Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 45

සේවය සම්පූර්ණ කරන්න දෙවියන් ශක්තිය දෙයි

සේවය සම්පූර්ණ කරන්න දෙවියන් ශක්තිය දෙයි

‘ඔවුන් අතරෙහි සිටියේ සැබෑ අනාගතවක්තෘවරයෙකු බව ඔවුන් අනිවාර්යයෙන්ම තේරුම්ගන්නවා.’—එස. 2:5.

ගීතිකාව 67 “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”

මේ ලිපියෙන් a

1. අපිට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන්නේ මොන දේටද? හැබැයි අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

 සේවේදී අපිට හුඟක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා. ඉස්සරහට ඒක තවත් දරුණු වෙයි. (දානි. 11:44; 2 තිමෝ. 3:12; එළි. 16:21) හැබැයි යෙහෝවා දෙවියන් අපේ උදව්වට ඉන්නවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. මොකද අතීතයේ හිටපු අයටත් අභියෝග මැද පැවරුම සාර්ථකව කරන්න යෙහෝවා උදව් කරලා තියෙනවා. අපි දැන් එසකියෙල් ගැන බලමු. එයාට ලැබුණ පැවරුම තමයි බැබිලෝනියේ වහලුන් විදිහට හිටපු යුදෙව්වන්ට දේශනා කරන එක.

2. එසකියෙල්ට දේශනා කරන්න වුණ මිනිස්සු ගැන යෙහෝවා දෙවියන්ම කිව්වේ මොනවාද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? (එසකියෙල් 2:3-6)

2 එසකියෙල්ට දේශනා කරන්න වුණ මිනිස්සු ගැන යෙහෝවා දෙවියන්ම කිව්වේ එයාලා ‘කිසි කෙනෙක්ව ගණන්ගන්නේ නැති, දැඩි හිත් තියෙන කැරලිකාර අය’ කියලා. එයාලා කටු පඳුරු වගේ. විෂඝෝර ගෝනුස්සන් වගේ. ඉතින් ‘බය වෙන්න එපා’ කියලා ආයෙ ආයෙත් දෙවියන් එසකියෙල්ට කිව්ව එක පුදුමයක් නෙවෙයි. (එසකියෙල් 2:3-6 කියවන්න.) ඒ වගේ මුරණ්ඩු මිනිස්සුන්ට දෙවියන්ගේ පණිවිඩය කියන්න එසකියෙල්ට හයියක් වුණ දේවල් තුනක් තිබුණා. (1) එයාව යැව්වේ යෙහෝවා දෙවියන්. (2) දෙවියන් ඔහුගේ බලය එසකියෙල්ට අඩුවක් නැතුව දුන්නා. (3) දෙවියන් ඔහුගේ වචනය පාවිච්චි කරලා එයාගේ විශ්වාසය වැඩි කළා. ඒවා එසකියෙල්ට හයියක් වුණේ කොහොමද? ඒවා අපිට හයියක් වෙන්නේ කොහොමද?

එසකියෙල්ව යැව්වේ යෙහෝවා දෙවියන්

3. එසකියෙල්ට ශක්තියක් වුණේ යෙහෝවා කියපු මොන දේද? ඔහු එයාගේ ළඟින්ම ඉන්නවා කියලා දැනෙන්න සැලැස්සුවේ කොහොමද?

3 දෙවියන් එසකියෙල්ට කිව්වා ‘මම ඔබව යවන්නෙමි’ කියලා. (එස. 2:3, 4) ඒ වචන එයාට ලොකු ශක්තියක් වෙන්න ඇති. මොකද මෝසෙස්ට, යෙසායාට පැවරුම දෙද්දීත් යෙහෝවා ඒ වචනම කිව්වා කියලා එසකියෙල් දැනන් හිටියා. (නික්. 3:10; යෙසා. 6:8) ඒ වගේම අභියෝගවලට මුහුණ දෙද්දී යෙහෝවා එයාලට උදව් කරපු විදිහත් එයා දැනන් හිටියා. ඉතින් ‘මම ඔබව යවන්නෙමි’ කියලා දෙවියන් දෙපාරක්ම කියද්දී ඔහු එයාගේ උදව්වට ළඟින්ම ඉන්නවා කියලා විශ්වාස කරන්න එසකියෙල්ට හොඳ හේතු තිබුණා. ඒ විතරක් නෙවෙයි ‘යෙහෝවා දෙවි නැවතත් මට කතා කළා’ කියලත් “යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය” කියලත් එසකියෙල් කීප සැරයක්ම වාර්තා කරලා තියෙනවා. (එස. 3:16; 6:1) ඉතින් ඒ විදිහට දෙවියන් ආයෙ ආයෙත් එයාට කතා කරද්දී ඒ පැවරුමට එයාව යවන්නේ යෙහෝවා දෙවියන්මයි කියන විශ්වාසය තවත් වැඩි වෙන්න ඇති. “මම ඔබ සමඟ සිටිමි” කියලා දෙවියන් ඊසාක්ට, යාකොබ්ට සහ යෙරෙමියාටත් කියලා තිබුණා. (උත්. 26:24; 28:15; යෙරෙ. 1:8) එසකියෙල් කියන්නේ පූජකයෙක්ගේ පුතෙක් නිසා ඒ වගේ අයට යෙහෝවා උදව් කරපු විදිහ ගැන එයාගේ තාත්තා එයාට කියලා දෙන්නත් ඇති.

4. එසකියෙල්ට ශක්තියක් වුණේ තව මොකක්ද?

4 දෙවියන් එසකියෙල්ට මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල් සෙනඟ නම් ඔබ පවසන දේ පිළිගන්න කැමති වන්නේ නැත. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් මා කියන දේ පිළිගැනීමට කැමති නැත.’ (එස. 3:7) ඔව්, ඊශ්‍රායෙල් සෙනඟ එසකියෙල්ට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ කියන්නේ එසකියෙල් හොඳ අනාගතවක්තෘවරයෙක් නෙවෙයිද? නැහැ. දෙවියන් කිව්වේ එයාලා ප්‍රතික්ෂේප කරන්නේ ඔයාව නෙවෙයි මාව කියලා. ඒ වගේම යෙහෝවා කිව්වා එසකියෙල් කියපු දේ ඉටු වෙන කාලේදී හැමෝම “ඔවුන් අතරෙහි සිටියේ සැබෑ අනාගතවක්තෘවරයෙකු බව අනිවාර්යයෙන්ම තේරුම්ගන්නවා” කියලා. (එස. 2:5; 33:33) යෙහෝවාම කියපු ඒ වචන ඇහෙද්දී පැවරුම සම්පූර්ණ කරන්න එසකියෙල්ට ලොකු ශක්තියක් ලැබෙන්න ඇති.

අපිව යවන්නෙත් යෙහෝවා දෙවියන්

එසකියෙල්ගේ කාලේ වගේ අදත් මිනිස්සු අපේ පණිවිඩේ පිළිගන්නේ නැහැ. අපේ සේවේට විරුද්ධ වෙනවා. හැබැයි ඒ මොන දේ වුණත් යෙහෝවා අපිත් එක්කම ඉන්නවා (5-6 ඡේද බලන්න)

5. යෙසායා 44:8 කියන විදිහට අපිට ශක්තියක් වෙන්නේ මොන දේ දැනගෙන ඉන්න එකද?

5 ශුභාරංචිය දේශනා කරන්න අද අපිව යවන්නෙත් යෙහෝවා දෙවියන්. ඒක අපිටත් ලොකු ශක්තියක්. ඔහු අපිව හඳුන්වන්නේ ඔහුගේ ‘සාක්ෂිකරුවන්’ කියලා. (යෙසා. 43:10) ඒක අපිට මොන තරම් ලොකු ගෞරවයක්ද! යෙහෝවා දෙවියන් එසකියෙල්ට කිව්වා “බිය නොවන්න” කියලා. අද ඔහු අපිටත් කියනවා ‘බය වෙන්න එපා’ කියලා. ඒත් ඇයි අපිට විරුද්ධ වෙන අයට අපි බය වෙන්න ඕනෙ නැත්තේ? මොකද මේ වැඩේට අපිව යවන්නේ යෙහෝවා දෙවියන්. ඒ වගේම ඔහු අපේ උදව්වට අපේ පිටිපස්සෙන්ම ඉන්නවා.—යෙසායා 44:8 කියවන්න.

6. (අ) යෙහෝවා අපිත් එක්කම ඉන්නවා කියලා සහතික කරලා තියෙන්නේ කොහොමද? (ආ) අපිට සහනයක්, ශක්තියක් ලැබෙන්නේ මොන දේ දැනගෙන ඉන්න එකෙන්ද?

6 යෙහෝවා දෙවියන් අපිත් එක්කම ඉන්නවා කියලා සහතිකයක් දීලා තියෙනවා. උදාහරණෙකට “ඔබ මගේ සාක්ෂිකරුවෝ” කියලා කියන්න කලින් දෙවියන් මෙහෙම කිව්වා. “ඔබ ජල ධාරා මැදින් ගියත් මම ඔබ සමඟ සිටිමි. ඔබ ගංගා මැදින් ගියත් ඔබට ගිලෙන්න ඉඩ නොදෙමි. ඔබ ගිනි ජාලා මැදින් ගමන් කළත් මම ඔබට කිසි හානියක් වීමට ඉඩ නොදෙමි.” (යෙසා. 43:2) සේවේදී අපිටත් ජල ධාරා වගේ බාධක එනවා. ගිනි වගේ පීඩා එනවා. හැබැයි අපි දන්නවා යෙහෝවා දෙවියන්ගේ උදව් ලැබෙන එක වළක්වන්න ඒ කිසිම දේකට බැහැ කියලා. (යෙසා. 41:13) අදත් හුඟක් අය අපේ පණිවිඩය පිළිගන්න කැමති නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙනවාද අපි හොඳ දේවසේවකයන් නෙවෙයි කියලා? කොහොමටවත් නැහැ! ඒ වගේම තමයි මොන දේ වුණත් අපිට සේවෙන් ලොකු ශක්තියක්, සහනයක් ලැබෙනවා. මොකද අපි දන්නවා අපේ මහන්සිය ගැන යෙහෝවා සතුටු වෙනවා කියලා. පාවුල් පවා කිව්වේ “ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නේ එකිනෙකා දැරූ වෙහෙසට අනුව” කියලයි. (1 කොරි. 3:8; 4:1, 2) කාලයක් තිස්සේ පුරෝගාමි සේවය කරන සහෝදරයෙකුත් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් අපේ මහන්සියට ආශීර්වාද කරනවා කියලා දැනගෙන ඉන්න එකම ඇති සතුටු වෙන්න.”

එසකියෙල් ශක්තිය ලැබුවේ දෙවිගේ බලයෙන්

එසකියෙල් දෙවියන්ගේ ස්වර්ගික රථය දර්ශනයකින් දැක්කා. ඒකෙන් එයාට ලොකු ශක්තියක් ලැබුණා. මොකද එයා තේරුම්ගත්තා එයාගේ පැවරුම සම්පූර්ණ කරන්න දෙවියන් එයා ළඟම ඉඳන් එයාට උදව් කරනවා කියලා (7 ඡේදය බලන්න)

7. එසකියෙල් දැකපු දර්ශනය එයාට බලපෑවේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

7 එසකියෙල් දර්ශනයකින් දැක්කා දේවදූතයන් තුළත් ස්වර්ගික රථයේ අති විශාල රෝදවලත් දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහ. (එස. 1:20, 21) එසකියෙල් කියනවා “මේ සියල්ල දුටු විට මම මුණින් වැටුණෙමි” කියලා. ඔව්, යෙහෝවාගේ බලය ඇස් දෙකෙන්ම දකිද්දී එසකියෙල් බිම ඇදගෙන වැටුණා. (එස. 1:28) එයාට තේරුණා දෙවිගේ බලය කොච්චර බලවත්ද කියලා. ඒ දර්ශනය ගැන පස්සේ හිතද්දී එයාගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙන්න ඇති. මොකද දෙවිගේ බලයේ උදව්වෙන් එයාගේ පැවරුම සම්පූර්ණ කරන්න එයාට පුළුවන් වුණා.

8-9. (අ) නැඟිටින්න කියලා යෙහෝවා කිව්වාම එසකියෙල්ට වුණේ මොකක්ද? (ආ) පැවරුම කොච්චර අමාරු වුණත් ඒක කරන්න දෙවියන් එසකියෙල්ට ශක්තිය දුන්නේ කොහොමද?

8 දෙවියන් එසකියෙල්ට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, නැඟිටින්න. ඔබට කීමට පණිවිඩයක් මා ළඟ තිබේ.” ඒක ඇහුවාම එසකියෙල්ට මොකද වුණේ? බලන්න එයා කියන දේ. “දෙවිගේ බලය මා තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේය. එවිට මට සිටගැනීමට අවශ්‍ය ශක්තිය ලැබිණ.” (එස. 2:1, 2) පැවරුම කරන කාලේ පුරාම යෙහෝවා “බලය” දීලා එයාට අත දෙන විදිහ එසකියෙල් දැක්කා. (එස. 3:22; 8:1; 33:22; 37:1; 40:1) ඒ නිසයි ‘මුරණ්ඩු, දැඩි හිත් තියෙන මිනිස්සු’ ළඟට ගිහින් පණිවිඩේ කියන්න එසකියෙල්ට පුළුවන් වුණේ. (එස. 3:7) ඒ ගැන දෙවියන් එයාට කියපු දේ බලන්න. “දරුණු සිත් ඇති ඒ මුරණ්ඩු සෙනඟට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය මම ඔබට දෙන්නෙමි. මම ඔබේ නළල ගිනිගලකටත් වඩා ශක්තිමත් වූ දියමන්තියක් මෙන් වීමට සලස්වන්නෙමි. ඒ නිසා ඔවුන්ට භය නොවන්න. ඔවුන්ගේ දරුණු පෙනුම දෙස බලා තැති නොගන්න.” (එස. 3:8, 9) වෙන විදිහකින් කියනවා නම් දෙවියන් මේ එසකියෙල්ට කියන්නේ “බය වෙන්න එපා. මොන දේ වුණත් මං ඉන්නවා” කියලා.

9 යෙහෝවා දෙවියන් තමන්ගේ බලයෙන් එසකියෙල්ව දේශනා කරන ප්‍රදේශයට ගෙනිච්චා. එසකියෙල් කියනවා ඒ වෙලාවේ “යෙහෝවා දෙවිගේ බලය මා කෙරෙහි ප්‍රබලව ක්‍රියාත්මක වුණා” කියලා. ඒ වගේම පණිවිඩේ හොඳට හිතට දාගන්න එසකියෙල්ට සතියක් විතර ගියා කියලත් බයිබලේ කියනවා. (එස. 3:14, 15) මොකද ඒක හොඳට හිතට දාගත්තොත් තමයි විශ්වාසෙන් කියන්න පුළුවන් වෙන්නේ. ඊටපස්සේ යෙහෝවා දෙවියන් එයාව තැනිතලා ප්‍රදේශයකට එක්කන් ගියා. ඒ වෙලාවේදීත් ‘දෙවිගේ බලය එසකියෙල් තුළ ක්‍රියාත්මක වෙන්න’ පටන්ගත්තා. (එස. 3:23, 24) දැන් පැවරුම පටන්ගන්න එසකියෙල් ලෑස්තියි!

අපි ශක්තිය ලබන්නෙත් දෙවිගේ බලයෙන්

සේවය සම්පූර්ණ කරන්න එසකියෙල්ට වගේම අද අපිටත් උදව් වෙන්නේ මොකක්ද? (10 ඡේදය බලන්න)

10. අපේ සේවය දිගටම කරගෙන යන්න අපිට ඕනෙ මොකක්ද?

10 අපේ පැවරුම සාර්ථකව කරන්න අපිට ඕනෙ මොකක්ද? ඒ ගැන දැනගන්න අපි ආයෙත් එසකියෙල්ගේ කාලෙට යමු. පැවරුම පටන්ගන්න කලින් යෙහෝවා දෙවියන් එසකියෙල්ට බලය දීලා එයාව ශක්තිමත් කළා. අදත් අපේ සේවය සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ දෙවිගේ බලය ලැබුණොත් විතරයි. ඒ ඇයි? මොකද අපේ සේවේ කඩාකප්පල් කරන්න සාතන් අපිට විරුද්ධව යුද්ධ කරනවා. (එළි. 12:17) මිනිස්සු බලන විදිහට බැලුවොත් නම් අපිට සාතන් එක්ක කොහොමටවත් හැප්පෙන්න බැහැ. හැබැයි අපි කරන සේවය නිසා සාතන්ට අත් වෙලා තියෙන්නේ අන්ත පරාජයක්. (එළි. 12:9-11) ඒ කොහොමද? සාතන් අපේ සේවය නවත්තන්න මොන සෙල්ලම් දැම්මත් ඒක කරන්න එයාට බැහැ. අපි සේවේ යන හැම වෙලාවකම කරන්නේ සාතන්ට කනේ පාරක් ගහනවා වගේ දෙයක්. ඒ හැම දේකින්ම පැහැදිලි වෙනවා අපිට යෙහෝවා දෙවිගේ බලයත් අනුමැතියත් තියෙනවා කියලා.—මතෙ. 5:10-12; 1 පේතෘ. 4:14.

11. දෙවියන් ඔහුගේ බලය අපිට දෙද්දී අපිට කරන්න පුළුවන් මොනවාද? ඒ බලය දිගටම ලබාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

11 යෙහෝවා දෙවියන් එසකියෙල්ට එයාගේ පැවරුම කරන්න බලය දීපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අද අපිත් මොන අභියෝගයට මුහුණ දුන්නත් යෙහෝවා දෙවියන් ඔහුගේ බලය අපිට දීලා ඒ අභියෝගයේ තරමටම අපිව ශක්තිමත් කරනවා. (2 කොරි. 4:7-9) ඒ නිසා යෙහෝවා අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියන විශ්වාසයෙන් අපි දිගටම ඔහුගේ බලය ඉල්ලන්න ඕනේ. යේසුස් කිව්වේ ‘නොකඩවා ඉල්ලන්න. නොකඩවා සොයන්න. නොකඩවා තට්ටු කරන්න’ කියලා. අපි එහෙම කරනවා නම් යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ‘ඔහුගේ බලය අපිට දෙනවා.’—ලූක් 11:9, 13; ක්‍රියා 1:14; 2:4.

එසකියෙල්ව ශක්තිමත් කළේ දෙවියන්ගේ වචනයයි

12. අකුළන ලියවිල්ල එසකියෙල්ට දුන්නේ කවුද? ඒකේ ලියලා තිබුණේ මොනවාද? (එසකියෙල් 2:9–3:3)

12 යෙහෝවා දෙවියන් ඔහුගේ බලයෙන් සහ ඔහුගේ වචනයෙන් එසකියෙල්ව ශක්තිමත් කළා. එසකියෙල් දර්ශනයෙන් දැක්කා කෙනෙක් අකුළන ලියවිල්ලක් අතේ තියාගෙන ඉන්නවා. (එසකියෙල් 2:9–3:3 කියවන්න.) මේ ලියවිල්ල දුන්නේ කවුද? ඒකේ ලියලා තිබ්බේ මොනවාද? ඒකේ තිබුණ දේවල් එසකියෙල්ට ශක්තියක් වුණේ කොහොමද? ඒ ගැන දැන් අපි බලමු. එසකියෙල්ට මේ අකුළන ලියවිල්ල ලැබෙන්නේ දෙවියන්ගේ සිංහාසනෙන්. ඒ කියන්නේ යෙහෝවා දෙවියන්ගෙන්. පේන විදිහට යෙහෝවා මේ අකුළන ලියවිල්ල එයාට දෙන්න ඇත්තේ එයා දර්ශනයෙන් දැකපු දේවදූතයන් හතරදෙනාගෙන් කෙනෙක් මාර්ගයෙන්. (එස. 1:8; 10:7, 20) මේ ලියවිල්ලේ ලියලා තිබුණේ වහල්භාවයේ හිටපු කැරලිකාර යුදෙව්වන්ට කියන්න තිබුණ විනිශ්චය පණිවිඩයක්. (එස. 2:7) ඒ පණිවිඩය ලියවිල්ලේ එක පැත්තක නෙවෙයි දෙපැත්තේම ලියලා තිබුණා.

13. ලියවිල්ලට මොනවා කරන්න කියලද දෙවියන් එසකියෙල්ට කිව්වේ? ඒ ලියවිල්ල මිහිරි වුණේ ඇයි?

13 යෙහෝවා දෙවියන් මේ අනාගතවක්තෘවරයාට කිව්වා ලියවිල්ල කාලා එයාගේ ‘බඩ පුරවාගන්න’ කියලා. කිව්වා වගේම එසකියෙල් ඒ දේ කළා. ඒකෙන් අදහස් වුණේ ඒ පණිවිඩය හිතට වදින විදිහට කියන්න නම් ඉස්සෙල්ලාම එයා ඒක හිතට අරන් ඉන්න ඕනෙ කියන එකයි. වෙන විදිහකින් කියනවා නම් එසකියෙල් ඒ පණිවිඩය ගැන විශ්වාසයක් ඇති කරගත්තොත් තමයි ඒක කියන්න එයාට පෙලඹීමක් ඇති වෙන්නේ. ඉතින් දෙවියන් කියපු විදිහට එසකියෙල් ඒක කෑවා. එතකොට එයාට ඒ ලියවිල්ල ‘මීපැණි වගේ මිහිරියි’ කියලා දැනුණා. (එස. 3:3) ඒ ඇයි? මොකද යෙහෝවාව නියෝජනය කරන්න ලැබුණ අවස්ථාව එයා සැලකුවේ මිහිරක් ඒ කියන්නේ ලොකු ගෞරවයක් විදිහට. (ගීතා. 19:8-11) දෙවියන්ගේ අනාගතවක්තෘවරයෙක් විදිහට සේවේ කරන්න ලැබුණ එක ගැන එසකියෙල් ගොඩක් සතුටු වුණා.

14. එසකියෙල්ට එයාගේ පැවරුම භාරගන්න උදව් වුණේ මොකක්ද?

14 යෙහෝවා දෙවියන් එසකියෙල්ට කිව්වා “මා කියන සෑම දෙයකටම හොඳින් සවන් දී ඒවා ඔබේ සිතට ගන්න” කියලා. (එස. 3:10) මොනවාද දෙවියන් කියපු දේවල්? එක දෙයක් තමයි මේ ලියවිල්ලේ තිබුණ දේවල් හොඳට මතකේ තියාගෙන ඒවා ගැන ගැඹුරින් කල්පනා කරන්න කියන එක. එසකියෙල් එහෙම කළාම එයාගේ විශ්වාසේ ගොඩක් ශක්තිමත් වුණා. ඒ වගේම සෙනඟට කියන්න ප්‍රබල පණිවිඩයකුත් ඒකේ තිබ්බා. (එස. 3:11) ඉතින් දැන් එසකියෙල් ඒ ලියවිල්ලේ තිබ්බ දේවල් හොඳට හිතට අරගෙනයි තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනෙ පණිවිඩයත් දැන් එයාගේ දිව අග තියෙනවා. ඒ නිසා පැවරුම සම්පූර්ණ කරන්න එයා දැන් ලෑස්තියි!—ගීතා. 19:14.

අපිව ශක්තිමත් කරන්නෙත් දෙවියන්ගේ වචනයයි

15. දිගටම විඳදරාගෙන සේවේ කරන්න නම් අපි “හිතට ගන්න” ඕනෙ මොනවාද?

15 විඳදරාගෙන සේවේ කරන්න නම් අපේ විශ්වාසය ශක්තිමත් කරන්න දෙවියන්ගේ වචනයට ඉඩ දෙන්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට අපි එසකියෙල් වගේ දෙවියන් අපිට කියන දේවල් “හිතට ගන්න” ඕනේ. යෙහෝවා අද අපිට කතා කරන එක විදිහක් තමයි ඔහුගේ වචනය වන බයිබලය. ඒ නිසා අපේ සිතුවිලි, හැඟීම්, ආශාවන් ඔහු කැමති විදිහට වෙනස් කරන්න අපි බයිබලේට ඉඩ දෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද?

16. දෙවියන්ගේ වචනයෙන් ප්‍රයෝජන ගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? එහෙම කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

16 දෙවියන් එසකියෙල්ට ලියවිල්ල කන්න කියපු එකෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? අපි දන්නවා අපි කෑමක් නිකම්ම කෑවාට විතරක් මදි. ශක්තිය ලබන්න නම් ඒ කෑමෙන් ලැබෙන පෝෂණය අපේ ඇඟට උරාගන්නත් ඕනේ. ඒ වගේ අපි බයිබලේ කියෙව්වාට විතරක් මදි. ඒකේ තියෙන දේවල් අපේ ජීවිතේට උරාගන්නත් ඕනේ. ඒකයි දෙවියන් කියන්නේ ඔහුගේ වචනයෙන් ‘බඩ පුරවාගන්න’ කියලා. ඒ කියන්නේ අපි කියවන දේවල් හොඳට තේරුම්ගන්න ඕනෙ කියන එකයි. ඒකට යාච්ඤා කරන එක, බයිබලේ සහ අපේ පොත් පත් කියවන එක වගේම කියවන දේවල් ගැන හොඳට හිතන එක අපිට උදව් වෙනවා. ඉතින් මුලින්ම යාච්ඤාවක් කරලා ඔයාගේ හදවත සූදානම් කරගන්න. ඊටපස්සේ බයිබලෙන් කොටසක් කියවන්න. අන්තිමට වෙලාව අරන් කියවපු දේ ගැන හොඳට කල්පනා කරන්න. ඔයා එහෙම කරන තරමටම ඒ දේවල් ඔයාගේ හදවතට කිඳා බහියි.

17. බයිබලෙන් කියවපු දේවල් ගැන කල්පනා කරන්න කාලේ ගන්න එක වැදගත් ඇයි?

17 බයිබලේ කියවලා ඒ ගැන හොඳට කල්පනා කරන්න කාලේ ගන්න එක ඇයි වැදගත්? ශුභාරංචිය දේශනා කරන්න අපිට ඕන ශක්තිය ඒකෙන් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට විනිශ්චය පණිවිඩේ කියන්න වුණොත් ඒකටත් අපිව සූදානම් කරනවා. අනිත් අතට අපි යෙහෝවාගේ ලස්සන ගුණාංග ගැන හිතන තරමට අපි දවසින් දවස ඔහුට ළං වෙනවා. ඒ නිසයි අපි ජීවිතේ සැබෑ සාමය, සතුට සහ තෘප්තිය අද්දකින්නේ. ඒක ඇත්තටම අපේ ජීවිතේට එකතු වුණ මිහිරක්.—ගීතා. 119:103.

ඕන දෙයක් විඳදරාගන්න ලෑස්තියි

18. අපි සේවේ කරන පැත්තේ ඉන්න මිනිස්සුන්ට අන්තිමේදී පිළිගන්න වෙන්නේ මොකක්ද? ඒ ඇයි?

18 අපි කවුරුත් එසකියෙල් වගේ අනාගතවක්තෘවරු නෙවෙයි. හැබැයි යෙහෝවා දෙවියන් නවත්තන්න කියන කල් අපේ සේවේ උපරිමයෙන් කරන්නයි අපිට ඕනේ. විනිශ්චය දවසේදී අපි සේවේ කරන පැත්තේ ඉන්න කාටවත් කියන්න බැහැ “දෙවියන්ට මාව මඟ හැරුණා, මෙහෙම පණිවිඩයක් මං කවදාවත් අහලා නෑ” කියලා. (එස. 3:19; 18:23) එදාට හැමෝටම පිළිගන්න සිද්ධ වෙයි අපි ගෙනාවේ යෙහෝවාගේ පණිවිඩයක් කියලා.

19. අපේ සේවය සම්පූර්ණ කරන්න අපිට ශක්තියක් වෙන්නේ මොකක්ද?

19 එසකියෙල්ට එයාගේ පැවරුම සම්පූර්ණ කරන්න උදව් වුණ දේවල් තුනක් ගැන අපි බැලුවා. ඒ දේවල්ම තමයි අපේ සේවය සම්පූර්ණ කරන්නත් අපිට උදව් වෙන්නේ. අපි ඒවා ආයෙත් මතක් කරගමුද? (1) අපිව යවන්නේ යෙහෝවා දෙවියන්. (2) දෙවියන් ඔහුගේ බලය දීලා අපිව ශක්තිමත් කරනවා. (3) දෙවියන් ඔහුගේ වචනය පාවිච්චි කරලා අපේ විශ්වාසය වැඩි කරනවා. යෙහෝවාගේ උදව් අපිට ලැබෙන නිසා අපේ සේවය සම්පූර්ණ කරන්නත් “අවසානය දක්වා” ඕනම දෙයක් විඳදරාගන්නත් අපි ලෑස්තියි!—මතෙ. 24:13.

ගීතිකාව 65 දියුණු වන්න

a අනාගතවක්තෘවරයෙක් වුණ එසකියෙල්ට එයාගේ පැවරුම සාර්ථකව කරන්න යෙහෝවා දෙවියන් උදව් කළා. එයාට විශේෂයෙන්ම උදව් වුණ දේවල් තුනක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඒ දේවල් බලද්දී දෙවියන් එසකියෙල්ට උදව් කළා වගේම අපේ සේවෙටත් උදව් කරනවා කියන විශ්වාසය තව ශක්තිමත් වෙයි.