Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

“මට ඕන වුණේ යෙහෝවාට උපරිමය දෙන්න”

“මට ඕන වුණේ යෙහෝවාට උපරිමය දෙන්න”

මේක වුණේ සූරිනාමයේ ගන වැසි වනාන්තරේ මැද්දේ තිබුණ ග්‍රාන්බූරි කියන ගමට කිට්ටුව. අපි එහේ ඉන්න අයගෙන් සමු අරන් වෙනදා වගේම බෝට්ටුවට නැග්ගා. ඊටපස්සේ අපි ටපනාහෝනි ගඟ දිගේ එද්දී අපේ ලී බෝට්ටුවේ මෝටරේ ගලක වැදිලා අපිත් එක්ක එහෙම්මම වතුර යටට ගියා. ඒ වෙලාවේ මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා. මොකද මං පීනන්න දැනන් හිටියේ නෑ.

ඊටපස්සේ මොකෝ වුණේ කියලා කියන්න කලින් ඉස්සෙල්ලාම මං පූර්ණකාලීන සේවේ පටන්ගත්ත විදිහ ඔයාලට කියන්නම්කෝ.

මං ඉපදුණේ 1942දී කුරාකාඕ කියන ලස්සන කැරිබියන් දූපතේ. අපේ තාත්තා සූරිනාම්වල ඉඳන් එහෙට ඇවිත් තියෙන්නේ රස්සාව හින්දා. කුරාකාඕවල සාක්ෂිකරුවන් වුණ මුල්ම අයගෙන් එක් කෙනෙක් තමයි අපේ තාත්තා. එයා බව්තීස්ම වුණේ මං ඉපදෙන්න අවුරුදු කීපයකට කලින්. අපේ පවුලේ ළමයි පස්දෙනයි. තාත්තා හැම සතියෙම අපිට පාඩම කරන එක වරද්දන්නේ නෑ. ඒ නිසා සමහර වෙලාවට අපි හැදුවේ කොහොමහරි කට්ටි පනින්න. මට අවුරුදු 14ක් වෙද්දී ආච්චිව බලාගන්න තාත්තා ආපහු අපිවත් අරගෙන සූරිනාම්වලට ගියා.

හොඳ ඇසුරක් නිසා වෙනසක්

සූරිනාම්වල ඉද්දී පුරෝගාමි සේවේ කරපු හුඟක් යෞවනයන්ව මට හම්බ වුණා. එයාලා මට වැඩිය අවුරුදු දෙක තුනක් වැඩිමල්. සේවේදී ලැබුණ අද්දැකීම් ගැන කතා කරන හැම වෙලාවෙම සතුටින් එයාලගේ ඇස් දිලිසෙන විදිහ මං දැක්කා. ඉස්සර ඉතින් රැස්වීම් ඉවර වුණාට පස්සේ තරු පිරිච්ච අහස දිහා බලාගෙන යෙහෝවා ගැන, බයිබලේ ගැන අපි හිතට දැනිච්ච හුඟක් දේවල් කතා කළා. ඒ යාළුකම් මාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඊටපස්සේ මට ඕන වුණේ යෙහෝවාට මගේ උපරිමය දෙන්න. ඉතින් මං 16දී බව්තීස්ම වුණා. 18දී ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා.

ජීවිතෙන් පාඩම්

පැරමැරීබෝවල පුරෝගාමි කරද්දී

මං පුරෝගාමි කරපු කාලේ ජීවිතේට ගොඩක් පාඩම් ඉගෙනගත්තා. මං ඉගෙනගත්ත පළවෙනි දේ තමයි අනිත් අයව පුහුණු කරන එකේ වටිනාකම. පුරෝගාමි පටන්ගත්ත අලුත විලම් වාන් සේල් කියන මිෂනාරි සහෝදරයා තාත්තා කෙනෙක් වගේ මට ළං වුණා. a සභාවේ පැවරුම් කරන විදිහ ගැන ගොඩක් දේවල් එයා මට කියලා දුන්නා. මං ඔක්කොම දන්නවා කියලා හිතන් හිටියට මට කොච්චර පුහුණුවක් ඕනෙද කියලා පස්සේ තමයි තේරුණේ. ඊළඟ අවුරුද්දේ මට විශේෂ පුරෝගාමියෙක් විදිහට පැවරුමක් ලැබුණා. ඊටපස්සේ සූරිනාම් වැසි වනාන්තරවල හුදෙකලා කණ්ඩායම්වලට උදව් කරන්න පැවරුණේ මට. එහෙට ගියාම සහෝදර විලම් වගේ අය දුන්න පුහුණුව මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඉතින් මාත් හිතාගත්තා එයාලා වගේ මාත් අනිත් අයව පුහුණු කරන්න ඕනෙ කියලා.

මං ඉගෙනගත්ත දෙවෙනි දේ තමයි සරල ජීවිතයක් ගත කරන එකේ සහ හොඳට සැලසුම් කරන එකේ වටිනාකම. මාසේ පටන්ගත්ත ගමන්ම මායි, මාත් එක්ක පුරෝගාමි කරපු සහෝදරයායි මාසෙට ඕනෙ බඩු ලිස්ට් එකක් හදාගත්තා. ඊටපස්සේ දෙන්නාගෙන් එක් කෙනෙක් දුර ඈත තියෙන ටවුමට ගිහිල්ලා ඒ බඩු ටික ගේනවා. අපිට ලැබෙන ගාණ අපි පාවිච්චි කළේ හරිම පරෙස්සමින්. මොකද ඒ ගාණෙන් මාසෙම දුවාගන්න එපැයි. බැරි වෙලාවත් අපි ගෙනාපු බඩුවක් ඉවර වුණා නම් මේ මහ කැලෑව අස්සේ කාගෙන් කියලා ඉල්ලන්නද! ඒ නිසා අපි යෞවන කාලේ ඉඳලම අපිට තියෙන දෙයින් ජීවත් වෙන්න ඉගෙනගත්තා. හැම දේම සැලසුම් කළා. ඒක උදව් වුණා සේවේට මුල් තැන දෙන්න.

මං ඉගෙනගත්ත තුන්වෙනි පාඩම තමයි කෙනෙක්ට එයාගේ මව් භාෂාවෙන්ම සත්‍යය කියලා දෙන එකේ වටිනාකම. සූරිනාම්වල සාමාන්‍යයෙන් ඕලන්ද, ඉංග්‍රීසි, පපියමෙන්ටෝ සහ ස්රානන්ටොංගෝ (ඒක ස්රානන් කියලත් හඳුන්වනවා) කියන භාෂා කතා කරනවා. ඉතින් පොඩි කාලේ ඉඳලම මට ඒවා හොඳට පුළුවන්. ඒත් වනාන්තර පැතිවල සේවේට ආවට පස්සේ මට තේරුණා මිනිස්සු වැඩියෙන්ම සත්‍යයට උනන්දු වෙන්නේ එයාලගෙම භාෂාවෙන් කතා කරද්දී කියලා. එයාලගේ භාෂා කතා කරන එක ලේසි නෑ. විශේෂයෙන්ම සරමක්කාන් භාෂාව. මොකද ඒක කතා කරද්දී හඬ උස් පහත් කරන්න වෙනවා. ඒක හරිම අමාරුයි. හැබැයි මාත් අත්හැරියේ නෑ, කොහොමහරි ඉගෙනගත්තා. ඒ නිසා මට පුළුවන් වුණා හුඟදෙනෙක්ට එයාලගෙම භාෂාවෙන් සත්‍යය දෙන්න.

හැබැයි එයාලගේ භාෂා කතා කරන්න ගිහිල්ලා මට හොඳ හොඳ වැඩත් වෙලා තියෙනවා. සරමක්කාන් භාෂාව කතා කරපු එක කාන්තාවක් එක්ක මං බයිබල් පාඩමක් කළා. දවසක් එයා අසනීපෙන් හිටපු නිසා මං ඇහුවා “දැන් ඔයාට කොහොමද” කියලා. හැබැයි ඇත්තටම මං එයාගෙන් අහලා තියෙන්නේ “ඔයාට බබෙක් හම්බෙන්නද ඉන්නේ” කියලා. එදා ඉතින් කොච්චර ලැජ්ජා වුණාද කියලා කියන්න ඕනෙ නැහැනේ. හැබැයි ඒ වගේ දේවල් වුණා කියලා මං සැලුණේ නෑ. පුළු පුළුවන් විදිහට කතා කළා.

තවත් වගකීම්

1970දී මට චාරිකා සේවකයෙක් විදිහට පැවරුමක් ලැබුණා. ඒ අවුරුද්දේ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය නරඹමු!” (සිංහලෙන් නැහැ.) කියලා වැඩසටහනක් වැසි වනාන්තරයේ හිටපු සහෝදරයන්ට පෙන්නන්න මට පැවරුමක් ලැබුණා. ඉතින් මායි, තව සහෝදරයෝ කීපදෙනෙකුයි බෝට්ටුවෙන් එහෙට ගියා. අපේ බෝට්ටුවේ ජෙනරේටරේකුයි, ඉන්ධන ටැංකියකුයි, ලාම්පු වගේකුයි, ඒ වැඩසටහන පෙන්නන්න අවශ්‍ය කරන උපකරණයි තිබුණා. ඊටපස්සේ ගොඩට ආවාම අපි වැඩසටහන පෙන්නන තැනට ඒ බඩු මුට්ටු ඔක්කොම ටික උස්සගෙන තමයි ගියේ. ඒ කාලේ ගැන මතක් වෙද්දී අදටත් මට ඉස්සෙල්ලාම ඔළුවට එන්නේ ඒ සහෝදරයෝ ඒක බලන්න කොච්චර ආසාවෙන් හිටියාද කියන එක. යෙහෝවා දෙවියන් ගැන, සංවිධානය ගැන ඒ විදිහට අනිත් අයට කියලා දෙන්න ලැබුණ එක මට ලොකු සතුටක්. ඒ වෙනුවෙන් මොන කැප කිරීම කරන්න සිද්ධ වුණත් ඒකෙන් ලැබුණ ආශීර්වාද නම් කියලා නිම කරන්න බෑ.

තුන්පට ලණුව ගොතපු කාලේ

1971 සැප්තැම්බර්වල එතෙලුයි, මායි විවාහ වුණා

තනිකඩව දෙවියන්ට සේවේ කරපු එකෙන් ගොඩක් ප්‍රයෝජන තිබුණා. ඒත් කාලයක් යද්දී ‘මං ළඟින්ම කෙනෙක් හිටියා නං’ කියලා මට දැනුණා. ගන කැලෑවේ දුෂ්කරතා මැද්දේ වුණත් මාත් එක්ක සතුටින් සේවේ කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න උදව් කරන්න කියලා මං යෙහෝවා දෙවියන්ට ගොඩක් යාච්ඤා කළා. ඉතින් අවුරුද්දකට විතර පස්සේ මට එතෙල්ව හම්බ වුණා. එයා විශේෂ පුරෝගාමියෙක්. එතෙල්ට ලොකු ආසාවක් තිබුණා පාවුල් වගේ යෙහෝවා දෙවියන්ට උපරිමයෙන්ම සේවේ කරන්න. ඒ වෙනුවෙන් ඕනෙම කැප කිරීමක් වුණත් කරන්න එයා ලෑස්ති වෙලා හිටියා. ඉතින් 1971 සැප්තැම්බර්වල අපි දෙන්නා කසාද බැන්දා. ඊටපස්සේ අපි චාරිකා සේවය කළා.

එතෙල් කියන්නෙත් ගොඩක් සැප විඳපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ වනාන්තරේ සේවේට හැඩගැහෙන්න එයාට එච්චර අමාරු වුණේ නෑ. කැලෑවේ ඇතුළටම වෙන්න චාරිකා යද්දී අපි ගෙනිච්චේ අපිට ඕනෙම කරන බඩු ටික විතරයි. අපි නෑවේ, ඇඳුම් හේදුවේ ගඟෙන්. ඒ වගේම තමයි සහෝදරයෝ දුන්නේ මොනවාද අපි ඒවා කෑවා. සමහරු ඉග්වානා කියන කටුස්සෝ හදලා දුන්නා. පිරානා මාළු හදලා දුන්නා. ඒවා අපිට ප්‍රශ්නයක් වුණේ නෑ. පිඟන් නැති වුණාම කෙහෙල් කොළෙන් කෑවා. හැඳි ගෑරුප්පු නැති වුණාම අතින් කෑවා. මේ විදිහට අපි කට්ට කාගෙන සේවේ කරද්දී අපි, අපි දෙන්නාට වගේම යෙහෝවා දෙවියන්ටත් ගොඩක් කිට්ටු වුණා. හරියට තුන්පට ලණුවක් එකට ගොතනවා වගේ. (දේශ. 4:12) රන් මසුරන් දෙනවා කිව්වත් ඒ රසබර අද්දැකීම් නම් අපි කීයටවත් විකුණන්නේ නෑ.

මං දැන් ඔයාලට අර මුලින් කියපු සිද්ධිය ගැන කියන්නම්. එදා අපි වනාන්තරේ හිටපු සහෝදරයන්ව බලන්න ගිහිල්ලා ආයේ ගෙදර එන ගමන් හිටියේ. කලින් කිව්වා වගේ අපේ බෝට්ටුව දිය වැලකට අහු වෙලා එකපාරටම වතුර යටට ගිහිල්ලා ආයෙත් උඩට ආවා. හොඳ වෙලාවට අපි බෝට්ටුවෙන් එළියට වැටුණේ නෑ. අනික අපි ලයිෆ් ජැකට් දාගෙනයි හිටියේ. ඒත් බෝට්ටුව නම් සම්පූර්ණෙන්ම වතුරෙන් පිරුණා. ඉතින් අපි මොකද කළේ කෑම ටික ගඟට හළලා ඒ භාජනවලින් පුළුවන් තරම් ඉක්මනට බෝට්ටුවේ වතුර අයින් කළා.

එදා අපිට කන්න මුකුත් තිබුණේ නෑ. මොකද කෑම ටික ඔක්කොම අපි ගඟට හැලුවානේ. ඊටපස්සේ ඉතින් අපි ගඟ පහළට ගිහින් මාළු බාන්න පටන්ගත්තා. ඒත් ආසාවට එකෙක්වත් අහු වුණේ නෑ. පස්සේ අපි යෙහෝවාට යාච්ඤා කළා “අනේ, යෙහෝවා අපිට කෑම ටිකක් හොයාගන්න උදව් කරන්න” කියලා. වැඩි වෙලාවක් ගියේ නෑ එක සහෝදරයෙක්ට තඩි මාළුවෙක් අහු වුණා. ඒකෙන් අපි පස්දෙනාම හොඳට බඩ පුරෝගත්තා.

පිය පදවියට

ඔය විදිහට අවුරුදු පහක්ම චාරිකා සේවේ කළාට පස්සේ හිතපු නැති ආශීර්වාදයක් ලැබෙන්න යනවා කියලා අපි දැනගත්තා. ඒ මං තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා. මේ වෙනස නිසා අපේ ජීවිතේ කොයි අතට හැරෙයිද කියලා අපි දැනන් හිටියේ නෑ. ඒත් එතෙල්ටයි, මටයි ඕනෙ වුණේ පුළුවන් තරම් කාලයක් පූර්ණකාලීන සේවේ කරන්න. ඒ කොහොම වුණත් අපේ පුංචි පුතාගේ මූණ බලන කල් අපි දෙන්නාට ඉවසිල්ලක් තිබුණේ නෑ. 1976 අපේ පුතා එත්නියෙල් ඉපදුණා. ඊට අවුරුදු දෙකහමාරකට පස්සේ දෙවෙනි පුතා ජියෝවාන්නි ඉපදුණා.

1983දී නැගෙනහිර සූරිනාම්වල ටපනාහෝනි ගඟේ කෙනෙක්ව බව්තීස්ම කරනවා

ඒ දවස්වල සූරිනාම්වල වගකීම් දරන සහෝදරයන්ගේ ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා දරුවෝ හිටියත් දිගටම චාරිකා සේවේ කරන්න පුළුවන්ද කියලා මගෙන් ශාඛා කාර්යාලය ඇහුවා. පුතාලා පොඩි කාලේ මට යන්න තිබුණේ සභා කීපයකට විතරයි. ඒ නිසා සාමාන්‍යයෙන් මාසෙට සතියක්, දෙකක් මං චාරිකා සේවේ යනවා. ඉතුරු හරිය පුරෝගාමියෙක් විදිහට අපේ සභාවේ සේවේ කරනවා. ළඟපාත සභාවල චාරිකා යද්දී මං එතෙල්වයි, පුතාලා දෙන්නාවයි එක්කන් ගියා. ඒත් වැසි වනාන්තරේ තිබුණ සභාවලට, සමුළුවලට මං ගියේ තනියම.

චාරිකා සේවේ කරද්දී ගොඩක් වෙලාවට මං හුදෙකලා පැතිවලට ගියේ බෝට්ටුවෙන්

සැමියෙක්, තාත්තා කෙනෙක් සහ චාරිකා සේවකයෙක් විදිහට මගේ වගකීම් ඔක්කොම හරියට ඉටු කරන්න මං හොඳ සැලැස්මක් හදාගත්තා. හැම සතියෙම මං වරද්දන්නේ නැතුව පවුලේ පාඩම කළා. මං නැති දවස්වල පුතාලා එක්ක එතෙල් තමයි ඒක කළේ. අපිට ඕනෙ වුණේ පුළුවන් හැම වෙලාවෙම පවුලක් විදිහට එකට දේවල් කරන්න. පුතාලා එක්ක සෙල්ලම් කරන්නත් විනෝදෙට කොහේ හරි යන්නත් අපි අමතක කළේ නෑ. හුඟක් වෙලාවට මං මහ රෑ වෙන කල් මගේ පැවරුම්වලට ලෑස්ති වුණා. එතෙල් තමයි පාන්දරින්ම නැඟිටලා කෑම ඔක්කොම ලෑස්ති කරන්නේ. ඒ නිසා හැම දවසකම පුතාලා ඉස්කෝලේ යන්න කලින් එකට කෑම කාලා දිනපදය කරන්න අපිට පුළුවන් වුණා. මට තිබුණ හැම වගකීමක්ම ඉටු කරන්න එතෙල් මගේ හෙවණැල්ල වගේ ළඟින්ම හිටියා. ඇත්තටම එයා හිතෝපදේශ 31:15 කියන ගුණවත් බිරිඳ වගේමයි.

දෙමාපියන් හැටියට අපි අපේ පුතාලගේ හිත්වල යෙහෝවා ගැන විතරක් නෙවෙයි සේවේ ගැනත් ලොකු ආදරයක් ඇති කරන්න ගොඩක් මහන්සි වුණා. අපිට ඕන වුණේ අපේ දරුවනුත් කවදා හරි පූර්ණකාලීන සේවේ රස බලනවා දකින්න. ඒත් ඒ අපේ කීමට නෙවෙයි, එයාලගෙම කැමැත්තෙන්. ඒ නිසා අපි හැම තිස්සෙම පූර්ණකාලීන සේවෙන් ලැබෙන සතුට ගැන එයාලා එක්ක කතා කළා. හැබැයි එහෙමයි කියලා ඒක කිසිම ප්‍රශ්නයක් නැති, ලේසියෙන්ම යන්න පුළුවන් ගමනක් කියලා අපි පෙන්නන්න හැදුවෙත් නෑ. මොන අභියෝග ආවත් යෙහෝවා අපිට උදව් කරපු විදිහ ගැන, පවුලක් විදිහට අපිට ආශීර්වාද කරපු විදිහ ගැන අපි නිතරම කතා කළා. ඒ වගේම යෙහෝවා දෙවියන්ට මුල් තැන දුන්න අයව යාළුවෝ කරගන්නත් අපි එයාලට උදව් කළා.

පවුලට අවශ්‍ය දේවල් දෙන්න මං ගොඩක් මහන්සි වුණා. ඒකට තනිකඩ කාලේ විශේෂ පුරෝගාමියෙක් විදිහට මං ලබපු අද්දැකීම් ගොඩක් උදව් වුණා. ඒත් කොච්චර හොඳට සැලසුම් කළත් හිතපු විදිහටම දේවල් කරගන්න බැරි වුණ අවස්ථාත් තිබුණා. ඒ වෙලාවට යෙහෝවා තමයි ඒ අඩුව පිරෙව්වේ. මට මතකයි 1986 ඉඳලා 1992 වෙන කල් සූරිනාම්වල ගොඩක් ගැටුම් ඇති වුණා. ඒ කාලේ අත්‍යවශ්‍යම දේවල් වුණත් හොයාගන්න ලේසි වුණේ නෑ. ඒත් යෙහෝවා දෙවියන් නම් අපිට කිසි දේකින් අඩුවක් වෙන්න ඉඩ දුන්නේ නෑ.—මතෙ. 6:32.

ජීවිතේ දිහා හැරිලා බලද්දී

වමේ සිට දකුණ: මං එතෙල් එක්ක

ලොකු පුතා එත්නියෙල් සහ එයාගේ නෝනා නැටලි

පොඩි පුතා ජියෝවාන්නි සහ එයාගේ නෝනා ක්‍රිස්ටල්

ජීවිත කාලේ පුරාම අපි ආපු ගමනේදී යෙහෝවා දෙවියන් අපිව ආදරෙන් බලාගෙන අපිව සතුටින් තියලා තියෙනවා. අපේ පුතාලා දෙන්නා අපිට ලැබුණ දායාදයක්. එයාලා පූර්ණකාලීන සේවේ කරනවා දකින එක තරම් අපිට තවත් සතුටක් නෑ. අපේ පුතාලා දෙන්නාම සංවිධානයේ පාසැල්වලින් පුහුණුව ලබලා එයාලගේ නෝනලා එක්ක සූරිනාම් බෙතෙල් එකේ සේවේ කරනවා.

එතෙලුයි, මායි දැන් හුඟක් වයසයි. හැබැයි අපි තාමත් විශේෂ පුරෝගාමීන්. අපි කොච්චර බිසීද කියනවා නම් තාමත් මට පීනන්න ඉගෙනගන්න වෙලාවක් හම්බ වුණේ නෑ. හැබැයි මං ඒ ගැන දුක් වෙන්නේ නෑ. මොකද ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී යෞවන කාලේදීම පූර්ණකාලීන සේවේට අඩිය තිබ්බ එක මං ජීවිතේ ගත්ත හොඳම තීරණවලින් එකක් කියලා කියන්න පුළුවන්.

a සහෝදර විලම් වාන් සේල්ගේ ජීවිත කතාව ගැන දැනගන්න 1999 ඔක්තෝබර් 8 ‘පිබිදෙව්!’ සඟරාවේ “යථාර්ථය මගේ අපේක්ෂා ඉක්මවා ගොස්” කියන ලිපිය බලන්න.