Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 39

ඔයාගේ නමත් “ජීවන ලියවිල්ලේ” තියෙනවාද?

ඔයාගේ නමත් “ජීවන ලියවිල්ලේ” තියෙනවාද?

“දෙවි තම මතකයේ සිටින අයගේ නම් ලියවිල්ලක සටහන් කිරීමට අණ කළේය.”—මලා. 3:16.

ගීතිකාව 61 සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!

මේ ලිපියෙන් *

අවුරුදු දහස් ගාණක් පුරා යෙහෝවා දෙවියන් මිනිස්සුන්ගේ නම් “ජීවන ලියවිල්ලට” ඇතුළත් කරනවා (1 සහ 2 ඡේද බලන්න)

1. මලාකි 3:16 කියන විදිහට යෙහෝවා දෙවියන් ළඟ තියෙන ලියවිල්ල මොකක්ද? ඒකේ තියෙන්නේ මොනවාද?

 යෙහෝවා දෙවියන් ළඟ හරිම විශේෂ ලියවිල්ලක් තියෙනවා. අවුරුදු දහස් ගාණක් තිස්සේ ඔහු ඒකේ හුඟදෙනෙක්ගේ නම් ලියලා තියෙනවා. ඒ පොතේ මුලින්ම ලියලා තියෙන්නේ මේ පොළොවේ දෙවියන්ට විශ්වාසවන්තව හිටපු පළවෙනි කෙනා වන ආබෙල්ගේ නමයි. * (ලූක් 11:50, 51) බයිබලේ කියනවා ‘දෙවියන් තමන්ගේ මතකයේ ඉන්න අයගේ නම් ලියවිල්ලක සටහන් කරනවා’ කියලා. (මලාකි 3:16 කියවන්න.) ඒකෙන් පැහැදිලියි අවුරුදු දහස් ගාණක් පුරා දෙවියන් මිනිස්සු මිලියන ගාණකගේ නම් ඒ ලියවිල්ලට ඇතුළත් කරලා තියෙනවා කියලා. ඒ ලියවිල්ල බයිබලේ හඳුන්වන්නේ “ජීවන ලියවිල්ල” කියලා.—එළි. 3:5; 17:8.

2. ජීවන පොතේ ලියවිලා තියෙන්නේ කාගේ නම්ද? ඒ පොතට අපේ නම ඇතුළත් කරගන්න පුළුවන් කොහොමද?

2 යෙහෝවා දෙවියන්ට ගරුබිය දක්වපු, ඔහුගේ නමට ප්‍රශංසා කරපු අයගේ නම් තමයි මේ පොතේ ලියවිලා තියෙන්නේ. ඒ අයට සදාකාල ජීවිතේ ලබන්න අවස්ථාව තියෙනවා. අපිත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියලා යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නවා නම් අපේ නමත් ඒකට ඇතුළත් කරගන්න අපිට පුළුවන්. (යොහ. 3:16, 36) අපේ බලාපොරොත්තුව මේ පොළොවේ ජීවත් වෙන එක වුණත් ස්වර්ගයේ ජීවත් වෙන එක වුණත් අපි හැමෝගෙම ආසාව මේ පොතේ පිටු අතරට අපේ නමත් එකතු කරගන්න එකයි.

3-4. (අ) මේ පොතේ අපේ නම දැන් ලියවිලා තියෙනවා කියන්නේ අපිට සදාකල් ජීවිතේ ලැබෙනවාමයි කියන එකද? පැහැදිලි කරන්න. (ආ) මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?

3 මේ ලියවිල්ලේ කෙනෙක්ගේ නම ලියවුණා කියලා කියන්නේ එයාට අනිවාර්යයෙන්ම සදාකාල ජීවිතේ ලැබෙනවා කියන එකද? ඒ ප්‍රශ්නෙට උත්තරේ නික්මයාම 32:33 යෙහෝවා දෙවියන් මෝසෙස්ට කියපු දෙයින් අපිට දැනගන්න පුළුවන්. ඔහු මෙහෙම කිව්වා. “මාගේ ලියවිල්ලෙන් මකා දමන්නේ මට විරුද්ධව පව් කර තිබෙන අයගේ නම් පමණයි.” ඒ කියන්නේ ඒ ලියවිල්ලේ තියෙන නම් මකලා දාන්න දෙවියන්ට පුළුවන් කියන එකයි. (එළි. 3:5) එහෙම බලද්දී යෙහෝවා ඒ නම් ලියලා තියෙන්නේ පැන්සලකින් කියලා කියන්න පුළුවන්. ඉතින් දෙවියන් අපේ නම නොමැකෙන විදිහට පෑනෙන් ලියන කල් ඒ පොතේ දිගටම නම තියාගන්න අපි කොච්චර මහන්සි වෙන්න ඕනෙද!

4 ඒත් ජීවන පොතේ නම ලියවිලා තියෙන අය ගැනයි, එහෙම ලියවිලා නැති අය ගැනයි බයිබලේ කියන්නේ මොනවාද? ඒකේ නම ලියවිලා තියෙන අයට සදාකාල ජීවිතේ ලැබෙන්නේ කවදාද? එතකොට දෙවියන් ගැන දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව මැරුණ අයට මොකද වෙන්නේ? එයාලගේ නම් මේ පොතට ඇතුළත් කරගන්න එයාලටත් අවස්ථාවක් ලැබෙයිද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් බලනවා.

කාගේ නම්ද ලියවිලා තියෙන්නේ?

5-6. (අ) ෆිලිප්පි 4:3 කියන විදිහට මේ පොතේ ලියවිලා තියෙන්නේ කාගේ නම්ද? (ආ) එයාලගේ නම් නොමැකෙන විදිහට ලියන්නේ කවදාද?

5 මේ සංකේතවත් පොතේ ලියවිලා තියෙන්නේ කාගේ නම්ද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න අපි දැන් කණ්ඩායම් පහක් ගැන බලමු. ඒ අතරින් සමහර කණ්ඩායම්වල අයගේ නම් මේ ලියවිල්ලේ තියෙනවා. තවත් අයගේ නම් ඒකේ නැහැ.

6 පළවෙනි කණ්ඩායම තමයි යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න තෝරගෙන ඉන්න අය. එයාලගේ නම් මේ වෙද්දීත් ජීවන පොතේ තියෙනවාද? ඔව්. පාවුල් ෆිලිප්පියේ හිටපු එයාගේ ‘හවුල් සේවකයන්ට’ කියපු දෙයින් පේනවා යේසුස් එක්ක පාලනයට හවුල් වෙන අභිෂේක ලත් අයගේ නම් දැනටමත් ජීවන පොතේ ලියවිලයි තියෙන්නේ කියලා. (ෆිලිප්පි 4:3 කියවන්න.) හැබැයි එයාලගේ නම් දිගටම ඒ පොතේ තියාගන්න එයාලා අන්තිම වෙන කල්ම විශ්වාසවන්තව ඉන්න ඕනේ. එයාලා මැරෙන්න ටික වෙලාවකට කලින් එහෙම නැත්නම් මහත් පීඩාව පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී එයාලට අවසන් මුද්‍රාව ලැබෙනවා. ඒ වෙලාවේ තමයි එයාලගේ නම් කවදාවත් නොමැකෙන විදිහට ඒ පොතේ ලියවෙන්නේ.—එළි. 7:3.

7. මහත් සමූහයට අයිති අයගේ නම් ජීවන පොතේ නොමැකෙන විදිහට ලියන්නේ කවදාද? (එළිදරව් 7:16, 17)

7 දෙවෙනි කණ්ඩායම තමයි වෙනත් බැටළුවන්ට අයිති මහත් සමූහය. එයාලගේ නම් දැන් ජීවන පොතේ තියෙනවාද? ඔව්. එයාලගේ නම් හර්–මගෙදොන් යුද්ධයෙන් පස්සෙත් ජීවන පොතේ තියෙයිද? ඔව්. (එළි. 7:14) යේසුස් කිව්වා බැටළුවන්ට ‘සදාකාල ජීවිතය’ හිමි වෙනවා කියලා. (මතෙ. 25:46) හැබැයි හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන අයට ඒ වෙලාවෙම සදාකාල ජීවිතේ ලැබෙන්නේ නැහැ. මොකද එයාලගේ නම් ජීවන පොතේ ලියවිලා තියෙන්නේ මකන්න පුළුවන් විදිහට. හරියට පැන්සලෙන් ලියලා තියෙනවා වගේ. දහස් අවුරුදු පාලනය අතරතුරේදී යේසුස් එඬේරෙක් වගේ “ඔවුන්ව රැකබලා ගෙන ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට” ගෙනියනවා. යේසුස් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා අවසන් පරීක්ෂණයේදීත් යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න අයට අවස්ථාව ලැබෙනවා එයාලගේ නම් පෑනෙන්, ඒ කියන්නේ සදහටම ඒ පොතේ ලියාගන්න.—එළිදරව් 7:16, 17 කියවන්න.

8. ජීවන පොතේ නම් නැත්තේ කාගේද? ඒ අයට වෙන්නේ මොකක්ද?

8 තුන්වෙනි කණ්ඩායම තමයි බයිබලේ එළුවන් විදිහට හඳුන්වන හර්–මගෙදොන් යුද්ධයෙන් විනාශ වෙන අය. එයාලගේ නම් ජීවන පොතේ ලියවිලා නැහැ. යේසුස් කිව්වේ “ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි” කියලා. (මතෙ. 25:46) ඒ වගේම පාවුල් එයාලා ගැන කිව්වේ “ඔවුන්ට ලැබෙන දඬුවම නම් සදාකාල විනාශයයි” කියලා. (2 තෙස. 1:9; 2 පේතෘ. 2:9) එතකොට දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් හිතාමතාම ඒකට විරුද්ධව වැඩ කරලා දැන් මැරිලා ඉන්න අයට මොකද වෙන්නේ? එයාලත් අයිති වෙන්නේ එළුවන්ගේ ගොඩටමයි. එයාලට කවදාවත් නැවත නැඟිටීමක් ලැබෙන්නේ නැහැ. (මතෙ. 12:32; මාක් 3:28, 29; හෙබ්‍රෙ. 6:4-6) දැන් අපි මේ පොළොවේ නැවත නැඟිටීමක් ලැබෙන කණ්ඩායම් දෙකක් ගැන බලමු.

නැවත නැඟිටින අය

9. ක්‍රියා 24:15 කියන විදිහට මේ පොළොවේ නැවත නැඟිටීමක් ලබන කණ්ඩායම් දෙක මොකක්ද? ඒ කණ්ඩායම් දෙක අතරේ තියෙන වෙනස මොකක්ද?

9 බයිබලේ නැවත නැඟිටීමක් ලබන කණ්ඩායම් දෙකක් ගැන කතා කරනවා. ඒ “ධර්මිෂ්ඨ අය” සහ “අධර්මිෂ්ඨ අය.” (ක්‍රියා 24:15 කියවන්න.) “ධර්මිෂ්ඨ අය” කියන්නේ ජීවිත කාලේ පුරාම යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරපු අය. “අධර්මිෂ්ඨ අය” කියන්නේ යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරපු නැති අය. හුඟක් වෙලාවට ඒ අයගෙන් වැඩිදෙනෙක් එච්චර හොඳ ජීවිත ගත කරපු අය නෙවෙයි. ඒ කණ්ඩායම් දෙකටම නැවත නැඟිටීමක් ලැබෙන නිසා අපිට කියන්න පුළුවන්ද ඒ දෙගොල්ලන්ගේම නම් ජීවන පොතේ තියෙනවා කියලා? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න අපි දැන් ඒ එක එක කණ්ඩායම ගැන ටිකක් බලමු.

10. “ධර්මිෂ්ඨ” අයව නැවත නැඟිට්ටවන්නේ ඇයි? එයාලට ලැබෙන වටිනා අවස්ථාව මොකක්ද? (පොළොවේ සිද්ධ වෙන නැවත නැඟිටීම ගැන තවත් තොරතුරු දැනගන්න මේ සඟරාවේ තියෙන “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.)

10 හතරවෙනි කණ්ඩායම තමයි “ධර්මිෂ්ඨ අය.” එයාලා මැරෙන්න කලින්ම එයාලගේ නම් ජීවන පොතේ තිබුණා. ඉතින් එයාලා මැරුණාට පස්සේ එයාලගේ නම් ඒකෙන් අයින් කරයිද? නැහැ. මොකද බයිබලේ මෙහෙම කියනවා. ‘යෙහෝවා මිය ගොස් ඇති අයගේ දෙවි නොව ජීවත් වන අයගේ දෙවියි. මන්ද ඔවුන් මිය ගොස් සිටියත් දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වන අය හැටියටයි.’ (ලූක් 20:38) ඒ කියන්නේ එයාලා මැරුණත් දෙවියන්ගේ මතකයෙන් එයාලා මැරිලා නැහැ. යෙහෝවා එයාලව සලකන්නේ තවමත් ජීවත් වෙන අය විදිහට. එහෙම බලද්දී කලින් කිව්වා වගේ නැවත නැඟිටින ධර්මිෂ්ඨ අයගේ නම් ඒ වෙද්දීත් ජීවන ලියවිල්ලේ “පැන්සලෙන්” ලියවිලයි තියෙන්නේ. (ලූක් 14:14) ඒ විදිහට නැවත නැඟිටීමක් ලබන ධර්මිෂ්ඨ අයගෙන් සමහරුන්ට මේ පොළොවේ “අධිපතීන්” විදිහට සේවේ කරන්න විශේෂ අවස්ථාවක් ලැබෙනවා.—ගීතා. 45:16.

11. “අධර්මිෂ්ඨ අය” එයාලගේ නම් ජීවන පොතට ඇතුල් කරගන්න නම් දැනගන්න ඕනෙ මොනවාද?

11 දැන් අපි පස්වෙනි කණ්ඩායම ගැන බලමු. ඒ තමයි “අධර්මිෂ්ඨ අය.” මැරෙන්න කලින් යෙහෝවා දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙන දේ එයාලා දැනගෙන ඉන්න නැතුව ඇති. ඒ නිසා එයාලා ජීවත් වුණේ දෙවියන් කැමති විදිහට නෙවෙයි. ඉතින් එයාලගේ නම් ජීවන පොතේ ලියවිලා නැහැ. හැබැයි එයාලව නැවත නැඟිටුවන එකෙන් යෙහෝවා දෙවියන් එයාලටත් අවස්ථාවක් දෙනවා ඒගොල්ලන්ගේ නම් ජීවන පොතට ඇතුල් කරගන්න. ඒ දේ කරන්න මේ “අධර්මිෂ්ඨ” අයට ගොඩක් උදව් ඕනෙ වෙනවා. යෙහෝවා දෙවියන්ගේ උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන විදිහ එයාලට මුල ඉඳන්ම කියලා දෙන්න වෙනවා. ඒ වෙනුවෙන් කවදාවත් සිද්ධ වුණේ නැති විදිහේ දැවැන්ත ඉගැන්වීමේ වැඩසටහනක් දේවරාජ්‍යයෙන් සංවිධානය කරනවා.

12. (අ) අධර්මිෂ්ඨ අයට උගන්වන්නේ කවුද? (ආ) ඉගෙනගන්න දේ පිළිපදින්නේ නැති අයට වෙන්නේ මොකක්ද?

12 අධර්මිෂ්ඨ අයට උගන්වන්නේ කවුද? ඒ දේ කරන්නේ මහත් සමූහයයි, නැවත නැඟිටින ධර්මිෂ්ඨ අයයි. අධර්මිෂ්ඨ අය එයාලගේ නම් ජීවන පොතට ඇතුල් කරගන්න යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඔහුට ජීවිතේ කැප කරන්න ඕනේ. ඒ නිසා අධර්මිෂ්ඨ කෙනෙක් නැවත නැඟිට්ට දවසේ ඉඳලා එයා ඉගෙනගන්න දේවල් පිළිපදිනවාද නැද්ද කියන එක ගැන යේසුස් සහ අභිෂේක ලත් අය බලාගෙනයි ඉන්නේ. (එළි. 20:4) කෙනෙක් ඉගෙනගන්න දේවල්වලට අනුව ජීවිතේ වෙනස් කරගන්නේ නැත්නම් එයා අවුරුදු 100ක් ජීවත් වෙලා තිබුණත් එයාව විනාශ කරනවා. (යෙසා. 65:20) යෙහෝවා දෙවියන්ටයි, යේසුස්ටයි අපි හැමෝගෙම හිත් කියවන්න පුළුවන්. ඒ නිසා පාරාදීසයේදී අනිත් අයට හානියක් වෙන විදිහට ජීවත් වෙන්න කිසිම කෙනෙක්ට ඉඩක් නැහැ.—යෙසා. 11:9; 60:18; 65:25; යොහ. 2:25.

ජීවනය සඳහා සහ විනිශ්චයක් සඳහා

13-14. (අ) යොහන් 5:29 යේසුස් කියපු දේ අපි කලින් තේරුම් අරන් හිටියේ කොහොමද? (ආ) අපි විශේෂ අවධානයක් දෙන්න ඕනෙ ඒ පදේ තියෙන මොන දේටද?

13 යේසුස් මේ පොළොවේ නැවත නැඟිටීමක් ලබන කට්ටියක් ගැනත් කතා කළා. ඔහු මෙහෙම කිව්වා. “මන්ද සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා. ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක් ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක් ලබනවා.” (යොහ. 5:28, 29) යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද?

14 යේසුස් කියපු දේ ගැන අපි අවබෝධ කරගෙන හිටපු විදිහේ වෙනසක් වෙලා තියෙනවා. අපි කලින් හිතුවේ යේසුස් මෙතන කතා කරන්නේ කෙනෙක් නැවත නැඟිට්ටාට පස්සේ කරන දේවල් ගැන කියලා. ඒ කියන්නේ සමහරු නැවත නැඟිට්ටාට පස්සේ යහපත් දේවල් කරනවා, තවත් සමහරු පිළිකුල් දේවල් කරනවා. හැබැයි ඒ අවබෝධය දැන් වෙනස් වෙලා තියෙනවා. මොකද මුල් භාෂාවට අනුව යේසුස් මෙතන කතා කරලා තියෙන්නේ අතීත කාලෙන්. ඒ කියන්නේ ඔහු කතා කළේ යහපත් දේ කරපු සහ පිළිකුල් දේ කරපු අය ගැන. එහෙමනම් යේසුස් කතා කළේ ඒ අය මැරෙන්න කලින් කරපු දේවල් ගැන කියලා පැහැදිලියි. ඒක පිළිගන්න පුළුවන් නේද? මොකද නැවත නැඟිට්ටාට පස්සේ කිසිම කෙනෙක්ට පාරාදීසේදී පිළිකුල් දේවල් කරකර ඉන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් “ජීවනය සඳහා නැවත නැඟිටීම” සහ “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීම” කියද්දී යේසුස් ඇත්තටම අදහස් කළේ මොකක්ද?

15. “ජීවනය සඳහා නැවත නැඟිටීමක්” ලැබෙන්නේ කාටද? ඒ ඇයි?

15 මැරෙන්න කලින් යහපත් දේවල් කරපු අයට ඒ කියන්නේ ධර්මිෂ්ඨ අයට ලැබෙන්නේ “ජීවනය සඳහා නැවත නැඟිටීමක්.” මොකද එයාලගේ නම් ජීවන පොතේ තියෙනවා. ඒ කියන්නේ යොහන් 5:29 “යහපත් දේ කරන අය” විදිහට හඳුන්වන්නෙත් ක්‍රියා 24:15 කතා කරන “ධර්මිෂ්ඨ අයවමයි.” ඒ අදහස රෝම 6:7 තියෙන දේටත් එකඟයි. මොකද එතන කියනවා “මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී ඇත” කියලා. ඒ කියන්නේ ධර්මිෂ්ඨ කෙනෙක් මැරෙද්දී එයා කරපු වැරදි හැම එකක්ම යෙහෝවා අමතක කරලා දානවා. හැබැයි එයා කරපු හොඳ දේවල් ඔහු අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙ. 6:10) ඒ නිසයි එයාලට ජීවනය සඳහා නැවත නැඟිටීමක් ලැබෙන්නේ. ඒ කොහොම වුණත් නැවත නැඟිටින ධර්මිෂ්ඨ අය එයාලගේ නම් ජීවන ලියවිල්ලේ දිගටම තියාගන්න දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඕනේ.

16. “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්” කියන්නේ මොකක්ද?

16 මැරෙන්න කලින් දෙවියන් අකමැති දේවල් කරපු අය ගැන කියන්න පුළුවන් මොනවාද? එයාලා මැරෙද්දී එයාලා කරපු වැරදි දෙවියන් අමතක කරලා දානවා. හැබැයි එයාලා දෙවියන්ට විශ්වාසවන්තව සේවේ කරපු අය නෙවෙයි. ඒ නිසා එයාලගේ නම් ජීවන පොතේ නැහැ. එහෙම බලද්දී “පිළිකුල් දේවල් කරන අය” විදිහට හඳුන්වන්නේ ක්‍රියා 24:15 කියන “අධර්මිෂ්ඨ අයවමයි.” එයාලට ලැබෙන්නේ “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්.” * ඒකට “විනිශ්චය සඳහා නැවත නැඟිටීමක්” කියලා කියන්නේ ඒ කාලේදී එයාලව සෝදිසියට එහෙම නැත්නම් පරීක්ෂණයට ලක් වෙන නිසයි. (ලූක් 22:30) එයාලගේ නම් ජීවන පොතේ ලියනවාද නැද්ද කියලා තීරණය කරන්න යම් කාලයක් යනවා. ඒකට එයාලා කලින් කරපු වැරදි අත්හැරලා එයාලගේ ජීවිතේ දෙවියන්ට කැප කරන්න ඕනේ. එහෙම කළොත් විතරයි එයාලගේ නම් ජීවන පොතට ඇතුල් කරන්නේ.

17-18. මේ පොළොවේ නැවත නැඟිටින හැම කෙනෙක්ම කරන්න ඕනෙ මොනවාද? එළිදරව් 20:12, 13 “ඔවුන්ගේ ක්‍රියා” කියලා කියන්නේ මොනවාටද?

17 කෙනෙක් මැරෙන්න කලින් ධර්මිෂ්ඨ කෙනෙක් වුණත් අධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඒ හැමෝම නැවත නැඟිට්ටාට පස්සේ කරන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි දහස් අවුරුදු පාලනය අතරතුරේදී දිගහරින අලුත් ලියවිලිවල තියෙන නීතිවලට කීකරු වෙන එක. ඒ ගැන යොහන් මේ වගේ දර්ශනයක් දැක්කා. “මිය ගිය සියලු තරාතිරම්වල අය සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දැකගැනීමට මට හැකි විය. ඒ අවස්ථාවේදී අකුළා තිබුණු ලියවිලි දිගහරින ලදි. දිගහරිනු ලැබූ තවත් ලියවිල්ලක් වූයේ ජීවන ලියවිල්ලය. මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු ලැබීය.”—එළි. 20:12, 13.

18 ඒ බයිබල් පදේ “ඔවුන්ගේ ක්‍රියා” කියලා කියන්නේ එයාලා මැරෙන්න කලින් කරපු දේවල් ගැන වෙන්න බැහැ. මොකද අපි බැලුවා එයාලා මැරෙද්දී දෙවියන් එයාලා කරපු හැම වැරැද්දක්ම අමතක කරලා දානවා කියලා. එහෙමනම් එතන කතා කරන්නේ කවදා කරපු දේවල් ගැනද? අපි කලින් බලපු විදිහට නැවත නැඟිටින අයට අලුත් ලියවිලිවල තියෙන දේවල් උගන්වනවා. ඒ දේවල් දැනගත්තාට පස්සේ එයාලා කරන දේවල් තමයි එතන “ඔවුන්ගේ ක්‍රියා” කියලා හඳුන්වන්නේ. ටිකක් හිතන්න නෝවා, සාමුවෙල්, දාවිත්, දානියෙල් වගේ යෙහෝවාට විශ්වාසවන්තව හිටපු අයට පවා එදාට යේසුස්ගේ ජීවිත පූජාව ගැන ඉගෙනගෙන ඒ මත විශ්වාසය තියන්න වෙනවා. එහෙමනම් අධර්මිෂ්ඨ අයට ඊට වඩා තව කොච්චර දේවල් ඉගෙනගන්න තියෙයිද!

19. ආයෙත් ජීවත් වෙන්න ලැබුණ වටිනා අවස්ථාව අගය කරන්නේ නැති අයට අන්තිමේදී වෙන්නේ මොකක්ද?

19 ආයෙත් ජීවත් වෙන්න ලැබුණ වටිනා අවස්ථාවට පයින් ගහන අයට අන්තිමේදී මොකද වෙන්නේ? ඒ ගැන එළිදරව් 20:15 මෙහෙම කියනවා. “ජීවන ලියවිල්ලෙහි සඳහන් වී නැති සියලුදෙනාවද ගිනිවිලට හෙළන ලදි.” ඔව්, ඒ වගේ අයව සදහටම විනාශ කරනවා. එහෙමනම් ජීවන පොතට අපේ නම ඇතුල් කරගෙන ඒක දිගටම පරෙස්සම් කරගන්න එක කොච්චර වැදගත්ද!

දහස් අවුරුදු පාලනයේදී සිද්ධ වෙන දැවැන්ත ඉගැන්වීමේ වැඩසටහනට හවුල් වෙන සහෝදරයෙක් (20 ඡේදය බලන්න)

20. දහස් අවුරුදු පාලනයේදී සිද්ධ වෙන පුදුමාකාර වැඩේ මොකක්ද? (කවරයේ පින්තූරය බලන්න.)

20 දහස් අවුරුදු පාලන කාලය කොහොම තියෙයිද! එදාට මේ පොළොවේ කවදාවත් සිද්ධ වෙලා නැති පුදුමාකාර අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒක නැවත නැඟිටින ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ අය කරන දේවල් සෝදිසියට ලක් වෙන කාලයක්. (යෙසා. 26:9; ක්‍රියා 17:31) ඒත් මේ දැවැන්ත අධ්‍යාපනික වැඩසටහන සිද්ධ වෙන්නේ කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලනවා. ඒ තොරතුරු අපිට උදව් වෙයි එදාට අපිට ලැබෙන අධ්‍යාපනය ගැන අපේ හිතේ තියෙන අගය තව වැඩි කරගන්න.

ගීතිකාව 147 සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

^ යොහන් 5:28, 29 යේසුස් කියපු දේ ගැන අපිට තිබුණ අවබෝධය දැන් වෙනස් වෙලා තියෙනවා. ‘ජීවනය සඳහා නැවත නැඟිටින අයට’ සහ ‘විනිශ්චයක් සඳහා නැවත නැඟිටින අයට’ ඇතුළත් වෙන්නේ කවුද කියලත් ඒ නැවත නැඟිටීම්වලින් අදහස් වෙන්නේ මොනවාද කියලත් අපි මේ ලිපියෙන් බලනවා.

^ මේ පොතේ නම් ලියන්න පටන්ගත්තේ ‘පොළොවේ දරුවන් බිහි වුණු දවසේ’ ඉඳලයි. (මතෙ. 25:34; එළි. 17:8) ඒ කියන්නේ මේ පොළොවේ ඉපදෙන හැමෝටම අවස්ථාව තියෙනවා යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්න. එහෙම බලද්දී ඒ පොතේ මුලින්ම ලියවුණේ ධර්මිෂ්ඨ කෙනෙක් වුණ ආබෙල්ගේ නම කියලා කියන්න පුළුවන්.

^ අපි කලින් පැහැදිලි කළේ “විනිශ්චයක්” කියද්දී ඒකෙන් වරදකරුවෙක් විදිහට තීන්දු කරන එක අදහස් වෙනවා කියලා. ඇත්ත, සමහර වෙලාවට ඒකට ඒ අදහසත් තියෙන්න පුළුවන්. හැබැයි පේන විදිහට යේසුස් මෙතන කතා කරන්නේ ඒ වගේ දෙයක් ගැන නෙවෙයි. ඔහු අදහස් කළේ කෙනෙක් දිහා හොඳට බලාගෙන ඉඳලා එයාව සෝදිසි කරනවා කියන එකයි. එක ග්‍රීක බයිබල් ශබ්දකෝෂයකත් කියනවා ඒකෙන් අදහස් වෙන්නේ “කෙනෙක්ව හොඳට පරීක්ෂා කරන එක” කියලා.