනත් කෙනෙක් හිතාමතාම සැලසුම් කරලා දුෂ්ට දෙයක් කරනවා නම් ඒක යෙහෝවා සලකන්නේ බරපතළ දෙයක් විදිහට. ඒ වගේ කෙනෙක්ට සමහරවිට කවදාවත් සමාව නොලැබෙන්න ඉඩ තියෙනවා. (මාක් 3:29; යොහ. 9:41) හැබැයි සමහර වෙලාවට වැරදියි කියලා දැන දැනත් යෙහෝවා අකමැති දේවල් අපි කරලා තියෙනවා කියලා අපි ඕනම කෙනෙක් පිළිගන්න ඕනේ. ඒ කියන්නේ අපිට කවදාවත් සමාව ලැබෙන්නේ නැහැ කියන එකද? එහෙම නෙවෙයි, සමාව ලැබෙනවා. ඒක තේරුම්ගන්න යෙහෝවා සලකලා බලන තව පැත්තක් ගැන බලමු.

අපි අවංකවම පසුතැවිලි වෙනවා නම් යෙහෝවා අපිට අනිවාර්යයෙන්ම සමාව දෙනවා (16 සහ 17 ඡේද බලන්න)

16. පසුතැවිලි වෙනවා කියන්නේ මොකක්ද? යෙහෝවාගෙන් සමාව ලබාගන්න ඒක අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි?

16 යෙහෝවා සලකලා බලන තවත් පැත්තක් තමයි වරද කරපු කෙනා ඒ ගැන අවංකවම පසුතැවිලි වෙනවාද කියන කාරණය. ඒත් පසුතැවෙනවා කියන්නේ මොකක්ද? ඒකෙන් අදහස් කරන්නේ “කෙනෙක් හිතන විදිහ, එයාගේ ආකල්ප සහ අරමුණු වෙනස් කරගන්නවා” කියන එකයි. ඒ වගේම කරපු වැරදි ගැනත් හරි දේ කරන්න බැරි වුණ එක ගැනත් එයා අවංකවම දුක් වෙනවා කියන අදහසත් ඒකට ඇතුළත්. ඒ විතරක් නෙවෙයි ඒ වරද එයාගේ අතින් සිද්ධ වුණේ එයා යෙහෝවාගෙන් ඈත් වෙලා තියෙන නිසයි කියලා තේරුම් අරන් ඒ ගැනත් එයා දුක් වෙනවා. අපි ආයෙත් ටිකකට මනස්සේ රජවයි, දාවිත් රජවයි මතක් කරගමු. එයාලා දෙන්නාම බරපතළ වැරදි කළා. හැබැයි යෙහෝවා එයාලට සමාව දුන්නේ එයාලා අවංකවම පසුතැවිලි වුණ නිසයි. (1 රාජා. 14:8) ඒකෙන් පැහැදිලි වෙනවා යෙහෝවා කෙනෙක්ට සමාව දෙන්න නම් එයා කරපු වැරදි ගැන දුක් වෙලා විතරක් මදි කියලා. ඒ වෙනුවට පසුතැවිලි වෙනවා කියලා එයා කරන කියන දේවල්වලින් පැහැදිලිව පේන්න ඕනේ. c ඒක යෙහෝවා සලකලා බලන තවත් දෙයක්. අපි දැන් ඒ ගැන තවත් විස්තර බලමු.

17. “හැරිලා එනවා” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? කලින් කරපු වැරදි ආයෙත් නොකර ඉන්න නම් ඒක අත්‍යවශ්‍ය ඇයි? (යෙසායා 55:7)

17 යෙහෝවා සලකලා බලන තව දෙයක් තමයි වැරදි කරපු කෙනා හැරිලා එනවාද කියන කාරණය. “හැරිලා එනවා” කියන එකෙන් අදහස් කරන්නේ එයා ගත කරපු නරක ජීවිතෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවා කියන එකයි. (යෙසායා 55:7 කියවන්න.) එහෙම කරන්න නම් එයා තමන් හිතන විදිහ වෙනස් කරගෙන යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. (රෝම 12:2; එෆී. 4:23) ඒ වගේම නරක සිතුවිලිවලින්, නරක ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න අධිෂ්ඨාන කරගන්නත් ඕනේ. (කොලො. 3:7-10) ඒ කොහොම වුණත් අපි මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවා අපිට සමාව දීලා අපිව පවිත්‍ර කරන්න නම් අපි යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන්නම ඕනෙ කියන එක. අපි අවංකවම පසුතැවිලි වෙලා අපේ ජීවිතේ වෙනස් කරගන්න මහන්සි වෙද්දී යෙහෝවා ඒ ජීවිත පූජාව පදනම් කරගෙන අපිට සමාව දෙනවා.—1 යොහ. 1:7.

යෙහෝවා සමාව දෙයිද කියලා සැක කරන්න එපා

18. යෙහෝවා සමාව දෙන විදිහ ගැන අපි ඉගෙනගත්තේ මොනවාද?

18 අපි මේ පාඩමෙන් ඉගෙනගත්ත වැදගත් දේවල් කීපයක් දැන් මතක් කරගමු. අපි බැලුවා යෙහෝවා දෙවියන් සමාව දෙන විදිහට සමාව දෙන්න මේ විශ්වයේ ඉන්න කිසිම කෙනෙක්ට බැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? (1) යෙහෝවා ඕනම වෙලාවක අපිට සමාව දෙන්න ලෑස්තියි. (2) අපේ ජීවිතේ ගෙවුණ හැම තත්පරේකදීම වෙච්ච දේවල් යෙහෝවා දෙවියන් දන්නවා. ඒ නිසා අපි ඇත්තටම පසුතැවිලි වෙනවාද නැද්ද කියලා ඔහුට හරියටම දැනගන්න පුළුවන්. (3) යෙහෝවා අපි කරපු වරදකට සමාව දුන්නාට පස්සේ ආයේ කවදාවත් ඒක මතක් කරන්නේ නැහැ. කළු ලෑල්ලක ලියපු දෙයක් සම්පූර්ණයෙන්ම මකලා දානවා වගේ යෙහෝවා අපේ වැරදි ඔහුගේ මතකයෙන් මකලාම දානවා. ආයේ හිතේ කොනකවත් ඒවා තියාගන්නේ නැහැ. ඒ නිසයි නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් දෙවියන්ගේ අනුමැතිය ලබාගන්නත් අපිට පුළුවන් වෙන්නේ.

19. අපි අතින් වැරදි සිද්ධ වුණත් අපිට සතුටින් ඉන්න පුළුවන් ඇයි?

19 පාපය උරුම කරගෙන ඉන්න තාක් කල් අපි හැමෝගෙම අතින් වැරදි සිද්ධ වෙනවා. ඒත් අපි අධෛර්යය වෙන්න ඕනෙ නැහැ. මොකද පාපය උරුම කරගෙන ඉන්න තමන්ගේ සේවකයන් කොච්චර දුර්වලයිද කියලා යෙහෝවා දෙවියන් තේරුම්ගන්නවා. ඒ නිසා කෙනෙක් අතින් වරදක් වුණාම දෙවියන් එයා දිහා කේන්තියෙන් බලන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු එයාට දයානුකම්පාව පෙන්නනවා. ඒ නිසා අපි අතින් වුණ වැරැද්දක් ගැන හිතහිත දිගින් දිගටම දුක් වෙන්න ඕනෙ නැහැ. (ගීතා. 103:8-14; 130:3) ඒ වෙනුවට අපි අපේ උපරිමයෙන් දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් අපිටත් පුළුවන් දිගටම සතුටින් ඉන්න. (ෆිලි. 4:4-6; 1 යොහ. 3:19-22) ඒක මොන තරම් සහනයක්ද!

20. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

20 කරපු වැරදි ගැන අපි අවංකවම පසුතැවිලි වෙනවා නම් යෙහෝවා දෙවියන් අපිට සමාව දෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ ගැන හිතද්දී ඔහු ගැන අපේ හිතේ ලොකු අගයක් ඇති වෙනවා. ඒත් දෙවියන් සමාව දෙන විදිහ අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? අපි සමාව දෙන විදිහයි, ඔහු සමාව දෙන විදිහයි අතර තියෙන සමානකම් සහ වෙනස්කම් මොනවාද? ඒ වෙනස්කම් දැනගෙන ඉන්න එක වැදගත් ඇයි? ඒ ප්‍රශ්නවලට උත්තර අපි ඊළඟ ලිපියෙන් බලනවා.

ගීතිකාව 45 මාගේ සිතුවිලි විමසන්න

a කරපු වැරදි ගැන අපි අවංකවම පසුතැවිලි වෙනවා නම් ඒ වැරදිවලට සමාව දෙනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙනවා. ඒත් සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් ඔහුගේ සමාව ලබන්න තරම් අපි වටින්නේ නැහැ කියලා. ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙමනම් අවංකවම පසුතැවිලි වෙද්දී යෙහෝවා සමාව දෙන්න ආසාවෙන් ඉන්නවා කියලා තේරුම්ගන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

b ‘යෙහෝවාට ළං වන්න’ කියන පොතේ 26 පරි. 9 ඡේ. බලන්න.

c පැහැදිලි කිරීමක්: “පසුතැවිලි වෙනවා” කියලා කියන්නේ කෙනෙක් හිතන විදිහ වෙනස් කරගෙන තමන් කරපු වරද ගැන, තමන් ගත කරපු වැරදි ජීවිතේ ගැන වගේම හරි දේ කරන්න බැරි වුණ එක ගැන මුළු හදවතින්ම දුක් වෙන එකටයි. අවංකවම පසුතැවිලි වෙන කෙනෙක් ජීවිතේ වෙනස් කරගෙන තියෙනවා කියලා එයා කරන කියන දේවල්වලින් පැහැදිලිවම පේන්න ඕනේ.