Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 47

කිසිම දෙයක් නිසා දෙවියන්ගෙන් ඈත් වෙන්න එපා!

කිසිම දෙයක් නිසා දෙවියන්ගෙන් ඈත් වෙන්න එපා!

“යෙහෝවා දෙවියනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.”—ගීතා. 31:14.

ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු

මේ ලිපියෙන් a

1. දෙවියන්ට ඕනෙ අපේ ළඟින්ම ඉන්න කියලා අපි දන්නේ කොහොමද?

 යෙහෝවා දෙවියන් අපි හැමෝගෙන්ම ඉල්ලනවා ඔහුට ළං වෙන්න කියලා. (යාකො. 4:8) ඔහු කැමති අපි ඔහුව අපේ දෙවියන් විදිහටත් තාත්තා විදිහටත් හොඳම යාළුවා විදිහටත් සලකනවා දකින්න. ඔහු අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා. අපි ප්‍රශ්නවලට මුහුණ දෙද්දී ඒවා දරාගන්න උදව් කරනවා. ඔහු සංවිධානය මාර්ගයෙන් අපිට උගන්වනවා, අපිව ආරක්ෂා කරනවා. හැබැයි දෙවියන්ට ළං වෙලා ඉන්න අපි මොනවාද කරන්න ඕනේ?

2. යෙහෝවා දෙවියන්ට ළං වෙන්න අපිට පුළුවන් කොහොමද?

2 යාච්ඤා කරන එකෙන්, බයිබලේ කියවලා හොඳට හිතන එකෙන් දෙවියන්ට ළං වෙන්න අපිට පුළුවන්. එතකොට ඔහු ගැන තියෙන ආදරෙන්, අගයෙන් අපේ හිත් පිරිලා යයි. ඒ වගේම ඔහුට කීකරු වෙන්න, ඔහුට ප්‍රශංසා කරන්න අපි පෙලඹෙයි. මොකද ඔහු අපේ ප්‍රශංසාව ලබන්න වටිනවා. (එළි. 4:11) අපි යෙහෝවා ගැන දැනගන්න දැනගන්න ඔහු ගැනත් ඔහුගේ සංවිධානය ගැනත් අපිට තියෙන විශ්වාසෙත් වැඩි වෙයි.

3. සාතන් යෙහෝවා දෙවියන්ගෙන් අපිව ඈත් කරන්න හදන්නේ කොහොමද? දෙවියන්ගෙන්වත් සංවිධානයෙන්වත් ඈත් නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (ගීතාවලිය 31:13, 14)

3 සාතන්ට ඕනෙ කොහොමහරි අපිව යෙහෝවාගෙන් ඈත් කරන්න. විශේෂයෙන්ම අපි ප්‍රශ්නවලට මුහුණ දෙද්දී. ඒත් කොහොමද සාතන් ඒක කරන්නේ? යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ සංවිධානය ගැන අපිට තියෙන විශ්වාසය ටිකෙන් ටික බිඳින්න එයා උත්සාහ කරනවා. ඒත් ඒකට අහු නොවී ඉන්න අපිට පුළුවන්. ඒකට අපි අපේ විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න ඕනේ. එතකොට අපි කවදාවත් දෙවියන්ගෙන්වත් සංවිධානයෙන්වත් ඈත් වෙනවා තියා ඒ ගැන හිතන්නෙවත් නැහැ.—ගීතාවලිය 31:13, 14 කියවන්න.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 මේ ලෝකේ මිනිස්සු දෙවියන් ගැන, සංවිධානය ගැන අපිට තියෙන විශ්වාසය අඩු කරන්න හදන විදි තුනක් ගැන අපි බලමු. ඒ වගේම ඒවා නිසා අපි දෙවියන්ගෙන් ඈත් වෙන්න පුළුවන් කොහොමද කියලත් ඒවාට අහු නොවී ඉන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

ප්‍රශ්නවලට මුහුණ දෙද්දී

5. ප්‍රශ්න එද්දී යෙහෝවා ගැන, සංවිධානය ගැන අපේ විශ්වාසය අඩු වෙන්න පුළුවන් කොහොමද?

5 කාලෙන් කාලෙට අපි හිතන්නේ නැති විදිහේ ප්‍රශ්න එනවා. සමහරවිට පවුලේ අයගෙන් විරුද්ධවාදිකම් එන නිසා, හදිස්සියේ රස්සාව නැති වුණ නිසා ඔයා ගොඩක් දුකෙන් ඇති. ඒ වගේ දේවල් වෙද්දී යෙහෝවා දෙවියන් ගැන, සංවිධානය ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන් කොහොමද? කාලයක් තිස්සේ අපි ඒ ප්‍රශ්නෙට මුහුණ දෙනවා නම් අපි හුඟක් අධෛර්යය වෙන්න පුළුවන්. සාතන් හදන්නේ ඒක අතකොළුවක් කරගෙන දෙවියන්ගේ ආදරය ගැන අපේ හිතේ සැකයක් ඇති කරන්න. ඒ විතරක් නෙවෙයි ‘මට මෙච්චර ප්‍රශ්න එන්නේ මං දෙවියන්ට, සංවිධානයට කීකරු වෙන නිසා’ කියලා හිතන්න පොලඹවන්නත් සාතන්ට පුළුවන්. ඒ වගේම දෙයක් මීට අවුරුදු ගාණකට කලින් ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ ඉද්දීත් වුණා. මුලින් එයාලව ගලවාගන්න මෝසෙස්ව සහ ආරොන්ව එව්වේ යෙහෝවා දෙවියන් කියලා එයාලා විශ්වාස කළා. (නික්. 4:29-31) හැබැයි පාරාවෝ එයාලා මත ලොකු බරක් පැටෙව්වාට පස්සේ එයාලා මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම බනින්න පටන්ගත්තා. “ඔබ කළ දේ නිසා පාරාවෝයි ඔහුගේ සේවකයනුයි අපිව පිළිකුල් කරනවා. ඔබ කළේ අපිව මරා දැමීමට ඔවුන්ගේ අතට කඩුවක් දුන්නා වගේ වැඩක්.” (නික්. 5:19-21) ඔව්, යෙහෝවා දෙවියන් පත් කරපු අයට එයාලා දොස් කිව්වා. එක පිට එක ප්‍රශ්න එද්දී දෙවියන් ගැනත් සංවිධානය ගැනත් දිගටම විශ්වාසය තියන්න අපිට පුළුවන් කොහොමද?

6. අපිට හබක්කුක්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (හබක්කුක් 3:17-19)

6 හිතේ තියෙන හැම දේම දෙවියන්ට කියලා ඔහු මත රඳා ඉන්න. හබක්කුක් කියන්නෙත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. සැරයක් එයා කොච්චර අධෛර්යය වුණාද කියනවා නම් එයාට සැක හිතුණා යෙහෝවා ඇත්තටම එයා ගැන සැලකිලිමත්ද කියලා. ඒ නිසා හිතේ තියෙන හැම දෙයක්ම කියලා එයා යාච්ඤා කළා. එයා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, තව කොතරම් කාලයක් ඔබෙන් උපකාර ඉල්ලා අඬන්නද? ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද?’ (හබ. 1:2, 3) මේ විශ්වාසවන්ත සේවකයාට යෙහෝවා කන් දුන්නා. (හබ. 2:2, 3) ඊටපස්සේ හබක්කුක් කල්පනා කළා අතීතයේදී දෙවියන් ඔහුගේ සේවකයන්ව ගලවාගෙන තියෙන විදිහ. ඒ නිසා නැති වුණ සතුට එයාට ආයෙත් ලැබුණා. යෙහෝවා එයා ගැන සැලකිලිමත් කියලත් ඔහු ඕනම දේකදී එයාගේ උදව්වට ඉන්නවා කියලත් එයාට තිබුණ විශ්වාසෙත් වැඩි වුණා. (හබක්කුක් 3:17-19 කියවන්න.) මොකක්ද අපි ඉගෙනගන්නේ? ප්‍රශ්න එද්දී ඔයාගේ හදවත ඇරලා හැම දේම යෙහෝවාට කියන්න. ඔහු මත රඳා ඉන්න. එතකොට ඕනම දේකට මුහුණ දෙන්න යෙහෝවා ශක්තිය දෙයි. ඒ වගේම දෙවියන්ගේ උදව් අද්දකිද්දී ඔයාට ඔහු ගැන තියෙන විශ්වාසෙත් වැඩි වෙයි.

7. ෂර්ලිගේ පවුලේ කෙනෙක් කරන්න හැදුවේ මොකක්ද? විශ්වාසය රැකගන්න ෂර්ලිට උදව් වුණේ මොනවාද?

7 දෙවියන්ට ළං වෙලා ඉන්න උදව් වෙන දේවල් අතපසු කරන්න එපා. සහෝදරි ෂර්ලි ඉන්නේ පැපුවා නිව් ගිනියාවේ. b එයාගේ පවුලේ අය සමහර වෙලාවට එදා වේල පිරිමහගත්තෙත් ගොඩක් අමාරුවෙන්. ෂර්ලිගේ පවුලේ කෙනෙක් එයාගේ විශ්වාසේ බිඳින්න හැම වෙලේම උත්සාහ කළා. එයා ෂර්ලිට මෙහෙම කිව්වා. “ඔයා හැම වෙලේම කියනවා නේද ඔයාගේ දෙවියන් ඔයාලව බලාගන්නවා කියලා? කෝ ඉතිං ඔයාලා එදා ඉඳන්ම දුප්පත්නේ. බොරුවට ගෙවල් ගාණේ රස්තියාදු වෙන්නේ නැතුව පැත්තට වෙලා ඉන්න.” ෂර්ලි මෙහෙම කියනවා. “මං කල්පනා කළා ‘ඇත්තටම යෙහෝවාට අපි ගැන කිසිම ගාණක් නැද්ද’ කියලා. පස්සේ මට දැනෙන හැම දේම කියලා මං යාච්ඤා කළා. බයිබලේ, අපේ පොත් පත් කියවන එක මං මිස් කළේ නෑ. දිගටම සේවේ ගියා. රැස්වීම් ගියා.” වැඩි දවසක් යන්න කලින් ෂර්ලිට තේරුණා දෙවියන් ඇත්තටම එයාගේ පවුලේ අයව අත්හැරලා නැහැ කියලා. මොකද දෙවියන් කවදාවත් එයාලව බඩගින්නේ තියලා නැහැ. දුප්පත් වුණත් එයාලා හිටියේ සතුටින්. ඊටපස්සේ එයා කියනවා “යෙහෝවා මගේ යාච්ඤාවට උත්තර දුන්න විදිහ මට දැනුණා” කියලා. (1 තිමෝ. 6:6-8) මොකක්ද පාඩම? මොන දේ වුණත් යෙහෝවාට ළං වෙලා ඉන්න උදව් වෙන දේවල් අතපසු කරන්න එපා. එතකොට කොච්චර ප්‍රශ්න ආවත් මොන සැකේ ඇති වුණත් ඒ කිසිම දේකට බැහැ ඔයාව යෙහෝවාගෙන් ඈත් කරන්න.

පෙරමුණ ගන්න සහෝදරයන්ට පීඩා එද්දී

8. පෙරමුණ ගන්න සහෝදරයන්ට මොනවා වෙන්න පුළුවන්ද?

8 අපිට විරුද්ධව වැඩ කරන අය ටීවී එකේ, රේඩියෝ එකේ, ඉන්ටර්නෙට් එකේ සංවිධානයේ පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන් ගැන බොරු කටකතා පතුරවනවා. (ගීතා. 31:13) ඒ වගේම සමහර සහෝදරයන්ව අත්අඩංගුවට අරන් තියෙනවා. අපරාධකාරයෝ කියලා එයාලට චෝදනා කරලා තියෙනවා. පාවුල්ටත් ඒ වගේම දේකට මුහුණ දෙන්න වුණා. ඒ වෙලාවේදී සහෝදර සහෝදරියන් වැඩ කළේ කොහොමද?

9. පාවුල්ව හිරේ දැම්මාම සමහර සහෝදරයන් කළේ මොනවාද?

9 රෝමයේදී පාවුල්ව හිරේ දැම්මා කියලා දැනගත්තාම සමහර සහෝදරයෝ එයාට උදව් කරනවා තියා ඒ පැත්තවත් බැලුවේ නැහැ. (2 තිමෝ. 1:8, 15) ඒ ඇයි? හැමෝම පාවුල්ව අපරාධකාරයෙක් විදිහට සලකපු නිසා එයාලට ලැජ්ජා හිතුණාද? (2 තිමෝ. 2:8, 9) එහෙම නැත්නම් පාවුල්ට උදව් කරන එකෙන් එයාලත් කරදරේ වැටෙයි කියලා බය වුණාද? හේතුව අපි දන්නේ නැහැ. ඒත් ඒ වෙලාවේ පාවුල්ට කොහොම දැනෙන්න ඇද්ද! මොකද පාවුල් කියන්නෙත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. එයා සහෝදරයන් වෙනුවෙන් එයාගේ ජීවිතේ වුණත් පරදුවට තිබ්බා. (ක්‍රියා 20:18-21; 2 කොරි. 1:8) පාවුල්ගේ ළඟ ඉන්නම ඕනෙ වෙලාවේදී තමයි ඒ සහෝදරයෝ එයාව අත්හැරියේ. අපිට ඕනෙ නැහැ කවදාවත් ඒ වගේ වෙන්න. එහෙමනම් පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන්ට පීඩා, විරුද්ධවාදිකම් එද්දී අපි මොනවාද මනසේ තියාගන්න ඕනේ?

10. පෙරමුණ ගන්න අයට පීඩා, විරුද්ධවාදිකම් එද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

10 පීඩා එන්නේ ඇයි කියලත් ඒවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලත් මතක තියාගන්න. 2 තිමෝති 3:12 මෙහෙම කියනවා. “ඇත්තෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.” සංවිධානයේ වගකීම් කරට අරන් වැඩ කරන සහෝදරයන් සාතන්ගේ ප්‍රධාන ඉලක්කයක්. සාතන්ට ඕනෙ කොහොමහරි එයාලගේ විශ්වාසේ බිඳින්න. ඒ වගේම ඒක දැකලා අපිත් බය වෙලා යෙහෝවාව අත්හරිනවා දකින්න.—1 පේතෘ. 5:8.

පාවුල් හිරේ ඉද්දී ඔනෙසිෆරස් බය නැතුව ඇවිල්ලා එයාට උදව් කළා. මේ රඟ දැක්වීමෙන් පෙන්නලා තියෙන්නේ හිරේ ඉන්න සහෝදරයන්ගේ උදව්වට අදත් සහෝදර සහෝදරියන් එන විදිහ (11-12 ඡේද බලන්න)

11. ඔනෙසිෆරස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (2 තිමෝති 1:16-18)

11 පෙරමුණ ගන්න සහෝදරයන්ව අත්හරින්න එපා. (2 තිමෝති 1:16-18 කියවන්න.) ඔනෙසිෆරස් වැඩ කළේ අනිත් අයට වඩා වෙනස් විදිහට. පාවුල්ව ‘දම්වැල්වලින් බැඳලා’ තිබුණා කියලා දැනගත්තාම එයාට ඒ ගැන ‘ලැජ්ජාවක් ඇති වුණේ නැහැ.’ ඒ වෙනුවට එයා පාවුල්ව හොයාගෙන ගියා. එයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා හොයලා බලලා උදව් කළා. එහෙම කරන එකෙන් ඔනෙසිෆරස්ගේ ජීවිතේට පවා අනතුරක් වෙන්න තිබුණා. මොකක්ද අපි ඒකෙන් ඉගෙනගන්නේ? මිනිස්සුන්ට තියෙන බය නිසා අපි කවදාවත් පෙරමුණ ගන්න සහෝදරයන්ට උදව් කරන එක නවත්තන්න හොඳ නැහැ. ඒ වෙනුවට එයාලා වෙනුවෙන් කතා කරන්න. පුළුවන් උපරිමෙන් උදව් කරන්න. (හිතෝ. 17:17) මොකද ඔයාගේ උදව්, ඔයාගේ ආදරේ එයාලටත් ඕනේ.

12. රුසියාවේ ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

12 රුසියාවේ අපේ සහෝදරයන්ව හිරේ දාද්දී අනිත් සහෝදර සහෝදරියෝ එයාලව තනි කළේ නැහැ. නඩු විභාගයක් තියෙන හැම දවසකම එයාලා ඒ සහෝදරයන්ගේ උදව්වට උසාවියට ආවා. මොකක්ද පාඩම? පෙරමුණ ගන්න සහෝදරයන්ට බොරු චෝදනා කරද්දී, අත්අඩංගුවට ගද්දී, පීඩා කරද්දී කවදාවත් බය වෙලා එයාලව අත්හරින්න එපා. එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න. එයාලට උදව් ඕනෙ පැති හොයලා බලලා දිගටම උදව් කරන්න. එයාලගේ පවුලේ අයවත් අමතක කරන්න එපා.—ක්‍රියා 12:5; 2 කොරි. 1:10, 11.

අපේ විශ්වාසයන් පහත් කරද්දී

13. අපහාසවලට මුහුණ දෙද්දී ඒවා දෙවියන් ගැන, ඔහුගේ සංවිධානය ගැන අපිට තියෙන විශ්වාසෙට බලපාන්නේ කොහොමද?

13 අපි දෙවියන්ට සේවේ කරද්දී, ඔහුගේ උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙද්දී අපේ නෑදෑයෝ, වැඩපොළේ අය, ඉස්කෝලේ යාළුවෝ අපිට අපහාස කරයි. (1 පේතෘ. 4:4) සමහරවිට එයාලා මෙහෙම කියයි. “ඔයා නං හොඳයි. හැබැයි ඔයාගේ ආගම නං අන්තිමයි. ඒකේ කියන විදිහට කොහොමද අනේ ජීවත් වෙන්නේ? ඔයාලා නිකං බොරුවට කොටු වෙලානේ.” කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන සැලැස්ම ගැන ප්‍රශ්න කරන අයත් ඉන්නවා. එයාලා කියනවා “අපි හැමෝටම ආදරේ කරන්න ඕනෙ නේද? එහෙනං කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ” කියලා. ඒ වගේ දේවල් ඇහෙද්දී අපේ හිතෙත් සැකේ කියන බීජය ටිකෙන් ටික මුල් අදින්න පුළුවන්. සමහරවිට ඔයාටත් මෙහෙම හිතෙයි. ‘යෙහෝවා දෙවියන් ඕනාවට වඩා දේවල් මගෙන් බලාපොරොත්තු වෙනවාද? ඇත්තටම සංවිධානෙන් දෙන මඟ පෙන්වීම් තද වැඩියිද?’ එහෙමනම් දෙවියන් ගැන, සංවිධානය ගැන ඔයාට තියෙන විශ්වාසේ ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

යෝබ්ට අපහාස කරලා යාළුවෝ කියපු බොරු යෝබ් විශ්වාස කළේ නැහැ. ඒ වෙනුවට දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න එයා අධිෂ්ඨාන කරගත්තා (14 ඡේදය බලන්න)

14. දෙවියන්ගේ ප්‍රතිපත්ති රකින නිසා අනිත් අය අපිට අපහාස කරද්දී අපි මොනවාද කරන්න ඕනේ? (ගීතාවලිය 119:50-52)

14 දිගටම යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න. යෝබ් කියන්නෙත් දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වුණ නිසා ගොඩක් අපහාසවලට මුහුණ දුන්න කෙනෙක්. යෝබ්ගේ යාළුවෝ හැදුවේ යෝබ්ගේ ඔළුවට මේ වගේ අදහසක් දාන්න. ‘ඔයා දෙවියන් කියන විදිහට ජීවත් වුණත් නැතත් දෙවියන්ට ඒකෙන් ඇති වැඩක් නෑ.’ (යෝබ් 4:17, 18; 22:3) හැබැයි යෝබ් දැනන් හිටියා යෙහෝවා හරි වැරැද්ද ගැන දීලා තියෙන ප්‍රමිති හරියටම හරි කියලා. ඒ නිසයි ඒවාට අනුව දිගටම ජීවත් වෙන්න එයා අධිෂ්ඨාන කරගත්තේ. යෝබ් එයාගේ විශ්වාසේ බිඳලා දාන්න අනිත් අයට පුංචිවත් ඉඩක් දුන්නේ නැහැ. (යෝබ් 27:5, 6) මොකක්ද අපි ඉගෙනගන්නේ? කවදාවත් දෙවියන්ගේ ප්‍රමිති ගැන ඔයාගේ හිතේ සැකයක් ඇති කරන්න අපහාසවලට ඉඩ දෙන්න එපා. ඔයාගේ ජීවිතේ දිහා ටිකක් හැරිලා බලන්න. දෙවියන් කියන විදිහට ජීවත් වුණ එකෙන් ඔයාට කවදා හරි වැරදිලා තියෙනවාද? ඒ නිසා හැමදාමත් අපේ පිටිපස්සේ ඉඳන් දෙවියන්ගේ ප්‍රමිති රකින්න අපිට තල්ලුවක් දෙන ඔහුගේ සංවිධානයට ළැදිව ඉන්න. කවුරු කොහොම ඔයාගේ විශ්වාසයන් පහත් කරලා කතා කළත් ඒ කිසිම දේකට ඔයාව දෙවියන්ගෙන් ඈත් කරන්න ඉඩ දෙන්න එපා!—ගීතාවලිය 119:50-52 කියවන්න.

15. බ්‍රිජට්ට අපහාස විඳින්න වුණේ ඇයි?

15 සහෝදරි බ්‍රිජට් ඉන්නේ ඉන්දියාවේ. බයිබලේ ඉගෙනත්ත නිසා පවුලේ අය එයාට ගොඩක් අපහාස කළා. 1997 එයා බව්තීස්ම වෙලා වැඩි කල් යන්න කලින් මහත්තයාගේ රස්සාව නැති වුණා. ඒ නිසා මහත්තයා තීරණය කළා එයාවයි, දුවලා තුන්දෙනාවයි අරගෙන මහත්තයාගේ මහගෙදර යන්න. එහෙට ගියාට පස්සේ බ්‍රිජට්ට තවත් ප්‍රශ්න ආවා. මහත්තයාට රස්සාවක් තිබ්බේ නැති නිසා බ්‍රිජට්ට සිද්ධ වුණා සතිය පුරාම රස්සාවක් කරන්න. ඒ විතරක් නෙවෙයි රැස්වීම් ශාලාවක් තිබ්බෙත් එයාලා හිටපු තැන ඉඳන් කි.මී. 350ක් විතර ඈතින්. ඒ මදිවට මහත්තයාගේ පවුලේ අයත් සත්‍යයට විරුද්ධයි. එයාලගේ විරුද්ධවාදිකම් දරාගන්න බැරිම තැන බ්‍රිජට්ලාට සිද්ධ වුණා පදිංචිය වෙනස් කරන්න. ඊටපස්සේ හදිස්සියේ එයාගේ මහත්තයා මැරුණා. පස්සේ අවුරුදු දොළහේ පුංචි දුවත් පිළිකාවක් හැදිලා මැරුණා. ඒ දේවල් වෙද්දී බ්‍රිජට්ගේ නෑයෝ එයාට කිව්වා “මේ හැම දේටම මුල ඔය කොහෙවත් නැති ආගම” කියලා. හැබැයි ඒ මොන දේ නිසාවත් බ්‍රිජට්ගේ හිතේ දෙවියන් ගැන, සංවිධානය ගැන තිබ්බ විශ්වාසේ දශමෙකින්වත් අඩු වුණේ නැහැ.

16. දෙවියන්ට සහ සංවිධානයට විශ්වාසවන්තව හිටපු නිසා බ්‍රිජට්ට ලැබුණ ආශීර්වාද මොනවාද?

16 බ්‍රිජට් ජීවත් වුණේ රැස්වීම් ශාලාව තිබුණ තැනට වඩා ගොඩක් දුරින් නිසා චාරිකා සේවක එයාට කිව්වා බ්‍රිජට් හිටපු පැත්තෙම සේවේ යන්න, එයාගේ ගෙදරම රැස්වීම් තියෙන්න කියලා. මුලදී බයක් දැනුණත් එයා ලැබුණ මඟ පෙන්වීමට කීකරු වුණා. ඒ වගේම නොවරදවාම දරුවොත් එක්ක පවුලේ නමස්කාරයත් කළා. මොකක්ද ප්‍රතිඵලය? බ්‍රිජට්ට පුළුවන් වුණා හුඟක් අය එක්ක බයිබල් පාඩම් පටන්ගන්න. එයාත් එක්ක පාඩම් කරපු හුඟදෙනෙක් බව්තීස්මත් වුණා. 2005දී එයා ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා. දිගටම විශ්වාසවන්තව හිටපු නිසා බ්‍රිජට්ට ආශීර්වාද ලැබුණාද? ඔව්, එයාගේ දරුවෝ දැන් විශ්වාසවන්තව සේවේ කරනවා. ඒ වගේම බ්‍රිජට් ඉන්න පැත්තේ දැන් සභා දෙකකුත් තියෙනවා. මොන ප්‍රශ්නේ ආවත් පවුලේ අය කොච්චර අපහාස කළත් දිගටම විශ්වාසවන්තව ඉන්න බ්‍රිජට්ට හයිය දුන්නේ යෙහෝවා දෙවියන් කියලා එයාට කිසිම සැකයක් නැහැ.

දෙවියන්ටත් සංවිධානයටත් දිගටම ළැදිව ඉන්න

17. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

17 ‘ප්‍රශ්න එද්දී යෙහෝවා අපිව ඒ ප්‍රශ්න මැද තනි කරලා යනවා’ කියලා අපි හිතනවා දකින්නයි සාතන්ට ඕනේ. ඒ වගේම සාතන් කැමතියි ‘සංවිධානයට කීකරු වෙන එකෙන් වෙන්නේ තව ප්‍රශ්න වැඩි වෙන එක විතරයි’ කියලා අපි හිතනවාට. ඒ විතරක් නෙවෙයි පෙරමුණ ගන්න අයට බොරු චෝදනා කරද්දී, එයාලට පීඩා කරද්දී, එයාලව හිරේ දාද්දී බය වෙලා අපි අපේ විශ්වාසය අත්හරිනවා දකින්නත් සාතන් කැමතියි. අපහාසවලට මුහුණ දෙන්න වෙද්දීත් සාතන්ට ඕනෙ දෙවියන් ගැන, ඔහුගේ සංවිධානය ගැන අපේ හිතේ තියෙන විශ්වාසය අඩු වෙනවා දකින්න. හැබැයි සාතන්ගේ ගැට මොනවාද කියලා අපි දන්නවා. ඒ නිසා ඒවාට අහු නොවී ඉන්න අපි පුළුවන් හැම දේම කරන්න ඕනේ. (2 කොරි. 2:11) ඉතින් දිගටම සාතන්ගේ බොරු ප්‍රතික්ෂේප කරලා යෙහෝවාට, ඔහුගේ සංවිධානයට ළැදිව ඉන්න අධිෂ්ඨාන කරගන්න. දෙවියන් කවදාවත් ඔයාව අත්හරින්නේ නැහැ කියලා මතක තියාගන්න. (ගීතා. 28:7) එහෙම කරනවා නම් යෙහෝවා දෙවියන්ගෙන් ඔයාව ඈත් කරන්න කිසිම දේකට බැහැ.—රෝම 8:35-39.

18. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

18 අපි මේ ලිපියෙන් බැලුවේ ලෝකේ අයගෙන් අපිට එන අභියෝග ගැන. හැබැයි සමහර වෙලාවට සභාව ඇතුළෙම වෙන දේවල් නිසාත් දෙවියන් ගැන, සංවිධානය ගැන අපිට තියෙන විශ්වාසය ටිකෙන් ටික බිඳෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණොත් මොකද කරන්නේ? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 118 “විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”

a අපි ජීවත් වෙන මේ අන්තිම කාලේ දිගටම විඳදරාගෙන ඉන්න නම් යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ සංවිධානය ගැන අපිට තියෙන විශ්වාසය අපි රැකගන්න ඕනේ. සාතන් ඒ විශ්වාසය බිඳලා දාන්න ගොඩක් දේවල් කරනවා. සාතන් කරන ඒ වගේ දේවල් තුනක් ගැනත් ඒවාට අහු නොවී ඉන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් අපි මේ ලිපියෙන් බලමු.

b සමහර නම් වෙනස් කර ඇත.