Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

මොර්දෙකයි කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

මොර්දෙකයි කියන්නේ බයිබලේ එස්තර් පොතේ ඉන්න ප්‍රධාන චරිතයක්. එයා ක්‍රි.පූ. 5වෙනි සියවසේ මුල් භාගයේ “අහෂ්වේරොෂ් [1වෙනි ෂස්තා] රජුගේ කාලයේදී” පර්සියානු මාලිගාවේ සේවය කරපු කෙනෙක්. දවසක් නිලධාරීන් දෙන්නෙක් රජව මරන්න කරපු කුමන්ත්‍රණයකින් මොර්දෙකයි රජව බේරුවා. ඒ නිසා අහෂ්වේරොෂ් රජ මොර්දෙකයිව ප්‍රසිද්ධියේම ගෞරවයට පත් කළා. පස්සේ කාලෙක යුදෙව්වන්ට හතුරුකම් කරපු හාමාන් මැරුණාම රජ මොර්දෙකයිව අගමැති විදිහට පත් කළා. ඒ නිසා පර්සියානු අධිරාජ්‍යයේ ඉන්න යුදෙව්වන්ව සමූල ඝාතනය කරන එක වළක්වන්න එයාට පුළුවන් වුණා.—එස්ත. 1:1; 2:5, 21-23; 8:1, 2; 9:16.

20වෙනි සියවසේ හිටපු සමහර ඉතිහාසඥයන් කිව්වා “මොර්දෙකයි කියලා කෙනෙක් හිටියේ නෑ. එස්තර් පොත කියන්නේ ගොතපු කතාවක්” කියලා. හැබැයි 1941දී මොර්දෙකයි ඇත්තටම හිටියා කියලා හිතන්න උදව් වෙන සාක්ෂි කීපයක් පුරාවිද්‍යාඥයන්ට හම්බ වුණා.

එයාලා පැරණි පර්සියානු අකුරු ජාතියක් ලියලා තියෙන පුවරුවක් හොයාගත්තා. ඒකේ මාර්ඩුකා (සිංහලෙන් මොර්දෙකයි) කියලා කෙනෙක් ගැන සඳහන් වුණා. ඒකේ තිබ්බ විදිහට එයා ෂූෂන් මාලිගාවේ පරිපාලකයෙක් විදිහටත් සමහර වෙලාවට ගණකාධිකාරීවරයෙක් විදිහටත් වැඩ කරලා තියෙනවා. ඒ පුවරුව ගැන ප්‍රවීණ ඉතිහාසඥයෙක් වන ආතර් අන්ග්නැඩ් මෙහෙම කියනවා. “මොර්දෙකයි ගැන බයිබලේ තියෙන වාර්තාවට අමතරව දැනට තියෙන එකම සාක්ෂිය තමයි මේ.“

හැබැයි අද වෙද්දී පැරණි පර්සියානු පුවරු දහස් ගාණක්ම පරිවර්තනය කරලා තියෙනවා. ඒවා අතරේ පර්සෙපොලිස් පුවරුත් තියෙනවා. ඒවා හම්බ වෙලා තියෙන්නේ නුවරේ පවුරට කිට්ටුවෙන් තිබුණ භාණ්ඩාගාරයේ නටඹුන් අතරෙන්. ඒලාම්වරුන්ගේ භාෂාවෙන් තියෙන ඒ පුවරු අයිති වෙන්නේ 1වෙනි ෂස්තා රජගේ කාලෙට. ඒවාවල එස්තර් පොතේ තියෙන නම් කීපයක්ම සඳහන් වෙනවා. a

පැරණි පර්සියානු පුවරුවක තියෙන මොර්දෙකයි (මාර්ඩූකා) කියන නම

පර්සෙපොලිස් පුවරු කීපයකම 1වෙනි ෂස්තා රජගේ කාලේ රාජකීය ලේකම්වරයෙක් විදිහට සේවය කරපු මාර්ඩුකා කියලා කෙනෙක් ගැන සඳහන් වුණා. එක පුවරුවක එයාව පරිවර්තකයෙක් විදිහටත් හඳුන්වනවා. බයිබලේ කියන මොර්දෙකයිට ඒක හොඳට ගැළපෙනවා. මොකද එයා අහෂ්වේරොෂ් රජගේ මාලිගාවේ සේවය කරපු උසස් නිලධාරියෙක්. එයාට අඩුම තරමින් භාෂා දෙකක්වත් පුළුවන්. මොර්දෙකයි නිතරම වගකීම් ඉටු කළේ රජගේ දොරටුව ළඟයි. (එස්ත. 2:19, 21; 3:3) රජගේ දොරටුව කියන්නේ මාලිගාවේ උසස් නිලධාරීන් සේවය කරපු ලොකු ගොඩනැඟිල්ලක්.

මාර්ඩුකා කියන කෙනායි, බයිබලේ කියන මොර්දෙකයි කියන කෙනායි අතර ගොඩක් සමානකම් තියෙනවා. එයාලා දෙන්නාම හිටියේ එකම කාලෙක, එකම ප්‍රදේශයක. දෙන්නාම රජගේ දොරටුව ළඟ සේවය කරපු උසස් නිලධාරීන්. එහෙම බලද්දී පුරාවිද්‍යා කැණීම්වලින් හොයාගෙන තියෙන මාර්ඩුකා කියන කෙනා එස්තර් පොතේ කියන මොර්දෙකයි කියලා හිතන්න පුළුවන්.

a 1992දී මහාචාර්ය එඩ්වින් එම්. යමාව්චි එස්තර් පොතේ තියෙන නම් දහයක් පර්සෙපොලිස් පුවරුවලින් හොයාගත්තා.