Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 46

දිගටම සතුටින් විඳදරාගන්න

දිගටම සතුටින් විඳදරාගන්න

“යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි.”—යෙසා. 30:18.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

මේ ලිපියෙන් a

1-2. (අ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද? (ආ) දෙවියන් අපිට උදව් කරන්න ආසාවෙන් ඉන්නවා කියලා අපි හරියටම දන්නේ කොහොමද?

 ජීවිතේ අපිට එන ඕනෙම ප්‍රශ්නෙකට සාර්ථකව මුහුණ දීලා සතුටින් අපේ සේවේ කරගෙන යන්න අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. ඒත් ඔහු ඒක කරන්නේ මොන විදිවලින්ද? ඔහු දෙන උදව්වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඒත් ඊට කලින් අපි බලමු ඇත්තටම දෙවියන් අපිට උදව් කරන්න ආසාවෙන් ඉන්නවාද කියලා.

2 ඒ ප්‍රශ්නෙට උත්තරේ පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියකින් අපිට දැනගන්න පුළුවන්. පාවුල් මෙහෙම කිව්වා. “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?” (හෙබ්‍රෙ. 13:6) එක පොතක කියනවා එතන “උපකාර කරනවා” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ කෙනෙක් කෑගහලා උදව් ඉල්ලද්දී එයා ළඟට දුවගෙන ගිහිල්ලා උදව් කරන එක කියලා. යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්න ආසාවෙන් ඉන්න විදිහ ගැන ඒකෙන් අපේ හිතේ ලස්සන චිත්‍රයක් මැවෙනවා නේද? ඔව්, ඕනම වෙලාවක අපේ උදව්වට අපි ළඟට දුවගෙන එන්න ඔහු ලෑස්තියි. ඒ නිසා ඕනම දෙයක් සතුටින් දරාගන්න අපිට පුළුවන්.

3. ඕනම දෙයක් සතුටින් විඳදරාගන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරන විදි තුනක් කියන්න.

3 යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්නේ මොන විදිවලින්ද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න අපි දැන් යෙසායා 30වෙනි පරිච්ඡේදයට යමු. යෙසායා කියපු හුඟක් දේවල් අපේ කාලෙට අදාළයි. එයා යෙහෝවා දෙවියන්ගේ පෞද්ගලිකත්වයේ විවිධ පැතිකඩවල් අපේ හිතේ චිත්‍රයක් මැවෙන විදිහට විස්තර කරලා තියෙනවා. දැන් අපි දෙවියන් අපිට උදව් කරන මේ පැති තුන බලමු. (1) අපේ යාච්ඤාවලට ඇහුම්කන් දීලා උත්තර දෙනවා. (2) අපිට මඟ පෙන්වීම් දෙනවා. (3) දැන් වගේම අනාගතයේදීත් අපිට ආශීර්වාද කරනවා.

යෙහෝවා දෙවියන් අපිට ඇහුම්කන් දෙනවා

4. (අ) යෙසායාගේ කාලේ හිටපු යුදෙව්වන් ගැන යෙහෝවා කිව්වේ මොනවාද? එයාලට මොනවා වෙන්නද ඔහු ඉඩ හැරියේ? (ආ) විශ්වාසවන්ත අයට ඔහු දීපු බලාපොරොත්තුව මොකක්ද? (යෙසායා 30:18, 19)

4 යෙසායා 30වෙනි පරිච්ඡේදයේ යෙහෝවා දෙවියන් යුදෙව්වන්ව විස්තර කරන්නේ ‘තමන්ගේ පාප තව තවත් වැඩි කරගන්න මුරණ්ඩු පුත්‍රයෝ’ විදිහට. (යෙසා. 30:1) ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා. “මොවුහු කැරලිකාර පුත්‍රයෝය. යෙහෝවා දෙවි වන මාගේ නීතියට අකීකරු වන අවිශ්වාසවන්ත දරුවෝය.” (යෙසා. 30:9) ඒ නිසා එයාලට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියලා දෙවියන් කිව්වා. (යෙසා. 30:5, 17; යෙරෙ. 25:8-11) ඒ කියපු විදිහටම එයාලව බැබිලෝනිවරු වහල්කමට අරගෙන ගියා. හැබැයි එයාලා අතරේ දෙවියන්ට විශ්වාසවන්ත අයත් හිටියා. කරුණාව පෙන්නලා එයාලව ආපහු නිදහස් කරගෙන යෙරුසලමට අරගෙන එනවා කියලා දෙවියන් යෙසායා මාර්ගයෙන් කිව්වා. (යෙසායා 30:18, 19 කියවන්න.) කිව්වා වගේම ඒ දේත් සිද්ධ වුණා. හැබැයි ඒකට විශ්වාසවන්ත යුදෙව්වන්ට සෑහෙන කාලයක් බලන් ඉන්න වුණා. මොකද යෙසායා කියලා තිබුණා “යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි” කියලා. එතන “බලා සිටියි” කියන එකෙන් තේරෙනවා ඒකට යම් කාලයක් යනවා කියලා. ඇත්තටම බැබිලෝනියෙන් නිදහස් වෙලා ආපහු යෙරුසලමට එන්න එයාලට අවුරුදු 70ක් ගියා. (යෙසා. 10:21; යෙරෙ. 29:10) හැබැයි ආවට පස්සේ එයාලා අවුරුදු ගාණක් තිස්සේ හෙළපු දුක් කඳුළු සතුටු කඳුළුවලට හැරුණා.

5. යෙසායා 30:19 අපිට දෙන සහතිකය මොකක්ද?

5 යෙසායා මෙහෙම කිව්වා. “ඔබ හඬ නඟා දෙවිට කන්නලව් කරන විට ඔහු ඔබට කරුණාවෙන් සවන් දෙන්නේය. ඔබ හඬගසන මොහොතේදීම ඔහු ඔබට පිළිතුරු දෙන්නේය.” (යෙසා. 30:19) ඒ වචනවලින් අපිට ලැබෙන සහතිකය මොකක්ද? අපි අසරණ වෙලා උදව් ඉල්ලලා කෑගහද්දී යෙහෝවා දෙවියන් අපිට ඇහුම්කන් දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු ඉක්මනින්ම උත්තරත් දෙනවා. හරියට තාත්තා කෙනෙක් කරකර ඉන්න හැම වැඩක්ම පැත්තකට දාලා දරුවා ගාවට ඇවිත් එයාට උදව් කරනවා වගේ. ඒ ගැන දැනන් ඉන්න එක ඕනම දෙයක් සතුටින් විඳදරාගන්න අපිට උදව් වෙනවා.

6. අපි එක් එක් කෙනා කරන යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙනවා කියලා අපි දන්නේ කොහොමද?

6 ඒ බයිබල් පදෙන් අපිට ලැබෙන තව සහතිකයක් තමයි යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනා කරන යාච්ඤාවලට වෙන වෙනම ඇහුම්කන් දෙනවා කියන එක. කොහොමද අපි ඒක දන්නේ? යෙසායා 30වෙනි පරිච්ඡේදයේ මුල හරියේ “ඔබ” කියලා කියද්දී මුල් භාෂාවට අනුව එතන කතා කරලා තියෙන්නේ බහු වචනයෙන්. මොකද යෙහෝවා එතන කතා කළේ එක් කෙනෙක්ට නෙවෙයි පිරිසකට. හැබැයි 19වෙනි පදේ මෙහෙම කියනවා. ‘ඔබ තවදුරටත් හඬා වැලපෙන්නේ නැත. ඔහු ඔබට කරුණාවෙන් සවන් දෙන්නේය. ඔහු ඔබට පිළිතුරු දෙන්නේය.’ එතන “ඔබ” කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ඒක වචනයෙන්. ඒ කියන්නේ එතන කතා කරන්නේ තනි තනි පුද්ගලයාට. අපි දන්නවා දරුවෙක් ප්‍රශ්නයක් නිසා දුකෙන් ඉද්දී තාත්තා කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ “බලන්න අයියා දිහා, අක්කා දිහා. ඔයත් ඒ වගේ වෙන්නකෝ” කියලා. ඒ වගේ යෙහෝවාත් අපි එක් එක් කෙනාව හොඳට තේරුම් අරන් අපේ යාච්ඤාවලට වෙන වෙනම ඇහුම්කන් දෙනවා.—ගීතා. 116:1; යෙසා. 57:15.

‘යෙහෝවා දෙවි ඉදිරියේ නිහඬ නොවන්න’ කියද්දී යෙසායා අදහස් කළේ මොකක්ද? (7 ඡේදය බලන්න)

7. දිගටම යාච්ඤා කරන එකේ වැදගත්කම ගැන යෙසායා සහ යේසුස් කියලා තියෙන්නේ මොනවාද?

7 අපි ප්‍රශ්නෙක හිර වෙලා යෙහෝවාට යාච්ඤා කරද්දී හුඟක් වෙලාවට ඔහු ඉස්සෙල්ලාම කරන්නේ ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕන කරන ශක්තිය අපිට දෙන එක. ඒත් සමහර ප්‍රශ්න අපි හිතනවාට වඩා කාලයක් ඇදෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා දිගටම ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න. අපි එහෙම කරනවාට යෙහෝවාත් කැමතියි. ඒකයි යෙසායා කිව්වේ “ඔබ [යෙහෝවා] දෙවි ඉදිරියේ නිහඬ නොවන්න” කියලා. (යෙසා. 62:7) වෙන විදිහකින් කියනවා නම් යෙසායා කියන්නේ යාච්ඤාවට උත්තර දෙන කල්ම දිගටම යෙහෝවාට කරදර කරන්න කියනවා වගේ දෙයක්. යෙසායාගේ ඒ වචන ඇහෙද්දී ලූක් 11:8-10, 13 යේසුස් කියපු දෙයක් අපිට මතක් වෙනවා. ඔහු කිව්වා දෙවිගේ බලය අපිට ඕනෙ නම් ‘අත්හරින්නේ නැතුව දිගටම ඉල්ලන්න’ කියලා. ඒ වගේම අපි ප්‍රශ්නෙක ඉද්දී හොඳ තීරණ ගන්න උදව් වෙන මඟ පෙන්වීම් ඉල්ලලත් දෙවියන්ට යාච්ඤා කරන්න අපිට පුළුවන්.

යෙහෝවා දෙවියන් අපිට මඟ පෙන්නනවා

8. යෙසායා 30:20, 21 තියෙන වචන අතීතයේදී ඉටු වුණේ කොහොමද?

8 යෙසායා 30:20, 21 කියවන්න. බැබිලෝනිය හමුදාව අවුරුදු එකහමාරක් යෙරුසලම වටලගෙන හිටපු කාලේ එහේ හිටපු අයට පීඩා, දුක් කරදර කෑම බීම වගේ හුරුපුරුදු දෙයක් වුණා. හැබැයි 20 සහ 21 පදවල යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා ඒ යුදෙව්වන් පසුතැවිලි වෙලා එයාලගේ වැරදි හදාගන්නවා නම් ඒ පීඩාවලින් එයාලව ගලවාගන්නවා කියලා. එතන යෙසායා දෙවියන්ව හඳුන්වන්නේ “උදාර උපදේශකයාණන්” විදිහට. යෙසායා කියනවා දෙවියන් ඔහුගේ සෙනඟට ඔහු පිළිගන්න විදිහට නමස්කාර කරන විදිහ කියලා දෙනවා කියලා. ඒක ඉටු වුණේ කොහොමද? යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආපහු යෙරුසලමට ආවට පස්සේ යෙහෝවා එයාලට දිගටම මඟ පෙන්වීම් දුන්නා. ඒ නිසා සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න එයාලට පුළුවන් වුණා. උදාර උපදේශකයාණන් විදිහට ඔහු අද අපිටත් මඟ පෙන්වන එක ගැන අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද!

9. අද අපිට යෙහෝවාගේ මඟ පෙන්වීම් ලැබෙන එක විදිහක් මොකක්ද?

9 අපේ උදාර උපදේශකයාණන් නැත්නම් ගුරුවරයා විදිහට යෙහෝවා දෙවියන් අපිට විදි දෙකකින් උගන්වනවා. එක විදිහක් ගැන යෙසායා මෙහෙම කියනවා. ‘ඔබ සැබවින්ම ඔබේ උදාර උපදේශකයාණන්ව දකින්නහුය.’ ඒ වචන කියවද්දී ගුරුවරයෙක් එයාගේ ශිෂ්‍යයන් ඉස්සරහා ඉඳන් උගන්වන විදිහ අපේ මනසේ මැවෙනවා. ඒත් යෙහෝවා කොහොමද අපේ ඉස්සරහා ඉඳන් උගන්වන්නේ? ඔහු ඒක කරන්නේ සංවිධානය මාර්ගයෙන්. අපේ රැස්වීම්, සමුළු, ප්‍රකාශන, බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් වගේම තවත් හුඟක් විදිවලින් ඔහු අපිට මඟ පෙන්නනවා. අභියෝග පිරුණු මේ කාලේ දිගටම සතුටින් විඳදරාගන්න ඒ ලැබෙන පෝෂණය අපිට කොච්චර උදව් වෙනවාද!

10. ‘අපිට පිටුපසින් හඬක්’ ඇහෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

10 යෙහෝවා දෙවියන් අපිට මඟ පෙන්නන දෙවෙනි විදිහ ගැන යෙසායා මෙහෙම කියනවා. “ඔබට පිටුපසින් මෙසේ කියන හඬක් ඇසෙයි.” ගුරුවරයෙක් ශිෂ්‍යයන්ගේ පිටිපස්සේ ඉඳන් යන්න ඕනෙ හරි පාර එයාලට පෙන්නන විදිහ ඒ වචන ඇහෙද්දී අපේ හිතේ මැවෙනවා. දෙවියන් අපේ පිටිපස්සෙන් ඉඳන් මඟ පෙන්නන්නේ කොහොමද? අපි දන්නවා දෙවියන්ගේ වචනයේ තියෙන්නේ මීට අවුරුදු දහස් ගාණකට කලින් ලියපු තොරතුරු. ඉතින් බයිබලේ කියවද්දී අපි කරන්නේ හරියට අපේ පිටුපසින් ඇහෙන දෙවියන්ගේ හඬට ඇහුම්කන් දෙනවා වගේ දෙයක්.—යෙසා. 51:4.

11. සතුටින් විඳදරාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

11 යෙහෝවා දෙවියන් සංවිධානෙන් සහ ඔහුගේ වචනයෙන් දෙන මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන දේවල් දෙකක් ගැන යෙසායා කියනවා. මුලින්ම එයා කියනවා යෙහෝවා දෙවියන් “යා යුතු හරි මඟ” අපිට පෙන්නනවා කියලා. ඊළඟට කියනවා “ඒ මාර්ගයේ ගමන් කරන්න” කියලා. (යෙසා. 30:21) අද යෙහෝවා ඔහුගේ සංවිධානයෙන් ඔහුගේ වචනයේ තියෙන දේවල් අපිට උගන්වලා “හරි මඟ” පෙන්නනවා. ඒ නිසා ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා අපිට දැනගන්න පුළුවන්. හැබැයි ඒ විතරක් මදි. අපි “ඒ මාර්ගයේ ගමන් කරන්න” ඕනේ. ඒ කියන්නේ අපි ඒවා පිළිපදින්නත් ඕනේ. අපි ඒ දේවල් දෙකම කරනවා නම් විතරයි ඕනම දෙයක් සතුටින් විඳදරාගන්න අපිට පුළුවන් වෙන්නේ. එතකොට යෙහෝවා දෙවියන් ආශීර්වාදවලින් අපේ ජීවිත පුරවයි.

යෙහෝවා දෙවියන් අපිට ආශීර්වාද කරනවා

12. යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ආශීර්වාද කරන්නේ කොහොමද? (යෙසායා 30:23-26)

12 යෙසායා 30:23-26 කියවන්න. බැබිලෝනියෙන් නිදහස් වෙලා ආපහු යෙරුසලමට ආපු යුදෙව්වන් මේ අනාවැකිය ඉටු වෙන විදිහ දැක්කේ කොහොමද? යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තිබුණ නිසා එයාලට කෑමෙන් බීමෙන් කිසි අඩුවක් තිබුණේ නැහැ. ඒ වගේම යෙහෝවාට දිගටම ළං වෙලා ඉන්න ඕන කරන පෝෂණයත් එයාලට අඩුවක් නැතුව ලැබුණා. ඒ නිසා කාලයත් එක්කම සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න එයාලට පුළුවන් වුණා. ඉතිහාසයේ කවදාවත් අද්දැකලා නැති තරම් ආශීර්වාද එදා එයාලා අද්දැක්කා. 26වෙනි පදයේ කියන විදිහට එයාලට දෙවියන්ගේ වචනයේ තිබුණ දේවල් තවත් හොඳින් අවබෝධ කරගන්නත් යෙහෝවා පුදුමාකාර විදිහට උදව් කළා. (යෙසා. 60:2) ඒ දේවල් නිසා යුදෙව්වන් ඇත්තටම හිටියේ ගොඩක් සතුටින්. ඒ නිසා උපරිම ශක්තිය යොදවලා “සතුටු සිතින්” යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න එයාලට පුළුවන් වුණා.—යෙසා. 65:14.

13. සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන එක ගැන කියපු අනාවැකිය අද ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

13 සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන එක ගැන තියෙන අනාවැකිය අපේ කාලේදීත් ඉටු වෙනවා. ඒ කොහොමද? ක්‍රි.ව. 1919 ඉඳන් මිලියන ගාණක් සෙනඟ මහ බැබිලෝනියට අයිති බොරු ආගම්වල මාංචු කඩලා දාලා ඒවායින් නිදහස් වෙලා තියෙනවා. මේ සැරේ යෙහෝවා දෙවියන් නිදහස් වුණ ඒ සෙනඟව ගෙනාවේ පොරොන්දු දේශයටත් වඩා උතුම් තැනකට. ඒ ඔහු මේ කාලේදී දෙන පාරාදීසෙට. (යෙසා. 51:3; 66:8) ඒත් මොකක්ද දෙවියන් අපිට දැන් දෙන පාරාදීසය?

14. දෙවියන් අද අපිට දීලා තියෙන පාරාදීසේ මොකක්ද? ඒකේ ජීවත් වෙන්නේ කවුද? (පැහැදිලි කිරීමක් කියන කොටස බලන්න.)

14 1919 ඉඳන් අභිෂේක ලත් අය දෙවියන් දෙන මේ පාරාදීසේට ඇතුල් වෙලා තියෙනවා. b කාලයත් එක්කම මේ පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුව තියෙන “වෙනත් බැටළුවනුත්” මේ පාරාදීසෙට ඇතුල් වෙලා යෙහෝවා දෙවියන් දෙන නිමක් නැති ආශීර්වාද භුක්ති විඳිනවා.—යොහ. 10:16; යෙසා. 25:6; 65:13.

15. දෙවියන් මේ කාලේ දෙන පාරාදීසේ තියෙන්නේ කොහේද?

15 දෙවියන් මේ කාලේ දෙන පාරාදීසේ තියෙන්නේ කොහේද? අපි ලෝකේ කොහේ ගියත් ඒක ඒ හැම තැනකම තියෙනවා. මොකද දෙවියන්ගේ සේවකයන් ලෝකේ පුරාම ඉන්නවා. ඉතින් අපි කොහේ ජීවත් වුණත් උද්‍යෝගයෙන් නමස්කාරයේ දේවල්වල හවුල් වෙන තාක් කල් ඒ පාරාදීසේ ජීවත් වෙන්න අපි හැමෝටම පුළුවන්.

දෙවියන් දැන් අපිට දීලා තියෙන පාරාදීසය තවත් වර්ණවත් කරන්න අපි එක් එක් කෙනාට පුළුවන් කොහොමද? (16-17 ඡේද බලන්න)

16. මේ පාරාදීසේ සුන්දරත්වය දිගටම විඳින්න අපිට පුළුවන් කොහොමද?

16 මේ පාරාදීසේ දිගටම ඉන්න නම් ලෝකේ පුරා ඉන්න අපේ සහෝදර පවුල ගැන අපේ හිතේ දිගටම ලොකු අගයක් තියෙන්න ඕනේ. ඒත් ඒ අගය ඇති කරගන්නේ කොහොමද? ඒකට අපි සහෝදර සහෝදරියන්ගේ අඩුපාඩුකම් දිහාම බලන්නේ නැතුව එයාලගේ හොඳ පැති දිහා බලන්න ඕනේ. (යොහ. 17:20, 21) ඇයි ඒක වැදගත්? ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ඔයා එක එක වර්ගයේ ගස්වලින් පිරිච්ච වනාන්තරේක සිරි නරඹන්න යනවා. ඒ විවිධත්වය නිසා තමයි වනාන්තරේ ලස්සන වැඩි වෙන්නේ. ඒ වගේ අද අපේ සහෝදරයන් අතරෙත් එක එක විදිහේ පෞද්ගලිකත්වයන් තියෙන අය ඉන්නවා. (යෙසා. 44:4; 61:3) ඉතින් අපි එයාලගේ අඩුපාඩු දිහා නෙවෙයි එයාලගේ විවිධත්වය දිහා ඒ කියන්නේ එයාලගේ ලස්සන ගුණාංග දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. අපේ සහෝදර පවුලේ සුන්දරත්වය මකලා දාන්න අපේම අඩුපාඩුකම්වලටවත් අනිත් අයගේ අඩුපාඩුකම්වලටවත් අපි කවදාවත් ඉඩ දෙන්න හොඳ නැහැ.

17. සභාවේ එක්සත්කම රැකගන්න අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් මොනවාද?

17 සභාවේ එක්සත්කම රැකගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඒකට සාමය ඇති කරන්නෙක් වෙන්න. (මතෙ. 5:9; රෝම 12:18) එහෙම කරන්න ඔයා මුල් පියවර ගන්න හැම වෙලාවකදීම ඔයාටත් පුළුවන් මේ පාරාදීසේ තවත් වර්ණවත් කරන්න. අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ සභාවේ ඉන්න හැමෝවම මේ පාරාදීසෙට අඬගහලා තියෙන්නේ යෙහෝවා දෙවියන් කියලා. (යොහ. 6:44) යෙහෝවා වටිනා වස්තු විදිහට සලකන ඔහුගේ සේවකයන් එකිනෙකා අතරේ සාමය, එක්සත්කම රැකගන්න මහන්සි වෙන විදිහ ඔහු දකිනවා. (යෙසා. 26:3; හග්. 2:7) ඒ ගැන ඔහුට මොන තරම් සතුටක් දැනෙනවා ඇද්ද!

18. අපි ගැඹුරින් හිතන්න ඕනෙ මොනවා ගැනද? ඒ ඇයි?

18 යෙහෝවා අද අපිට කොච්චර නම් හොඳ දේවල් දීලා තියෙනවාද! ඒ අතරින් එක දෙයක් තමයි අපිට දෙන පෝෂණය. ඒකෙන් ප්‍රයෝජන ගන්න නම් අපි බයිබලෙන්, අපේ ප්‍රකාශනවලින් ඉගෙනගන්න දේවල් ගැන ගැඹුරින් හිතලා බලන්න ඕනේ. එහෙම කරද්දී දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්න අපිට පුළුවන්. එතකොට “සහෝදර ප්‍රේමය” සහ “ගැඹුරු ස්නේහය” පෙන්නන්න අපිට පුළුවන් වෙනවා. (රෝම 12:10) ඒ නිසා යෙහෝවා දැන් අපිට දීලා තියෙන හොඳ දේවල් ගැන දිගටම හිතමු. එහෙම කරන එකෙන් ඔහු එක්ක තියෙන බැඳීම ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු අනාගතයේදී ආශීර්වාද කරන විදිහ ගැනත් හිතමු. එහෙම කරන එකෙන් දෙවියන්ට සේවේ කරන්න අපේ හිතේ තියෙන ආසාව තව වැඩි වෙනවා.

දිගටම විඳදරාගන්න අධිෂ්ඨානයක්!

19. (අ) යෙසායා 30:18 කියන විදිහට අපිට සහතික වෙන්න පුළුවන් මොනවා ගැනද? (ආ) දිගටම සතුටින් විඳදරාගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

19 ළඟදීම යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් ‘පියවර අරන්’ මේ දුෂ්ට ලෝකය විනාශ කරනවා. (යෙසා. 30:18) ‘යෙහෝවා දෙවියන් යුක්තියට ප්‍රිය දෙවි කෙනෙක්’ නිසා ඔහු නියම කරලා තියෙන දවසට වඩා ඒ දේ කරන්න එක දවසක්වත් පරක්කු වෙන්නේ නැහැ. (යෙසා. 25:9) ඒ දවස එන කල් අපි ඉවසීමෙන් බලාගෙන ඉන්නේ හරිම සතුටින්. ඒ නිසා අපි දිගටම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරමු. බයිබලේ අධ්‍යයනය කරලා ජීවිතේට අදාළ කරගමු. ඔහු දෙන ආශීර්වාද ගැන හොඳට හිතමු. එතකොට ඕනම දෙයක් විඳදරාගෙන යෙහෝවා දෙවියන්ට සතුටින් සේවේ කරන්න අපිටත් පුළුවන්.

ගීතිකාව 142 බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

a ජීවිතේ අපිට එන අභියෝග සතුටින් විඳදරාගන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරන විදි තුනක් ගැන අපි යෙසායා 30වෙනි පරිච්ඡේදයෙන් බලනවා. ඒ තොරතුරු සාකච්ඡා කරද්දී යාච්ඤා කරන එක, බයිබලේ අධ්‍යයනය කරන එක වගේම දැන් ලැබෙන සහ අනාගතයේදී ලැබෙන්න යන ආශීර්වාද ගැන කල්පනා කරන එක කොච්චර වැදගත්ද කියලා හිතලා බලන්න.

b පැහැදිලි කිරීමක්: “දෙවියන් මේ කාලේදී දෙන පාරාදීසය” කියන්නේ අද අපි භුක්ති විඳින පාරාදීසයක් වගේ තත්වෙට. ඒක නිසා එකතු වෙලා යෙහෝවාට පිරිසිදු නමස්කාරයක් කරන්නත් දෙවියන්ගේ සෙනඟ අතරේ සැබෑ ආරක්ෂාව ලබන්නත් අපිට පුළුවන්. මේ පාරාදීසේදී දෙවියන් අපිට දෙන පෝෂණයට බොරු ආගම්වල වස විස පොඩ්ඩක්වත් කලවම් වෙලා නැහැ. ඒ වගේම වෙහෙස මහන්සි වෙලා සතුටින් කරන්න දෙවියන් අපිට වැඩකුත් දීලා තියෙනවා. ඒ තමයි දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන එක. ඒ විතරක් නෙවෙයි මේ පාරාදීසේ ඉන්න අයට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් සහෝදරයන් එක්ක සමාදානෙන් ඉන්නත් දෙවියන් උදව් කරලා තියෙනවා. කෙනෙක් දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න පටන්ගද්දී, ඔහුව ආදර්ශයට ගන්න උපරිමයෙන් උත්සාහ කරද්දී එයා මේ පාරාදීසේට ඇතුල් වෙනවා.