Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 48

අභියෝග එද්දී සිහිකල්පනාවෙන් ඉන්න!

අභියෝග එද්දී සිහිකල්පනාවෙන් ඉන්න!

“සෑම අවස්ථාවකදීම සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.”—2 තිමෝ. 4:5.

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

මේ ලිපියෙන් a

1. “සිහිකල්පනාවෙන් කටයුතු කරන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (2 තිමෝති 4:5)

 සංවිධානය ඇතුළෙන්ම අභියෝග එද්දී යෙහෝවා දෙවියන්ට, ඔහුගේ සංවිධානයට තියෙන ළැදිකම සෝදිසියට ලක් වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ දේකට සාර්ථකව මුහුණ දෙන්න අපිට පුළුවන් කොහොමද? ඒකට අපි අවදියෙන්, හොඳ සිහිකල්පනාවෙන් ඉන්න ඕනේ. අපේ විශ්වාසය නැති කරගන්නේ නැතුව ස්ථිරව ඉන්න ඕනේ. (2 තිමෝති 4:5 කියවන්න.) අපි කලබල වෙන්නේ නැතුව කාරණය දිහා දෙවියන් බලන විදිහට බලන්න උත්සාහ කරනවා නම් අපිට සිහිකල්පනාවෙන් වැඩ කරන්න පුළුවන්. එහෙම කළොත් අපි කවදාවත් හැඟීම්වලට වහල් වෙලා වැඩ කරන්නේ නැහැ.

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 අපි කලින් ලිපියෙන් බැලුවා ලෝකේ අයගෙන් අපිට එන අභියෝග තුනක් ගැන. මේ ලිපියෙන් සභාව ඇතුළෙන්ම එන්න පුළුවන් මේ අභියෝග තුන ගැන බලමු. (1) සභාවේ කෙනෙක් නරක විදිහට සලකනවා කියලා හිතෙද්දී, (2) නිවැරදි කිරීමක් ලැබෙද්දී, (3) සංවිධානයේ වෙනස්කම්වලට හැඩගැහෙන්න අමාරු වෙද්දී. ඒ වගේ වෙලාවට යෙහෝවා දෙවියන් ගැන, සංවිධානය ගැන අපිට තියෙන විශ්වාසය සෝදිසියට ලක් වෙන්නේ කොහොමද? සිහිකල්පනාවෙන් ඉඳලා ඒකට හොඳට මුහුණ දෙන්න පුළුවන් කොහොමද? ඒ ගැනත් අපි මේ ලිපියෙන් බලමු.

සභාවේ කෙනෙක් නරක විදිහට සලකනවා කියලා හිතෙද්දී

3. සභාවේ කෙනෙක් අපිට නරක විදිහට සලකනවා කියලා හිතුණොත් අපි මොනවා කරන්න පෙලඹෙයිද?

3 සභාවේ කෙනෙක් කවදා හරි ඔයාගේ හිත ගොඩක් රිද්දලා තියෙනවාද? එහෙම නැත්නම් වගකීම් දරන සහෝදරයෙක් ඔයාට හරියට සලකන්නේ නැහැ කියලා හිතිලා තියෙනවාද? ගොඩක් වෙලාවට එයා ඒක කළේ ඕනකමින් නොවෙන්න පුළුවන්. (රෝම 3:23; යාකො. 3:2) හැබැයි ඒ කොහොම කළත් ඔයාගේ හිත දැන් හොඳටම බිඳිලා ඇති. සමහර වෙලාවට ඒ ගැන හිතලා හිතලා ඔයාට හරියට නින්ද යන්නෙත් නැතුව ඇති. ‘එයා සාක්ෂිකාරයෙක් නේද? එයා කොහොමද මෙහෙම දෙයක් කරන්නේ? මේක ඇත්තටම දෙවියන්ගේ සංවිධානයද’ කියලා ඔයා හිතන්නත් පෙලඹෙයි. අන්න ඒකම තමයි සාතන්ටත් ඕනේ. (2 කොරි. 2:11) ඒ වගේ සිතුවිලිවලට පුළුවන් ඔයාව යෙහෝවා දෙවියන්ගෙන්, සංවිධානයෙන් ඈතට වීසි කරලා දාන්න. එහෙනම් සිහිකල්පනාවෙන් ඉඳලා ඒ වගේ දේකට ඉඩ නොදී ඉන්න අපි මොනවාද කරන්න ඕනේ?

4. අනිත් අය යෝසෙප්ට නරක විදිහට සැලකුවත් එයා කළේ මොනවාද? යෝසෙප්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (උත්පත්ති 50:19-21)

4 කේන්ති ගන්නවත් කලකිරෙන්නවත් එපා. යෞවන කාලේදී යෝසෙප්ගේ අයියලා එයාට වෛර කළා. සමහරු හිටියේ එයාව මරන්න තරම් කේන්තියකින්. (උත්. 37:4, 18-22) අන්තිමේදී එයාලා යෝසෙප්ව වහල්කමට වික්කා. ඒ නිසා අවුරුදු 13ක් තිස්සේ යෝසෙප්ට දහ දුක් විඳින්න වුණා. ‘උදව් ඕනෙම වෙලාවේ යෙහෝවා මගේ ළඟ හිටියේ නෑ. යෙහෝවා මට චුට්ටක්වත් ආදරේ නෑ’ කියලා ඕනෙ නම් යෝසෙප්ට හිතන්න තිබුණා. ඒත් එයා එහෙම හිතලා කලකිරුණේ නැහැ. අයියලා එක්ක වෛර බැඳගත්තෙත් නැහැ. ඒ වෙනුවට එයා සිහිකල්පනාවෙන් වැඩ කළා. අයියලාගෙන් පළිගන්න අවස්ථාවක් ලැබුණත් එයාලට ආදරෙන් සලකලා සමාව දුන්නා. (උත්. 45:4, 5) යෝසෙප්ට එහෙම කරන්න පුළුවන් වුණේ එයා ප්‍රශ්නේ දිහා නිරවුල් මනසකින් බලපු නිසයි. හැම තිස්සෙම දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරපු නිසයි. (උත්පත්ති 50:19-21 කියවන්න.) මොකක්ද පාඩම? කවුරු හරි ඔයාට නරක විදිහට සලකලා තියෙනවා නම් යෙහෝවා ඔයාව අත්හැරලා දාලා කියලා හිතලා ඔහු එක්ක කේන්ති ගන්න එපා. ඒ වෙනුවට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඔහු ඔයාට උදව් කරන විදිහ ගැන හිතන්න. හිත රිද්දපු අයටත් ආදරේ පෙන්නලා එයාලගේ වැරදි ඔයාගේ හිතෙන් මකලා දාන්න.—1 පේතෘ. 4:8.

5. සහෝදරයෝ නරක විදිහට සැලකුවා කියලා හිතුණත් මිකායස් සිහිකල්පනාවෙන් වැඩ කළේ කොහොමද?

5 දකුණු ඇමරිකාවේ වැඩිමහල්ලෙක් වන මිකායස්ගේ අද්දැකීම බලන්න. b එක කාලයක් වගකීම් දරන සහෝදරයෝ කීපදෙනෙක් එයාට නරක විදිහට සලකනවා කියලා මිකායස්ට හිතුණා. එයා මෙහෙම කියනවා. “ඒ වගේ පීඩනයක් නම් මීට කලින් කවදාවත් දැනිලා නෑ. මං ගොඩක් බය වුණා. කොච්චරද කියනවා නම් රෑට නින්ද ගියෙත් නෑ. මට වෙන කරන්න දෙයක් නැති නිසා මං හුඟක් ඇඬුවා.” ඒත් මිකායස් එයාගේ හැඟීම්වලට වහල් නොවී ඉන්න ලොකු උත්සාහයක් ගත්තා. ප්‍රශ්නේ දරාගන්න උදව් ඉල්ලලා දිගටම යාච්ඤා කළා. එයාට උදව් වෙන තොරතුරු අපේ පොත් පත්වලිනුත් හොයලා බැලුවා. මිකායස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? සභාවේ කෙනෙක් අපිට නරක විදිහට සලකනවා කියලා හිතුණොත් කලබල වෙන්න එපා. හැඟීම්වලට වහල් වෙන්නත් එපා. එයා ඒ දේ කළේ ඇයි, ඒ වෙලාවේ එයා හිටියේ මොන වගේ තත්වයකද කියලා අපි හරියටම දන්නේ නැහැනේ. ඒ නිසා යෙහෝවා දෙවියන්ට හැම දේම කියන්න. කාරණය දිහා ඔහු බලන විදිහට බලන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. එහෙම කළොත් ඔයාගේ සහෝදරයා නැත්තම් සහෝදරිය ඒ දේ කළේ හිතාමතාමයි කියලා සැක කරන්න ඉක්මන් වෙන්නේ නැතුව එයාට මුළු හදවතින්ම සමාව දෙන්න ඔයාට පුළුවන් වෙයි. (හිතෝ. 19:11) මතක තියාගන්න ඔයා ඉන්න තත්වේ යෙහෝවාට පේනවා. ඒ ප්‍රශ්නෙට හොඳින් මුහුණ දෙන්න ඔහු අනිවාර්යයෙන්ම ඔයාට ශක්තිය දෙනවා.—2 ලේක. 16:9; දේශ. 5:8.

අපිව නිවැරදි කරද්දී

6. යෙහෝවා අපිව නිවැරදි කරන්නේ ආදරේ නිසයි කියලා අපි තේරුම්ගන්න ඕනෙ ඇයි? (හෙබ්‍රෙව් 12:5, 6, 11)

6 නිවැරදි කිරීමක් ලැබෙද්දී නම් ඒක දරාගන්න හුඟක් අමාරුයි. හැබැයි අපිට දැනෙන වේදනාව ගැන විතරක් අපි හිතනවා නම් ‘ඒ උපදෙස මට අදාළ නෑ. ඒක තද වැඩියි’ කියලා අපිට හිතෙන්න පුළුවන්. එතකොට හොඳ හේතුවක් ඇතුවයි ඔයාව නිවැරදි කළේ කියලා ඔයාට තේරෙන එකක් නැහැ. ඒ වගේම මේ නිවැරදි කිරීම පිටිපස්සේ තියෙන යෙහෝවා දෙවියන්ගේ ආදරේ දකින්නත් බැරි වෙයි. (හෙබ්‍රෙව් 12:5, 6, 11 කියවන්න.) අපි වේදනාව, කේන්තිය වගේ හැඟීම්වලට යට වුණොත් අපි කරන්නේ අපේ සිතුවිලි අතරට රිංගන්න සාතන්ට දොර ඇරලා දෙනවා වගේ වැඩක්. කෙනෙක් අපිව නිවැරදි කරද්දී සාතන්ට ඕනෙ අපි ඒ ගැන කේන්ති ගන්නවා දකින්න. වෙච්ච දේ නිසා ඔයා යෙහෝවා දෙවියන්වයි, සංවිධානයයි අත්හරිනවා නම් සාතන්ට ඊට වඩා සතුටක් නැහැ.

උපදෙස් පිළි අරන් වෙනස්කම් කරගත්ත නිසා පේතෘස්ව තව ගොඩක් විදිවලින් පාවිච්චි කරන්න දෙවියන්ට පුළුවන් වුණා (7 ඡේදය බලන්න)

7. (අ) යේසුස් පේතෘස්ව නිවැරදි කරද්දී එයා ඒක පිළිගත්තා. ඒ නිසා පින්තූරෙනුත් පෙන්නන විදිහට යෙහෝවා එයාව පාවිච්චි කළේ කොහොමද? (ආ) ඔයා පේතෘස්ගෙන් ඉගෙනගත්තේ මොනවාද?

7 නිවැරදි කිරීමක් ලැබෙද්දී ඒක පිළි අරන් වෙනස්කම් කරගන්න. යේසුස් පේතෘස්ව අනිත් ගෝලයන් ඉස්සරහා නිවැරදි කළේ වතාවක් දෙකක් නෙවෙයි. (මාක් 8:33; ලූක් 22:31-34) එහෙම වුණාම පේතෘස්ට කොච්චර ලැජ්ජාවක් දැනෙන්න ඇද්ද! ඒත් එයා යේසුස්ව දාලා ගියේ නැහැ. ඒ වෙනුවට ලැබුණ මඟ පෙන්වීම් පිළි අරන් එයාගේ වැරදි හදාගත්තා. ඒ නිසයි පස්සේ කාලෙක යෙහෝවා දෙවියන් එයාව ගොඩක් විශ්වාස කරලා එයාට බැරෑරුම් වගකීම් දුන්නේ. (යොහ. 21:15-17; ක්‍රියා 10:24-33; 1 පේතෘ. 1:1) පේතෘස්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? කෙනෙක් ඔයාව නිවැරදි කරද්දී ඔයාට වෙච්ච ලැජ්ජාව ගැන හිතන්න එපා. ඔයාට ඒක ලැබුණ එක කොච්චර වටිනවාද කියලා හිතන්න. ඊටපස්සේ ඉක්මනටම වෙනස්කම් කරගන්න. එහෙම කළොත් ඒකෙන් ඔයා ප්‍රයෝජන ලබනවා විතරක් නෙවෙයි දෙවියන්ට, සහෝදරයන්ට ලොකු සේවයක් කරන්නත් ඔයාට පුළුවන් වෙනවා.

8-9. හික්මවීමක් ලැබුණාම බර්නාඩෝට දැනුණේ කොහොමද? හරි විදිහට හිතන්න එයාට උදව් වුණේ මොනවාද?

8 මොසැම්බික්වල ඉන්න සහෝදර බර්නාඩෝගේ අද්දැකීම බලන්න. හික්මවීමක් ලැබුණ නිසා වැඩිමහල්ලෙක් විදිහට එයාට තිබුණ පැවරුම නැති වුණා. “ඒ හික්මවීම ලැබෙද්දී මට ලොකු කේන්තියක් ආවා” කියලා බර්නාඩෝ කියනවා. එයා ගොඩක්ම වධ වුණේ ඒක දැනගත්තාම සභාවේ අය එයා ගැන මොනවා හිතයිද කියන එක ගැන. “කාරණේ දිහා හරි විදිහට බලලා යෙහෝවා ගැනයි, සංවිධානය ගැනයි තිබුණ විශ්වාසේ ඇති කරගන්න මට මාස ගාණක් ගියා” කියලා බර්නාඩෝ කියනවා. ඒක කරන්න එයාට උදව් වුණේ මොනවාද?

9 බර්නාඩෝ මෙහෙම කියනවා. “මං වැඩිමහල්ලෙක් වෙලා හිටපු කාලේ හුඟදෙනෙක්ට හෙබ්‍රෙව් 12:7 පෙන්නලා තියෙනවා. දෙවියන් නිවැරදි කරද්දී ඒ ගැන හරි විදිහට හිතන්න එයාලට උදව් කරලා තියෙනවා. ඉතින් මං මගෙන්ම අහගත්තා ‘මේ පදේ මටත් අදාළයි නේද’ කියලා.” ඉතින් බර්නාඩෝ අවශ්‍ය වෙනස්කම් කරගත්තා. ඒ වගේම යෙහෝවා දෙවියන් ගැන, සංවිධානය ගැන එයාට තිබුණ විශ්වාසේ ආයෙත් ඇති කරගන්න ගොඩක් මහන්සි වුණා. එයා බයිබලේ කියවලා ඒ ගැන හිතන්න වෙන් කරපු කාලේ තව වැඩි කළා. සභාවේ අය මොනවා හිතනවා ඇද්ද කියලා එයා ඒ වෙද්දීත් වධ වුණා. ඒත් එයා ඒ ගැනම හිතහිත හිටියේ නැහැ. සහෝදරයෝ එක්ක දිගටම සේවේ ගියා. රැස්වීම්වලටත් ගියා. කාලයත් එක්කම බර්නාඩෝ ආයෙත් වැඩිමහල්ලෙක් වුණා. බර්නාඩෝට වගේ ඔයාටත් මේ ළඟකදී හික්මවීමක් ලැබුණාද? එහෙමනම් ඔයාට වෙච්ච ලැජ්ජාව ගැන හිතහිත ඉන්නවා වෙනුවට ඒක පිළිගන්න. ඉක්මනටම වෙනස්කම් කරගන්න. c (හිතෝ. 8:33; 22:4) ඔයා එහෙම කරලා යෙහෝවා දෙවියන්ට, ඔහුගේ සංවිධානයට දිගටම ළැදි වෙලා ඉද්දී දෙවියන් ඔයාට ආශීර්වාද නොකර ඉන්නේ නැහැ.

සංවිධානයේ වෙනස්කම් වෙද්දී

10. ඊශ්‍රායෙල් පුරුෂයන්ට අභියෝගයක් වෙන්න ඇත්තේ මොන වෙනස්කමද?

10 සංවිධානයේ වෙනස්කම් වෙද්දී අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන්න පුළුවන්. පරෙස්සම් වුණේ නැත්නම් ඒක නිසා අපි යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වෙන්න වුණත් ඉඩ තියෙනවා. උදාහරණෙකට ඊශ්‍රායෙල් පුරුෂයන්ට මුහුණ දෙන්න වුණ වෙනස්කමක් ගැන බලන්න. මෝසෙස්ගේ නීතිය දෙන්න කලින් පවුලේ අය වෙනුවෙන් දෙවියන්ට පූජාසන ගොඩනඟලා පූජා ඔප්පු කරන්න වගකීම තිබුණේ පවුලේ මූලිකයන්ට. (උත්. 8:20, 21; 12:7; 26:25; 35:1, 6, 7; යෝබ් 1:5) හැබැයි නීතිය දුන්නාට පස්සේ යෙහෝවා දෙවියන් පූජකයන් විදිහට පත් කළේ ආරොන්ගේ පෙළපතේ අයව විතරයි. ඉතින් ඒ වෙනස්කමෙන් පස්සේ ආරොන්ගේ පෙළපතට අයිති නැති කෙනෙක් පූජා ඔප්පු කළා නම් සමහර වෙලාවට එයාට මරණ දඬුවම වුණත් දෙන්න ඉඩ තිබුණා. d (ලෙවී. 17:3-6, 8, 9) සමහරවිට කෝරා, දාතාන් සහ අබිරාම් වගේම තවත් අධිපතීන් 250දෙනෙක්ම මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව කැරලිගහන්න ඒක එක හේතුවක් වුණාද? (ගණන්. 16:1-3) අපි හරියටම දන්නේ නැහැ. ඒ කොහොම වුණත් කෝරාටයි, එයත් එක්ක හිටපු අයටයි බැරි වුණා යෙහෝවා දෙවියන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න. ඉතින් සංවිධානයේ වුණ වෙනස්කමකට හැඩගැහෙන්න ඔයාටත් අමාරුයි කියලා හිතනවා නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?

පැවරුමේ වෙනසක් වුණත් කෝහාත්වරු ගායකයන්, දොරටු පාලකයන් සහ ගබඩා බලාගන්නන් විදිහට සතුටින් සේවේ කළා (11 ඡේදය බලන්න)

11. සමහර කෝහාත්වරුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

11 සංවිධානයේ වෙනස්කම්වලට සම්පූර්ණ සහයෝගය දෙන්න. මුලින් කෝහාත්වරුන්ට ගොඩක් විශේෂ පැවරුමක් තිබුණා. ඊශ්‍රායෙල්වරු පාළුකරයේ තැනින් තැනට යද්දී ගිවිසුම් පෙට්ටිය ගෙනියන්න වගකීම තිබුණේ කෝහාත්වරුන්ට. ඒකත් සෙනඟට ඉස්සරහින්. (ගණන්. 3:29, 31; 10:33; යොෂු. 3:2-4) ඒක මොන තරම් වටින පැවරුමක්ද! හැබැයි පොරොන්දු දේශයට ගියාට පස්සේ ඒ හැම දේම වෙනස් වුණා. මොකද ඊටපස්සේ ගිවිසුම් පෙට්ටිය තැනින් තැනට අරන් යන්න ඕනෙ වුණේ නැහැ. ඉතින් සලමොන්ගේ කාලේ වෙද්දී සමහර කෝහාත්වරුන්ව ගායකයන් විදිහට, දොරටු පාලකයන් විදිහට සහ ගබඩා බලාගන්නන් විදිහට පත් කරලා තිබුණා. (1 ලේක. 6:31-33; 26:1, 24) හැබැයි කවදාවත් කෝහාත්වරු ‘අපි වගේ අයට මේ වගේ වැඩද දෙන්නේ’ කියලා මැසිවිලි නැඟුවා කියලා බයිබලේ කොහෙවත් කියන්නේ නැහැ. එයාලගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? සංවිධානයේ මොන වෙනස්කම වුණත් ඒකට සම්පූර්ණ සහයෝගය දෙන්න. විශේෂයෙන්ම ඒ වෙනස ඔයාගේ පැවරුමට බලපාද්දී. ඔයාට ලැබෙන ඕනම පැවරුමක් සතුටින් කරන්න. මොකද යෙහෝවාට ඔයාව වටින්නේ ඔයාගේ පැවරුම නිසා නෙවෙයි, ඔයා ඔහුට කීකරු වෙන නිසයි.—1 සාමු. 15:22.

12. බෙතෙල් පැවරුම නැති වෙද්දී සයීනාට දැනුණේ කොහොමද?

12 මැදපෙරදිග රටක ඉන්න සයීනාගේ අද්දැකීම බලන්න. අවුරුදු 23ක්ම හරිම ආසාවෙන් කරපු බෙතෙල් පැවරුම එයාට නැති වුණා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “මගේ පැවරුම වෙනස් වුණා කියලා දැනගත්තාම මට ඒක දරාගන්න බැරි වුණා. මගෙන් කිසි වැඩක් නෑ කියලා මට හිතුණා. මං හැම තිස්සෙම හිතුවා කොතනද මට වැරදුණේ කියලා.” සමහර සහෝදර සහෝදරියන් හිතලා බලන්නේ නැතුව කියපු දේවල්වලින් එයාගේ දුක තවත් වැඩි වුණා. එයාලා කිව්වා “ඔයා ඔයාගේ පැවරුම හරියට කළා නං ඔයාව යවන්නේ නෑනේ” කියලා. ඒ කාලේ පුරාම සයීනා අඬපු නැති දවසක් නැති තරම්. හැබැයි “මොන දේ වුණත් සංවිධානය ගැන අහිතක් හිතන්නවත් ‘යෙහෝවා මට ආදරේ නෑ’ කියලා හිතන්නවත් මං මටම ඉඩ දුන්නේ නෑ” කියලා සයීනා කියනවා.

13. දුකෙන් ගොඩ එන්න සයීනා කළේ මොනවාද?

13 දුකෙන් ගොඩ එන්න සයීනාට පුළුවන් වුණේ කොහොමද? එයා ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්න උදව් වෙන ලිපි හෙව්වා. 2001 පෙබරවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ “අධෛර්යය වීම් මැද නොසැලී සිටිය හැකියි!” කියන ලිපිය එයාට ගොඩක් උදව් වුණා. ඒ ලිපියේ තිබුණේ බයිබල් ලේඛකයෙක් වුණ මාක් ගැන. එයාගේ පැවරුමත් වෙනස් වුණ අවස්ථා තිබුණා. ඒ නිසා එයාත් අධෛර්යය වෙන්න ඇති. ඒ ගැන සයීනා මෙහෙම කියනවා. “මාක්ගේ අද්දැකීම තමයි දුකෙන් ගොඩ එන්න මට බෙහෙතක් වුණේ.” සයීනා තව මොනවාද කළේ? එයා තනි වුණේ නැහැ. එයාගේ යාළුවන්ට තවත් කිට්ටු වුණා. එයාට වෙච්ච දේ ගැනම හිතහිත දුක් වුණෙත් නැහැ. එයා තේරුම්ගත්තා සංවිධානයට මඟ පෙන්වන්නේ යෙහෝවා දෙවියන්මයි කියලා. ඒ වගේම පෙරමුණ ගන්න සහෝදරයෝ එයාට ගොඩක් ආදරෙයි කියලා එයා මතක් කරගත්තා. සමහර වෙලාවට සංවිධානයට සමහර අමාරු තීරණ වුණත් ගන්න වෙනවා කියලත් වැඩියෙන්ම වැදගත් වෙන්නේ යෙහෝවා දෙවියන්ගේ වැඩේ දිගටම කෙරෙන එකයි කියලත් එයා තේරුම්ගත්තා.

14. ව්ලාඩෝට හැඩගැහෙන්න අමාරු වුණේ මොන වෙනසටද? එයාට උදව් වුණේ මොනවාද?

14 ස්ලෝවේනියාවේ ඉන්න සහෝදර ව්ලාඩෝගේ අද්දැකීම බලන්න. එයා අවුරුදු 73ක් වයස වැඩිමහල්ලෙක්. එයා ගිය සභාව තවත් සභාවක් එක්ක එකතු කළා. ඊටපස්සේ එයාලගේ නමස්කාර මධ්‍යස්ථානය වහලා දැම්මා. ඒ වෙලාවේ එයාට දැනුණ විදිහ ගැන සහෝදර ව්ලාඩෝ මෙහෙම කියනවා. “ඔච්චර ලස්සන ශාලාවක් වහලා දැම්මේ ඇයි කියලා මට තේරුණේ නෑ. අනික ඒක අලුත්වැඩියා කරලත් වැඩි දවසක් නෑ. මං වඩුවෙක්. මගේ මේ අත් දෙකෙන්ම තමයි ශාලාවේ සමහර බඩු හැදුවේ. ඒ විතරක් නෙවෙයි අපි වගේ වයසක අයට එකපාරටම මේ වෙනසට හැඩගැහෙන්න අමාරුයි.” ඒත් ලැබුණ මඟ පෙන්වීමට කීකරු වෙන්න ව්ලාඩෝට උදව් වුණේ මොනවාද? එයා මෙහෙම කියනවා. “සංවිධානයේ වෙනස්කම් වෙද්දී ඒවාට කීකරු වුණොත් යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා මං තේරුම්ගත්තා. ඉස්සරහට මීටත් වඩා වෙනස්කම් වෙයි. ඒවාට හොඳින් මුහුණ දෙන්නත් දැන් ඉඳන්ම කීකරු වෙන එක ගොඩක් උදව් වෙනවා.” සභා දෙකක් එකතු කරපු නිසා එහෙම නැත්නම් පැවරුමක් වෙනස් වුණ නිසා ඔයාත් ඉන්නේ දුකෙන්ද? එහෙමනම් යෙහෝවා දෙවියන්ට ඔයාගේ දුක තේරෙනවා කියලා අමතක කරන්න එපා. කොච්චර අමාරුවෙන් වුණත් ලැබුණ මඟ පෙන්වීම්වලට කීකරු වෙලා ඔයා යෙහෝවා දෙවියන්ට, සංවිධානයට දිගටම ළැදි වෙලා ඉද්දී දෙවියන් කවදාවත් ඔයාට ආශීර්වාද නොකර ඉන්නේ නැහැ.—ගීතා. 18:25.

හැම දේකදීම සිහිකල්පනාවෙන් ඉන්න!

15. සභාව ඇතුළෙන්ම අභියෝග එද්දී අපිට සිහිකල්පනාවෙන් ඉන්න පුළුවන් කොහොමද?

15 අන්තිමය දවසින් දවස ළං වෙද්දී සභාව ඇතුළෙන්ම තව තවත් අභියෝග එයි. එහෙම වෙද්දී යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය සෝදිසියට ලක් වෙයි. ඒ නිසා දිගටම සිහිකල්පනාවෙන් ඉන්න අපි අධිෂ්ඨාන කරගමු. සභාවේ කෙනෙක් නරක විදිහට සලකනවා කියලා ඔයාට හිතුණොත් කේන්ති ගන්නවත් කලකිරෙන්නවත් එපා! කෙනෙක් ඔයාව නිවැරදි කළොත් ඔයාට වෙච්ච ලැජ්ජාව ගැන හිතනවා වෙනුවට ඒ උපදෙස් පිළි අරන් වෙනස්කම් කරගන්න. ඒ වගේම සංවිධානයෙන් කරපු වෙනස්කමක් ඔයාට පෞද්ගලිකව බලපෑවත් ඒක පිළි අරන් ඒකට මුළු හදවතින්ම කීකරු වෙන්න.

16. යෙහෝවා දෙවියන් ගැනත් සංවිධානය ගැනත් දිගටම විශ්වාසය තියන්න ඔයාට පුළුවන් කොහොමද?

16 ඔයාගේ විශ්වාසය සෝදිසියට ලක් වෙන අවස්ථාවලදී වුණත් යෙහෝවා දෙවියන්ට, සංවිධානයට දිගටම ළැදිව ඉන්න ඔයාට පුළුවන්. හැබැයි ඒකට ඔයා දිගටම සිහිකල්පනාවෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ කලබල වෙන්නේ නැතුව දෙවියන් බලන විදිහට දේවල් දිහා බලන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා ඔයාට තියෙන අභියෝගයටම මුහුණ දුන්න බයිබල් චරිත ගැන හොයලා බලන්න. එයාලගේ ආදර්ශ ගැන හොඳට හිතන්න. යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. කවදාවත් තනි වෙන්න එපා. යාළුවන්ව තව ළං කරගන්න. එතකොට සාතන් මොන ඇම දැම්මත් ඔයාව දෙවියන්ගෙන්, සංවිධානයෙන් ඈත් කරන්න එයාට බැහැ.—යාකො. 4:7.

ගීතිකාව 126 අවදිව, ස්ථිරව සිටිමු

a යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ සංවිධානය ගැන අපිට තියෙන ළැදිකම සෝදිසියට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සංවිධානය ඇතුළෙන් අභියෝග එද්දී. අපේ ළැදිකම සෝදිසියට ලක් වෙන්න පුළුවන් අවස්ථා තුනක් ගැනත් ඒවාට අහු නොවී ඉන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් අපි මේ ලිපියෙන් බලමු.

b සමහර නම් වෙනස් කර ඇත.

c ඔයාට කරන්න පුළුවන් තවත් දේවල් ගැන දැනගන්න 2009 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 30වෙනි පිටුවේ තියෙන “නැවතත් සේවය කරන්න ඔබ කැමතිද?” කියන ලිපිය බලන්න.

d ගෙදර ඇති කරපු සතෙක්ව කෑමට ගන්න ඕනෙ නම් ඒ සතාව මරන්න පවුලේ මූලිකයා ඌව ශුද්ධ කූඩාරමට ගෙනියන්න ඕනෙ කියලා නීතියේ සඳහන් වුණා. ශුද්ධ කූඩාරමට ගොඩක් ඈතින් හිටපු අයට විතරයි ඒ නීතිය අදාළ වුණේ නැත්තේ.—ද්වි. 12:21.